Wednesday, April 19, 2017

රාහුල පුත්‍රයා


ගේ පැරණි මිතුරෙක් සිය දරු පැටවුන් සමග කලකට පසු මට  හමු වුයේ  බණ ගෙදරකදීය. මේ ගෙදර කතාබස් දොඩමලු වීම් අතරේ විදුලි ආලෝකය යහමින් තියෙන තැනකට විත් මගේ මිතුරාගේ පුත්‍රයා ලොකු පොතක් කියවමින් සිටියේය .

'අපේ පුතා කාලේ නාස්ති කර ගන්නේ නෑ . ඉඩක් ලැබෙන හැම වෙලාවේම පොතක් කියවනවා ' සි  පුත්‍රයා දෙස ආඩම්බරයෙන් බලමින් මිතුරා මට කිව්වේය.

'ඒක හරි හොඳ පුරුද්දක්' . මා කීවේ මුනිච්චාවටය

එක්ෂණයකින් මට මහත් කේන්තියක් ඇති වුනේය.  මහා ලොකුවට අපේ සංස්කෘතිය ගැන ආගම ගැන කතා කරනවා , ලියනවා. ඒ වුනාට තමන්ගේ දරුවට රටේ   මිනිස්සු කතාබහ කරන දේවල්වත් අහගෙන ඉන්න දෙන්නේ නෑ.

ඔහුගේ පුතාට බණ ගෙදරක වෙන දේවල්, මේ යන එන මිනිසුන් , ඔවුන් කතා කරන දේ, වතාවත් සිදුවන පිළිවෙල, හාමුදුරුවන්ගේ දේශනාවේ සාරාංශයක්  එහෙම  උකහා ගන්න  ඉඩ දෙන්න බැරි ඇයි?. මේ සිදුවෙන දේ  අතරේ  පොත් දෙක තුනකින්  ගන්නට බැරි දැනුමක් එන්නේ නැතිද? අනෙක් අතට ඔය අතේ තියෙන පොත ආපහු ගිහින් ගෙදරදී වුනත් කියවන්න පුළුවන්නේ . ඒ වගේද මේ සජීවී මිනිස් එකමුතුව?
 මේ ආදී දහසක් ප්‍රශ්න මගේ හිතේ සරද්දී අනෙක් අතට මට හිතුනේ ඒ දරුවාට අනුන්ගේ කටවල් දිහා බලා ඉන්නට  එපැයි කියන හොඳ අවවාදය තදින් ලැබී තිබෙන්නට ඇති බවය.

බණට හාමුදුරුවෝ වඩිනතුරු  තැන තැන එක්රැස් වී අමුත්තන් විසින්  කරන කතා බහට ඇහුම් කන් දුන්නෙමි .  වැඩි දෙනෙක් කතා කලේ රට පාලනයේ අඩුපාඩු, ක්‍රිකට් ටීම් එකේ දුර්වලකම් , නිළියන්ගේ පෙම්හබ , හා  ඒවා හරියට කරනවානම් කරන්ඩ තිබ්බේ මෙහෙමයි යනාදී කතායි. හාමුදුරුවන්ගේ  බණ දෙසුමද මෙලෝ රහක් හෝ ගුණයක් තිබ්බේ නැත . කාලීන දේශපාලන ඕපදූප , පවුල් ජීවිතවල අවුල් , ජාතිවාදී කතා හා විශ්වාස කිරීමට අපහසු මිත්‍යා කතා අතර පටලවුණු නිසා එය අසා සිටීමට අපහසු ඉදිරිපත් කිරීමක්  විය .

අන්තිමේ මට හිතුනේ මිතුරාගේ පුතා හිටි ස්ථාවරය නිවැරදි බවයි.

******************
පහුගිය කාලයේ රටේ ආන්දෝලනයට ලක් වූ සයිටම් විරෝධය, මහා බැංකු වංචාව හා කුණු කන්ද නාය යාම වැනි ප්‍රශ්න සියල්ල  දැක දැක බකන්නිලාගෙන  සිටීම නොහොබිනා කමක්යැයි සිතුනු නිසා රටේ කාලීන ප්‍රශ්න ගැන කතාබහ කරන විද්වත් හමුවකට සහබාගී වුනෙමි .

ඒ හමුවෙන් පසු සාදයක්ද තිබුණු අතර යහමින් සප්ප්පයම් වී  මැදියම් රැයේ මා ගෙදර ගොඩ වන විට අර  මිතුරාගේ පුත්‍රයා අපේ සාලයේ ලයිට් සියල්ල දමාගෙන පොතක් කියවමින් සිටියේය .

මට ඔහු හමු වුයේ අවුරුදු දෙක තුනකට පසුවය.

එදා බණ ගෙදරදී ආවාට වඩා කේන්තියක් මට ඇති වුනේය . මේ පාරනම් මට කට පියාගෙන ඉන්න බැරි විය .

' දැන් බලනවා ළමයෝ මේ රටේ වෙන්නේ මොකක්ද කියල ඔහෙලා දන්නේ නෑ ,  දේශපාලකයෝ හොරකම් කරනවා, හැම තැනම කුණු කඳු , මිනිස්සු යට වෙලා මැරෙනවා, ආර්ථිකේ කොට උඩ, කැම්පස් ළමයි මොකාක් හරි එහෙකට ඉස්ට්‍රයික් . ඒ අස්සේ ඔහෙලා මේ පොතක් හරි ටැබ් එකක් හරි බදාගෙන මේ ලෝකේ මිනිස්සු නෙවෙයි වගේ තමුන්ගේ වැඩක් බලාගෙන  . ඔහෙලා මෙහෙමද  ඉස්සරහට  මේ රට බාර ගන්න ඉන්නේ? '

එවර මගේ ගොරානාඩුව ඉලක්කයට වැදුනේය. පොඩි එකා වරදකාරී බැල්මක් මා වෙත හෙලමින් පොත වසා එකත්පස්ව හිට ගත්තේය .

'අන්කල් ගේ කේන්තිය සාධාරණයි ' ඔහු කිව්වේය .

'මේකනේ අන්කල්  දැන් අපට කරන්න  ඉතීරිවෙලා තියෙන්නේ එක දෙයයි . විප්ලවකාරී පක්ෂයක් හදා ගන්න එක . ඊට පස්සේ මේ ක්‍රමය පෙරලලාම් දාන එක '

'හෝව් හෝව් . ඒ වගේ දේවල් හිතන්න ඕනි නෑ පුතා . ඒ මොන මෝඩ වැඩක්ද ? එහෙම  කරන්න ගිහින් දෙපාරක්ම වැරද්ද ගත්තනේ . විප්ලව කරන්න හදිස්සි වෙන්න එපා '

''එහෙනම් අන්කල්ම කියන්න . ඔය රටේ වෙන හැම දේකටම උනුත් එකයි මුනුත් එකයි  , ගිය එවුමුත් හොරු  දැන් ඉන්න  එවුමුත් හොරු  ගගා ඉන්න එක  විතරද කරන්න තියෙන්නේ? . ඉතින් හිටපු උන් පත් කරෙත් අංකල්ලා , දැන් ඉන්න උන් පත් කරෙහ් අන්කල්ලා. මේ ප්‍රශ්න අංකල්ලා පොඩි කාලෙත් තිබ්බා . ඒවා  බලා ඉන්න බැරි තරම් අසාධාරණයි  කියල අංකල්ලා විප්ලව කරා. විප්ලව පක්ෂ පිස්සු කෙලිනන පටන් ගන්නකොට උන්ටත් අන්කල්ලා බනින්න පටන් ගත්තා. අදටත් ඒවාට ඔච්චම් කරන එක විතරනේ කරන්නේ   ''.

කොල්ලාගේ කටේ සැර වැඩි වේගෙන එද්දී මූ ටිකක් ඕනිවට වැඩි යයි මට සිතිනි. කොලුවා දිගටම කියවාගෙන ගියේය  .

'"මේ කිසි දෙයක් හරි යන්නෑ අන්කල් හරියට ජාතික ප්‍රතිපත්තියක් හදාගන්නේ නැතිව . ඔය දේශපාලකයෝ ආණ්ඩු මට්ටු කරන්න පුළුවන්නේ හැම දෙයක් ගැනම  හරි කෙලින් ප්‍රතිපත්තියක් සිස්ටම් එකක් හැදුවොත් විතරයි .  ක්‍රමේට උඩින් වැඩ කරන්න දේශපාලකයින්ට  බලය දීලා උන්ට ඕනිම  ජඩ වැඩක් කර ගන්න පුළුවන් විදිහේ ලේකම් වැඩයි , ලියකියවිලි වැඩ ඔක්කොම කරලා දෙන මහා ලොකු උගත්තු අංකල්ලා . මේ සේරම බලන්න ගියොත් අපිට වෙන්නේ මහා මුහුදට පනින්න. නැත්නම්  විප්ලව කරන්න "   කොල්ලා වෙවෙලමින් කිව්වේය .

'අපි දන්නවා අංකල් ඔය මොන  කෙහෙම්මලක්වත් හරි යන්නේ නා, ඔයාලගේ පරම්පරාව මේ සීන් එකෙන් අයින් වෙනකම්. එතකන්  මේ රට හදන්න බෑ  . ඒ වෙනකන්  අපිටත් තියෙන්නේ පොතක් බලාගෙන කොම්පියුටර් ගේමක් ගහගෙන ඉන්න .

කොලුවාගේ කනෙන් ඇදගෙන ගොස් මගේ පුස්තකාල කාමරේ අගුළු දැමූ මම , අපේ වැලි සැපයුම්කරුවකු සිංහල අවුරුද්දට දුන් හැම්පරයක් පීරා බොන්නට සැර  යමක් ඇද්දැයි සෙවීමි.

Image : dreamstime.com

Thursday, April 13, 2017

පළතුරු කතා හා අතුරු කතා

යේ  පරණ අවුරුද්ද දවසේ යාබද නගරයේ කළ සාප්පු සවාරියේදී දුටු විෂ්මකුරු දසුනක් නිසා අවුරුදු කාලේ පළතුරු ගැන ලියන්නට සිත් වුනා . දනව්වේ හැම කෙහෙල් කඩයකම එකම ලා කොළ පාටින් ඉදුණු කෙසේල් කැන් සිය ගණනක් තිබීම. මුල් ඇවරියේ සිට එකිනෙක ඇවරිය ඉදෙන්නට ඕනෑ වුනත් , කෙසෙල්  කැනේ උඩ ඉඳලා පහලටම එකම පාටින් ඉදෙන්නේ කොහොමද? ඇරත්  කැන් සිය ගණනක් එකපාර ?. මේ බොහෝවිට  ඇසිටලින් හෝ වෙනත් රසායනයක උදව්වෙන්  කළ හාස්කමක් වෙන්නට  පුළුවන් .

මේ විදිහට නෙවෙයි මොන විදිහට ඉදවලා තිබ්බත්, ගහෙන් කඩාගෙන ගෙනවිත් දුන්නත් දැන් ළමයි පලතුරු කනවා හොරයි. ගිය සතියේ හිතවතකු බලන්නට ගිය ගමනකදී ගෙඩි ඉදී පර වෙවී වැටෙන පිණි ජම්බු ගහක් දැක්කා. අහල පහල  ගෙවල්වල ළමයි නතුවාවත්දෝ කියලා මට හිතුනේ එක පොලුපාරක්වත් මේ ගහ දෙසට එල්ල වූ වගක්ද පෙනෙන්ට නොතිබුන නිසා .

අලිපේර, අඹ,පැපොල් . හිඹුටු. පේර, ජමනාරන්, හින්නාරන්, අනෝදා, උගුරැස්ස  ආදී නොයෙක් පළතුරෙන් සාර වූ අපේ ගමේ ගහක ඉදුණු පළතුරක් කවදාවත් දකින්ට ලැබුනේ නෑ , ඒ යන්තම් ඉදීගෙන එන විට කවුරුන් හෝ ඒවා කඩා ගන්නා නිසා .
 ලේනන්, කපුටන්, කොල්ලන් හා ගස් නගින කෙල්ලන්ද ඒ කාලේ හිටියා. අපේ ගෙදරත් හිටියා.   බාගෙට ඉදුණු කෙසෙල් කැනක් ගෙදරට ගෙන ආවාම ඒ ගෙඩි ඉදෙනේකන් ඉන්න ඕනි වුනේ නෑ. අතින් ඔබල ඔබල හත් අට දෙනෙක් ඉදිලද බලද්දී නිකම්ම කන්න පුළුවන් පදමට එනවා දවසකින් හමාරකින් .

මේ විස්තර සමග සුපුරුදු පලතුරු නොකෑමේ දෝෂාරෝපණ අපේ ළමයින් දෙන්නා ඉදිරියේ මලු දිගාරිමින් සිටිද්දී මට එකපාරම මතක් වුනා  යසෝ ආච්චිලා පළතුරු වත්ත . අපේ ගමේ ආච්චිලා කීප දෙනෙක්ම බොහොම සිරියාවන්ත ගෙවල් හා සාරවත් ගෙවතු නඩත්තු කර ගනිමින් තනිවම ජීවත්  වුනා . මේ බොහෝ දෙනෙක් වැන්දඹුවන්. සමහරුන් දරුමල්ලන්ගෙන් ඈත්ව තනිවම ජීවත් වුනා . යසෝ ආච්චි ගමෙන් ටිකක් ඉස්මත්තට වෙන්න ආණ්ඩුවේ පතනක් වටේ දඬු වැටක් ඉදි කරගෙන පලතුරු වත්තක් වැව්වා. මේ පළතුරු වත්තේ  ඇඹුල් පෙර, ජෑම් පෙර, මදේ රතු පේර හා අනෝදා ගස් යහමින් තිබ්බා . හැබැයි මේ ආච්ච්ගේ වත්තෙන් හොරකම් කරනවා බොරු . අතේ පයේ හයියට වඩා උන්දැගේ කටේ සැර දන්නා ඕනිම ජගතෙක් ඒ පළතුරු හොරකම් කරන්න හිතුවේ නෑ .

කොහොම හරි අවුරුදු දවසක ගම වටේ කොලු රංචුවක් සමග ඇවිදිදදී අපට හොඳ ආරංචියක් ලැබුනා. ඒ යසෝ ආච්චිට පොඩි  මුදලක් දී  ඇඹුල් පේර ගෙඩි කඩා ගැනීමට අවසර ලබා ගත හැකි බව.
මේ අනුව මමත් සුනිමල් හා සරත්සිරි ඒ දෙසට ඇදුනා . යසෝ ආච්චී  බොහොම පිරිසුදුවට ගේදොර හා පලතුරු වත්ත තියාගෙන හිටියා .  සුපුරුදු  ආගන්තුක  සැලකිලි අතරේ අපේ රුපියල ඇයට දී පේර ගෙඩි ටිකක් කඩා ගන්න දැයි ඇසුවා .
'හොඳයි පුතේ පේර ඇති තරම් කාලා යන්න පුළුවන්න. හැබැයි අරගෙන  යන්න නම් දෙන්නේ නෑ . ඒ පලතුරු බුෆේ එකක් . වත්තේ ඇතුලට ඇතුලට යද්දී අපි ඉදුනු පලතුරු ලෝකෙක අතරමන් වෙලා.  කනවා කනවා . ගස් නගිනවා . අතු පහත  කරනවා. කඩනවා . කනවා . ඇඹුල් පේර, ජෑම්පෙර, සුදු පේර, මදේ රතු පේර. දැන් ඇති කියලා හිතෙන්නෙම නෑ . රුපියලට හරියන්න කන්නත් ඕනි. ගෙනියන්න බැරි වාඩුව අල්ලන්න්නත් ඕනි . අන්තිමේ බඩ ගෙඩි පුහුල් ගෙඩි වෙනකන් කාලා තමයි ආපහු යන්න තීරණය කලේ. ඒත් යන්න කලින් ආයෙමත් හැරිලා ජෑම්පේර  ගෙඩි අහුරක් කෑවා .

අපරාදේ කියන්න බෑ යසෝ ආච්චි අපිට සීමා දාන්න ආවේ නෑ . පළතුරු මතින් අපි වැනි වැනී ආච්චිගේ සවිමත් ලී ගේට්ටුව ගාවට ආවා. "ලොකු අම්මා අපි යනවා ' සුනිමල් කිවා. ඇය ගෙයි පිළිකන්නේ හාල් පොලන  ගමන්ම .හා පුතේ දෙයියන්නේ පිහිටයි පලයල්ලා. කිව. මට කරකැවිල්ල වගේ ආවා . ආච්චිගේ ගේට්ටු කනුව බදාගෙනම නහයෙන් කටින් ඕක් ඕක් ගාමින් එන බාගෙට හැපූ පලතුරු සලාදය බිමට හැලුනා. බඩ පපුව දැවිල්ල දිදී අම්ල මුසු ඇඹුල් දියරය ආපසු ආවා.  සුනිමල් කබරයා ඇද්දේ ඊලඟටයි.
මටනම්  ජීවිතේටම  පළතුරු අප්‍රිය වී  සිටි කාලයක්  තිබුනානම් මේ සිද්දියෙන් පසු ගත වූ සති දෙක තුන විතරමයි. ඒකට දැන් හැදෙන ළමයි .

චිත්‍රය -දෙව්නි  හා ඔවිනි