Saturday, December 22, 2018

ඔහේ කවුපි ගන්නවැයි ?

උඩවලවේ ජලාශය-
ඩවලවේ වැව් බන්ට් එක දිගේ ගිය ගමනක් ගැන සිලිකන් වැල්ලේ ලිව්වා . එහෙම යද්දී පරණ සිද්දියක් මතක් වී තනියම හිනා ගියා. මේ දුටු ඔවිනී මගෙන් ඇහුවා "ඇයි තාත්තේ තනියම හිනා වෙන්නේ" . ඉතින් මම කතාවේ කොටසක් ඇයට කිව්වා . මේ කතාවේ ඇයට නොකීව කොටස .
කාලෙකට   ඉස්සර මම ඇඹිලිපිටි කරදාසි කම්හලේ පුහුණුවකට ආවා. මටයි අපේ බැචා පොඩි බමුණුටත්  මතක් කර කර රස විඳින්න පුළුවන් කාලයක් . ඒ දශක කීපයකට ඉස්සර .  ඒ වෙද්දී කරදාසි කම්හලේ නිෂ්පාදන කෙරෙනවා. ඒ කතන්දර මම පත්තරේටත් ලියලා තියෙනවා .

බැචාටත් මටත් නවාතැන් හම්බුනේ කරදාසි කම්මලට අයත් ගෙස්ට් හවුසියේ . එය හොඳම තත්ත්වයේ නවාතැනක් . මෙහිම නවාතැන් ගත් තව කිහිප දෙනෙක් හිටියා . ගර්කින් සහ කෙසෙල් වගා කරන සමාගමක සේවය කළ මිතුරන් දෙදෙනෙක් හිටියා. ඒ දෙන්නාට තිබ්බ විවිධ උන වර්ග නිසා අපි නම් දෙකක් දාලයි තිබ්බේ ඩෙංගු සහ සහලෝලා කියලා .  ඒ දෙන්නා  හරිම ක්රියාශීලීයි. වැඩ, වලි , සිරා ටෝක්.කෙළවරක් නෑ.

ඒ කාලයේ මම ඉරිදා හවස බණ්ඩාරවෙලට ඇවිත් එතනින් කොළඹ බස් එකක රතන්පුර තිබ්බ බමුණුසින්හලා ගෙදරට යනවා . බමුණුගේ  අම්මාගේ ආදර සැලකිලි ලබමින්,  තාත්තාගේ පොරටෝක් හා රස කතා අසමින් රාත්‍රිය ගත කොට අපි පහුවදා පාන්දර බස් එකේ ඇඹිලිපිටි යනවා.  යද්දී හම්බවෙන ගම් නගර නාමවල පවා තිබ්බේ අමුතු රසයක් .  පැල්මඩුල්ල, කෙටේතැන්න , කහවත්හ, වැල්ලඳුර, ගොඩකවෙල, කොළඹගෙආර  . ..

සිකුරාදා ආපහු ගෙදර යනකොට මම තෝරා ගත්තේ ඇඹිලිපිටි ඉඳන් උඩවලව වැව් බන්ට් එක දිගේ තණමල්විලටත් එතැනින් වැල්ලවාය හරහා බණ්ඩාරවෙලටත් යන මාර්ගය.
උඩවලවේ ඉඳන් තණමල්විල පාර ඒ දවස්වල හරිම දුෂ්කරයි. බස් ඉතාම අඩුයි , වැව් බන්ට් එකෙන්  එහාට හද්දා දුෂ්කර ගම්මාන. ඉලුක් හෙවිල්ලු වරිච්චි ගෙවල්  තැනින් තැන තිබුනා .පෙට්ටි  කඩයක් හෝ දෙකක්  තිබුනා .

සෙවනගල උක් පර්යේෂණ ආයතනය ඉදි කරන්න අපේ අයියාගේ හොඳම යාලුවෙක් වූ කරු අයියා ඇවිත් හිටියා. ඔහුට පරණ නිල නිවෙසක්ද තුබුණා. එක සිකුරාදාවක් හවස ඔහුගේ නවාතැනේ ගතකර සෙනසුරාදා පාන්දර උඩවලවේ බන්ට් එක උඩට ආවේ තණමල්විල බසයක් අල්ලා ගන්නයි.

පැය බාගයක් විතර හිටියාට බස් එකක් නැති පාටයි. ඒත් ඒ හරියෙන් කොළඹින් බඩු පටවා ගත් ලොරි කීපයක්ම ගියා. මේ ලොරිවලත් ඉඳ හිට මගීන් එකෙක් දෙන්නෙක් ගමන් කළා. ඒ නිසා අපි ලොරි වලටත් අත දැම්මා .

එක කුඩා ලොරියක් නතර කළා . රියදුරා විතරයි . බුරුස් රැවුලක් තියෙන හිනා වෙන්නේ නැති කෙනෙක්.
' තනමල්විලටද යන්නේ? කරු අයියා ඇහුවා /
බුරුස් ඔව් කිව්වේ  අංග චලනයෙන්.
' මේ අපේ මල්ලී  තණමල්විලෙන් බස්සලා යන්න පුලුවන්ද. ගානක් දෙන්නම් '
බුරුස් ' හ්ම්" කිව්වා  .
මම ලොරියේ වම්පස අසුනෙන් ඉඳගත්තා. යනගමන් මම ඔහුව කතාවට අල්ලා ගන්න හැදුවා .
කොළඹ ඉඳන්ද එන්නේ ?
'ම්හු'  කිව්වා
එහෙනම් රත්නපුර  ඉඳලද :
'හ්ම්'
මට දුක හිතුනා . අනේ ගොළු මනුස්සයෙක් . මමත් එතනින් එහාට අතින් පයින් පොඩි පොඩි කතාවක් කරැගෙන මේ ගොළු හිතවතා එක්ක දිගටම යනවා.

ඔහොම ලොරිය ටික දුරක් ගිහින් . පාලු තැනක තිබ්බ කඩයක් ගාව නැවැත්තුවා. වට්ටක්ක ගෙඩි ටිකක්. ඉරිඟු , කුරක්කන්  වගේ ඇට පිරිච්ච කුඩා බක්කි කීපයක් ඇරෙන්න කෙහෙල් කැනක්වත් ඒ කඩේ තිබ්බේ නෑ.
ඒත් කඩේ ඇතුලේ හිටි මුදලාලි හාමිනේ පුෂ්ටිමත් මෙන්ම පැහැපත් එකියක් වුනා . අපේ රියදුරා දුටු හැටියේම ඇගේ මුහුණ පිපී ගියා .

ඔහු ලොරියෙන් බැස්සා . මෙන්න කතා කරන්න බැරි මිනිහා මහා හයියෙන් අහනවා .
" අලුත් කවුපි ආවේ නැතෙයි ?
"ආවා අවා එන්ඩ එන්ඩ අයියා
 ඇය කීවා . බුරුස් කඩේට ගියා . කඩ බක්කිය අද්දර ඔහේ කතා කර කර හිටි  දෙදෙනාම ටික වෙලාවකින් මගේ දර්ශන පථයෙන් ඈත් වුනා වගේ  දැනුණා  .

මම තනියම කල්පනා කරනවා. මාර තොප්පිය මේ යකා කොච්චර වෙලා මෙතන ලගියිද දන්නේ නෑ . බැහැලා යන්න  හැටියකුත් නැතියෙන් මම ඔහේ බලාගෙන හිටියා. මට පොඩි නින්දක් ගිහින් ඇහැරෙනකොට බුරුස් බුලත් විටකුත් එහෙම  කාලා පොඩි හිනාවක් දාගෙන එනවා අත් දෙකම වනමින්.

මම  එක පාර මෙහෙම ඇහුවා  . ( ඒ වෙනකොට මම මාතර ඇඹිලිපිටි කටවහරට හුරුවෙමින් හිටියේ )
" ඔහේ කවුපි ගත්තේ නැතෙයි ?"
අපේ යාලුවා කතා නොකරම ලොරිය මදක් ඉදිරියට පදවා ආපහු වේගය අඩු කර මගේ දිහා බැලුවා . ඒ බැල්මේ තිබ්බේ මෙහෙම එකක් .

' ඔහේ කවුපි ගන්නවැයි?



සේයාරුව : දෙව්නි
_
සිලිකන් වැල්ලට මෙතනින් යන්න 





Sunday, December 2, 2018

ගෙට්ටු ගෙදර හා ගොඩමුන්නේ

ම්මේ මෙහෙනම් මට ඉන්ඩ බෑ තාත්තගේ ගෙට්ටුගෙදර යමු..  කියමින් බෙරිහන් දෙන අපේ හිතවත් පවුලක දියණියක් එසේ අඬන්නේ මන්දැයි වරක් මම විපරම් කළෙමි .

එවිට දැන ගන්නට ලැබුනේ මගේ මිතුරාගේ  ඩිප්ලොමා පන්තියේ උන්  විසින් ලොකු හෝටලයක සාර සොබාවට  වාර්ෂික මිතුරු හමුව පවත්වා ඇති බවය . නැටුම් ගැයුම් වැයුම් හා රසමසවුළු පිරි රාත්‍රිය දරුවන්ටද අසිරිමත් එකක් වූ සෙයකි. ගෙදර ආ වෙලාවේ ඉඳන් පොඩි එකා කෑ මොර දෙන්නේ ආපහු සාදය තිබුණු හෝටලයට  එක්කාගෙන යන ලෙසයි.

මේ  get-together සාද  හෙවත්  ගෙට්ටු  අපේ මිතුරන් අතරේ හරි ජනප්‍රිය වදනකි. බලාපොරෝත්තු  දනවන්නකි . මගේ සමහර වැඩිහිටි මිතුරන් අවුරුද්ද ජීවත් කරවන බලාපොරොත්තුව ඊළඟ ගෙට්ටුවට යෑමය. ලැබෙන ඇරයුම් සියල්ල පිළිගන්නවානම් සතිපතා මොකක් හෝ ගෙට්ටුවක් තිබේ.   පන්තියේ උන් සෙට් එක. ඉස්කෝලේ උන්ගේන්  ගෙවල් ගාව ඉන්න සෙට් එක . ඉස්කෝලේ කොළඹ ඉන්න සෙට් එක . අහවල් රටේ වැඩ කරලා ඇවිත් ඉන්න සෙට් එක. මරණාධාර සමිතියේ සෙට් එක හා අර කොම්පැනියේ වැඩ කරපු උන් කට්ටිය  වාගේ විවිධ හමුවීම්  අතරින් මම වඩාත් කැමති මිතුරු හමු එකක් දෙකක් තිබේ .  මම කැමති විවිධත්වයෙන් යුක්ත වූ මිනිසුන් හමුවන තැන්වලටය. අපේ අල්ලපු ගෙදර අන්කල් ගේ වැඩිහිටි මිතුරු  පාටියේ ගෙට්ටුව එහෙම එකකි. නගරාසන්න මුල් ගම් වැසියන්, ඉඩම් හිමියන්, විශ්‍රාමිකයන් මෙන්ම සාමන්‍ය ගම්වාසීන්ද  එකතුවන මේ පාටියට මම සහභාගී වුනේ අමුත්තෙකු ලෙසයි. එය ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන එන විසිතුරු මිනිස් එකතුවකි. .

දෙවැන්න  අපි 1986 නත්තල් දවසේ පටන් ගත් දහයේ පන්තියේ සිටි උන්ගේ ගෙට්ටුවයි. සහුර්දයන්ගේ රාත්‍රිය නමින් කරගෙන ගිය මේ පාටි දැමිල්ල . පොඩි ට්‍රිප් එකකින් , කඳු නැගීමක්  හෝ වෙනත්  ආකාරයේ  දෙකින් අමුතු මිහිරක් දෙමින් කෙරගෙන ගිය එකකි .  දහයේ පන්තියේ සිටි උන් විවිධ විෂය ක්ෂේත්‍ර වලට බෙදී ගියෝය. කමුදා පොලිස් නිලධාරියෝ , ගුරුවරු ,ඉන්ජිනේරුවෝ , දොස්තරලා, ලොයර්ලා  මෙන්ම ප්‍රාදේශීය සභා  මන්ත්‍රීලා, කඩ මුදලාලිලා , ගොවි  මහත්තුරු මේ හැමෝම එතැන සිටින නිසා එම හමුව පණ ගැහෙන විචිත්‍ර එකකි. මේ පන්ති ගෙට්ටුවේ ජීවය වී ඇත්තේ  එක් දිරිමත් මිතුරෙක්ගේ හයියයි. අවුරුදු තිස් දෙකක් තිස්සේ වැඩිම බරක් අදින්නේ ඔහුය .

ඒ අතරේ අපේ බැච් එකේ ගේට්ටුවත්  නරකම නැත. බොහෝ දෙනෙක් සමරන්නේ තමන්ගේ පන්තියේ මිතුරු සාදය හෝ සරසවි බැච් ගේට්ටුව යන දෙක හෝ ඉන්යි එකකි . ඉස්සර අපි කැම්පස්  ඉන්නා කාලේ පවා ගේට්ටු තිබුනේය. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආපු මුළු සරසවියෙම විවිධ පීඨ වල ඉගෙන ගන්නා  කොල්ලෝ  කෙල්ලෝ අවුරුද්දකට සැරයක් පළාත් ගෙට්ටුවක් දැම්මෝය.   ඒ අනුව  බදුලු බණ්ඩාරවෙල උන්, කුරුනෑගල උන් ආදී වශයෙන් වෙන වෙනම සෙට් වුනෝය.

ඉස්කෝල ගෙට්ටුද කැම්පස් එකේ තිබුන අතර ඒවා සමහර විට කාන්තා හා පිරිමි ඉස්කෝල දෙකක් හවුලේ තිබිණි. ඒවා හරි ආඩම්බරෙන් හා අවශේෂ උන්ගේ ඉරිසියාව දනවන සිරියෙන්  පැවැත්විණි . අනුරාධපුර ගෙට්ටුව සංවිධානය කළ අපේ STB අත අවුරුද්ද පුරා පයිල් කවර දෙකක් තිබුනේය. ඉන් එකක සියලු අධ්‍යයන විෂයන්ට අදාළ සටහන්, කෝස්වර්ක් ආදිය සම්බන්ද ඒවාය. අනිත් පයිල් එකේ තිබ්බේ ගෙට්ටුව් සම්බන්ධ ලිය කියවිලිය.

අපේ බැච් එකේ දෙසිය  පණහක් විතර හිටියාට මුල් කාලයේ ගෙට්ටුවට එකතු උනේ යන්තම් විසිපහක් විතරය. . ඒ කාලයේ අපට වඩා අවුරුදු දහයක් විතර වැඩිමල් ජයසේකකර මහත්තයාගේ  බැච් ගෙට්ටුවට හත්තෑවක් විතර  හිටියේ මුළු ගණන එකසිය පනහකිනි .ඔහු අපේ වැඩබිමේ උපදේශක සමාගමේ නේවාසික ඉංජිනේරුවා වූ අතර මම හිටියේ කොන්ත්‍රාත්  සමාගමේ සැලසුම් ඉංජිනේරුවා හැටියටයි . ජයසේකර මහතා නිල රාජකාරිමය හෝ ඇකඩමික් විදිහට ඇර උනන්දුවක් දැක්වූ වෙනත් කිසිම අංශයක් ගැන මා හැර වෙන  කවුරුත් දැනගෙන හිටියේ නැත . එහෙත් එවැන්නක්ම ම දැන සිටියෙමි . ඒ ඔහුගේ වාර්ෂික බැච් ගේට්ටුවයි . ඒ නිලය අල්ලා ගත්තාට පසු මම සමහර වැඩ කර ගත්තේ ඔහුට ලබා දුන් මානසික  අල්ලස්වලිනි .

ඔහු මොන තරම් රුලට වැඩ කලාද යත් ඉස්පිල්ලක් පාපිල්ලක් වැරදුනත් වාර්තාවක් සැලැස්මක් අනුමත කලේ නැත . වතාවක් වගා ඇලක් සඳහා පාරේ  බෝක්කුවක් දමන කටයුත්තකදී ඔහු අපේ උන්ට දස වද දුන්නේය.
" අපි වැඩ කරන්නේ ගොවිතැන්  කරන මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක . ඒක නිසා මේ වැඩේ හරියටම   කරන්න ඕනි" .  මේ වැඩේ සැලැස්ම . වැඩ කරන පිළිවෙල,  දළ සටහන් ආදී සියල්ල කීප වරක් සංශෝධනය කරා වුනත් අනුමත වූයේ නැත . වැඩේ එක තැන හිර වෙලාය. අපේ විදෙස් ජාතික ප්‍රොජෙක්ට් මැනේජර්ද ඔහු සොයා ගොස් පින්සෙන්ඩු උනත් ඔහුත් පරාදය.

ඔහු ආපසු පැමිණ මේසය උඩ හැම දේම දමා ගසා මේසේ කීවේය.
' මේකේ තාක්ෂණ කරුණු ඔක්කොම හරි. කොන්ක්‍රීට්, කම්බි , බෝක්කු බට , දිග පළල හැම දේම පොතේ හැටියට . තවත් මොනවද ?

" මේ වෙලාවේ මම ලකණු දමා ගැනීමට සරසුනෙමි. "
දෙන්න ඕක මං දෙකක් කතා කරන්නම් . ජයසේකර උන්නැහැ අද මගෙන් පාඩමක් ඉගෙන ගනන්වා .

' මම මුළු කන්තෝරුවටම ඇහෙන්න හඬ  නගා පැවසුවෙමි . ඉන්පසු අපෙ ලොක්කා දමා ගැසූ ලියකියවිලි ටිකත් උස්සාගෙන ජයසේකර මහත්තයාගේ කන්තෝරුව පැත්තට  වේගයෙන් ඇවිද ගියෙමි .

මම ඇතුළු වත්ම . ඔහු මද සිනා  පෑවේ ඔහෙත් ඕක ඉස්සාගෙන ආවාදැයි අසමිනි .

"නෑ නෑ . මම මේක මගදී අපේ ලොක්කගෙන් ඉල්ලා ගත්තේ. නිකම් බලන්න  කියල  . මේ එක නෙවෙයි මිස්ටර් ජයසේකර මේ සැරේ බැච් ගෙට්ටුව කවද්ද තියෙන්නේ ?"
  කියා ඇසුවේ එය පසුගිය සතියේ ජයට පැවැත්වූ  බව ඔහුම කී හැටි  අමතක වුන විලාසයෙනි.

වහා හරිබරි ගසා වාඩි වූ ඔහු මුහුණ පුබුදු  කර ගන්තේය .

' ඈ ඒක තිබ්බනේ ළමයෝ ගිය සුමානේ දඹුල්ලේදී . මේ සැරේ නියමයි. රට ඉන්න සෙට් එකත් ඇවිල්ලා හිටියා. : අපි සේරමල්ල සීගිරි ගියා 'අපි කතා උනේ ලබන පාර එක මේ දැම්ම ඉඳලා ඔර්ගනයිස් කරන්න පටන් ගන්න .
ඔහු හොඳටම අප් වෙලාය .

' ඉතින් ඉතින් ජයසේකර මහත්තයාගේ පරණ ගෑණු ළමය එහෙමත් එන්න ඇති නේද ? ;

ජයසේකර කොක් හඬලා සිනා සේද්දී මම හීන් සීරුවේ ෆයිල් මිටිය දිග ඇරියෙමි. මේ බලන්න අපේ උන්ට කිව්වට වැඩක් නෑ . අනේ මිස්ටර් ජයසේකර ලොකු අඩුපාඩුවක් නැති එකේ මෙන්න මේක ඇප්රූ  කරලා දෙන්න .

' ඔහු සිනා සෙමින්ම මගේ ලියකියවිලි තොගය අතට  ගත්තේය' ඉන්පසු ඇත්තටම ඉතිරිව තිබු පොඩි පොඩි ස්පෙලින්ග් මිස්ටේක්  කීපය  සකසා දී අනුමතයි කියා සටහනක් යෙදුවේය'

ඔහු දිගටම  ගෙට්ටුව ගැන කියද්දී  මම පස්සේ කතා කරන්නට එන්නම් කියා ඔහු අස්වස්සා ආපසු කන්තෝරුවට දිව ආවෙමි.

මම අපේ ලොක්කාටත් වඩා වේගෙන් කොළ කෑලි ගොඩ රවුම් මේසය උඩ අත හැරියෙමි .
' හෙට වැඩ පටන් ගන්න කියන්න කට්ටියට '
මගේ ප්‍රොමෝෂන් පිටුපස මේ වගේ කතාද තිබෙයි.

******************

මේවා කොයි හැටි උනත්  අද උදේ මම ගෙට්ටුවක් ගැන කල්පනා කරමින්  හිටියේ මේ විදිහට ලියන්නට නෙවේය. හැමදාම හැම තිසේම දකින එකම ක්ෂේත්‍රයේ උන් හමුවීම එපා වී සිටි සමයක අපේ ඉස්කෝලේ ගෙට්ටුව මෙන්ම නැවුම් තාලේ කැම්පස් ගෙට්ටුවක් ගැන ලියන්නටය .විද්‍යා, කලා, ඉංජිනේරු, මෙඩිකල් , ඩේන්ටල්, ඇග්රි ඇතුළු ෆැකල්ටි සියල්ලේම එකතුවෙන් පටන් ගෙන මෝදු වෙන තවත් විසිතුරු ගෙට්ටුවක් ගැනය.  වැඩේ හරියට කරන්න නම් මේ කියන ෆැකල්ටි සියල්ලේ සිටි හැමෝම දන්නා එකෙක් සිටිය යුතුය. ඔහු හෝ ඇය  අවුරුදු විසි පහක් තිස්සේවත්  හමු වූ සියලු දෙනා සමග අඛණ්ඩ ඇසුරක් පවත්වාගෙන යන හොඳම හොඳ පී ආර් එකක් තිබෙන එකෙක් විය යුතුය.

පුදුමය කියන්නේ එහෙම එකෙක් සිටියේය . මා දන්නා උන් අතරින් හොඳම මානව සම්බන්ධතා හැකියාවන් තුබුණේ ඔහුටය. ඔහු කරමින් සිටියේ ඔහුගේ හැකියාවට ගැලපෙනම රස්සාව වූ පේරාදෙනි සරසවියේ මහජන සම්බන්ධතා නිලධාරී තනතුරයි.   ඒත් අවාසනාවක මහත අපට ඒ ගෙට්ටුව හෙවත් මිතුරු හමුව තියන්නට වන්නේ අපේ සමකාලීන සරසවි සගයෙකු  වූ, මේ සුවිශේෂ මිතුරාගේ  මළ ගෙදරදීය. අද උදේ කුමාර  ගොඩමුන්නේ හර්දයාබධයකින් මිය ගියේය. ඒත් සමග ඉසියුම් තතකින් දශක දෙක හමාරක් තිස්සේ එක්කාසු කොට  තිබූ බොහෝ මිනිස් බැඳීම්  ජාලයක්ම  දුර්මුඛ වී ගියේය.




Saturday, November 24, 2018

බහීගේ දවස් හත -2




2018 නොවැම්බර් 18- මාලබේ බයිසිකල් ලේන් එක

අද මාලබේ සිට කඩුවෙල පැත්තට යනවිට පාරේ වම් පැත්තේ බයිසිකල් ලේන් එකක් සලකුණු කොට තිබෙනු දුටුවා. මෙය ඉතා සතුටු හිතෙන දැක්මක්. ඒත් එක්කම බයිසිකල් හා සම්බන්ධ වූ කතා වැල නොකැඩී මතක මං පෙතේ  ඉදිරියට මතු උනා . 

වරක්  මගේ මිතුරෙක් බයිසිකල් ගැන කිව්වේ වත්තල පැත්තේ හිටි දොස්තර  කෙනෙක්වත්  සිහිපත් කරමින්. 

'මචන් ඉස්සර   මමයි නෝනයි ළමයි දෙන්නයි අතරින්  එකෙක් හරි  හැමදාම සෙම වැඩි වෙලා අසනීප වෙනවා .  සතියකට දෙතුන් පාරක්  කාටහරි බෙහෙත් ගන්න අර කියන  දොස්තර  ගාවට යනවා .මෙහෙම මාස ගානක් ගියාම  දොස්තර දවසක් අහනවා මිස්ටර් ගාව රුපියල් හාරදාහක් විතර ගන්න තියෙනවද කියලා. ඒ කාලේ එක  වතාවක දොස්තර  ගාස්තුව රුපියල් දෙසියක් විතර තමයි වුනේ . මම පුදුමෙන්  වුනත්  සල්ලි හොයා ගන්න පුළුවන් කිව්වා" 
"එහෙනම් මෙන්න ඇඩ්‍රස් එක. අද හෙටම මෙතනට ගිහිල්ලා ඔය හතර දෙනාට බයිසිකල් හතරක් ගන්න. එතැන තියෙනවා රටින් ගෙනාපු රීකන්ඩිෂන් බයිසිකල්.  හොඳ එකක් රුපියල් දාහකට විතර ගත හැකියි. 
උදේට හවසට ගෙදර හතර දෙනත්තෙක්ක  බයිසිකල් රවුමක්  පදින්න . මටනම් බිස්නස් පැත්තෙන් පාඩු වෙයි . ඒත් කරලා බලන්නකෝ "

"මචං අපි එදාම ගිහින් බයිසිකල්  හතරක් ගෙනාවා  ළඟ පාත පාක් එකකට  දාලා හැමදාම බයිසිකල් පදින්න පටන් ගත්තා. සෙම දොස්තර හම්බවෙන්න ආයේ යන්න ඕනි වුනේ නෑ '

සිද්දියේ විද්‍යාත්මක පැත්ත මම දන්නේ නැතිමුත් ලෝකයේ බොහෝ රටවල බයිසිකල් පැදීමට දිරි  දෙන්නේ සෞඛ්‍යමය හේතු මෙන්ම පාරිසරික හේතු නිසා. ලෝකයේ මොන තරම් අලුත් සොයා ගැනීම තිබුනත් බයිසිකලය කියන්නේ  අපූරු නිර්මාණයක් . 
ස්ටේෂන් අසලින් කුලියට හෝ නොමිලේම ගන්නට තිබෙන බයිසිකලයක් තමන්ට ඕනෑම ගමනක් ගොස් නියමිත බයිසිකල් නැවතුමක රඳවා  යන්නට වෙනත්  දියුණු රටවල අවකාශ සලසා තියෙනවා. මැලේසියාවේ  බයිසිකල් කුලියට ගැනීම සඳහා  මොබයිල්  ඇප් එකක් හඳුන්වා දී තිබෙනවා .  

මෑත දවසක මට දැන ගන්න ලැබුනා මාදිවෙල පාරේ බයිසිකල් ණයට දෙන තැනක් ගැන. එතෙර රැකියාවක් කර හරි හම්බ කරගත් මුදලින් මේ බයිසිකල් සැපයුම් හල පවත්වාගෙන යන සොඳුරු මිනිසා ගැන කිහිප දෙනෙක් මට කියා තිබෙනවා.   ඔහුගෙන් බයිසිකල් ඉල්ලාගෙන ගිය සමහරුන් ඒවා රැගෙන අතුරුදන් වී තිබුනත් ඔහු තාමත් සේවාව සපයන්නේ නොමිලේ බව ආරංචි උනා.
ලබන සතිය දිහාවට ඔහු බලන්නට යන්නට ඕනි.

නොවැම්බර් 19 - සැශේ ජීවිත හා බිග් ඩේටා

අද ගෙදර යන  ගමන්  පාන් ගෙඩියක් මිල දී ගන්නට ඕනෑ වී සුපර මාකට්ටුවක් දෙසට වාහනය හැරවුවා. ඒත් එක්කම ඔවිනි විසින් අම්මාට දෙන ලද පැහිච්ච උපදෙසක් සිහියට ආවා . " අම්මේ ඔයාට ගන්න ඕනි පොඩි දෙයක්නම් ඔය ලොකු මාකට්වලට යන්න එපා පොඩි කඩේකට යන්න. මොකද අම්මා ගන්න ගිය එකට වඩා තව හතර පස් වර්ගයක් අරන් සල්ලි වියදම් කරගෙන තමයි එතනින් එලියට එන්නේ" .

මේ අතරේ වෙනදා යන සුපිරි වෙළඳ සැලේ බඩු තෝරා ගැනීමේදී මුහුණ දෙන ගැටළුවක් ගැන ඔවිනිලා අම්මා වරක් දෙවරක් මට පැමිණිලි කර තිබෙන්නේ මේ විදිහට .
" බලන්න අනේ  මේකේ මොනවත් හොයල ඉක්මනට බඩුවක් ගන්න බෑ . රාක්ක සැරින් සැරේ මාරු කරනවා. ගිය සැරේ තුනපහ තිබ්බේ පිටිපස්සේ රාක්ක පේලියේ දැන් ඉස්සරහටම අරන්. ඒ අස්සේ අර සබන් එව්වා මේවා කෙළවරකට දාලා "

" ඕවා කරන්නේ ඔයාලාගේම රුචි අරුචි කම් බලල තමයි "

" ඒ කොහොමද ?"
"මෙන්න මෙහෙමයි "  මට මෑත කාලේ මගේ IT මිතුරෙක් කියූ විස්තරයක් මම හොයා ගත් දෙයක් ලෙස දිග ඇරියෙමි

" දැන් මේකනේ ඔයාලා ඔය හැම මාකට් එකේම කස්ටමර් කාඩ් එකක් කියල දෙනවනේ. ඒකට පොයින්ට් වැටෙනවා. ඉතිරි සල්ලි වැටෙනවා  වගේ පොඩි වාසි අපට ලැබුනට මේ ෂොප් වලට හොඳ තොරතුරු මහා ගොඩක් ලැබෙනවා.  මිනිස්සු බඩු ගන්න රටාව  . සතියේ ඒ ඒ දවසට වැඩිපුර විකිණෙන දේවල්.  වේගයෙන් ඉවර වෙන දේවල්. නැවත  නැවත  ගන්න පෙළඹෙන්නේ මොනවද? එක පාරක් විතරක් අරන් නිකා ඉන්නේ මොනාද ඔය සේරම විස්තර .

"ඒවා අරගෙන මේ මාකට් චේන් අයිති සමාගම් විවිධ උපාය ක්‍රම  කිර්යාත්මක කරනවා.   ඒ වගේ ගන්න එක පියවරක් තමයි  මාස කීපයකට සැරයක්  රාක්ක පිටින් මාරු කරන එකත්  '

"තව ඔයා දන්නවද දැන් දැන් මිනිස්සු වැඩිපුර ගන්නේ සැශේ පැකට් . ග්රෑම් පනහේ කිරිපිටි පැකට් අරන් ඒ වෙලාවට විතරක් කිරිතේ හදන මිනිස්සු ඉන්නවලු "
.
ඇය පුදුමෙන් බලාගෙන හිටියා . ඒත් අපි ආයෙත් මතක් කර ගත්තා මීට අවුරුදු ගානකට ඉස්සර ගමේ කඩේ රුප රාමු  .

තේ කොළ අවුන්ස බාගයක්  , සීනි රාත්තල් කාලක්. පොල් තෙල් කාලක්, පරිප්පු  රාත්තල් අරික්කාලක්.  මේ මිනිස්සු නිතරම කඩෙන් ගත්තු දේවල් වල කිරුම් මිනුම් පරිමාණ.

අපේ ගමේ කඩේ සල්ලි  ලාච්චුව  ළඟ තංගුස් නුලක් එල්ලලා  තිබ්බා  . ඇයි දන්නවද ? සබන් කපන්න.

' සල්ලයිට් බාගයක් දෙල්ල මාමේ"  කියාගෙන රූන් රූන් කියාගෙන  කඩේට ආපු කොල්ලන් හිටියා , ඒකත් පොතට .
මුදලාලිගේ ණය පොත අර බිග් ඩේටා එකතු කරන කාඩ් එක වගේ . එක එක ගෙවල් වලින් ගන්න බඩු වර්ග. ණයට අරන් පරක්කු කරන උන් ගැන විස්තර ඒකෙ තියෙනවා .  මුදලාලි නිකන් ඉන්න හැම වෙලේම කරන්නේ ඔය පොත අරන් එහෙට මෙහෙට පෙරළමින් කල්පනාවට වැටෙන එක .

ඒ කාලෙ සුන්දරයි කියා සිතන යාලුවන්ට කියන්න සුබාරංචියක් තියෙනවා. සමහර ආර්ථික ගුරුන් අනුමාන කරන විදිහට අපි ආපහු ඒ (ණය) යුගයට පිය මනිමින් ඉන්නවා.

2018 නොවැම්බර් 21 - දිනපොතේ අනාගතය 

කත්යානා අමරසිංහ කියන්නේ පුවත්පත් කලාවේදිනියක්. නවකතා හා පරිවර්තන පොත් කිහිපයකම කතුවරිය. මුලින්ම විදුසරෙන් පිටියට පිවිසි ඇය ලක්බිමේ මංජුසාව අතිරේකය  සංස්කරණය කරමින් සිටියා හරිම අපූරුවට.  2016 වසරේදී ඇයට ඕනෑ වුනා අලුත් විදිහේ විද්‍යා හා තාක්ෂණ තීරු ලිපියක් ලක්බිම මන්දාකිණියේ පළ කරන්න . ඒ සඳහා ඈ මට ආරාධනා කළා . "අයියේ අර 'අසඩක්ගේ දිනපොත ' වගේ දින සටහන් වුනත් හොඳයි ".
අසඩක්ගේ දිනපොත කියන්නේ 1993-94 විතර කාලේ විදුසරේ පළවෙච්ච තීරු ලිපියක්. රචකයා අසෝක ඩයස්.  ඒ දින සටහන් හරිම සරල සිත් ගන්නා ආකාරයෙන් අසෝක ලිව්වා. ( ඒ දින සටහන් එකතුව 95 වසරේදී පොතක් වශයෙන් පළවුනා)

මම සිලිකන් වැල්ල  නමින් සති හත අටක් ලියාගෙන ගියේ ක්ත්යානාගේ ඇරයුමෙන් බිහි වූ ඒ තීරු ලිපිය. ඒක අසඩක්ගේ දිනපොත වගේ මටසිලිටි එකක්නම්  නොවෙයි. තරමක් දිග හෑලි. මගේම විදිහ.  ලිපිය  වඩා හොඳින් ලියවා ගැනීමට ඇය ගත් වෙහෙස හරිම ප්‍රසංශනීයයි . පස්සේ කාලෙක සිලිකන් වැල්ල බ්ලොග් අඩවිය පටන් ගත්තේ මේ විදිහේ ලිපි දිගටම ලියන්න හිතාගෙන. 

ඉතින් ලබන සතියේ ඉඳන් මගේ දින සටහන් ටික සිලිකන් වැල්ල බ්ලොගයේ  ලියන්නට තීරණය කළා.  මීට වඩා කෙටි සරල රටාවකට .
තිලක සිතට පරණ පුරදු ඉස්ටයිල් එකේ  කතන්දර කියන්නට ඉඩ තබමින් .....

Photo by Dewni




Saturday, November 17, 2018

බහීගේ දවස් හත -1


තියකට වතාවක් පෝස්ට් එකක් ලියනවයි කියලා  සිතා සිටියද වැඩේ හරි යන්නේ  නැති නිසා
පුළුවන් දවසට  දින සටහන් ලියා ඉරිදාට  මිටියක් බැඳ මේක කියවන කාගේ හෝ ඔලුව උඩින් තබන්නට තීරණය  කළෙමි. මේ එහි පළමුවෙන්  උපුටා දක්වන මගේ  දින පොතේ අතනින් මෙතනින් අහුලා ගත් සටහන් කිහිපයකි  .  (බහී යනු මට සමහරුන් ආදරේට කතා කරන  අන්වර්ථ නාමයකි.)

2018 ඔක්තෝබර් 29- විස්කි වඩියේ දේශනාව 
අද අපි කොළඹ හෝටලේක  තිබ්බ උත්සවේකට ගියා. මිතුරු හමුවක්.  මේකෙදි මුණ ගැසුන බොහෝ දෙනෙක් වෘත්තිකයන් වූ අතර සමහරුන් ජීවත් වෙන්නේ පිටරටවල. මුලින් මුලින් ලංකාවේ දේශපාලනය ගැන කතා බහ පටන් ගත්තද  එකෙකුගේ කෑ ගැසීමක් නිසා ඒ කතා බහ යටපත් වුනා ..
' මචන් අපි අවුරුදු ගානකට පස්සේ හම්බුනේ . මේ දවස අල කතර ගන්න එපා දේශපාලනේ කතා කරලා. අපි ඉන්නේ දහයේ පන්තියේනම් ලංකාවේ දේශපාලනේ තියෙන්නේ පහේ පන්තියටත් පහළ '( මමත් කාලෙකට කලින් එහෙම කතාවක් ලිව්වා )

වැඩි දෙනා ඒ කතාවෙන් පසුව දේශපාලනය ගැන එකේල්ලේ කතා නොකරා වුනත් , විස්කි වඩි  දෙක තුන වදිද්දී  පටන් ගත්තු සෑම  සරල මාතෘකාවක්ම  ආයෙමත් කෙළවර වුනේ දේශපාලනයෙන්. මට කලකට පෙර කියවූ සෝවියට්  කෙටි කතාවක් සිහිපත් වුනා . ඒකේ හිටියේ ජෙනරාල්ලා දෙන්නෙක් . දෙන්නා ගමන් ගත් නැව මුහුදුබත් වෙලා පාලු දුපතක අතරමං වෙනවා . කන්න දෙයක් නෑ බඩගිනියි . මේ දෙන්නා කතා වෙනවා අපි බඩ ගින්න ගැන කතා නොකර ඉමු කියලා. ඒත් මොන කතාව පටන් ගත්තත් ඒක අන්තිමට කෙලවර වෙන්නේ කෑමක් ගැන කතා වෙලා . දේශපාලනෙත් ඒ වගේ මොන තරම් අප්‍රසන්න මාතෘකාවක් උනත් ගැලවිලා ඉන්න බෑ .
මේ වගේ නොදැනීම දේශපාලන මාතෘකාවට බැස්ස වෙලාවක ප්‍රධාන පක්ෂ දෙක තුනටම බැන වැදුන  මිතුරෙක් මෙහෙම ඇහුවා .
"නරකද ඔය එකෙක්වත් නැතිව අලුත්ම හොඳ එකේක් හොයලා රජ  කරොත් ?"

මේ මිතුරාට කියල  කට ගන්න හම්බුන් නෑ . විරුද්ධ අදහස්  ගලාගෙන ආවා .

'' වැඩක් නෑ වැඩක් නෑ . අපේ රටේ මිනිස්සු තරම් ආත්ම වංචාවෙන් ජීවත් වෙන ජාතියක් ලෝකේ කොහෙවත් නෑ . කියන්නේ වෙන එකක්. හිතන්නේ වෙන එකක් . කරන්නේ වෙනමම එකක් .
දැන් අපි හැමෝම යටි හිතෙන් මහා පක්ෂ දෙකෙන් එකකට ලව් කරනවා . ඒත් එළිපිට බනිනවා. වෙනම කවුරු හරි  හොයනවා. ඒත් කවුරු හරි මනුස්සයෙක්  අලුත් විදිහකට ආවොත් උගේ කොහේ හරි අවුලක් හොයා ගන්නවා . උගේ අක්කා ඉස්කෝලේ යන කාලේ කොල්ලෙක් එක්ක යාලු වෙච්ච එකක් හරි    ඌ  තැපැල් කන්තෝරුවේදී පෝලිම පැන්න කතාවක් හරි හොයා ගන්නවා . ඊළඟට පලු යන්න බනිනවා. ආපහු මහා පක්ෂ දෙකින් එකකට හෙමීට  සෙට් වෙලා හිත හදා ගන්නවා ".

මිනිහා කතාව නවත්තන්නේ නැතිව කියවගෙන යනවා .
" තව එකක් ඕනිම දෙයක් අපට කැමති විදිහට හරවාගෙන රස විඳින්නත් අපි මාර දක්ෂයිනේ බං.  ඒකත් ආත්ම වංචාවේ කොටසක් තමයි . දැන් බලපල්ලා ආගම. ඒකෙ දැන් තියෙන්නේ   මුලින් තිබ්බ දේ නෙවෙයි දැන් අපි කරන ඕනිම අලුගුත්තේරු වැඩක් සාදාරණයි කියන්න හදා ගත්ත වර්සන් එක . එතකොට ඉතිහාසේ ඒකත්  එහෙමයි . එතැනින් ගියාම  ව්‍යවස්ථාව ..'
පැතිරිච්ච ඝෝෂාව හින්දා ඊළඟට කතා වෙච්ච දේවල් මට හරියකට ඇහුන් නෑ .

20118 ඔක්තෝබර් 30- කැන්ටිමේ ආර්ථිකය 
මම ඉඳහිට යන එන ආණ්ඩුවේ කන්තෝරුවක  කැන්ටිම මම ප්‍රිය කරන තැනක්.  පහුගිය දවසක   හවස හතරට විතර කැන්ටිමට ගොඩ වුනේ පොඩි බඩ ගින්නක් හා තේ තිබහක් තිබුන නිසා. මා සමග මිතුරන් දෙදෙනෙක් සිටියා. ඉන් එකෙක් කැන්ටිමේ මුදලාලි කලින් දැන සිටි කෙනෙක්. අපි ඉල්ලුවේ සැන්ඩ්විච් තුනයි ප්ලේන්ටි තුනයි . මහත්තුරු ගිහින් වාඩි වෙන්න මම කෑම  ගේන්නම් . අපි වාඩි වුනාම මනුස්සයා උස්සගෙන ආවා කට්ලස්, පැටිස්, වඩේ පුරවපු ට්‍රේ දෙකක්. කන්න කන්න . සල්ලි එපා.
යහමින් බඩ පිරුණට පස්සේ කැන්ටිමේ යාලුවා කියනවා "ඔහෙලා ආවේ නැත්නම් මම ඔය සේරම විසි කරන්නයි හිටියේ. ඔය ඉතිරි වෙච්ච  ඒවා" .
අපේ මුණු නරක් වුන බව තේරුම් ගත්ත මනුස්සයා  මෙහෙම කිව්වා .
' නෑ මහත්තයෝ ඕවා හොඳ කෑම හවස තේ බොන්න හදපුවා. තුන හමාර විතර  වෙනකොට කට්ටිය තේ බීලා ඉවරයි. මම බෝඩ් එකක් ගහල තියෙනවා හතරෙන් පස්සේ මේ කෑම වල මිල දෙකෙන් පන්ගුවයි කියල. ගොඩක් දෙනෙක් ගෙවල්වලට කෑම අඩුවට ගෙනියනවා  . විසි කරනවට වඩා හොඳ සේවයක්නේ . ඊටත් පස්සේ ඉතිරි වෙන ඒවා මේ වගේ  බෙදා ගන්නවා  නැතිනම් විසි කරනවා .

ඔන්න ඔය කතාව ගැන මතක් කරගෙන මම කැන්ටිමට අද ගියා උදේ වරුවෙම . හවස ගියොත් ආපහු නිකන් දෙන්න ඉඩ තියෙනවා.  ඒ මදිවට මෑන් ගේ පුරාජේරු කතා අහන්න වෙනවා .
කොහොම හරි අදත්  මුදලාලි කාරයා මාව කතාවට අල්ල ගත්තා .
' අර බලන්න මහත්තයා අපේ කැන්ටිමේ වැඩ කරන ගෑණු කට්ටිය, අර අතුගාන කොලුවා , අර මේස වල වාඩි වෙලා තේ බොන නෝනලා, එතකොට ඔය මහත්තයා, මම"

මිනිහා නිශ්ශබ්දයි . මම ඇහුවා ' ඉතින් ?

නෑ මහත්තයෝ අපි ඔක්කොම මේ ආර්තිකෙත් එක්ක මාර ගේමක්නේ දෙන්නේ .
අර තේ හදන මිනිස්සු ගෙදරට ඕනි  අඩුම කුඩුම ගෙනියන්නේ කොහොමද කියල හිතනවා. අර නෝනලා පඩි අරන් දවස් පහෙන් හිඳිලා . මහත්තයා වුනත් පඩි ගන්නවා බිල් ගෙවනවා විතරනේ නේද ?
මම හිනා වෙලා නිකන් හිටියා.
"මට වඩේ දෙකයි ප්ලේන්ටියක් දෙන්න" .
"හරි ඉන්න මහත්තයෝ මම දෙන්නම්". කියල තව කීප දෙනෙකුගේ මුදල් ගත්තා . මම තාම හිටගෙන .

"හරි කතාවේ ඉතිරි ටික මෙහෙමයි , දැන් මේ මමත්  බිස්නස් කෙරුවාවෙන් හම්බ කරාට  රෝල ගෙනියන්නේ මාර අමාරුවෙන් . පුදුම දහන්ගැට ටිකක් තමයි දාන්නේ. මහත්තයෝ අපේ රටේ අමාරුවක් නැතිව ජීවත් වෙන්නේ යහමින් සල්ලි තියෙන්නේ බොහොම  ටික දෙනෙක් විතරයි . ඒ පිරිස එන්න එන්නම අඩු වෙනවා.
තව එකක් ගොඩක් සල්ලි තියෙන මිනිස්සුන්ගේනුත් බාගයක් විතර පිච්චි පිච්චි ඉන්නේ" .

මම ඇහුවා ඒ ඇයි කියලා
"ඇයි මහත්තයෝ හොරකම් කරපුවා අහු වෙයි  කියලා' .

ඊළඟට මගෙන් මෙහෙම ඇහුවා
"මහත්තයා ඉල්ලුවේ ප්ලේන්ටි දෙකයි වඩේ එකයි නේද"?

2018 නොවැම්බර් 02- ස්වීප් සුමනේ 

මම මීට කලින් බාබර්ලා ගැන කතා දෙකක් ලියල තියෙනවා.  බාබර් උන්නැහේ කෙනෙක් හා  "ඒ බාබර් හා මේ බාබර් ගැන". මගේ දෙවැනි කතාවෙන් පස්සේ මම යන්තමින්  හඳුනන බාබර් කෙනෙක්  කිව්වා ඒ කතාව කියෙව්වා කියල. "යාළුවො ෂෙයාර් කරලා තිබ්බ". ඔහු කිව්වා .
 ඒත් මම කොන්ඩේ කපන්න යන තව සැලුන් එකක් තියෙනවා . එතනට මම කැමති හවසට මාර සෙට් එකක් එක්කහු  වෙන නිසා. හවස හයෙන් පස්සේ ගියොත් අනිවාර්යයෙන් වාඩි වෙලා ඉන්න චරිතයක් තමයි හන්දියේ ස්වීප් විකුණන සුමනේ .

සුමනේ දවසෙම ස්වීප් විකුනනන්වා. දුනුම් අදින්න කලින් ඉතිරි ස්වීප් ටික ගෙඩිය පිටින් ගන්නේ මේ බාබර් මිත්‍රයා . හැබැයි මිනිහට මෙතෙක් කල් ඇදිච්ච ස්වීප් එකක් නම් නෑ .

අද මට ඇහුනා  ස්වීප් සුමනේ බාබර් මිතුරාට කියනවා ' මචං මම හෙට ඉඳන් දවස් තුනක් නෑ '

"කොහෙද උඹ යන්නේ ?"

"මම යනවා ත්‍රී වීල් නන්දිපාලගේ ගෙදර. අම්පාරේ . මිනිහගේ දුවගේ කොටහළු ගෙදර මට කිව්වා" .

' ඉතින් උඹ එහෙ ගියොත් දවස් දෙක තුනක බිස්නස් එක කරන්න බැරි වෙනවනේ. "

' දවස් තුනක ආදායම නැති වෙනවා විතරක් නෙවෙයි බං තව රුපියල් පන්දාහක් විතර යනවා. ගමනටයි තෑගී වලටයි. ඒත් ඉතින්  ජීවිතේ කියන්නේ  හම්බ කරන එක විතරක් නෙවෙයිනේ  . යාලුවෙක් මිත්‍රයෙක් වෙනුවෙන් ඕනි දවසට වියදම් කරන්න නැත්නම් වැඩක් තියෙනවද බං '

එහෙම  කියල ස්වීප්  සුමනේ බොහොම සැහැල්ලුවෙන් හිනා වුනා  .
අපේ බාබර් මිත්‍රයත් හිනා උනා . මාත් හිනා උනා.

මේ අස්සේ  ටික කාලෙකට ඉස්සර පත්තරෙන් කියවපු ස්වීප් කතාවක් මතක් වුනා .  කතාව මේ වගේ එකක් .
විමලෙයි රංජීයි පෙදරේරුවෝ දෙන්නෙක්. හවසට වැඩ ඇරිලා යන ගමන් දෙන්නාම ස්වීප් දෙකක් ගන්නවා . දවසක් විමලේ අසනීප වෙලා කලින් ගියා. යන්න කලින් රන්ජිට මෙහෙම කිව්වා .
' මචන් හවසට මටත් එක්ක ස්වීප් එකක් ගනින් "
රන්ජී හවස ගෙදර ගියා . නාලා බත් කාලා ටී වී එක ලඟට ගියා. ලොතරැයි දිනුම් අදින වෙලාව. මෙන්න මේක විමලේගේ ස්වීප් එක . මෙන්න මේක මගේ ස්වීප් එක . ගෙදර උන්දැත් එක්ක දිනුම් අදින ඒවාගේ අංක ගලපනවා. රන්ජි තමන්ට කියල ගත්ත එක ඇදිලා නෑ . ඒත් විමලේගේ ස්වීප් එකට ලක්ෂෙක දිනුමක් තියෙනවා .
රන්ජි ත්‍රී වීල්  එකක් කතා කරගත්තා. ගියා විමලේගේ ගෙදරට .
"මෙන්න උඹේ ස්වීප් එක මේකට ලක්ෂයක් තියෙනවා. "

අද පරම්පරාවේ  සෑහෙන දෙනෙකුට මේ කතාව විස්වාස කරන්න බැරි වුනත් මේ වගේ දේවල් රටේ සිද්ද වෙච්ච කාලයක් තිබ්බ බව මම හොඳටම දන්නවා. මේ වගේ චරිත සීමිත ගණනක් වුනත් මාත්  ඇසුරු කරලා තියෙනවා . ඔවුන් යහපත් දේ කලේ ආගමික භක්තිය නිසාවත් දේශපාලන න්‍යාය නිසාවත් නෙවෙයි. හර්දය ශාක්ෂ්‍යට අනුව.
මේ රටේ ඇති වෙලා තියෙන මහා අවුලට හේතුව හර්ද සාක්කියක් නැති  නායකයන් හා අනුගාමිකයන් බිහි වීම නේද  කියල හිතෙන්නේ මට විතරද?  .

Cartoon Source: NewsBeat Pakistan



Thursday, October 25, 2018

ගමේ කුණු හා හිතේ සතුට

ටෝරාශියක් ගොන්පාර්ට් හා සම්පප්‍රලාප  අතරේ අපේ සරසවි හොස්ටල්  එකේ සීරියස් දේවල්ද කතා කළ අවස්ථා තිබුනේය . ඉන් එක අවස්තාවක් මට මතකය .

"උඹලා මේකෙන් අවුට් වෙලා පදිංචි වෙන්න කැමති ගමේද  නගරේද ?"

එකෙක් පැනපු ගමන්  කිව්වේ "කොළඹ කොළඹ" කියලාය..තව  විවිධ ආකාරයේ උත්තර ලැබිණි. මා ඇතුළු කීප දෙනෙක් කිව්වේ ගමේ ඉන්නට කැමති බවයි. අන්තිමේදී බහුතරය පිළිගත්  අදහස වුනේ නගරයට ඉක්මනට එන්නට පුළුවන් ගම්බද තැනක් අනාගත පදිංචියට තෝරා ගැනීමය. .

මේ කතාවට අදාලත් නැති එකකට එකක් සම්බන්ධත් නැති කතා තුනක් ලියන්නට සිතුවෙමි.

අලුත්  පාර

2009 අවුරුද්දේ නැගෙනහිර පළාතේ පිහිටි  දුෂ්කර  ගම්මාන යායක් මැද්දෙන් වැටුණු ප්‍රධාන පාරක් සංවර්ධනය කිරීමේ කාරියකට හවුල් වන්නට මට ඉඩ  ලැබිණි. මේ දිළිඳු ගම්වැසියෝ  යුද්ධයෙන් පවා බැට කා තිබුනෙන්  ගේදොර වතුපිටි ගැන නොසලකා හැරීම නිසා  බැද්ද විසින්  ගම්මානය ආක්‍රමණය කරමින්  තිබුණි.  මගේ සිත පෑරු දසුනක් වුයේ  බොහෝ  ළමයින්ට අන්දවා තිබූ කඩමාලු ඇඳුම්ය. කිසිවක් නොකොට ගස් සෙවනක ඇණ බාගෙන සිටි සිලිඳුලාද එමට සිටියෝය.

පාර හදාගෙන වටේ පිටේ එලි පෙහෙළි කරගෙන යද්දීම වාගේ ඒ වැඩ වලට සමාන්තරව දෙපැත්තේ වැසියෝ වතුපිටි  එපිරිසිදු  කරගෙන ගේ  දොර  පිළිසකර කරගන්නා හැටිද  දුටුවෙමි . ගෙවල් හා කඩ කාමරවල අලුත් පාට තැවරුණු  අතර ළමා ලපටින්ගේ පටන් මහලු කාන්තාවෝ පවා පෙරට වඩා හොඳින් අඳින්ට පළඳින්ට   පටන් ගත්තෝය .

මෙහිදී මම දිගින් දිගටම කල්පනා කළ කරුණ උනේ මේ ගැමියන්ගේ ආර්ථිකය එහෙමම තිබියදී ඉස්සර අපිරිසිදුවට තිබුන ගේ දොර වතුපිටි පිරිසිදු කරන්නට මිනිස්සුන්ට හිතුනේ පාර හදනවා දැකීමෙන්ද නැතිනම් සාමකාමී පරිසරයක් බිහි වීමත් සමග  ජීවිතාශාව වැඩිවීම්  නිසාද කියලාය.
මගේ සගයාගේ නිගමනය වුයේ හිතේ සතුට තියෙනවානම්  මොන තරම්මි දුප්පත් වුනත් අපේ මිනිසුන්  ගේ දොර වතුපිටි පිරිසිදුවට තබාගෙන දරුවන්ට පුළුවන් හැටියට හොඳ ඇඳුම් අන්දවා තබා ගන්නා බවය.


ස්කීම්වාසී මිතුරා
නුගේගොඩට නුදුරු හවුසින් ස්කීම් එකකින් ගෙයක් මිලයට ගත් මගේ මිතුරෙක් ඒ ගැන පසුතැවුනේ  මෙසේ  කියමිනි . ( ඔහු අර සරසවි හොස්ටල්  කතා බහේදී මා මෙන්ම අනාගත ජීවිතය ගමේම ගෙවන්නට කැමැතියි කී එකෙකි )
"බලපන් මචන් මේ ස්කීම් එකේ එකාට එකා නෑ . අල්ලපු ගෙදර මිනිහ අඳුරන්නේ නෑ . පාරක් තොටක් සුද්ද කර ගන්නේ නෑ. උන්නේ  අලි ඔලුව බං. මටනම් මේක විකුනලා ඈතකට යන්න හිතිලා තියෙන්නේ "

එසේ කී මිතුරා ඉන් මාස ගානකට පස්සේ දවසක  හමු වූ  විට මාර කතාවක් කිව්වේය.

"මචන් උඹත් ගනින් මේ වගේ ස්කීම් එකකින් ගෙයක් මරු ජීවිතේ ඔයි "

" ඇයි බං  උඹනේ කිව්වේ මේ ස්කීම් එකේ එකාට එකා නෑ . උඹට එපා වෙලා තියෙන්නේ කියල"

එවිට ඔහු මදක් කල්පනා කොට මට පැහැදිළි කිරීමක් කළේය.. සිද්දවෙලා තියෙන්නේ මේ වගේ දේකි.

පසුගිය දිනක ඔහු සිය හිතවතෙක් සමග ගේ අවට කුඩා ගෙවත්තද   පාර පැත්තට වෙන්නට වැවී තිබු වල් බුටෑව හා  පාරේ දෙපැත්තේම කාණු සුද්ද කර දැම්මෝය . ඊළඟට පාර අයිනට වෙන්නට තිබුණු ජෑම් ගස් හෙවණක වාඩි වී  මිතුරාත් සමග ගෙදරින් ගෙනත් දුන් තේ කෝප්ප දෙකක් රස විඳිමින් සිට ඇත. එවෙලේ කොහේදෝ ගොස් පැමිණි අල්ලපු ගෙදර ඇත්තෝ මොවුන් සමග පළමු වරට සුහද සිනහ මුහුණක් පෙන්වා ගෙදරට  ගොස් වහානය  නවත්වා රස කැවිලි ව්ගයක්ද රැගෙන යලි පැමිණි අතර මේ නැවුම් එකමුතු කම එතනින් එහා ගෙදරටත්  ඇසී ඒ දෙමහල්ලොද හෙමින් හෙමින් සතුටු සාමීචියට එක් වන්නට පැමිණ ඇත. ටික වෙලාවකින් ලා සැර හා සැර වර්ගයේ බීම  වර්ගද එකතු  වෙමින් ස්කීම් එකේ පිරිම් සේරමත් ගෑනු සේරමත් මේ ගෙදරට එක්කාසු වී තිබේ. එදා සාදය මැදියම් රාත්‍රිය වනතුරු පැවැත්වුණු  බව කී මිතුරා මෙසේද කිඊවේය . '
'බලාගෙන ගියාම උන් ඔක්කොම අපි වගේ ගම්වලින් ආපු උන්නේ  බං. මාසෙකට සැරයක් අපි ශ්‍රමදානයක් දාලා  පාරවල් හෙම   සුද්ද කර ගන්නවා.  ඒ හින්දා දැන්  හිතේ සතුටින් ඉන්න පුළුවන් '

අපේ පාරේ ශ්‍රමදානය

ඒ කාලේ කොහොම හීන මැව්වත් මට ගමේ පදිංචි වන්නට බැරි විය. අගනුවරට ආසන්න උපනගරයක පිහිටි  අපේ  ගෙදර ලඟින් වැටී ඇති පාර ඉස්සරනම් නිස්කාන්සු පාරකි. අධිවේගී මාර්ග පිවිසුමක් කිට්ටුවපාතක තිබෙන නිසා දැන් අපේ පාර  අතොරක් නැතිව වාහන ඇදෙන මහා පාරක් වගේ වෙලාය.

 පහුගිය පෝය  දවසක අපේ ගෙවල් පාරේ ශ්‍රමදානයකට සෙට් වෙනවා දුටුවෙමි .  කොට කලිසම් ඇඳගත් අසල්වැසියන් තියෙන හැටියට රේක්කයක්  , උදැල්ලක්  කාරිය  උස්සාගෙන ශ්‍රමදානයට  හවුල් වී සිටියෝය. උන්ගේ ඇඹේනියන් හා දරුවෝද බීම බෝතල් හා බිස්කට්වලින් ශ්‍රමදායකයන්ට සංග්‍රහ  කරන්නට සුදානම්ව  සිටියෝය. මමත් අනාරාධනයෙන්ම මේ පිරිසට එක්කාසු වෙන්නට තීරණය කළෙමි. මට දැන ගන්නට ලැබුනේ හන්දියේ ත්‍රීවීල් රියදුරන් පිරිස මේ ශ්‍රමදානයේ මුලාරම්බකයන් බවය.

මහා පාරට හැරෙන තැන පටන් තවත් කිලෝමීටරයකට වැඩිදුරක් පාරේ දෙපැත්තේ වල් පඳුරු  කපා , ප්ලාස්ටික් වීදුරු හා කරදාසි වෙන වෙනම ගොඩ  ගසන්නට අපට හැකි විය .  හරිත  ආවරණය ඉවත් කළ සැනින් හැම තැනම වැටී තිබුණු යෝගට් කෝප්ප, බීම බෝතල් හා බියර් කෑන් යනාදිය මතු වන්නට විය.  හිතන්නට බැරි තරම් බීලා විස්කර කිරි පැකට් හා හිස් බෝතල් පාර දෙපැත්තේ තිබී හමු විය.ඒවා පාරේ අතොරක් නැතිව යන වාහන හා පාසල් බස්රථ වලින් විසි කරන ලද ඒවාය.

වැඩ අරී ගෙදර යන විට ගෙදරට කුණු ගෙනියන්නේ නැතිව වාහනයේ වීදුරුව පාත් කරන් ඒවා හීන් සැරේ පාරේ පැත්තකට විසිකර යන මිනිසුන් මේ පාරේදී මා දැක ඇත . ඔවුන්ගේ හිතේ සතුට කුමක්දැයි මම තාමත් කල්පනා කරමින් සිටිමි.

මම තව දෙයක් දනිමි. ඒ පිරිසෙන් බොහෝ දෙනෙක් ඈත ගම්දොරින් ඇවිත් ගෙවල් හදාගෙන මේ අවට පදිංචි වූ මා වැනි වුන් බවය.

Photo : Daily News

Tuesday, September 4, 2018

මල් පාරේ ආදර බෝම්බය




කොලඹ මල් පාර හරිම ආදරණීය පාරක්. කාලයක්  අපි වැඩ ඇරිලා ආදර හැඟුම් එක්ක වෙලී වෙලී  ආපු පාරක්.

දෙදාහා අවුරුද්දේ ජනවාරි පස් වැනිදා මල් පාරේ බෝම්බයක් පිපිරුවා. අගමැති කාර්යාලය ඉලක්ක කරගෙන. පාරේ ගිය හා අවට හිටි දුසිමක් විතර මිය ගියා.
අපේ හාම්නේ  හිතුවේ මම ඕකට අහු වෙලා සෙට්ට පෝච්චි වෙන්න ඇති  කියල . එහෙම හිතන්ට  සාධාරණ හේතුවක් තිබබා . මේ කියන්නේ අර අබුද්දස්ස කාලේ කතාවක් . මං  ඒ දවස්වල  කොන්ත්‍රාත්තුවක් කරපු තට්ටු ගොඩනැගිල්ල තිබ්බේ මල්පාර  කිට්ටුව. කිට්ටුවම නොවුනත් මම කියල තිබ්බේ මල් පාර කිට්ටුව කියල.

මම ඔතෙන්ට ගිහින් දවසේ  වැඩ පටන් ගන්න කලින් ගෙදරට කෝල් එකක් දෙනවා. මේ කියන දවසේ කෝල් කරන්න  වුනේ නෑ . ෆෝන්  එක චාර්ජ් වෙලා නැතියෙන් පැත්තකින් තියලා අලුත් ගොඩනැගිල්ලේ පලංචි පොලු  අතරින් රිංගා රිංගා ගියා . දවසෙම වැඩ. මනිනවා .ලියා ගන්නවා. පොඩ්ඩක් පහළට ඇවිත් ප්ලේන්ටියක් බොනවා. ආයෙම වැඩ පටන් ගන්නවා .

එදා හවස් වෙනකන් මම ගෙදර හා අවට ලෝකය ගැන මෙලෝ ගනිච්චියක් නැතිව හිටියා . කොන්ක්‍රීට්, ගඩොල් යකඩ පොලු අතර අලුත් සිමෙන්ති සුවඳ විඳිමින්  දවස ගෙවුනත් තරමක් එපිටහින් වෙලා තිබ්බේ ඊට හාත් පසින්ම වෙනස් දෙයක් .

අගමැති කාර්යාලය ළඟ බෝම්බයක් පුපුරලා . දහ  පහළොස් දෙනෙක් මැරිලා. තව  බර ගානකට තුවාලයි. තැන තැන කට කතා පැතිරෙද්දී අපේ නෝනා මෙන්ම ගොඩක් නෝනලා තම තමන්ගේ මහත්වරුන්ට හා පෙම්වතුන්ට කෝල් කරලා  . මගේ පැත්තේ සද්දයක් නෑ . වෙනද වැඩබිමට ගිය ගමන් කෝල් කරන මෑන් අද සද්ද වහලා. ෆෝන් එකත් ප්‍රතිචාරයක් නෑ . දැන් ටික ටික රත් වී  එනවා. යාළුවො එකා දෙන්න එනවා ලඟට. කන්තෝරුවේ වෙන්ඩ නරක ආරංචිය තටු ගසා ඉගිල්ලුනා .

"අරයාගෙන් කෝල් එකක් නෑ . වෙනදනම්  මේ වෙනකොට  දෙපාරක්  විතර  කතා කරලා" .

"ඉස්සර පුරුද්දට  මල් පාරේ ඇවිදගෙන ගියාද දන්නේ නෑ". යාළුවො හිනා වෙනවා. "ඇස් රතු වෙන විහිලු කරන්නෙපා". කෙනෙක් කියනවා.
ටික ටික වෙලාව යනවා. පපුව ගැහෙනවා. ගෙදරට කියන්නත් බෑ . ගෙදරින් බය වෙනවා. අම්මා කතා කළා .
බෝම්බයක්ලු නේද ? අර ළමය කොහෙද?
නෑ අම්මා කරදරයක් නෑ . ඇය කිව්වට කට හඬ වෙවුලනවා .

තවත් දවල් වෙන්න වෙන්න හිත කලබලයි. යාළුවො වට වෙලා. තාම ආන්සර්  එකක් නැද්ද? ඔයා දන්නේ නැද්ද වැඩ කරන සයිට් එකක් . අඩු ගානේ යාලුවෙක්ගෙ නමක්වත්????

ඇත්තටම ගෙදරින් දන්නෙම නෑ . තාවකාලික වැඩබිම් උප කොන්තරක්  ඉංජිනේරු . දන්නා කියන යාලුවන්ට කතා කරා සමහරු සම්බන්ධ කර ගන්න බෑ . සමහරු කතා කරත් කියන්නේ මාස ගානකින් ඌ  ඉන්න තැනක් දෙන්නේ නැති වග .

ඉතින් බැරිම තැන වෙච්ච දේ ෂුවර් වගේ හිතිච්ච යාලුවෙක් කිව්වා අපි හිතේ සැකේ ඇර ගන්ට හොස්පිටල් එකට කතා කරමූ . "අපේ මාම කෙනෙක් එහෙ වැඩ කරනවා."

ඉතින් කතා කරා. ඇතුලත් කරපු ලෙඩ්ඩුන්ගේ   නම් හෙව්වා. සිහිය නැති අයගේ  විස්තර . ඒ කා අතරවත් ගෙදර මනුස්සයා නෑ.

ඊළඟට හොස්පිටල් එකේ වැඩ කරන මාමා  කී දේ නිසා ඇඟ හීතල වෙලා ගියා. මෝචරියේනම් දහයක් විතර ඉන්නවා අඳුර ගත්තේ නැති .

හිත හිරි වැටිලා . ඒත් කමක් නෑ යාලුවා මෙහෙම කිව්වා .
'බලන්න තියෙන්නේ එකම තැනයි."

කවුරුත් මුකුත් කිව්වේ නෑ . ශෝක බරිතව බලා හිටියා . යමු! පිටත් වුනා .

මගේ පිය බිරිඳව වාත්තු කරගත් යාළුවො දෙන්නෙක් සමග බෝම්බයෙන් තැලී පිළිස්සුන මළ සිරුරු අතරේ දැන් දැන් මාව හමු වේවි යැයි බියෙන් ගැහෙමින් මිනී ලාච්චුවෙන් ලාච්චුවට  ට්‍රොලියෙන් ට්‍රොලියට  මාරු වෙනවා .

අන්තිමේ එතනත් බලාපොරෝත්තු  කඩ වුනා . ගෙදර ගියා . කාට කියන්ඩද?

මුළු ගෙදරම තුෂ්නිම්භුතයි. අර ගොල්ලන්ගේ ගෙදරට කියනවද ? කොහේ කියල හොයන්නද ? උකටලීව එහෙ මෙහෙ වැතාරෙමින් වතුර උගුරක්වත් බොන්නට හිතක් නැතිව පැය කීපයක් ගෙවුනා . හැන්දෑවේ අඳුර වැටෙන සද්දේ යටපත් කරගෙන ගේට්ටුවේ උණ බටයක් බිම වැටුනා.
මෙච්චර වෙලා මළා කියලා හිතන් හිටි පොර  එනවා සින්දුවක් කියාගෙන .

'මැණිකේ මම ආයේ ගෙදර එනවා ...

අපේ නෝනා පැන්න ඉස්සරහට අල්ල ගත්තා කොලර් එකෙන් .  . ගැහුවද? නෑ . අපි ගුටි කයි ගෑනුන්ගෙන්.

ඔයි කතාව ගැන ලියන්න හිතන් හිටි ඊයේ හවස ගෙදර එන ගමන් මම කොළ පාට ගැහිච්ච කීල්ස්  එහෙකට ගොඩ වෙලා ලොකු චොකලට් එකක් ගත්තා . ටිකක් ගණන් වුනත් බැදපු කජු ලොකු පැකට් එකක් ගත්තා. සල්ලි ඇති වුන නිසා තව කාඩ් එකකුත් ගත්තා . මට ටිකක් වගේ  ලැජ්ජාවකුත් හිතුනා .  ගෙදර  ගියා.බඩු ටික හැංගුවා.

සුළු වෙලාවකින් තේ එකක් හා ලඩ්ඩුවක් ලැබුනා  . කෑවා. තේ බීවා .  ලඩ්ඩුනම් රසයි කියා මම කීවා.
යාලුවෙක්ගෙන් ලැබුනා වුනත් අපේ නෝනා  එයාම හැදුවා වගේ  ආඩම්බර බැල්මකින් ප්‍රතිචාර දැක්වුවා.

ටික වෙලාවකින් නිකාන් පුරුද්දට වගේ එයා  තේ මේසේ උඩ තිබ්බ මගේ පර්ස් එක අවුස්සන්නට පටන් ගත්තා .
හද්දෙය්යනේ චොකලට් බිල ඒක ඇතුලේ.
මම පැන්න ගමන් පසුම්බිය උදුරා ගත්තා .  ඒත් ඇය මේ  වෙලාවට  මට වඩා ප්‍රචණ්ඩ වුනා
 . හුණුවටයේ රජ බිසව වගේ මගේ පර්ස් එකයි බිලයි ළඟටම ඇදලා ගත්තා . ලයිට් එකට ලංවෙලා කන්නාඩි නැතිව ඇස් පොඩි කරලා කීල්ස් බිල කියවලා බැලුවා. කජුයි චෝකලටූයි.

"ඔයා ඊයේ පුංචි අම්මලා ගෙදර යනකොට ගත්තු ඒවා නේද? ඉතින් බිල හංගන්න හදන්නේ ඇයි ? මම කවදාවත් එපා කියල තියෙනවද නෑදෑයෙකුට මොකුත් අරන් දෙන්න "

 ඉන් පස්සේ පහුගිය අවුරුදු විසි  දෙකක් තිස්සෙම  වැඩිම වාර ගනනක් කියපු ආදර වදන් සෙට් එකත්  කියල දැම්මා  .

"ඔයා දැන් හරි වෙනස්'

මම පෙනෙන්න  හිනා වුන් නෑ . බොරුවට වරදකාරී මුණක් හදා ගත්තා .

එයා වෙනදාට වඩා වේගෙන් ගේ අතුගාමින් එහෙ මෙහෙ පාවෙවී ඉඳිද්දී  මම මගේ ඉපැරණි බ්ලොග් සටහන් කියවන්න පටන් ගත්තා. සැප්තැම්බර් හතර වෙනිදාවල ලියපුවා ගොඩක් තියෙනවා . මේ ඉන් එකක් .

2018 සැප්තැම්බර් 04

චිත්‍රය : ඔවිනි








Thursday, June 21, 2018

පේරාදෙණියේ ෆිල්ම් සොක -2



රක් අපට  Escape to Victory නම් ප්‍රබුද්ධ ඇමෙරිකානු චිත්‍රපටය ලැබුනේ වෙනත් රටක තානාපති කාර්යාලයකින් නම මාරු වූ  චිත්‍රපට  ලේබලයකිනි. එසේ  වෙන්නට ඇත්තේ අප වැනිම සංගමයකට ණයට දී ආපසු ලබා ගැනීමේදී චිත්‍රපට පෙට්ටිය මාරු වීම නිසාය. ච්ත්‍රපටවල රීල් මාරු වෙන බව  අසා තිබුනත් චිත්‍රපටිය එහැම පිටින්ම මාරුවුණු අවස්තාවක් දැක්කාමය. ඒත් පේරාදෙණියට ගෙනවිත් විවෘත කර බැලීමේදී එතුළ ඇත්තේ  Escape to Victory බව පසක් විය .

හිට්ලර්ගේ නාසි සිර කඳවුරකින් පාපන්දු ක්‍රීඩකයන් පිරිසක් ගැලවී පලා යන අන්දම  දැක්වෙන මේ විශිෂ්ට චිත්‍රපටය පෙන්නන්න  කලින් විශේෂයක් කරමු”  යැයියෝජනා විණි. ඒ  අනුව මාරි සවරිමුත්තු  ආචාර්යවරිය විසින් කරන ලද හැඳින්වීමේ දේශනයකින් පසු චිත්‍රපටය පේරාදෙනි කලාගාරයේදී ප්‍රදර්ශනය කෙරිණි. 



සිල්වෙස්ටර් ස්ටැලෝන් ප්‍රධාන චරිතයක් රඟපෑ මේ චිත්‍රපටයේ 2018 ලෝක පාපන්දු තරඟාවලියේ සුවිශේෂ අමුත්තෙකු ලෙස  රුසියාවට පැමිණ සිටින ලෝක පුජිත පාපන්දු ක්‍රීඩක පේලේද රඟ පෑවේය.. පේලේගේ බයිසිකල් පහර හෙවත් උඩුකුරු පාපන්දු ෂොට් එක අප බොහෝ දෙනෙක් මුල්වරට දුටුවේ 1981 දී නිපදවුණු 1991 දී  අපට නරඹන්නට ලැබුණු මේ  චිත්‍රපටයෙනි .

බඹරු ඇවිත් හා ධර්මසේන පතිරාජ
ශ්‍රී ලංකාවේ බිහි වූ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් අතරින් මා වඩාත් කැමති, වඩාත් ගරු කරන තැනැත්තා ධර්මසේන පතිරාජය. ඒ ඔහු පේරාදෙනි සරසවියේ ආදී ශිෂයෙකු නිසාවත් කලක් පේරාදෙනි චිත්‍රපට සංගමයේ ක්‍රියාකාරික යෙකුව සිටි බවා අසා තිබුණ  නිසාවත් නොවේය.  මා ඔහුගේ නිර්මාණවලට කැමති නිසාය.

 1991 අවුරුද්දේ ධර්මසේන පතිරාජ චිත්‍රපට උළෙළේ ප්‍රධාන දෙසුමට ඇරයුම් ලැබුයේ මහාචාර්ය සුචරිත ගම්ලත්ය .ඒ වනවිට සරසවි ආච්ර්යවරුන් කිහිපදෙනෙකු සමග මතවාදී   ගැටුමක යෙදී  සිටි මහාචාර්ය  ගම්ලත් ගෙන්වීමට ගත් තීරණය සමහරුන්ගේ  දෝෂ දර්ශනයට ලක් වුවත්  ඔහු එදා සාරගර්භ දේශනයක් කරමින්  කාගේත් හිත පහදවන සුළු ආකාරයෙන් සිය අදහස් ඉදිරිපත් කළේය. ඔහුට විචාරය කරන්නට ඇරයුම් කර තිබුනේ බඹරු ඇවිත් චිත්‍රපටයයි.  

සුපුරුදු මාක්ස්වාදී විචාර කලාවෙන්චිත්‍රපටය විවරණය කළ ඔහුගේ මුළු කතාව හරියට මතක නැතිමුත්  මීට වඩා හොඳ, සුපුෂ්පිත දේශයක්, සෞබාග්‍යමත් රටක් දිනා ගත  යුතු බවත් ඒ අරගලයට  පතිරාජගේ චිත්‍රපට යම් තල්ලුවක් දෙන  බවත් ඔහු කීවා වගේ  මතකය.

අපට කලින් වතාවේ චිත්‍රපට සංගමයේ  සබාපති සමග  කළ කෙටි කතා බහකදී ඔහු මට සිහිපත්  කලේ දැඩි භීෂණ කාලයක පවා ඔවුන් චිත්‍රපට උළෙලවල් කීපයක්ම සංවිධානය කළ බවය. ඒ අතරින් ජපන් චිත්‍රපට උඑලෙලක් සංවිධානය කරන්නට ඔවුන්ට හැකි වී ඇත්තේ ජපන් තානාපති  කාර්යාලයට ගොස් පින්සෙන්ඩු වීමෙන් පසුය.

91 අවුරුද්දෙත් ජපන් චිත්‍රපට උළෙලක් ලෑස්ති කිරීමට අපට පුළුවන් උනේ ඒ විදිහටම ජපන් තානාපති කාරුයාලයට ගොස් පින්සෙන්ඩු  වීම නිසාය. ඒ දිනවල ජපන් තානාපති කාර්යාලයෙන් සුවිශ්ෂ ප්‍රචාරයක් ලබා දී ප්‍රදර්ශනය කෙරුණු චිත්‍රපට උළෙල  අපටද ලබා දෙන මෙන් අපි ඉල්ලුවෙමු. සම්බන්ධීකරණ  නිලධාරියා හරහා අපට දන්වනු ලැබුවේ මෙය බොහොම වැදගත්  රාජ්‍ය ආයතනවලට  පමණක් ලබා දෙන අවස්තාවක්  බවත් එය එක එක සංගම්වලට කොහෙත්ම දෙන්නේ නැති බවත්ය.

කෙසේ වුවත් පේරාදෙනි සරසවියේ චිත්‍රපටි සංගමය මේ රටේ තියෙන වැදගත්ම පහේ  සංගමයක් බවත් එය රටේ විශාලම හා පැරණිතම  සරසවිය විසින් ප්‍රමුඛත්වය දෙන වැදගත් සංගමයක් බවත් තානාපති නිලධාරීන්ට දන්වා සිටින්නට  පුළුවන් විය.මේ අදහස් ජපන් තානාපති කාර්යාලයේ සම්බන්ධීකාරකයා හරහා තානාපතිවරයාට දැන්වුවද පෙරළා ලැබුනේ නෙගටිව් උත්තරයක් පමණකි.

පරාජිත මනසින් අපට ආපසු පේරාදෙණි එන්නට වුනේ හිස් අතින්මය. ඒත් දවස් කීපයක් ඒ ලියුම ලැබුනේය.
ඔබගේ ඉල්ලේම පරිදි ජපන් චිත්‍රපට උළෙල පේරාදෙණි සරසවි ච්ත්‍රපට සංගමයට ලබා දෙන්නට එකඟයි
ඉහේ මලක් පිපුනාක් මෙන් දැනුණි. පෙන්නු චිත්‍රපට  අතර හචිකෝ තිබුනා මතකය.

චිත්‍රපට උළෙලේ සමාරම්බක උළෙලට ජපන් තානාපතිවරයාද ආවේය. ඔහු කැඩිච්ච  ඉංග්‍රීසියෙන්  කළ කතාව එකේල්ලේ තේරුම් නොගියත් ඔහු කියා  තිබුනේ මෙහෙන් ගිය ළමයි දෙන්නෙක් චිත්‍රපටි ඉල්ලා හඬා  වැටුණු නිසා කාටවත් නොකරන උදව්වක් හැටියට උළෙල පේරාදෙණියට  ලබා දෙන්නට කැමති වූ බවයි .

කලාගාරයේ පෙන්වන චිත්‍රපට බලන්නට නිතර එන චිත්‍රපටය ගැන කලින් අසා දැනුවත් වෙන බැලුවාට පසු ඒ ගැන කතා බහ කරන ගුරුතුමියක් සිටියාය. ඇය  රසායන  ඉංජිනේරු අංශයේ මහාචාර්ය ශාන්තිනීය  . ඒත් හචිකෝ චිත්‍රපටය ගැන සිනොප්සිසය  ඈ සමග විස්තර කරද්දී ඇය දෙනෙතේ කඳුළු පුරවා ගත්තාය.

“මහාචාර්යවරයෙකුට හුරතල් බැල්ලක්  ඉන්නවා. ඒ තමයි හචිකෝ. ඉතින් හචිකෝ හැමදාම මහාචාර්යතුමත් එක්ක දුම්රිය පලට එනකම් එනවා .   සිය හාම්පුතා දුම්රියට නැගලා සරසවියට යනකම් බලා ඉන්න හචිකෝ ආපසු ගෙදර එනවා. සරසවියේ උගන්නන රස්සාව කරලා මහදුරුතුමා හවස ගෙදර එන කෝච්චියේ  වෙලාව හචිකෝ දනනවා. කෝච්චිය ආවම ස්ටේෂමට යන හචිකෝ සිය හාම්පුතත්  එක්ක දැවටී දැවටී ආදරෙන් ගෙදර එනවා. දවසක් මහාචාර්ය තුමා උගන්න උගන්න ඉද්දි හර්දයාබාධයක් හැදිලා මිය යනවා. හචිකොට යම් ඉවක් දැනුනත් හවසත් සුපුරුදු පරිදි මහාචාර්යවරයා ගන්න දුම්රියපළට යනවා. පහුවදා උදෙත් යනවා. හචිකෝ ජීවත් වෙලා ඉන්නකම්ම ඒක කරනවා. මේ සිද්දිය නිරෙක්ෂණය කළ දුම්රිය මගීන් හචිකොට මහා ඉහලින් ගව්රව කරනවා. දුම්රියපොළ අද්දර හචිකෝගේ සිහිවටනයකුත්  හදනවා.”
ඔන්න ඕකයි කතාව

මේ විස්තරය ඇසීමෙන් පසු ඇය චිත්‍රපටය බැලීමට උනන්දු වෙනවා වෙනුවට අපෝ හචිකෝනම්  කීයටවත් බලන්නට බෑ යැයි කීවාය .



චිත්‍රපට සංගමයට සරසවියෙන්ද විශේෂ සැලකිල්ලක් ලැබුණු අතර සංගමයේ සබාපතිවරයාට කලාගාරයට නුදුරේ පිහිටි  ජයතිලක හෝ අරුනාචලම් ශාලා දෙකින් එකක කාමරයක් ලබා ගැනීමට අවසර තිබිණි. ඒ චිත්‍රපටි පෙට්ටි ගෙනවිත් තබා ගැනීමට හා සංගමයේ අනිකුත් වැඩවලට පහසුවක් වනු සඳහාය .
අපට පෙර වසරවල  නුවර පිහිටි ලා  ප්‍රන්ශේ ආයනයේ සේවය කළ ප්‍රශ ජාතිකයෙක් චිත්‍රපට සංගමයට බෙහෙවින් උදව් උපකාර කළ බව අසා තිබේ. ඔහු අරුනාචලම් ශාලාවටම උසස් ගනයේ ප්‍රංශ  චිත්‍රපට ගෙනවිත් දී  පසුව ඔහුම පැමිණ ඒවා රැගෙන යන්නට  තරම් කාරුණික වී තිබේ.

හචිකෝ ගැන , පේලේ ගැන පරණ කතා ඔහොමය. සොඳුරුය . 

(අවුරුදු 27ක් පරණ සිද්දි ලිවීමේදී මගේ මතකයේ බොහෝ අඩු ලුහුඬුකම් තිබිය හැකි බව  සියලු  සමකාලීනයෝ පිළිගනිත්වා !  විශේෂ ස්තුතිය ච්ත්‍රපට  සංගමයේ ඉටපු ස්සභාපතිවරුන් වන ධම්මික නිස්සංකට  හා මැතිව් පීර්ස්ට )

Sunday, May 27, 2018

පේරාදෙණියේ ෆිල්ම් සොක-1



 
Peradeniya University Arts Theater ( www.pdn.ac.lk)
ල , සොක හා ගැට්ට කියන්නේ පේරාදෙණියේ සරසවි ජීවිතය සුන්දර කරපු වචන තුනක් . හන්තාන පාමුල මහවැලි නිම්නයේ තිබ්බේ ප්‍රේමය හා චමත්කාරය විතරක් නෙවෙයි. පේරාදෙනි සානුවෙන් අහසට නැගිලා ලෝකය දිහා බලන්න පුළුවන් කවුළු කීපයකුත් තිබ්බා. ෆිල්ම් සොක ඒවායින් එකක් කියලයි මට හිතෙන්නේ

වල කිව්වේ සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයට  ,  ගැට්ට කිව්වේ කඳු නගින්න්නගේ හෙවත් ගවේෂකයන්ගේ සංගමය.   University Film Society හෙවත් චිත්‍රපට සංගමය තමයි අපේ ආදරණීය සොක.
ඒත් 89 අවුරුද්දේ  වල, සොක හා ගැට්ට අකර්මන්‍ය වෙලා තිබ්බා . පන්ති වර්ජන , භීෂණය, අතුරුදහන් වීම  හා මාස ගණන් සරසවිය  වසා තැබීම වගේ ඒවා නිසා.
ඒ අඳුරු කාල පරිච්චේදෙන් පස්සේ හන්තාන අඩවියට ආයෙමත් සෞන්දර්යය රැගෙන එන්න වෑයම් කරපු ගුරු සිසු නඩයේ  මමත් සාමාජිකයෙක් වුණු  බව සතුටින් මතක් කරනවා.

1990 අවුරුද්දේ අප්‍රේල් තමයි අපි පළමු අවුරුද්දේ විබාගය ලිව්වේ . ඊට පස්සේ එළඹුණු අධ්‍යයන  වාරෙදි  කවුදෝ ඉල්ලගෙන ආපු A passage to India චිත්‍රපටයේ VHS කැසට් එකක් අපට හම්බුනා . EM පොස්ටර්ගේ නවකතාවක් ඇසුරෙන් ඩේව්ඩ් ලීන් හදාපු සුවිශේෂ චිත්‍රපටයක්  තමයි A Passage to India
ලංකාවේ රුප ගත කරපු   Bridge on the river Kwai චිත්‍රපටය නිර්මාණය කලෙත් ඔය ඩේවිඩ් ලීන්ම තමයි. 
අපි කීප දෙනෙක් කතා වුනා කොහොම හරි මේ චිත්‍රපටිය හැමෝටම බලන්න පුළුවන් තැනක  පෙන්නමු  කියල .

ඉංජිනේරු පීඨේ මීඩියා යුනිට් එකට ගිහින් එහි  තිබ්බ මල්ටිමීඩියා ප්‍රෝජෙක්ටරේ  ඉල්ලගත්තා .ලංකාවට ආපු මුල්ම විද්‍යුත්  ප්‍රක්ෂේපන යන්තරේ ඒක වෙන්ටත් පුළුවන්. වර්ණ තුන නිකුත් කරන  වෙන  වෙනම ටෝච්  තුනක් තිබ්බා . හරි විශාලයි .
අපි කොහොමින් කොහොම හරි චිත්‍රපටය පෙන්නුවා පොඩි ලෙක්චර් රුම් එකක . හිතුවට වඩා වැඩි සෙනගක් ඇවිත් හිටියා .

පළමු VHS ච්ත්‍රපටය පෙන්නුවේ මිතුරු පිරිසක් එක්කාසු වෙලා. ඒ කැසට් එක සොයාගෙන ආපු මිතුරාම දෙවනවරට සත්‍යජිත් රායිගේ අපූ ත්‍රිත්වය VHS කැසට්පට තුනම නුවර ඉන්දියානු මහකොමසාරිස් කන්තෝරුවෙන්  ඉල්ලගෙන ආවා. අපි පොඩි ප්‍රචාරයක් එහෙම යවලා  ඉංජිනේරු පීඨයේ තිබ්බ ලොකුම ශාලාව වෙච්ච ඊ ඕ ඊ පෙරෙයිරා තියටරේ නැත්නම් සුඛාවතියේ මේ චිත්‍රපට තුන පෙන්නන්න කටයුතු කළා. මට තමයි හැඳින්වීම කරන්න පැවරුනේ . ඒකට සුදානම් වෙන්න පුස්තකාලය පීරමින් විභුති  බැනර්ජි ගැනයි සත්‍යජිත් රායි ගැනයි කියෙව්වා මතකයි.

අපි  බලාපොරෝත්තු  උනාට වඩා වැඩි සෙනගක් ගඟෙන්  එහා පැත්තේ ෆැකල්ටිවලිමුත් ඇවිත් හිටියා . දැහැන්ගතවෙලා වගේ පතෙර් පංචාලි, අපු සංසාර්, හා අපරාජිතෝ කුඩා ස්ක්‍රීන් එකින් බලන්න දවස් තුනක් තිස්සේ ඇදී ආපු සෙනග පෙන්නුම් කළේ සාහිත්‍ය  කලාවට පේරාදෙණියේ ඒ වෙනකොට තිබ්බ පිපාසය.
වහල දාලා තිබ්බ AT එක හෙවත් කලාගාරයට  යලි පණ දෙන්න ඇත්නම් කියල ඒ පැත්තෙන් යන එන හැම වාරේම  අපට හිතුනා .

ටික දවසකට පස්සේ චිත්‍රපට සංගමය හෙවත් ෆිල්ම් සොක ආපහු පටන් ගන්න තීරණය කෙරී තිබුනා . සයන්ස් ෆැකල්ටියේ කැන්ටිමේ තිබ්බ මුල්ම  සාකච්ඡාවෙන් පස්සේ අලුත්  නිලධාරී  මණ්ඩලයක් පත් වුනා . සබාපති මැතිව් මම සම ලේකම්.

අපේ ගුරු උපදේශකයන් උනේ  ගාමිණී හත්තොට්ටුවගම මහත්තයයි , මාරි සවරිමුත්තු  මහත්මියයි. මේ දෙදෙනාම සිනමාව ගැන පුළුල් දැනුමක් තිබ්බ ඉංග්‍රීසි සාහිත්‍යය  හොඳින් හදාරා සිටි ආචාර්ය මණ්ඩල සාමාජිකයන්.
 Gamini Haththottuwogama , Photo from Wikipedia
ෆිල්ම් සොක කරන්නේ සීසන් කාඩ් එකක් වගේ එකක් ගහලා නම් මාක් කර කර චිත්‍රපට පෙන්නන වැඩේ  විතරක්  නෙවෙයි කියල අපට තේරුම් ගියේ ඊට පස්සේ. අපි චිත්‍රපට ගැන කතා කරා . මාසික රැස්වීම්  තිබ්බ. ආචාර්ය හත්තොට්ටුවේගම,  මාරි සවරිමුත්තු ආචාර්යවරු අපි පෙන්නපු සමහර  චිත්‍රපටි ගැන විචාර ඉදිරිපත් කරා. මුල්ම චිත්‍රපටි කීපය පෙන්නන්න කලින් ඒවා  ගැන කෙටි හැඳින්වීමක් කරන්න අපට පුළුවන් වුනා . 


සංගමේ යලි ජීවමාන කරලා  ගත්තයින් පස්සේ මුලින්ම අපි කළේ ලංකාවේ තිබ්බ තානාපති කාර්යාල සියල්ලට ලියුම් දැමීම . අපේ සංගමේ ගැන විස්තර කරලා  ච්ත්‍රපට තියෙනවනම් ණයට ලබා දෙන්න කියල ඉල්ලුවා  . බොහෝ ඒවායින් උත්තර ලැබුනා. අපි ලෙක්චර්ස් කට් කරගෙන කොළඹ ගිහින් චිත්‍රපට උස්සගෙන අවා. බොහෝ වෙලාවට  චිත්‍රපටි රෝල තිබ්බ පෙට්ටි එම්බසියේ ඉඳන් කරේ තියාගෙන  බස් හෝල්ට් එකට උස්සාගෙන ආවා .

අවුරුද්දකට චිත්‍රපටි 24ක් පෙන්නන කොටු 24ක් තිබ්බ   කාඩ් එකක් තමයි රුපියල් විස්සකට වික්කේ . ඒත් මේ කියන  අවුරුද්දේ චිත්‍රපටි  තිස් ගානක් පෙන්නන්න අපට පුළුවන් වුනා . ඒවා නිකම්ම ඒවා නෙවෙයි ලෝකේ විවිධ රටවල උසස් ගනයේ සිනමා කෘති.

පොඩි කාලේ අපට මේ ලෝකේ තිබ්බ විශ්වකර්ම  තැනක්   වුනේ සිනිමා හෝල් එක. රීගල් එකේ වැඩ  කරපු මිනිස්සුන්ටත් මාර ගවුරවයක් හිතේ තිබ්බේ . ඒත් ෆිල්ම් සොක කරන කාලේ අපිටම කියල ෆිල්ම් හෝල් එකක් තිබ්බා . ඒ පේරාදෙණියේ සරසවි කලාගාරය හෙවත් AT ( Arts Theater) එක .  මේකේ ඇතුලේ එළියේ හැම තැනම අපේම තමයි .

ෆිල්ම් එකක් පෙන්නනන තීරණය කරාම ඒ ගැන විස්තරේ  සොකේ මුද්‍රාව සහිත  A3 කොලේක ලස්සනට ලියනවා චිත්‍රපටියේ නමයි දිනයයි වෙලාවයි. මේක හැම හොස්ටල් එකකම , කැන්ටින් එකකම ඇලවෙනවා. AT ශාලාව පිරෙන්න සෙනග එනවා. මේ ලස්සන පෝස්ටරේ අත්  අකුරෙන් ඇන්දේ අපේ මේඩ්ඩො සෙට් එක, මහේෂ්, නානා හා කුමුදු ඇතුළු පිරිස .

දවසක් මෙඩ්ඩන්ට විබාග තදවෙච්ච වෙලාවක ෆිල්ම් සොකේ පෙන්නන්න හිටියේ  La Ronde කියන ප්‍රංශ චිත්‍රපටිය . ඒකෙ පෝස්ටරේ අඳින්න  එකෙක් නෑ . පස්සේ මමම මගේ අවලස්සන අත්  අකුරින් ඇන්දා පාට පෑනක් අරන් . දැන් මේ පෝස්ටරේ ඉස්ස්සෙල්ලම  අක්බාර් කැන්ට්මේ අලවලා ඊට පස්සේ ගියේ wus කැන්ටිමට . කළු ආරි ඇතුළු කීප දෙනෙක් මගෙත් එක්ක හිටියා . උන්ගේ අත් අකුරු මගේ ඒවාටත් වඩා කැතයි . . මේ වෙලාවේ ප්‍රධාන පුස්තකාලේ පාඩම් කරමින් හිටි මහේෂ් ඇතුළු මේඩ්ඩන් පිරිස තේ බොන්න ඇවිත් හිටියා . ඔවුන් මොහොතක්  අලුතින්ම අලවපු පෝස්ටරය දිහා බලා හිටියා .ඒ බැල්මෙන් පෝස්ටරයේ නිමාව ගැන අදහසක් කියවුනා

“අනේ මචන් අපි මේක ලස්සනටම කරමු .මට කොළ ටික ගෙනැල්ල දීපන්” මහේෂ් කිව්වා. ඊට පස්සේ උන් ටික විබාගෙට  පාඩම් කරන එක නවත්තලා ගිහින් පෝස්ටර් ටික ලස්සනට ඇඳලා  හෝල් ඔක්කොගෙම අලවලත් තිබ්බා.

කලාගාරේ තිබ්බේ එක ප්‍රෝජෙක්ටරයයි . ඒකේ විනාඩි පහළවෙන්  පහළවට චිත්‍රපටය නවතිනවා.  රීල් එක මාරු කරනකන් ඉන්ටවල් එකක් දෙනවා. යන්ත්‍ර  ක්‍රියාකරු වුනේ මෙන්ඩිස් අයියා.සුදෝ සුදු නැෂනල්  එකක් ඇඳගෙන උඩ පේරාදෙණියේ සරසවි සේවක නිල නිවාසේ ඉඳන් වැඩට ආපු මෙන්ඩිස් අයියා හොඳ කලාකාමියෙක්. හැම චිත්‍රපටියක්ම පෙන්නන්න කලින් ප්‍රොජෙක්ටර් රුම් එකේ ගල් අරක්කු බාගයක් තියලා එන සම්ප්‍රදායක් තිබ්බා මෙන්ඩිස්  අයියා ඒකෙන් ටික ටික සප්පායම් වෙවී අර පරණ ප්‍රක්ෂේපන  යන්ත්‍රය අම්බන් කරගෙන කොහොම හරි  චිත්‍රපටිය පෙන්වනවා.

මෙන්ඩිස් අයියා පෙන්ෂන් ගන්න 1991 අවුරුද්දේ ඔහු වෙනුවෙන්  උපහාර චිත්‍රපටි උළෙලක් තියන්න යෝජනා වුනා . සරසවියක හිටපු සුළු සේවකයෙක් වෙනුවෙන් කරපු පළමු චිත්‍රපටි උළෙල වෙන්නැති ඒක.

ලංකාවේ  නමගිය චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙක්ගේ චිත්‍රපට උළෙලක්ද අපේ කාලේ සංවිධානය කළා  . කලකට ඉස්සර පේරාදෙනි සරසවි චිත්‍රපට සංගමයේ ක්‍රියාකරියකයෙක්  වෙලා හිටි මේ සම්මානනීය අධ්‍යක්ෂකවරයාත් එක්ක චිත්‍රපට  උළෙල ගැන කතා කරන්න අනිවත්තේ පිහිටි ඔහුගේ ගෙදරට ගියේ මායි  රත්නපුරේ රන්ජියි . අපව පිළිගත්තේ අධ්‍යක්ෂකවරයාගේ  දයාබර බිරිඳ. ඔහු එදා දුර පලාතක දේශනයකට ගිහින්. ඒ වනවිට උළෙල ගැන ඔවුන් තරමක්  දැනුවත් කරලා තිබ්බ නිසා වැඩේ පහසු වුනා. චාම් සරල ගෙදරක පුංචි කැබිනෙට්ටුවක් උඩ  එහෙන් මෙහන් අහුරලා තිබ්බ රාජ්‍ය සම්මාන , සරසවි සම්මාන රාශියක් මම දැක්ක.
“මේ වැඩේට මහත්තයා චිත්‍රපටි හතරක් දෙන්න කැමැත්තෙන්  ඉන්නේ. ඒත් එක චිත්‍රපටියක් කොහෙද කියල හොයා ගන්න බෑ . කොහොම හරි ලැස්ති කරලා තියන්නම්කො”.

ඒ දයාබර ගුරුමව පැවසුවා.

චිත්‍රපට උළෙල ආරම්බ කරන දවසටත් මේ අධ්‍යක්ෂකවරයාට  එන්න බැරි උනා.

උළෙලේ පෙන්නාපු චිත්‍රපටි තමයි බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ හා  පාර දිගේ .
Dharmasena Pathiraja -Photo rom Daily Mirror

---
මතු සම්බන්ධයි
( ගම්ලත්ගේ බඹරු ඇවිත් විචාරය, ජපන් තානාපති සරසවියට ඒම, Escape to Victory චිත්‍රපටය හා අරම්බක දේශනය ඇතුළු කතන්දර මීළඟ ලිපියෙන් )

දෙවන කොටස