Friday, October 18, 2013

පොඩි මාමා

පොඩි මාමා නැගෙනහිර ලංකාවේ අති දුෂ්කර ගමෙක කුඩා ඉස්කෝලෙක උගන්න උගන්නා හිටියේ හිරිමල් ගැටයෙකු සන්දියේය. ඇසුවේ දශකය අග හරියේදී යුද බිය හා ඉඩෝරයෙන් හෙම්බත් පරිසරයක දී සාගින්දරෙන් පෙළුණු පැටවුන් දවසකට හත් අට දෙනා ගානේ ඉස්කෝලේ ඇතුලේ  කලන්තය දදා ඇද  වැටෙන සමයක ඔහු සෞඛයය හා සමාජ අධ්‍යයනය උගන්වමින් සිටියේයපෝෂණය හා සහජීවනය ගැන පවා කියා දෙමින් සිටියේය.

ඉස්කෝලේ පැටවුන්ගේ කුසේ ගින්දරත් දුප්පත් කමත් ගැන අකම්පාලව සිටි පොඩි මාමාගේ පඩියෙන් බාගයක්ම ඉස්කෝලේ ළඟ පෙට්ටි කඩෙන් පොඩි උන්ට ඕනෑ පොත් පත් හා කිඹුලා බනිස් ගෙන්නා දෙන්නට වියදම් වුනේය.

පොඩි මාමා ගුරු රස්සාව අවසන් කරන්නට හේතු බූත වූ දවසේ පන්තියකින් පන්තියකට මාරු වෙන්නට අඩි එහා මෙහා කරද්දී  අලුතින් ආ භූගෝල විද්‍යා  ගුරුවරයා විසින් ඉත්තෑ කුරු මෙන් කොණ්ඩය පුම්බා ගත්  කනාටු කොලු ගැටයෙකුට පහර දෙමින් සිටිනු දුටුවේය.  ගුරුතුමා කෝපයෙන් වියරු වැටී තමාව පාලනය කර ගන්නට බැරි තරම් රළු පරළු ලෙස අවුල් වී සිටියේය. ඊට හපන් ගෝලයා.  ගහන්ට  ගහන්ට පුප්පමින් පහර දෙන්නා කුපිත කරවන ඇස්  ගෙඩි දෙකින් කේන්තිය පිට කරමින් කරබාගෙනම ගුටි කමින් සිටියේය.

අතේ තිබු කරදාසි මිටිය විසිකළ පොඩි මාමා සැනෙන් භූගෝල සර්ගේ කමිසයෙන් අල්ලා ඉවතට ඇද 'ඇයි  මහත්තයෝ කොල්ලාට ගහන්නේ. ඌ මොකක්ද කරපු වැරැද්ද ?'

උරුක් කරගත් අත්ල පොඩි මාමා දෙසට හැරවූ භූගෝල සර් කිව්වේ 'මු පොර කුකුලා වාගේ තිස්සෙම අනිත් උන් එක්ක රණ්ඩු කරනවා. මේ දැන් එකෙකුට කියනවා මම අහගෙන  ' කැවුතු කනවා' කියලා. එහෙම කුණු හරුප කියන්න ඉඩ දුන්නොත් මුන්  අපිටත් ගහලා පන්නයි මෙහෙන්'. කියමින් ආයෙමත් පොඩි මාමා  පෙරළාගෙන ගොස් නොසන්ඩාල කොලුවා වෙත කඩා පැන්නේය .

දෙවන වරටත් භූගෝල විද්‍යා සර් පැත්තකට තල්ලු කර දැමු පොඩි මාමා පොඩි එකාගෙන් මෙසේ ඇසුවේය. ඒයි උඹ දන්නවාද කැවුතු කනවා කියන එකේ තේරුම? පොඩි එකා නෑ යැයි කීවේ කිසි ගරු සරුවක් නැතිවය. ඊළඟට මාමා පොඩි එකාගෙන් ඇහුවේ ඌ  උදේට කාලද කියලාය. පොඩි එකා හිස දෙපැත්තට වනමින් ' කැවුතු කනවා' කියන ස්වරයෙන්ම මෙසේ කිව්වේය.
' දවස් තුනකින් බත් ඇටයක් දැක්කේ නෑ '

මෙවර යක්ෂාවේශයෙන් ආපසු හැරුණු පොඩි මාමා භූගෝල විද්‍යා ගුරුවරයා පහර දෙන්නට පටන් ගත්තේය.

ඒ අතරේම මෙසේද ගිගිරුවේය.
; දැන ගනින්  කැවුතු කනවා කියන්නේ කුනුහරුපයක් නෙවෙයි දවස් තුනක් හරියට කාපු නැති පොඩි එකෙක් කේන්තියට කියපු දෙයක් මිසක්ක. ඕනි එකෙකුට ගහන්න කලින්  බලපන් ඌ බඩගින්නේ ඉන්න එකෙක්ද  කියලා.

මේ ගාලගෝට්ටිය ගැන ඇවිස්සුණු  ඉස්කෝලේ ලොකු පන්තිවල කොල්ලන් පිරිසක්ද සටන් බිමට පැමිණි නිසා වහා සන්සුන් වූ පොඩි මාමා ඔවුන්ද වලක්වා විදුහල්පති කාමරයට ගියේ රස්සාවෙන් ඉල්ලා අස්වෙන ලියුම ලියන්නටය.

පහුවදා  ඔහු අම්පාරෙන් කොළඹට එද්දී අතේ තිබුනේ රුපියල් දෙසීයකි. ගුරු රස්සාවට යන්නට කලින් ඔහු ගෙදරින් පැන ගොස් ටික කලක් රස්සාවක් කර තිබුණි. කොළඹ පිට්ටු බම්බු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් පටන්ගන්නා කාලයේ වඩුවෙකුගේ අත්  උදවු කාරයෙකු වූ ඔහු එතැනින් අයින් වුනේ හොඳ වඩුවෙකු විදිහටය.

ඔහුගේ දෙවන ආගමනයෙන් පසු කොළඹ රටේදී ජීවිකාව වුයේද මේ  වඩු රස්සාවමය. ගුරු රස්සාවෙන් වඩු රස්සාවට යලි ප්‍රවේශ වූ පොඩි මාමා  ඔහු දන්නා හඳුනන කීප දෙනෙක් සමග එක්කාසු වී පැන්ට්රි කබඩ් හදන්නට පටන් ගත්තේය. කුඩාවට පටන් ගත් ව්‍යාපාරය දවසට දෙකට දියුණු වෙන්න්නට පටන් ගත්තේ පොඩි මාමාද ගෝලයින් සමග හරි හරියට වැඩ කළ  නිසාය. උදේ අටේ සිට රැ දොළහ වෙනතුරු වැඩ කළ නිසා සල්ලිය භාගය යහමින් ගැවසෙන වියාපාරිකයෙක් වන්නට ඔහුට ගතවුයේ අවුරුද්දක් දෙකක් පමණි.

කරුණු කාරණා එසේ වුවත් ඔහු  ඉගැන්වූ ඉස්කෝල අමතක නොකළේය. ඔහුගේ සිත් ගත් සිසුවියක් සමග ඇයි හොඳයි කම් දිගටම තිබු නිසා කලකට පසුව ඇයව කරකාර බැඳ ගත්තේය.  හොඳ දස්ස කොල්ලන් දෙන්නෙකුට දිගින් දිගටම ඉගෙන ගන්නට මුදල් යැවූවේය . ගුරු හරු කම් ලියා යැවූවේය. වාසනාවකට උන් දෙන්නම පේරාදෙණි  ගියෝය. දෙන්නාම නතර වී සිටියේ හන්තාන පාරේ මාර්ස් හෝල්  එකේ ය.

උන් දෙන්නාගේ සියලු විය හියදම්  පොඩි මාමා විසින් දැරුවා පමණක් නොව මාසෙකට දෙතුන් පාරක් හාල් කිලෝ දහයක බතක් හා මාළු පිනි උයාගෙන පිය බිරිය හා සිඟිති පුතුන්  සමග කොල්ලන් බලන්නට පේරාදෙණි ගියේය.

මේ ගමන් නිසා මාමාගේ අනුග්‍රහය ලද දොස්තර පුතුන් දෙදෙනාගේ බැචාලා විස්සක් තිහක් පමණ ඔහු එනතුරු මග බලා සිටියෝය. ඔවුන් සියලු දෙනා පොඩි මාමාට මහත් සේ ආදරය කලේ ඔහු ඔවුන් හැමටම නිතිපතා ගෙනෙන රස මසුවුලු තෑගි බෝග නිසාම නොව ඔහුගේ ලෙන්ගතු මනුස්සකමත් සිය මිතුරන් දෙදෙනා වෙනුවෙන් කරනු ලබන අනුපමේය උදවු උපකාර හා ආදර කරුණාව හින්දාය

සරසවි නේවාසිකාගාරයකට ලොකු බත් මුලක් ලැබුණු විට මේසයක දිග හැර ගෙන එකෙක් ' කාක් කාක්' කියමින් කෑ ගසයි. එවිට අහුමුලුවල සිටින බඩගිනි කොල්ලෝ දුවගෙන ඇවිත් බත් මුල වටා රොක්  වෙති. මේ ප්‍රියජනක කපුටු හඬ  පොඩි මාමාගේ පුතුන්ද අනුකරණය කලෝය. මාර්ස් හෝල් එකේ රථය නවත්වා පොඩි උන් එලියට පැන 'කාක් කාක්' කියා කෑ ගසද්දී පොඩි මාමාගේ කැම්පස් පුතුන් පිරිස ඔවුන් කරා දිව ආවේ සිය දෙමවුපියන් ආවාක් මෙන් සන්තෝෂයෙනි.

දැන් මේ සිසුන් රටේ නමගිය දොස්තර මහත්තුරුය. නුවර පාරේ යද්දී නිකමට ගොඩ වී යනවා නොව ඔවුන් තකහනියක්ම පොඩි මාමා  බැලීමට මාසයකට දෙකකට සැරයක් පැමිණෙති. අලුත් කාර් එකක් ගත්තත් එය ඉස්සෙල්ලම පෙන්වන්නට එන්නේ පොඩි මාමාටය. උසස්වීමක් ලැබුනත් සිස්සත්තයක් ලැබුනත් වෙනත් දුකක් කරදරයක් උදා වුනත් පොඩි මාමා බැහැ දැක හැගීම් බෙදා හදා ගන්නට දරුමල්ලන් සමග එති.    ඒ අතරේම පොඩි මාමාට අවශ්‍ය බෙහෙත් හේත් ප්‍රතිකාර ගැනද ඔවුහු සැලකිලිමත් වෙති.

පොඩි මාමා මුණ ගැසී ඩින්ගිත්තක් කතා කර යන්නට ඉඳ හිට  පැමිණෙන තවත් පුද්ගලයෙක්ද සිටියි. ඒ පොඩි මාමාගෙන් එදා ගුටි කෑ භූගෝල සර්ය. ඔහුද ගුරු රස්සාවට ආයුබෝවන් කියා කොළඹ ඇවිත් වෙනත් වෘත්තියකින් ඉහලටම ගොසින්  සිටියත් ඔහු කියන්නේ තම ජීවිතය වෙනස් කලේ පොඩි මාමාගෙන් එල්ලවූ පහරවල් කීපය බවය. 

පොඩි  මාමාගෙන් උදවු  ලැබූ සිසුන්  දෙදෙනා සේම   ඔහුගේ බත්  මුල්වල   රස දන්නා දොස්තර  මහත්තුරු සේම  මේ  ලියන මාද පොඩි මාමා හඳුනා ගත්තේ අහම්බෙනි.
ඒ අපේ ගෙදර පැන්ට්‍රි කබඩ් එකක් හදවා ගන්නට වතාවක් ඔහු හමුවන්නට ගිය ගමනකදීය. එදා සිට ඔහු තුල මා දුටු අපුර්වත්වය ගැන ඉව අල්ලමින් සිටි නිසා ඔහු වටා තිබෙන මේ අපුරු වෘතාන්තය හෙමින් සැරේ  එලියට ගන්නට පුළුවන් වීම ගැන මම ආඩම්බර වෙමි..

කොහේ හෝ දුර ගමනක් ගොස් ගෙදරට ගොඩ වන මා දරුමල්ලන්ගේ මුහුණු දැක ගත්තාට පසු ඉක්මනින්ම යන්නේ අපේ කුස්සියේ රාක්ක පේලිය බලන්නටය.
එහි වීදුරු පියන් තුලින් පොඩි මාමාගේ දහිරියවන්ත, සෙනෙහෙබර මුහුණේත් 'කැවුත්ත කනවා' යැයි කැ ගැසූ මුරණ්ඩු කොලුවාගේ ඉත්තෑ කුරු කෙස් වැටියේත්  පිලිබිඹු පෙනෙන්ට පටන් ගනී.


( සටහන ; මේ කතාන්තරය මා ඇසු  අතීතාවර්ජනයක්  ඇසුරෙන් ප්‍රතිනිර්මාණය වුවක් නිසා නම් ගම්  හා සමහර සිද්දි වෙනස් කර ලියා ඇත)

(සේයාරුව දෙව්නිගෙන්)

Wednesday, October 9, 2013

ගුරු තරුව


මේ ඊයේ පෙරේදා මට බ්ලොග් සටහනක් ලියන්නටවත් වෙලාවක් හොයා ගන්නට  බැරි තරම් යුද්දයක් තිබුනේය.කඩුවෙන්  සටන් කරන්නට තිබ්බේ අමු සුද්දන් සමගය.  ලැබෙන  ලියුමට උත්තර දහයක්. වාර්තාවට වාර්තාවක් .ඇසට ඇසක්.දතට දතක්.  මම දැන් දිනන්නට ආසන්නය. ප්‍රතිමල්ලව පිලේ කඩු  හරඹ පෑ  සුද්දෝද අවසන මා සමග සවුදිය පුරන්නට එන බව මම දනිමි. හදන්නට සැලසුම් සකසන  අහස්  පාලමක වෙනස්කම් කිහිපයක් කිරීමට ඕනෑ  වූ නිසා  තවත් සුද්දන් පිරිසක් සමග ලියකියවිලි යුද්දයක් කරන්නට සිදු වී ඇත. යුද්දයේ අවසාන අදියරේදී පවා මා හෙම්බත් වී සිටිනවා වෙනුවට පෙරටත් වඩා උද්දාමයෙන් සිටිමි.

ඉංග්රීසියෙන් බැන ගැනීමටත් ඉංග්රීසියෙන් සාහිත්ය නිර්මාණ කරන්නටත් මට අපහසු  බව ඇත්තය. එහෙත් ඕනෑම සුද්දෙක්  එවන ලියුමකට හොඳින්නම් හොඳින් නරකින් නම් නරකින් පතුරු යන්නට  උත්තර ලියන්නට මට පුළුවන්ය. මේ හපන්කමට උදවු කරන පුද්ගලයෙක් මා ළඟ නිරතුරුව ගැවසෙයි . ඔහු මා ලියන හැම අකුරක් ගැනම පරිස්සම් වෙයි. මේක කපපන්. අන්න හරි. දැන් ඊළඟ පේලිය. හරියට හරි. ඔහු මා ලියන පේලි අතර හිඳගෙන දයාබරව සිනාසෙයි.

අපේ ගම් දනව්ව සොයා ආ දුයිෂෙන් ඔහුය. නිර්වයාජ උතුම් මිනිසෙකු වූ සිල්වා සර් ගැන කියද්දී මා සිත ශෝකය,ගවුරවය හා ආඩම්බරය මුසු හැඟීම් සමුදායකින් පිරී යයි.  මා පමණක් නොව තමන් සෙවනේ හැදී වැදුනු සිය ගණනක් වූ පිරිස දක්ෂ කඩු  සටන් කරුවන්  කරන්නට ඩෙනිම් කලිසමක් හා ටී ෂර්ට් එකකින් සැරසී නිරහංකාරව පාරේ පයින් ඇවිද ගිය මේ කුඩා මිනිසාට  හැකි විය.

ඉස්සර ඉස්කෝලේ අච්චු පොත් නොමිලයේ දුන්නේ නැත. ඒ වෙනුවට අවුරුද්ද මුල අලුත් පොත් පත් කට්ටලයක් හැම දරුවෙක් වෙනුවෙන්ම  මිලදී ගත යුතු විය. මට නම් මාස තුනෙන් තුනට අලුත් අච්චු පොත් සෙට් එකක් අරන් දෙන්නට අම්මාට සිදු විය. .මගේ පොත් මාසෙකින් දෙකකින් කවරය ගැලවී අවර්ණ වී ගිය විට මට අලුත් පොත් ඕනෑ වෙයි.පොතේ මුද්රණ තීන්ත  සුවඳ දැනුනේ නැත්නම් මට ඒ පොත ඇල්ලුවේ නැත. ඒත් තුනේ පන්තියේ හා හතරේ පන්තියේ ඉංග්රීසි පොත් වලට  එහෙම උනේ නැත. ඒවා අලුත් පිට අල්ලනේවත් නැතිව ඔහේ තිබුනේ අපිට ඉස්කෝලේ ඉංග්රීසි ගුරුවරයෙක් හිටියේ නැති නිසාය. අක්කලා කියා දෙන්නට යන මේ ආගන්තුක භාෂාව මට හිතට අල්ලුවේම නැත.  ඉංග්රීසි මළ පොතේ අකුරක් බැරිව මම පහේ පන්තියටද පාස් වුනෙමි.

ඒ අවුරුද්දේ සිරියාවන්ත ඉංග්රීසි ගුරුතුමියක් අපේ පාසලට ආවාය. ඇය  ඉතාම තුරුණු වියේ සිටි අතර දරුවන් අතර සැරි සැරුවේ ලෙන්ගතු යෙහෙලියක් පරිද්දෙනි. අප්රියජනක විෂයයක් වූ ඉංග්රීසි, ඉගෙන ගැනීමට ආශා හිතෙන, උද්යෝගය දනවන විෂයයක් කලේ ඇයයි. ඇය බලන්නට ඉඳ හිට තවත් පුද්ගලයෙක් පාසලට ආවේය ගියේය. ඒ කොළඹ රටේ සිට හපුතලේ කන්ද තරණය කර පැමිණි සිල්වා සර්ය. ඔහු අපේ ගුරුතුමිය කසාද බැඳගෙන ඇගේ ගමේම බින්න බැස්සේය. කුඩා මිශ්ර  පාසලක ඉංග්රීටසි උගන්වන්නට පටන් ගත්තේය. ඔහු උගන්වන ප්‍රියමනාප විලාශය පිලිබඳ ආරංචි පැතිර යත්ම 'අනේ සර් සති අන්ත පන්තියක් කරන්නකෝ' යැයි අනිත් ඉස්කෝලවල යන දරුවන්ගේ දෙමවුපියෝ ඇවිටිලි කළහ. මේ නිසාම ඔහු අතිරේක පන්ති පටන් ගත්තේය.

එකම එක පෝස්ටරයක් ගැසුවේ නැති උනත් ඔහුගේ පන්තිවලට ළමයි වැල නොකැඩී ආවෝය. පන්ති ගාස්තුවක් ගැන කියන්නට හෝ සල්ලි ඉල්ලන්නට සිල්වා සර් කවරදාකවත් ඉදිරිපත් වී නැත. ඒ වෙනුවට පන්තියට එනවුන් සිය කැමැත්තෙන් ගානක් කතා අරගෙන එකතු කර මාසේ අන්තිමට සර්ගේ අතේ තිබ්බේය. එය ගණන් කරන්නේවත් නැතිව අහිංසක හිනාවකින් ස්තුති කරමින් සාකුවේ රුවා ගත්තේය.

බෙන්ස් කාර් එකක නැගී රටපුරා ජයකෙහෙලි නංවන ටියුෂන් තරුවක් වන්නට ඔහුට ලකුණු දහයෙන් දහයම තිබ්බේය. ඒත් ඒ මාර්ගයේ නොයා කොල්ලන් කෙල්ලන් සමග  විහිලු කතා කියමින් පයින්ම යන්නට කැමති වූ ඔහුට පුෂ් බය්සිකලයක්වත් තිබුනේ නැත.

ඔහු රවුමක් ගැන කියද්දී  ගිනි බෝල කරකවන්නෙක් මෙන් අත් දෙකම කරකවා පෙන්නුවේය. උගන්වද්දී ඔහු මුළු ඇඟම වෙහෙසුවේය. රඟපා පෙන්නුවේය. ඔහු පැයක් ඇතුලත පන්තියේම කිලෝ මීටරයක් පමණ ඇවිද්දේය.

අපේ ගම්  පලාතට  එද්දීත් ඔහු පුහුණු ඉංගිරිසි  ගුරුවරයෙකි. පෙරළිකාරයෙක්, කචල්කාරයෙක් ලෙස අද්යාපන නිලදාරීන්ට  හා දේශපාලකයින්ට ඔහුව  පෙනුණු සෙයකි. ඒ නිසා  ඔහු හැමදාම උපගුරුවරයෙක්ම විය.
මැයි දිනයේ ඔහු අනිවාර්යයෙන්ම රතු කමිසයකින් සැරසී සිටි මුත් තමන්ගේ සුපුරුදු රාජකාරිවල නිරත වුනේය. ඉංග්‍රීසි ඉගැන්වූයේය, එළවලු ගෙනෙන්නට පොලට ගියේය.

ටෝට්ටෝ චාන් කතාවේ ඔබයාශි ගුරුතුමා සේම සිල්වා සර් ඉංග්‍රීසි උගන්වන්නට හරි පුදුම  ක්‍රම බාවිතා කළේය. පසුදා  පන්තිය පැවැත්වෙන්නේ දියතලාව රීගල් සිනිමා ශාලාවේ බව ඔහු කලින් දවසෙම කිව්වේය. එදා අපි ඔහු සමග බෙන්හර් චිත්‍රපටය බැලුවෙමු.ඔහු ඊළඟ දවසේ චිතරපටයේ නාම නාම විස්තර කතා කළේය. ඉංග්‍රීසි දෙබස් , චිත්‍රපට ඉතිහාසය. චාල්ස්ටන් හෙස්ටන් ගැන. කඳු වළල්ලෙන් එහා ලෝකය ගැන අපේ සිත් උනන්දු කළේ  ඒ ආකාරයටය.  ඔහු  පන්තියට එන විට ඉරිදා ඉංග්‍රීසි පත්තරය කිහිල්ලේ ගසාගෙන ඇවිත්  අමු ඕපාදුපයක් හෝ දේශපාලකයෙකුට පහර ගැසූ ලියුමක් ගැන කියවයි. ඉන් පසුව පන්තියේ එකිනෙකා පත්තරේ  තැන තැන ශබ්ද නගා කියවිය යුතුය. ඊළඟට කියවන විට ලියා ගැනීම. අන්තිමට සාරාංශය. පහුවදා පත්තරයේ කතා කළ  දේ ගැන පන්තිය දෙපිල බෙදී විවාදයකි. පන්තියේ අන්තිම පැය බාගයේදී පමණක් ආණ්ඩුවේ විභාගයට සුදානම් කරවන කොටස් ඉගැන්නුවේය. පන්තියට ආ හැමෝම පාහේ ඒ විබාගයද හොඳින් පාස් වුණෝය.

හවසට ඉංග්‍රීසි ප්‍රවුර්ති අසා පහුවදා පන්තියේ ප්‍රවුර්ති කියන්නට ඔහු කීවේය. ළමා පත්තරයක් අතට දී එහි වර්ණ පින්තුර ඉංග්‍රීසියෙන් විස්තර කරන්නැයි වැඩිහිටි සිසුන්ට කිව්වේය. ඔහුගේ පන්තිවල හයේ පන්තියේ සිට දොළහේ පන්තිය දක්වා ළමයිද වියපත් වැඩිහිටියෝද එකට වාඩි  වී ඉගෙන ගත්හ.

එහෙත් සිල්වා සර් අද නැත. අපේ චිත්ත  සන්තානය සසල කරවා, හපුතලේ කන්ද ශෝකයෙන් හඬා  වැටෙද්දී අවුරුදු පනහ වෙන්නටත් කලින් මේ සොඳුරු මිනිසා  මිය ගියේය.  ඊටත් අවුරුදු විස්සකට පසුවද  ඔහුගේ ඇල්ම බැල්ම පිළිසරණ අප වටා  සැරි සරණ හැටි පුදුමාකාරය.


(සේයාරුව දෙව්නිගෙන්)