Tuesday, November 26, 2013

දෙවන උපත

හපොළ ගැන කතා කරන්නට මට බොහො දේවල් තිබේ. ඇසුවේ දශකයේ මුල අවුරුද්දක මහපොළ සංවත්සරය අපේ ඉස්කෝල තියන්නට සුදානමක් තිබුනේය. මිහිදුම් මිටියාවතක පුංචි දුම්රියපළක් අසබඩ අතු පතර විහිදුවාගත් දේවදාර ගස්  පේලියක් දෙපැත්තේ අපේ පාසල තිබුනේය. රෑට  බලුප් එල්ලා සරසවන්නටත් තොරණ  බන්දින්නටත් ඉඩ දී සැණකෙළි සිරිය විඳින්නට කැමතිදැයි ඇසු විට දේවදාර ගස් පේළිය හා කියමින් අතු වැනුවේය. පිනි බින්දු තැවරුණු හීන් ලා කොළ පාට අතු ඉති සලමින් උදැසන ඉර එලිය හා හිනැහෙමින් හා කිව්වේය.

ඉස්කෝලෙට හම්බ වෙන්න යන අලුත් ගොඩනැගිලි තාර දැමු පාර ගැන කතා බහ වෙද්දී මම මහපොළ ගැන තිබෙන ලිපි ලේඛන හොයා හොයා කියෙව්වෙමි . හැමදාම පවතින ආණ්ඩුවට විරුද්ධ පැත්තේ සිට තර්ක විතර්ක ඉදිරිපත් කැරෙන අපේ ගෙදරදීත් මහපොළ සංකල්පය ගැන නම් තිබ්බේ ප්‍රසාදය මුසු වූ  අද උදහස්ය. ඒ වැඩිපුරම සරසවි සිසුන්ට දෙන්නට යන මහපොළ ශිෂ්‍යත්වය  හා බැඳුනු මනාපයකි.

මේ ආදී අවබෝදයකින් සිටියදී අපේ පන්තියට අලුත් සිංහල ගුරුවරයෙක් ආවේය. ඔහු හා හා පුරා කියා දුන් පැවරුම මහපොළ ගැන රචනාවක් ලියා ගෙන එන්නටය. පහුවදා හැමෝගෙම රචනා පොත් එකතු කර ගෙන එකින් එක කියවන අලුත් සිංහල සර් මගේ පොත අතට අරගෙන කියවද්දී මම ඔහුගේ මුහුණ දෙස බලා සිටියෙමි. එහෙත් මා  බලාපොරොත්තු වුණු  අගය කිරීමේ ලකුණු ඔහුගේ මුහුණේ නොවීය. මම වයසට ගැලපෙන් නැති තරම් මේ වැඩේට මහන්සි වූ බවත් ගුණාගුණ විචාරමින් පෙලින් පෙළ පරිස්සමට ලියු බවත්  මට සහතිකය.

ඔහු ඊළඟට පන්තියටම ඇහෙන්නට මෙසේ කිව්වේය. 'සමහර ළමයි ලස්සනට ලියල තියෙනවා සමහරු පත්තරවල තියෙන ඒවා එහෙම පිටින්ම මේකේ ලියාගෙන ඇවිල්ලා තියෙනවා '.

ආපසු නම් කතා කරමින් පොත් ටික බෙදා දෙද්දී අලුත් සිංහල සර් මා දෙස දෙවරක් බැලුවේය. ඔහු ලකුණු නොදී පොත ලඟ තබාගෙන මා ලඟට කැඳවා විස්තර ඇසුවේය. මහපොළ ගැන  අපේ ගම් මණ්ඩිය හා ගෙදර ගැන තොරතුරු  ඇසු ඔහු අපේ තාත්තාගේ රස්සාව මොකක්දැයි ඇසුවේය  'ඉස්කෝලේ උගන්වනවා' මම කිව්වෙමි. තාත්තගේ නම මොකක්ද? මම තාත්තාගේ නම කිව්වෙමි.

එක්වරම මුවට මදහසක් නනවාගත් ඔහු
' ආ එයාගේ පුතානම් ඉතින් අහන්න දෙයක් නෑ හොඳට ලියන්න පුළුවන් වෙන්න ඕනිනේ'
 .මගේ පොත ආපසු අරගෙන රචනාවට ලකුණු දහයෙන් දහයක් දුන්නේය
'මම ඔයාගේ තාත්තා දන්නවා. හිතවත්  කම හින්දා ලකුණු දුන්නා නොවෙයි. මම මෙච්චර වෙලා හිතාගෙන හිටියේ මේ මොකක් හරි පත්තරේකින් ගත්ත එකක් ඔය ළමයා ලියල තියෙන්නේ කියල. දැන්නම් එහෙම  සැකයක් නෑ. .

ඒ සිද්දියෙන් පසු මහපොළ වෙළඳ සැණකෙළිය අපේ ඉස්කෝලේ පැවැත්වෙන ලක ලැහැස්තිය එන්න එන්නම වේගවත් විය, තව නොබෝ දිනකින් මහා වෙළඳ සැණකෙළිය පැවැත්වෙන නිසා අලුතින් තාප්ප හදන්නටත් විදුලි කණු හිටුවන්නටත් බඩු බාහිරාදිය  ගෙනත් දමලාය. දවසක් කොළඹ ඉඳලා පැමිණි මහත්තැන් කිහිප දෙනෙක් විදුහල්පතිවරයා සමග ඉස්කෝලේ මිදුලේ බර කතා බහක්ය. ඔවුන් දෙවාදාර ගස් වැටිය අසලට ගොස් ආයිමත් කතාව පටන් ගත්තෝය. විදුහල්පති තුමාගේ මුහුණ ලේ රත් පැහැ  ගෙන තිබේ, එය හොඳ විදිහේ කතා  බහක් නොවන බව බලා සිටි උන්ට පෙනේ.

පසුවදා ආරංචි වුයේ අපේ ඉස්කෝලේ මහපොළ නොපැවැත්වෙන බවත් ඒ සඳහා වෙනත් ස්ථානයක් තෝරා ගත්තු බවත්ය. මේ විනම්බෑසියට හේතු වුයේ සැණකෙළියට ඉඩකඩ සපුරා ගන්නට පාසල් මිදුලේ විරාජමානව සිටි දේවදාර ගස් පේලිය කපා දමන්නැයි  කළ යෝජනාවට විදුහල්පතිතුමා තදින් විරුද්ද වූ නිසා මහපොළ සහ ඒ  සමග ලැබෙන ප්‍රතිලාබ සියල්ල අපේ ඉස්කෝලෙට අහිමි වූ බවය.

මහපොළට වඩා දේවදාර සුවඳට අප හැමෝම ආදරය කල නිසා අපේ ප්‍රින්සිපල්  ගත්  තීරණයට කවුරුවත් ආයේ වචනයක් කියන්නට ආවේ නැත. දේවදාර අතු පෙරටද වඩා සිනා සෙමින් අපේ  සුදු කමිස වලට පිනි කැට අත අරිමින් කෙළි  කවට කම් කිරීම දිගටම කරගෙන ගියේය..

කාලයත් සමග මහපොළ බොහොමයක් සරසවි දරුවන්ට උදවු උපකාර කළා උනාට වෙලේ නියරේ ඉඳන් පොත් පාඩම් කළ  අපේ ගෙදර තුන් දෙනෙක් එකම කාලයක සරසවියේ ඉගෙන ගත්තා උනත් එකෙකුටවත් මහපොළ හම්බුනේ නැත.  රජයේ සේවකයින්ගේ ළමයින් වූ අප දිහා මහපොළ බැලුවේ ඒ විදිහටය.

ඒ කාලේ මහපොළ දීමනාව එක ළමයෙකුට මාසෙකට රුපියල් පන්සීයකි.. එය එකෙකුට  මාසේ පිරිමසා ගන්නට  සෑහුනේය .

මට මහපොළ නොලැබීම ගැන මටත්  වඩා විස්සෝපෙන් සිටි මගේ මිත්‍රයෙක් සිටියේය. ඔහු  මහපොළ මුදල් ලැබිච්ච හැටියේම මා සොයාගෙන එයි. ඉන්පසු වුස් කැන්ටිමට මාව ඇදගෙන ගොස් කිඹුලා බනිස් ,කෙසෙල් ගෙඩි සමග තේ පැන් සංග්‍රහයක් ලබා දෙන අතරේ හැම මාසෙම මේ වගේ දවසට අහන ප්‍රශ්නය අහයි.
 'උඹට ලෝන් එකක් එහෙම ඕනිද?
ඒ අහනකොටත් ඔහුගේ අත සාක්කුවට ගිහිල්ලාය. සමහර විට කලින් මාසේ ඉල්ලා ගත්තු මුදල මම දීලා හමාර වී නැත. මට සල්ලි තිබ්බත් නැතත් අමුණුවාගෙන් රුපියල් පණනහක් සීයක් අරගෙන ගෙදරින් සල්ලි එවූ හැටියේ ගෙවා දැමීම මට පුරුද්දක් වුනේය.

මේ  මා සරසවි ජීවිතය පුරාම නොකඩවා අත් විඳි සුන්දර සෙනෙහෙබර මාසික හමුවකි.

වුස් කැන්ටිමෙන් කෑ  කිඹුලාට අමතරව සරසවි ගමන පටන් ගනිද්දීම හමු වූ තවත් කිඹුලෙක් මගේ  මතකයට එන්නේය. ඒ මට හමු වූ පළමු පගා මරුවාය.

මම උසස්පෙළ ගොඩ යද්දී අපේ ගෙදර තව දෙන්නෙක් සරසවියේ සිටියෝය. එතකොට ගෙදර ආර්ථිකය හොඳටෝම වැටී තිබුණි.. මහපොළ හෝ වෙනත් කිසිම සහයක් නොලබා සරසවියේ සිටින දරුවන් දෙන්නෙකුට උගන්වමින් ගෙදරට විය හියදම් කරද්දී තිබෙන අමාරුව ඇත්තෙන්ම බරපතලය. ඒ මදිවාට  තවත් එකෙක් එහෙ යන්නට ලැස්ති වී සිටියි.

ඒත් අපි මේ සටනටද හවුලේ මුහුණ දුන්නෙමු. අග හිඟ කම් මැද්දේ වුවද සතුටින් සටන් කළෙමු.

මට පේරාදෙනි යන්නට බැගයක් ඇඳුම් සුට් එකක් අලුත් කන්නාඩි කුට්ටමක් අරන් දෙන්නට අම්මා ළඟ විසඳුමක් තිබ්බේය. ඒ ඇයට ඉල්ලන්නට ඉතිරි වී තිබු එකම ණය  මුදලය. කුළුඳුලේ පේරාදෙනි යන්නට දවස් තුනක්  තියෙද්දී අම්මාත් සමග මම අදාළ  කන්තෝරුවට ගියේ අම්මාගේ පඩියෙන් ටික ටික කපා ගන්නා පොරන්දුවට ලැබෙන මාස තුනක වැටුප් අත්තිකාරම රැගෙන එන්නටය. එය රුපියල් දෙදහස්  ගණනකි.

උදේම චෙක් එක ලැබෙතැයි සිතුනද එය සැහෙන්න පරක්කු වෙන සෙයක් තිබුණි. අප මෙන්ම නොයෙකුත් රාජකාරි කර ගැනීමට ආ පිරිස දිග බංකුවල වාඩි  වී කාසේ රෝගෙට බෙහෙත් ගන්නට දොස්තර මහත්තයා එනතුරු සිටින රෝගීන් මෙන් ඔහේ බලා සිටියෝය. මේ ඉන්දැද්දී එකා දෙන්නා තමන්ගේ කාරිය කරගෙන පිටව යනු දක්නට ලැබිණි.

මේ පිරිස අතරට  වරින්වර පැමිණෙන ජැන්ඩියට හැඳගත්  මැදි  වියේ මහත්තයෙක් මොන මොනවා හෝ විස්තර අසාගෙන යයි. ඔහු පෙන්වන්නේ උනන්දුවෙන් වැඩේ කරන්නේ ඔහු බවය. කවුරුන් හෝ ණය මුදලක්  ලබාගෙන එලියට යන්නේ නම් ඔහුත් ඔවුන් පස්සේ  එලියට ගොස් ආපසු එයි. ඒ එද්දී හීනියට ස්පිරිතු  සුවඳක්ද හමා එයි. ඔහු වරින් වර ඉන්ගිරිසියෙන්ද කතා කරයි. කවුදෝ කිව්වේ ඔහු අහවල්  අංශයේ ලොක්කෙකු බවයි.

කන්තෝරුව වහන්නට ඔන්න මෙන්න කියලා තියෙද්දී  අපටද චෙක් එක ලැබුනේය. අම්මා  චෙක් කොලය කියවා බලා මා දෙස බැලුවේ  සතුටු සිනාවක් නන්වාගෙනය.

ඉන්පසු අපි දෙන්නා අත්  අල්ලාගෙන කන්තෝරුවෙන් එලියට ආවේ සොම්නස් මුනුණිනි . දැන් හෙට මේක මාරු කරලා ඕනි සේරම ජාති ටික ගනිමු. බෑග් එකක් සපත්තු දෙකක්‌ . තව පුතාට යනකොට ගෙනියන්නත් කීයක් හරි ඕනිනේ.

එළියේ පොද වැස්සක් ඇද හැලෙමින් තිබුනේය. කන්තෝරු නිම වී ගෙදර යන එන්නන්ගෙන් හා වැහි හිරිකඩෙන්  පාර කළබල වී තිබුනේය.

අපට කන්තෝරුවෙන් එලියට බැස  අඩි  දහයක් යන්නට හම්බුනේ නැත. අර කලින් කී ජැන්ඩි මහත්තයා අප පස්සේය. රැල් බුරුල් ඇර කතා කළ  ඔහු මෙසේ කිව්වේය.

'ඉස්කෝලේ හාමිනේ මම ඔය ණය පාස් කරලා දෙන්න සෑහෙන්න මහන්සි උනා. මගේ ගෝලයිනුත් මහන්සි උනා.  එහෙම නොවුනානම් මෙහෙ පෝලිමේ තියෙන වැඩ කන්දරාව හැටියට තව සුමාන දෙකක් වත් යනවා ඕක ගන්න  .'

 අම්මා ඔහුට මුව නොසෑහෙන සේ ස්තුති කළාය  . 'අනේ පින් සිද්ද වෙනවා  '.

ටීචර් එහෙම කියලා බෑ  මම තව හතර දෙනෙකුට කීය කීය හරි දෙන්න පොරොන්දු වෙලා ඔය වැඩේ ඉක්මන් කලේ. කොටින්ම මට ඒ මිනිස්සුන්ට රෑට කෑම බීම ටීක අරන් දෙන්නත් රුපියල් දෙසීයක් විතර  වියදම් කරන්න වෙනවා.

අපි දෙදෙනා ඔහු දෙස පුදුමයෙන් බලා සිටියෙමු. මනාව ඔප දමන ලද ඔහුගේ සපත්තු දෙකට එහෙන් මෙහෙන් මඩ  වතුර ඉසී තිබුනේය.අපරාදේ අලුත් සපත්තු කුට්ටම .

ඒ අතරේ ඔහු නොනවත්වා හෑල්ලක් කියවාගෙන ගියේය. මේ ඔහු ඉල්ලන්නේ රුපියල් දෙසීයක පගාවක් බව ඒ වන විට අපට වැටහී තිබුණි.  ඒ කාලෙත් සියයට දහයක්

අම්මාගේ මුහුණ පුදුමයත් කේන්තියත් ශෝකයත් විසින් විපිළිසර වෙද්දී මම අම්මාගේ අතින් ඇදගෙන එතනින් යන්නට පිටත් වුනෙමි.  පාර දෙගේ ගලා යන වැහි වතුර තීරු මග හරිමින් සෙනග බේරමින් අපි ඉදිරියට ඇදෙද්දී බේබදු මහත්තයාද අප පසු පස්සේමය.
අපෙන් ප්‍රතිචාරයක් නොලැබු තැන ඔහුගේ කන්දොස්කිරියාව තීව්ර වුනේය.

'මිනිස්සුන්ට උදවු කරනවට අපිට හොඳ  පාඩම්. අඩු ගානේ රුපියල් සීයක්වත් තිබ්බනම් මගේ ගෝලයෝ දෙන්නට මොනා හරි කන්න බොන්න අරන් දෙන්න තිබ්බා' කියමින්  ඔහු අප දෙදෙනා ඉස්සරහ  ආයිමත් සිට ගත්තේය.

මගේ සිත කෝපයෙන් නලියයි. කවුරුන් හෝ අල්ලසක් ඉල්ලා සිටිනවා මා දුටු පළමු වතාවය.

අම්මාත් හොඳටෝම  හිත කලබල වී නැවත බෑග් එකට අත දමා මොනවාදෝ සොයයි, ඇය ඔහු ඉල්ලන  මුදල දෙන්නට යන්නේ නැති බව මට ස්ථිරය. අපි දෙන්නාම ළඟම  ආපසු යන බස් ගාස්තුවට අමතරව  රුපියල් විස්සකට වඩා නොතිබුණු බව අපි දෙන්නාම දැන සිටියෙමු.

අම්මා පෙරටත් වඩා කලබලයට පත් වෙලාය. හෑන්ඩ්  බෑග් එක අවුස්සා අවුස්සා බලයි.
'ඇයි අම්මේ' මම ඇසුවෙමි. අම්මා බෑගය අදිද්දී බලාපොරොත්තු සහගතව ඒ දෙස බලා සිටි බේබදු  නිලධාරියාද අම්මාගේ නොසන්සුන් මුහුණ  දෙස බය බිරාන්තව බලා සිටියේය.

'අර චෙක් එක නැති වෙලානේ පුතේ '

ඇයගේ බිඳුණු හඬේ  තිබු  දෝමනස්ස බාවය නිසා පගා මහත්තයා පවා බෙහෙව්න් තැති ගත්තේය.  මම ඔහු දෙස රවාගෙන බලා සිටියෙමි. මේ මිනිහාගේ මළ කරදරේ නිසා අමමාට චෙක් කොළය පරිස්සමට බෑගයට දා ගන්නට බැරි වෙන්නට ඇත.

මොහොතකට පෙර අම්මාත් මාත් පිවිසුණු සොඳුරු සිහින ලෝකය  කඩා වැටී ඇත.

'බලන්න බලන්න' පගා මහත්තයා කියයි, ඔහුගේ මුහුණ හුළං ගිය බැලුමක් සේ හැකිලී ගිහිල්ලාය.

'අපි යන්  කන්තෝරුවට ගිහින්  කියමු. මේ මහත්තයාගේ කරච්චලේ  නිසා ඒක නැති උනා කියලා'.

මහත්තයා බැගෑපත් වෙයි. 'අනේ එහෙම කොම්ප්ලේන් කරන්න එපා මම ගත්තේ නෑ . හරි හරි මට සල්ලි එපා. අපි හොයමුකෝ චෙක් එක' .

අප දෙදෙනා ඔහු මග හැර කඩිනම් ගමනින් ආපසු කන්තෝරුව දෙසට ඇවිද ගෙන ගියේ පාරේ තෙතබරියන්ව ඇති කොළ බොල රොඩු බොඩු  අතරේ පවා චෙක්පත වැටී තිබෙනවාදැයි විමසිල්ලෙන් බලමිනි. අප පසු පසින් ටික දුරක් ඇවිද ආ පගා  මහත්තයා කන්තෝරුව ආසන්නයේදී ගලක් උඩ  යමක් කළ  බළලෙකු මෙන්  තාප්පයකට  මුවා වී අප දෙස බලා සිටිනු යන්තමින් මට පෙනිණි.

කන්තෝරුවේ අංශ ප්‍රදානියා සොයාගෙන හැල්මේ ඔහුගේ කාමරය සොයා අපි ඇදුනෙමු.  ඔහු ලොකු පයිල් බැග්  එකක්ද අතින් අරගෙන ඉස්සරහ  දොරින් ගෙදර යන්නට එලියට අඩිය තිබ්බා හාම මම ඔහු ලඟට දුව ගොස් සිද්ද වූ හරිය මුල හිටන් කිව්වෙමි. අම්මාට ඕනෑ වුනේ චෙක් එක නැති වූ කතාව විතරක් කියන්නටය.

'බලන්න මේ කාලකන්නි හින්ද මේ කන්තෝරුවේ වැඩ කරන අනිත් මිනිස්සුන්ටත් එක්ක නව නින්දාව. මම මේකටනම් ඇක්ෂන් එකක් ගන්නවාමයි.
චෙක් එක ඔය කලබලේ හින්දා වැටෙන්න ඇති. ටීචර්රුයි පුතයි බය  වෙන්න එපා.  මම ඒක කැන්සල් කරන්නම් හෙට උදේම්.  ඊට පස්සේ බැංකුවෙන් ලියුමක් ලැබුණහම අලුත් චෙක් එකක් ලියලා දෙන්නම්. දවස් හතරක් පහක් යාවි. අනේ කණගාටුයි වෙච්ච වැඩේට.

එදා ආපසු යද්දී මම ගමට යන බස් එකට ඉස්සෙලාම ගොඩ වී අම්මාටත් මටත් සීට් එකක් අල්ලා ගත්තෙමි. ඒ මට අන් කවරදාටත් වඩා අම්මාගේ ඇඟේ දැවටෙමින් ලඟින් වාඩි  වී සිටින්නට ඕනෑ  වූ නිසාවෙනි.

මා ලඟින් වාඩි වූ ඇය නොවක් වෙහෙස හා ශෝකය සඟවා මා දෙස බලා සිනා සෙන්නට උත්සහා කළාය.

එදා  දවස ගැන කලකිරීමෙන්දෝ  සැන්දෑ සුරියා රහංගල කන්දට මුවා වී හොරෙන්ම  පල්ලම් බහිමින් සිටියේය. ඉන් බේරී ආ කිරණ කදම්බයකින් මම අම්මාගේ ඇහි පිල්ලම් යට දිදුලන පුංචි කඳුළු බින්දුව හොඳින්ම  දුටුවෙමි.

වැඩුණු තටු විදහා ඉස් ඉස්සෙල්ලම මා ගෙදරින් එලියට පියමනිද්දී හමු වන ලෝකය හිතනා තරම් සුන්දර නොවන බවට ජීවිතාවබෝදය ලබමින් මා දෙවන වරට උපත ලැබුවේ ඒ කඳුළු බින්දුවෙනි.

Image;ivf.insight

Monday, November 18, 2013

චුටි උක්කුන් අයියා

පේ ගම් තුලානේ ඉපදෙන හැම කොලු පැට්ටාටම ගෙදරට වෙනම නමක් තිබුනේය. උක්කුන්, චුටි උක්කුන්, මහතුන්, රාජා, රාජු, නිලමේ, චුටියා හා චුටා ඒ වගේ කිහිපයකි. සමහර ගෙවල්වල ලොකු චුටාද , චුටි චුටාද කියා දෙන්නෙක් සිටියෝය.

ගැහැණු ළමයින් බොහෝ විට නෝනලාය. ලොකු නෝනා, මද්දුම නොනා, චුටි නෝනා . ගෙදරින් පිටතදී අර ගෙදර නෝනි මේ ගෙදර නෝනි වශයෙනි.

අපේ ලොකු අක්කා විතරක් මට කතා කරන්නේ උක්කුන් කියලාය. ඒ නමින් මා ඇමතුවේ ඇය පමණක්මය.ඒකත් හරි පුදුම වැඩක් ය. අනිත් අක්කලාද අයියාද පුංචි අම්මලාද මට කතා කලේ චුටි උක්කුන් කියලාය.

අයියාගේ යාලුවොද අක්කලාගේ යාලුවෝද  කවුරුත් මට චුටි උක්කුන් කියදදී මට අමුතුම ගැම්මක් ඇති වුනේය. එය මටම හරි හුරතල් හිතෙන නමකි.

ඒත් මේ ආමන්ත්‍රණය මගේ නොසතුටට  හේතු වුන වේලාවක්ද තිබුණි. ඒ අපේ පුංචි අම්මාගේ දුලා  පුතාලා  චුටි උක්කුන් අයියා කියා මට කතා කරද්දීය. අපේ නංගී පොඩි කාලයේ මට බබා බබා කියමින් හිට එක සැරේම චුටි උක්කුන් කියා කිරි දත් පාන්නට පටන් ගනිද්දී මම උපක්‍රමශීලීව ඇයට පොඩි අයියා කියන වචනය ඉගැන්වීමි. ඇති යන්තම් අපේ නංගීනම් මට චුටි උක්කුන් කියන්නට එන්නේ නැත.

මගේ හිතේ පැල පදියම් වී තිබු අදහස නම් මේ චුටි උක්කුන් කියන නම නිපදවා තියෙන්නේ ලොකු උන්ට මා ඇමතීමට මිස පොඩි උන්ට මා ඇමතීමට නොවේ කියලාය.

සාපෙ ලියලා ගෙදර ඉන්නා කාලේ පුංචි අම්මාගේ නංගී පාසලින් එක්කරගෙන පුංචි අම්මගේ කන්තෝරුවට ඇරලන  දවස් කීපයක කොන්තරත්තුවක් මට පැවරී තිබිණි.  පිටට නොපෙන්නුවාට මම මේ වැඩය බාර ගත්තේ හරි සන්තොශයකිනි. බාලිකා ඉස්කෝලයක්  ඇරෙන වෙලාවට එතනට යන්නට  හේතුවක් නිකම්ම ලැබී තිබෙයි.

හතරේ  පන්තියේ සිටි පුංචි අම්මාගේ නංගී එක්කරගෙන යන්නට ඇවිත් ගේට්ටුව ළඟ ඉදිද්දී ඈතින් එන ළදරියන් අතරේ මා දකින නංගී  දුවවිත් මගේ අතේ එල්ලෙයි.ඊළඟට ඇය පුංචි අම්මාගේ කන්තෝරුවට ගෙන ගොස් ඇරලන මම අපේ කොලු නඩය  සමග එකතු වෙමි.

මේ වැඩේ මම හරි සන්තෝෂයකින් දවස් තුනක්ම කලෙමි . එත් හතර වෙනි දවසේ මට නංගී හොයා ගන්නට බැරි විය. බාලොලියන් අතරේ බටු ඇටයක් තරම් වන කටකාර දඟකාර පුංචි කෙල්ල කොහෙන්දෝ එක පාර මතු උනේ ' චුටි උක්කුන් අයියා මම මෙහෙ' කියාගෙනය.

ලොකු පන්තිවල කෙල්ලන් ගොඩක් මැද්දේ චුටි උක්කුන් අයියා කියා මට  කතාකළ දාට පහුවදා සිට මම පුංචි අම්මාගේ නංගී ඇරලන කොන්ත්‍රාත් එකෙන් කර ඇරියෙමි..

තවත් කාලයක් යද්දී අපේ අක්කලාට ළමයින් එකා දෙන්නා ලබෙද්දී මා චුටික්කුන් මාමා බවට පත් විය. අක්කලා මට චුටික්කුන් කියා අමතද්දී හිතේ  පිරෙන සන්තෝෂය පොඩි උන් චුටික්කුන් මාමා කියා කියද්දී  තිබුනේ නැති බව ඇත්තය. ඒත් එව්වා එහෙම්මම සිදු විය. කොහේ  හෝ ඉඳන් ගමට ආ වෙලාවක ලෙමන් පෆ්  පැකට්ටුවක්ද අරගෙන අක්කලා ගෙදර යද්දී පොඩි උන් දෙන්නා ' චුටික්කුන් මාමා එනෝ; චුටි උක්කුන් මාමා එනෝ ' කියා ගම දෙවනත් කරමින් ගල් පඩි පෙළ  දිගේ පෙරලි පෙරලී ආවා මතකය.

කාලයත් සමග මම ඔය වචනයට පුරුදු වුනෙමි. නිකම්ම උක්කුන්ද, චුටික්කුන්ද , චුටික්කුන් අයියාද චුටික්කුන් මාමාද වුනු මම  ඔය කොයි ආමන්ත්‍රණයට වුනත්  නොසැලී සිටියෙමි.

එත් මේවා මෙතැනින් කෙලවර වෙන පාටක් නැත. දැන් දවස් දෙක තුනකට කලින් අම්මාට කතා කරද්දී අසන්නට ලැබුණු පණිවිඩයකින් කියවුනේ කාලයකට ඉස්සර 'චුටික්කුන් මාමා එනෝ' කියාගෙන ගල් පඩි පෙලේ දුව ආ අක්කාගේ දුව මවක් වෙන්නට යන සුබාරන්චියයි.

අම්මා සමග  සන්තෝෂය පල කරමින් කතා කරා උනාට මගේ හිත ආයිමත් පත්තු වෙන්නට පටන් ගෙන තිබේ. ඒ තව මාස කීපයකින් මා චුටික්කුන් සීයා වෙන හැටි මතක් වීම නිසාය.

(සේයාරුව දෙව්නිගෙන්)

Sunday, November 10, 2013

තුන්වැනි දේශකයා


මී අවුරුදු හත  අටකට උඩදී දවසක දේශකයන් පස් දෙනෙක් ඇවිත් හරි බැරි ගැහී , කලාතුරකින් ලැබුණු අවස්ථාවක විනාඩි විස්සක දේශනයක් ඇෂ්ටි  හැලෙන්නට දෙන්නම් කියා හිතමින් වේදිකාවේ වාඩි වී සිටියෝය. අවසාන අවුරුද්දේ ඉංජිනේරු ගැටයින් ගැටිස්සියන්ට රස්සා හොයා ගන්නට   මග හසර කියලා  දෙන ඉන්ඩස්ට්රියල් ඩේ  එක අදය

දේශනා ශාලාවෙන් එළියේ සැණකෙළි සිරියක් ගෙන තිබිණි. තැනෙක සිමෙන්ති කොම්පැනියක  වෙළඳ කුටියකි. අන් තැනෙක ඉදිකිරීම් සමාගම්වල එකිනෙකා පරයන සේ හැඩ  වැඩ ගැන්වූ  කුටි පෙළකි. ඔය අතරේ ඉංජිනේරු අංශවල සිසුන්ගේ හපන්කම් පෙන්නන නිමවුම්ය. කිරි පැකට්, නූද්ලෙස්, බර්ගර්ස්   මෙකී නොකී රස බොජුන් විකුණන අවන්හල්ම දෙකකි.

මේ අස්සෙම   ලාහට ගෙම්බන් එකතු කරන්නාක් සේ දුව දුවා හතළිහක් පනහක් වූ කරදඬු උස වූ ඇට්ටර පහේ කෙල්ලන් කොල්ලන් පිරිසක් දේශනා ශාලාවකට ගාල් කර ගන්නට  තරුණ කතිකාචාර්යවරියන් සමත් වෙද්දී එතුමියන්ලාගේ හොඳ පණ  ගිහිල්ලාය.

අද මේ දේශක මහත්තුරුන්ට එන්න කියල අපි විශේෂයෙන් ආරාධනා කලේ ඔවුන් විවිද ක්ෂේත්ර වල කාලයක් තිස්සේ රස්සා කරලා අද ඉන්ඩස්ට්රි  එක මොකක්ද කියල දන්නා නිසයි, මේ ප්රවීණ ඉංජිනේරුවන් පිරිස තමන් ඉගෙන ගත්තු හැටි ඒවා රස්සාවට යොදා ගත් හැටි දැන් ඔබ ඉදිරියේ රඟ  දක්වා..  සමා වන්න දේශනා කර පෙන්වනු ඇත

ට්රා න් ටිරින් ටිරින් ට්රානන් ටිරින් ටිරින්

පළමු දේශකතුමිය නැගී සිටියාය .

ඇය   පටන් ගත්තේ පහේ සිස්සත්තයෙනි. මම සිස්සත්තේ හොඳට පාස් වුනා ඊට පස්සේ ලොකු ඉස්කෝලෙක. මුල ඉඳන්ම පිළිවෙලකට ඕනෑකමින් වැඩ කරපු නිසා මගේ පුංචි කාලේ ඉඳන් දුටුව හීනේ හැබෑ උනා. තමයි විස්ස විජ්ජලේට එන එක . ආවේ ඉංජිනේරුවෙක් වෙන්න. මම මෙහෙ ඇවිල්ලත් හොඳට වැඩ කළා . දෙන සටහන් දෙතුන් පාරක් කියවලා හැමදාම අතිරේක පොත්පත් බැලුවා. මම හොඳ පන්ති සමර්තයකුත් එක්ක තමයි පිටවුනේ.

මම වැඩ කරන තෙල් පිරිපහදුවේ ඕනෑම බ්රේක් ඩවුන් එකකදී  මම මෙහෙදී ඉගෙන ගත්ත දැනුම  පාවිච්චි කරනවා. මම තුන්වෙනි අවුරුද්ද්දේ යාන්ත්රිරක ඉන්ජිනේරු විෂය සටහන් ඔක්කොම වැඩපොළට ගෙනිච්චා. ඇය උදාහරණ පෙන්වයි. මේ බලන්න මේවා යොදා ගත්තු තැන.

මේ දේශනය ඇසෙද්දී කොල්ලන් කෙල්ලන් හීන් දාඩිය දමාගෙන මලානික මුහුණින් බලා සිටියෝය. තුන් වැනි දේශකයාත් ළමුන් මෙන්ම විපිළිසර වී සිටියේය.ඔහුද තුන්වැනි අවුරුද්දේ හා හතරවැනි අවුරුද්දේ ඉගෙන ගත්තේ මොනවාදැයි කල්පනා කළේය, කල්පනා කළේය . එහෙත් ඔහුට හරියට මතක් වුනේම නැත.

දෙවන දේශක තුමාගේ දේශනයේදී අසා සිටි සියල්ලෝ සුසුම් හෙලන්නට පටන් ගත්තෝය. ඔහු විෂය ධාරාවේ සමහර  කොටස් කට පාඩමින් කියද්දීය. අවුට් වෙලා අවුරුදු ගානකට පස්සේ මෙච්චර මතකයක්. ඔහුත් ඉගෙනුමේ ජය දද  නංවන්නට පටන් ගෙන තිබුනේ පහේ සිස්සත්වයෙනි. ඉන් පසු හොඳින් ඉගෙනීම කර උගත් දෙයින් රටට වැඩක් කරමින් සිටියි. එක එක අවුරුද්ද වැඩ සැලසුම් කර ගත්  හැටි

ඉන්ජිනේරුවෙක් වෙන්නට  පොඩි කාලේ ඉඳන්ම සැලසුම් සහගතව ගමන ගැන ඔහු ඉතා සංයමයෙන් විස්තර කළේය. ඔහු කර තිබු ප්රස්චාත් උපාධි  පවා අවුරුදු ගානකට කලින් සැලසුම් කර ගෙන හිතා හිටි හැටියටම සිද්ද වී ඇත

මේ දෙදෙනාම අත ගැසූ හැම වැඩක්ම හිතුවාටත් වඩා සාර්ථක කර ගත වාසනාවන්තයෝය. අලුත් නිපැයුමක් කලත් එක පාරින් වැඩේ ගොඩ දමා ගෙන තිබිණි.

දෙවන දේශකයා පටන්ගත් බිස්නස් වැඩේද එසේමය. පටන් ගත්  දවසේ පටන් සාර්ථක වුනු ඔහුගේ ව්යාපාරය එකදු කුඩා පසු බෑමකට හෝ  ලක් වී නොතිබීම පුදුම සහගතය.

මේ දේශනා දෙක ඉවර වෙන විට බොහෝ දෙනෙකුගේ මුහුණු අඳුරින් බර වී තිබිණි. ඇයි දෙය්යනේ රස්සාවක් කරන්න මෙච්චර අමාරු. ගිය වාරේ උගන්නපු ඒවා මේ වාරේ මතක නැති අපට අනාගතයක් තියේද? වැඩි දෙනෙක්  සිතුවෝය.

ඊළඟට තුන්වැනි දේශකයාගේ නම කියවෙන විට  ඔහු තිගැස්සී බැලුවේය.   වනවිට ඔහු කල්පනා  කරමින් සිටියේ  තමන්ව  මොන එහෙකට මේ දේශනය කරන්නට එක්කාසු කර ගත්තාද කියලාය.

තුන්වන දේශකයා තම කෙටි දෙසුම පටන් ගනිද්දීම  මෙතෙක් සැසියේ ගලාගෙන    ඒකතානමය සුගම රිද්මය අවුල් කළේය. කොටින්ම ඔහු ගම කෑවේය.

මුලින් කතා කළ  දෙදෙනා කොපි කරමින් ඔහුත් කතාව පටන් ගත්තේ පහේ සිස්සත්තය ගැන කියමිනි.

‘මම පහේ සිස්සත්තේ නම් ෆේල් උනා

එසැනින්ම මේ දේශකයා මෙතැනට නොගැලපෙන බව බොහෝ දෙනාගේ මුහුණුවල  පල වූ අදහස විය. එක්කෝ මේ මනුස්සයා මේ වගක් නොකියා ඉන්නා තිබ්බා. තවත් කෙනෙක්   හිතුවේය.

තුන්වන දේශකයා දිගටම කතාව කරගෙන ගියේය.

පහේ සිස්සත්තේ ෆේල් නිසා මම ටව්මේ ඉස්කෝලෙට ගත්තේ නෑ . මටවත් අපේ ගෙදර කිසිම කෙනෙකුට ඒකේ වගක් තිබ්බේ නෑ. හතේ පන්තියේදී මම තරග විබාගයකින් ලොකු ඉස්කෝලෙට ගියා.
සාපෙ හා උපේ මම අපේ අම්මාට කැවුම්  උයන්න හිතෙන ගානට පාස්  වුනා.

මගේ තුන් හිතකවත් තිබ්බේ නෑ  ඉංජිනේරුවෙක් වෙන්න. අපේ ගෙදර කාගේවත් ගැන අදහසක් තිබ්බේ නෑ . මට අරක කරන්න මේක කරන්න කියල කරදරයක් තිබ්බෙත් නෑ .

මම මෙහෙ ඇවිල්ල පළමුවෙනි අවුරුද්ද යන්තම් පාස් වුනා. දෙවැනි අවුරුද්දේ වැඩ පහෙන් හතරක්ම ෆේල් . ඒත් තුන්වෙනි අවුරුද්දේ අවුරුද්දට අයිති වැඩ හයයි කලින් අවුරුද්දේ ඉතිරි වෙච්ච වැඩ  හතරයි සේරම වැඩ දහයම පාස් උනා.

වැඩ දහයම පාස් වෙච්ච අවුරුද්දේ මම චිත්රපට සංගමේත්, කළා කවයේත්, තව ගොඩක් සමිති සමාගම් වැඩ අටෝරාසියකටත් කර ගැහුවා.

හතරවෙනි අවුරුද්දේ  එක එක  හේතු අහේතු  හින්දා එච්චරම වැඩක් දාන්ට  බැරි උනත් මම විබාගේ වැඩ ටික ඔක්කොම පාස් වෙලා එලියට ආවා.

ඉන් පස්සේ අවුරුදු දහයක් යනකම් මෙහෙ ඉගෙන ගත්ත කිසිම දෙයක් මට කෙලින්ම වුවමනා වුන් නෑ . පාඩම් කොටස්  තෝරලා වෙන් කරලා කියන්න බැරි උනත්  අවබෝදයක් හා ඉවක් ලැබිලා තිබ්බ අවශ් දේ අවශ් වෙලාවට තීරණය කරන්න.

සබාවේ සිටි කොල්ලන් කෙල්ලන්ගේ අඳුරු වී  තිබුණු මුහුණුවලට එලිය වැටී තිබිණි. ඔවුන් දෑස් අයාගෙන මුව විවර කරගෙන තුන්වන දේශකයා දෙස බලා සිටියෝය.

මම හිතන්නේ මේ සරසවියේ ගත කරපු  අවුරුදු හතරත් මම කරපු තවත් එක ට්රේනින් කෝස්  එකක් විතරයි. ඒක ටිකක් කල් දික් උනාට මගේ ජීවිතේම නෙවෙයි.

තව එකක්. මම අලුතින්  සමාගම් හතරක් පටන් ගත්තා. ඒවායින් තුනක් බංකොලොත් උනා. එකක් හොඳට කරගෙන යනවා.

මට ඉස්සෙල්ල කතාකරපු දේශක තුමයි දේශක තුමියටයි මම ගරු කරනවා. ඔවුන් තමයි මේ රටේ සම්පත්. තමන් උගත් දැනුම ක්රමානුකුලව රටේ දියුණුවට යොදවනවා. අලුත් දැනුම හොයා ගෙන යනවා. ඔවුන් වාසනාවන්තයි.

ඒත් වගේ පිරිස ටික දෙනයි ඉන්නේ. වැඩි හරියක් අපි වගේ  ලාබ අලාබ   ජය පරාජය මාරු වෙවී ලබන උදවිය.    මිනිස්සු හැලෙන්න පටන් ගන්නේ  පහේ සිසත්තේ ඉඳන්. තව ටිකක් දහයේ විබාගෙන්. වැඩි කොටසක් උසස් පෙලින් හැලෙනවා. ඒත් මේ  කවුරුත් ජීවිතෙන් හැලෙන්න ඕනි නෑ .

මට කියන්න තියෙන්නේ මගෙන් කිසි ආදර්ශයක් ගන්න එපා . ඕගොල්ලෝ කැමති විදිහකට වැඩ කරගෙන යන්න. මම මේ දේශනාවට කරපු ආරාධනාව බාර ගත්තේ මගේ සමාගමේ ඔබ තුමන්ලා හත් අට දෙනෙකුට රස්සා අබැර්තු තියෙනවා කියන්න

මගෙන් උපදෙසක් ඕනිම නම් මම දෙන්නම්මේ ඉන්ජිනේරු රස්සාව හරි නෑ  කියල හිතුනොත් ඕනෑම වෙලාවක ඔබතුමන්ලා  වෙන වැඩක්  බලා ගන්න . ප්ර්ස්චාත් උපාදිය කලා වලින් කරන්න ආසා නම් කරන්න. තාම මෙහෙ අමාරුයි.. පිට රට පුලුවන් .

ජීවිතේ දවස් මාස අවුරුදු ඇවිත් යනවා. කාලය ගෙවෙනවා. ජීවත් වෙන්න තරම් ආදායමක් උපයා ගන්න පුළුවන් නම්  පසු තැවෙන්න එපා. ආයිමත් වෙනස් වෙන්න නොගැලපෙන දේ අත අරින්න අලුතින් පටන් ගන්න වයස් සීමාවක් නෑ . තමන්ට තමන් නැති කර ගන්න එපා. එච්චරයි.

ඉන් පසු සබාව මදක් නිස්සබ්ද වූ අතර  ප්රශ්ණ  ඇසීමේ වාරයේදී කිසිවෙක් කිසිම දෙයක් තුන්වන දේශකයාගෙන් ඇසුවේ නැත. වෙනුවට  දවස්වල කලා  කවයේ වැඩද සරසවි රසකතා ගැනද කතා කරමින් රසවත්   වුවෝය. හතරවන දේශකයාද පස් වන දේශකයාද ඉන් පසු සබාවේ කතා බහට ඉතාමත්ම සැහැල්ලුවෙන් සහබාගී උනේ රස කතා කියමිනි.

සැසි වාරයෙන් පසු මේ ගාම්බීර සබාව ගොන්පාර්ට් එකක් කර දැමු තුන් වන දේශකයා වට කරගත් අන්තිම අවුරුද්දේ සිස්ස සිස්යාවෝ කැකිරි පලමින් මොන මොනවාදෝ කියමින් සිටියහ.

විය යුතු පරිද්දෙන්ම තුන්වන දේශකයාට ඉන්පසු කවරදාකවත් කිසිම සරසවි දේශනයකට ආරාධනා ලැබුනේ නැත.


(සටහනසත් අත්දැකීමක් අතිශයෝක්තියට නංවා ලියා ඇති  ලියමනක් බැවින් සීරියස් නොගන්නා ලෙස ඉල්ලා සිටීමි )

Image: The Guardian