Diary

2013 සැප්තැම්බර් 15 




පින්සර  දෙවිරුව කර  වට ලන්නට   
මල් දම්වැල් සොඳ මිලදී ගත්තෙමි 

පින්සර දෙවිරුව කුස පුරවන්නට 
රස පළවැල සොඳ මිල දී ගත්තෙමි 

කර පාළුව ගිය කුස  පාළුව ගිය 
ගෙදර බුදුන්ගෙන් කේවල් කර කර 

(සේයාරුව දෙව්නිගෙන්)


2013 අගෝස්තු 28
Photo by Dewni
 දෝහා සිට ගමටලියමි 

පියැසි කවුළුවෙන් බේරී ගෙට එන
කලා පිරූ වටකුරු රෑ සඳ
වැලි කතරින් මා ඔසවා ඉහළට
නිදි කරවය් මගෙ සා පැටවුන් ළඟ

දූලි වළා  මායා සළු හැඳගෙන
කිනිගම මීදුම මැව්වා මගේ නෙත
සිහින මං  පෙතේ තව දුර ගිය සඳ
සොඳුරු මතක වැටුනා වැහි බිඳු ලෙස

සිත් ගත් සිත් රූ ගැවසුණු පන්තිය
දේවදාර පත් ඇතිරූ මං  පෙත
උණු තේ සුවන්දින් නැහැවුණු කඩ පෙළ
බොඳ වී පෙනුනා වැසි දිය අතරින


(ඉස්කෝලේ පරණ යාළුවො අවුරුදු පතා එකතු වෙන ගෙට්ටුව දැන් හරි සරුයි. ගිය පාරත් මට යන්න බැරි උනා. සොවිනියර් එකට දාන්න ඉල්ලපු නිසා කවි පද ගලපන්නට  බැරි උනත් පුංචි  පේලි ටිකක් දෝහා වල ඉඳන් ලියල බණ්ඩාරවෙල යැව්වා. )




2013 ජුලි 03

පි සරසවියට නවකයන් ලෙස ගොඩ වැදුන දවසෙම අගක් මුලක් නොතේරෙන පෝස්ටරයක් දුටිමු. එහි තිබුනේ' ජෙනරල් ස්ට්‍රය්කයක් කැඳවීමට නසසප කොප ලසසපට බල කරනු - මීට විකොස'; කියලාය . ඒ කාලේ නව සම සමාජ පක්ෂය, කොමිනිස්ට් පක්ෂය හා ලංකා සම සමාජ පක්ෂයේද ආධාර කරුවෝ සරසවියේත් රටෙත් සිටියෝය . පෝස්ටරය අලවා තිබුනේ තවත් උද්යෝගිමත් කුඩා පක්ෂයක් වූ විප්ලවවාදී කොමිනිස්ට් පක්ෂයේ සාමාජිකයන්ය.
මේ කතාව මට මතක් වුයේ කාලයක් නතර වී නතර වී තිබු කොමිනිස්ට් පක්ෂයේ ඇත්ත පත්තරය අද යලි එලි දකින ආරංචිය ලැබුණු විටයි. හී සර සදිසි සිරාගේ කතු වැකි  අමතක නැති අපේ පරපුර වෙනුවෙන් අද  එලි දකින  අලුත් 'ඇත්තට; මගේ ශුබ පැතුම්.


2013 ජුනි 20 






යෙහ්  ජවානි හය් ජීවානි  මේ අවුරුද්දේ මැයි  31 වැනිදා එලියට ආපු අලුත්ම  හින්දි චිත්‍රපටියක් . දෝහා සිට් සෙන්ටර් සිනිමා  හලෙන් ගිය සතියේම ඒක බැලුවා. හරිම සජීවිය් . තරුණයන්ගේ කතාවක්. (අපිටත් නරක නෑ)  සාම්ප්‍රදායික කතාව වන භාදක මැදින්  පෙමවතාට පෙම්වතී හිමි වී වීරයා ජය ගන්න කතන්දරේ  තිබ්බත්, ඉන්දියානු සමාජය විවේචනයකින් තොරව මේ චිත්‍රපටිය වැළඳ  ගැනීමෙන් තේරෙන්නේ ලෝකය දෙස අලුත් විදිහකට බලන්න ඔවුන්ගේ තිබෙන කැමැත්ත කියලය් මට හිතෙන්නේ. මල් පිපිය යුතුයි . ගඟ ගලා යා යුතුයි . ජීවිතය ජීවත් විය යුතුයි !!
මම මෙහි ආසම කොටසක් තමයි බනී  (ප්‍රධාන නළුවා)ගේ තාත්ත ගැන ඔහුගේ සහෝදරී කියන කතාව 
'උඹ හිතුවක්කාර,අවිනිශ්චිත  ගවේෂණ වලට අත ගහනවට තාත්ත ඉන්න කාලේ නිතරම දොස් කිව්වා තමයී.
ඒත් උඹ දන්නවද උඹ උඹේ අරමුණු  හිතුවක්කාර විදියකින් හරි ජය ගන්න එක ගැන තාත්ත කොච්චර සන්තෝෂ උනාද කියල?. උඹ උඹම වෙන එක ගැන උඹේ මතය වෙනුවෙන් රණ්ඩු කරන එක ගැන තාත්ත හිත යටින් සතුටු වුනා'.
මට හිතෙන්නේ අපි හැමෝගෙම තාත්තලා එහෙම තමයි .
http://www.youtube.com/watch?v=jQSrrisU2oI

6 comments:

  1. අහා! මේ ඉස්කෝලේ තමයි මගේ ඉස්කෝලෙත්, හැඟෙන විදිහට නම්..

    දේවදාර ගස් පේළිය යටින් ඉඳන්
    රේල් පාරෙ ඇවිදින දුම් අඟන බලන්
    කතා කරපු ඉස්කෝලේ පිච්ච වැලින්
    කඳුළු වැටෙනවද තාමත් නොමැති සොවින්

    B.M.M.V. ගැන නේද මේ?

    ReplyDelete
  2. ඒ පුංච් දුම්රියපොළ අද්දර තක්සලාව ගැන තමයි මේ . ඔයාගේ කොමෙන්ට් එකට දාපු ලස්සන පද වැල කාගේද ?

    ReplyDelete
    Replies
    1. පද වැල නම් මගේ තමයි..

      Delete
    2. අගෙයි කඳු!! ලස්සන සංකල්පයක් . තව පේලි තුන හතරක් දාල වැඩි දියුණු කරලා ගත්තොත් හොඳ ගී පද රචනාවක් වෙයි කියලා හිතෙනවා .

      Delete
    3. ස්තූතියි.

      ඔබේ පද පෙළ ඉතා රසවත්..!

      ඔබ කියූ නිසා, මමත් පේළි කීපයක් ඇමිණුවා.. ඒත්, ගීතයක රසය නම් කැටි වුණේ නෑ පද අතර..

      දේවදාර ගස් පේළිය යටින් ඉඳන්
      රේල් පාරෙ ඇවිදින දුම් අඟන බලන්
      කතා කරපු ඉස්කෝලේ පිච්ච වැලින්
      කඳුළු වැටෙනවද තාමත් නොමැති සොවින්

      මිහිදුම් දිය ගලනා විට
      නිම්නයෙ තුරු පත් අතරට
      සිනහ වෙවී කසු කුසු ගා
      හූ කිව් නිරිඳොත් සිටියා
      උඩරට මැණිකේ හනිකට
      බඳ සොලවා පා තාලෙට
      නොතකා වගතුග අරුමැති
      පිනි යායට හිනා වුණා

      අපි හමුවුණු තැන නම් නුඹ
      නොදන්නවට පොත් ගුලමැය
      පත් ඉරුවක ඇස තබාන
      ගණන් හැදුවෙ ඒ ඔබමැය
      කවියක්වත් නොආ සිතට
      පැන්සල් තුඩ අසරණ වී
      සැලලිහිණියෙ ඉරි ඇන්ඳා
      දැනනොගෙන ම නුඹ සිටියට

      (මේ මගේ කවි බ්ලොගය. http://amaleymunasinghe.blogspot.com/)

      Delete
  3. ඔබ ලියූ දේ ගැනම මම ලියූ කවක්


    දවස් හතරේ නිවාඩුවක්
    දෙසම්බරේ ලග එනවා
    විසි හතරෙන් පටන් අරන්
    විසි හත වෙනකන් යනවා
    අවුරුදු පහළොවක ඉදල
    නත්තල් දා මතක නේද ?
    (මොකක්ද?)
    දෙදාස් එකේ හැම දෙනාම
    නත්තල් දා හමු වෙනවා
    ඉස්කෝලෙන් අයින් වෙලා
    අවුරුදු පහළොවක් ගෙවිල
    සයිප්‍රස් ගස් ලොවෙත් නෑ නේ
    ඔක්කොම ටික කපා දාල
    ආතල් දුන් වේදිකාව
    මත දෙමහල් බිල්ඩිමක්ය
    අඹගහ නෑ සෙවන දෙන්න
    කිනිගම දැන් වෙනස් වෙලා
    උඩ කඩයත් නොවේ එතන
    යකඩ තලන කම්මලක්ය
    මේ මොන දේ වෙනස් උනත්
    නොවෙනස් වූ අපේ මිතුදම
    අමතක වූ පැරණි කතා
    හීන වගේ සොඳුරු මතක
    අවුස්සලා හිනා වෙන්න
    හිනා වේවි යලි හිතන්න
    ඇවිත් යන්න එනවා නේද
    මේ පාරත් නොවැරදීම ....................

    සුපුරුදු විදිහටම දෙසැම්බර් 25 උදේම කට්ටියම බිඳුණුවැව රිච්රේ කැෆේ එකට එන්න.
    කට්ටියම අනිවාර්යෙන් එන්න

    ReplyDelete