Monday, September 25, 2017

මේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයයි


ඉංග්‍රීසියෙන් Writers  Block කියන්නේ රහට හෝ නොරහට මොනවා හෝ කුරුටු ගාමින් සිටින  කෙනෙකුට ලියන්න දේ ඉතිරිව තිබියදීත් ලිවීම එපා වීමය. මම  මේ වචන දෙකේ  තේරුම සිංහලෙන් ලියන්නට උත්සහ කළෙමි  . එක්තරා ඩික්ෂනරියක්  තෝරාගෙන  පළමුවෙන්ම writer  යන්නට දී ඇති සිංහල වදන තේරීමි. ඒ අතරින් මගේ හිතගත් නිර්වචනය වූයේ  'කංකානම'  යන්නයි . ඒ මා දැනට කරමින් සිටින රස්සාවටද ටිකක් ගැලපෙයි. ඊළඟට block  යන්නට දී ඇති සිංහල වචන අතරින් මනරම්ම එක වූයේ  'අඩය' යි. හරියට හරි ඔය තියෙන්නේ වචනය ; 'කංකානම්ගේ අඩය'  හෙවත් writers  Block. මා මේ වෙර වෑයම් දරන්නේ writers  Block එකෙන් බේරීමටය . කොටින්ම කංකානම්ගේ අඩය  ගළවන්නටය . එහෙන් මෙහෙන් දින සටහන් ටිකක් ලියා වැඩේ පටන් ගත්තෙමි .
මේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයයි
මම ආයෙමත් ආදරය කරන්නට පටන් ගත්තා . ඒ පොල්ගහවෙල රේල්වේ ඉස්ටේමටයි.  කාලෙකට ඉස්සර බණ්ඩාර කේ විජේතුන්ගයන් ලියු මේ පද පේලිය කියවලා තියෙනවද ?

දුම්රිය ඇන්ජිම මම ..
ඔබ ඇයි
රේල් පීලි මත පිපුනේ?

මේක මගේ ජීවිතේට කිසිම සම්බන්දයක් නැති වුනත් ලොකු දොනී වෙනත් කොහේදෝ ඉස්ටේසමකදී ගත්  ඉහත ෆොටෝ එක නිසා මට ඒ කවිය මතක් වුනා . පොල්ගහවෙලදී මට ආයෙමත් පොටෝ එකත් කවියත් දෙකම මතක් වුනා .
ඉස්ටේසමේ උඩුමහල්  කැන්ටිමේ ටී එක මරු . පොල් රොටියනම් ගන්ඩ  දෙයක් නෑ. ඒත්  මම ඉස්ටෙසමට කැමතියි.  පොල්ගහවෙල ඉඳන් මරදානට එක්ස්ප්‍රස් එක පැයයි  විනාඩි දහයට එනවා. ඒත්  මරදානේ ඉඳන් රාජගිරියට ටැක්සියේ යන්න පැය  එක හමාරක් විතර යනවා .

මම පහුගිය දවසක පොල්ගහවෙලින් නැගලා හම්බවෙච්ච සීට් එකේ වාඩිවෙලා පොඩි නින්දක් දාන්න හැදුවා විතරයි මෙන්න මගේ ඉස්සරහ හිටි හාදයා මුළු පෙට්ටියම දෙවනත් වෙන්න මල් කඩනවා .
'කොහෙද සුදූ  ඔයා ඉන්නේ. මම තාම  පොල්ගහවෙල . තව පැය  එක හමාරක් වත් යයි සුදූ . ඔයාට බඩගිනිනම් මොනවා හරි කන්න . හැබැයි සුදු මම නම් ගෙදර යනකම්  වතුර එකක්වත් බොන්නේ නෑ''
.
අනුන්ගේ ඕපාදුප හෙවිල්ල කොච්චර නරක පුරුද්දක් වුනත් අපි  ඒ නොසන්ඩාල වැඩේ කරනවා. අපි සරසවි බෝඩිමේ ඉන්නා කාලේ  පාරේ වැටිලා තිබ්බ බොහොම රසවත් පෙම් හසුනක් ඒ කාලේ අතින් අතට ගියේ තළු  මර මර තව තවත් ලුණු ඇඹුල් එකතු වෙමින් . නන්නාදුනනන අහිංසක පෙම්වතී සිය පෙම්වතාට මෙහෙම ලියල තිබ්බා .

" මම දන්නවා සුදූ  ඔයා නරක වැඩ  කරන බව . සිගරැට්  බොන බව . එක අතකට කොල්ලෙක් වුනාම සිගරටුත් බොන්න ඕනි තමයි . හැබැයි සුදෝ එකයි දෙකයි .
සුදු ඔයා අපේ ගෙදර ලඟින් නිතර එහෙ මෙහෙ යනවා නේද. එහෙම ගියත් ඔයා අපේ ගේ පැත්ත හරි හැරී බලද්දී අයියලාට මොනා හරි දැනුනොත් මට ඉන්න වෙන එකක් නා . ඒ නිසා සුදෝ ආයේ අපේ ගෙදර දිහා බලන්න එපා. හැබැයි සුදෝ මමනම් ජනේලෙන් හරි බලනවා ''

ඉතින් මේ අතීතය පුනරාවර්තනය වෙමින් යනවා අර කෝච්චියේ හම්වුන පෙම්වතා සිය ප්‍රේමවන්තියට දුරකථනය ඔස්සේ පෙම් වදන් තෙපලීම හෙවත් මල් කඩ කඩා විසි කිරීම නිසා.
' ඔන්න සුදෝ  අපි දැන් අඹේපුස්ස පහුකලා . නෑ  එතන මේ එක්ස්ප්‍රස් ට්‍රේන්  එක නවත්තන් නෑ . මම ඔයාට කලිමුත් කියල තියෙනවනේ. ( තරමක් සැර  වැර  ඇතිව ) ඔන්න  සුදෝ ආයෙනම්  මගෙන් අහන්න එපා අඹේපුස්සේ මේ කෝච්චිය නවත්තනවද කියල"
 

ඔන්න ඔහොම ඒ ලවුඩ්ස්පීකර් ප්‍රේමය රස විඳපු දවසට පස්සේ මට ආයේ චාන්ස් එකක් ලැබුනා පරණ පෙම්වතී ( නෑ  නෑ  අලුත් පෙම්වතී ) එක්ක කෝච්චියේ රාගම ඉඳන් පොල්ගහවෙලට යන්න . ඉතින් එක ළඟ වාඩි  වෙලා මේ ජෝඩුව යන්නේ මළ  ගෙදරක.  ඒක  වුනේ මෙහෙමයි. දැන් මාස තුනකට විතර කලින්  සෙනසුරාදා හවසක මම අපේ නෝනට මෙහෙම කිව්වා .
' මට හෙට මළ  ගෙදරක යන්න තියෙනවා . පොතුහැර . කෝච්චියේ යන්නයි ඉන්නේ.  ඒ ගමන් අපේ නෝනා කියනවා
' මටත් මළ  ගේක යන්න තියෙනවා. අපේ ඔෆිස් එකේ හිටි යාලුවෙකුගේ  තාත්තා නැති වෙලා ඒත්  ඔය පැත්තේම තමයි . ඔෆිස් එකෙන් වහනයක්  යනවත් කිව්වා .
'ඒත්  ඉතින් ඉරිදා විතරනේ අපට පොඩ්ඩක් නිදහසේ ඉන්න තියෙන්නේ ළමයි එක්ක වත්තේ පිටියේ ඇවිදලා එහෙම . හොඳයි නැද්ද ?

කලාතුරකින් අපි දෙන්නා එකම මතයකට එළඹුනා .
ඒත්  ඉරිදා උදේ නැගිට්ට ගමන් මට මොකක්ද වගේ. මේ ගමන නොගිහින් හොඳ නෑ . මම කලින් අසනීප වෙලා ඉද්දි බලන්න ගිය වෙලෙත් මේ බ්ලොග් යාලුවා ගැන හරි ලෙන්ගතුකමක් හිතුනා. මම මළ  ගෙදර ගිහින් එන්නම් .
"ඔයා කොහොමද යන්නේ"  නෝනා ඇහුවා
"කෝච්චියේ . රාගමට ගිහින් එතැනින් පොතුහැරට"
.
"අනේ එහෙනම් මාත් එන්නම්. අර මළ  ගෙදරත් ඔය කිට්ටුවමනේ ඇත්තේ. යන ගමන් කාගෙන් හරි ඇඩ්රස් එක අහමු".

හා හොඳයි කියලා දෙන්නත් එක්ක ළමයින්ගේ විරෝධය මැද උන් දෙන්නා ගෙදර දමලා පිටත් වුනා .
ඒ ගමනේදී තමයි අපි දෙන්නට එකට වාඩි  වෙලා යන්න සීට්  එකක් හම්බුනේ. කාලෙකින් නිදහසේ කතා කරන්න බැරි උනානේ, එක වහළ  යට උන්නට .
ඉතිං ..
"ඔයාගේ බ්ලොග් යාලුවා කොහෙද වැඩ කරන්නේ ? "
"එයා දැන් වැඩ නෑ  ආමි එකේ ඉඳලා පැන්ෂන් ගිය කෙනෙක්"
 .
"ඇත්තද අපේ යාලුවාගේ තාත්තත් ආමි එකේ ඉඳලා පැන්ෂන් ගිය කෙනෙක්"
.
ඈ  එතකොට එයාගේ නම මොකක්ද ? 
ගුණරත්නද  මොකක්ද වගේ නමක් .

"ඇත්තද... අපේ  යාලුවාගේ සර්නේම්  එකත් ගුණරත්නනේ "
අපි එහෙට මෙහෙට කෝල් දෙක තුනක් ගත්තා . බැලින්නම් වැඩේ හරි . අපි දෙන්නම යන්නේ එකම මළ  ගෙදර. යන්නේ කොහෙද කියලා අමතක වෙලා අපි දෙන්නටම මාර හිනා .
විචාරක උන්නැහැ තරහ වෙන එකක්  නෑ  අපි එයාගේ මළ  ගෙදර ආවේ  හිනා වෙවී කියල දැන  ගත්තානම් .
අනික කියන්න බැරි උනා අපි ගිය කෝච්චිය පොතුහැර නතර කරන්නේ නෑ  කියපු නිසා අපි එදා බැස්සේ පොල්ගහවෙලින් .
*****
තව කොටසක් තියෙනවා

සේයාරුව දෙව්නිගෙන්