Friday, March 18, 2016

තුම්මංහන්දියේ ලොකුමාමා හෙවත් අපේ සමන් රන්ජිත්

කාරයේ පිටුපස අසුනේ හරස් අතට මම නිදාගෙන ආවා .වෙලාව මධ්‍යම රාත්‍රියට ආසන්නයි . බණ්ඩාරවෙල හපුතලේ පසුකරමින් රිය බෙරගල පල්ලම බසිමින් සිටියා . කාරය පදවමින් සිටි බන්දු ඇහැරවා තබා ගනිමින් උපාලි ඉදිරි වම්පස අසුනට වී ඔහේ දොඩවමින් ආවා. වරින් වර මා ඔලුව උස්සා කතාවට සම්බන්ධ වෙන්න උත්සහ කළා .
එවිට බන්දු  මෙහෙම කියනවා
'නිදා ගනින් . ඊයේත්‍ නිදි නෑ . දැන් මෙහෙම්මම එයාර්පෝර්ට් ගිහින් පැය පහක් ප්ලේන් එකේ ඉඳලා හෙට ආපහු වැඩට යන්නත් ඕනිනේ'
මගේ පෙබරවාරි විසිනවවනිදා රාත්‍රිය ගෙවුනේ එහෙමයි .
ෂාහ් අවුරුදු  හතරකට පස්සේ සමන් හම්බුනේ ඊයේ. ඌ එක්ක පැය දෙක තුනක්වත් ඉන්න බැරි වුනා . කොයිතරම් දේ කතා කරන්න තිබ්බද?. ඒත් හෙට පළවෙනිදා බෙල්ල කඩාගෙන හරි වැඩබිමේ ඉන්න ඕනි. හෑන්ඩින්  ඕවර් එකක් තියෙනවනේ.

ඉදිරි අසුනේ ඉන්න මිත්‍රයෝ දෙන්නටත් සමන් හම්බුනේ අවුරුදු හතරකුත් මාස දෙකකට පස්සේ . උන් දෙන්නානම් සමන් ලංකාවට ආ බව දැනගත්  සැනින්  එහෙ ගිහින් තිබුනා. 2011 අවුරුද්දේ දෙසැම්බර් මාසේ දවසක එතෙක් මැද පෙරදිග රස්සාව කරමින් හිටි සමන් මාසෙකට ලංකාවට ආවේ සිය පවුලත් එක්ක ඔස්ට්‍ර්ලියාවට සංක්‍රමණය වෙන්න හිතාගෙන . එදා අපි සමන්ගේ ගෙදර රූෆ් ටොප් එකේ පොඩි මිතුරු සාදයක් දැම්මා. අපි ආයේ හම්බවෙලා සෙට් වෙන හැටි කතා කළා. 'උඹල ඔක්කොම එහෙ වරෙල්ල' . සමන්  කිව්වා.

මේ කල්පනාවල් අතරේදී ඉදිරි අසුනේ මතක කතා බහ ඇවිස්සෙනව .

සමන්ගේ දේශපාලනය. බණ්ඩාරවෙල වධ කඳවුරේ දින කීපයක් ගත  වෙච්ච හැටි.   මුතු කැට වගේ ලස්සන අත්අකුරු හින්දම ඔහුට වෙච්ච නිමක් නැති කරදර.

අඩි  සීයක් විතර දිගට පේරාදෙනි හිල්ඩා ශාලාවේ,  ආර්ට්ස් ෆැකල්ටියේ උඩ ගහපු 'පළමුව මව්බිම දෙවනුව උපාධිය' කියපු පෝස්ටර් . සමන්ගේ අත් අකුරු.

අපේ  බැච් එකේ කාගේ හරි නෑදෑයෙක්ගේ මළගෙදරක්,  මගුල් ගෙදරක්, පිරිත් ගෙදරක් තිබ්බොත් සමන් අඬ ගහගෙන යනවා . මගුල්පෝරු , පිරිත් මණ්ඩප , ගොක්කොල සැරසිලි හැම එකක්ම කරන්න සමන්ට  පුළුවන්.බැනර් අඳින්න සොහොන් කොත බඳින්න මුල් වුනේ සමන් .

ඒ දවස්වල අත් අකුරින් ලියන්න ඕනි කෝස්වර්ක්වල සෑහෙන දෙනෙක්ගේ මුල් පිටුව  සමන්ගේ නිර්මාණයක්.

අපේ කාලේ පීඨ දිනවල ජනප්‍රියම වෙච්ච නාට්‍ය දෙකේ කතා තේමාව, අධ්‍යක්ෂණය වගේම ප්‍රධාන නළුවා වුනෙත් සමන් . මම කලේ ඌ කියපු අදහසට  සින්දු ලියපු එක තමයි.
හැබැයි මේ කිසිම දේක කීර්තිය ගන්න සමන්  උනන්දු උනේ නෑ , කරපු දේ ක්‍රෙඩිට් එක සමහර විට කාට හරි ගියා . ටික දවකින් සමන් කාටත්  අමතක වෙනවා. මේ සිද්දිය පුනරාවර්තනය වෙමින් කාලාන්තරයක් සිද්ද වුනත් සමන් ඒ ගැන තැවුනේ නෑ . අලුතින් ප්‍රබෝධමත් යමක් කරලා කාව හෝ සතුටු කළා .
තුන්මන් හන්දිය නවකතාවේ ලොකු මාමගේ චරිතය සමන්ට බොහෝ දුරට ගැලපුනා .

සමන් ඉස්සෙල්ලාම කොළඹ ගිහින් වල්ලවත්තේ තට්ටු  නිවාස ව්‍යාපෘතියක වැඩ කළා . සමනටත්, ඔහු සමග වැඩ කළ මාහිටිටත් හම්බුන කුඩා නවාතැන ඒ දවස්වල අපේ  මිත්‍රයන්ගේ කොලඹ තානායම. ඉන්ටවිව් එනකොටත්, ලෙඩුන් බලන්න හෝ මොනයම්ම වැඩකට කොළඹ එනකොටත් කවුරුත් පාහේ නතර වෙන්නේ සමන්ගේ නවාතැනේ. ඒ විතරක්ද ඉස්සෙල්ලම කොළඹ රස්සාවක් හම්බ වුනාම නවාතැනක් සෙට් වෙනකන් යාළුවො කාලයක් තිස්සෙම ලැඟුම් ගත්තේ සමන්ගේ  නවාතැනේ. මේ සියලු දෙනාටම ඉඳුම් හිටුම්, තුන්වේල කෑම විහරක් නෙවෙයි හවසට බීර බෝතල්ද සැපයුනා.

දවසක්  සයිට් ඉංජිනේරුවන් දෙදෙනාට දුන් කාමර දෙකේ නිල නිවාසයට සමාගම් ලොක්කා මහා රාත්‍රියේ ආවේ හදිසි විදෙස් ගමනකට එයාර්පොර්ට් යනගමන් . ඔහුට ඉංජිනේරුවන් දෙන්නා හොයාගන්න බැරි වුනා. මොකද දෙන්නා වෙනුවට සාලේ කාමරවල  එක වයසේ දාහත් දෙනෙක් නිදා සිටි නිසා .

කටාර්වලට ඇවිල්ලා සමන් කුලියට ගත්ත කාමර දෙකේ  නිවසත් ඒ වගේ. එක කාමරයක කාලයක් මම හිටියා . අනෙක් හැමතැනම හැමවිටම තව දෙතුන් දෙනෙක් හිටියා බොහෝ විට මේ රටේ ඉස්සෙල්ලම රස්සාවට ඇවිල්ල බෝඩිමක් හොයාගන්නතුරු නැවතිලා හිටි අය . මේ සමහර දෙනෙකුට රස්සා හොයලා දුන්නේ සමන්මයි . ඒ විදිහට බැලුවම ලංකාවේදීත් පිටරටදීත් කී දෙනෙක් රස්සාවලට දාන්න සමන් මුල් වෙන්න ඇත්ද ?

වෙන එකක් තියා මේ මට  කසකස්තානෙත් මැදපෙරදිගත් රස්සාව කරන්න ලැබුනේ සමන් නිසා. ඌ මගේ CV එක කණපිට හරවලා සහතික අමුණලා පියවරෙන් පියවර සීරුවට හොයා බලපු නිසා තමයි මට මේ රස්සා කරන්න ලැබුනේ.  සමන් ඕස්ට්‍රේලියා ගියාට පස්සේ සතියකට දෙකකට වතාවක් මට කතා කළා. ඒ හැම විටම කාට හෝ රස්සාවක් දෙන්න මාව උනන්දු කළා. කාගේ  හෝ ජීව දත්තයක්  මට යොමු කළා. මේ විදිහට සමහරුන්ගේ ජීවිතේම වෙනස් පැත්තකට හරවන්න සමන්ට පුළුවන් වුනා .

පිටිපස අසුනේ වැතිරී නින්දත් නොනින්දත් අතරේ මට මෙවැනි දේවල් කල්පනා වෙමින් සිටිද්දී ඉදිරි අසුනේ බන්දුගේ හඬ උස්ව නැගෙන්නට වුනා.

'උඹ දන්නවද සමනුයි මායි  88 මුල කැම්පස් වහල තියෙන කාලේ රස්සාවක් හොයාගෙන ගිය හැටි . පත්තරේ තිබ්බ අවිස්සාවේල්ල පැත්තේ සයිට් එකකට සුපර්වයිසර්ල ඕනි කියල අපි දෙන්නා  සන්තකේට තිබ්බ රුපියල් එකසිය පණහත් අරගෙන අවිස්සාවේල්ලේ යන්න හිටියා වැලිමඩ බණ්ඩාරවෙල පාරේ. බණ්ඩාරවෙල පැත්තට සෑහෙන වෙලාවකින් බස් එකක් නෑ . මෙන්න එකපාරට ආව අනිත්පැත්තට යන  මහනුවර බස් එක . දෙන්නම පාර පැනලා ඒකට ගොඩ වුනා . නුවර ගිහිං අපි අම්පාරට ගියා. අතේ ඉතිරි වුනේ රුපියල් දෙකයි. පස්සේ උපුල්ගේ ගෙවල් අහ අහ පයින් ගියා . අම්පාරේ උපුලගේ  අයිය ඉස්කෝලේ මහත්තයෙක්. එයාගේ ගෙදර යන්තම් හොයාගත්තයින් පස්සේ අපට ගමනාන්තයක් ලබුනා . අවිස්සාවේල්ලේ ගමන එතනින් ඉවරයි. මම දවස් දෙක තුනකින් උපුල්ලා අක්කාගෙන් සල්ලි ඉල්ලගෙන ගෙදර ආවා. සමන් මාස තුන හතරක් අම්පාරේ කුඹුර වල ගම්  වල ඇවිද ඇවිද ඉඳල තමයි ආවේ.'

ඒ අම්පාරේ ජීවිතේ ගැන සමන් මට විස්තර කිව්වා කසකස්තානේ අපි රස්සාව කරද්දී .  ඒ කතා බොහොමයක් හරිම සුන්දරයි. අලුත් තැන්වල ඇවිදින්න අලුත් රටවල් බලන්න යන්න මිනිහට තිබ්බේ පුදුම ආසාවක්. කසකස්තානේ වගේ රටකට රස්සාවකට යන්න හිතන්නේ එහෙමත් කෙනෙක්. එහෙදි අපි කතා වුනා කවද හරි ඉඩක් ලැබුනොත්  මොන්ගෝලියාව , බටහිර ඉන්දීය දූපත් වගේ රටවල රස්සාව කරමු කියල.

මට තරමක් නින්ද යාගෙන එද්දී ඉදිරි අසුනෙන් රස කතාවක් ඇසෙන්නට උනා .

'අපි  ෆස්ට් ඉයර් එකේ ඉද්දි මතකද ඌ අපිව කෝච්චියට ඇරලන්න ඇවිත් දුන්න අණ්ඩරයක් . පේරාදෙණියෙන් රෑ එකොළහ හමාරට පිටත්වෙන කෝච්චියෙන් තමයි අපි බොහෝ විට ගෙදර එන්නේ. උදේ හයහමාර වෙනකොට බණ්ඩාරවෙල.  බණ්ඩාරවෙලින් බැස්සම ඉස්සෙල්ලම යන්නේ දියතලාව පාරේ තිබ්බ පුංචි තේ කඩේකට . සැර ලුණු මිරිස උලපු පොල් රොටියයි කාලා, ස්ට්‍රොන්ග් ප්ලේන්ටිය බිව්වම මාර ගතියක් දැනෙනවා'.

අපිව කෝච්චියට ඇරලන්න බැචාලා කීප දෙනෙකුත් එනවා . ඒ වගේ දවසක බන්දුයි උපාලියි ඇරලන්න එන උන් එක්ක සමනුත් ආවා . මේ උපාලිගේ වචන .

' ඉතින් අපිව පෙට්ටියකට නග්ගලා  මිනිහා යන්නම් මචන් කියල ගියා.

පහුවදා උදේ අපි බණ්ඩාරවෙලින් බැහැලා සුපුරුදු රොටි කඩේට යනකොට මෙන්න සමන් ඒ කඩේ වාඩි වෙලා රොටි කනවා . හිකි හිකි ගගා හිනා වෙවී. අපිටත් එක්ක රොටි ඔර්ඩර් කරලා . ටික වෙලාවක් යනකම් අපි හොල්මන් වෙලා හිටියා. පස්සෙයි තේරුනේ මේ යකත් ඒ කෝච්චියෙම වෙන පෙට්ටියකට රිංගලා  ඇවිත් කියල' .

ඉදිරි අසුනෙන් නැගී පුපුරා හැලුන සිනාවට මමත්  එකතු වුනා. ඒත් ඒ සිනහවේ  කෙළවර  ඉතා බරපතල දීර්ඝ නිහඬතාවයක් .මේ අප සිටින්නේ සමන්ගේ මළගමට ගොස් ආපසු එනගමන් වග තුන්දෙනාටම සිහිපත්වෙලා තිබුනා.

*********************.

සමන් රන්ජිත් මනතුංග යනු මට ජීවිතයේ හමුවූ ඉතාම කිට්ටුවන්ත සොඳුරු මිතුරෙක් . ඒ වගේම ඔහු ලංකාවෙන් බිහි වෙච්ච සුවිශේෂී ඉංජිනේරුවෙක්. පහුගිය පෙබරවාරි 28 වැනිදා ඔහු මිය ගියේ මා දන්නා විශ්වයේ විශාල හිස් පදාසයක් මවමින්.

මම ලියපු කැස්පියන් හඳ කතා මාලාවේ මහතුන් තමයි සමන් කියන්නේ. මගේ  මගුල් පෝරුව හැදුවේ සමන්. මා ලියු ගොඩක් කතාවල ඔහු ගැන සඳහන් වුනා.
ඔහු ගැන පොතක් ලියන්නට තරම් දේ තිබුනත්, ඔහුගේ වියෝවින් පසු කිසි දෙයක් ලියා ගන්න බැරිව  හිත හිරි වැටුණු සති  තුනක් ගෙවා දමන්නට මට සිදු  වුනා.   මට විතරක් නෙවෙයි තව බොහෝ දෙනෙකුට ඔහු සොඳුරුතම  මිතුරෙක් හා දුර්ලභ වටිනා මිනිසෙක්. මගේ ඊළඟ සටහන වෙන්වන්නේද ඔහු වෙනුවෙනුයි.