Tuesday, July 19, 2016

සිලිකන් වැල්ල හා සොඳුරු නිවාඩුව

සුගිය සති කීපය මට සොඳුරු නිවාඩුවක් ලැබුනේය. ඇස් දොස්තරගේ නිර්දේශ  නිසාම කොම්පනියෙන් සති හයක  නිවාඩුවක් ලබා දීම පමණක් නිවාඩුව සොඳුරු  කලේ නැත . සති කීපයක් පරිගණකයෙන් ඈත්ව ඉන්නට ලැබීමත් ගෙදර සියලු ඇත්තන්ගේ නොමද ආදරය විඳින්නට ලැබීමත් , අපේ ගෙදර ටී වී එක කැඩී  තිබීමත් වැනි හේතු කීපයක් එක්කාසු වීම නිසා මෙය අනගි නිවාඩුවක් වුනේය.
මේ නිවාඩුවේදීම  අවුරුදු විස්සකට පෙර අත හැරුණු විද්‍යා තාක්ෂණ පුවත් පත් කලාවටද යලි  ඔලුව දමන්නට ඉස් පාසුවක් ලැබුණේය . ඉංජිනේරු රස්සාව කරද්දී ඇසූ දුටු දේ ඇසුරෙන් යමක් ලියන්නැයි ලක්බිම මන්දාකිනියේ සංස්කාරකවරිය කළ ඇරයුම පිළිගත්තද  අන්තර්ජාල යුගයෙන් පෙර පටන් ගත් මගේ  පත්තර කලාව තුළ යලි මා ආධුනිකයෙක් වී ඇති බව  වැටහිණි. අනික් අතට අලුත් තොරතුරු හා ලියන දේට අදාළ  වැඩිමනත් කරුණු විමසන්නට  බැරි වුනේ ගුගල් දෙයියා මගෙන් ඈත් වී සිටි නිසාය .
 කෙසේ වෙතත් පසුගිය සති හතක් පුරාවට මා ලක්බිම ඉරිදා සංග්‍රහයට  අතින් ලියා ටයිප් කරවා ගත් ' සිලිකන් වැල්ල'  තීරු ලිපිය නිසා 'විද්‍යා තාක්ෂණ ' ලිපිත් ඉඳ හිට හෝ ලියන්නට උනන්දුවක් ඇවිලිණි. එනිසා 'සිලිකන් වැල්ල' මගේ බ්ලොග් අඩවියේ දිගටම  ලියන්නට  තීරණය කලෙමි. පත්‍රයටද ඉඩක් ලැබෙන හැටියේ යමක් ලියන්නට පොරොන්දු වුනෙමි..
ඉදිරි ඒවා ලියන්නට කලින් පසුගිය තීරු ලිපි ටික  පිලිවෙළින්  මෙසේ පළ කරමි. මගේ ජීවන කතාන්දර ලියු  රටාවෙන් වෙනස් නිසා 'රස්සාවට අදාළ  අත්දැකීම් ඔබට දිරවන්නේ නැත්නම් ඒ ගැන කමන්න. ;තිලකසිත' ආරේ ලිපිද හෙමින් සැරේ ලියන්නෙමි .

සිලිකන් වැල්ල 1  (සංස්කරණය නොකළ ලිපිය )

'ඔන්න සීලින් ඇලිස්  එනවා….’ යනාදී වශයෙන්  අප නවය ශ්රේණියේදී මතක තියා ගන්නට උත්සහ කළේ   පෘථිවි කබලේ බහුලවම තිබෙන මූල ද්‍රව්‍ය  ලැයිස්තුවයි  . ඒවා අතරින් මුල්ම තුන  පිලිවෙලින් ඔක්ජසින්  සිලිකන්  හා ඇලුමිනියම්  වේ.
මටනම්  හැමදාම ඔක්සිජන් තරම්ම සිලිකන්ද වැදගත් දෙයක් වුනේය. හුස්මක් කටක්  ගන්නට අවැසි ඔක්සිජන් වායුවනම් ආගිය හැමතැනම අඩුවක් නැතිව තිබුනද බඩ  වියත රැක ගන්නට කරන අරගලයේදී සිලිකන් තරම් වටිනා වෙනත් මුල ද්රව්යයක් හමු නොවුනි.
නිතර පිය නගන මහපොලොවේ, ඇස ගැටෙන වැලි ගල් හැම එකකම සිලිකන් බොහෝ සෙයින් තිබේ. අප හදන ගොඩනැගිලි හා මහා පාරවල වැඩිපුරම ඇත්තේ සිලිකන් වන අතර මේවායේ සැලසුම් සකසන පරිගණකවල පවා වැදගත් ක්රියාවලියේ පදනම සිලිකන්ය. ඒ නිසා සිලිකන් සම්බන්ධව මට හැමදාම කතා කරන්නට දෙයක් තිබෙනු ඇත . එසේ නොවේනම්  පොල් ගහක් ගැන රචනාවක් ලියන්න්ට සිදු වූ ළමයා මෙන් ඕනෑම දෙයක් සිලිකන් වලට ගාවාගෙන  ලියන්නට මට පුළුවන .

පෘථිවි කබොලෙන් සියයට විසි අටක්ම  තිබෙන මුල ද්රව්යය වුනත් සිලිකන්  කවදාවත් පිරිසුදු තත්ත්වයේ සොයා ගන්නට නොමැත. ඒවා ඇත්තේ  සිලිකන්  අඩංගු සිලිකේට වශයෙනි. දැනට සොයාගෙන ඇති පරිදි මුළුමහත් විශ්වයේම බහුලවම පවතින මුල ද්රව්යයකි සිලිකන් .
ආවර්තිතා වගුවේ 14 වන මුල ද්රව්යය හැඳින්වෙන  සිලිකන් කියන වචනය හා සබැඳි මගේ සටහන්  කියවන්නට  ‘සිලිකන් වැල්ලට’ එන්නැයි ඔබට ඇරයුම් කරමි.

සිලිකන් නිම්නය හා අපේ බිස්නස් 
සිලිකන් නිම්නය යනුවෙන් සන්නාම ලබා ඇත්තේ   ඇමෙරිකා  එක්සත් ජනපදයේ කැලිපොනියා ප්රාන්තයට අයත්  සැන්ප්රැන්සිස්කෝ බොක්ක ආශ්රිත ප්රදේශයකි.
සිලිකන් මුලික කරගෙන නිපදවෙන පරිගණක උපාංග නිෂ්පාදන සමාගම් බහුලව තිබීම මේ නම ලැබීමේ හේතුවයි. 2013 වනවිටත් ලක්ෂ දෙක හමාරක් ඉක්මවා ගිය තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් පිරිසක් සේවයකළ සිලිකන් නිම්නය, මුල් කාලයේ ඇරඹි පරිගණක චිප හා පරිපත නිෂ්පාදන වලට අමතරව බොහෝ අධි තාක්ෂණික ව්යාපාර  අංශවල මුලස්ථානය වී  තිබේ.
සිලිකන් නිම්නය ආශ්රිත ව්යාපාර  ප්රබෝධයේ එක ප්රධාන රහසක් වන්නේ දහස් ගණන් නව ව්යාපාර ආරම්භ  කිරීමටත්  නව අදහස් වාණිජකරනයටත් ඉමහත් පිටිවහලක් ලැබෙන පසුබිමයි.
නව ව්යාපාර ඇරඹීමේදී  ඒවා පළමු වසර කීපය තුළ  තම පැවැත්ම හා වර්ධනය වෙනුවෙන් දැවැන්ත අරගලයක් කරයි. මෙසේ  අලුතින් පටන් ගනා ව්යාපාර වලින් සියයට අසූවක් පළමු වසර පහ තුල වසා දැමෙන බව පැවසේ .
අලුතින් පටන් ගන්නා ව්යාපාර තමන්ගේ දෙපයින් නැගී සිටින තුරු ඒවාට මග පෙන්වමින් උදව් කරමින් රැකබල ගන්නා ආයතන බිස්නස් ඉන්කියුබේටරයි. ලංකාවේ පටන් ගත්  මෙවැනි ඉන්කියුබෙටර තුනක් ගැන අධ්යයනයක් කිරීමට කලකට පෙර  මට සිද්ද විය. ඒවානම් තොරතුරු තාක්ෂණ ව්යාපාර ඉලක්ක කරගෙන බිහිවූ  ආයතනයක් , කාර්මික සංවර්ධන අධිකාරියට අනුයුක්තව කටුබැද්දේ ඉදිව තිබු ආයතනය හා කඹුරුපිටිය ගම් උදා  භුමියේ අරඹා  තිබූ ව්යාපාරික මේරුම් ඒකකයත් යන ආයතන තුනයි. 2004 වන විටත් මේ ආයතන වසා දමා හෝ අසාර්ථක මට්ටමේ පැවතිනි. කොටින්ම බිස්නස් ඉන්කියුබෙටර් ටික දැමීමට තවත් ලොකු ඉන්කියුබේටරයක් අවශ්ය වී තිබිණි.

ලුනාවේ වැලිපරය හා ගංවතුර 

තරමින් හෙක්ටෙයාර් විස්සක් විතර වෙන ලුනාව කලපුව   2005 දී තිබ්බේ තනිකර කුණු කසලින් පිරි ගිය නාරා වැලක් පරිද්දෙනි. ඒත් කාලෙකට ඉස්සර ලුනාව කලපුවේ ඔරු පැද්ද හැටි, මලින් ගැවසී ගත්  කලපු ඉවුරේ සෙල්ලම් කළ හැටි, කලපුවට බැස පීනා දියබුන් ගැසූ හැටි අසල්වැසි වැඩිහිටියන්ට මතක තිබිණි.

අඟුලාන ලුනාව ආශ්රිත වර්ග කිලෝමීටර් හතක විතර වු  කලාපය ඒ වනවිට නිරන්තර ගංවතුරෙන් පීඩා වින්දේය.. මැයි හා නොවැම්බර්  මාසවලදී  නොවරදව ගෙට ගොඩවන  ගංවතුරට ඉඩ දී  පැදුරු කඩ මලු අකුලාගෙන පෑලදොරින් උස්තැනක් බලා පසුබසින එක ඒ ජනාකීර්ණ කලාපයේ වැසියන්ට පුරුද්දට ගොස් තිබිණි.

ලුනාව කලපුවේ මුවදොර හැමදාම උදේට  වැලිපරයකින් වැසී යයි . ඒ හා සමග ලුනාව මහා  ඇල හා පරිවාර ලොකු කුඩා ඇළමාර්ග හා කාණු  කට ළඟටම පිරී යයි. වතුර ගලන්නේ නැති වල් බුටෑවෙන් හා ක ලි කසලෙන් පිරී ගත් ඇළ මාර්ග හා කුණු කාණු  ඉවුරේම ඉදිවූ තාවකාලික නිවෙස්  සිය ගණනකි තිබිණි . ඒවායේ සියලු අපද්රව්ය  එකතු වන්නේ අර ඇලටමය.

ඉතින් ලුනාව පරිසර සංවර්ධන වැඩ සටහනින් ඇළ  ඉවුරු දෙපැත්තේ පදිංචි සියලුම ජනතාව ඉන් ඉවත් කරවා ඇළමාර්ග පුළුල් කරන්නටත් ඇළ ඉවුරු දෙපැත්තේ කුඩා මංතීරු හදන්නටත් පියවර ගත්තේය.  ඒ අතරේ ලුනාව කලපුවේ පිරී තිබු රොන්මඩ  හාරා කළපුව වටේට කිලෝ මීටර හතරක පිරිවැටි මගක්ද හැදුවේය. මේ ක්රියාවලිය අවසන් වීගෙන ආ 2008න්  පමණ පසුව ලුනාව කලාපයෙන් ගංවතුර උවදුරද තුනී වී  ගියේය.
ඇළ ඉවුර දෙපැත්තේ මිනිස්සු පුලුපුලුවන් හැටියට තමන්ගේ නිවෙස් අලුත්වැඩියා කරගත්හ. අල මාර්ග වලට කුණු දැමීම අවම විය. අලුත් ඉදිකිරීම් නඩත්තු කරගෙන යාමට නගර සබාවලට පැවරිණි . මේ ආයතනත් ලුනාව වැසියනුත් තමන්ගේ කාරිය හරියට කරනතුරු ලුනාව කලාපයටනම් තද ගංවතුරක් එන්නට විදිහක් නැත.
බොහෝ විට ගංවතුර එන්නේ  අපේම වැරදදෙනි
සැලසුමේ තිබු  පරිදි ලුනාව කලපුවේ වක්කඩය ස්ථිරවම ඇරලා තබන්නට විසඳුමක්නම් සොයන්නට අපට බැරිවිය. රාත්රියේ වැලිපරයක් මැවී කලපුව හා මහා මුහුද වෙන් කරයි. එතැන නවතා ඇති බැකෝ යන්ත්රයකින්  උදේට වැලිපරය හාරා කලපු දිය බැස්සවිය යුතුය.

එසේ පිරෙන මුහුදු වැල්ලේ වැඩිපුරම ඇති මූලද්රව්යය සිලිකන්ය.

35 comments:

  1. ලුනාව කලපුව දන්නා පැත්තක්. මේ කතාව නම් ඇහුවේ අයි. හොඳ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ලුනාව කලපුව අයිනෙන් තමයි ගාලු කෝච්චිය යන්නේ . මේ ප්‍රොජෙක්ට් එකෙන් පස්සේ ආයෙත් ලස්සනට තිබ්බ . ස්තුතියි අජිත්

      Delete
  2. අවුරුදු විස්සකට පෙර අතහැරුණ තැනකින් යලි පටන්ගත් සිලිකන් වැල්ල කොලමට ඔන්න ආයිත් සුබ පැතුම්!

    ලියන්නෙ ජීවිත කතාව වුණත් විද්‍යා හා තාක්ෂණ ලිපි වුණත් මේ සරල සොදුරු භාෂා විලාශය නිසා ඒවා කාටවත් නීරස වෙයි කියලා මටනං හිතෙන්නෑ. සිලිකන් කොලමට තිලක සිත සමග දිගු ගමනක් යන්න ලැබේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සඳ වියමන් මේ හිතමිතුරු දිරිගැන්වීමට. ඔව් මේ අත්දැකීම් 'තිලකසිත' විදිහටත් ' සිලිකන් වැල්ල' නමිනුත් ලියනවා. බ්ලොග් එකේම ලියන එක වඩා සතුටින් හා පහසුවෙන් කරන්න පුළුවන්

      Delete
  3. /* සිලිකන් වැල්ල 1 (සංස්කරණය නොකළ ලිපිය ) */

    මගේ අත්දැකීම අනුව ලක්බීම මන්දාකිණියේ සංස්කරණය යනු, ලිපිය දිගු වැඩි නම් මැදින් ඡේද පිටින් කපා දැමීමයි. එවිට ඡේද අතර සම්බන්ධය නැති වෙනවා. වරෙක, අවසාන ඡේදයම කපා දමා තිබුණා. එය නම් අති දරුණුතම සංස්කරණයක්. සමස්ත ලිපියම නැතුව ගියා හා සමානයි.

    ReplyDelete
    Replies
    1. ලක්බිම පමණක් නොව ජාතික පුවත්පත්වල පිටු සංස්කාරකවරුන් ‍බොහොමයක් ලිපිවලට සලකන ශෛලිය එයයි. සපත්තුවේ ප්‍රමාණයට කකුල කපාදැමීමයි. අවසානයේ ඉතිරි වන්නේ අංගවිකල ලිපියක්. සමහර අවස්ථාවල ශීර්ෂ පාඨය දැමීමට අදාළ ඡේදය පවා කපා දමන ලද අවස්ථා පවා ති‍බෙනවා.

      Delete
    2. ලිපියක හැඩය ගැන මගේ සීමිත දැනුම අනුව ලියු සටහනක් මේ සබැඳියෙන් දැක්වෙනවා.

      https://nesciencetoscience.blogspot.jp/2016/07/blog-post_19.html

      පුවත්පත්වල පලවෙන විකාර රූපී ලිපි, සංස්කාරකවරුන්ගේ නොමද දායකත්වයෙන් විකාරරූපී බවට පත් කරන ලද ඒවා නොදැන සිටියෙමි.

      Delete
    3. මමනම් ස්තුති පුර්වකව කියන්නේ මගේ ලිපි එකක්වත් කැපුවේ කෙටුවේ නෑ . ඔය පෙනෙන්නට තියෙන අකුරු අඩුපාඩු හදන එක විතරයි සංස්කරණයේදී කරලා තිබ්බේ .
      කොහොමත් කරුණු පෙළ ගස්වාපු ලිපියක් මැදින් හෝ අගින් කපනවට වඩා හොඳයි එය පළ නොකර ඉන්න එක

      Delete
  4. දැන් දේශපාලකයෝ වැල්ල බැකෝ දාලා හාරලා සිලිකන් හොයයි

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ සිලිකන් නැතත් වැලිනම් දේශපාලකයන්ට තමයි අයිති

      Delete
  5. අනූ ගණන්වල මුල් කාලයේ ඔබගේ ලිපි 'විදුසරේ' පළ වුවා වගේ මතකයි. සිංහලෙන් විද්‍යා සන්නිවේදනය කිරීමට නැවතත් යොමු වීම ගැන සතුටුයි. සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රබාත්. තවත් මිතුරෙක් හමුවීම ලොකු සතුටක්

      Delete
  6. අද තමයි ඔයාගෙ ලිපි කියව්වේ.විදුසර ලිපි ඉස්සර කියව්වා.හොද අදහස්.දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. එහෙනම් මගේ බ්ලොග් අඩවියට තාරකත් සාදරෙන් පිලි ගන්නම්. ඉස්සර ඉඳන් මගේ ලිපි කියවන බව ඇහුවම පරණ හොඳ යාලුවෙක් හම්බුනා වගේ දැනෙනවා

      Delete
  7. වැලි කැට ගානට පෝස්ට් වැටුනත් එකක් නෑර කියවන්න පුළුවන්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තැන්කිව් අපේ GL . ජය වේවා !

      Delete
  8. දැනට මගේ ක්ෂ්ස්ත්‍රය වන්නේ පාරදෘශ්‍ය මිශ්‍ර ලෝහ-ඔක්සයිඩ/නයිට්‍රයිඩ අර්ධ සන්නායකයි. ඇත්තෙන්ම දැන් සිලිකන් භාවිතය එහි සීමාවට පැමිණ ඇති අතර දිනෙන් දිනම ආදේශක ද්‍රව්‍ය ඉදිරයට එයි. සන්නායයක බහුඅවයව දැනටම වාණිජ වශයෙන් ඉදිරියට පැමිණ ඇත. ගැලියම් ඉන්දියම් නයිට්‍රයිඩ සහ ආසනයිඩ විසින් සිලිකන් විශ්‍රාම ගන්වන දිනය එතරම් ඇතක නොවිය හැකිය.

    ReplyDelete
    Replies
    1. ඔබ මෙහි ආ එක ගැන ඉතා සතුටුයි . අපේ දැනුම අලුත් කරාට ගොඩක් ස්තුතියි

      Delete
  9. රහේ නම් කිසිම අඩු පාඩුවක් නෑ තිලකේ..
    ඒත් ඔහේ නැති අඩු පාඩුව නම් තදින්ම දැනුනා..
    මොකෝ ඔහේ ඇවිල්ලා මේකේ ඉන්නම ඕන කෙනෙක් නිසා..

    ReplyDelete
    Replies
    1. තැන්කිව් මාතේ. මේක දාලා යන්නේ නෑ . ඒත් ලෙඩදුක්, වැඩ රාජකාරී නිසා කලින් කලට වහන් වෙලා ඉන්න වෙනවා. මටත් සියලු බ්ලොග්කරුවන්ටට්ත් උඹ දෙන තල්ලුව මහා සම්පතක්

      Delete
  10. නිවාඩුවෙන් පසු නැවත බ්ලොග් වලට පැමිණීම ගැන සතුටුයි.. සෑහෙන අඩුවක් දැනුණා පහුගිය ටිකේ...

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකෙත් කවිඳු මා ගැන සොයා බලුවානේ. ස්තුතියි හැමදේටම. දැන් ඉතින් ලියමු

      Delete
  11. ජීවන කතාන්දර වගේම මේකත් බොහොම ආසාවෙන් කියෙව්වා.. හොඳ ලිපියක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තුෂානි. ජය !

      Delete
  12. සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රා ජේ

      Delete
  13. Tilak when I saw your comment about sand belonging to politicos, I want to add something from my Pera Teaching experience. But no time to write. Will tell you soon.

    ReplyDelete
    Replies
    1. Please write . waiting to read your experience. Thanks in advance

      Delete
  14. ඇස් දොස්තරගේ නිර්දේශ නිසා ලැබුණු නිවාඩුව ලෙඩ නිවාඩුවක් නොවිච්චි එක හොඳයි.

    ඔය ලුනාව කලපුව විතරක් නෙමේ ඒ වගේ ගොඩක් පරිසර පද්ධති විනාශ වෙලා තියෙන්නේ අපේම නොසැලකිල්ල නිසානේ.

    ReplyDelete
    Replies
    1. ඒක තරමක ලෙඩ නිවාඩුවක් තමයි මනෝජ් .
      අපේ ඈයෝ වඳින්ට කියල යන කතරගම, සිරීපාදේ එහෙම දාලා එන පොලිතීන් තොගේ බලන්ඩකෝ.

      Delete
  15. තවත් සිලික වැඩියෙන් තියන තැනක් තියනව නේද?මම අහල තියන විදිහට හොදම සිලික අපේ රටේ තියෙන්නේ, එවට අගයක් එකතු කරලා යවන්නේ නැ නේද?

    ReplyDelete
    Replies
    1. වාණිජ වශයෙන් වටිනාකමක් තියෙන සිලිකා වැලි හැම තැනම නෑ . එහෙම වටිනා වැලි නිධි නාත්තන්ඩිය පැත්තේ තියෙනවා.

      Delete
  16. එයා නිවාඩු ගත කරපුව අපිට කියල තියෙනව දැක්කම ආයෙ ලංකාවට දුවන් යන්න හිතුණා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ . හිත ලංකාවේ තියලා ආවම කොච්චරවත් හිතෙන්නේ ආපහු දුවල එන්න තමයි

      Delete
  17. Important article.I love my university & it's history.thank u thilaka.

    ReplyDelete