Tuesday, October 19, 2021

මැවිසුරු ගැමුණු සිල්වා සමග පොහොර හැදූ හැටි



මිට තෙමසකට පෙර වරලත් ඉංජිනේරු ගැමුණු සිලවාගේ වියෝවෙන් පසු ඔහු ගැන මා ලියු සටහන සමකාලින බොහෝ හිත මිතුරන් කියවා තිබුණු අතර ඒ කාලේ ඔහු සමග එක්ව රාජකාරි කළ  කිහිප  දෙනෙක් අදහස්  තිබුණි . මම ඔහු යටතේ රාජකාරිය  කලේ 1995 වසරේ මැද   සිට 1997 අවුරුද්දේ අග භාගය දක්වා වුවද ඉන් දිගු කලක් යනතුරු හරියටම කියානවානම් 2020 අවුරුද්දේ අග භාගය දක්වා ඔහු ගැන සෙවිල්ලෙන් හිටියෙමි. මගේ ලෝකයේ රෝල් මොඩල් එකක් වූ ඔහු හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ජීවිතය ගැන මට කියන්නට බොහෝ දේවල් තිබේ. 

කලකට පෙර මා ලියු අඹ විජේලාගේ කතාවද සර් කියලා කියාපන් කතාවේ සමහර කොටස්ද එහිදී ලද අත්දැකීමකි .මේ තවත් එවන් මතක සටහන් කිහිපයකි 

වරක් ලහි ලහියේ පැලියගොඩ මධ්‍යම වැඩපලට පැමිණි ගැමුණු සිල්වා එහි සිටි ලාබාලම ඉංජිනේරුවන් දෙදෙනා වූ පාලිතත් මාත් වාහනයේ  පටවාගෙන ; "යමල්ල මරු වැඩක් තියෙනවා බලන්න:" කියා කිව්වෙ. 

පරණ යකඩ ඉස්ටෝරු, කර්මාන්ත ශාලා හා කන්ටේනර් පර්යන්ත  අතරින් ඇදී  ගිය වහනය සුවිසල් ගබඩා සංකීර්ණයකට ඇතුළු විය. පැරණි බළකොටුවක තිබුණු පන්නයේ මහා විශාල යකඩ දොරටුවක් මදක් ඇර  තිබු නිසා ඒ  විශාල තහඩු ගොඩනැගිල්ලකට ඇතුළු වීමට අපට හැකි විය. 

එය  රසායන පොහොර මිශ්‍රණ කර්මාන්ත ශාලාවකි . යන්ත්‍ර සුත්‍ර තිබ්බේ දැවැන්ත ශාලාවේ  පසුපස අර්ධයට වෙන්නටය.  ඉදිරිපස තැන තැන  පොහොර ගොඩ ගසා තිබුණි. ඒ අතර යුහුසුළු  සේවකයන් දහ පහළොස් දෙනෙක් පොහොර ගොඩවල් දෙකෙන් වෙන වෙනම ගෙනා පොහොර සවල්වලින් එකතු  කරමින් මිශ්‍ර කරමින් සිටිති . සුදුකැට , රතුකැට , කළුකැට 

එසේ මිශ්‍ර කරනා පොහොර තවත් කිහිප  දෙනෙක් බෑග් වලට පුරවා ළඟ තිබ්බ තරාදියෙන්  කිරති . ඒ දවස්වල ප්‍රචාරය වූ වෙළඳ දැන්වීමක රට  පොහොර ගැන ප්‍රචාරය වුනේ මෙසේය '

"නවීන පරිඝණක  තාක්ෂණයෙන්, ස්වයංක්‍රීය  යන්ත්‍රානුසාරයෙන් මිශ්‍ර කර ඔබ වෙත එන අහවල් පොහොර" . 

පාලිතත්  මමත් නවීන පොහොර කවලම් කරන ස්වයංක්‍රිය මිනිස් යන්ත්‍ර දෙස  උපහාසාත්මකව බල බලා සිටියේ තරමක් ඈතට වෙලාය. ඒ අපේ අලුත්  ඇඳුම් සුට්වල දුවිලි තවරෙන්නට ඉඩ තිබුණු බැවිනි . 

මොහොතකින් අපට අප  කැටුව ආ මහා හුරා හෙවත්  ගැමුණු බොස්ට  වුනේ මොකක්දැයි හිතා ගන්නට බැරි විය. මේ දැන් මෙතන සිටි ඔහු ආගිය අතක් නැත . අවසානයේ අපට ඔහු දැකගත හැකි වුනේ පොහොර යන්ත්‍රාගායේ උඩටම නැග සිය සටහන් පොතේ මොනවාදෝ කඩිමුඩියේ ලියමින් සිටියදිය . අපට වඩා අවුරුදු විසිපහකටත් වඩා වයසැති මේ පැසුණු ඉංජිනේරුවා  අට්ටාල හා , දිග බෙල්ට් අතරින් රිංගා  යද්දී බලා සිටින්නට ලැජ්ජා  සිතුනු අපි දෙදෙනාද සර්කස්කාරයන් මෙන් යකඩ ඉනිමං  වල එල්ලී එල්ලී ගොස්  මුළු කර්මාන්තශාලාවම  දැක බලා ගත්තෙමු 

සටහන් පොත කිහිල්ලේ  ගසාගෙන දෑතින් දෑත  පිස දමමින් අප වෙත ආ ගැමුණු බොස්   කිව්වේය. 

' දැන් මේකයි අපි කරන්න ඕනි. මේ යන්ත්‍ර සුත්‍ර ඔක්කොම එහෙන්  මෙහෙන් කැඩිලා පරණ වෙලා වැඩ කරන්නේ නෑ . ඒ අස්සේ මේකේ අයිතිකාරයන්ට ඕනි ෆැක්ටරියම  ඔටෝමේට් කරන්න . දැන් මේ හදන්නේ ඒ ගැන වාර්තාවක් හදන්න"

ඒ වැඩේ ඉන් එහාට ගියාදැයි මම හරියටම දන්නේ නැතත් . ගැමුණු සිල්වා යනු ඉතා ප්‍රයෝගික ක්‍රියාශීලි  ඉංජිනේරුවෙක් බව පසක් වුයේ ඔහු අර යන්ත්‍ර සුත්‍ර නිරීක්ෂණය කල යුහුසුළු විලාශයෙනි . 

ඉංජිනේරු සංස්ථා සේවයෙන් ඉවත් වුවාට පසු මට ඔහු හමු වී ඇත්තේ දෙතුන්වරකි .

පළමු වරට මම ඔහුට දුරකතනයෙන් කරන ලද ඇරයුමක් පිළිගනිමින් අපේ සමාගමේ හඳුනවා දීමේ උත්සවයට ආවේය.එදා ඔහු කතා කලේ තාක්ෂණ, පර්යේෂණ සැලසුම් හැදීම හා ක්‍රියාත්මක කිරීම ගැනය . රාජ්‍ය  අංශයෙන් පිටත සිටින පුද්ගලයන්ට පර්යේෂණ හා නවෝත්පාදන කිරීමට සුදුසු මධ්‍යස්ථානයක් බිහි කිරීමේ උත්සාහය අගය කළ  ඔහු එහෙත් මේ වැඩේ හරි බිස්නස් මොඩල් එක එහෙම  නැත්නම් මුදල් උපයමින් පවත්වාගෙන යෑමේ  ක්‍රමෝපාය අපැහැදිලි බවද කිව්වේය. 

තවත් වාසර කීපයකට පසු මට අපේ බැචෙකු වූ බන්ධුල කරුනාරත්නත් සමග තවත් අලුත් වැඩක් පටන් ගන්නට සිතුණි  . වැඩේ මෙහෙමය. ලෙඩවලට බෙහෙත් ගන්නට චැනල් සෙන්ටර් තිබෙන්නාක් මෙන් ඉදිකිරීම් අංශයේ සියලු උපදෙස් හා සේවා ලබා දීමට චැනල් සෙන්ටර් එකක් දැමීමය. අපේ සිහිනයේ හැටියට මේ ආයතනයේ කාමර දහයක් පහළොවක් තියේ . එකක ගොඩනැගිලි  සැලසුම් ඉංජිනේරුවෙක් සිටි, අනෙකේ වරලත් විදුලි ඉංජිනේරුවෙක් සිටි තවෙකක සැලසුම් ශිල්පින්ය, තව එකක ඇස්තමේන්තු හදන්නෙකි, ඉඩම් සැලසුම් හා නඩු ගැන උපදෙස් දෙන තවත් තැනෙකි. මේ ආදී සකලවිධ ඉදිකිරීම් උපදෙස් සේවා සියල්ල ලබාගෙන පිටව යන කෙනෙකුට අන්තිමේදී හාඩ්වෙයාර් එකක්ද තිබේ . ඇත්තෙන්ම අපි එවැන්නක් පටන්ගත්තෙමු . බර වියදම් දැරුවේ බන්ධුලය .එහි නිල ආරම්භක උත්සවයට එන්නැයි ඇරයුම් කරන්නට  එවකට නාගරික සංවර්ධන  අධිකාරියේ සබාපතිවරයා වූ විද්‍යාජෝති ගැමුණු  සිල්වා හමු වීමි  . මහේශාක්‍ය කාමරයක විශාල මේසයක කෙළවර  සුපුරුදු සිනහව දාගෙන සිටි ඔහු මා සතුටින් පිළිගත්තේය .

' ඉතින් ඉතින් කොහොමද උඹලගේ වැඩේ ? ඔහු ඇසුවේය "

" ඒක  හෙමින් කරගෙන යනවා බොස් . මම ජොබ් එකකුත් කරනවා . තව අපේ පොඩි වැඩක් තියෙනවා බොස් ලබන සෙනසුරුදා උදේ දහයට . පොඩ්ඩක් ඇවිල්ලා යන්න පුලුවන්ද?

' මම ලබන සෙනසුරාද කොළඹ නෑනේ  බං . ඉතින් මේ ගමන උඹල මොකක්ද කරන්න යන්නේ ?"

 මම අපේ කතාව කිව්වෙමි ඉදිකිරීම් චැනලින් සෙන්ටර් එක . ඔහු මදක් කල්පනාකාරී විය. මුහුණේ ප්‍රසන්න පෙනුමක් මතු විය. 

' මේක හොඳ අදහසක්. ඒත්  අදහසක් හොඳ වෙච්ච පලියට සාර්ථක වෙන්නේ නෑ . ඉස්සෙල්ලම හොයල බලපන් ඔය වගේ දෙයක් කරන්න උත්සහ කරපු වෙන කවුරු හරි ඉන්නවද කියල. නැතිනම්  බලපන් කවුරුවත් ඔහොම දෙයක් නොකළේ ඇයි කියල. ඔහොම කලින්  අත්දැකීම් නැති දෙයක් කරන්න ඕනි ටික ටික පරිස්සමින් . මමනම් කියන්නේ ඉස්සෙල්ලා අදායම ලැබෙන පාඩු වෙන් නැති ඔය හාඩ්වෙයාර් කෑල්ල වගේ එක දාලා ටික ටික අනිත් වැඩ පටන් ගනිල්ලා '

ඔහුගේ දැනමුතුකම්  ඉතා ප්‍රායෝගික ඒවා බව අපට පසක් වුයේ තරමක් පහු වෙලාය. 2001දී පටන්ගත්    තාක්ෂණ පර්යේෂණ හබ්  එක හරි හමන් බිස්නස් මොඩලයක් නොතිබියෙන් 2003 දී , බිස්නස් අරමුණක් තිබෙන මෘදුකාංග හා වෙබ් සැලසුම් සමාගමක් ලෙස හරවා පවත්වාගෙන යන්නට හැකි  විය . එය දැන් දහඅට හැවිරිදි   තරුණ සමාගමකි. 

මගේ යාලුවා ඉදිකිරීම් සේවා චැනලින් සෙන්ටර් එක හාඩ්වෙයාර් එකක් බවට මුලින් හරවා ණයතුරුස්  ගෙවා දැම්මේය . ඔහු අද සාර්ථක ගොඩනැගිලි සේවා ඉංජිනේරු සේවා සමාගමක් පවත්වාගෙන යයි .

ඉංජිනේරු ගැමුණු සිල්වා යනු  විශේෂයෙන්  හැදෑරිය යුතු  වටිනා චරිතයකි .  මේ ඔහුගේ ජිවිතයේ කුඩා පැතිකඩක් මගේ නිරීක්ෂණයට අසු වූ ආකාරයයි  .ඔහුගේ පරිණත  අත්දැකීම්වලින් ,  සමහර උපදෙස්වලින්   ඉංජිනේරු විද්‍යාවට, ව්‍යාපාර කළමනාකරණයට පමණක් නොව රාජ්‍ය පාලනයට පවා ගත හැකි පාඩම් ඇතැයි මට  සිතේ 

Photo Source: ugaoo.com