Wednesday, September 17, 2014

මිතුරු කිවියාණනේ. සුබ ගමන් !!

පොතක් හෝ කලා  නිර්මාණයක් රස විඳින විට  චිත්ත රූප මවා ගන්නට ඕනෑ යැයි කීවත් දෑස අඳ කෙනෙක් චිත්ත රූප මවා ගන්නේ කෙසේදැයි පොත් කියවන අයෙක් ළඟදී හිතවතුන්ගෙන් අසා තිබිණි. මම මේ ඔස්සේ කල්පනා කලෙමි. සමහර විට උපතේ සිටම අන්ධව සිටි කෙනෙක් හා කලක් දෙනෙතින් ලෝකය දැක ඉන්පසු අවාසනාවන්ත ලෙස දෑස අඳ වූ කෙනෙක් අතරේ චිත්ත රූප මවා ගන්නා ආකාරවල වෙනසක් තිබෙන්නට පුළුවන.

ඒත් මේ ගැන හරියටම කියන්නට පුළුවන් වෙන්නේ මානුෂීය ගුණයෙන් යුත් අති සංවේදී කවියෙකුටම පමණි.

බෝගන බෝකන්ද කවියා සිය මිතුරු කවියෙක් ගැන අපුරු ගීයක් ලීවේය. විශාරද සරත් පීරිස් එය සංගීතවත් කළේය . නෙලූ අධිකාරි මධුර හඬින් එය ගීතවත් කළාය. මේ ඒ ගීයේ පදවැලයි.

සොඳුරු කවි සිත්තම්
දූගේ පන්හිඳ අගින් පත් ඉරු මතට කැන්දන් ඒ
මිතුරු කිවියාණනේ
මිතුරු කිවියාණනේ

දෙනෙත් රැඳී ඝන අඳුර විනිවිද
කාල අවකාශයේ සරමින
තෙවැනි ඇසකින් දකින ලෝකය
මිතුරු කිවියාණනේ

බිතෝවන්ගේ මියුරු සත්සර
වැන්ගොගේගේ සිතුවමක් මත
නිබඳ කරනා සමෝදානය
මිතුරු කිවියාණනේ

ගීතයෙන් කියන්නේ දෙනෙත්  අඳ  කවියෙකු ගැනයි. ඔහුගේ කවි අකුරු කෙරෙන්නේ දියණියගේ පන්හිඳෙන්ය. අඳුර විනිවිද කාල අවකාශයේ සරමින් තෙවැනි ඇසකින් ලෝකය දෙස බලා කවි ලියන මිත්‍රයා  ගැන බෝගන බෝකන්ද කවියාගේ හදවත උතුරා බිහිවුණු ශෝකී උපහාරය එයයි.

සිරිපා හිමේ කුඩා කඳුගැටයක අරලිය ගස් සෙවනේ සැතපෙන සිය අම්මා හා අප්පච්චී ගැන බෝගන කිවිඳුන් ලියු ගීතයත් විශාරද සරත් පීරිස් විසින් සංගීතවත් කොට ගායනා කළේය.

මාගල් ගඟ ගලා බසින සිරිපා හිමයේ
සීතල කැදලි බඳින පුංචි කඳු ගැටේ
අරලිය සෙවණේ සදා නිදනා අම්මේ
අප්පච්චී ළඟම සදා නිදනා අම්මේ

උණු දිය පරුවතයට හිස තියාන
ශීත ගඟුල ශීතල පා ඔබාන
මහගිරිදඹේ සෙනගට සෙත් පතාන
පෙරුම් පුරනවද බුදු බව පතාන

පොවා රුහිරු කිරි කොට අප වැඩු අම්මා
මහා මෙරක බර නීති ඉසිළූ අම්මා
බවෙන් බවේ වීමෙන් ඔබ අපේ අම්මා
පියාණන් සමග නිවනින් සැනසෙම්වා

මේ අලුත් ගීතය ඔබට ඇසීමට සලසන්නට ඕනෑ  නිසා මම මේ සබැඳිය ලබා ගත්තේ මා සුමිතුරු ජයවීර බණ්ඩාරයන්ගේ මුහුණු පොතිනි.

මේ ගීත දෙක මා ශ්‍රවණය කලේ  ඊයේ හවස්වරුවේය. ගීත එවා තිබුනේ ගායක සරත් පීරිස්මය.මේ ගී දෙක මා අසා මුසපත් වුවාට පසු සරත් මට ඒ දුක්බර පුවත දැන්වීය.

'මට ඒ සින්දු දෙක ලියල දුන්න බෝගන බෝකන්ද මහත්තයා අද උදේ නැති  වුනා'

ගී අසා මා පිවිස සිටි මනෝභාවය, සරත් පණිවිඩය කී ශෝකී විලාශය සමග මුසු වී මගේ හදවත මොහොතකට නතර වුනේය.

සීතල සිරිපා හිමේ කුඩා කඳුගැටයක සිය අම්මා හා අප්පච්චී නිදන සොහොන් ගැබ අසලම ඔහුද හෙට සිට නිදනු ඇත.
සුන්දර  කවියාගේ කවි අසන්නට රිසි අරලියා මල් පිපී පරවී  වැටෙමින් ඔහුගේ සුවඳ ඇති කුඩා බිම්කඩේ හිස හොවා ගනු ඇත. ඒවා මත සීතල කඳුළු පිනි කැට අනවරතව කාලයක් තිස්සේ  වැටෙනු ඇත. ගිරෙන් ගිර සරමින් නොනවතින සවාරියක යෙදෙන නොයිඳුල් සුළන් රැල් එතැන මදක් නැවතී ගිමන් හරිනු ඇත.

මිතුරු කිවියාණනේ.  සුබ ගමන් !! 

Sunday, September 14, 2014

මහත කැෂියර්


ණ්ඩාරවෙල එත්විල් සිනමාහලට  1983 සැප්තැම්බර් මාසේ දඩයම චිත්‍රපටය ආවා , හවස පන්ති තිබ්බ දවසක දවල් කෑම ගැනීමට දුන් මුදලින් සහ තවත් යාළුවො දෙතුන් දෙනෙක්ගෙන් හිඟා ගෙන එකතු කරගත් රුපියල් හතෙන්, තුනයි පණහේ  සෙකන්ඩ් ක්ලාස් දෙකක් ගත්ත කමලුයි  මායි ඔන්න දැන් සිනිමා ශාලාවේ.

කලින් පොත්වලින් පත්තරවලින් කියවලා අහලා තිබ්බ  කුප්‍රකට  අඩිලින්  විතාරණ මිනී මරුම ඇසුරෙන් නිර්මාණය වෙච්ච හොඳ  චිත්‍රපටියක් . රවින්ද්‍ර  රන්දෙනිය හා  ස්වර්ණා මල්ලවආරච්චිගේ ප්‍රබල  රංගනය. සොමී රත්නායක හිටියා .

ගැබ්බර පෙම්වතියව  (ස්වර්ණා) අන්තිමේදී වාහනේට යටකරන්න එනකොට තඩි දර අත්තක්  අරන් රතු පාට කාර් එකේ වින්ඩ්ස්ක්‍රින්  එක කුඩු වෙලා යන්න ගහන ස්ලෝ මෝෂන් කෑල්ල ඒ කාලේ හැටියට අපිට ස්පිල්බර්ග් පන්නයේ සිරා වැඩක්.

වසන්ත ඔබේසේකර කොහොමත් සිනමාවේ තාක්ෂණික වැඩ කෑලි හොඳින් ඉදිරිපත් කළ කෙනෙක්. ඊට පස්සේ ආපු කැඩපතක චායා එකේ ඇසිඩ් ගහන සීන් එක, මාරුතය චිත්‍රපටියේ  අලුත් මන්ත්‍රී  නිවස වල්  බිහි වෙලා යන දර්ශන ගත්තු හැටි ඒ වගේ දේවල් සුවිශේෂයි.

චිත්‍රපටිය  බලදදී එහි ආශ්වාදනීය බවට වහවැටිලා හිටි නිසා බඩගින්න අමතක වෙලා තිබ්බත් සමහර කොටස් තිරයේ දිග ඇරෙද්දී බඩගින්න ඇවිස්සුනා . ඒකෙ බේකරියක දර්ශන  ගොඩක් තිබ්බ.

 දඩයම චිත්‍රපටයේ  සොමී රත්නායක බක්කරේ කෙනෙකුගේ චරිතය අපුරුවට රඟ පෑවා . ලොකු පිටි මෝලියක් බක්කර මේසය මත තබා දෑතින්ම එහාට මෙහාට රෝල් කරන ඔහු සිය දියණියගේ ප්‍රේම  සම්බන්ධය සීමාව ඉක්මවා ගිය බව දැන ගත් දවසේ කේන්තිය පිට කර ගන්නේද මේ පිටි මෝලියට තඩි බාමින් .

අපි සිනිමා  හලෙන්  නික්මී නගරය දෙසට එනවිට අලුත් පාන් හා බනිස් සුවඳක් ඇවිස්සී උදේ කෑමෙන් පසු මොකුත් නොලබුනාය යන වේදනාව වඩාත් තදින් දැනෙන්නට වුනා . අපි ඉන්නේ නගරයේ ජනප්‍රියම  බේකරිය හා හෝටලය වූ ලයන්ගිරිය අසලම. අපේ කකුල් දෙක එතැනින් එහාට ඇදෙන්නේ නැති ගානයි.
මොනවා කරන්නද?

කමලයා  සාක්කුවකට අත දාල කරකවල කරකවල සත පණහක් එලියට ගත්තා . මගේ ගාව සතයක්වත් නෑ . ලයන්ගීරියෙන්  ස්ටාර් බටර්ස්කොච් ටොෆි දෙකක් ගත්තැකි. කමල් කිව්වා.අපි දෙන්නා  ටොෆි ගන්න කවුන්ටරේට ගියාම කමල් කිව්වා තේ එකක් බීලම යමු කියලා
කොහෙද සල්ලි ? මම කමල් ගේ මුණ දිහා බැලුවා . යන්කො . ගියා . ඉඳ ගත්තා. බනිස්. කෙසෙල් ගෙඩි. කිරි තේ . බිල හතරයි පනහයි.

මම දැන් ගැහෙනවා. කමල්  බිල අතට ගත්තා .  කවුන්ටරෙන් ගෙවල යන විදිහට එතැනට  ගියා.
බිල ගෙවනවා වෙනුවට මිනිහ අර සත පණහ  දීලා කලින් ගන්න සැලසුම් කරගෙන හිටි ස්ටාර් ටොෆි දෙක ගත්තා. එතැනදීම මට එකක් ලැබුනා . යමු . පිටත් උනා.

අපි කරපු දේ  කැෂියර්ට තේරුන් නෑ. මිනිහා ඇඟපත විශාල අමුතු පන්නයේ මිනිහෙක් . කිසි හැගීමක් දැනීමක් නැති ගොබ්බයෙක් විදිහටයි අපිට පෙනුනේ. ඔන්න කඩේ පහු වෙලා යාර සීයක් විතර යනකොට අර තිබ්බ කෝල බයමුසු ගතිය ගිහිල්ලා හිතට එනවා දැඩි ධීර වීර හැගීමක්.

කඩෙන් කාල මාරු වෙන අය්යලාගේ රස කතා  මතක් වුනා. අපිත් දැන් පොරවල් . මාර සන්තෝෂයක් ආවේ හිතට.

බස්ස්ටෑන්ඩ් එක ළඟ අපේ ගැන්සිය ඉන්නවා. හවස පංති ගිය හොඳ ළමයි. ආ කොහොමද ෆිල්ම් එක ?කට්ටිය අහනවා. ඒක නෙවෙයි වැඩේ. අපි ලයන්ගිරියෙන් කෑවා  බඩ  පැලෙන්න . බිල ගෙවන් නැතිව ආවා .

ඒ කොහොමද? දැන් අපි පැන පැන  විස්තරේ කියනවා. හයියෙන් සද්දෙන්. මාර වැඩේ තමයි. එච්චර වෙලා බිය ගුල්ල වගේ හිටපු මම දැන් අපි දෙන්නට  සමෝ සමෝ ක්‍රෙඩිට්  එක ගන්න පුලුවන් විදිහේ වීරකම් ගැන පුරසාරම් දොඩනවා.

කට්ටියට මාරම රස කතාවක් වෙලා. ඔහොම රසෝඝයේ වේලිලා මෙලෝ සිහියක් නැතිව කඩෙන්  කාපු විදිහ විස්තර කර කර ඉන්නකොට ලොකුම ලොකු බර අත් දෙකක් කොහෙන්දෝ පාත් වෙලා අපේ කමිස කොලර් දෙකෙන් අල්ල ගත්තා.

ඒ කව්ද දන්නවද? අර කඩේ හිටි තඩි මහත කැෂියර්.

ඊට පස්සේ වෙච්ච දේවල් ඉතින් කියන්න ඕනි නෑනේ.
දැන් ඒ සිද්දිය වෙලා අවුරුදු තිස් එකක් වෙනවා. හැම අවුරුද්දෙම සැප්තැම්බර් මාසේ නවවැනිදා කමල් මට නොවරදවාම කෝල්  එකක් දෙනවා අපේ මේ අකරතැබ්බේ ඇනිවසරියට සුබ පතලා.

Photo' flickr.com

Wednesday, September 3, 2014

මගේ හොඳම යාළුවා


තාත්තේ ඔයාගේ හොඳම යාළුවා කවූදැයි කියා දවසක් පොඩි දෝනි මගෙන් ඇසුවාය. ඒ වෙලාවේ මගේ හොඳම යාළුවාත් අපේ ගෙදර ඇවිල්ලා සිටියේය. මම ඔහු දෙස බලා පොඩි සිනාවක් පෑවෙමි  ඔහුද කාරණය තේරුම් ගත්තාක් මෙන් මා දෙස බලා සිරියාවන්ත අහිංසක සිනාවක් පෑවේය. දෝනි මේ කිසිවක් දුටුවේ නැතිමුත් ඇය ආයෙමත් ඒ ප්‍රශ්නය අසන්නේ නැතිව චිත්‍රයක් අඳින්නට පටන් ගත්තාය.

මගේ පොත එලි දකින්නට දවස් දෙකකට කලින් මම ඔහු බලන්නට යන විට ඔහු ලොකු අකරතැබ්බයකට මුහුණ පා සිටියේ සති කීපයක් තිස්සේ තරමක් අසනීපයෙන් සිටිද්දී  කොරේ පිටට මරේ කීවාක් මෙන් කෑම මේසයේ පුටුවෙන්ද  බිමට ඇද වැටීම නිසාය. පිට පැත්ත බිම ඇනී හොඳටම අමාරු වී තිබිණි. මම යනවිට ඔහු හැරෙන්නටවත් නැගිටින්නටවත්  බැරිව ඇඳේ දිගා වී සිටියේය. මා දුටු විගස ඔහු බොහොම අමාරුවෙන් කෙඳිරි ගාමින් කිව්වේ මම කොහොම හරි උත්සවේට එනවා කියලාය. ඒ වන විට  ඇඳ වටා රොක් වී සිටි ඔහුගේ දියණියන්ගේ මුහුණුවල ලියවී තිබුනේ  අපේ තාත්තාට අමාරුයිනේ  එදාට එන්න පුළුවන් වෙයිද  වගේ ප්‍රශ්නයකි.

ඒත් මම මගේ යාලුවා ගැන දන්නා නිසා ඔහු නොවැරදීම උත්සවයට එන බව මම දැනගෙන සිටියෙමි. කිව්වා වාගේම ඔහු අලුත් ඇඳුම් සුට් එකක් ඇඳගෙන ඇවිත් ඉස්සරහම පේලියේ වාඩි  වී සිටියේය. එදා තරම් ඔහු සන්තෝෂයෙන් සිටි තවත් දවසක් මටනම් මතක නැත.

මීට වසර ගනනකටපෙර අපි කොහේදෝ ට්‍රිප් එකක් යද්දී හොඳම යාලුවාගේ පවුලේ සියලු දෙනාත් ගමන යන්නට ආවෝය. පාන්දර පිටත් වී ආපසු එන විට හැන්දෑ වන නිසා බල්ලාට කෑම දී එනකන් ඉන්නයි යාලුවා කිවේය. ඊළඟට කෑම බඳුන් දෙකක් අතින් හෙන බලු කුඩව දෙසට ගිය ඔහු ආපසු ආවේ බල්ලාට හොඳටම බැන වදිමිනි. මේ යකාට දවල්ට කන්න බත් එකයි උදේට කන බත් එකයි ලඟින් තිබබා. ඌට ඔච්චර  කියලත්  පැනපු ගමන්  දවල් එක කෑවා ඊට පස්සේ උදේ එකත් කෑවා. එදා අපේ ගමන පටන්  ගත්තේ මේ රස කතාවත් සමගය.

අපි 96 අවුරුද්දේ කසාද  බැන්දාට  පසු ටික දවසක ගල්කිස්සේ කුලී ගෙදරක සිට ආපහු මහගෙදරට පැමිණියේ  කිට්ටුවෙන් කුලී ගෙයක් හොයා ගන්න ඕනෑ කියලාය. මහා ගෙවල්වල ඉඩ තිබ්බාට අපිටම කියා ජීවිතයක් ඕනිනේ. මේ කුලියට ගෙයක් හොයන හැම ගමනටම හොඳම යාළුවාත් ආවේය. හැම ගෙදරකම ඇද  කුද  කියූ ඔහු අපිට ගෙයක් ගන්නට දුන්නෙම නැත. මට හිතුනෙම මොහු මහා ඇණයක් වෙන්නට යන බවකි. එක ගෙදරක් තෝරාගෙන ඔහුට හොරෙන් එහි ගියේ ඒ ගෙදරට ඇඩ්වාන්ස් එකක් දීමටය. ඒත් කොහේදෝ සිට කඩා පාත් වූ හොඳම යාලුවා ඒ මුදල දෙන්නට නොදී මා ඇදගෙන ගොස් මට කිව්වේ කුලී ගෙව ගෙවා ඉන්න සල්ලි වලින් මෙන්න මෙතනින් ගෙයක් හදන්න පටන් ගන්නා  ලෙසය.

දෙයියනේ අතේ රුපියල් දහදාහක් තියාගෙන ගෙයක් හදන්නේ කොහොමද ? ඒත් යාලුවාගේ පෙරත්තයත් වෙනම ගෙයක් ඕනෑම කියා හිතුනු නිසාත් දත කාගෙන කාමරයක් කුස්සි කෑල්ලක් හදා ගත් අපි මාස තුන හතරකින් එහි පදිංචියට ගියෙමු..

අපි මේ තරම් යාළුවන් වුනේ මොහුගේ ජීවිත කතාවේ හා පැවැත්මේ බොහෝ තැන්  බෙහෙවින්ම මට අල්ලා  ගිය නිසාය .මේ යාලුවාගේ කතා මහා ගොඩක්  තිබුනත් ඔහු ගැන වෙනම පොතක් ලියන්නට අපේ ලොකු දෝණී පටන්ගෙන තියෙන නිසා වැඩි යමක් නොලියමි.  ඒ කතාව යුගයක කතාවකි. දසක හතක  වාමාංශික දේශපාලනයේ සිටි බොහෝ ප්‍රගතිශීලීන් මෙන්ම හොඳ කලාකරුවන් රැසක් සමග ගෙවුණු ඔහුගේ අතීත ජීවිත කතාවල  වියපත් ඇස්  ඒ වික්‍රමසිංහද , කුඩා රෝහණ විජේවීරද , එච් ආර් ජෝතිපාලද , එපමණක් නොව ඩීමන් ආනන්දද සිටිති.

ඔහු සරල සැහැල්ලු නිරහංකාර මිනිහෙකි. පොත කරේ ගසා නොගත් ප්‍රායෝගික සමාජවාදියෙකි. ගෙදරදීත් රස්සාව කරද්දීත් , ගමේ සමාජයේත් ඔහු සොඳුරු මග පෙන්වන්නෙක් වුනේය. මම ඔහුගේ කැමතිම තවත් ගුණයක්නම් අවුරුදු ඇසුවට කිට්ටු කරලා හිටියත් ආගමික හෝ ගෝත්‍රික අන්තවාදයක් නැතිකමය. තාමත් පන්සල් නොයන ඔහු පුළුවන් තරම් පන්සිල් රකින මිනිසෙකි.

පුදුමයකට මෙන් ඔහුගේ මේ සරල සුන්දර ගති පැවතුම් එලෙසින්ම වාගේ  ඔහුගේ දියණියටද තිබුනේය.දසක දෙකකට  පෙර මේ යාලුවා මට මුණ ගැසුනේද ඇයගේ  මාර්ගයෙනි.

මීට හරියටම අවුරුදු දහ අටකට පෙර හොඳම යාලුවාගේ වැඩිමහල් දියණියගේ මගුල් ගෙදරට මමද ගියෙමි. මගේ  බ්ලොග් එකේ ජනප්‍රියම පොස්ට් එක වී ඇත්තේ ඒ 'මගුල් ගෙදර' ගැන කී කතාවය. කාටවත් සොරාගන්නට බැරි ආදරයක් සමග සොඳුරු සිතැත්තියක් මට තෑගී දුන් ආදර මාමණ්ඩිය මට දැන් සිටින හොඳම යාළුවාය .