Monday, January 27, 2014

සුප්පාදේවි අම්මා


(තිලක සිත මුල් පිටුවට මෙතැනින් පිවිසෙන්න 

සුප්පාදේවි අම්මා 
ශක දෙකකට විතර ඉස්සර අපි පෝලිම් ගැසී සිටියේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර  අතින් උපාධිය ලබා ගන්නටය. ඔහු අපේ කුලපතිවරයාය. නම් පිළීවෙලට පෝලිමේ සිටි මුල් ටික දෙනෙකුට මාල පළන්ඳා උපාධි  සහතික පත්‍ර පිරිනමද්දී වියපත් සරච්චන්ද්‍රයන්  වෙහෙසට පත් වුනේය. අසනීපයෙන් පසු වූ එතුමාව වාඩි  කරවා ඉන්පසු උපකුලපතිතුමා ඉතිරි පිරිසට උපාධි ප්‍රධානය කිරීම දිගටම කරගෙන ගියේය.

අපේ රණයා  පෝලිමේ උපාධිය ගන්නට කිට්ටු වනු දැක මහාචාර්ය සරච්චන්ද්‍ර අති උද්යෝගයකින් නැවත නැගී හිටියේය. ‘මෙයාට උපාධිය දෙන්න ඕනි මගේ අතින්’ . ඔහු එසේ අදහස් කරන බව අපට පෙනිණි.
රණේට ඒ අනුව මහැදුරු සරත්චන්ද්‍රම උපාධි පළඳනාව සහ සහතිකය ලබා දුන්නේය.

‘මේ අපේ ළමයින්ගේ දරුවෙක්නේ’ සරච්චන්ද්‍රයන් එසේ සිතමින් සොම්නසින් බලන සෙයක් අපට පෙනිණි. රනේ හෙවත් දැන් මහාචාර්යවරයෙකු වන රොෂංක රණසින්හ  යනු වෙන කවුරුවත් නොව සරත්චන්ද්‍රයන්ගේ සිංහබාහු  නාට්‍යයයේ  නොකඩවා වසර තිහක්  එක දිගට රඟපෑ සුප්පා දේවී හා පොතේගුරාගේ දෙටු පුත්‍රයාය. වැඩිම වාර ගණනක්  වේදිකා නාට්‍යයක රඟපෑ යුවල ලෙස ඔවුන් දෙදෙනා ගිනස් ලෝක වාර්තා පොතට ඇතුලත් වී හමාරය. 1961 සිට 1990 දක්වා වාර පන්දහසකටත් වැඩියෙන් ඔවුන් මේ භූමිකා දෙක රඟපා තිබුනේය.

ඉස්සර අපි පැනිදෙනියේ කෝච්චි පාර පැන රනේලා ගෙදර ගියවිට කොල්ලන්ගේ කාඩ් සහ  මඩපාරවල්වලට අමතරව ඔවුන් ගැන කෙටි හැඳින්වීමක් ඉදිරිපත්  වන්නේය . 'අම්මේ මේකාත් ඔය පොඩි පොඩි නාට්‍යය එහෙම කරන්න දඟලනවා. පත්තරවලට අරක මේක ලියනවා' රණේ මා දෙමාපියන්ට හඳුන්වා දුන්නේ එලෙසය.
ඒ යුවලගේ දෑස් හිතවත්කමින් දැල්වුණි. 'ඉතින් පුතා ඉතින්. බොහොම හොඳයිනේ ලියන කියන එක' . ආදී ලෙස පටන් ගත් අපේ කතාබහ ඉවර වෙද්දී මට හිතුනේ මේ මාපිය යුවල කලාව ගැන මොන තරම් උතුරන උනන්දුවකින් ආශාවකින් පසුවෙනවාද කියලාය.

දෙවන වසර  සරසවි සිසුවකු වූ ටෙරන්ස් රණසිංහට මාලිනි  හමු වන්නේ ඇය නවක සිසුවියක් ලෙස විද්‍යා පීඨයට තේරී එද්දීය. ඉතින් මේ සොඳුරු ආදර කතාව ඉදිරියට ගලා යන්නේ මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ සෙවනේ සුප්පා දෙවි හා පොතේ ගුරා විදිහටය රටේ අස්සක් මුලුල්ලක් නෑර රඟ දැක්වුණු සිංහබාහු නාට්‍ය වේදිකාවේදීය. පෙම්වතුන් ලෙසද අඹු සැමියන් ලෙසද ඉන්පසු දයාබර දෙමාපිය යුවලක් ලෙසද ඔවුහු දිගටම රඟ පෑවෝය.

මීට වසර කිහියකට පෙර රනේගේ ආදරණීය තාත්තා මිය යනවිට සුප්පාදේවි නැවතත් ජීවිත කරලියේ තනි වුවාය. ලසොවුලින් වෙලී සිය සැමියා පිලිබඳ වේදිකා මතකයන් අමතකව යන්නටත් එක්කම ඇය සිය දරුවන් දෙදෙනා ලඟට පදින්චියට ගියාය. ඒ ඕස්ට්‍රලියාවටය.

එහෙ ගිහින් කාලයක් හිටියා වුනාට මාලිනි රණසිංහ මාතාවගේ චිත්ත අභ්‍යන්තරයේ සිටි මධුර ගායිකාව හා රංගන ශිල්පිනිය තවත් මොනවා හෝ කරන්නැයි පෙරළි  කරන්නට වුවාය.
ඇය දැන් ටික දවසකට මවු රටට පැමිණ සිටී . අපේ ගැමුණුවා , ජයලත් මනෝරත්නයන් ඇතුළු සිය  හිතවතුන් සමග වෙහෙසෙමින් ඇය ආයිමත් අපිට සොඳුරු තිළිණයක් දෙන්නට ලක ලැහැස්ති වෙමින් සිටින්නීය.

තමන් කාලයක් තිස්සේ ගායනා කළ  නාට්‍ය ගීත නැවතත් ගයා රැකෝඩ් කර සී ඩී එකක් කරන්නට ඇය යුහුසුළු වෙයි. ලබන පස් වැනිදා, එය දොරට වඩිනදා නාමෙල් මානෙල් පුංචි තියටර් එකට එන්නැයි ඇය කළ ඇරයුම පිලි ගන්නට බැරි වීම මට දරා ගන්නට බැරි දෙයකි. මම එද්දී ගුවන් යානයේදී පවා ඇයගේ වදන්  මනසේ දෝංකාර දුන්නේය..

' පුතා මම වයසට ගියත් ඔයාගේ බ්ලොග් එක නොවරදවාම කියවනවා. මම ඔයාට තිළිණයක් හැටියට මගේ සී ඩී එකක් තියලා යනවා.  හැබැයි මම ඔයාගෙම අම්ම කියල හිතාගෙන මේ මට එක පොරොන්දුවක් දෙන්න ඕනි' .

මොකක්ද ආන්ටි ? මම ඇසුවෙමි.

'කම්මැලි නැතිව තව ලියල ඉක්මනට පොතක් ලියන්න. මට කියවන්න'.

ඇය මට උගන්වන්නේ වයසට නොයන ජීවිත උද්යෝගය හා මිනිස් දහිර්යය පිලිබඳ  අමරණීය කතාවයි.

සුප්පාදේවි අම්මේ ඔබට දීර්ඝායුෂ ලැබේවා!

(සේයාරුව The Island පත්‍රයෙනි )

Monday, January 13, 2014

ලෝක රස්තියාදුකාරයා

ස් එක එන්නට විනාඩි හතළිහක් තියෙනවා. සාක්කුවේ තිබු නෙල්ලි ගෙඩි ටික ඉවර වෙලා. නෙල කඩල ගොට්ටක් ගන්න සල්ලි  මදි. අලුත් සරුවත් කාරයෙක් ඇවිල්ලා . ලබන සතියේ සල්ලි ඉතිරි කරගෙන එකක් ගන්ඩ ඕනි . නෙල්ලි කෑවාට පස්සේ තොලකට සුදු වෙලා කට හිරිවැටිලා. මේ වෙලාවට ඇල්වතුර ටිකක් බිව්වම පුදුම ප්‍රනීත රහක් දැනෙනවා. කිරිහලට පිටිපස්සේ ලොකු වතුර ටැංකියට  හයි කරලා තිබ්බ ටැප් එකෙන් වතුර ටිකක් බිව්වේ ඒක මතක් වෙලා .කිව්වත් වගේ තියෙන රහ. මරේ මාරු. වතුර කරාමය ගාව එළවලු කෑලි  කුණු වෙමින් තිබුනා. වැඩිපුරම ගඳ එන්නේ ගෝවා කොළවලිනුයි කුණු රාබු වලිනුයි. ඒත් අර ලංකාවේ උසම කරපන්ටයින් ගස් ටිකත් ඇඹරෙන තරමට  එන විසේකාර හුළඟට මොන  ගඳක් වත් ඉතිරිවෙලා තියෙන් නෑ. ඈතින් ඈතට ඇදගෙන ගිහිල්ලා කන්දෙන් පල්ලහට ඌසික්ක කරනවා. ඉඳා තියා ගනිල්ලා හූඌ හූඌ කියල සද්දෙකුත් එක්කම.

සරුවත් කාරයා ගෝනියක දාපු  ලී කුඩු අස්සේ තිබිලා  අයිස් කුට්ටිය එලියට අරගෙන මන්න පිහියෙන් අයිනට පහරක් දුන්න. වෙන්වූ අයිස් පළුව අතින් ලිස්සා බිමට වැටෙන්නට නොදී වැර වෑයමෙන් අල්ලා ගන්නවා .  මේ අල්ල පනල්ලේ පුංචි පුංචි අයිස් කැලි විසි වෙලා තාර පාරට වැටෙනවා. ඒවා  දිය වෙනකන් බලා ඉන්න එකත් හරි අපුරු වැඩක්. කවුරුවත් දැක්කේ නැත්නම් සුටුස් ගල අරන් පුංචි අයිස් කැටයක්  කටේ දා ගන්න උනත් තිබ්බා. සමහර වැස්ස දවස් වල ලොකු අයිස් කැට වැටෙනවා. 
අතේ තියාගෙනම පිහියෙන් කුඩු කර ගත්ත අපිරිසිදු අයිස් කැට ටික සලං බලං  ගාල තුන්කාලේ වීදුරුවලට හරි සද්දෙන්  අත  හරිනවා. ඒක තමයි ඇඩ් එක. ඇඩ්  එක වගේ නෙවෙයි වීදුරුවක් එහෙම  බිඳිලා පලච්චිනම්.

දැන් වෙලාව දෙක හමාරයි ඉස්කොලේ ඇරිලා පැයයි . ගමට යන බස් එක එන්න තවත් පැය බාගයක් තියෙනවා. එතකං එක තැන ඉන්න බැරි එකනේ වැඩේ. සමහර කොල්ලෝ නම් රංචු ගැහිලා බස්ස්ටෑන්ඩ් එකේ ලොකු කයිවාරු. මේ සමාගමෙන් හීන් සැරේ මග ඇරලා හුදෙකලාවේ ඇවිදින්න කැමති කෙනෙකුට කොච්චරනම් බලන්න දේවල් තියෙනවද. පොළ පාර දිගේ ටිකක් ඇවිදලා අලුතින් දාපු පුස්තකාලේ බලල එනවද. නැත්නම් පාර  දිගේ උඩට ගිහිලා රීගල් එකේ  එන්න තියෙන චිත්‍රපටිවල කමින් කෑලි පින්තුර ටික බලල එනවද. ඒත් එක දවසක් එතෙන්ට යන්න ගිහින් දොඩම්වත්තේ චුට එලවගත්ත හැටි මතකයි. මල්ලිලා මේ පින්තුර බලන්නවත් එන්න එපා මේක ඇඩම්ස් ඔල්ලි ෂෝ එකක්.

ඔහොම හිත හිතා ඉන්නකොට පී ඩබ්ලිව් ඩී එක ගාව මහා සෙනගක් වට වෙලා මොකක්දෝ බලනවා. විදුලි වේගෙන් එතෙන්ට ගියාමනේ දැක්කේ . මෙන්න බොලේ දේශකයෙක් . කොන්ඩේ පිට මැද්දට කඩා වැටිලා. පිටි පස්සට පීරලා තෙල් ගාලා. හරියට අර කවියක හිටිය  ලෙව්කේ මැතිදු වගේ. ලොකු හම්  බෑග් දෙකක් ට්‍රන්ක පෙට්ටියක් බිම තියලා අමුතු අමුතු ගැජමැටික් එක එක එළියට ගන්නවා.  වෙනිවැල් වගේ වැල් ජාති , වේලාපු  මුල් කෑලි. දේව රුපයක් සුදු රෙද්දක් උඩ  තියලා  තිබ්බා. ඒකට ඔන්න මල් මාලේකුත් දැම්මා. වටේම චුටි චුටි වේවැල් පෙට්ටි වල  නොයෙක් බෙහෙත් ජාති. කහපාට රතු පාට කුප්පි. කොළ කුඩු කරලා  පුංචි පොලිතීන් පැකට් වල දාලා. එක පෙට්ටියක තිබ්බා ලස්සන බෝල බෝල ගල්. ගඟකින් අහුලා ගත්තා වගේ, පුස්කොල පොතකුත් තිබ්බා.තව කුරුළු බිත්තර වගේ මොනවදොත් තිබ්බා. මේවා පිළිවෙලකට කාටත් පේන්න තැන තැන තියෙන අතරෙත් කොණ්ඩකාරයා කට තියාගෙන ඉන්නේ නෑ. සෙනග ගෙන්නා ගන්න කතා කරනවා . වැඩිහිටි ප්‍රශ්නවලට විසඳුම් දෙනවලු ලඟට එන්නලු. ඔන්න හිටපු ගමන් ගාථා කියනවා. හඬ හරි තීව්රයි. යාර දෙතුන්සීයක් ඈතට ඇහෙනවා. මුකරි  කයිවාරු කාරයෙක්.
ඔන්න දේව රූපෙට එහෙම වැඳලා කියලා කාරිය ඇඳගෙන හිටි බාල පොප්ලින් වලට වඩිපුර නිල් දාලා හෝදපු, මැදපු නැති නැෂනල් සුට් එකත්  හරිගස්ස ගස්සා පිරිස දිහා බැලුවා හරි ආඩම්බරෙන්.

පී ඩබ් ඩී  එකේ වැඩ කරන ගෑණු පිරිමි, ඩෙලිකා වැන් රියදුරෝ ලොතරැයි කුඩුවේ මනුස්සයා. තව මහා ගොඩක් ගෑණු පිරිමි කොල්ලෝ කුරුට්ටෝ. ඉස්සරහින්ම මේ සිද්දිය ඉස්පිල්ලක් ඇළපිල්ලක් නැතිව හිතේ රැකෝඩ් කරමින් හිටි කොලුගැටයා .
කොන්ඩකාරයා රල් බුරුල් එහෙම ඇරලා බොහොම කරුණාවෙන් මෙහෙම කිව්වා.

මේ මම කියන කතා උස මහත් වෙචච උදවියට තමයි අදාළ වෙන්නේ. මම බෙහෙත් විකුනනවා සාස්තරත් කියනවා.
ඉසේ ඉඳන් කකුලේ සුලැඟිල්ලට  එනකන් හැමදේම ගැන කතා කරන්න වෙනවා.

කරුණා කරලා ඔය පොඩි ළමයි මෙතනින් යන්න. එහෙම කියනකොටම පොඩි එකාට  තේරුණා මේකත් ඇඩම්ස් ඔන්ලි මොකක් හරි වෙන්නැති කියලා. ලොකුහිටියො ටික එතන හිටිය පොඩිහිටියන්ට එතනින් ඈතට යන්න ඉඩ හදලා දුන්නා. අතින් පයින් ඇස්වලින් හැමෝම කිව්වේ පොඩි එවුන් මෙතෙන්ට ඕනි නෑ කියලා.

ඔන්න එතනින් මග ඇරිලා පාර දිගේ ටිකක් උඩහට ගියාට ආයිමත් කොණ්ඩයාගේ දේශනාව අහන්නමයි පොඩි එකාට හිත. අර බිත්තර වගේ ගල් වලින් මොන බෙහෙත්ද හදන්නේ. මේ යකා ගාව තියෙන මුල් ගොඩ.
කල්පනා කර කර කල්පනා කර කර දන්නෙම නැතිව පොඩි තැන ආයිමත් තෙල් බෙහෙත් සස්තරකාර කොණ්ඩයා ළඟ. ලොකුහිටියන්ගේ කකුල් අස්සෙන් රිංගල රවුමේ ඇතුළටත් ගිහිල්ල අහගෙන ඉන්නවා මෙලෝ සිහියක් නැතිව.

කොණ්ඩයා ඒ වෙනකොට කුප්පියක් අතේ තියාගෙන දත් කැක්කුමට දාන බින්දු දෙකේ බෙහෙතක් ගැන කියවනවා. ගෙදර ගිහිල්ල තමන්ගේ නෝනා හරි මහත්තයා ලඟට මුණ ලං කොරන්න පුළුවන් හොඳ හුස්මක් අරගන්න ඕනිනම්  මේකෙන් බින්දුවක් වතුරට දාල දියකරලා ගල් ගල් ගල් කියල කට හෝදලා දාලා .. . කියනකොටම වට වෙලා හිටිය මිනිස් පොදියේ ඉස්සරහින්ම හිටි උද්යෝගිමත් ශ්‍රාවකයා වන පොඩි එකා කොණ්ඩයාගේ ඇස්වලට මාට්ටු උනා .

කොණ්ඩයාට නහුතෙට කේන්ති ගියා. මෙතන ඉන්න වැඩිහිටි තමුන්නැහෙලටවත් තේරෙන් නැද්ද මේ පොඩි උන් මෙතෙන්ට ගෙන් නැතිව ඉන්න ඕනි කියලා?. ඔය ළමයට මම කියන එක තේරෙන් නැද්ද.? යනවද යන්න මෙතනින් මට පවු නොදී. මම නරක වචන පාවිච්චි කරන්න කැමති නෑ .
මේ කතාව ඉවර උනාම පොඩි එකා ස්වෙච්චාවෙන්ම් එතනින් පිටමන් වෙලා ඈතට ගියා.

පාරෙන් අනිත් පැත්තේ පත්තර කඩේ වවුල් කොකුවලින් එල්ලාලා තියෙන පත්තර ඉස්සි ඉස්සි කියවන්න හදනවා. දවස. වනිතා විත්ති . දිනමිණ. නවයුගය.
ඒ එක්කම අනිත් පැත්තේ කොණ්ඩයා වටකරගෙන ඉන්න මිනිස් පොදිය දිහා ඉරිසියාවෙන් බලනවා. හරියට පැණි වරකාවක් තනියම කන කොලු රැලක් දිහා බලන්නා වගේ.

ඔන්න එක පාරටම සෙනග ගොඩෙන් මහා හිනා හඬක් මතු වුනා. කොණ්ඩයා ඉල ඇදෙන කතාවක් කියල වගෙයි. හිනා හඬ  මිනිස්සුන්ගේ ඔලු උඩින්, වාහාන උඩින් ඇවිත් ගොස නගනවා.
මොන තරම් තහංචි පනවලා තිබ්බත් සබාව මේ තරම් රසවත් වෙන වෙලාවේ තමන් එතන සිටිය යුතුමයි කියා තරයේ සිතා ගත් පොඩි එකා කල්පනාවකින් තොරවම ගිහිල්ලා අර සබාවේ මිනිස් පොදිය අතරට රිංගනවා. ඒත් කොණ්ඩයාගෙන් මුවාවෙලා ඉන්නට පරිස්සම් වෙනවා.  උස මහත මිනිස් කකුල් අතරේ නිල්පාට කොට කලිසමක් ඇඳගෙන හිටිය පොඩි එකාගේ කකුල් දෙක කොණ්ඩයාගේ ඇස ගැහෙන්නේ ඔහු පිරිස හිනා ගස්වමින් වටයක් ඇවිදිද්දී.
එක්ෂණයකින් කතාව නවත්තපු කොණ්ඩයා  පොඩි එකාට ඉස්සරහින් හිටිය වැඩිහිටියා අහකට තල්ලු කරලා පොඩි එකාගේ අතින් අල්ල ගන්නවා.
පොඩි එකා දුවන්න හදනවා.
‘බයවෙන්න එපා ළමය එන්න. මෙතනින් හිටගන්න’.
දැන් ඔන්න  සාස්තරකාර තෙල් බෙහෙත් වෙළෙන්දාගේ වේදිකාවේ කුප්පි බෙහෙත් මලු දේව රුප මදිවාට දැන් ඉස්කෝලේ  කොල්ලෙකුත් ඉන්නවා.

පුතා දැන් දෙපාරක් මම එලවලාත් ආයෙම ආවනේ. කමක් නෑ. මම වැඩිහිටියන්ට බෙහෙත් දෙනවා විතරක් නෙවෙයි මට සාස්තර කියන්නත් පුළුවන්. ඔහු කරුණාවන්ත හඬක් මවාගෙන කියවයි.

මම මේ ලඟදි බදුල්ලේ උසාවියේ නඩුවකට ගියා මගේ නෙවෙයි නඩුව තිබ්බේ නෑදෑයෙකුගේ . මම  නිකන් බලන්න ගියා. ඔන්න නඩු කාරයා විඩෙන් විදේ මගේ දිහා බලනවා. පස්සේ නඩුව ඉවර උනාම රාලහාමි කෙනෙක් මට ඇවිත් කියනවා නඩුකාර උන්නාසේ මාව හම්බ වෙන්න කැමැත්තෙන් ඉන්නවලු. දෙයි හාමුදුරුවනේ මගේ කකුල් දෙක වෙව්ලනවා. පොලිස් ජීප් එකේම නැගලා ගියා නඩුකාර බංගලාවට . මම එනකන් උන්නැහේ ඉස්තෝප්පුවට වෙලා බලන් ඉන්නවා . මම බයෙන් බයෙන් වාහනෙන් බහිනකොටම . ‘බය වෙන්න එපා මම අවුරුදු ගානක් ඔබතුමාව හෙව්වා’ කියාපි.
එතකොටම මට එක පාරටම ඒ මුණ මතක් වුනා.

ඊට අවුරුදු තිහකට විතර ඉස්සර  නඩුකාර උන්නාන්සේ චුටිකාලේ මෙන්න මේ ළමය විතර කාලේ උන්නැහේගේ අම්මත් එක්ක පාරේ යනවා දැකල මම පොඩ්ඩක් කතා කරා . ඇස්වහක් කටවහක් නෑ  මම මේ ළමය ගැන පොඩි අනාවැකියක් කියන්නද?

අනේ ඒ ආඩම්බරයක් උද්දච්චකමක් නැති අම්මයි ළමයයි මගේ ගාවට ආවම මම කිව්වේ මොකක්ද දන්නවද?

මේ ළමය පින්වන්තයි. ලොකුම උගතෙක් වෙනවා . කවදාහරි දවසක නඩුකාර උන්නාන්සේ කෙනෙක් වෙනවා වෙනවාමයි.

ඉතින් ඒ ළමය තමයි අර නඩුකාර බංගලාවට මාව කැඳවලා තෑගී බෝග දීල සත්කාර කරේ.

දැන් මේ ළමයටත් මම කියන්නද නොවරදින අනාවැකියක්.
හැමෝගෙම ඇස්  පොඩි එකා දිහාට දික් උනා. පොඩි එකාටත් ආඩම්බර හිතුනා.

'මේ ළමය නොම්මර එකේ කපටියෙක් . පොත් කාරයෙක් . කවදාහරි ලෝක රස්තියාදුකාරයෙක් වෙනවා. වෙනවාමයි.

මේ උසුළු විසුළු කිරීමක්ද සහතිකෙන්ම කියූ දෙයක්දැයි විපිළිසර වෙලා හිටපු ජනතාව ඉන් පස්සේ බුලත් කසට පිරිච්ච දත්, බෝල්ලෑ දත්, දත් හැලුණු හිල් ඔලින් යුක්ත වූ කටවල්වලින් හැක හැක ගගා හිනා වෙන්න පටන් ගත්තා

පොඩි එකා එදා ඉඳන් හිතා ගත්තේ තෙල් බෙහෙත්කාර සාස්තරකාරයාටයි එදා හිනාවෙච්චි කාට කාටත් පාඩමක් උගන්වන්නත් එක්ක අර  අනාවැකිය බොරු කරනවා කියලා.

ඒත් දැන් පොඩි එකා නෙවෙයි,තලත්තෑනියෙක් වෙලා ඉන්න මේ මනුස්සයා ලෝක කපටියෙක් කියල කවුරුත් දන්නවා. තව මේ අවුරුද්දේ පොතක් ලියලා පොත් කාරයෙක් වෙන්ටත් ඒ මදිවාට ලබන අවුරුද්දේ ලෝක රස්තියාදුවක්‌ පටන් ගන්නත් හිතාන ඉන්නවා.

කවද්ද අප්පේ සාස්තර කාරයෝ කියපුවා බොරු උනේ ?

(චිත්‍රය ඇන්දේ ඔවිනි )

Monday, January 6, 2014

සොඳුරු මුස්පේන්තු දවස්

ගිය අවුරුද්දේ ජනවාරි පළමුවැනිදාට එලි වෙද්දී මම පුපුරා හැලෙන කේන්තියෙන් යුතුව නගරයේ ගොඩනැගිලි අතරේ ඇවිද ගොස් මාගේ නවාතැන්පොල පිහිටි මහල් ගොඩනැගිල්ලේ විදුලි සෝපානයේ බොත්තම එබුවෙමි. විදුලි සෝපානය පහලට එනතුරු  මම කල්පනා කරමි.

'දැන් නම් මිනිහ දොර අරියි. ඇරපු ගමන් බනින්න පටන් ගන්නවද නැත්නම් ඉස්සෙල්ලාම හැපි  නිව් ඉයර් කියලා ඊට පස්සේ හෙමින් සැරේ බනිනවද ?. කොහොමත් එලවන්න ඉන්න මනුස්සයානේ. හැබැයි මම එක පාර කඩා පැන්නොත් එච්චර ඩීසන්ට් නෑ වගේ. අනිත් අතට අද ජනවාරි පළවෙනිදා .ඒත්  මොන එහෙකට කාරුණික වෙනවාද අලුත් අවුරුද්දට එලි වෙන දවසේ තමන් එක්ක එක නවාතැන්පොල බෙදාගෙන ඉන්නා සගයා රෑ රාත්‍රියේ ඉන්න හිටින්නට තැනක් නැතිව වීදි පුරා රස්තියාදු කරවූ  මිනිසා පිලිබඳ බුර බුරා නැගෙන කෝපාග්නියෙන් මම විදුලි සෝපානයෙන් බැස ගොස් ගෙදර දොරට තඩි බෑවෙමි.

දෑස් පුංචි කරවාගෙන ප්‍රභාමත් සිනහවකින් මුව සරසාගෙන ඔහු පැමිණ දොර ඇරියේය. ' ගූඩ් මොර්නින්ග්' විශ් යු අ වෙරි හැපී නිව් ඉයර්.

මම හිනා නොවුනෙමි . හැපී නිව් ඉයර් . සැරෙන් කියලා දැම්මෙමි.
බ්‍රාහ්මණයාගේ මුහුණ තාම ප්‍රසන්නය. මගේ මුහුණ තව තව අඳුරු වී රැයක් මුළුල්ලේ හිතේ  ඇවිලුණු කේන්තිය  වාන් දැම්මේය.

'අභිෂේක්  මොකක්ද කරපු පාහර වැඩේ . ඊයේ රෑ මම දොර ඇර ගන්න බැරිව කොච්චර තඩි බාවාද . සිය වතාවක් ඔහෙට කියලා ඇති ඇතුලෙන් යතුර ලොක්  එකේ හිර කරලා නිදා ගන්න එපා කියලා , මගේ අතේ යතුරක් තිබිලා වැඩක් නෑනේ. ඔහේ ෆෝන් එකට ආන්සේර් කරන්නේ නෑ .ගෙදර ෆෝන් එක උස්සන් නෑ . මම පැයකට වැඩිය දොරට තඩි බාල හතර අතේ ඇවිදලා යන්තම් ග්‍රහම්ගේ ගෙදර ඇල වෙලා ඉඳලා මේ ආවේ. ඒ මිනිසුන්ටත් වදේ . ඊයේ ඇඳගෙන හිටපු ඇඳුම පිටින්. බලනවා දැන් මන් වැඩට යන්න ඕනිනේ.  දොරේ බෙල් එක කැඩූනෙත්  ඔහේගේ අතින්නේ. කියන්න කනගාටුයි. මම කවුරුවත් ගෙදර නවත්තගන් නැතිව ඉන්න තීරණය කළා. අදම තැනක් හොයා ගන්න.'

අභිෂේක් පස්සෙන් පස්සට ගියේය. ඔහුගේ සුදු තට්ට හිස හා මුවවත වෙවුලා ගියේය . ඉක්මනින් කාමරයට දිව ගියේය.මොබයිල්  ෆෝනය උස්සගෙන ආවේය.

දෙයියනේ ඔයා මට මිස් කෝල් හතලිස් දෙකක් දීලා. ඊයේ රෑ හෝ ගාල කෝල් එන නිසා මම සයිලන්ස්  එකට දාල තිබ්බේ.. අනේ දෙයියනේ මම හොඳටම නිදාගෙන හිටියේ. . අනේ සමාවන්න සමාවන්න. මම අදම දොරේ බෙල් එක හදවනවා.
ඔහු ඉදිරියට පැමිණ යටහත් පහත ලෙස මගේ අත්  දෙකම අල්ලාගෙන කඳුළු පිරිච්ච දෙනෙතින්  මා දෙස බලා හිටියේය. ඉන්පසු වතුර කෙතලයේ ස්විචය දමා ' මසාල ටී ' එකක් හදන්නදැයි ඇසුවේය.

කේන්තිය නිවී  නොගියා උනාට මම අභිෂේක්ගේ හැසිරීම දෙස සැටියේ  වාඩි වී නිසොල්මනේ බලා සිටියෙමි.

මුව එලවනවද ? අනික මේ යකාටත් නවාතැනක් හොයාගන්න මෙච්චර අමාරුවක් නෑනේ. ඉංජිනේරුවෙක් වෙච්ච මේ මිනිහා වැරැද්ද බාරගෙන පිටවෙලා ගියානම් මට සහනයකි.

ඔහු වෙත මා එල්ල කළ වාග් ප්‍රහාර කිසිවකට උරණ නොවී ඔහු මා සමග එකම නවාතැන්පොලේ ඉන්නට තීරණය කල සෙයක් පෙනේ. ඔහුත් ආපිට බැන්නානම් එකකි.
උණු උණු මසාල තේ එකක් සහ කුකීස් පිරිසයක් මා ඉදිරියේ තබා ඔහු  තවත් ලොකු තේ කෝප්පයක් අතට ගෙන මා ඉදිරියේ බයාදු ලෙස ඉඳ ගත්තේය.

ඔහුගේ මුහුණේ ඇත්තේ සමාව ඉල්ලීමේ අවිහිංසක බව පමණි. යතුර ඇතුලේ කවුලුවේම තියන්නට එපා යැයි මම මේ මිනිහාට කී දවසක්  කිව්වාද. ඊයේ හවස අලුත් අවුරුදු පාටියට එන්නත් අදි  මදි කළ  අභිෂේක් කලින්ම නිදා නිදා ගන්නට ඇතැයි  මමසිතුවෙමි.
කොහොමින් කොහොම හරි 2013 ජනවාරි පළමුවෙනිදා ආරම්භ උනේ මේ විදිහේ මුස්පේන්තු විලාසයකිනි. ඒත් එලවන්නට බලා සිටි මගේ කුලී ගෙදර හවුල්  කාරයා මා කළ  කී දෙයින් උරණ වෙනවා වෙනුවට මේ අභියෝගයත් ජයගෙන අවුරුද්දම මා සමග සිටින්නට තීරණය කළේය.

රට රස්සාව කරන කාලයේ මා පමණක් නතර වී සිටි නිවසේ අතිරේක කාමරය ප්‍රයෝජනයට ගත්තේ පාසැල් නිවාඩු කාලවල පැමිණෙන පවුලේ උදවිය හා ඉඳ හිට පැමිණෙන මගේ යහළු මිත්‍රයෙක් පමණකි. අනිකුත් දවස්වල බොහෝ සෙයින් වැසී තිබු මේ කාමරය බෝඩින් කාරයෙකුට දෙන්නට මම තීරණය කෙරුවෙමි.

මගේ හිත මිතුරෙකු දුන් ආරංචියකට අනුව කාමරයක් සොයාගෙන අභිෂේක් අපේ ගෙදර ආවේ මේ අතර වාරයේය. වෙජිටේරියන් කෙනෙකු වූ ඔහු ඉතා දැඩි ආගම භක්තිය ඇති පුද්ගලයෙක් විය. මේ නිසා මම මස් මාළු ඉව්වෙත් කෑවේත් ඔහු නිවසේ නැති වෙලාවක් බලාගෙනය. ඔහු වෙනුවෙන් මගේ සුහදත්වය පල කරන්නට මේ ආකාරයේ කැප කිරීම් මහා ගොඩක් මම කර තිබියදීත් ජනවාරි පළමුවැනිදාට එළිවන රාත්‍රියේ මට ගෙදර එන්නට බැරි විදිහට දොර අගුළුලා බුදියාගත් නොසැලකිලිමත් සගයා ගැනඋපන් කේන්තිය මම ඉවසා සිටින්නේ කෙසේද?

මම ඔහු සාදා දුන් තේ එක බොද්දීත් කල්පනා කලේ එයමය.
2013   ජනවාරි පළමුවැනිදා සිට මාස දහයක් යනතුරු මට අභිෂේක් ගෙදරින් එලවා දමන තීරණය දැනුම් දෙන්නට බැරි විය. ඒ අතරේ සතියකට එක වතාවක් හෝ ඔහු ජනවාරි පළමුවැනිදා ඔහුගේ අතින් වූ අත් වැරැද්ද ගැන මගෙන් සමාව ඉල්ලුවේය.
දිනපතා  ඔහුගේ රස්සාවේ ප්‍රශ්න, ගෙදර අලුත් තොරතුරු මා සමග බොහෝ මිත්‍රශීලී ලෙස කතා බහ කළේය.
තමන්ගේ අවුරුද්දේ රස්සාව අවසන් කර නොවැම්බර් පළමුවැනිදා ඔහු සිය රට බලා යද්දී මට ප්‍රියේහි විප්පයෝගී දුක හොඳටෝම දැනුනේය.

මේ වාගේම අකරතැබ්බයක් මීට අවුරුදු විස්සකට කලින් 1993 ජනවාරි පළවනිදාද මට සිද්ද විය. පේරාදෙනි ජේමිස් පිරිස්‌  ශාලාවේ මගේ කාමරයට අමුත්තෝ  කිහිප දෙනෙක් පැමිණ සිටියහ. ඒ අනෙක් ශාලාවල සිටි අපේ මිතුරන් කිහිප දෙනෙකි. දෙසැම්බර් 31 රැබෝ වන තුරු සතුටු සාමීචියේ යෙදී  සිටි අපි හැමෝම එකම කාමරයක නින්දට ගියෙමු. ඇඳන් උඩ  දෙන්නයි. බිම ඇතිරූ මෙට්ටවල දෙන්නයි. ජනවාරි පළමුවැනිදාට එළිවන පාන්දර මට දැඩි දිය පිපාසයක් ඇතිවිය. බිම නිදා සිටිනවුන් අමතක වී සිටි මම කළුවරේ ඇඳෙන් බිමට අඩිය තබනවාත් සමගම එකෙක් අමු තිත්ත කුණු හරුපයක් කියාගෙන කෑ ගැසුවේය. දෙයියනේ මම කළුවරේ අඩිය තියලා තිබ්බේ බිම නිදාගෙන සිටි අපේ රූමාගේ බෙල්ල උඩය. නින්දෙන් ඇහැරවුවහොත් මොන එකා සමග හෝ දබරයට යන රූමා එදා හැන්දෑ වනතුරු මා සොයමින් ඇවිද්දේ නින්දෙන් ඇහැරවා බෙල්ල පැගු පලිය අතින් පයින් බේරා ගන්නටය.

2014 අවුරුද්ද උදා වූ පසු මට පළමුවෙන්ම මතක් වූ මුහුණ අභිෂේකගේ මුහුණයි,  දෙවැනි මුහුණ 1993 අවුරුද්දේ ජනවාරි පළවැනිදා මට පහර දෙන්නට කොරිඩෝර දිගේ අඩ නින්දෙන් පන්නාගෙන ආ රූමාගේ මුහුණයි.

ඔබේ ජනවාරි පළමුවනිදාත් මුස්පේන්තු එකක් වුනා කියා කලබල නොවන්න . අවුරුද්ද සුන්දර කර ගැනීමට ඔබට තවත් දවස් 364ක් ඉතිරි වී තිබේ.

ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා !!