Thursday, October 25, 2018

ගමේ කුණු හා හිතේ සතුට

ටෝරාශියක් ගොන්පාර්ට් හා සම්පප්‍රලාප  අතරේ අපේ සරසවි හොස්ටල්  එකේ සීරියස් දේවල්ද කතා කළ අවස්ථා තිබුනේය . ඉන් එක අවස්තාවක් මට මතකය .

"උඹලා මේකෙන් අවුට් වෙලා පදිංචි වෙන්න කැමති ගමේද  නගරේද ?"

එකෙක් පැනපු ගමන්  කිව්වේ "කොළඹ කොළඹ" කියලාය..තව  විවිධ ආකාරයේ උත්තර ලැබිණි. මා ඇතුළු කීප දෙනෙක් කිව්වේ ගමේ ඉන්නට කැමති බවයි. අන්තිමේදී බහුතරය පිළිගත්  අදහස වුනේ නගරයට ඉක්මනට එන්නට පුළුවන් ගම්බද තැනක් අනාගත පදිංචියට තෝරා ගැනීමය. .

මේ කතාවට අදාලත් නැති එකකට එකක් සම්බන්ධත් නැති කතා තුනක් ලියන්නට සිතුවෙමි.

අලුත්  පාර

2009 අවුරුද්දේ නැගෙනහිර පළාතේ පිහිටි  දුෂ්කර  ගම්මාන යායක් මැද්දෙන් වැටුණු ප්‍රධාන පාරක් සංවර්ධනය කිරීමේ කාරියකට හවුල් වන්නට මට ඉඩ  ලැබිණි. මේ දිළිඳු ගම්වැසියෝ  යුද්ධයෙන් පවා බැට කා තිබුනෙන්  ගේදොර වතුපිටි ගැන නොසලකා හැරීම නිසා  බැද්ද විසින්  ගම්මානය ආක්‍රමණය කරමින්  තිබුණි.  මගේ සිත පෑරු දසුනක් වුයේ  බොහෝ  ළමයින්ට අන්දවා තිබූ කඩමාලු ඇඳුම්ය. කිසිවක් නොකොට ගස් සෙවනක ඇණ බාගෙන සිටි සිලිඳුලාද එමට සිටියෝය.

පාර හදාගෙන වටේ පිටේ එලි පෙහෙළි කරගෙන යද්දීම වාගේ ඒ වැඩ වලට සමාන්තරව දෙපැත්තේ වැසියෝ වතුපිටි  එපිරිසිදු  කරගෙන ගේ  දොර  පිළිසකර කරගන්නා හැටිද  දුටුවෙමි . ගෙවල් හා කඩ කාමරවල අලුත් පාට තැවරුණු  අතර ළමා ලපටින්ගේ පටන් මහලු කාන්තාවෝ පවා පෙරට වඩා හොඳින් අඳින්ට පළඳින්ට   පටන් ගත්තෝය .

මෙහිදී මම දිගින් දිගටම කල්පනා කළ කරුණ උනේ මේ ගැමියන්ගේ ආර්ථිකය එහෙමම තිබියදී ඉස්සර අපිරිසිදුවට තිබුන ගේ දොර වතුපිටි පිරිසිදු කරන්නට මිනිස්සුන්ට හිතුනේ පාර හදනවා දැකීමෙන්ද නැතිනම් සාමකාමී පරිසරයක් බිහි වීමත් සමග  ජීවිතාශාව වැඩිවීම්  නිසාද කියලාය.
මගේ සගයාගේ නිගමනය වුයේ හිතේ සතුට තියෙනවානම්  මොන තරම්මි දුප්පත් වුනත් අපේ මිනිසුන්  ගේ දොර වතුපිටි පිරිසිදුවට තබාගෙන දරුවන්ට පුළුවන් හැටියට හොඳ ඇඳුම් අන්දවා තබා ගන්නා බවය.


ස්කීම්වාසී මිතුරා
නුගේගොඩට නුදුරු හවුසින් ස්කීම් එකකින් ගෙයක් මිලයට ගත් මගේ මිතුරෙක් ඒ ගැන පසුතැවුනේ  මෙසේ  කියමිනි . ( ඔහු අර සරසවි හොස්ටල්  කතා බහේදී මා මෙන්ම අනාගත ජීවිතය ගමේම ගෙවන්නට කැමැතියි කී එකෙකි )
"බලපන් මචන් මේ ස්කීම් එකේ එකාට එකා නෑ . අල්ලපු ගෙදර මිනිහ අඳුරන්නේ නෑ . පාරක් තොටක් සුද්ද කර ගන්නේ නෑ. උන්නේ  අලි ඔලුව බං. මටනම් මේක විකුනලා ඈතකට යන්න හිතිලා තියෙන්නේ "

එසේ කී මිතුරා ඉන් මාස ගානකට පස්සේ දවසක  හමු වූ  විට මාර කතාවක් කිව්වේය.

"මචන් උඹත් ගනින් මේ වගේ ස්කීම් එකකින් ගෙයක් මරු ජීවිතේ ඔයි "

" ඇයි බං  උඹනේ කිව්වේ මේ ස්කීම් එකේ එකාට එකා නෑ . උඹට එපා වෙලා තියෙන්නේ කියල"

එවිට ඔහු මදක් කල්පනා කොට මට පැහැදිළි කිරීමක් කළේය.. සිද්දවෙලා තියෙන්නේ මේ වගේ දේකි.

පසුගිය දිනක ඔහු සිය හිතවතෙක් සමග ගේ අවට කුඩා ගෙවත්තද   පාර පැත්තට වෙන්නට වැවී තිබු වල් බුටෑව හා  පාරේ දෙපැත්තේම කාණු සුද්ද කර දැම්මෝය . ඊළඟට පාර අයිනට වෙන්නට තිබුණු ජෑම් ගස් හෙවණක වාඩි වී  මිතුරාත් සමග ගෙදරින් ගෙනත් දුන් තේ කෝප්ප දෙකක් රස විඳිමින් සිට ඇත. එවෙලේ කොහේදෝ ගොස් පැමිණි අල්ලපු ගෙදර ඇත්තෝ මොවුන් සමග පළමු වරට සුහද සිනහ මුහුණක් පෙන්වා ගෙදරට  ගොස් වහානය  නවත්වා රස කැවිලි ව්ගයක්ද රැගෙන යලි පැමිණි අතර මේ නැවුම් එකමුතු කම එතනින් එහා ගෙදරටත්  ඇසී ඒ දෙමහල්ලොද හෙමින් හෙමින් සතුටු සාමීචියට එක් වන්නට පැමිණ ඇත. ටික වෙලාවකින් ලා සැර හා සැර වර්ගයේ බීම  වර්ගද එකතු  වෙමින් ස්කීම් එකේ පිරිම් සේරමත් ගෑනු සේරමත් මේ ගෙදරට එක්කාසු වී තිබේ. එදා සාදය මැදියම් රාත්‍රිය වනතුරු පැවැත්වුණු  බව කී මිතුරා මෙසේද කිඊවේය . '
'බලාගෙන ගියාම උන් ඔක්කොම අපි වගේ ගම්වලින් ආපු උන්නේ  බං. මාසෙකට සැරයක් අපි ශ්‍රමදානයක් දාලා  පාරවල් හෙම   සුද්ද කර ගන්නවා.  ඒ හින්දා දැන්  හිතේ සතුටින් ඉන්න පුළුවන් '

අපේ පාරේ ශ්‍රමදානය

ඒ කාලේ කොහොම හීන මැව්වත් මට ගමේ පදිංචි වන්නට බැරි විය. අගනුවරට ආසන්න උපනගරයක පිහිටි  අපේ  ගෙදර ලඟින් වැටී ඇති පාර ඉස්සරනම් නිස්කාන්සු පාරකි. අධිවේගී මාර්ග පිවිසුමක් කිට්ටුවපාතක තිබෙන නිසා දැන් අපේ පාර  අතොරක් නැතිව වාහන ඇදෙන මහා පාරක් වගේ වෙලාය.

 පහුගිය පෝය  දවසක අපේ ගෙවල් පාරේ ශ්‍රමදානයකට සෙට් වෙනවා දුටුවෙමි .  කොට කලිසම් ඇඳගත් අසල්වැසියන් තියෙන හැටියට රේක්කයක්  , උදැල්ලක්  කාරිය  උස්සාගෙන ශ්‍රමදානයට  හවුල් වී සිටියෝය. උන්ගේ ඇඹේනියන් හා දරුවෝද බීම බෝතල් හා බිස්කට්වලින් ශ්‍රමදායකයන්ට සංග්‍රහ  කරන්නට සුදානම්ව  සිටියෝය. මමත් අනාරාධනයෙන්ම මේ පිරිසට එක්කාසු වෙන්නට තීරණය කළෙමි. මට දැන ගන්නට ලැබුනේ හන්දියේ ත්‍රීවීල් රියදුරන් පිරිස මේ ශ්‍රමදානයේ මුලාරම්බකයන් බවය.

මහා පාරට හැරෙන තැන පටන් තවත් කිලෝමීටරයකට වැඩිදුරක් පාරේ දෙපැත්තේ වල් පඳුරු  කපා , ප්ලාස්ටික් වීදුරු හා කරදාසි වෙන වෙනම ගොඩ  ගසන්නට අපට හැකි විය .  හරිත  ආවරණය ඉවත් කළ සැනින් හැම තැනම වැටී තිබුණු යෝගට් කෝප්ප, බීම බෝතල් හා බියර් කෑන් යනාදිය මතු වන්නට විය.  හිතන්නට බැරි තරම් බීලා විස්කර කිරි පැකට් හා හිස් බෝතල් පාර දෙපැත්තේ තිබී හමු විය.ඒවා පාරේ අතොරක් නැතිව යන වාහන හා පාසල් බස්රථ වලින් විසි කරන ලද ඒවාය.

වැඩ අරී ගෙදර යන විට ගෙදරට කුණු ගෙනියන්නේ නැතිව වාහනයේ වීදුරුව පාත් කරන් ඒවා හීන් සැරේ පාරේ පැත්තකට විසිකර යන මිනිසුන් මේ පාරේදී මා දැක ඇත . ඔවුන්ගේ හිතේ සතුට කුමක්දැයි මම තාමත් කල්පනා කරමින් සිටිමි.

මම තව දෙයක් දනිමි. ඒ පිරිසෙන් බොහෝ දෙනෙක් ඈත ගම්දොරින් ඇවිත් ගෙවල් හදාගෙන මේ අවට පදිංචි වූ මා වැනි වුන් බවය.

Photo : Daily News