Sunday, March 30, 2014

මී හරකා, නරියා හා HMS Fox

වදාවත් බණ්ඩාරවෙල පැත්තට කෝච්චියේ  ගිහිල්ලා නැති මිතුරු මිතුරියන් රැළක් සමග රාත්‍රී තැපැල් දුම්රියේ අපි වරක් ට්‍රිප් එකක් ගියා. ගියා නෙවෙයි අපේ ගම්පලාතටම ආවා .මටනම් ඒක ට්‍රිප් එකක් නෙවෙයි. මාසෙකට වතාවක් පේරාදෙණියෙන් නැගලා රෑ කෝච්චියේ පත්තරයක් එලාගෙන ගෙදර එන එක සුපුරුදු ගමනක් වෙලා තිබ්බේ ඒ කාලේ .

ඔහිය පහු කරලා ඉදල්ගස්හින්න පැත්තට  එනකොට පාන්දර වෙලා . දියතලාව බොරලන්ද සානුව කඳු වළල්ලෙන් වටවෙලා ඒ මදිවාට තනි සුදු පාට මීදුමෙන් වැහිලා. හරියට රෙදි බේසමක හෝදන්න දාපු සුදු රෙදි ගොඩක් වගේ පෙනුනේ. අඩ නින්දේ බාගෙට ඇස්  ඇරගෙන ආපු අපේ මිතුරියක් මේ දර්ශනේ දැක්ක ගමන් එක පාර මගෙන් අහපි මොකක්ද අර වැව කියලා .

' ඇයි අනේ ඒ අපේ සීයලා හදපු වැවනේ. අහවල් සමුද්‍රය කියන්නේ ඕකටනේ'. මම කිව්වා. මේ කොලොප්පම තේරිච්ච එව්වෝ හිනාව තද කරගෙන හිටියට මේකේ අගක් මුලක් නොතෙරිච්ච යහළු යෙහෙළියෝ ඇස්වල කබ කඩ කඩා සීතල දුම්රිය කවුළු ගාවට රොක් වෙලා බලා ඉන්න පටන් ගත්තා. තව ඩින්ගිත්තකින්  මීදුම්  සළු  ටික ලිහී ලිහී දියතලාව අවට කඳු නිරුවත් වෙන්ට පටන් ගද්දි ඒ පැත්තට ළපටි ඉර එලිය වැටිලා අයස්කාන්ත දර්ශනයක් මැවෙන්ට පටන් ගත්තත් අපේ  උන්ගෙන් මිතුරු ගුටි පුජාවකුත් මට හම්බුනා අතේ පැලවෙන බොරු කිව්වාට.

එහෙම නිරුවත් වෙච්ච කඳු අතර මට නමින් කියන්න පුළුවන් කඳු තුනක් තිබ්බ. එකක් නරියා කන්ද. අන්නාසි කන්ද හා ගොනා කන්ද අනිත් දෙක . අන්නාසි කන්ද පැත්ත පලාතකවත් අන්නාසි පඳුරක් නෑ . නරියා කන්දයි ගෝනා කන්දයි දෙකට ඒ නම් ලැබිලා තියෙන්නේ වන සත්තු හින්දා නෙවෙයි.

අපි ඉස්කෝලේ පුංචි පන්ති වල ඉන්නකොට ගොඩක් ඈතට පයින් ඇවිදින්න තහනම් උනත්  ගෙවල් කිට්ටුවම තිබ්බ කොඩි කන්දටත් අන්නාසි කන්දටත් යාළුවො එක්ක ඇවිදින්න අවසර තිබ්බා.
මේ කොඩි කන්ද මුදුනේ සිමෙන්ති පාදමක ගැල්වනයිස්  බටයක් හිටවලා තිබ්බා. හරියට කොඩි කණුවක් වගෙයි. මේ කන්දෙන් ඈත කඳුවලට සුද්දන්ගේ කාලේ පණිවිඩ ඇරිය කියලා ගමේ ජනප්‍රවාද තිබ්බා. පස්සේ කාලෙ දන ගත්තේ මේක මිනින්දෝරුවන් පිහිටවපු ත්‍රිකෝණමිතික ස්ථානයක් කියලා .

මේ කොඩි කන්දට අල්ලාපු කඳු ගැටයේ විශාල පදාසයක තැන තැන තිරුවානා ගල් විසිරිලා තිබ්බා. අපි කිව්වේ කිරවනා ගල් කියලා . ඒ කන්දේ නමත් කිරවනා ගල්පිස්ස. මේ ගල් උඩින්  පැන පැන කොච්චර ඇවිද්දා උනත් සෑහෙන කාලෙකට පස්සේ තමයි දන ගත්තේ මේ කන්දේ තියෙන කිරවනාගල් ඉතා මහන්සියෙන් රටාවකට හදලා තියෙන චිත්‍රයක් කියලා. අක්කර ගානක් විශාල අන්නාසි ගෙඩියක් ඒ. මම අහලා තියෙන විදිහට යුද හමුදා සේනාංකයක ලාංචනයක් තමයි ඒ නිර්මාණය කරලා තිබ්බේ .ඒ දවස්වල දියතලාව බණ්ඩාරවෙල කෝච්චි පාරට මේ අන්නාසි ගෙඩිය හොඳින් පෙනුනත් අද වෙනකොට මේ කන්ද පයිනස් වගාවෙන් වැහිලා තියෙන්නේ.

ඉතින් තවත් ටිකක් ලොකු මහත් වුනාම තමයි මට අන්නාසි කන්දෙන් ඔබ්බට ගිහිල්ලා නරියා කන්ද හා ගෝනා  කන්දට යන්න පුළුවන් වුනේ. ඒකත් මී හරක් කතාවක් හින්දා.

අපේ කුඹුරු යාය හාන්නේ කතා කර ගත්තු එකම දවස් කීපයක. මී හරක් අයිති කාරයා මුතු බණ්ඩා . එයාගේ මල්ලි පොඩි අප්පු තමයි මී හරක් පට්ටියේ  කළමනාකරු. අපි කිව්වේ මී ගොන් මුත්තා කියලා. මුතු බණ්ඩාගේ  පුතා ටිකිර අපෙ වයස්වලම තමයි හිටියේ. කුඹුරු වැඩ නැති කාලෙට මී හරක් සේරම නරියා කන්ද පැත්තට ගිහින් දානවා. කුඹුරු හී වාරය හරි මඩුවම් වාරය හරි  පටන් ගත්තම පොඩි අප්පුයි ටිකිරයි ගිහින් මී හරක් විස්සක් තිහක් දක්කාගෙන ගමට ගේනවා. මේ දෙන්නත් එක්ක තව කොලු කුරුට්ටෝ ටිකකුත් යනවා. මේ මී හරක් ගෙන්න නරියා කන්දේ යන ගමනකට මට සහබාගී වෙන්න වාසනාව ලැබුනා එක දවසක් අහම්බෙන් වගේ. මේ ගමනට අපේ මාමගේ පුතත් ගිය නිසා මට ගෙදරින් අවසර ලැබුනා.

ඉසේල්ලාම කොඩි කන්ද මැදින් අන්නාසි කන්දේ තිරුවානා ගල් මැද්දෙන් අපි ඇවිදගෙන ඇවිදගෙන හැතැප්ම දෙක තුනක් ගියා. අපි පැයක් විතර යනකොට විශාල  නිස්කලංක කඳු මන්ඩියකට සේන්දු උනා. ඒ දවස් වල නරියා කන්ද අවට කලාපය තනිකර ජන ශුන්‍යයි. තාමත් ගොඩක් දුරට ඒ වගේ.   තැන තැන පුංචි දිය පාරවල්, වතුර වලවල් තිබ්බ. මීවන පඳුරු , හීන් බෝවිටියා ගාලවල් විතරක් නෙවෙයි ඕකිඩ් මල් පවා පුංචි දිය සීරා ළඟ පිපිලා තිබ්බා. තැන තැන මී හරක් නිදැල්ලේ වමාරා කකා හිටියා . උන්ට තිබ්බේ පුදුම නිදහසක් .

මේ ගමනේදී තමයි මම අර ගෝන කන්ද වගේම කිරවනා ගල් වලින් හදපු විශාල නරියෙක් ඉන්න නරියා කන්ද දැක්කේ. එකේ යටින් තියෙන HMS Fox 1913 කියන අකුරු තුන මොකක්ද කියන්නේ?

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයිති වෙලා තිබ්බ HMS Fox කියන  යූද නැව  1913 කොළඹ වරායට ඇවිල්ලා තියෙනවා. මේ නැව දියඹට දාලා තියෙන්නේ 1893 දී . 1914 පටන් ගත්ත පලවෙනි ලෝක යුද්දෙදිත් හටන් වලට සහබාගී වෙච්ච මේ නැව 1920දී පරණ යකඩ වලට වීකිණුවා ලු.

නැව කොළඹ වරායේ නැංගුරම් දාලා තිබ්බ 1913 අවුරුද්දේ නැවේ කැප්ටන් සහ අනිත් පිරිස නිවාඩුවකට දියතලාවේ ආපු ගමන් තමයි ඔය පින්තුරේ තියෙන නරියා කිරවනා ගලෙන් පාලු කඳු ගැටයක නිර්මාණය කරලා ගිහින් තියෙන්නේ.  

ඊට නුදුරින් තියෙන තවත් කන්දක කිරවනාගල් අතුරා ඇඳලා  තියෙනවා  ගෝන හිසක් . ඒ ශ්‍රී ලංකා ශිෂ්‍ය බට බලකායේ ලාංචනය .

නරියා කන්ද  හතර දිබාගයේ හැම අස්සක් මුල්ලක් නෑර දැනගෙන හිටි අපේ ගමේ පොඩි අප්පු මුත්තා සේම එක වතාවක් විතරක් මේ පැත්ත පළාතේ ආපු   HMS  Fox නැවේ  කැප්ටනුත් හරි පුදුම මිනිස්සු දෙන්නෙක් කියලා මට හිතෙනවා.  

තමන්ගේ මී හරක් ටික මාස හය හතක් අතුරු ආන්තරාවක් නැතිව  නිදැල්ලේ  පරිස්සම් කරන්න හොඳම තැන හැටියට පොඩි අප්පු මුත්තා දැක්කේ නරියා කන්දයි.  

අනිත් අතට තමන්ගේ නැවේ සංකේතය අවුරුදු සීයක් යනකන් නොවෙනස්ව තියෙන්න ඇඳලා එන්න පුලවන් තැන හැටියට Fox නැවේ  කැප්ටන්  තෝරා ගත්තෙත්  ඒ කන්දමයි. ඒ දැනට අවුරුදු එකසිය එකකට කලින් .

(Photo SLMA)

Sunday, March 16, 2014

පහුවෙලා හමු වූ තාත්තා


න්දියාව කියන්නේ කියවලා ඉවර කරන්න බැරි මහා නවකතාවක් කියලා මට සිතෙයි.  මහා සාගරේ වගේ සංකීර්ණ චරිත, වලාකුළු වගේ සැහැල්ලු චරිත, මහා අපුල චරිත, ඒ විතරක් නෙවෙයි ඔය ඔක්කොම ගති ලක්ෂණ එකට තියෙන චරිත මහා ගොඩක් හමුවන අපුරු පොතකි එය.

කාලිඩ් මගේ කන්තොරුවේම වැඩ කල විනෝදකාමී කිව් එස් කෙනෙකි. හයිදරාබාද් නගරයේ සිට පැමිණි ඔහු මට  මුණ ගැසී සෑහෙන කලක් යනතුරුත් ඒ හැටි කුළුපග කමක් අප අතර ඇති වුයේ නැත . අපි කතා බහ කලෙත් අඩුවෙනි.ඒ අපි දෙන්නාටම පොදු මාතෘකාවක් නොමැති නිසා වන්නට පුළුවන .

ඒත් කාලයත් යනවිට අපි එකම වාහනයේ වැඩබිම් බලන්නට යාමත් හවසට ඇවිදින්නට යද්දී මුණ ගැසීමත් නිසා ටිකෙන් ටික අපිට කතා බහ කරන්නට දේවල් එක්කාසු වුනේය.

දවසක් අහම්බෙන් මෙන් ඔහු තාත්තා ගැන කිව්වේය. ඒ අපි හවස ඇවිදිමින් සිටිද්දීය.

'අපේ තාත්තා 1996දී තමයි මලේ . එතකොට එයාට අවුරුදු අසු හයයි . අවුරුදු අසූ ගනන්වලදිත් තාත්තා හොඳට විනෝදෙන් හිටියා, හවසට ඇවිද්දා, ඩිප්ස් ගැහුවා. ව්‍යායාම කළා. 

උඹ විශ්වාස කරපන් මම ඉපදෙනකොට අපේ තාත්තට පණහත් පැනලා. මම පවුලේ දොළොස්වැනියා. මට තේරෙන වයසේදී මට හිතුනේ තාත්තා අපිට ගොඩක් ඈතින් ඉන්න කෙනෙක් කියලා, ඒත්  තාත්තා ගොඩක් වයසට ගියාට පස්සේ එයාට හිටිය හොඳම යාලුවා වුනේ මම. ඒ කාලේ තමයි තාත්තගේ අතීත කතා  මුල හිටන් මාත් එක්ක කිව්වේ. අපේ ගෙදර වෙන කාත් එක්කවත් කියලා නැතිව ඇති ඒවා .

අපේ තාත්තා අපිව තුරුලට ගත්තා කියලවත් මට මතක නෑ. තාත්තා වැඩ ඇරිලා ගෙදර එනකොට වටින් ගොඩින් කළුවර වෙලා . ඒ වෙලාවේ පවුලේ හැමෝම හිටියේ විශාල කෑම  කාමරයේ. කෑම කන්න විතරක් නෙවෙයි අපි පැදුරු එලාන පොත් කියෙව්වේ කාර්ඩ් සෙල්ලම් කලේ රණ්ඩු වුනේ ඒ ශාලාවේ ඉඳන්. ඇරත් අඳුර වැටුනට පස්සේ එලි පහලියේ ඇවිදින්නත් බෑනේ. තාත්තගේ කාමරේට යන්න ඕනි මේ කාමරේ මැදින්. තාත්තා අපිත් එක්ක එකතු වුනේ නෑ . කෑම කෑවෙත් තනියම එයාගේ කාමරේ ඉඳන්. අම්මා එයාට කෑම අරන් ගියා.සත්කාර කරා.

ළමයි ඉගෙන ගන්නේ කොහොමද කන්නේ බොන්නේ කොහොමද කියලා තාත්තා වද  වුනේ නෑ.  අම්මා අහස පොලව ගැට ගගහා ගෙදර ප්‍රශ්න කල්පනා කරෙත් නෑ . මටවත් හිතා ගන්න බෑ මේවා හැම දෙයක්ම මෙච්චර ලස්සනට උනේ කොහොමද කියලා. මට හිතෙනවා තාත්තගේ හිතේ තිබ්බ සැලසුමකට තමයි මේවා ඔක්කොම උනේ කියලා. අපි දොළොස් දෙනාම හොඳට ඉගෙන ගත්තා. ඒ විතරක් නෙවෙයි ළමයින්ගේ ළමයිනුත්  හොඳට ඉගෙන ගත්තා .

ඉතින් ඒ පළාතේ හැම පවුලක්ම එහෙමද? මම ඇහුවා
මොන? අපේ පැත්තේ  ඉස්කෝලේවත් ගියේ නැති ළමයි කොච්චර හිටියද ?
ඒකයැ  වැඩේ අපේ  තාත්තත් තව පොඩ්ඩෙන් ඉස්කෝලේ නොයවා  ඉන්නයි තාත්තගේ සීයා හදලා තියෙන්නේ'. ඔහු සැහැල්ලුවෙන් කිව්වේය.

කාලිඩ් එකම මාතෘකාව ගැන දිගට දිගට කතා කරන්නට අකමැතිය. මමද වැඩි කතාකාරයෙක් නොවන නිසා ඔහු මා සමග කතා බහ කරන්නට කැමතිය.

ඊටත් සෑහෙන දවසකට පසූ අපි කන්තෝරුවේ කලබල නැති හෝරාවක චිර ප්‍රසිද්ද කොහිනුර් දියමන්තියත් ,හයිදරාබාද් වල සිටි අන්තිම නිෂාම් රජතුමා ගැනත් ඔහුගේ නමින් ඉදිවූ ඔස්මානියා සරසවිය ගැනත්  කතා කරමින් සිටියෙමු. ඔස්මානියා සරසවිය උසස් පිළිගැනීමක් ඇති සරසවියකි.

'මගේ තාත්තාත් ඔකේ තමයි වැඩ කරලා තියෙන්නේ'. යමක් මතක් වූ කලෙක මෙන් කාලිඩ් කිව්වේය.
තාත්තා ඒකේ මොකක්ද කළ රස්සාව?. ' සීනියර් ලෙක්චරර්! '

ආ ඉස්කෝලේවත් නොයවා ඉන්න හදපු  මනුස්සයා  ඒ තරම් ඉහළට ඉගෙන ගත්තේ කොහොමද? මම ඇසුවෙමි.

කලිඩ් කවදාවත් නැති තරම් වගකීම්  සහගත මුහුණක් ආරෝපණය කරගෙන කතාව පටන් ගත්තේය.

'අපේ තාත්තා පුදුම දහිරියක් තිබ්බ මනුස්සයෙක්. ඒ ජවය තමයි අපේ ළමයින්ටත් තියෙන්නේ. තාත්තා  අපිව වඩාගෙන හුරතල් නොකරාට පරම්පරාවම  ඉස්සරහට තල්ලු කරා .

තාත්තාගේ පවුලේ කිසිම නෑදෑයෙක් අපි කවුරුවත් දැකලා නෑ . එයාට සහෝදර සහෝදරියෝ නෑ.
තාත්තට අවුරුදු පහ වෙද්දී  අපේ සීයා ඒ කියන්නේ තාත්තගේ තාත්තා මලා . අවුරුදු හය වෙනකොට තාත්තගේ අම්මත් මලා. ඒත් ඇය ලෙඩ ඇඳේ ඉද්දි තාත්තාගේ අනාගතේ හරිගස්සලා තියෙනවා . මෙහෙම කිය කියා ;

' පුතේ මෙහාට වරෙන්. අම්මා කියන මේ කතාව හොඳට හිතට ගනින් . උඹ මොන විදිහකින් හරි ඉස්කෝලේ යන්න ඕනි. හොඳට ඉගෙන ගන්න ඕනි. අම්මයි තාත්තයි දෙන්නම නැතිව උනත් උඹට එතකොට හොඳ කලක් යාවි.  පුතාට මතකද  අපි දෙන්නා දවසක් අර විශාල නගරේ හයිදරාබාද්වල මසුඩ් මාමලාගේ ගෙදර ගියා.  මමත් මළොත් උඹ මෙන්න මේ පොත  අරගෙන  එහෙ  පලයන්.මේකේ ලියල තියෙන්නේ . ඒ ගෙදරට යන පාර. ඇඩ්රස් එක. උඹ අකුරු දන්නා කෙනෙකුට පෙන්නලා මේක කියවා ගනින්'

මේ කිසි දෙයක බරක් පතලක්  කාලිඩ්ගේ පුංචි තාත්තාට ඔලුවට වැටුනේ නැති ගානය. ඒත් අම්මා කී කතා මැදින් ඔහුට රසවත් මතක කීපයක් හිතට ආවේය. ඒ තමන්ගේ දුර නෑයෙක් වන මසුඩ් මාමාගේ ගෙදර ගිය ගමන හා බැඳී ඒවාය. ඔහු සිය පවුලත් සමග  සුවපහසු ලෙස සිටින හැටි, ලොකු ළමයින් ඉස්කෝලේ  ගිය උජාරුව ඔහුට මතක් විය. ජනෙල් කුරු අතරේ එල්ලී  කිරිදත්  පා හිනැහුණු දැරිය ඔහුට මැවී පෙනිණි . තාත්තා මියගිය අලුත අම්මාත් සමග මසුඩ් මාමලා ගෙදර ගොස්  සිටි දවස් කීපය ඔහු ජීවිතයේ සතුටින්ම සිටි කාලයයි.

අම්මා  අනුමාන කළා වාගේම ඇය තවත් සති කීපයකින් මිය ගියාය.

පවුලේ තාත්තාගේ පැත්තේ නෑදෑයින්  පැමිණ අවමගුල කළාට පසු කාලිඩ්ගේ තාත්තාට සිදුවුනේ මසුඩ් මාමලා ගෙදර යන එක කෙසේ වෙතත් සීයාගේ අණට කීකරු වී ඔහුගේ ගෙදර යන්ටය.  රෙදි උරයක දමාගත් පරණ නුල් රෝද, රබර් කෑලි  කීපයක් වූ ඔහුගේ මුළු සේසතට අම්මා දුන් අර ඇක්සයිස් පොතද කොහොමින් හෝ එකතු වී තිබුණි .

සීයලා ගෙදර  අලුත් ජීවිතයත් සමග කාලිඩ්ගේ තාත්තාට  මා පිය සෙනෙහසේ අඩුව අමතකව ගියේය.ඔහු බඩවැටිවල දුවමින්, නාවර පෙරාගත් කොල්ලන් හා කෙල්ලන් සමග රැලේ වැටෙමින් හත් වැනි වියට එළඹියේය.

දවසක් පුංචි අම්මා කෙනෙක් පැමිණ සීයාට මතක් කලේ ' කොල්ලාට අවුරුදු හතයි දැන් ඉස්කෝලෙකට බාර දුන්නොත් හොඳයි නේද' .කියලාය

පුංචි තාත්තා මෙය අසා සිටියේය. ඔහුගේ හිත සතුටුන් පිරී ගොස් ඇත . අම්මාගේ වචන ඔහුට මතක් වුනේය.

'කොහොම හරි ඉස්කෝලේ පලයන් මයේ පුතේ !.

ඔහුගේ සිතුවිලි  සතුටු මාලිගාව සීයාගේ එක රළු නිගමනයකින් සුන්නද්දුලි වී ගියේය.

' මුට මොන ඉස්කොලද? නෑ නෑ  ඌ ඉස්කෝලේ යන්ට ඕනි නෑ !

එහෙත් හත් හැවිරිදි කොලුවාගේ  ඉස්කෝලේ යන ආශාව ලෙඩ ඇඳේ සිටි අම්මාගේ මතකයත් සමග ඇවිස්සී මොනතරම් ප්‍රචණ්ඩ ජවයක් ලබා දුන්නේද යත් ' ඉස්කෝලේ යනවාමයි' කියා ඔහු හිතා ගත්තේය.

මිදුලේ පරණ අත්තිවාරමක් උඩට වී කළුවර වෙනතුරු අඳුරු මුහුණින් එල්ලයක් නැතිව බලා සිටි ඔහුට හදිසියේ යමක් මතක් විය.පරණ ලට්ට ලොට්ට පීර පීරා සෙවූ ඔහුට එය හමු විය. ඒ තමයි පරම්පරාවක ඉරණම  වෙනස් කළ මසුඩ් මාමලාගේ ගෙදර යන පාර. ඒ අරුම පුදුම ඇඩ්රස් එක.

හංගාගෙන සිටි පුංචි කාසි කීපයක් සහ කොළ ගැලවී එල්ලා වැටෙන අත්අකුරු හා පින්තුර සටහන තිබු පොතත්  අරගෙන,පහුවදා උදේ පාන්දරින්ම  ඔහු කාටත් හොරා පාරට පැනගත්තේය.

කඩපිල්වල හා හරක් මඩුවල ලගිමින් , ගොන් කරත්තවල එල්ලී යමින්,  බැනුම් අසමින්, කාසියක් දී ගත්  පුරියක් පමණක් කකා ඔහු පපුතුරේ ගසාගෙන පරිස්සම් කරගෙන යමින් සිටි. දාඩිය කිලුටට අවර්ණව ගිය  සටහන් පොත පෙන්න පෙන්නා පාර හොයා හොයා මසුඩ් මාමල ගෙදර යන ගමනේ අත් නෑර යෙදුනේය.
දින දහයක් දොළහක් රස්තියාදු වී දැලිකුණු පෙරාගත් කොලුවා අන්තිමේ තමා උපන් ගෙදර සිට කිලෝ මීටර් දෙසීයක් ඈත පිහිටි, ජනාකීර්ණ හයිද්‍රාබාද් පුරයේ හරි තැනට පැමිණ සිටියේය.

අම්මාගේ බලාපොරොත්තුව හරියටම හරි ගියේය  කොලු පැටියා  සෝදා නාවා කන්නට දී තමන්ගේ ගෙදර නවත්තාගනීමට අලුත් නෑදැයෝ කැමති වුහ. ඔහුට අලුත් දෙමව්පියන් ලැබිණි . ඉස්කෝලේ යන්නට ලැබිණි. හෙවනැල්ල සේ පිටිපස්සේ සිටින අලුත් යාළුවන් හා සහෝදර සහෝදරියන් ලැබිණි.

හොඳින්ම ඉගෙන ගත් කාලිඩ්ගේ තාත්තා උෂ්මානියා විශ්ව විද්‍යාලයේ උපාදිය ලබා එහිම  රස්සාවට බැඳුනේය. ඔහුගේ අත ගත්  මනාලිය වුයේ  පුංචි කාලේ අර ජනෙල් කම්බි කුරු අතරින් එබිකම් කල දැරිය හෙවත් මසුඩ් මාමාගේ  දියණියයි. ඈ  තමා අපේ කාලිඩ්ගේ අම්මා.

අපේ තාත්තා විශ්ව විද්‍යාලයේ හොඳට ඉගැන්වීම් කළා කියලා ඉන්දියාවේ හිටපු සුදු ආණ්ඩුකාරයත්  සහතිකයක් හිටන් දීලා තියෙනවා. මගේ මිත්‍රයා කිව්වේය.

ඉන් පසු කන්තෝරුවේ තේ හදන නේපාල ජාතික ළමයාට ' දොර් සුලේයිමානි ' කියා  කියමින් පුටුවට වාරු වී සොම්නස් හඬින්  සිනාසුනේය.

ටිකකින් අපට ප්ලේන්ටි දෙකක් ලැබිණි.

ඔහු තේ එක තොල ගාමින් කල්පනා කරන්නට පටන් ගත්තේය.

තාත්තා තමන් කවදාවත් තුරුලට නොගත්තායි ඔහු කී නෝක්කාඩු පිළිගන්නට මම මැලි වීමි. මේ දැනුත් තම පියාගේ ඇකයේ නැලවෙමින් සිටින්නාක් මෙන් ඔහුගේ මුහුණ සොම්නසින් බරව තිබේ.

(සේයාරුව දෙව්නිගෙන් )

Monday, March 3, 2014

පොකට් ගහන්නට බැරි ආදරය

ට්ටු තිස් අටක් ඉහළට ගිය වෘත්තීය ජීවිතය ආයිමත් බිම් මට්ටමකට ගෙනල්ල තනියෙන් කොන්ත්‍රාත් කරන්න හිතන  මිනිස්සු ඉන්නවා මේ මං  වගේ. අබුද්දස්ස කාලේ ආවම මොනා කරනවද කියල කාටවත් කියන්න බෑ . පිට්ටු බම්බු ගොඩනැගිල්ලේ පිළිසකර වැඩ  ඉවර වේගෙන යද්දී  මට දිගටම ඒ වගේ රස්සාවක් කරන්න බෑ වගේ හිතුනා. තමන්ට ඕනි විදිහට වැඩ කරන්න තමන්ගේ වැඩක් පටන් ගන්න ඕනි කියල හිතුනා සුපුරුදු දෙවැනි වතාවට .

එත් මේක බිස්නස් මයින්ඩඩ් නැති මිනිහෙකුට කරන්න පුළුවන් දෙයක්  නෙවෙයි. රෝල ගෙනියන්න නොදන්නා කම හින්දා  ගෙදර ගෑනිගේ රත්තරන් බඩුටික බැංකුවට සින්න වෙලා ඉල්ලන්න පුළුවන් හැම තැනින්ම ණය අරන් අලුත් කොන්ත්‍රාත් ව්යාපාරෙත් ඇණ  ගත්තම කාගේ පිහිටද?

ආර්ථිකේ හොම්බෙන් යද්දී තමයි මම  අයියා මග පෙන්නපු රස්සාවක් කරන්න සිංහලේ  ගියේ. ඒ යනකොට ගෙදර පිච්චිය නෑ . ගෙදර උන්දැගේ රස්සාව නැතිවුනේ පොඩි එකා බලාගන්න  ගෙදර හිටපු කාලේ නිවාඩු වැඩ්පුර අරගෙන. ඇය උපාධි හා ප්‍රශ්චාත් උපාධි  සහතික සේරම පොඩි එකාගේ තොටිල්ලේ අතුරලා ගෙදරම ඉන්ට තීරණය කරපු  කාලේ .   බිරින්දෑ  හා දරුවා නැන්දා මාම ළඟ තියල තමයි මම සිංහලේ ගියේ . ඒක තරමක් හොඳ පඩියක් ගෙවන රස්සාවක්.

පළවෙනි පඩිය ගත්තයි කියමුකෝ. ඉඩෝරයට පොද වැස්සක් සේ  කාලෙකින් සල්ලි ටිකක් අතට ලැබුනා. තව  දවස් හතරක නිවාඩුවකුත්  හම්බුනා.බලන්ගොඩ ඉඳන් කඩුවෙලට වහනෙකින් ඇවිත් එතන ඉඳන් බස් එකේ. කිරිබත්ගොඩ යන බට්ට වෑන් එකක ඔලුව පාත් කරගෙන හිටගෙන ඉන්නවා.

කසාද බැන්දයින් පස්සේ ගෙදරින් දුරස්වෙලා සති කීපයක් ඉන්ට උන පලවෙනි වතාව තමයි තව ඩින්ගකින්  නිමා වෙන්න තිබ්බේ.

ණය තුරුස් වලින් කාටසක් ගෙවලා රත්තරන් බඩු  ටිකක්  බේරාගෙන පොඩි එකාට අලුත් ඇඳුම් ටිකක් අරන් දෙන්න අපි දෙන්නා හෙට ෂොපින් යන හැටි මැවිලා පෙනෙනවා.

එහෙම හිතනකොට මගේ හිතට ආවේ  කලිසන් සාක්කුවේ තියෙන බර ලියුම් කවරේ අතගාලා බලන්න ඕනි කියල පොඩි ආශාවක්.

අත සාක්කුව පුරා ගියා . ම්හු . කවරය අහු උන් නෑ. හිත හිරි වැටිලා ගියා . කහඹිලියා ගෑවිච්ච ගොබිලෙක් වගේ කමිස සාක්කු, කලිසම් සාක්කු ඔක්කොම අවුස්සා අවස්සා බලදී තෙරපිලා කුදුගහිලා හිටපු වැන්මේට්ලාට මල පැනලා. ඒත්  මගේ සියොළඟ ගිනි අරං .

දැන් මොකද කරන්නේ !මගේ හඬ පිටවෙන්නෙත් නෑ .

'බස් එක නවත්තන්ඩෝ  මගේ පඩි පැකට් එකට  ගහලෝ! .

බට්ටා වෑන්  එක ඉද්ද ගැහුවා සේ නතර වුනා.
බලන්න බලන්න හැමතැනම බලන්න. කවුද සැක ?
කවුරු සැක කරන්නද මට පෙන්නේ මගේ වගේම අසරණ උණු මුණු ගොඩක්.

පස්සේ බැරිම තැන . අතේ බෑග් එකත්  එල්ලගෙන  මම පරාජිත මුහුණින් වෑන් කට්ටෙන් බැහැලා කඩුවෙල පාලමෙන් එගොඩ වුනා . මම වාහනෙන් බැස්ස තැන. දුට රසකැවිලි ගත්තු තැන හැම තැනම හෙව්වා.  ලියුම් කවරේ වටිලාවත් තියෙනවද කියලා.

 පිස්සුවෙන් වගේ එහෙ මෙහෙ ගියා . මට දැන් මැවිලා පෙන්නේ පොඩි එකීගේ හා බිරිඳගේ මුණු.
අනේ කොච්චර ආශාවෙන් බලාගෙන ඉන්නවා ඇත්ද මං  එකනකන්. අතේ සල්ලි ටිකක් තියාගෙන ඉතිරිය බ්‍රිෆ් කෙස් එකට දාගන්න හිතුන්  නැත්තේ ඇයි ? නරක වෙලාව.
ගෙදර යන්නත් බැරි නොගිහිනුත් බැරිව  උකටලීව  පැයක් විතර  කඩුවෙල ටව්මේ  වාත වෙච්ච මම කළුවර වෙනකොට තවත් බට්ටා වැන්  එකක නැගලා නයා මැරිච්ච අහිගුන්ටිකයා වගේ ගෙදරට ගෑටුවා .

මම යනකොටත් පොඩි එකියි අම්මයි ගේට්ටුව බදාගෙන . මම හිනා වෙන්න මහන්සි උනා. කෙලි පැටික්කිව  වඩා ගත්තා. බිරිඳගේ අතට ගමන් මල්ල දුන්නා .
මොකද අසනීපෙන්ද ඇය  මා දිහා ආදරෙන් බලන ගමන් ඇහැව්වා . මම මොකුත් නොකියා හිටියා.
තේ එක හම්බුනා . ඇඟ හෝදගන්න සාලුව කරට වැටුනා. අලුත් රස්සාවේ විස්තරේ මොකුත් අහන්නෙම නැතිව ටික වෙලාවක් ගෙවුනා. මම ටිකක් වගේ විඩා  නිවා ගත්තට පස්සේ ඇය ඇහුවා.

' ඇත්ත කියන්න මොකක්ද වෙච්ච කරදරේ. ඒ රස්සාවත් දාලා ආවද ?

නෑ මොකුත් නෑ . දුරක් ආ නිසා මහන්සියි . මම බොරුවක් කියමින් ඈව  මග ඇරියා . මාමණ්ඩි හොයාගෙන ගිහින් රට තොටයි දේශපාලනෙයි කතා කරා. මම හිටියේ රොබෝවෙක් වගේ.

තව තවත් කළුවර උනා . පොඩි එකී නිදා ගත්තා .

දැන්නම් මට ඇත්ත කියන්න ඇය ඇවිටිලි කළා
'ඔය මුනේ ඇස්වල වෙනස මට හංගන්න පුළුවන් කියලා හිතෙනවද?'

බැරිම තැන මම කට ඇරියා

'පඩි පැකට් එක කඩුවෙලදී පොකට් ගහලා'  .

//ඕක පරෙස්සම් කරගෙන එන්න බැරිද ? අනේ දෙයියනේ අපි දැන් ණය ටික ගෙවන්නේ කොහොමද ? ඔයානම් පුදුම මනුස්සයෙක් තමයි. මටනම් තවත් මෙහෙම ඉවසන්න බෑ // ඇය  එහෙම කියාවි කියලා මට හිතුනා. ඒ මුහුණ දිහා දුක්මුසු විදිහට මම බලා ගෙනහිටියා. ඇය කඳුළු සැලුවානම් මම අඬන්න ඉඩ තිබුනා.

ඒත්  ඇය  එහෙම කිසිම දෙයක් කිව්වේ නෑ . හඬා වැටුනෙත් නෑ .

'අයියෝ ඕක කියන්න බැරුවද මෙච්චර  තෙපර බබා හිටියේ. මම හිතුවේ මොකක් හරි ලොකු දෙයක් වෙලා කියලා'  එහෙම කියපු  ඇය  හිනාවෙලා මගේ ලඟට ආවා.

 ඒ හිනාවේ  ලියවෙලා තිබ්බේ පොකට් කාරයාට ගන්නට බැරි වූ ආදරයේ කතාවයි.

-----------------------------------------------------
(  චිත්‍රය  paintdance.blogspot එකෙන්  )