Sunday, May 22, 2016

පිටස්තරයාගේ පොත් පෙරළීම

ගිය අවුරුද්දේ බම්බලපිටිය වෙරළේදී මගෙන් සමුගත්  පිටස්තරයා., හරියටම අවුරුද්දකට පසු ඊයේ 21 වැනිදා නැවත මා බලන්නට ආවේය.

''මම වයින් බෝතල් වගයක් ගත්තා . පස්සේ මතක් වුනේ අද වෙසක් කියල .අනික ලංකාවේ මිනිස්සු අච්චර දුක් විඳිද්දී මොන  සාදද? .  ඒත් උඹ බලල යන්න හිතුනා. හැබැයි පුතෝ  මට වෙනද වගේ කයිවාරු ගගහ ඉන්න විදිහක් නෑ ''

එසේ කීයූ  පිටස්තරයා  බැක්පැක්  බෑගයෙන්   එලියට ඇදගත් වේලපු ආමන්ඩ් පැකට් එක මා දෙසට වීසි කළේය .
ඉන්පසු සිගරට්ටුවක් දල්වාගෙන ගැලවූ කමිසයද කරේ දමාගෙනම  ජනෙල් පොලු අතරින් හාත්පස පෙනෙන නගරයට  විරිත්තීය.

මේ අතරේ ඔහු ගෙනා පොත් ගොන්න මම එකින් එක දිග අරින්නට පටන් ගත්තෙමි .

පළමු පොත ' ඔන්ටපුණරයා හා වෙනත් කතා '. නොතේරෙන සිංහල වචනය තේරුම් ගන්නට මහන්සි ගනිමින් පොතේ පිටකවරය අත ගාමින් සිටිද්ද්දී ආපිට හැරුණු පිටස්තරයා දොඩවන්න  පටන් ගත්තේය.

''මරු පොතක්. ලංකාවේ විතරක් නෙවෙයි ඕනිම සමාජෙක ඉන්නවා ව්‍යවසයකයෝ කියල කොටසක් . මේ කියන්නේ සල්ලි දාලා බිස්නස් කරන මිනිස්සුම නෙවෙයි. මුල් තැන අරන් මොනවා හරි කරන උන් තමයි ඔන්ටපූණරයෝ . මේ ගොල්ලෝ ඉන්නේ ජනගහනෙන් සීයෙට දහයක්  විතර . උන් සමාජේ ඉස්සරහට හරි පස්සට හරි අරන් යනවා. අනිත් සීයෙට අනූව උන් පස්සෙන් යන උන්. 
එතකොට මේ මිනිස්සු හොඳ අරමුණු  වෙනුවෙන් කැප වුනොත් රටක් හා සමාජයක්ම ඉදිරියට අරන් යන්න  පුළුවන්' . 

අවාසනාවකට ලංකාවේ දේශපාලනයට  ආපු බහුතරයක්  ඔන්ටපුණරයන්ගේ දර්ශනය විපරිතයි. 

මට කතාව නීරස වීගෙන එන බවක් පෙනුන නිසා පිටස්තරයා හම් බැම්මෙන් බඳින ලද තව  පොතක් මා දෙසට දික් කළේය .

'දේශපාලන මනෝ විද්‍යාව'
'මේකේ තියෙනවා කුප්‍රකට  දේශපාලකයෝ පස් දෙනෙක්ගේ  චරිත  ගැන මනෝවිද්‍යාත්මක විග්‍රහයක් .  ඔවුන් බොරු කියන්නේ ඇයි . ජාවාරම් කරන්නේ ඇයි ?. සල්ලි සම්බධයෙන් බලය සම්බධයෙන් සෑහීමකට පත් වෙන්නේ නැත්තේ ඇයි?.   හර්දය සාක්කියක්  නැති කම. ඒ වගේ එව්වා . එතකොට දේශපාලන  අනුගාමිකයන්ගේ අවිචාරවත්බව,නිවට කම , වසලකම වගේ ගුණාංග අපුරුවට විශ්ලේෂණය කරලා තියෙනවා'

'දැන් මේ පොතත් බලපන් !

'සිනර්ජි හා නායකත්වය'
'ඉංග්‍රීසියෙන් Synergy  කියන්නේ, දෙන්නෙක් හෝ කීප දෙනෙක් එකතු වෙලා යම් කිසි දෙයක් කරනකොට එකිනෙකා ළඟ වෙන වෙනම තිබ්බ ශක්තීන් වල එකතුවට වැඩි ශක්තියක් අළුතින් උපදින එකට. සිනර්ජි කියන එකට සිංහල ශබ්දකෝෂයේ තියෙන්නේ සහක්‍රියාව කියල. මටනම් ඊට වඩා හොඳයි සහශක්තිය  කියන වචනේ .මේක කණ්ඩායම් සම්න්ධයෙන් තමයි වැඩිපුරම න්‍යායගත වෙලා තියෙන්නේ.  ක්‍රියාශීලී ජනතා කණ්ඩායම් අතරත් සහශක්තියෙන් ඉතා ප්‍රබල ඉලක්ක ජය ගන්න පුළුවන්.

උදාහරනෙකට ගනින් කොහේ හරි රටක  ගං වතුරක් ඇති වුනා කියල. ගංවතුරට අහු වෙච්ච මිනිසුන්ට උදව් වෙන්න හිත හොඳ මිනිස්සු කණ්ඩායම් කීපයක් ක්‍රියාත්මක වෙනවා. දේශපාලන පක්ෂ වෙන වෙනම යනවා, සියලු බලතල හා යාන්ත්‍රණ තියෙන ආණ්ඩුව වෙන විදිහකින් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේවා එකට ගොනුකරන ඉලක්කගත කරන නායකත්වයක් තිබුනානම් අර  කීව සිනර්ජි එක ගන්න තිබ්බා.   

ඉතින් උඹ මේ පොත් සේරම කියවලා පිස්සු හදා ගන්නද යන්නේ .?

නෑ මම ලියුමක් ලියනවා .

කාටද ?

පිටස්තරයා දිගටම කියවාගෙන ගියේය .


මම ලියනවා මෙහෙම .

 තුමනි, 

දේශපාලනයෙන් මිදී ජීවත් වෙන්න කෙතෙක් උත්සහ කළත් එය ප්‍රායෝගික නොවන බව මට තේරුම් යමින් තිබේ. එනිසා මෑතකදී මා මිලදී ගත්  පොත් ටික  කියවා තේරුම් ගත හැකි යම්  නායකයෙක් වෙත්නම් ඔහුට සහයෝගය දීමට තීරණය කරගෙන සිටිමි .මක් නිසාදයත් ...  .........

කාටද ඕක ලියන්නේ ?

මම මේ විකාරය තව දුරටත් අසා සිටීමට බැරි තැන පිටස්තරයාගේ  දෙවුර සොලවා  ගිගිරුවෙමි.

ඊට පිළිවදන් නොදුන් පිටස්තරයා බෙල්ල නමාගෙන මේසයේ වාඩි  වී දිගටම ලියන්නට පටන් ගත්තේය.

ඔලුව කුරුවල් වී සිටි මම ජනෙල් කවුළුවෙන්  ඈත අවකාශය දෙස  බැලීමි.

වෙසක් සඳ මා නොතකමින්  මේසයේ වාඩි  වී ලියමින් ඉන්නා පිටස්තරයා දෙසම බලා ඉන්නා සෙයක් මට හැඟිනි.

( මා බ්ලොග් ලියන්නට පටන් අරන් ඊයේට අවුරුදු තුනකි)

Photo- Astrosage.com




Wednesday, May 4, 2016

මන්ජිකාගේ ඇමතුම

ජංගම දුරකතන හොයා ගත්තට පස්සේ පෙම්වතුන්ට මල් මල් කාලයක් උදා උනා.  ඒත් ඒ උපකරණෙ නිසා වඩ වඩාත් අසරණ උනේ කසාද බැඳපු පිරිමි. ඔවුන්ට බොහෝ විට ප්‍රියම්බිකාවගෙන් කෝල් එන්නේ වැඩ ඇරලා ගෙදර එන ගමන් . තමන්ගේම බයිසිකලෙන් හරි වාහනෙන් හරි එනවනම් අනුමානයක් නෑ මෙන්න මේ වගේ  සුන්දර වැකි තමයි විඩෙන් විඩේ ඇහෙන්නේ .

'දැන් කොහෙද ඉන්නේ ? තව කොච්චර වෙලා යයිද  එන්න ? ඇයි දෙයියනේ ඔච්චර පරක්කු?'.
'අර මාකොළ මාළු කඩේ හොඳ සාලයෝ තිබ්බොත් පන්සීයක් ගේන්ටකෝ'
'ආ දොලසත පොත් කඩේ පහු උනාද ?අනේ පොඩ්ඩි ඉල්ලනවා බ්‍රිස්ටල් බෝඩ් දෙකකුයි නිල් පාට සව් කරදාසියකුයි'.
'දිස්පැන්සරියෙන් නොම්මරයක් අරන් එන්න .ලොකූට සනීප නෑ'

මේ විදිහට වාහනේ එලවාගෙන මහා  පාරේ යන ගමනුත් අසරණ සුවාමි පුරුෂයන්ට දිගින්  දිගට ස්ට්‍රෙස් සහගත දුරකථන ඇමතුම්  ලැබෙන එක ජාත්‍යන්තර තලයේත් නොවිසඳුණු ගැටළුවක් .

කාලයක් ප්‍රංශ ජාතික එමිල් අපිත් එක්ක ලංකාවේ ව්‍යාපෘතියක වැඩ කළා . කන්තෝරුව කොළඹ . වැඩබිම් තිබ්බේ  මුත්තුර්වල

එමිලුයි මමයි සතියකට දෙකකට සැරයක් කොලඹ  ඉඳන් මුත්තුර් යනවා.

ඔන්න පිටත් වෙච්ච වෙලේ ඉඳන් පැය බාගෙන් බාගෙට මිනිහට ප්‍රංශයේ  ඉන්න බිරින්දෑගෙන්  කෝල් එනවා. ඇයත් කීප සැරයක් ලංකාවට ඇවිල්ල තියෙන නිසා ඔය කොළඹ  මුත්තුර් පාරේ ගම්  නියම්ගම්  සෑහෙන ප්‍රමාණයක් දන්නවා.

එමිල් නෝනගෙන්  එන අමතුම් වලට පිළිතුරු ලෙස වරින්වර  මග සටහන් කියනවා. 'දැන් කැළණි පාලම පහු වුනා. මේ නිට්ටඹුව. දැන් අපි වරකාපොල , ඔන්න ඉස්සරහ හම්බ වෙන්නේ කුරුණෑගල ' .

මැල්සිරිපුර හරියේ එක්තරා ලොතරැයි කුඩුවක් ලඟින් යනකොට එමිල් ගෙදරට අනිවාර්යයෙන් කෝල් එකක් ගන්නවා. ඊට පස්සෙ හයියෙන් හිනා වෙනවා මුණ රතු වෙනතුරු.

එමිල් සහ බිරිඳ  දවසක් හවස මුත්තුර් වල ඉඳන් කොලඹ  එනකොට මැල්සිරිපුර  කිට්ටුවදී පිටුපස්සෙන් සයිරන් පිඹගෙන ඇම්බියුලන්ස් එකක් ඇවිත් . එමිල් රියදුරාට සැර දාලා .

'අයින් කරන්න අයින් කරන්න. ඔය ලෙඩෙක් ගෙනියන වහනයක් '

ඔන්න ඊට පස්සේ එමිල්ලා ටික  දුරක් එනකොට ඒ ඇම්බියුලන්ස් එක මේ  ලොතරැයි කුඩුව ලඟ නවත්තලා තිබිලා . ඩ්‍රයිවර් බැහැලා ස්වීප් ටිකට් තෝරනවාලු.

එදා ඉඳන් තමයි ඒ ලොතරැයි කූඩුව ජාත්‍යන්තරව ප්‍රසිද්දියට පත් වුනේ.

අපි උදේ තේ බොන්න නවත්තන්නේ දඹුල්ලේ තිබ්බ ප්‍රසිද්ද රෙස්ටෝරන්ට් එකක.   ඒ කිට්ටුවට යනකොට එමිල්ට ගෙදරින් කෝල් එකක් එනවා .කන්න ඕනි මොනවද කියල උපදෙස් දෙනවලු . ගෙදරින් මොනා කිව්වත්  මගෙත් එක්ක ගිය හැම වතාවකම උදේ කෑමට එමිල් ඉල්ලා ගත්තේ  කිරිබත් කෑලි දෙකක් . මාළු හොදි පොඩිත්තක්  තවරාගෙන අතින්ම කිරිබත් කන ගමන් එමිල් කියන සුපුරුදු විහිළුවක් තියෙනවා.

'මේ කිරිබටී.  මම මේගොල්ලන්ගේ රටට ගිහින් තියෙනවා'.
ඒ  කියන්නේ පැසිපික් සාගරේ තියෙන කිරිබටි දුපත් රාජ්‍යය ගැන. 1979(ස්තුතියි රවී)වෙනකන් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වෙලා තිබ්බ ඒ රටේ එමිල් කාලයක්  වැඩ කරලා තියනව.
******
ඔන්න මම දවසක් මේ දේශේ ඈත සයිට් එකකට යන්න ඕනි වෙලා ටැක්සියක් ගන්න හිතුවා.
ගෙයින් එලියට බහිනකොටම දන්නා කෙනෙක් වගේ ඇවිත් පොඩි කාරයක් නැවැත්තුවා .
' මම සදාම්. මහත්තයා හයර්  එකක් යන්නද?' රියදුරා ඇහුවේ හින්දියෙන්.
'මට  අහවල් දිහාට යන්න ඕනි මෙතන ඉඳන් ගොඩක් දුරයි. යන්න පුලුවන්ද? ගාන කීයද  ? '
මම ඇහුවා
'වෙන ටැක්සිවලට දෙන ගාන දෙන්න කමක් නෑ'  ඔහු කිව්වා

යන්න පිටත් වුන වෙලේ ඉඳන් සදාම්ටත්  විනාඩි පහෙන් පහට කෝල් එනවා . කන්කරච්චලේ බෑ  .මිනිහ හින්දියෙන් උත්තර දෙනවා .බොහොම සන්සුන්ව.

ඒක්  කස්ටමර් මන්ජිකා , බොහොත් දුර්  සයිට් මන්ජිකා  . අබී ආජායේ . ටී කේ. ටී කේ මන්ජිකා

මම කුකුසෙන් වගේ බලනකොට සදාම් මෙහෙම  කියනවා.

‘අපේ නෝනා තමයි මන්ජිකා. එයා අදත් කලින් ඇහැරිලා’

'දැන් හත හමාරයි. මොන කලින්ද ?  මම තනියම හිතුවත් වැඩි විස්තර අහන්න ගියේ  නෑ . ඒත් සදාම්ම කතාව පටන් ගත්තා.

'අපේ නෝනා නිදා ගන්නේ පාන්දර දෙකට'

එච්චර වෙලා  මක් කරනවද ?
මගේ කටෙන් ප්‍රශ්නේ මටත් නොදැනීම එලියට පැන්නා.

සැරෙන් සැරේ එන කෝල්වලට උත්තර දෙන අතරේ තමයි සදාම් මහා දිග හෑල්ලක් කියන්න තියා ගත්තේ.

'නෝනයි මමයි  වැඩ කරන්නේ එකම තැන .ශිෆ්ට් දෙකක.  මම හවස පහ පාන්දර පහ. නෝනා හවස තුන  පාන්දර එක' .

'මම හැමදාම වැඩ ඇරිලා එනකොට නෝනා නිදි. මම ඇවිත් මුණ කට හොද ගන්නවා. ඉන්න බෑ පාලුයි .නෝනා ඇහැරෙනකන්  මම වාහනේ අරගෙන යනවා පොඩි හයර්  ටිකක් .අමතර ආදායමක් හොයන්න . නෝනා අට හමාරට නැගිටලා උදේට උයනවා. මම හයර්  ඉවර කරලා කඩෙන් මදි පාඩු ටිකකුත් අරන් ගෙදර යනවා. ඊට පස්සේ තමයි දවසේ එකම පැය අපි දෙන්නට  කාලා බීලා සතුටින් ඉන්න ලැබෙන'.
ඔහු කිව්වේ මනමාල හිනාවක් මුණේ තවරගෙන. ඔහු ආයේ කියවනවා.

'උදේ දහයේ ඉඳන් හවස දෙක වෙනකන් විතරයි මම නිදා ගන්නේ. ඊට පස්සේ නෝනා වැඩට අරලවලා ආපහු ඇවිත් වාහන හයර් එකක් යනවා. පහට වැඩට යනවා'.

'නෝනා උදේ අට හමාරටනේ  නැගිටිනවා කිව්වේ . දැන් කොහොමද හත හමාරේ ඉඳන් කෝල් කරන්නේ?' මම ඇහුවා.

'මේ දවස්වල එයාට බබෙක් ලැබෙන්න ඉන්නවා. පලවෙනි බබා නිසා වෙන්නැති සමහර දවස්වලට නින්ද යන්නේ බොහොම චුට්ටයි. ඉතිං  ඇහැරිච්ච වෙලාවේ ඉඳන් මට බේරිල්ලක් නෑ ' . ඔහු ඒක කිව්වෙත් ආඩම්බරෙන්

'ඉතින් මේ කාලේ සදාම් උදේට කොහෙවත් නොයා හිටියම හරිනේ'.

'පිස්සුද මහත්තයෝ මේ හයර් යන එකේ ආදායමත්  ඕනිමයි.  අපි දෙන්නගේ පඩිවලින් විතරක් ජීවත් වෙන්න බෑනේ. අනික බබාටත් වියදම් හොයල තියන්න ඕනිනේ '.

'අපිට නිවාඩු යන්න ගියත් රටවල් දෙකකට යන්න වෙනවා. මම බංග්ලාදේශ්  . එයා ඉන්දියාවේ. අවුරුද්දට සැරයක්වත්  ඉන්දියාවටත් යන්න ඕනි අපේ රටට  යන්නත්  ඕනි. ඒ ගමන් දෙක ගියාම ඉතිරි කරපු සේරම ඉවරයි . ආයේ ඇවිත් මේ සටන දෙන්න ඕනි' .
'
'දැන් ඔය දෙන්න කවද හරි ළමයත් අරන් යන්නේ ඔය දෙකින් මොන රටටද ?

අපේ මිත්‍රයා මගේ ප්‍රශේනේ නිසා කලබල වෙලා වාහනේ වේගය සෑහෙන්න අඩු කළා.

බොහොම බරපතල විදිහට මගේ දිහා බැලුවා

' දන්නේ නෑ මහත්තයෝ  '

මට එක පාරටම මතක් වුනේ කාලෙකට ඉස්සර බලපු 'පාරදිගේ' ෆිල්ම් එකේ අන්තිම දෙබස  .

'චන්දරේ අපි කොහෙද යන්නේ?'

'දන්නේ නෑ'

(Image: iihs.org)