Friday, April 29, 2016

හාවාට මොකද උනේ ?

බ්ලොග් ලියන සහෝදරය, සහෝදරිය, අම්මේ, තාත්තේ , දුවේ, පුතේ. මීට සති කීපයකට පෙර මා විසින් ලියන ලද 'හාවාගේ කතාව' වාරණයකට ලක් වූ බව ඉතා වගකීමෙන් දැනුම් දෙමි . නිදහස උපරිමයකින් තියෙනවා යැයි කියන බ්ලොග් අවකාශයේ මා ලියු සටහනක් ඉවත් කර ගන්නට සිදු වුයේ පළමු වතාවටයි.  මේ තත්ත්වය පිලිබඳ  බ්ලොග් ලියන අප සියලු දෙනා අවදියෙන් සිටිය යුතුය . ලබ්බට තියාපු  අත පුහුලටද  තබන්නටද ඉඩ තිබෙන්නාක් මෙන්ම අද මට වූ දේ හෙට ඔබටද සිදු විය හැක.

මේ සියලු බලවේග පරදවා හාවාගේ කතාවේදී පොරොන්දු වූ පරිදී ' ගුණතිලකගේ මගවරුණ '( මේ නම යෝජනා කලේ නිර්මාණී තමයි ) කතා මාලාව සකස් කරගෙන යමි.

කෙසේ වුවද  මැරුණු හාවා කැබ් එකේ  දමාගෙන යද්දී කැබ්රිය පැන පැන ගිය කතාව බොහෝ දෙනෙක් විශ්වාස කළේ  නැත . ඒත් ඉයන් විසින් ලෝකයේ නොයෙක් රටවල මෙවැනි සිද්දි බර ගානක් සිදු වූ බවට සාක්කි ඉදිරිපත් කරාට පසුව  මගේ ප්‍රකාශය බොරුවක් බව මුලින්ම කියූ දේශකයාටද කට උත්තර නැති විය.
ඒත් දැන් හාවාත් නැත ඌ ගැන ලියූ පෝස්ට් හා කොමෙන්ටුත් නැත .

ඒ කතාවේ එන විදිහට වහනයට වැදුණු හාවාගේ මස් කෑම වැරැද්දක් බවත් මිනිස්සු වුවමනාවෙන්ම වාහනවලට සතුන් යට කර මස් කන්නට ඉඩ තිබෙන බවත් මා සමග තර්ක කරමින් ඒ කතාව මකා දමන්නැයි  මට කිව්වේ මගේ බ්ලොග් අඩවියේ චිත්‍ර ශිල්පිනිය වන ඔවිනීය. ඇය ඒ කතාව ඉවත් කරන තුරු දිගටම සටන් කළාය . පෝස්ටුව බ්ලොගයෙන් මකා දැම්මාට පසු ඇය බෙහෙවින් සතුටට පත් වී මට මෙසේ කිව්වේ පත්තරකාරියකගේ වෙස් ගනිමිනි.

'ඔයා ඔය බ්ලොග් ලිව්වට , පොත ලිව්වට කිසිම පත්තරේක ඉන්ටවිව් එකක් ගියේ නෑනේ. මම ඔයාව ඉන්ටවිව් කරන්නද' ?

මම එක පයින් එකඟ වීමි.

මෙන්න ඒ කතාබහ.

ඔවී - තාත්තා ජීවිතේ ගැන තෘප්තිමත්ද?

මම- ( හත්තිලව්වේ මෙච්චර බරපතල එව්වා අහයි කියල කව්ද හිතුවේ ) බොරු කියන්නේ මොකටද තව සටන් ටිකක් තියෙනවා කරන්න.

ඔවී- ඒ කියන්නේ තාත්තා තාමත් ජීවිතේ ගැන තෘප්තිමත් නෑ . ඒත් ඔයාට කිසි ප්‍රශ්නෙකුත් නෑ ?

මම: හරි හරි ඊළඟ පප්‍රස්නේ අහන්න

ඔවී : තාත්තා බ්ලොග් එකක් ලියන්නේ ඇයි ? 

මම: ඒ අනේ අක්කටයි ඔයාටයි කතන්දර කියල දෙන්න වෙලාවක් නැති උන හින්දනේ. අම්ම කෙනෙකුට කිරි එරෙනවා වගේ තාත්තා කෙනෙකුට කතන්දර උණනවා. ළමයින්ගෙන් ඈත්  වෙලා පිටරටක ඉන්න උනාම ඒ  කතන්දර ටික අපරාදේ. ඉතින් ලියල දැම්මම  ඉතිරි වෙනවා.

ඔවී: ඒත් අපි දෙන්න විතරක් නෙවෙයිනේ ඔයාගේ යාළුවො ගොඩ ඒ කතන්දර කියවනවානේ ?

මම: ඒ ගොල්ලෝ හැමෝම පොඩි ළමයි වෙලා ඉඳල තියෙනවනේ .අනික හැමෝම ළමයින්ට ආදරෙයිනෙ.  එකයි කතන්දර අහන්න කැමති

ඔවී: ඒ වුනාට ඔයා ලියන්නේ ළමා කතා නෙවෙයිනේ?

මම: ඒත් මම ලියනකොට අනිවාර්යයෙන්ම හිතනවා මේ කතාව කවුරුහරි ළමයෙක් කියවාවි කියල. එයාට සතුටක් දැනෙන්නත් එක්ක තමයි මම ලියන්නේ.

ඔවී: එතකොට ඔයාගේ  යාළුවොත් අපිත්  ඔයා ලියන කතන්දරවලට කැමති නැති උනොත් ඔයා දිගටම ලියනවද?

මම : එහෙම උනොත් ලියන්න හිතෙන එකක් නෑ

ඔවී : එතකොට අපි ඔක්කොම කැමතිනම් ඔයා කොච්චර කාලයක් බ්ලොග් එක ලියන්න බලාපොරොත්තු වෙනවද?

මම : ජීවත් වෙනකම් . සිහි කල්පනාව තියෙනකම්

ඔවී  : ඔයා කැමතිද ඔයාගේ ළමයි පිටරටක ඉගෙන ගන්නවානම්? 

මම : හ්ම්ම්ම් ඔව් හැබැයි ආපහු ලංකාවට එන්න ඕනි. ඔයා මොන රටේද ඉගෙන ගන්න කැමති?

ඔවී : ජපානේ . හැබැයි මම ලංකාවට ආපහු එයිද දන්නේ නෑ 

මම : ඔයා ලංකාවේ ඉන්න ආස නැත්තේ ඇයි?

ඔවී: මේ පරිසරේ  කවුරුවත් පිළිවෙලකට තියා ගන්නේ නෑ . 

මම : එතකොට ඔයා අපිව දාල දුර රටක පදිංචි වෙනවා ?

ඔවී: කවුද කිව්වේ ඔය දෙන්න දාල යනව අකියල. ඔය දෙන්නත් එක්ක  තමයි යන්නේ ?

මම : එතකොට අක්කා ?

ඔවී : එයා ලංකාවේ ඉන්න ආසනේ. අපි නිතර එමු එයා බලන්න 

මම: ඒත් කවදාහරි ඔයාගේ මහත්තයා අකමැති වුනොත් අපිත් ඒ ගෙදරම ඉන්නවට?

ඔවී : එහෙමනම් මම බඳින්  නෑ . 

මම: (සීරියස් පිට ) මේ ඔය විකාර ඔලුවේ තියාගන්න එපා. රට දාල යන ඒවයි බඳින් නැති ඒවයි.

ඔවිනි : ( කේන්තියෙන්,) අනේ ඔයත් නියම ටිපිකල් තාත්තා කෙනෙක් තමයි. 

ඔවිනි තරහ වෙලා ගිය නිසා මේ සාකච්චාව මදකට නතර වුනේය. මේ විවේක කාලයේදී මම කල්පනා කරේ ඇය  කියන ඒවා බර පතලේට ගන්න ඕනි නෑ  කියලාය. ටික  කලක් ගෙවල් පේන්ට් කරන්නියක් වෙන්නට කැමැත්තෙන් සිටි ඔවිනි ඉන් පසුව ගෙඹි විශාරදයෙක් හෙවත් frogologist කෙනෙක් වෙන්නට කැමැත්තෙන් සිටියාය . කාලයක් නමට ඉස්සරහින් Fm ඔවිනි කියා ලියා ඇය කිව්වේ  Fm යන්නේ අදහස Farmer යන්න කෙටි කර යෙදෙන වෘත්තීය නමක් බවයි. ඒ කාලයේ ඇය සිතාගෙන සිටියේ ගෙවිලියක් වෙන්නටය.

ටික වෙලාවකට පසු ආයෙමත් ඔවිනිව ශේප් කර ගන්නට මට පුළුවන් වූ නිසා නැවත අපේ සාකච්චාව අරඹන්නට හැකි විය.
දැන් ප්‍රශ්න අහන්නේ මම.

මම : ඔයා මම ලියන ඒවාට කැමතිද?

ඔවී : මම අම්මගේ ලැප්ටොප් එකෙන් ඔයාගේ බ්ලොග් එක නිතරම බලනවා. පොතනම් හැමදාම අරන් චුට්ටක් කියවනවා. ඒක කියවපු වාර ගැන කියන්න බෑ .

මම : ඔයා  තිලකසිත  පොතේ දෙවන කොටස පළ කරනවාට කැමතිද?

ඔවී: අපෝ තව ගොඩක් කතා ලියන්න ඕනි. පළවෙනි පොත ලිව්වට පස්සේ ඔයා කතා බොහොම ටිකයි ලියල තියෙන්නේ . ඒක නිසා දැන්ම දෙවන කොටස ගහන්න එපා

මම : ඒ වුනාට අලුත්  කතා පණහකට වැඩිය තියෙනවනේ 

ඔවී:  ඒවයෙන් තෝරාගන්න කතා තියෙනවද? ඔයා ලස්සනට ලිව්වේ පළවෙනි අවුරුද්දෙනේ. ඒවායේ තෝරන්න දෙයක් නෑ . දයාබර මාරේ වගේ කතාවකට ගහන්න කතාවක් ඔයා මෑත කාලේ ලියලම නෑ .

මම : (තරමක් වික්ෂිප්තව) . ඔයා මම ගිය අවුරුදේ ලියපු සිල්වියාගේ තාත්තා ගැන මොකද කියන්නේ ?

ඔවී : අනේ ඒ කතාව මම කියවලා නෑ

මම : ඉතින් ඔයා හරියට කියවන්නේ නැතිවනේ  අලුත් කතා හොඳ නෑ කියන්නේ ?

ඔවී : ඒ කතාව ඇර අනික් කතා ඔක්කොම මම කියවලා තියෙනවා.

මම : එතකොට 'අටවිසි මහල' පොත ඉවරකරන්නත් එපා කියලද ඔයා කියන්නේ 

ඔවී : ඔව් දැන්ම එපා

මම . ඒ ඇයි ?

ඔවී : අනේ තාත්තේ මට ඒකට කවරයක් අඳින්න තේරෙන් නෑ . ඒ හින්ද පොත දැන්ම ලියන්න එපා

****
ඔන්න ඔහොමයි මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ල ' ඔයා බත් කෑවද ' කියා මගෙන් ඇසූ ඔවිනි දැන් හිතන විදිහ

(චිත්‍රය ඇන්දේ ඔවිනි)

Tuesday, April 12, 2016

නිමලේගේ අවුරුද්ද

සුරංග විසින් ලියු රතිඤඤා කතාව  නිසා මෙවර සිංහල අවුරුදු පෝස්ටු අලුතින් ලියන්නට අවශ්‍ය නැති තරම්ය. ඒ තරමට ඒ කතාව හිතට සමීපය.

කප්පරක් අවුරුදු  මතකයන්  අතරේ මගේ හිතේ දිගටම රැඳවී  තිබෙන නිමලේගේ කතාව ලියන්නට කැමතිය.

අපේ ගෙවල් ළඟ පිහිටි කිරිල්ලවත්තේ ගෙදර නිමලේ අපේ අයියාගේ වයසේ පසුවෙන්නට ඇත. ඒත් ඔහුට දෙපයින් හිටගනීමට නොහැකි වුයේ ඔහුගේ දෙපා උපතින්ම අබාධිත වී තිබු නිසාය. කිරිල්ලවත්තේ ගෙදර කිරි අම්මා උදේම සෝදා කවා මිදුලේ සෙවනැති තැනක නිමලේ වාඩි  කරවා තබයි. ඉන්පසු ඔහු ගල් කැටයක් උඩ දමමින් හෝ මොනා හෝ කියවමින් සිටී . කිරිල්ලවත්තේ ගෙදර ඇත්තෝ කොහේ හෝ ගමනක් යනවිට නිමලේද හොඳට අන්දවා ගෙන කරේ තබා ගෙන යන හැටි අපට සුපුරුදු දසුනකි. ඇවිදීමේ බැරිකම අරුණුවිට ඔහු ගමේ සාමාන්‍ය කෙනෙකු සේ ජීවත් වුනේය. හැබැයි විමලේව ඉස්කෝලේ අරින්නටනම් උත්සහ කළ වගක් මට මතක නැත.

අප කිරිල්ලවත්තේ  ගෙදර අවුරුදු කාලයට නිතිපතා යන්නේ සිංහල අවුරුදු උදා වෙන්නට සති දෙක තුනකට පෙර පටන් ගන්නා පංච දැමීමට හා හෙඩ් බුරුස් දැමීමට සම්බන්ද වෙන්නටය.  කාසි දෙකක් එකට දමා  'නෝනද පොල්ලද' අහන සෙල්ලමට අපි කිව්වේ හෙඩ් බුරුස් දානවා  කියලාය.

මේ සෙල්ලම් කරන පිරිස දෙස  උතුරා යන ආසාවෙන් බලා සිටින නිමලේ ගැන මුලින් මුලින් කවුරුවත් ඒ හැටි වද වුයේ නැත. පංච දමන කාණ්ඩ දෙක තුනක් තිබූනද සමහර විට නිමලේ සමග සෙල්ලම් කරන්නට කවුරුවත් හිටියේ නැත.  ටික කලක් යනවිට නිමලේගේ හොඳම යාලුවා බවට අපේ අයියා පත් විය. කවුරු නැතත්  නිමලේ සමහ පංචි දැමීමට අපේ අයියා එකතු වී සිටියේය. ලෝක අණ්ඩපාලයකු වූ අපේ අයියා මුලින් මුලින් නිමලේ සමග සෙල්ලම් කරන්නට කැමති වෙන්නට ඇත්තේ ඔහුගේ කාසි ලේසියෙන් දිනන්න පුළුවන් නිසා වන්නට ඇත. ඒත්  දින ගණනක් ගෙවී යද්දී මේ යාලුකම තව තවත් වැඩී  ගියේය. අයියාට නිමලේ දකින්නට නැතිව ඉන්නට බැරි විය. හවස් වෙද්දී  කාසි ටිකක් හොල්ල හොල්ලා කිරිල්ලවත්ත ගෙදරට ගොස්  නිමලේ සමග හෙඩ්   බුරුස් දමන්නට පටන් ගනී. ටිකකින් තව කීප දෙනෙක් එතෙන්ට සෙට් වෙති. ඔහොම් අවුරුද්ද ගෙවී වෙසක් මාසය උදා උනද අපේ තත්තා කියන මේ  ' සුදු කෙලිය' නතර වුනේ නැත.

මේ ඇබ්බැහියෙන් අයියා මුදවා ගැනීමට අපේ අම්මා හා තත්තා අපමණ වෙහෙසුනේය. ඒත්  අලුත් අවුරුදු දවසේ අලුත් කමිසයක් ඇඳගෙන උජාරුවෙන් පැදුරේ වාඩි  වී සිටි දෙපා අහිමි නිමලේටත් අවුරුද්දක් තිබුනා නේදැයි මතක් වෙනකොට නිමලේ සහ අපේ අයියා අතර තිබු මිතුරු සමාගම ගැන එදාට වඩා අද සොම්නසින් සිහි කරන්නට පුළුවන.

ඔබේ ආදරය ලැබිය හැකි මානයේ නිමලේ වගේ කෙනෙක් සිටීදැයි මදක් සොයා බලන්න .

ඔබට වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !

( චිත්‍රය ඇන්දේ ඔවිනි )