Sunday, June 21, 2020

අටවිසිමහල 18- දඹුල්ලේ රාත්‍රියක්



කොටස් වශයෙන් පලවන අටවිසි මහල නවකතාවේ දහ අට කොටසයි මේ . මින් පෙර කොටස් මෙතැනින්

සිල්වා ආරක්ෂක කුටිය තුලින් එලියට පැමිණ තමා ඉදිරියේ වැඳ වැටී ' මට සමාවෙන්න සර් ' කියද්දී මනෝරන්ජන් සිටියේ  රොබෝවෙකු විලාසයෙනි . වසර ගණනාවක් පිටරටක වහන් වී සිට ලංකාවට පෙරළා ආවාට පසු ඔහුට දැනී එහෙත් පහුගිය දිනවල තුනී වී ගොස් තිබූ එක්තරා භීතියකින් ඔහුගේ සිත ඔද්දල් වී ගියේය.  තමා පසුපස කිසියම්  ඔත්තු කරුවකු හඹා එනවා  යන සැකය යලි මතු වී ආවේය . එවැනි ලුහු බඳින්නෙක් මග හැරීමට දැරූ උත්සාහය අපතේ ගොස් ඇතැයි ඔහුට සිතුනේය . ඔහු සිල්වාගේ වියපත් කුඩා සිරුර පිටිපස සැඟවී සිටින  රහස් පරීක්ෂකයෙකුගේ මායා රූපයක්  දුටුවේය .

මේ අතරවාරයේ වැඩබිම අවට සිටි පිරිස සිල්වා හා මනෝරන්ජන් දෙස තරමක් ඈත් වී බලා සිටියෝය . කවුරුන් හෝ පණිවිඩය කියා තිබු නිසා වැඩබිම් ඉංජිනේරු අසේල පමා නොවී එතැනට  දිව ආවේය .   මනෝරන්ජන්ගේ බාහුවෙන් අල්ලා ගත්තේය .

" යමු යමු මනෝ මහත්තයා ආපු එක කොච්චර දෙයක්ද" කියා සිය කන්තෝරු කාමරයට ඔහුව කැඳවාගෙන ගියේය .
මනෝරන්ජන් සිල්වා ගැන තව දුරටත් හිතන්නේ නැතිව අසේල සමග ඉදිරියට ඇවිද ගියේය .
ඒ කන්තෝරු කාමරය  ඉඩ පහඩු ඇති  හුරු බුහුටි එකක් වුයේය . වැඩ නිම වෙමින් යන හෝටලයේම කොටසක් වූ එහි බිත්ති හා කුළුණුවල ඉස්තරම් නිමාව  දැක මනෝරන්ජන් විස්මයට පත් වුනේය. ඔහු බිත්තිය අසලට ගොස් පාට ගෑ බිත්තිය අත ගා බැලුවේය. පොටි ඇද, පිලර් තට්ටුවක් හා ඒ මත පළමු තීන්ත තට්ටුව පමණක් ආලේප  කර තිබුන එහි  ඉතාමත් හොඳ පෙනුමක්  තිබුනේය.  ඔහු බිත්තිය දෙස බලාගෙන කාමරයෙන් එලියට  පමිණ හෝටල් කොරිඩෝරය  දිගේ ඇවිද ගියේ විස්මයට පත් වූ දෑසිනි .
" මේ ෆිනිෂින් වැඩ ටික කවුද බලන්නේ අසේල ? "  ඔහු තමා අසලින් නිස්සබ්දව පිය නගන අසේල දෙස බලා ඇසුවේය .

' මමම තමයි මහත්තයා . මම ගෝලයෝ ටික හදල ගත්තා . අපරාදේ කියන්න බෑ කපරාදුවට එනකම් වැඩ ටිකත් ලස්සනට කරලා තිබ්බා. ඒ නිසා මගේ වැඩේ ලේසි වුනා ."
මනෝරන්ජන්ගේ වත ආලෝකමත් විය .

" මම මොන තරම් බිල්ඩින් සයිට් වල හිටියත් අපට තියෙන ලොකුම චැලේන්ජ් එක අන්තිම නිමාව  හරියට කර ගන්න බැරි වෙන එක. මේක නම් ඉස්තරම්. මෙහෙ වැඩ කරන ටීම් එක අපි අටවිසි මහලට ගනිමු "
මනෝරන්ගේජන්  මේ ප්‍රකාශයත් සමග  තමා සමග යලි එකට වැඩ කිරීමට ඔහුගේ අදහසක් තිබෙන බව අසේල තේරුම් ගත් නිසා ඔහු හඬ අවදි කළේය .

'රිචර්ඩ් ගිය  සතියේ ආපු  වෙලෙත් මේ හැම තැනම ඇවිදලා බලල මට කීවේ අට විසි මහලේ ෆිනිෂින්  කරන්න පටන් ගන්නේ මම එහෙ ආවම කියල . මේ මාසේ අන්තිමට එහෙට එන්න කිව්වා "

මනෝ පුදුමයෙන් බලා සිටියේය .

" මොනවා  ගිය සතියේ රිචර්ඩ් මෙහෙ ආවා ? මට ඒ වගක් කිවේ නෑනේ . එතකොට රිචර්ඩ් දන්නවද සිල්වත් මෙතැන ඉන්නවා කියල. මම හිතුවේ නෑ මිනිහා අපේ කොම්පැනිය දන්නා කියන තැනක්වත් වැඩට ගනීවි කියල  "

අසේල  කට කොනකින් සිනා සුනේය .
" මම හිතුවේ  මනෝ මහත්තයා දැනුවත්ව තමයි  සිල්වා මෙහාට ආවේ කියල. ඇයි මිනිහට මන් ඉන්න තැන කියල තියෙන්නේ මහත්තයාමනේ "

මනොරන්ජන් වටයක් කරකැවී තමා  පසුපසින් එන අසේල දෙස දැඩි බැල්මක් හෙලුවේය.  ඒ බැල්මේ මවිතය හා කේන්තිය දෙකම සමෝසමේ තිබුනේය .

"සිල්වා මෙහෙ ඉන්නවා කියල රිචර්ඩ් දන්නෙත් නෑ . සිල්වා අපේ කොම්පැනියට අරගෙනත් නෑ . ඒ කතාව මං  පස්සේ කියන්නංකො .  මනෝ මහත්තයා දැන් ඉතින් අපි තේ එකක් බීලා ඇඟ පත හෝදගෙන නිදහසේ කතා කරමු. මහත්තයා ආ එක කොච්චර දෙයක්ද? මම හැබැයි හිතුවා කොයි වෙලේ හරි මේ පැත්තේ එයි කියල"

" නිදහසේ කතා කරන්න වෙලාවක් නෑ අසේල . මට අපහු අදම කොළඹ යන්න ඕනි . මම අර ත්‍රී වීල් එක ගත්තෙත් ආපහු දඹුල්ලට ඒකෙ යන්න බලාගෙන . මම ආවේ අසේල හොඳින් සනීපෙන් ඉන්නවද කියල බලාගෙන යන්න විතරයි "

" ත්‍රී වීල් එක ගැන මම බලාගන්නම්.  ඔන්න  ඔහේ මෙහෙ නිදහසේ අද රෑ ඉඳලා යන්න "
අසේල එසේ කීවත් මනෝරන්ජන්ගේ හිතේ නොමනාපයක් පැවතුනේය. අනෙක් අතට ඔහුගේ යටි සිතේ  මේ නිස්කාන්සු පරිසරයේ දවසක් නැවතී විවේක ගන්නනට වුවමනාවක්ද  තිබුනේය .

පසුව බලන විට  මනොරන්ජන් හමුවුනේ  වැවු බැම්මේ  ඇතිරූ  ටාපොලින් රෙද්දක් මත වාඩි වී සිටිද්දීය. ඔහු එකතු කරගත් චුටි ගල්කැට අහුරෙන් එකින් එක  අඳුරු වැව් දියට  වරින් වර වීසි කළේය . කෑලි වලට කැපු තියඹරා  , තැම්බූ කැරට් අල හා බදින ලද වැවු  මාළු   පිරවූ ප්ලාස්ටික්  පිගන් තුනක්  ඇතිරිල්ලේ එක් කෙළවරක තිබිණි.  අවර්ණ සැර දියරයක් පිරවූ ලේබලයක් නැති බෝතලයක්ද වීදුරු දෙකක්ද රැගෙන ආ අසේල   නිහඬව වාඩි වුනේය .

තවත් ටික වෙලාවකින් වෙලාවකින් අසේල කතා කළේය .
"මනෝ මහත්තයා සිල්වා ආපහු මගේ ලඟට ගත්ත එකට  අමනාපද ? "

" මම අමනාප නෑ. ඒත් මම හිතන්නේ ඒක මෝඩ වැඩක් . භයානක වැඩක් කියලා . මොකද රිචර්ඩ් මේ  හැම දේම කලේ, එහෙම කරද්දී මම සද්ද නැතිව ඉවසාගෙන හිටියේ, අසේලගේ ආරක්ෂාව ගැන හිතලා. සිල්වා භයානක මිනිහෙක් නොවෙයි කියල අසේල හිතනවානම් මිනිහ මෝඩයි කියලවත් හිතන්න.  එහෙම උනත් තව දුරටත් ඒ වගේ කෙනෙක් ළඟ තියා ගන්න එක භයානකයි . මතකනේ අර රජ්ජුරුවන්ගේ ආරක්ෂාවට හිටි මෝඩ වඳුරාගේ කතාව   "

අසේල කොක් හඬලා හිනා වුනේය .

" මේ අහන්න ලොකු මහත්තයා .  ඔයාත් රිචර්ද්වත් මේ ප්‍රශ්නෙදි කලබල වුනාට මහා පොළොවේ අඩිය ගහල ප්‍රශ්නේ විසඳන්න උත්සහ කළේ නෑ. අච්චර  මොලේ කල්පනා කරන ගෑනි අම්රිතාටවත් මේක තේරුම් ගත්තේ  නෑ. සිල්වා වගේ මිනිස්සු  හැම තැනම ඉන්නවා. සිහි කල්පනාව තියෙන ඕනිම කෙනෙක්ගෙන් වැඩක් ගන්න පුළුවන් කියලා මනෝ මහත්තයාමනේ  මා  එක්ක කිව්වේ. සිල්වා කියන්නේ ආවතේව කරුවාගේ වැඩේ නැත්නම් සේකුරිටි වැඩේ හරියටම කරන කෙනෙක් . මිස්කින් කියන්නේ සයිට් එක බලා ගන්න ගමන් ස්ටෝර් කීපර් වැඩේ තිතට කරන මිනිහෙක් . ඒ මිනිස්සුන්ගේ ලෝකේ  පුංචියි සරලයි . ඒත් අපේ දුර්වල තැන් ඒ මිනිස්සුන්ට අහු වෙන්න තියල අපිම කලබල වෙලා මහා ලොකු තීරණ ගන්න එක මෝඩකමක් "

අසේල ලුනාව වැඩ බිමේදී මෙන් නොව දැන් තම මතය නොපැකිළ කතා කරයි. එකෙනෙහිම මේ තමා පැමිණ සිටින්නේ ඔහුගේ ව්මානයට බව මනෝරන්ජන් වටහා ගත්තේය. තමන්ට යටහත් පහත්ව කියනා සියලුම දේ පිළිගත්තාක් මෙන් සිටියාට අසේලටත් මතයක් තිබෙන බව මනෝරන්ජන්ට අමතක වී තිබුනේය .

අසේල යලි හඬ අවදි කළේය .

" දැන් බලන්න සිල්වා මට ආපිට ගහයි කියල හැමෝම බය වුනා. ඒත් සිල්වා ගැන මම දන්නවා. මට සීයෙට දෙසීයක් ෂුවර් මිනිහා මට අතක් උස්සන්නේ නෑ . මිනිහා කරපු වැරැද්ද නිසා ලජ්ජාවෙන් හිටියේ .  මිනිහාට ආයේ වැඩට එන්න ඕනි උනත් එන්න ලැජ්ජයි . බයයි . මිනිහා බය ගුටි දීපු මට නෙවෙයි තමන්ගෙන් වැරද්දක් වුනා කියල හිතෙන මනෝ බොස්ට . එතකොට මිනිහා දුක කියන්නේ තමන්ගේ අලුත් යාලුවා නන්දෙට . නන්දෙ මොන තරම් කචල් කාරයෙක් වුනත් මේ කතාවේ කෙළවරක තමන්ගේ දුවත් ඉන්නවා කියල දන්නවා. තමන්ගේ වැයික්කියේ තැන තියා ගන්න බොරු සද්දයක් දැම්මට නැන්දේ කවදාවත් අපි කාටවත් අතක් තියන්නේ නෑ. මාව  දඹුල්ලට මාරු කළා කියල මනෝ මහත්තයාගේ කටින් පිට වෙච්ච දවසට පහුවදාම මිනිහා සිල්වත් එක්කරගෙන මෙහෙ එනවා. සිල්වා මගේ ගාව වැඩට එන්න කැමතියි . ඒත් කොම්පැනිය දාලා ගිය මිනිහෙක් ආපහු ගන්න බෑ , ඒ නිසා තමයි මම සේකුරිටි කොම්පැනියට කියල ඒකෙ රස්සාව අල්ලලා දුන්නේ"

අසේල පමණක් නොව සිල්වා ඉදිරියේද තමන් පරාජය වී ඇතැයි මනෝරන්ජන් සිතුවේය. ඒත් ඔහු තුල සියුම් සතුටක් මෝරා ආවේය , එය අසේල කෙරෙන් මතුවන පරිණත සමාජ දැනුම නිසා උපන්නකි .

අසේල ඒ අදහස සනාථ කරමින් යලි කතා කළේය.

" සයිට් එකක පොඩි වලියක් කියන්නේ මහා ලොකු මැනේජ්මන්ට් තීරණ අරන් මිනිස්සු එහෙට මෙහෙට මාරු කරලා විකාර වැඩ කරන්න තරම් දෙයක් නෙවෙයි මහත්තයා . සයිට් එකට අල්ලපු වත්තේ කෙල්ලෙක් එක්ක යාලු වෙන්න ඕනි හොර ලියුමක් අහුවුනත් කලබල වෙන්නේ නැතිවෙන්න හිත හදා ගෙන . ඒකිගේ අප්පා බීගෙන  සයිට් එකට ඇවිල්ලා මේ ඉන්නේ මගේ බෑනා කියලා සද්දේ දාද්දීත් ඉවසන්න බලාගෙන . මනෝ මහත්තයා එහෙම තෙම්පරාදු වෙලා නෑ කියල මම දන්නවා. ඒ නිසයි මම ඔය කෙල්ලගේ කතන්දරේට අකමැති වුනේ . නැත්නම් නන්දෙගේ දුව කසාද බැඳගෙන ඒ වත්තේ පදිංචි උනත්  මට ඇති රුදාවක් නෑ"

අසේල අවසාන වාක්‍යය කිව්වේ හඬ නගා සිනා සෙමිනි. මනෝරන්ජන්ද  ඒ සිනාවට එකතු වුනේය.

හත්දින්නක් තරු පොකුර දිහා සිනා සිසී බලා සිටි මනෝරන්ජන් දෑස ඉන්  ඉවත් කර ගන්නේ නැතිවම මෙසේ ඇසුවේය .
"අසේල හෙට අපි පොඩි ගමනක් යමුද ?"
" කොහෙද ?"
"පේරාදෙණිය පැත්තේ "



-මීළඟ කොටස -



Image Source : Lonely Planet

Tuesday, June 16, 2020

අටවිසිමහල 17- සර් මට සමාවෙන්න


මෙහි පලවන්නේ අටවිසිමහල නවකතාවේ දාහත් වන කොටසයි . මින් පෙර කොටස් මෙතැනින්



මන් ගත් තීරණය පිලිබඳ  දෙවරක්  සිතා බලන්නේ නැතිව මනෝරන්ජන් අසුනින් නැගිට බිම් මහලේ වටයක් ඇවිද ගියේය. එහි සියලු මුක්කු හා සටරින් ගලවා ඇත . අලුත් සයිට් ඔෆීස් එක එහි කෙළවරක ඉදි වෙනු ඇත . ඇතුලත බිත්ති බැඳීමේ වැඩ පටන් ගෙනය .විදුලි හා ජල නල වැඩ කරන උප කොන්ත්‍රාත් කරුවන් දෙදෙනෙකු වැඩ අරඹා ඇත .

එතන ඒ හැටි බලන්නට දෙයක් නැත . හදිසියෙන්  කරන්නට දෙයක්ද නැත. පිරිසිදුවට හොඳ විදිහට වැඩ ටික හෙමි හෙමින් කෙරීගන යයි. ඉන්පසු ඔහු අලුතින් දැමු කොන්ක්‍රීට් තට්ටුව බලන්නට ගියේයය. ඒ මත තෙත තුනී වතුර තට්ටුවක් රැඳෙන සේ හතර වටෙන් තාවකාලික සිමෙන්ති බදාම නියරක් බැඳ තිබුණි .

ඔහු හෙමි හෙමින් ගේට්ටුව අසල නවතා තබෙන සිය රථය වෙත ආවේය. ඔහුට රියදුරෙකු ලැබී තිබෙන බව  සිහිපත්  වුනේ ඒ වේලාවේය. ඔහුට ආයෙමත් රිචර්ඩ් ගේ වැඩ කටයුතු එකින් එක මතක් වීමෙන් මුවග සිනාවක් මතු වුනේය . සිල්වාගේ ආරෝව ඇති වූ දවසේ පටන් ඔහු අසේලගේත් තමාගේත් ආරක්ෂාව තහවුරු කරන්නන්ට ඇඟට පතට නොදනී මෙන් කළ දේ අතර තමාට  නවාතැන මාරු කරන්නට සිදු වීම හා අලුත් රියදුරෙකු ලැබීමද විය .

රියේ දොර  හතරම ඇරගෙන මුහුදු හුළඟ විඳිමින් ගුණසේන සැපට නිදාගෙන සිටී. ඔහු කුද්දාගත් මනෝ "යමු" යයි කීවේය.  ඊළඟට සේකුරිටි  කුටිය අසල බය පස්සපාතව සිටි මුරකරු හා ආවතේවකරු අමතා ' කවුරු හරි මාව හෙව්වොත් කියනවා  ගමනක් ගියා එහෙම්ම බෝඩිමට යනවා කියල  '

ඉන්පසු ඔහු අඟුලාන පාරේ ගමන් කරමින් සිටියේය. ෆෝචුන් බුකිය දුටු විට වහා යමක් මතක් වුනාක් මෙන්  රිය නවත්වන්නැයි කීවේය . බුකිය තුලට ගියේය. අලුත් කෙල්ලන් දෙදෙනා හා තවත් එක් පාරිබෝගිකයෙකු පමණක් එහි සිටියේය. ඔහු මදක් වටපිට බැලුවේය. පෙර මෙන් මිත්‍රශීලී තැනක් නොවුනි. නෙත්දරා හා ඇගේ යෙහෙළිය සමග විවේකී වෙලාවට ඔහේ දොඩවමින් සිටි අතීත මතකය පමණක්ම  විඳ වැඩි වෙලාවක් නොසිට  යලි ආපිට හැරී ආවේය.

ආයෙමත් රිය හරවාගෙන ලුනාව පැත්තට යමු යයි කීවේය. නෙතදරා ගේ ගෙවල් තිබු වත්ත අසලට යද්දී කෙසඟ කළු ගැසුණු පුද්ගලයෙක් පාර හරහා දිව ගියේය ඔහුගේ අතේ මිරිකා ගත් පරණ මෝස්තරයේ කාන්තා අත් බෑගයක් තිබුනේය. ඔලුවේ හෙල්මට් දමාගත් අඹු සැමි යුවලක් ඔහු අසු පස මද දුරක් දිවවිත් හතිලමින් නතර වී එකිනෙකාට දොස් පවරා ගන්නා සෙයක් පෙනිණි .

' ඒකත් එකට  අර මිනිහා  මෝටර්  සයිකලේ  ස්ලෝ වෙද්දී  ගෑණු කෙනාගේ  අතේ තිබ්බ බෑග් එක  උදුරාගෙන දුවන්න ඇති " මනොරන්ජන් නිදිමත රියදුරාට කීවේය.

තව දුරක් යද්දී පාර පටු වී ගෙවල් මණ්ඩිය එකිනෙකාට ගුලි ගැසී කෙට්ටු වී , දුර්වර්ණව සිටියේය. අවුරදු පහක පමණ   පොඩි කොලුවෙක්  සිය ජංගිය ගලවා ඔලුවේ දමාගෙන සිමෙන්ති කානුව දෙපැත්තේ කකුල් තබාගෙන මළපහ කරමින් සිටියේය. ඔහුට විහිළුවක් කරමින් අසලින් ගිය වැඩිහිටි කොල්ලෙකුට පොඩි එකා බැන වැදුනේය .

 ජනේලයකින් උඩුකය එලියට දමා බලා සිටින රතු   සල්වාරියක් ඇඳගත් තරුණිය දෙස ඔහු හිස ඔසවා  බලා සිටියේය . ඈ වැඩිපුර පවුඩර් දමා තොල් තද රතු පාට කරගෙන සිටියාය . ගුණසේන රියේ වේග්ය අඩු කර මනොරන්ජන් දෙස බැලුවේය . ඔහු එපිට සිටි කාන්තා රුවද දුටුවේය.
' සර් නවත්තන්න ඕනිද ?'
' යමු යමු " මනෝරන්ජන් සැර දැම්මේය.
කලපුව වටේ පාරෙන් කැරකී යලිත්  ගාලු පාරට  දැමු රිය කෙලින්ම ඇදී ගියේ පිටකොටුව දෙසටයි.
' ගුණසේන දැන් නුවර ඉන්ටර්සිටි නවත්තන්නේ ගුණසිංහපුරේද ? "
" නෑ මහත්තයා මැනින් මාකට් එක පැත්තේ"
" ගුණසේන මාව එතැනින් දාල බෝඩිමට යන්න . වාහනේ  එහෙ දාලා ගෙදර යන්න . මම නුවර යනවා එන්න ටිකක් රෑ වෙයි "

මනොරන්ජන් බස් නැවතුම්පල පැත්තට ඇවිද ගියේ ඒ හැටි උද්යෝගයකින් නොවේ.  නෙතදරාගේ ගෙවල් පැත්තේ ගැසූ සවාරියෙන් පසු ඔහුගේ සිත ව්‍යාකුල වී තිබේ.

නුවර බස් නැවතුමේ දිග පෝලිමක් තිබේ . ඊට මදක් ඔබ්බෙන් හෙමින් අද්දන බස්රියේ පාපුවරුවේ එල්ලී ගැටයෙක් කෑ ගසයි.

'සීට් තියෙනවා නගින්න නගින්න     දඹුල්ල , කැකිරාව අනුරාධපුරේ, පුරේ පුරේ... "

වහා  ක්‍රියාත්මක වූ මනෝරන්ජන් නුවර ගොස් නෙතදරා දැක ගැනීමේ සිහිනයෙන් මිදී අනුරාධපුර බසයට ගොඩ වී හිස්ව තිබු අසුනක් සොයා ගත්තේය .

' දඹුල්ලට එකක් " ටික වෙලාවකින් තමන් වෙත ආ කොන්දොස්තරවරයාට ඔහු කීවේ පසුම්බිය අදින ගමන්ය .
වරකාපොලට යනතුරු ඔහු කල්පනා කරමින් සිටියේ  නෙතදරා ගැනය . ඇගේ ගෙදර පිහිටි තැන හෝඩුවාවක් හොයා ගන්නට ඔහුට වුවමනාව තිබුනද අද ඒ පැත්තට ගිය ගමන ගැන ඔහුට සතුටක් තිබුනේ නැත .

ඉන්පසු මැල්සිරිපුරදී බසය  තේ බොන්න නතර කරන තුරු ඔහු කල්පනා කරේ සිය ළමාවිය හා   කෙටි සරසවි දිවිය ගැනත් , දෙවන වසරේ සරසවි සිසුවෙක්ව සිටියදී තමාට රටින්ම පලා යන්නට සිදු වූ පසුබිම ගැනත්ය . අම්රිතාගේ හමුව ගැන ඔහුට කල්පනා  නොවුනා නොවේ. රසවත් කෑමක් ගනිද්දී රසම කොටස පසුවට තබා ගන්නාක් මෙන් ඔහු අම්රිතා ගැන කල්පනා කිරීම පසුවට කල් තැබුවේය .

දඹුල්ලට ආසන්න වෙද්දී මනෝරන්ජන් කල්පනා කලේ අසේල ගැනමය. ඔහු  ගැන මනම්පේරි දුන් රෙකමදාරුව,  ඉන්ටවිව් එක දවසේ රෑ පුරා ඔහුගේ ජීවිත කතාව අසා සිටි හැටි, ඉන් පසු දිනෙන් දින වැඩුණු ගරු සැලකිලි මුසු මිත්‍රශීලී කම. ජීවිතයට සුන්දර මතකයක් ඉතිරි කළ අසේලගේ ගමේ ගත කළ දවස . පළමු තට්ටුව  දමා අවසන් වන තුරු හුරුබුහුටි ලෙස පැවරු වැඩ ටික මෙහෙය වූ හැටි . මේ සියල්ල සමග අවසානයේ ඔහු සිල්වා සමග ඇති කරගත් ආරෝව ගැන සිතද්දී මනෝරන්ජන් වරදකාරී සිතුවිල්ලකින් කම්පා වී ගියේය.

" අසේලට එහෙම වුනේ මම නිසා. මගේ බොළඳ වැඩ නිසා. හෙවිල්ලක් බැලිල්ලක් නැතිව සිල්වා වැනි  දුර්ජනයෙක්  වැඩට ගත්තේ මම  , මේ වාගේ අවුල් ඇති වෙන්නට ඉඩ තිබෙන බව දැන දැනම නෙතදරා එක්ක පැටලුනේ මම  "

දඹුල්ලෙන් බැස  ත්‍රීවීල් එකක් අල්ලා ගත් ඔහු ගල් බොරළු පිරි පාරක් ඔස්සේ ගැස්සී ගැස්සී අලුතින් ඉදි වෙමින් තිබෙන ' ට්වයිලයිට්" හෝටලය සොයා යද්දී ඔහු කල්පනා කරේ අසේලගේ ආරක්ෂාව වෙනුවෙන් රිචර්ඩ් ගත් මේ පියවර මොන තරම් තීක්ෂණ එකක්ද කියලාය. කැට පහර කා උරණ වූ නයෙක් මෙන් සිල්වා සමහර විට අසේලට  අනතුරක් කරන්නට ඉඩ තිබිණි . ඔහු ඒ තරම් නුගතෙකි, නොමිනිසෙකි . ඒ මදිවාට ඔහුට නන්දේ වැනි වත්තේ චණ්ඩින් සමග කුළුපගකම්ද  තිබිණි .

හිතුවාට වඩා  සෑහෙන වෙලාවක් ගත වී ඔවුන් කුඩා වැවක් අද්දර මනස්කාන්ත එළිමහන්  භූමියකට ලඟා වුහ. ගල්තලාවේ කෙලවර සෑහෙන දුරට වැඩ නිමා වූ දෙමහල් හෝටල් ගොඩනගිලි දෙකක් තිබිණි. ඉදි වෙමින් යන  ප්‍රතාපවත් ගේට්ටු කණු දෙක අසල කුඩා මුර කුටියක් ඔහු දුටුවේය . ඔහු ත්‍රී වීලයෙන් බැස හෙමින් හෙමින් මුර කුටිය දෙසට ඇවිද ගියේය . එතුල සිටි පුද්ගලයා තමා දැක සැඟවෙන්නට අසාර්ථක උත්සහයක් දරන අයුරු මනෝරන්ජන් දුටුවේය .

ඉන්පසු සම්පුර්ණ සෙකුරිටි  නිල ඇඳුම ඇඳ සිටි  ඒ පුද්ගලයා , හුනස්නෙන් නැගිට,  මුහුණ පහතට හරවාගෙන  සිය  හිස රැඳී තොප්පිය ගැලෙව්වේය .
එවිට ඒ තට්ට හිස කාගේදැයි මනෝරන්ජන් හඳුනා ගත්තේය .



-මීළඟ කොටස  -


Image Source: Sundayobserver

Thursday, June 11, 2020

අටවිසි මහල 16 - මනෝට හා අසේලට ස්ථාන මාරු



මේ පලවෙන්නේ අටවිසි මහළ නවකතාවේ දහසයවන කොටසයි. අදින් ඇරඹෙන්නේ කතාවේ තුන්වන  පරිච්වචේදය වන දෙවන මහලයි
මින් පෙර කොටස් මෙතනින් 

මාසයකින් ලියන්නට බැරි වූ දිනපොත අතට ගත් මනෝරන්ජන් කල්පනා කලේ අපහු ලියන්නට පටන් ගන්නේ කොහොමද කියලාය. ඔහු  යන්ත්‍රානුසාරයෙන් මෙන් ලාච්චුව ඇර එහි අඩියේම පරණ ලිපි කරදාසි ගොන්න යට තිබු ලියුම හා කවරය අතට  ගත්තේය.  ආයේ කවදාවත් කියවන්නේ නෑ කියා සිතු ලියුම. මේ ලියුම  ඉතා  අවිහිංසක එකක් වුනත්  ඒ හා බැඳුනු  පුර්ව හා අපර කතා සියල්ල සතුටින් සමරන්නට් හැටියක් නැති වුනත්  ඔහු නැවත වතාවක් ලියුම කියෙව්වේය. මෙවර ඔහුට කලින්වර කියවද්දීට වඩා එහි ගැඹුරක් දැනුනේය.  ලියුමේ  පේලි අතරේ   ඔහු විනාඩි ගණනක් නතර වී සිට අලුතින් හමු වූ  සුන්දර වැකි කියෙව්වේය. මල්  ඉහිරුණ ගඟබඩ  මාවතක්  දිගේ සිහිනයෙන් මෙන් ඇවිද ගියේය . තනිකම සුසුමකින්  විඳ ගත්තේය . ඔහු පිළිතුරක් ලියන්නට තීරණය කළේය . එහෙත් තමා  කිසිදාක ළයාන්විත යමක් ලියා නැති බව සිහිපත් වී යලි උකටලී උනේය. දෑත් බැඳ කල්පනා කළේය . ඔහුට කෝපි කෝප්පයක් බොන්නට හිතුනේය . ඒත් සමග ඔහුට හීල්ලුනේය. සිල්වා අමනාප වී  ගෙදර ගොස් දැන් මාසෙකට වැඩිය. වැඩබිම පාලුය. අලුතින් පත් වී  ආ ගෝලයා මුර කුටිය අසල බිම ඇණ තියාගෙන ඔහේ බලා සිටියි . පෙරේදා දෙවන ස්ලැබ් එක දැමුවාට පසු දින දෙකක්  නිවාඩු ලබාගෙන මිස්කින්ද ගමේ ගිහිල්ලය .

ඔහු නැවත සිය අසුනේ වාඩි වුනේය. අලුත් මිනරල් වතුර බෝතලයක් ගෙන ඉන් ටිකක් බීවේය. අසේලත් නැති,  අම්රිතාත් නැති , සිල්වාත් නැති  වැඩබිමේ ඔහුට කවදාවත් නැති තනිකමක් දැනුනේය . දල්වා ගත් සිගරට්ටුවෙන්ද ඔහුට සැහැල්ලුවක් දැනුණේ නැත .

අන්තිමේදී ඔහු නෙතදරා ට ලියන පිළිතුරු ලියුම වාගේ  දින සටහනක් ලියන්නට සිතා ගත්තේය. "හිතට එන ඕනිම දෙයක් ඉස්සෙල්ල ලියනවා. ප්‍රගති වාර්තාවක් වගේ තිබුනත් කමක් නෑ."

හිතාදර නෙතදරා

නෙතදරා එවූ  ලිපිය ලැබී මාසයකට වැඩිය ගත වුනා  . එවූ ලියුමට උත්තරයක් බලාපොරොත්තු නැති බව අදහස් කර තිබුනා වුනත්  මේ ලියන්නේ මට පැවසීමට ඕනෑම වී තිබෙන දේවල්. . අනෙක් අතට මේ ආදර ලියමනකුත්  නෙවෙයි. අවුරුදු තිස් දෙකක් ජීවත් වීත් මම කවදාවත් පෙම් හසුනක් ලියා නැති බව කීවොත් ඔබ විශ්වාස කරනවාද? ලියුම් ලියා නැතිවට ප්‍රේමය  සම්බන්ධ අත්දැකීම් කිහිපයක් මට තියෙනවා . ඒවා සියල්ල මම කාට හෝ කියන්නට හෝ අඩුම තරමින් ලියා තබන්නට හෝ බලාපොරොත්තු වෙනවා.

නෙතදරා  එවූ ලියුම මම කියෙව්වේ අපේ පළවෙනි ස්ලැබ් එක දැම්ම දවසේ. මම මේ උත්තරේ ලියන්නේ අපේ දෙවන තට්ටුවේ ස්ලැබ් එක දාපු දවසටත් පස්සේ  . පුදුමය කියන්නේ මම  ඒ ලියුම කියවපු දවසෙන් පස්සේ ඊයේ වෙනතුරු සයිට් එක පැත්ත පලාතකවත් නොගිය එක. . එදා ඔයාගේ ලියුම මගේ අතට ලැබුන  දවසේ   රෑ පාන්දර වෙනකම් වෙරල අද්දරට වෙලා නට නටා හිටපු අපි කන්තෝරුවේ මේස පුටුවලම නිදා ගත්තා .

පහුවදා උදේ  රිචර්ඩ් අසේලව එක්කගෙනන ගියා හෙඩ් ඔෆිස් එකට . අම්රිතා තනියම ටැක්සියක්  අරන් ගෙදර ගියා . මට නිදා ගන්න වුනේ නෑ. ඔයාලගේ තාත්තා නන්දෙ ආවා. කලින් දවසේ රෑත් එයා  ඇවිත් ගෝරි දාලා ගිහින් තිබ්බා අසේල මහත්තයාට ගහන්න හොය හොයා. එයාගේ යාලුවා සිල්වාට ගහපු පලිය ගන්න . අපේ කන්තෝරුවේ අත් උදව්වට හිටි සිල්වා එක්ක නන්දේ හිතන්නත් බැරි තරම් කුළුපග වෙලා  හිටියේ. ඒ හිතවත්කම තමයි ගොඩක් කලබල වලට මුල් වුනේ .

මම ඔයාගේ තාත්තා ආවට පස්සේ කියන්න හිටියේ මෙන්න මෙහෙම කතාවක්.
' නන්දෙ ඔහේ දන්නවානේ ඔහේගේ  දුවයි මගෙයි අතර තිබ්බ පුංචිම පුංචි හිතවත්කම ගැන . අර සිල්වා හොරෙන් කියවපු ලියුමේ විස්තරේ ඔහෙත් දන්නවා  කියල මම දන්නවා . මම  ඔහේගේ දුවත් එක්ක මින් පස්සේ කිසිම සම්බන්ධයක් තියා ගන්නේ නෑ, ඒ ළමයා දක්ෂ වාසනාවන්ත ළමයෙක්. එයාට හොඳ අනාගතයක් තියෙනවා . ඒ නිසා මම ඒ ළමයාට ඉගෙන ගන්න කාලෙට ඕනි වියදම් සල්ලි ටික නොකඩවා දෙන්නම් . දැන් මේ ගැන කතා කරා කියලා වැඩක් නෑ. අනික මේ වැඩපල පැත්තේ මින් පස්සේ  ඇවිත් සණ්ඩු සරුවල් කරන්න එපා "

ඒත් නන්දේ එන්න පොඩ්ඩකට කලින් රිචර්ඩ්  මට දීපු අදහස් ටික නිසා මම  නෙත්දරාගේ තාත්තට කිව්වේ මේ වගේ දෙයක්.

" දැන් බලනවා නන්දෙ වෙච්ච දේවල් වුනා. ඔහේගේ දුව මට එවපු ලියුම සිල්වා හොරෙන් කැඩුවා . ඒ විස්තරේ ඔහේ දැනටම දන්නවා ඇතිනේ . දැන් ඒකෙන් කාරී නෑ  ඉස්සසරහට මොනවා වෙයිද කියල මට කියන්නත් බෑ. නෙතදරා  මට වඩා අවුරුදු දහයක් විතර බාල වුනත් අපි දෙන්නම දැන් වැඩිහිටි මිනිස්සුනේ .
ඔහේ සිල්වාගේ යාළුවා නිසා සිල්වාට ගහපු අසේල මහත්තයා හොයනවා නේද අත පය හිරි ඇර ගන්න . ඒ මහත්තයා ගුටි කන්න බය , ගහගන්න බැරි කෙනෙක් නෙවෙයි. ඒත් මේ ගමේ කෙනෙකුයි මෙතන වැඩ කරන මහත්තයෙකුයි  අතර ආරෝවක් ඇති වුනා කියන්නේ අපිට මේ බිල්ඩිම හදන වැඩේ පිළිවෙලකට කර ගන්න වෙන්නේ නෑ. ඒ නිසා කොම්පැනියෙන් අසේල මහත්තයා මාරු කරා. අපේ තව  හෝටලයක් හදනවා දඹුල්ලේ. අසේල මහත්තයා  දැන් එහෙ ලොකු මහත්තයෙක් වෙන්න යන්නේ .
ඔහේගේ දුවත් එක්ක තියෙන සම්බන්දෙ නවත්තලා ඔහෙට මාස්පතා  ගානක් දෙන්නයි මම හිතන් හිටියේ දුවගේ ඉගෙනීමේ වැඩවලට . ඒත් දැන් බැලුවම එහෙම කරන එක තාත්තගෙයි දුවගෙයි  රෙස්පෙක්ට්  එකට හොඳ  නෑ. ඒක නිසා මම ඔහෙට  රස්සාවක් අල්ලලා දෙනවා  . හැබැයි ටිකක් ඈත  පලාතක  . එතකොට ඔය ඉඳ හිට එන වැඩවලින් වගේ නෙවෙයි මාසෙකට ඉස්තිරව අතට කීයක් හරි එනවා. ඉන් කොටසක් කෙලින්ම දුවගේ බැංකුවට හරවන්න පුළුවන් . "

නන්දේ මුලින් මුලින් මගේ යෝජනාවට කැමති වුනේ නැතත්  ගෙදර ගිහින් ඇවිල්ලා වැඩේට කැමති වුනා.  සමහර විට ඒ තීරණේ පිටිපස්සේ ඔයාගේ අම්මා ඉන්න පුළුවන්. මොන තරම් චණ්ඩියා වුනත් නන්දේ ගෙදර උන්දැට ආදරෙයි  කියල ගමම දන්නවා .   ඒ අස්මසේ එදාම මාවත්  හෙඩ් ඔෆිස් එකට මාරු කරල තිබ්බා .

දෙවැනි ස්ලැබ් එක දාලා ඉවර වෙනකම් මට නෑවිත් ඉන්න නියම වුනා . ඒක අණ කිරීමක් නෙවෙයි මිත්‍රශීලී  බල කිරීමක්. ඒ දවස්වල සයිට් එක මුළුමනින්ම මෙහෙයවව්වේ රිචර්ඩ්. අම්රිතා  වෙනදාටත් වඩා මහන්සි වුනා . උදේ හවස මාව බලන්න ආවා. වැඩපලේ විස්තර ඔක්කොම මම දැනන් හිටියා . වැඩපලේ  වැඩ ටිකක් අවුල් වුනා. හිතුවට වඩා කාලේ නාස්ති වුනා. හොරකම් වුනා. මිනිස්සු අස් කරන්න වුනා . එත් අන්තිමේ හිටපු සයිට් ඉන්ජිනේරුවයි, දෙවනියයි දෙන්නම නැතිව වැඩේ කෙරුනා .

ඔයා දන්නවද  රිචර්ඩ් ජීවත් වෙන්නේ බෝට්ටුවක කියල. මමයි අම්රිතයි  අසෙලයි. අසේලගේ අම්මයි . නංගිලා දෙන්නයි ෂෝක් ට්‍රිප් එකක් ගියා රිචර්ඩ්ගේ  බෝට්ටුවෙන් . බොල්ගොඩ විල අයිනේ පුංචි ගේකුයි බෝට්ටුවකුයි මිනිහට තියෙනවා. ඒක හරි අපුරු තැනක් . මම ඒ වෙනකොටත් තේරුම් අරන් තිබ්බේ රිචර්ඩ් කියන්නේ හරි අපුරුම චරිතයක් කියල. මිනිහා ජලජ ජීවිතේකට පිස්සු වැටිලා ඉන්නේ.

අම්රිතා දවස් කීපයක් නිවාඩු දාලා ඉන්දියාවට  ගියා . ඔයා අම්රිතා ගැන කලින් ලියුමේ ලියල තිබ්බ නිසා කියන්නේ. මේ ප්‍රොජෙක්ට් එකේ ඉන්න අපිටම හරි යන පොදු  ජීවිතෙකුයි  අපිටම වෙන් වෙච්ච වෙනස් වීදිවල  පුද්ගලික ජීවිතයි  අපි හතර දෙනාටම තියෙනවා . එහෙම වෙන්න පුළුවන් මේ වගේ එකතුවකට විතරයි කියල මම හිතෙන්නේ.  මගෙත් අසේලගේත් ජීවිත කතන්දර මෙහෙම වෙලා තියෙන්න    අපි කරපු දේශපාලනෙත් බල පාන්න ඇති . අසේලගේ චරිතය ගැන මම වෙනමම හදාරනවා  . තාමත් ආවේගශීලී, තාමත් ලාමක ගතිගුණ අසේල ගාව තිබ්බත් හොඳ හදවතක් තියෙන කොල්ලෙක්  .

ඔයා දන්නවද මම හිතුවේ නෑ තට්ටු විසි  අටේ බිල්ඩිමේ එක තට්ටුවක්වත් මම නැතිව දාන්න පුළුවන් වෙයි කියල. ඒ වගේ ලස්සනට මම වැඩ ටික ප්ලෑන් කරගෙන සංවිධානය කරගෙන හිටියේ . ඒත් පහුගිය මාසෙන් එක දවසක්වත් මට ප්‍රොජෙක්ට් එක පැත්ත පළාතේ එන්න අවසර ලැබුනේ නැතිවත් වැඩ ටික කෙරිලා තිබ්බ. .

මේ හැමදේම පිටිපස්සේ හිටියේ රිචර්ඩ් මිනිහා අපේ සමාගමේ අධ්‍යක්ෂක කෙනෙක් කියලත් අපේ ප්‍රොජෙක්ට් මැනේජර් කියලත්  අමතක වෙන ගානට තමයි අපිත් එක්ක හිටියේ. ඒත් මිනිහා  අහසේ හයි කරපු කැමරාවක් වගේ තමන් ඉන්න තැන බලා ඉන්න ගමන්ම තමයි පොලවේ ඇවිදින්නේ. මට ඒක කලින්ටත් වඩා හොඳට තේරුනේ අපේ  පලවෙනි ස්ලැබ් එක දාපු දවසේ හා ඊට පස්සේ දවසේ එයා හැසිරිච්ච විදිහෙන්.

එදා පහුවදා වෙනකොට මිනිහ තීරණය කරලා ඉවරයි අසේලව මෙතනින් අයින් කරන්න ඕනි කියල. ඒ සිල්වා හරි මිනිහගේ සහචරයෙක් හරි හැංගිලා ඇවිල්ලා හරි අසේලට අනතුරක් කරාවි  කියල හිතපු නිසා . ඊළඟ  එක තමයි එක තට්ටුවක් දාලා ඉවර වෙනකම් මම සයිට් එකෙන් ඈත් කරලා හෙඩ් ඔෆිස් එකේ තියෙන්න ගත්ත තීරණය. ඒක හරි කියන්නේ නෑ. මිනිහ ඔය ගෑනු ළමයින්ගේ හුටපට  ප්‍රේම කතන්දර වගේ ඒවා වැඩිය ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. ඒ වුනත් මට හිතෙනවා රිචර්ඩ් අපි ඒවා ගැන හිතන විදිහ  සංකීර්ණ වැඩියි  කියල අදහස් කරන බව  .

තුන්වෙනි ස්ලැබ් එක දැම්මට පස්සේ අපි හැමෝම  අසේලලා ගමේ ගිහින් දවසක් දෙකක් ඉන්න කතා කර ගත්තා . රිචර්ඩුත් එනවා කිව්වා . අර කාවන්තිස්සපුර යාලුවත් එක්ක ඔයත් එන්න .

මීට

මනෝ

ලියුම වාගේ සටහන හමාර කළ ඔහු  කල්පනා කලේ  ඊළඟට කරන්නේ මොකක්ද කියලාය. ඔහුගේ සිතට  අපූරු අදහසක් ආවේය .


- මීළඟ කොටස-





Image Source : DTNext


Monday, June 1, 2020

අටවිසි මහල 15- තාත්තලාගේ කතා




මේ  අටවිසි මහල නවකතාවේ පහළොස්වන කොටසයි. මින් පෙර කොටස් මෙතනින් 

සේලට පහර දෙන්නට එස වූ අත පහත් නොකරම ඔහුගේ කමිස කරේ රැඳී අනිත් අත ලිහා ගත් මනෝරන්ජන් රකුසකු මෙන් අසේල දෙස බලා සිටිද්දී අසේල කිසි යටහත් පතත් බවක් නොමැතිව , නොදැමුණු දෑසින් කෙලින්ම මනෝරන්ජන් දෙස බලා සිටියේය . ඒ බැල්මේ තිබ්බේ  "මට අතක් තිබ්බොත් මාත් ගහනවා " වැනි පණිවිඩයකි .

උස හැඩිදැඩි පුද්ගලයෙකු වූ රිචර්ඩ් අසේල හා මනෝරන්ජන් අතරට පැන දඬු අඬු වැනි සිය දෑත්වලින්  දෙදෙනාගේම උරහිස් අල්ලා ගත්තේ  එකෙකුටවත් අඟලක් හෙල්ල්ලෙන්නට බැරි වෙන්නටය .

ඇතුලේ ගින්න තව දුරටත් ඇවිලීම තාවකාලිකව හෝ නවතා ගත් බව දුටු අම්රිතා කන්තෝරු මිදුලට පැන මිස්කින් අමතා  ඉංග්‍රීසියෙන් මෙසේ   කීවාය .

" මිස්කින් මෙතන වෙන්නේ මොනවද කියල බලන්නනේ ඔය කට්ටිය ඇවිත් ඉන්නේ  . මම සේරම විස්තරේ ලියාගෙන ඇවිල්ලා අකුරක් නෑර කියන්නම්. කරුණාකරලා දැන් යනවලා . ගිහින් පාටියට ලැස්ති වෙනවා. කෑම අඩු පාඩු බලනවා. අනික මතක ඇතිව අර සිල්වා ගැන හොයල බලල බෙහෙත්  ටිකක් දාන්න  ලැස්ති කරනවා "

මිස්කින් සිය පසුපසින් සිටි පිරිස සැර පරුෂ බසින් මෙහෙයවා එතනින් ඉවතට  රැගෙන ගියේය .
' රිචර්ඩ් මට කාර් එකේ යතුර දෙන්න ' කී අම්රිතා යතුර ගෙන කන්තෝරු කාමරෙන් එලියට යද්දී මාරුවෙන් මාරුවට අසේල හා මනොරන්ජන් දෙස බැලුවාය . ඒ වනවිට දෙදෙනා දුරස්  කරගත් පුටු දෙකක වාඩි වී තරහ වූ  අත්තම්මලා දෙන්නෙක් මෙන් මූණු රොස් කරගෙන සිටියෝය. ඔවුන් දෙදෙනා අතර මේසයට වාරු වී හිටගෙන සිය නිකට අතගාමින් රිචර්ඩ් සොපාහාස සිනාවක් සීලිම දෙසට හෙලමින් සිටියේය.
අම්රිතා  මුව කොනකින් සිනා වෙමින්  රිචර්ඩ් ගේ කාරය හොයාගෙන ගියාය .

 අම්රිතා වාහනයේ  ඩිකිය අරිද්දී ඈ පසුපසින් මිස්කින් පැමිණ තෙපර බෑවේ "මිස් කට්ටිය බොන්න හොයනවා" කියලාය.   රිය තුල කාඩ් බෝඩ් පෙට්ටියක තිබු  සැර බීම බෝතල් ටිකක්  මිස්කින්ට තෝරා ගන්නට  කී ඇය "පරිස්සමින් ටික ටික කළ කෝලාහල කර ගන්නේ නැති ගානට  බෙදලා දෙන්න" යැයිද කීවාය  .

ඊළඟට ඇය තවත් කුඩා කාඩ්බෝඩ් පෙට්ටියක් ඔසවාගෙන කන්තෝරු කාමරය දෙසට ගියාය , ඈ අසලින්  ටිලින් ටිලින් යන ශබ්දය අසුනේය .
අම්රිතා ආපසු යනවිටත් කන්තෝරුවේ සිටි තිදෙනා ඇය එතැනින් පිටත් වෙද්දී සිටි ඉරියව්වෙන්ම සිටියෝය. ඒ දුටු  අම්රිතා " මේ මොන කෝලමක්ද?: කියා  කේන්තියෙන් ඇසුවාය  .
ඉන්පසු නුරුස්නා කඩිසර කමකින් පෙට්ටිය මේසය මත තබා ඉන්  කුඩා වීදුරු  හතරක් , ලෙමනේඩ් බෝතලයක්, ජින් බෝතලයක් හා බියර් කෑන් තුනක් එලියට ගත්තාය .

කිසිදු ඇහිල්ලක් බැලිල්ලක් නැතිව ඈ වීදුරු තුනට ජින් බෝතලය ඇර වීදුරුවල   හරි අඩ බැගින් හලා ඉතිරි අඩ පිරෙන්නට ලෙමනේඩ් පිරෙව්වාය. ඉන් පසු ඉතිරි ලෙමනේඩ් ටික සිව්වන  වීදුරුවට පුරවා ගත්තාය . සිරිතක්  විරිතක් නොතකාම හතර වෙනි වීදුරුව බීගෙන බීගෙන ගියාය . ඉන්පසු ඇය මත් පැන් වීදුරුවක් දෝතින් අල්ලා මනොරන්ජන් වෙත  පෑවාය . ඉතාමත්ම රළු ලෙස මනොරන්ජන් එය ප්‍රතික්ෂේප කළේ මෙසේ කියමිනි . " මම අද බෙන්නේ නෑ "
ඊළඟට අසේල වෙත පෑ වීදුරුවට ඇය ලද්දේද ඒ ප්‍රතිචාරයමය . වෙනසකට තිබ්බේ ඔහු වචනයක්වත් කතා නොකිරීමය .  ඒ වීදුරු දෙක පසෙකින් තැබූ ඈ ඉතිරි වීදුරුව ගෙන රිචර්ඩ් වෙත පිළිගැන්වූවාය.

 රිචර්ඩ් ඉතාම වැදගත් ආකාරයෙන් ස්තුති කර අද   බොන්නට විදිහක් නැති බවත් වගකීම් කීපයක් ඔහු වෙත පැටවී ඇති බව පෙනෙන නිසා කල්පනාවෙන් සිටින්නට වෙන බවත්  හෙමින් කීවේය .

පුපුරා යන කේන්තියෙන් මේසය අසලට ගිය අම්රිතා ඉන්පසු විදුලි වේගයෙන් ක්‍රියාත්මක වුනාය . පුරවා තිබු ජින් ලෙමනේඩ් වීදුරුවක් ගෙන   උඩ බලා ගෙන එය උගුරට හලා ගත්තාය . දෙවැන්නටද එයම කළාය . තුන්වන වීදුරුව අතට ගත්තේ නොකඩවා කසිමිනි . රිචර්ඩ් ඉදිරියට පැන අගේ අතකින් අල්ලා ගත්තද ඔහු වෙතින් ලිස්සා  ගොස් ඈ තුන්වන වීදුරුවද උගුරට  හලා ගත්තාය . කැස්සාය . මිදුලට බැස්සාය . කාරා කෙළ ගැසුවාය . පිරිමින් තුන් දෙනා නැගිට ඈ අසලට විත් වරදකාරයන් මෙන් දවටෙද්ද්දී ඈ  ඇතුලට පැමිණ මේසයේ වාඩි වුනාය .  ඇගේ උගුරෙන් දැඩි වේදනාවක් දැනිණි . පපුව ඇතුලේ ඇසිඩ් පිරී තිබෙන්නාක් මෙන් දැවිල්ලක් දැනිණි . රිචර්ඩ් පැමිණ ඇගේ පිට අත ගෑවාය . මනොරන්ජන්  ප්ලාස්ටික්  වතුර බෝතලයක් සොයාගෙන  අම්රිතාට බොන්නට දුන්නාය . ඇය ඉන් ටිකක් බී යලි එලියට ගොස් ඔක්කාර කළාය.

මේ වෙලාවේ හතිලමින් එතැනට දිව ආ මිස්කින් කීවේ සිල්වා ඇඳුම් බෑගයත් අරන් ගෙදර යන්නට ගිය බවත් පොකුටු නන්දේ අසේල මහත්තයා සොයමින් ගේට්ටුව  අසල කළහ කරමින් සිටින බවත්ය .

මනෝරන්ජන් යලි පැසුණු මිනිසෙකු සේ ඉදිරියට පැමිණ මෙසේ කිව්වේය .
" තමුසේ ඉස්සෙල්ලම සිලවා හොයාගෙන ගිහින් නතර කර ගන්න බලනවා. බෑ කිව්වොත් මෙන්න මේක දෙනවා" කියා සිය කලිසම් සාක්කුවෙන් රුපියල් දෙසීයක් ගෙන මිස්කින් අත තැබුවේය.
"එතකොට පොකුටු නන්දේ ?
" මිනිහට කියනවා  හෙට උදේ ඇවිත් මාව හම්බ වෙන්න   කියල "

මනෝරන්ජන් ඊට පසු  වාඩි වී සිය මුහුණ දෝතේ ඔබාගෙන ඉකි ගසන්නට  පටන් ගත්තේය . ඔලුව කරකැවෙන ගතියට අමතරව  පපුව පිළිස්සෙන වේදනාවත්  දරාගෙන උනත් අම්රිතා වහා නැගිට මනෝරංජන් අසලට ගොස් ඔහුගේ හිස අත ගෑවාය .

හැඬුම් අතරින් ඔහු මෙසේ කිව්වේය .
" මම මේ කතාව කියන්න හිටියේ විසි අට වෙනි තට්ටුවේ කොන්ක්‍රීට් දාන දවසට . සමහර විට ඊටත් පස්සේ . අපේ තාත්තා ගැන කතාව . තාත්තා වත්තක හිටි ක්ලාර්ක් කෙනෙක් . හිටියේ සුපිරින්ටන්ඩන් වගේ. කොට කලිසම ඇඳලා සපත්තු මේස් දාලා . හැසිරීම ටිකක් විකාරයි වගේ. තැනට ගලපුන් නෑ . එයාගේ ඔලුවෙත් එක කෙස් ගහක් තිබ්බේ නෑ.  පැන්ෂන් ගත්තට පස්සේ එයාට ගෙදර ඉන්න එක හරි ගියේ නෑ . අයාලේ ගියා . අපිව අත ඇරලම දැම්මා . අන්තිමේ  එයා මලෙත් දන්නා මහත්තයෙක්ගේ සයිට් එකක සේකුරිටි රස්සාව කරද්දී.  සිල්වා ඉන්ටවිව් එකට ආ දවසේ මම ගැස්සිලා ගියා . මට පෙනුනෙම අපේ තාත්තගේ අවතාරයක් ඇවිල්ල කියල . මම ඉන්ටවිව් කරෙත් නැතිව මිනිහ ගන්න කියල මිස්කින්ට පවරලා එතැනින්ගියා ."

ඉන් පසු ඔහු  කතාව නවතා ප්ලාස්ටික් වතුර බෝතලය මුවට ලං කරගෙන බීගෙන බීගෙන ගියේය . යලි කතා කළේය .

" පස්සේ පස්සේ මට සිල්වාගෙයි අපේ තාත්තගෙයි ලඟින් යන ගතියක් පෙනුනේ නෑ .ඒත් සිල්වා ලේ පෙරාගෙන ගුටි කාගෙන එනකොට දැන් ටිකකට ඉස්සෙල්ලනම් මට මතක් වුනේ තාත්තම තමයි . ඒ නැතත් ඒ වගේ  වයසක  අහිංසක මිනිහෙකුට අතක් උස්සන එක මොන තරම් අමන කමක්ද ?" අවසන් වචන ටික කියද්දී මනෝරන්ජන් ගේ කට හඬේ කේන්තිය යලිත් මතු වී ආවේය . ඔහු  අසේල දෙස අප්‍රසන්න ලෙස බැලුවේය.

මේ වනවිට තමන් පා වෙන්නට පටන් ගන්නා බවක් අම්රිතාට දැනුනි . ඈ රිචර්ඩ්ගේ උරිස්සට වාරු වුනාය .

අසේල හඬ අවදි කළේය .

" මනෝ මහත්තයා  මමත් හිතාගෙන හිටියේ විසි අට වෙනි තට්ටුව දාපු දවසට අපේ තාත්තගේ මුළු  කතාවම  කියන්නම් කියල. එයා ආපහු ගමට ගියේ  ඇයි කියල මම තාම  හරියට කිව්වේ නෑ . මටත් හිතක් පපුවක් තියෙනවා. සිල්වා වයසක මිනිහෙක් තමයි. ඒත් ඔහේ හිතන තරම් සිල්වා අහිංසක නෑ. සිල්වා  ගුටි කෑවෙත් ඔහේ මට ගහන්න පනින තරමට  දරුණු වුනෙත් ඔහෙගේම මෝඩකම් හින්දා  තමයි"

මනෝරන්ජන් තරමක් මෙල්ල වී අසේල දෙස බලා සිටියේය .  අසේල යලි හඬ අවදි කළේය .

" මනෝ මහත්තයා  කියවන්න ඇතිනේ නෙතදරා   එවපු ලව් ලෙටර් එක . කියවලා සතුටු වෙන්නත් ඇතිනේ . ඒත් ඒක ඔහෙට කලින් සිල්වා කියවලා තියෙනවා කියල දන්නේ නෑ නේද ? සිල්වා නන්දෙට මේ කතාව කියල ගම කාලා කියල දන්නෙත් නෑ නේද ? "

 මනෝරන්ජන් හුන්  තැනින් නැගිට්ටේය .

"ජයවීර මට හවස ඇවිත් කිව්වා සිල්වා මනෝ බොස් පොකුටු නන්දෙ ගේ බෑනා වෙන්න යන කතාවක් ගැන කියව කියව යනවා කියල  . මම සිල්වා ඉස්ටෝරුවට අරන් ගිහින් බය  කරාම තමයි ලියුම හොරෙන් කඩල කියවපු  බව දැන ගත්තේ . මට ආපු කේන්තියට සිල්වා ඔයින් බේරුනා ඇති ".

ටික වෙලාවකට පසු මනෝරන්ජන් , අසේල , රිචර්ඩ් හා අම්රිතා වෙරල අද්දර සාද භුමියේ  නටමින් සිටියෝය අම්රිතාට සිහියක් කල්පනාවක් තිබ්බේ නැත . මනෝරන්ජන් බීමතින් නොසිටියද ඔහු සිටියේද පියවි සිහියෙන් නොවේ. අසේල හා රිචර්ඩ්  සිය අනෙක් සගයන් දෙදෙනා ගැනත් අනෙක් සියලු දෙනා ගැනත් , වටාපිටාව ගැනත් විමසිල්ලෙන් නටමින් සිටියෝය .
කර කර  ගාන බැෆල් ස්පීකර් දෙකෙන්  ජෝතිපාලගේ ගීතයක් ඇසිනි.

ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
-------------------------------------
ඕ රංගනි මා නිසාද ඔය නටන්නේ



මීළඟ කොටස
















Image Source: India New English News