Sunday, August 23, 2015

සර් කියලා කියාපන්

මීට අවුරුදු බර ගානකට ඉස්සර නවක ඉංජිනේරුවන් ලෙස මමත් පාලිතත්  අර්ධ රාජ්‍ය ආයතනයක  සේවයට බැඳුනෙමු . ඒ දවස්වලම අලුතින් පත් වූ  තරුණ  ඇමතිවරයෙක් අපේ වැඩබිම බලන්නට ආවේය.
ඇමති ආ දවසේ ඔහු සමග තව විස්සක් පමණ පිරිසක් ආවෝය. අපේ ලොක්කාගේ අණ පරිදි ඔහුත් මමත් පාලිතත්  ඇමති හා පරිවාර පිරිසට  වැඩහල් හා පෙරනිමි නිෂ්පාදන පෙන්නන්නට ගියෙමු.

ඇමතිවරයාගේ හා  පිරිසගේ උනන්දුව තිබුනේ තිබෙන දෙයක් උස්සාගෙන ගොස් තමන්ගේ ආසනේ කොතන හෝ සවි කර ගැනීමය. පසෙක පෙරලී තිබු නාම පුවරුවක් දුටු ඔහු කිව්වේ මේක අලුත්වැඩියා කොට අලුතින් පේන්ට් කරවා තම ගමේ නාම පුවරුවක්  සඳහා ලෑස්ති කර දෙන ලෙසය.
ඊට අමතරව සිය  ආසනයේ ඇති ක්‍රීඩා පිටියකට තමන්ගේ නම යෙදු විශාල නාම පුවරුවක් හදා ගැනීමටද ඕනෑ බව කිව්වේය .මේ ගැන යන වියහියදම් කොච්චර කල් වැඩේට යයිද ආදිය ගැන ඇසු ඔහුට  නවක අපි උත්තර දෙද්දී  සමානයෙකුට මෙන් කතා කළෙමු  ඇරත් මේ මනුස්සයාත් තරුණ  වයසේ සිටි  නිසා  සිය ගෝලයන් තරම්ම  රැස්පොට් එකක් ඔලුවට ගෙන නොතිබිණි.
මේ අස්සේ අපේ ප්‍රධාන ඉංජිනේරුවා  පැත්තකට කතා කොට අපට කිව්වේ අර ඇමති තුමාට කතා කරනකොට ඔයා මෙයා කියල කියන්න එපා සර් කියලා කතා කරන්න කියලාය.
ඒත් තරුණ හිතුවක්කරයන් වූ අප දෙදෙනාටම  මේ  ඇමැතිවරයාට සර් කියන්නට හිත නෑමුනේම නැත.
තරමක්  ලොකු යකඩ කඳන් ගොඩක් තිබු තැනක ඇමති හා පිරිස නැවතී කුටු කුටු ගාන්නට වුනේ මේක උස්සාගෙන යන්නට වටිනා බව පෙනුණු නිසාය. අපි පසෙකට වී බලා සිටියෙමු .
ප්‍රධාන ඉංජිනේරු තැන අපව එතැනින් ඔබ්බට කැඳවාගෙන ගොස් මෙසේ කිව්වේය .
.මේ උඹල දෙන්නට මං කියන්නේ අපි කාගේත් හොඳට. ඇමති කෙනෙකුට සර් කියන්න උඹල ටිකක් අදිමදි කරනවා තමයි. ඒත් අපි ආණ්ඩුවේ  සේවකයෝනේ. ආයතන ස්ට්‍රක්චර් එකේ උඩින්ම ඉන්න අපේ සබාපතිත් මේ මිනිස්සුන්ට සර් කියනවානම් උඹලට ඇයි කියන්න බැරි ?
ඒ වන විට ඇමතිවරයා හා පිරිස අප සිටි දෙසට එන්නට පිටත් වී තිබුනේය.
'අන්න අර යකා මේ පැත්තට එනවා සර් කියල කතා කරපල්ල  හොඳද'.


මේ කතාව මට මතක් වුනේ මේ දවස්වල මුහුණු පොතේ සංසරණය වන පොඩි සටහනක් නිසාය
ඉන් කියවී තිබුනේ දේශපාලකයන්ටවත් ඔවුන්ගේ ලේකම්ලාටවත් සර් කියන්නට යන්නේ නැතිව කොන්ද කෙලින් තියාගෙන ඉන්නා හැටියටය,
ඒත් මේ සර් කියන්නා හා සර් කියා අසා ගන්නා තුල ඇතිවන මානසිකත්වය ආසියානු සමාජයේ  ප්‍රධාන මායාවක් හෝ සමාජ ප්‍රගමනයට උදැල්ලක්  වී ඇති බව බොහෝ වාරයක් නිරීක්ෂණය කර ඇත . මේ කතාවට මූට්ටු කරගත හැකි අත්දැකීම් කීපයකි.
සරසවි සිසුවකුව සිටියදී එක්තරා සම්මන්ත්‍රණයකට ආ දේශකයෙකු හා සෑහෙන වෙලාවක් සුහදව කතා බහ කරන්නට ඉඩක් ලැබිණි . මම ඔහු ඇමතුවේ සර් කියලාය. කොළඹ ආවොත් අපේ ආයතනයටත් එන්න. එවක ඔහු පුද්ගලික  ආයතනයක ප්‍රධානියෙක්  විය.
මේ හිතවත්කම එසේ තිබියදී මට ඔහු යටතේ ටික කලක් රස්සාව කරන්නටත්  සිදු විය. ඒ රස්සාවේ මුල් දවසේ මම ඔහු ඇමතුවේ මිස්ටර් අහවලා කියලාය
ඔහු මට හීන් සැරේ මේ වගේ කතාවක් කිව්වේය
'මම කැමති නෑ කාලෙන් කාලෙට වෙනස් වෙන මුල අමතක කරන මිනිස්සුන්ට. දැන් බලන්න ඉස්සර මට ඔයා කතා කලේ සර් කියලා දැන් දැන් මිස්ටර් කියනවා. මට කමක් නෑ කොහොම කතා කරත් . සමහර විට ඔයා පස්සේ නිකම්ම නම කියලත් මට කතා කරන්න ඉඩ තියෙනවා . ඔහොම තමයි අපේ මිනිස්සුන්ගේ හැටි'.
ආයතන ව්‍යුහයේ තමාට පහලින් සිටින සියලු දෙනාම තමන්ට අනිවාර්යයෙන්ම සර් කිව යුතුයැයි සිතන බොහෝ දෙනෙක් ඉහළ  නිලධාරීන් හා දේශපාලකයන් අබියස ඉතාම නිවට ලෙස හැසිරෙනු මා දැක ඇත.
අපේ මැද පෙරදිග වැඩ බිමට පැමණි තෝමස්  නම් සුදු නිලධාරියා 'සර්' කියා තමන් ඇමතු ඉන්දීය ජාතිකයෙකුට බැන වැදුනේය. සර් කියන්නේ තමන්ගේ කඩේට ආපු කස්ටම්ර්ලට එහෙම නැත්නම් නයිට්වරුන්ට . මට නම කියාපන්.
මේ අතර ආසියාතික කළමනාකරුවෙක් උසස් වීමක්  ලද අලුත කලින්  ඔහු හා සම මට්ටමේ සිටි වෙනත් නිලධාරියෙකු ඔහුට නම කියා අමතනවා ඇසී බොහෝ සෙයින් උරණ වූ කතාවක්ද මා අසා ඇත
ඔහු කියා ඇත්තේ 'ඉස්සර ඒවා තියා ගන්න එපා දැන් මට සර් කියලා කතා කරපන්' කියලාය .
මේ සර් කියන්නා තුල ඇතිවන  දීන මානසිකත්වත්  එය අසා ගර්වය ලබා ගන්නා තැනැත්තා තුල ඇතිවන  පුහු මානසිකත්වයත් මා වැඩිපුරම දැක ඇත්තේ ඉන්දියානු හා ශ්‍රී ලාකිකයන් අතරය .
අනිත් බොහෝ රටවලදී සර් යන්න වෙළඳ හා සේවා සන්නිවේදනවලදී යෙදෙන ඇමතුමක් පමණි . සර් කියා ලිව්වා හෝ කිව්වා කියා ඉන් එහාට අරන් යන මාන්නයක් හෝ නිවටකමක් නොපවතී .
මට හිතෙන්නේ මේ විෂය ගැන හොඳ මට්ටමේ සමාජ විද්‍යා පර්යේෂණයක් තාම සිදු වී නැති බවය .
මා මුල්වරට රට රස්සාවකට යන්නට කලින් ලංකාවේදී කාලයක් තිස්සෙම වැඩ කල එක්තරා සමාගමක තරමක ලොකු තනතුරක් පැටවී තිබිණි . පුළුවන් තරමට සිම්පල් මිනිසෙකු වෙන්නට උත්සහ දැරුවද වටාපිටාව විසින් කාන්දු කරන තනතුරු ආඩම්බරයක්ද හිතේ නොතිබුනා නොවේ. මේ  කන්තෝරුවේ  සගයන් ලොකු කුඩා කා අතරත් සර් කියා අමතන පුරුද්ද තිබුනේ ඉතා අඩුවෙනි .
ඒත් සුළු සේවකයන්, රියදුරන් හා පියන්වරුන්ගේ වාග්මාලාවෙන් සර් යන්න ඉවත් කරවන්නට කවුරුත් උත්සහ නොකළහ.
'සර් තේ එකක් ගේන්නද?. සර් ලියුම් ටික ගෙනිහින් දුන්න. සර් වාහනේ ටයර් පන්ච් එකක් තියෙනවා හදාගෙන එන්නම්'.
මේ ආදී දවසකට සර් කියා ඇමතුම් සිය ගානක් ලැබෙන පරිසරයක සිටිද්දී හදිසියේ මම රස්සාව අතහැර විදේශ ගත වුනෙමි
මට යන්න ලැබුනේ රුසියානු කලාපයේ පිහිටි කසකස්තානයටයි
බටහිර කසකස්තානයේ තෙල් කැනීම් ආශ්‍රිත වැඩ බිමක රස්සාවට ගිය දවසේ ඉතා උණුසුම්ව හැමෝටම මාව හනුන්වාදීමට අපේ කළමනාකරුවා පියවර ගත්තේය.
අන්තිමේදී සුපුරුදු පරිදි කුස්සියේ තේ හදන කාන්තාව  අමතා 'ලිගායා මේ ඇවිත් ඉන්නේ අපේ අලුත් මහත්තයා තිලක . තේ එකක් එහෙම හදලා දෙන්න' .


මා අලුත් කන්තෝරු කාමරයේ බොහොම සතුටින් වාඩි  වී මේ නැවුම් පිළිගැනීම් හා අල්ලාප සල්ලාප නිසා තුටු පහටුව සිටිද්දී  ලිගායා ආවාය.
'තිලක තේ එකක්  හරි කොපි එකක් හරි බොන්නට කැමතිද' ?
එය මොන තරම් යහපත් යෝජනවාක් වුවත් කන්තෝරුවේ තේ හදන කාන්තාවද නිකම්ම නම කියා මා අමතද්දී හීනි නෝක්කාඩුවක් හිතට කාන්දු විය .
තේ එකක් බොන්නට වුවමනාව තිබියදීත් මම මොකුත් එපා කීමි. ඇයට ස්තුති සිනාවක් පාන්නට පවා අමතක වුනේය. ඒ  මා විදේශ රටක රස්සාවකට ආ  පළමු දවසය.
ඉන් ටික වෙලාවකට පසු මා සිටි කාමරයට අපේ ප්‍රධානියා සමග ඇතුළු වුයේ ප්‍රියමනාප උසැති සුදු ජාතිකයෙකි. අපේ ලොක්කා මට අමුත්තා  හඳුන්වා දුන්නේය . 'මේ ඉන්නේ ටොම් .මේ තෙල් සමාගමේ නේවාසික අධ්‍යක්ෂ , කොටින්ම අපි සේවා සපයන සමාගමේ ලොක්කා'.
මම හුනස්නෙන් නැගිට ඔහුට ආචාර කලෙමි. ඔහු ඉතා සුහදව ටික  වෙලාවක් මා සමග ආගිය තොරතුරු කතා කළේය.
'මම දවසක උඹලගේ ලස්සන රටට නිවාඩුවක් යන්න හිතාගෙන ඉන්නේ'
මේ අස්සේ ලිගායා එතැනට කඩා පාත් වුනාය . මගෙන් ඇසු ආකාරයට තෙල් සමාගමේ ප්‍රධානියාටත් කිසි ගරු සරුවක් නැතිව නිකම්ම නම කියා 'ටොම් තේ එකක් බොමුදැයි'  ඇසුවාය
ටොම්ට කෙසේ වෙතත් මටනම් ආයෙමත්  අමනාප සිතක් පහළ විය
ඒ වුනත්  ටොම්නම්  ඇයගේ උරහිසට අතක්ද  තිබ්බේය  . 'නුඹ හරිම කරුණාවන්ත තරුණියක් . මට හොඳ තේ එකක් ගේන්නකෝ එහෙනම්'.
අයියෝ මම ඒක්ෂණයකින්  දියවී සල්ලම් වී ගියෙමි

දැන්නම් අපේ සමාගමේ ලොක්කාට නම කියා කතා කරන්න අවශ්‍ය දිරියත් කාර්යාල පිරිසිදු කරන්නා මගේ නම කියා සුබ උදෑසනක් පතද්දී සුහදව ප්‍රතිචාර දක්වන්නට පුළුවන් පිරියත් මා ළඟ තිබේ .
Image: featurefics.com

Monday, August 10, 2015

පොතකින් වට කිරි සිනහව

මීට අවුරුද්දකට පෙර පිට වූ මගේ පොත කියවා බලා හොඳ කිවූ අය මෙන්ම එය කසල ගොඩට දැමුවායැයි කී මිතුරෙක්ද  මට හමු විය. ඔහුට අනුව හැත්තෑව දශකයේත් ලාම්පු පත්තු කළ නිවසක විසු පිටිසර ගුරු පවුලක් වටා ලියැවුනු මේ කතාවලට වඩා වැදගත් කතා ඔහුගේ හා මිතුරන්ගේ තාත්තලා ගැන ලියන්නට තිබේ.
තව පුද්ගලයෙකුට පොතක් තෑගී කළවිට  ඔහු කලේ 'ආ පොතකුත් ලිව්වද  මේක අපේ පුතා සමහරවිට කියවාවි' කියා  නොසැලකිල්ලෙන් පසෙකින් තැබීමය.තව කිහිප දෙනෙක්ම පොත මිලදීගෙන හෝ තෑගී ලෙස ලබාගෙන තිබුනාට කියවන්නට අදහස් කර නැත.

පොතක් ගැන මුලින්ම නෙගටිව් අදහස් ටිකක් කිව්වේ මගේ පොත ගැන ලැබුණු අගය කිරීම් හා සතුටු දනවන ප්‍රතිචාර වගේම ඉහත කී ආකාරයේ සිද්දීන්ද මට ශක්තියක් වෙන බව කියන්නටය. ඒ සියලු දෙනාම මම කැමැත්තෙන් ඇසුරු කරමි. පොතක් ගැන විවිධ මත අද උදහස් තිබිය හැක . ඒ සියල්ල තුලින්  ලැබෙන්නේ හොඳ පන්නරයකි.

මා කිසිදාක දැක නැති සොඳුරු කවියෙකු වන , හැටේ වත්තේ මග්දලේනා  පොත ලියා ගිය අවුරුද්දේ සාහිත්‍ය සම්මාන දිනු සෞම්‍ය සඳරුවන් ලියනගේ මට මේ වගේ සුබ පැතුමක් ඒවා තිබිණි .

‘තිලක සිත‘ ජීවිත කතා ගැන ලියවුණු පොත් අතරින්, මම කියවපු  ලස්සනම, රස ම පොතක්... බිම තියන්න නොහිතෙන තරම් කැමැත්තකින්, මුලු පොතේම තියෙන කතන්දර ටික එක හුස්මට කියවගෙන යන්න පුලුවන්..!

පොත දොරට වඩිනදා මා මුල්වරට හමු වූ සුවිශේෂ රසිකයෙකු මට මෙවැනි පණිවිඩයක් එවා තිබිණි . ( ඔහු සුවිශේෂ යැයි කිව්වේ පොත්පත් වලට බැඳුනු වෘත්තියක නියැලෙන ඔහුගේ විචිත්‍ර ජීවන අත්දැකීම්ද ඉදිරියේදී පොතක් ලෙස එළි දකින්නට නියමිත නිසාය.)

පුදුමයි,
සුන්දර සරල, කාව්‍යමය සිංහලෙන් හැම කතාවකම අවසන, හද ගැස්ම නැවතී, දෑස් පුපුරා කඳුළු උණන හැටි .
හරි පුදුමයි !
සියුම් මානුෂික සම්බන්ධතා, මිනිසා විසින් මිනිසුන් සඳහාම පනවා තිබෙන සියලු මායිම් බිඳ දමා එක විශ්වීය සිද්ධාන්තයක් සේ ඔබේ පෑන් තුඩින් බිහි වී ඇති හැටි.

දශක ගණනාවක් පුරාවට ආදරයෙන් එක්කාසු කර රාක්ක පුරවා ඇති මාගේ පොත් ගුලෙහි 'තිලක සිත' අග්‍රස්ථානයෙහි විරාජමානව වැඩ හිටී.

තිලකගේ නිර්ව්‍යාජ රචනා ශෛලය, අනාගතයේ බිහිවන තම මව්බසට පෙම් බැඳී තරුණ ලේඛක, ලේඛිකාවන් හට පුර්වාදර්ශයක්ම වේවා .

කෝසල තිලකරත්න 

මේ මට ඊ තැපෑලෙන් ලැබුණු තවත් ප්‍රතිචාරයක්

උක්කුන් අයියේ,

තිලකසිත බ්ලොගය  එහෙන් මෙහෙන් කියෙව්වත් අපේ මරණයගේ හොඳම පොත් ලිස්ට් එකට තිලකසිත පොතත් එකතු වෙලා තිබ්බා. කොළඹ ඉඳන් මැලේසියා යනකන් ප්ලේන් එකේ කියවන්න ලැප්ටොප් බෑග් එකට දාගත්තු එකම පොතත් ඒක. පැය 3 ½ ක් ගෙවුණු හැටි මතකත් නෑ. කොහොම හරි ප්ලේන් එක නවත්තනකොට මුළු පොතම කියවලා ඉවරයි, එක හුස්මට !!!

කතා 40 ගැනම මගේ හිතේ මැවුණු සිතුවිලි ප්‍රමාණේ අනන්තයි. මං තනියෙන් හිනාවෙනවයි, අඩනවයි දැකලා Flight attendants ලත් පොතට එබිකම් කරනවා මං ඇස් කොනකින් දැක්කා. නමුත් කථා 10-11ක් නම් හිත පසාරු කරගෙන ගියා...

“ඔයා ආවම ඇති, දෙවන උපත, තුන්වන දේශකයා, ගුරු තරුව, පහුවෙලා හමු වූ තාත්තා, අම්මා අම්මා, හෝඩියේ පන්තියේ ටීචර්, කහපාට ආදරය 1“, ඒ ගොඩට අයත්. කැස්පියන් හඳේ අයිසුලු ගේ දූ පොඩ්ඩ කොහොමද?

ලියන්නට බොහෝ දේ ඇතත්, තවත් පොතකට ධෛර්ය එකතු කරන ගමන්, මේ ඉලෙක්ට්‍රොනික ලියවිල්ලත් මෙතනින් නවතමි. අයියාගේ කතාන්දර නීරස නොවෙන්න හේතුවත් ඒකම වෙන්න ඇති (නවත්තන්න ඕනි තැනින් නවත්තලා තියෙන එක)

ජය.

ප.ලි.
කතන්දර 40ටම චිත්‍ර ඇඳපු දෝණියැන්දලා දෙන්නවත් මතක් නොකරම බෑ. පොතේ පිටකවරේ පිංතූරේ වෙනුවට, චිත්‍රයක් තිබ්බා නම් හොඳයි කියලා හිතෙන්නේ කියවගෙන යද්දි.

අංජන ජයවීර 

මේ ගිය අවුරුද්දේ අගෝස්තු අටවැනිදා සිට  අද දක්වා ලැබුණු සිය ගණනක් වූ විවිධ ප්‍රතිචාර අතරෙන් කිහිපයකි . මම මේක පළ කරන්නද කියා මේ හිතවතුන්ගෙන් අවසරද ඉල්ලා ගත්තෙමි.

පොත එලි දක්වන උත්සවේ ප්‍රධාන දෙසුම් දෙක කලේ මගේ සුමිතුරු මාධ්‍යකරුවන් වන අසෝක ඩයස් හා දර්ශන කරුණාතිලකයි. වැඩ සටහන මෙහෙය වූ  රුවන් ගමගේ වැඩේ ලස්සනටම කළේය .

දර්ශන , රුවන් , හා අසෝකට  අමතරව වත්මන් විදුසර කර්තෘ කුලේද, එවකට දිනමිණ ප්‍රවෘත්ති කර්තෘ වෙලා හිටි අපේ නලින්ද , සිළුමිණ කර්තෘ සුන්දර අයියාද මේ පොතට මාධ්‍ය ප්‍රචාර ලබා දුන්නා මදිවාට බොහෝ දැනමුතුකම් දී උදව් උපකාර කළහ .

මේ පොතට වැඩිම පැසසුම් හා  ප්‍රචාරයන් ලබා දුන්නේ මගේ වත්පොත්  හා බ්ලොග් මිතුරු මිතුරියන්ය.
පොත පළ වන්නටත්  පෙර  රංගී,මාතලන්, ඉවාන් හා වසීලිස්සා ඒ ගැන ලිව්වෝය,
පොත පළ  වුනාට පසු තරුරසී, චන්දන, බෝධිනී  හා නලින් ඒ ගැන ලිව්වෝය. මේ අතරේ මට අමතක වූ නම් එහෙම ඇත්නම් සමා වෙන්ට ඕනය. ගිය අවුරුද්දේ සිටියාට වඩා මම බෙහෙවින් වයසට ගිහින් ඇති නිසා මතකය දුර්වල වී ඇත.
මෙතැනින් නොනැවතී පොත අලෙවිකර ගැනීමට පවා මට උදව් වූ බ්ලොග් සුමිතුරන් රෑනකි . ඉවාන් , රන්දිකා, බෝධිනී හා තරුරසී මේ අතරින් සුවිශ්ෂයි.

මුහුණු පොතේද , බ්ලොග් ලෝකයේද සුහද ප්‍රචාර කප්පරක් ලැබූ මේ පොත පළමු වටයේ කඩවලට දැමු සියල්ල විකිණී අවසන් වූ බව සතුටින් ලියා තබමි. නුගේගොඩ සරසවියට ගීය මාසයේදීද පොත් ටිකක් දුන් නිසා පිටපත් කීපයක් ඉතිරි වී තිබෙන්නට පුළුවන .

පාසැල්වලට හා මිතුරන්ට බෙදන්නට වෙන් කරගෙන සිටි පොත් ස්වල්පයක් හා මෙවර ප්‍රදර්ශනයට දමන්ට සිතා සිටින පොත් ටිකක් මා ළඟ ඉතිරිව තිබේ.

පොත දොරට වැඩීම ගැන හා ඉන් පසු මගේ සිතුවිලි අරබයා මොනවා හෝ ලියන්නයි මගේ හිතවතුන්  කීප දෙනෙක්ම ඉල්ලා තිබුනත් බොහෝ දෙනෙකුට මේ ගැනම  කියවා එපා වී තිබුන බව දනිමි.

ඒත් ගිය අවුරුද්දේ අගෝස්තු අට වැනිදා ගැන කතා නොකර ඉන්නට බැරිය .

එදා අපේ බ්ලොග් හා වත්පොත් මිතුරන් වන නලින් ,තිසරණ,  ඉවාන්, තරුරසී, කල්පනා, ප්‍රා ජේ, කුරුළු, අමිල, කලාහිත හා සුදීක  වගේ තව බොහෝ දෙනෙක් මට මුලින්ම හමු වූ දවසය.

දුරමග ගෙවා පැමිණි මගේ පාසැල් මිතුරන්, සරසවි මිතුරන් හා නෑදෑ හිතවතුන් එදා මගේ  සිත සතුටින් පුරවාලූහ , තව තව ලියන්නට දිරියක් වූහ. එන්නට බැරි වුනද එක හිතින් සුබ පැතු බොහෝ දෙනෙක් සිටියහ. එන්නට පුළුවන් තරමේ දුරක සිටියානම් මා සොයා එන බව දන්නා තව බොහෝ දයාබරයන්ද  ඒ අතර විය.

පෙරාදෙණීයෙන් ආ  මිතුරෙකු මගෙන් ඇසුවේ මේ ගමන මට එන්න කියලා බල කලේ කව්ද කියල දන්නවද? කියාය. ' ඒ තමයි අර ඔයා වලේ ගහ ගැන ලියාපු කවිය. ඒ කවියට මම හරිම කැමතියි' .
මේ වගේ සහෘදයන් හමු වීම හා ඔවුන්ගේ ඇසුර නිසා එදා සිට අද දක්වාම මම බොහෝ සෙයින් උද්දාමයට පත් වී සිටින්නෙමි.

මිනිසෙකුට ජීවිතයේ සතුටුදායකම දවස් තිබෙන්නේ අතලොස්සකි. ගිය අවුරුද්දේ අගෝස්තු අට වැනිදා මා ලැබූ ප්‍රමෝදය අවුරුද්දක් තිස්සේ අලුතින්  දළුලමින් වැඩෙමින් තිබෙන  බව කියන්නේ හිත උතුරා ගිය සන්තෝෂයෙනි.

මුළු ජීවිත කාලයම හම්බ කළ දේ හෝ ලැබූ තානාන්න්තර සියල්ලට වඩා මට ඒ සතුට වටනේය . ඒ සතුට ලැබුනේ ඔබ නිසාය . ස්තුතියි නොකියමි . ඔබට පුංචි තිළිණයක් දෙන්නට සුදානම් වෙමින් සිටින බව විතරක් කියා තබමි .
ඒ අටවිසි මහලයි. තාමත් කළල අවදියේ සිටින මගේ කුළුඳුල් නවකතාවයි .

(චිත්‍රය ඇන්දේ ඔවිනි)

Tuesday, August 4, 2015

කණෙන් ඇදලා ගොඩ දැමීම

ද මගේ යහළු යෙහෙලියන් මහා ගොඩක් උසස් පෙළ ලියන්නට සුදානම් වෙන බව ආරංචිය . මේ වෙන කවුරුවත් නොව මීට අවුරුදු තිහකට විතර ඉස්සර මගෙත් එක්ක උසස් පෙළ ලියු අපේ යාලු මිත්‍රයන්ගේ දුවා දරුවන්ය. ඉන් කිහිප දෙනෙක් සමගම කතා කරන්නට මට පුළුවන් උනත් තව බොහෝ දෙනෙකුට සුබ පතන්නට ඉඩක් ලැබුනේ නැත.

මගේ අවවාදයනම්  ඉහළම ප්‍රතිඵල ගන්න ට්‍රයි කරන්න.ඒත්  වැඩකටම  නැති ප්‍රතිඵලයක් ආවත් ඊටත් සුදානම් වන්න කියලාය. සුද්දගේ භාෂාවෙන් කියන්නේ Try For the Best. But be Ready for the Worst  කියලාය.

මම එහෙම කියන්නේ සාධාරණ හේතු ගොඩක් තියෙන නිසාය.  ඒ ලෙවල් එක වර ඉහළින් ගොඩ ගියොත් හොඳටම හොඳය. ඒත් ගොඩ නොගියත් තව ඕනෑ තරම් කරන්ට දේවල් තියෙනවය. මේකෙන්ම ජීවිත ඉරණම විසඳ ගන්නේ නැතිව ඉහළ ඉලක්කයකට යන්න පුළුවන. ඊට ජීවමාන සාක්කි සපයන කීප දෙනෙක්ම මම දනිමි.

මම හොඳින්ම දන්නේ ඉංජිනේරුවන්  වෙන්නට ගොස් උසස් පෙලින් මග හැරී ආයෙමත් ලොකු ඉංජිනේරුවන්  වූ කීප දෙනෙක්ගේ කතාය. එත් අනෙකුත් අංශවලත් ඒ ආකාරයෙන් විවිධ උත්සාහයෙන් ඉහළට ගිය මිනිසුන් අනන්තවත් සිටිති.

මගේ ගමන් සගයා වූ ප්‍රවීණ  වරලත් ඉංජිනේරුවා උසස් පෙලින් කැම්පස් යන්නට ලකුණු මදි වී සර්වේ  හෙල්පර් කෙනෙක් හෙවත් මිනින්දෝරු මහත්තුරුන්ට අත් උදව් දෙන්නෙක් ලෙස රස්සාව පටන් ගත්  අයෙකි. ඒ රස්සාව කරද්දීම ආයෙත් විභාගය කර, තාක්ෂණ ඩිප්ලෝමාවට තේරී , ඉන්පසු  උසස් විභාග පාස් වී වරලත් ඉංජිනේරුවෙක් වුනේය. අර ඔහු අත් උදව්කරුවෙක් ලෙස මුලින්ම සේවය කළ සමාගෙමේම ප්‍රධානියෙකු සේ සේවය කරද්දී මට ඔහුව හඳුනා ගන්නට ලැබිණි.

මා දන්නා  අයියා කෙනෙක් උසස් පෙළ කරද්දී පළවෙනි පාර ඇණගෙන ඉගෙනීම අතහැර දැම්මේය. දැන් එයාගේ ඊළඟ බලාපොරොත්තුව මැණික් ගරන්නට ගොස් හොඳ සල්ලි කාරයෙක් වෙන්නටය. අයියාගේ ගමේ යාළුවන් හය හත් දෙනෙක්ද සමග මොණරාගල ඔක්කම්පිටියේ මැණික් ගරන්නට යාමට සියල්ල ලක ලෑස්ති  කරගෙන ගෙදර ඇවිත් අම්මාට බොරු කන්දරාවක් කියා අවසර ගත්තේය. තාත්තා එන්නට කලින් බණ්ඩාරවෙලට ගොස් යාළුවන් සමග මොණරාගල යෑමට වාඩි ඇඳුම්, වියළි කෑම බීම සියල්ල පොහොර බෑග්වලට දමාගෙන සිටිනවා කියා ආරංචි වී තාත්තා හැල්මේ වහනයක් කතා කරගෙන බණ්ඩාරවෙල ගොස් ඔහු සිටින තැන ටක්කෙටම හොයාගෙන ඒ අයියාගේ කණින් අල්ලාගෙන ආපහු ගෙදර කැන්දාගෙන ආවේලු.

ඒ ගමන පාඩම්කර පේරාදෙනි යාමට සමත් වූ මේ කියන අයියා ඉන් පසු සත්ගුණවත් උසස් ඉංජිනේරුවෙක් වුනේය.

තවත් මා දන්නා තරුණයෙක් අපේ අක්කාගේ පුතා වගේම තරමක් හිතුවක්කාර ගති පැවතුම් තියාගෙන උසස්පෙළ ගණිත අංශයෙන් විභාගයට ලිව්වේය. පළවෙනි පාර විබාගය අප්සැට් ගිය තැන ගමේ ත්‍රී වීල් යාළුවන් කිහිප දෙනෙක් සමග සෙට් වී හවසට රංචු ගැසීමටත් රා බොන කොල්ලන් ආස්සරය කරන්නත් පටන් ගත්තේලු.

ඉතින් හැමදාම ගෙදර ඇවිත් බිම පෙරළෙමින් මටත් තී වීල් එකක් අරන් දියන්යැයි කියමින් අම්මා සමග රණ්ඩු කරමින් සිට තාත්තාගේ ගෝරනාඩුවෙන් පසු බාගෙට කෑම කා නිදා ගත්තේය. ඔහුට සිහිනය තිබ්බෙම තුන්රෝද රියක් හෝ මොනයම්ම හෝ කුලී රියක් එළවන රියදුරෙක් වෙන්නටය.
මේ අව් අස්සේ කොලුවාගේ අම්මා  කොළඹ සිටි සිය සහෝදරයාට කතාකොට අනේ මල්ලියේ අපේ කොල්ලාව මොකක් හරි කෝස් එකකට දමා ගොඩ දාලා දීපන් කියා කී විට මලයා අක්කාගේ කොලුවා කොළඹ ගෙන්නාගෙන කාර්මික පාඨමාලාවක් තෝරා දී පුංචි ඉදිකිරීම් සයිට් එකක රස්සාවක් හොයා දුන්නේය.

ඉන්පසු තනියම උසස් විභාග කර උපාධියක්ද අරගත් මේ ළමයාද දැන් විදෙස් රටකට වී හොඳ ඉංජිනේරුවෙක් වශයෙන් යහපත් ජීවිතයත් ගෙවයි.

ඒ නිසා දරුවාගේ උසස් පෙළ ප්‍රතිඵල පිටවූ පසු ඒ දැක පස්වනක් ප්‍රීතියෙන් පිනා යන්නට හෝ දරුවාගේ කණින් ඇදගෙන ගොස් හරි පාරේ තබන්නට මගේ හිතවත් දෙමවුපියන්ට තව දුරටත් ඉඩ ප්‍රස්තාව තිබේ  .

මේ කණින් ඇදීම ඉවසා වදාරන දරුවන් උසස් පෙළ ප්‍රතිඵල මොනවා උනත් ජීවිතය ගොඩ දා ගන්නා බව මගේ අත් දැකීම්වලින්ම  කියන්නට පුළුවන .

( මදිපාඩුවට මේ තුන්වන දේශකයාගේ කතාවත් කියවන්න)
Picture: sd72.bc.ca