(Photo-internationalrivers.org)
1982 ජනවාරි 5
කුඹුරට ගිගින් එද්දී ඩිංගිරි මාමා හම්බුනා . 'ඩිංගිරි මාමා දැන් අර ඔයේ වතුර මට්ටම මනින් නැද්ද? අර හිටවලා තිබ්බ කෝදුව ලඟට යන්න බෑ බුටෑව වැවිලා' .
මම එහෙම ඇහුවේ ඩිංගිරි මාමා රස්සාව හැටියට කරේ අපේ පුංචි ඔය ඉවුරේ හිටවාපු ලී කෝදුවේ වතුර මට්ටම දවස ගානේ ලියාගෙන ගිහින් මිනින්දෝරු කන්තෝරුවට වාර්තා කරපු එක නිසා.
' අනේ පුතේ අවුරුදු දෙකක් තිස්සේ මම දුන්නු උස මට්ටම් ටික බලල ඒ ගොල්ලෝ මෙතන ඇනිකට් එක හදන් නැතිව ඉන්න තීරණය කළා . මේ ඔයේ වතුර මට්ටම එන්න එන්න අඩුවෙනවලු. මේකෙන් බණ්ඩාරවෙලට වතුර දෙන්න බෑ කියන්නේ'.
1989 ජුනි 7
ගමෙන් කොහාටවත් යන්න විදිහක් නෑ ගේ ඇතුලෙම ඉඳලා එපා වෙලා. ඒ වෙනකොට ලෝකේ මම ආසම කරන තැන තිබ්බේ අපේ පුංචි ඉස්කෝලෙට වම්පැත්තට වෙන්න තිබ්බ කඳු ගැටේ කෙළවරක. කන්දේ තැන තැන මානා පඳුරු අතරේ ලොකු කළුගල් වැටි තිබ්බා . ඉන් එකක වාඩි වෙලා ඈත ගලාගෙන යන මාතැටිල්ල ඔය දිහා දවසක් වුනත් බලා ඉන්න පුළුවන්. දෙපැත්තෙන් උසට උසට විහිදුණු නිල් පාට කඳු වැටි දෙක මැද්දෙන් හිත නිවාගෙන නිසංසලේ ගලන ඔය වැලිමඩ ඔයට එක්කාසු වුනාම උමා ඔය හැදෙනවා .හාත්පස පාලුයි. ජන ශුන්‍යයි. ඒත් සොබාදහම කතාකරනවා. ගං දිය ඔය දෑල එක්ක කරන කසුකුසුව කන්ද නැගගෙන ඇවිත් ළඟ ළඟම දැවටෙනවා.
1995 ජනවාරි
අද මම ලියපු 'ජල සම්පත ' කියන පිටු අටක ටැබ්ලොයිඩ් අතිරේකය පත්තරේ එක්ක අමුණලා තියෙනවා. පෙඳ පාසි පොරවාගෙන වලාකුළුවලින් වතුර උරාබොන මේඝ වනාන්තර ගැනත්, මධ්‍ය කඳුකරයේ කුඩා සානු , ගල්වැටි අසබඩ ස්පොන්ජිමය පස් තට්ටු හා ඊට උඩින් වැවෙන විසිරි තණ පඳුරු සුසංයෝගයෙන් පරිස්සමට පෙරා හංගා ගන්නා වැහි වතුර වලින් හීන් සීරුවේ ටික ටික දිය උල්පත් මවන හැටි ලිව්වා.
2001දෙසැම්බර් 20
අද අපි පොඩි නිවාඩුවකට ගමේ ගෙදර ගියා. ඉස්සර අපේ ගම මැදින් ගලන දිය කඳුරු කීපයක් තිබ්බා. මේවගෙන් පැන පැන ලිස්සලා වැටෙන්නේ නැතිව එළවලු ගෝනි කරේ තියාගෙන මිනිස්සු බොහොම අමාරුවෙන් තමයි ගියේ . අපේ පන්තියේ හිටි ධනේලගේ අම්මා මේ දිය කඳුරකින් ලිස්සලා වැටිලා උකුල් ඇඅටේ බිඳිණා. ඈ ඉතිරි ජීවිත කාලෙම එක්තැන්වෙලයි හිටියේ.
තව ගම මැද්දට වෙන්න තිබ්බ පොදු නාන පීල්ලේ දෙපැත්තේ ලොකු පීලී දෙකක් තිබ්බා. අත් ගොබයකටත් වැඩි වතුර කන්දක් එක පීල්ලකින් ආවා. මේ පීලි දෙක මැදින් ගල් බැම්මකින් වෙන් කර තිබ්බා . වම්පැත්තට ඊතලයක් -පිරිමි. දකුණු පැත්තට ඊතලයක් - ගැහැණු
මේ වතුර පාර ඔලුව ඇල්ලුවාම තත්පරයකට වතුර කලයක් විතර බරට සීතලට වැටුණා . ඒත් අද යනකොට මේ හැමදේම ගැන ලොකු දුකක් හිතුනේ . දැන් ගෑණු පිරිමි දෙපැත්තම එකතු කරලා චුටි වතුර පාරක් විතරක් එනවා. විනාඩි ගානක් අල්ලං හිටියම වතුර බාල්දියක් පුරවා ගත්තැකි.
2007 මැයි 12
අපි කැස්පියන් මුහුද පේන නොපෙනෙන දුර අපේ නේවාසිකාගාර මිදුලට වෙලා ඈත දියඹට වැටුන වෙසක් හඳ එළිය දිහා බලාගෙන හිටියා , ඌරල් හා වොල්ගා ගංගා වලට වැඩිපුරම වතුර ලැබෙන්නේ ඈත රුසියානු කලාපයේ කඳුවටිවලින් දියවී එන ග්ලැසියර් වලින් . මේ ගංගා දෙකකින් නිතිපතා වතුර ගෙනත් පිරෙව්වට ගොඩබිමින් වට වෙච්ච කැස්පියන් මුහුද සමතුලිතතාවය තියා ගන්නේ වාස්පීකරණය මගින්. අපේ කතා බහ ටිකකින් මාතැටිල්ල ඔයට හැරුණා .
'මට ආසයි මාතැටිල්ල ඔය අයිනෙන් පොඩි ඉඩම් කෑල්ලක් ගන්න . වයසට ගියාම වාඩි වෙලා ගඟ දිහා බලා ඉන්න' . සමන් කිව්වා. ඉඩමක් ගන්න ඕනියැ ? අපේ ඉස්කෝලේ කන්දට ගියාම පේන තෙක් මානෙක තියෙන්නේ හිස් ඉඩම් ඕනි තැනක වාඩි වෙලා බලා ඉන්න පුළුවන්නේ . මම කිව්වා.
ඒවා හිස් ඉඩම් විදිහට හැමදාම තියෙන එකක් නෑ සමන් කිව්වා
ඒවා එලි කරලා ඉඳුල් කරාම ගඟ තියෙන එකකුත් නෑ . උඹේ ඉඩමේ වාඩි වෙලා උඩ බලාගෙන ඉන්න තමයි වෙන්නේ' . මම කිව්වා. ඒ විහිලුවට අපි දෙන්නගෙන් කවුරුවත් හිනා වුන් නෑ .
2010 අගෝස්තු 3
අද රමණීගේ පාටිය. උප්පාරු පාලම හදන තැන ගං ඉවුරේ පැදුරු එලාගෙන අපේ මුතූර් ඔෆීස් එකේ හැමෝම සෙට් වෙලා. රමණී කිව්වේ සැලසුම් ශිල්පියෙක් මුළු නම රමණිදරන් . මිනිහ ගිය සතියේ කසාද බැන්දා. ඉතින් ඔෆිස් එකේ කට්ටියටම ආරාධනා කරන්න ගෙදර ඉඩ තිබ්බේ නැති හින්ද මෙතැන පාටිය ගත්තා.
'මේ ගඟ පටන් ගන්නේ අපේ ගෙවල් ගාවින්' මම පුරසාරමක් දෙඩුවා. ඒකට රමණී විතරක් නෙවෙයි ප්‍රභාකරන් මැරිච්ච දවසේ කන්තෝරු මේසෙට ඔලුව ගහගෙන අඬපු ගුණසීලනුත් හිනා වුනා.
ගඟක වතුර මොන තරම් සිහිල්ද කියල හිතුනා .
2015 මාර්තු 20
( Sundarban- wikipedia)
සුන්දරී කෙටි කතාව සඳ වියමනේ තියෙනවා දැකල කියෙව්වා. එහි අපූරු මනස්කාන්ත පරිසරයක් ගැන සිහිපත්කොට තිබුනා. ඒ සුන්දර් බාන් .ගංගා නදිය මුහුදට වැටෙන ඩෙල්ටාව බංග්ලාදේශයේ හා ඉන්දියාවේ බෙංගාලයේ විශාල භුමි ප්‍රදේශයක පැතිරිලා තියෙනව මේ කලාපය තමයි සුන්දර බාන්. මේ රටවල් මොන තරම් දුගී දුප්පත් උනත් පුදුමාකාර කැපවීමකින් සුරක්ෂිත කර තිබෙන කඩොලාන පිරි සොඳුරු සොබාවික පරිසරය . කවදාහරි දවසක ගිහින් බලන්න හිතා ගත්තා,ඒත් එක්කම හිත හිරි වට්ටන වේදනාවක් දැනුනා , මුතුර් මතක් වුනා. වෙරුගල්, උප්පාරු, රාල්කුලී, ගංගෙයි වගේ අතු ගංගාවලින් පිරුණු මහවැලියේ ඩෙල්ටාව 'සුන්දර බාන් ' එකක් නොවුනේ ඇයිදැයි හිතුනා.
2015 මාර්තු 22
අද උදේ කන්තෝරු යන්න පිටත් වෙනකොට මහා වැස්සක් වැටුනා . කාන්තාරෙට වහිනවා .
මේ වාලුකාවේදී හීනෙන් දැකපු වැස්සක් ගැන ටික කාලෙකට කලින් මම ලිව්ව කවියක් අපේ බ්ලොග් එකේම වැඩිය ඇහැ ගැහෙන් නැති කෙළවරක තිබ්බා .
පියැසි කවුළුවෙන් බේරී ගෙට එන
කලා පිරූ වටකුරු රෑ සඳ
වැලි කතරින් මා ඔසවා ඉහළට
නිදි කරවයි මගෙ සා පැටවුන් ළඟ
දූලි වළා මායා සළු හැඳගෙන
කිනිගම මීදුම මැව්වා මගේ නෙත
සිහින මං පෙතේ තව දුර ගිය සඳ
සොඳුරු මතක වැටුනා වැහි බිඳු ලෙස
සිත් ගත් සිත් රූ ගැවසුණු පන්තිය
දේවදාර පත් ඇතිරූ මං පෙත
උණු තේ සුවන්දින් නැහැවුණු කඩ පෙළ
බොඳ වී පෙනුනා වැසි දිය අතරින
මේ කවියේ කිනිගම කියන්නේ අපේ ඉස්කෝලේ තිබ්බ පුංචි ගම්මානේ. වඩා සිහිල් දිය උල්පත්, ඇල්දිය පිරුණු ලිං හැම ගේ දොරකඩකම තිබ්බ බණ්ඩාරවෙල කලාපය මේ වෙනකොට වේලිලා ගිහිල්ලා. උමා ඔය උමග බාගෙට හාරාගෙන ගියේ ඔන්න ඔය පැත්තෙන් තමයි.
අපේ ගමේ ඩිංගිරි මාමා ලව්වා කර ගත්ත ශක්‍යතා අධ්‍යයනෙකින් පස්සේ පුංචි ඇනිකට් එකක් හදන එක නවත්ත ගන්න පුළුවන් වුනත් මේ මහා විනම්බෑසිය නවත්තන්න දියසේනටවත් බැරි වුනේ ඇයි? . නැත්නම් ඒක වුනේ මට ඔය වාර්තා වැඩක් නෑ මට හිතුන දේ කරනවා කියපු දියසේන කෙනෙක් නිසාද?
.....
මම ලියනා දින පොතක් නෑ . අද මහා වැස්සේ කන්තෝරු යන ගමන් වාහන තදබදයට ඉවසා වදාරමින් පැයක් තිස්සේ කල්පනා කරපු දේවල් තමයි ඔය.
අද මම වෙනදාටත් වඩා කලින් යන්න පිටත් වුනේ ' මාර්තු 22 ට යෙදෙන 'ලෝක ජල දිනය' වෙනුවෙන් කෙටි දේශනයක් කරන්න. ඒත් කලාතුරකින් ආපු මුරුගසන් වැස්ස නිසා ඒ වැඩේ අවලංගු වුනා.
මාර්ග තදබදයට ස්තුති වේවා.. :) මං කියෝගෙන එද්දී හිතුවේ ඇත්තටම කාගේ හරි දිනපොතක දේවල් කියලා මාත් සොබාදහමට ගොඩක් ආදරේ කෙනෙක්, ඉස්කෝලෙදි ජලදිනය දවසේ මට කතාවක් කරන්න සිද්ද වුණා එදා කකුල් වෙවුල වෙවුලා කරපු කතාව මතක් වුණා .. ස්තුති
ReplyDeleteඇත්ත දිනපොතක් තමයි ඕමා . ඒත් ලියල තිබ්බේ හිතේ. සොබාදහම රකින්න කැමති උදවිය තමයි මේ දිනපොතට වඩා කැමති. ඉස්සරහ දවස් වලත් වැස්සොත් තව ලියන්න පුළුවන් වෙයි
Deleteඩින්ගිරි මාමා ලවුවා කරපු ශක්‍යතා අධ්‍යනය පිළිගත්තනම් අද මේ තරම් බදුල්ල,බණ්ඩාරවෙල,වැලිමඩ,මිනිස්සු අඬන්න,පීඩාවට පත්වෙන්න ඕනේ නෑ නේද?ඔය පැතිවලට ෆයිනස්,යුකැලිප්ටස් හරහා කරපු අපරාදෙම අද වියලි කලාපයට තේක්ක හරහා කරනවා.හදෙන් ගොඩබැහැල වගේ ඇවිත් විකාර උපදෙස් දෙන මෝඩ නිළධාරීන් නිසා දිස්ත්‍රික්කයක්ම අද කඳුළු හෙලනවා.
ReplyDeleteඅපේ අනුරාධපුරේ ඉඩම් වල තිබ්බ තේක්ක ගස් දැන් නැහැ.තිබ්බ ගස් කපලා ලී අරන් හැබැයි අලුතෙන් පැල දාන්නේ නැහැ.තේක්ක ගස් හැදෙන්න පොළවේ සාරය ගොඩක් ඕනේ නිසා ඒ පොළවේ වෙනින් භෝග වවන්න බැහැයි කියලා.
Deleteඔවු,ඉස්සරනම් ප්‍රා.ලේකම් කාර්යයාල වලින් අවසර දුන්නේ එක්තරා වටප්‍රමානයකට වඩා වැඩි ඒවට විතරයි.ඒත් දැන් එහෙම නෑ.කවුරුහරි ඉල්ලීමක් කලොත් ප්‍රමානය බලන්නේ නැතිව තේක්ක කපන්න අවසර දෙනවා.ඒක චක්‍ර ලේඛන හරහා කරන කාර්යයක් නෙමෙයි.මේකෙන් වෙන හානිය හදුනගන නිලධාරීන් විසින් ගන්න පෞද්ගලික තීරනයක්.ඒත් ඒ පෞද්ගලික ඉඩම් වල තියන ඒවා විතරයි.ආණ්ඩුවේ ඉඩම්වෙල "වන වගාව"කියල වවපුවා එහෙම්මමයි.තේක්ක පොළවේ තියන සාරය සම්පූර්ණයෙන්ම උරාගන්නවා වතුරත් එක්කම.හරියට දුම්කොල ශාකය වගේ.වෙනකිසිම යටි රෝපණයක් ඇතිවීමට ඉඩ දෙන්නෙත් නෑ,මානා පඳුරු හැරෙන්න.
Deleteපයිනස් යුකැලිප්ටස් වගේම, කඳුකරේ සුදුසු නුසුදුසු හැම තැනම එළවලු වවන එකත් අන්තිම හානිකරයි.. මිනිස්සු ජීවත් වෙන්න ඕනි තමයි. ඒත් අත නොගැසිය යුතු සොබා සම්පත්වලින් මිනිස්සු ඉවත් කරලා වගාවට සුදුසු තැන් දෙන්න ඕනි . මේක මේ දේශපාලන ක්‍රමෙන් පුළුවන් වෙයිද දන් නෑ
Deleteමටනම් කියවන්න පටං ගන්නකොටම ක්ලික් උනා.. මේ ගැන ඔබ දවසක ලියයි කියලත් දැන උන්නා.. ඩින්ගිරි මාමගේ වාර්ථාව බැලුවේ නැත්නම් ජූලි අගෝස්තුවේ බදුලු ඔයේ නාන්න ගිය මං වගේ එකෙක්ගෙන්වත් අහන්න තිබ්බා අඩුම ගානේ.. ඔය කාලෙට බදුලු ඔයේ දනිස්සට උඩින් වතුර තියෙන්නේ එහෙමත් තැනක විතරයි.. වනාන්තර විනාශය, ජල මූලාශ්‍ර විනාශ වීම, ගෝලීය උශ්නත්වය ගැන කතාකරන්න ලංකාවේ 'අල් ගෝරේ' කෙනෙක් නෑ.. හැබෑට මොනව කතා කරන්නවත් හරි හමන් එකෙක් නෑනේ ඕන කරන තැනක.. අපේ තාත්තා හීල් ඔයේ.. දැන් ඒ නම වෙනස් කරන්න වෙලා තියෙන්නේ හීල් දිය සීරාව කියලා..
ReplyDeleteකලණ මම උමා ඔය ගැන ලියන්න හිතාගෙන ගොඩක් දෙනෙක් එක්ක කතා කරා . ඒ අදහස් පරස්පරයි. ඒක නිසා මගේම අත්දැකීම් ටික ඇසුරෙන් මේ ටික ලියල දැම්මා
Deleteඅය්යාගේ ලියන රටාවට මම හරි කැමතියි ඔයා උමා ඔය ගැන කතා කරනවා කියලා ඔයාවත් දන්නේ නැති ගානටයි ලියන්නේ.
ReplyDeleteබොහොම ස්තුතියි මල්ලි. ඒ වගේම ඔයාගේ අලුත් බ්ලොග් එකටත් සුබ පතනවා
Delete'ලෝක ජල දිනය' වෙනුවෙන් මුරුගසන් වැස්සක්..........
ReplyDeleteතිර රචිත දර්ශනයක් වගේ!
ඔව් අනික මේ වැස්ස ආවේ අවුරුද්ද්කටම දවස් තුන හතරක් විතරක් වහින තැනකටනේ
Deleteදියසේනගේ දිනපොත හිත හිරිවැට්ටුවා.
ReplyDeleteඅවුරුදු විස්සකට විසි පහකට එහා අතීතෙ පුංචි පුංචි දියා පාරවල් මහ ගොඩක් තිබුන කිණිගමදි අපි මුණ දුන්න ජල හිඟය මතක් උනාම අද තත්වය ගැන හිතාගන්නවත් බෑ.
පහුගිය සති අන්තෙ අපි මෙහේ කඳුකරේ හිම ක්රීඩා කරන්න ගියා. කඳු මුදුනට යන පාරෙ වැඩිපුරම තිබුනෙ උමං. පාරක් කපන්න කියලා කිසිම තැනකදි කන්ද කපලා නෑ.සමහර උමං කිලෝමීටර් 5 ටත් වැඩියි. ඒවා දකිනකොට මට හිතුනෙ මේ මිනිස්සු මිළ මුදල් , තාක්ෂණයෙන් වගේම..ආකල්ප වලිනුත් අපිට වඩා කොච්චර පොහොසත්ද කියලා. ස්වභාවික පරිසරයට වන හානිය අවම කරලා තමයි හැම සංවර්ධනයක්ම කරන්නෙ. අන්න ඒකට අපි.
දිය වැල් තිබුනි
උතුරන්නට හතර අතින්
ඇල දොල පිරුනි
වපුරන්නට කුඹුරු පුරන්
දන මන පිරුනි දැක
දසතින් නිල්ල නුවන්
කිම නොදකින්නේ අද
ඒ දුටු සොඳුරු දසුන්..........
හිරු රෂ්මියට පෙම්බැඳි
පොඩි කිරීබ්බන්
රෑන පිටින් එහෙ මෙහෙ
ගිය කාවයියන්
ඉඳහිට දාක
බිය කෙරුවත් දියබරියන්
කිම අද නැත්තේ
දැකගන්නට ඒ සෙල්ලන්.........
කෙකටිය කැකුළු තුරු
ගොමු වල ලගිති බිඟුන්
හැම පෝදාම වෙහෙරට
යති ඕළු නෙළුම්
සැම සිත් සතන් තුටු
කෙරුනත් නිබඳ ඉතින්
කිම අද නැත්තේ
පුදසුන් මත කුමුදු සමන්.......
ඉවුරු කොනේ හොර
අල්ලපු මාන කොකුන්
බක බක ගගා
පැන පැන ගිය දිය මැඩියන්
ගුවනින් ගිහින් තතු
විමසපු බත් කූරන්
කිම අද දකිනු
අඩුවෙන් මට කියනු ඉතින්
සැලසුම් නැතුව නිමවුනි
නොයෙකුත් කෙරුමන්
වසවිෂ එක්ක කුනුරොඩු
ගොඩවුනි කඳුවන්
උහුලනු බැරුව මිහිමඬලත්
විය උනුසුම්
සමබර සියළු දෑ
අද ඇත වී සුන්බුන්......
(කීර්ති අතපත්තු. 2015 ලෝක ජල දිනය නිමිත්තෙනි)
මේ ජල දිනය වෙනුවෙන් අපේ පීඨයෙන් කරපු සඟරාවකට මගේ හස්බන්ඩ් ලියපු පැදිපෙලක්. මේ පෝස්ට් එකට ගැලපෙනවා කියලා හිතුන නිසා ඇමිණුවා.
ගොඩක් දියුණු රටවල් සංවර්ධනයට සමාන්තරව පරිසරය රකින එක ගැන ඉහලින්ම සැලකිලිමත් වෙනවා. මිනිස්සුන්ගේ ආකල්පත් දියුණු නිසා තමයි එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ නේද? මේ ලිපියට උත්තේජනයක් වුනා ඔබේ සුන්දර්බාන් කෙටි කතාව .බොහොම ස්තුතියි. ඔබේ සුන්දර්බාන්ගේ( හස්බන්ඩ්ගේ) කවි ටික ලස්සනයි කියන්න. දෙන්නාම ලියන්න කියන්න කැමති වීම හරි වාසනාවක්. සුබ පැතුම් !
Deleteසුන්දරබාන් හරියට ජීවිතේ කොටසක් වගේ. "සුන්දරී" කියවපු එකම එක්කෙනෙක් හරි ඒක ගැන හොයන්න ඒක බලන්න යන්න හිතනවා කියලා දැනගත්තම දැනුන සතුට විස්තර කරන්න අමාරුයි....
Deleteස්තූතියි ජයග්‍රාහී සතුටක් ලබන්න ඉඩ දුන්නටත් " සුන්දරී" ට දියසේනගේ දිනපොතින් ඉඩ ටිකක් දුන්නටත්... තිලක සිත හරහා ඇවිත් කීප දෙනෙක්ම සුන්දරීගෙ සුන්දරත්වය විදලා තිබුනා... ස්තූතියි එයටත්..
අර ලියලා තිබුන සමන් ඩයරබා හන්දිය කිට්ටුව කෙනෙක්ද?..
සඳ වියමන්,
Deleteඔබේ 2014 ලියලා තියෙන කෙටි කතා දෙකම කියෙව්වා අද දවසේ උදෙන්ම.අර "අත්තම්මා"කතාව කියවලා ඇහට කඳුළුත් අවා."පොරොන්දුවත්"හරි අපුරුයි.
බොහෝම ස්තූතියි තිලකේ අයියාටත් ඒ ලස්සන "සඳ වියමනට"පාර පෙන්නුවාට...:)
මේ මහපොළොව මිනිසාට අයිති නැති බව අපි දනිමු. මිනිසා අයිති වන්නේ මහපොළොවටයි. ඥාතීන් සියලු දෙනා එකම ලේ බැම්මකින් බැදෙන්නාක් මෙන් මෙළොව ඇති සියලු දෑ ද එකිනෙකට බැඳී පවතී. ජීවන ජාලය වියන ලද්දේ මිනිසා විසින් නොවේ. ඔහු හුදෙක් එහි එක් වර පටක් පමණකි. ඔහු මෙම ජීවන ජාලයට යම් බලපෑමක් කරයි ද, හෙතෙම එය තමන්ට ම සිදුකරගත්තා වේ”
ReplyDelete- සියැටල් ප්‍රකාශය -
සියැටල්ලාගේ අදහස්වල වටිනාකම තව ඉස්සරහට දෙතුන් ගුණයකින් වැඩි වෙලා දැනෙයි.
Deleteමාර්තු 22 ට යෙදෙන 'ලෝක ජල දිනය' වෙනුවෙන් කෙටි දේශනයක් කරන්න. ඒත් කලාතුරකින් ආපු මුරුගසන් වැස්ස නිසා ඒ වැඩේ අවලංගු වුනා
ReplyDeleteවැස්ස ජල දිනේට කැමති නැද්ද මන්දා
ඒකනේ ජල දිනේ අල වුනා
Deleteඇත්ත දිනපොතක් ලීවොත් මොන තරම් සුන්දර දේවල් ලියවෙයිද? :)
ReplyDeleteඇත්ත දිනපොතත් ලියන්න හිතෙනවා පොඩ්ඩි ඔහොම කියනකොට:)
Deleteප්‍රවේශය කදිමයි..
ReplyDeleteස්තුතියි දේශෝ . ප්‍රවේශයෙන් පස්සේ ඉතිරි ටික තව දියුණු වෙන්න ඕනි නේද ?
Deleteලෝක ජල දිනය ගැන මීටත් වඩා කතාවක් තවත් කොහෙද.....
ReplyDeleteමතක සටහන් එක්කම කියැවෙන කාලයත් එක්ක අපේ පරිසරයට සිදුවුණ හානිය හිත කීරිගස්වන තරම් වේදනාත්මකයි..
ලියවිල්ල අපුරුයි...
තමන්ගේ දෑතින් නාස්ති වෙලා යන ජල බින්දුවක් ගැන උණත් සැලකිලිමත් වෙමු.
ස්තූතියි තරූ . මම අද කියෙව්වා එක හාල්ෆ් ෂීට් එකක් හදන්න වතුර ලීටර් 7ක් යනවලු . අපි කොළයක් පරිස්සම් කරලා දෙපැත්තම ලියනවානම් ඒකෙනුත් වතුර ඉතිරි කර ගන්න පුළුවන්
Deleteඅපේ ලෝකය ගැන හිතෙන කොට, අනාගතයේ එහි ඉරණම ගැන හිතන කොට දැනෙන බිය, දුක ඔබේ දිනපොත කියෙව්වමත් දැනුනා.අපේ රටට වෙන දේවල් පාලකයින්ට පේන්නෙ නැත්තෙ ඇයි?
ReplyDeleteඔබේ බස නම් ඉතා සන්වේදීයි. වචන හිතට පවන් සලනවා වගේ.සරල වචන, බරපතල ප්‍රස්න ගැන කතා කරනවා.
පරන පෝස්ට් කියවන්න පස්සෙ එනවා.
ස්තුතියි නිල් මානෙල් . සාදරයෙන් පිලි ගන්නවා .හීං සැරේ ඉතිරි පෝස්ට් ටිකත් කියවන්න . සාදරයෙන් පිලි ගන්නවා
Deleteලෝක ජල දිනයේදී කාන්තාරයට තෑගි වැස්සක්. හරිම අපූරු ලියවිල්ලක් වෙනද වගේම.
ReplyDeleteඅපේ අතීතයේ තිබූ වාරි තාක්ශනයට, ජල කලමනාකරණයට අලගු තියනවත් දැන් තියන තාක්ශනයට බෑ. නම ප්‍රසිද්ධ කරගැනීමේ පරමාර්ථයෙන් කරපු දියසේන උන්නැහෙගෙගෙ වැඩ ගොඩක් අසාර්ථකයි
බොහොම ස්තුතියි කම්මල. දැන් පරිසර සංරක්ෂණය ගැනත් ජල කළමනාකරණය ගැනත් හිතනවුන්ගේ කැරැල්ලක් එන්න ඕනි කාලයයි
Deleteu just made me cry!!!
ReplyDeleteපියැසි කවුළුවෙන් බේරී ගෙට එන
කලා පිරූ වටකුරු රෑ සඳ
වැලි කතරින් මා ඔසවා ඉහළට
නිදි කරවයි මගෙ සා පැටවුන් ළඟ
you are so kindhearted
Deleteහිතන්න බොහෝ දේවල් රැගත් ලිපියක්.
ReplyDeleteදේශනේත් කරගන්න පුළුවන් වුනා නම් තවත් බොහෝ දෙනෙක් ජල දිනයේ වටිනාකම හඳුනා ගනීවි.
දේශනේත්.. යකෝ මට අලුත් නමක් දාලා නේ.. හැක්
Deleteස්තුතියි තුශානි.
Deleteදේශකයා පේටන්ට් අරන් ?
තිලකෙ දැකල තියනවද රන්ටැඹේ පාර හරහට යන ඔය උඩහ පාංශු ඛාදනය නිසා ගොඩවෙලා වතුර යන චැනල් එක 1/3 ට අඩුවෙලා තව මැද්දෙ දූපතුත් හැදිල තියන හැටි ?
ReplyDeleteලඟදිනම් ගියේ නෑ ප්‍රා . ඒත් මම ඔය කතාව ඇහුව . කඳුකරෙන් හේදිලා එන පස් තමයි ඔය.බෝංචි හා අර්තාපල් වගාව හින්දත් බෑවුම්වල සෑහෙන්න පස හෝදාගෙන යනවා. දියුණු වගා ක්‍රම හොයා ගන්න වෙනවා.
Deleteඇත්ත දින පොතක විස්තරද මේ? අදමයි මෙ පැත්තට අවෙ... මොනා උනත් වටිනවා.. සුබපැතුම්
ReplyDeleteඇත්ත දිනපොතක් තමයි.තාම ලියන්නේ පරණ ඒවා . බොහොම ස්තුතියි මංගලා. මේ පැත්තට සාදරෙන් පිලි ගන්නවා.
DeleteIt's my first day.. today..
ReplyDeletebut I read almost all.
I don't know how to say it.. WOW!!
Wonderful writing!!
I got a new place to spend my free time....
I found another wonderful reader. I'm so happy.Thank you so much.
Deleteඅපේ තියෙන වටිනාකම් අපි තේරුම් ගන්න කොට අපි ප්‍රමාදයි තිලකයියා.
ReplyDeleteඊනියා සංවර්ධනය අපේ හැමදේම විනාශ කරලා.
මේවා ගැන ප්‍රමාණවත් හඬක් මතු වෙනවනම් ඉතිරි ටික හරි බේරා ගන්න පුළුවන් වෙයි. කොහොම උනත් ප්‍රශ්නේ බොහොම සංකීර්ණයි
Deleteලෝක ජල දිනයට වැස්සක් තරම් හොඳ දෙසුමක් තව කොයින්ද කියලා අහස කල්පනා කලාලු.
ReplyDeleteකෙටි චිත්‍රපටයක් බැලුවා වගේ
ඒකනම් ඇත්ත. බොහොම ස්තුතියි බින්දි
Deleteමම හිතන්නෙ අපේ රටේ කිසිමකෙනෙකුට හිතක්වත් වෙලාවක්වත් ඇති කියලා ලෝක ජල දිනය වගේ කන්සෙප්ට් එකකට කන්සන්ට්‍රේට් කරන්න. කාලකන්නිම විදියට පොලිටික්ස් කරගහගෙන කිසිම වැදගම්මකට නැති සාකච්චා විතරමයි හැමතැනම ඇහෙන්නේ, පේන්නේ. කවද්ද අපි ඇහැරෙන්නෙ..කවුද අපිව ඇහරවන්නෙ..
ReplyDeleteබලපන් අර දිය යට කැබිනට් මීටිමක් තිබ්බ මාලදිවයිනේ ජනාදිපති අද කොහෙද කියලා...ඒ මනුස්සයා ඒක සංකේතාත්මකව කලා කොපන්හේගන් සමිට් එකට එන ඈයොන්ගෙ ඇහැ ඇරෙන්න...
තව ගම්මාන කීයක් ගිලා බසින්න ඕනිද, කඳු කීයක් නාය යන්න ඕනිද...අපිට ඇහෙරෙන්න....
ජල දිනේ ගැන වගේම තමයි රටේ ක්‍රිටිකල් ප්‍රශ්ණ ගැනත් කිසිම කතා බහක් නැහැ . වැඩකට නැති කතා මැද වැදගත් කතා දිය වෙලා ගිහින්
Deleteකාලෙකට පස්සෙ අපූරු වැස්ස නේද තිලක්?......හැමදාම අහින දකින දේ අගේ නෑ කියනවනෙ...ලංකාවෙදි පළුයන්ට බනින වැස්සෙ අගය තේරෙන්ට මෙහෙටම එන්ට ඕන..:)
ReplyDeleteසති දෙකකට විතර පස්සේ තමයි උත්තර ලියන්න ලැබුනේ. දැන් අපට වැස්ස ඉවර වෙලා වැලි කුණාටු ගැන කතා කරන වෙලා නේද රවී
Deleteහරිම ලයාන්විත ලියැවිල්ලක්. කෙටි චිත්‍රපටයක් බැලුවා වගේ.
ReplyDeleteබොහොම ස්තුතියි බස්සි
Deleteමම හිතුවෙම තිලකෙගේ දිනපොතෙන් ගනිපු කොටස් කියලයි.
ReplyDeleteවැස්සෙ වටිනාකම තේරෙන්නෙ මෙහෙ ඉන්නකොට.මම ලංකාවට ගිහිං මාසෙකට කිට්ටු වෙන්න හිටියා.වැස්සක් කවදාහරි වහීනෙ කියල නමුත් මම ආපහු එනතුරුම වැස්සෙ නෑ.හැබැයි මම ලංකාවට ගිය අතරෙ මෙහෙට නං වැහල තිබ්බා.
මමනම් මෙහෙ වැස්ස ඉවර වුනාම ලංකාවට ගියා . එහෙත් හැමදාම හවසට වැස්ස
Deleteවතුර,
ReplyDeleteටික දවසක් යද්දී නැත්තටම නැති වෙලා යයිද මන්දා....
වතුරත් තෙල් වගේ අරාබියෙන් ගේන්න වෙයිද දන් නෑ නේද ?
Deleteඋපුටා ගැනීම - සුනේත්‍රා රාජකරුණානායකගේ "නන්දිතය" කෘතියෙන්
ReplyDelete" ඉර
වතුර
මල්
සිනා සිනා
ඉර
වතුර
තිරිඟු
ම්...ම්...
ඉර
උගුර
වතුර
සල්ලි
ආහ්
බොහොම ස්තුතියි උපුටා දැක්වුවාට
Deleteමොකක් කියන්නද මන්දා? ලියල් තියෙන විදිහ ලස්සනයි, ඒත් කියවල ඉවර වුනාම හිත දැනුනෙ බරක්. අපි එදා දැකපු සොභාව සෞන්දරය්‍ය අද නෑ , හැමතැනම ගෙවල්. ඒත් මේ වැඩි වන ජනගහනය කොහේ හරි ඉන්නත් එපෑ. ඒත් මේ විදිහට පරිසරය විනාස වුනොත්, ඔය කියපු කාන්තාර වැස්ස අපේ ගම් වලටත් එන්න බැරි නෑ
ReplyDeleteවැඩිවෙන ජනගහණය නිසාම නෙවෙයි බස්සෝ මේක වෙන්නේ ඉවක් බවක් නැතිපාරි භෝජනය නිසා
Deleteමේක නියමයි, සියැටල් කියෙව්වා වගේ ආපහු. බොහොම කාලෙකට කලින් දාපු එකක් වුනත් පරක්කු වෙලා හරි කියවන්න ලැබුණු එකත් පිනක් .
ReplyDeleteබොහොම ස්තුතියි ඉවාන්. කාලෙකට කලින් ලිව්වා වුනත් කොමෙන්ට් ටික කියවලා උත්තරයක් ලියන්න ලැබුනේ අදයි
Deleteඅපූරුයි.
ReplyDeleteමම ඔබගේ ලිපි කියවා නැහැ. මට මේ බ්ලොග් අඩවිය ගැන කිවුවෙ මගෙ බොස්. ඔබගෙ බැචෙක්. ඔහු දීපු ලින්ක් එකෙන් මෙතෙන්ට මම ආවෙ මේ දැන්.
ReplyDeleteමවුස් එකේ මැද රවුම කරකවල උඩට පහලට යනවිට මගේ ඇහැ නැවතුනේ ඉබේම වගෙ 2010 අගෝස්තු 3 ලඟ. මම කියෙවුවෙ ඒක විතරයි. ඒකෙ මේ කෑල්ල දැක්කම මට පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුන.
//'මේ ගඟ පටන් ගන්නේ අපේ ගෙවල් ගාවින්' මම පුරසාරමක් දෙඩුවා. ඒකට රමණී විතරක් නෙවෙයි ප්‍රභාකරන් මැරිච්ච දවසේ කන්තෝරු මේසෙට ඔලුව ගහගෙන අඬපු ගුණසීලනුත් හිනා වුනා.//
මගෙ ප්‍රශ්නෙ තමයි ඇයි එදා ගුණසීලන් ඇඬුවෙ? ඔබට හිතෙන විදිහට ඔහුට එදා මොකද්ද හිතෙන්න ඇත්තෙ? මට මතකයි ප්‍රේමදාස මහත්තය මැරිච්ච දවසෙ අපේ අම්ම බුදුන් වැඳල එතුමට පිං දුන්න. ඒ ඔහු අපිට මෙලෝ ලබ්බක් කරල නිසා නෙමෙයි. අඩු ගානෙ අපි කවදාවත් ඔහුට ඡන්දයක් දීලත් නෑ. නමුත් එතන තියෙන්නෙ දේශපාලනයට වඩා රටේ නායකයට තමන්ගෙ හිතේ ඇඳුනු ප්‍රතිරූපයකට කරන ගරු කිරීමක්.
මට තියන ප්‍රශ්නෙ ගුණසීලන්ට තිබුනෙත් ඒ වගෙ තමන්ගෙ එකෙක්ව නැති වීම පිළිබඳව, තමන්ගෙ ජීවිත කාලය තුළ තමන් තුළ අභිමානයක් ඇතිකරපු වීර චරිතයක් නැති වීමේ දුකද? එසේ නැත්නම් ඊට එහා ගිය ඔවුන්ගේ අයිතීන් දිනා ගැනීමේ අරගලය පරාජය වීමේ ඊලාම් සිහිනය බොඳ වීමේ දුකද?