Sunday, September 29, 2013

භීෂණයේ මල් පෝච්චි


කොළඹ පොත් ප්දර්ශනේ බලන්න යන්න මොන තරම් ආශාවෙන් හිටියද? ඒත් අගෝස්තු මාසේ ඉවර වෙන්න කලින් ආයෙත් රට රස්සාවට  ගාටන්න වුණායින් ඒක මේ අවුරුද්දේ හීනයක් විතරක්  උනා.

පෙරෙය්දා  හැන්දෑවේ වැඩ ඇරිලා ඇවිල්ල වැඩි වෙච්ච අර්ද්රවතාවයයි අඩු වෙමින් යන උෂ්ණත්වයයි ගැන හිත හිතා සැටීයේ පත බැවිලා  ඉන්නකොටම මේදිස් ආවා.

මිනිහා ලංකාවට ගිහින් .පොත් ගේන්නම.

මෙන්න උඹේ සමකාලීනයෙක් ලියපු පොතක් . යාළුවා මට තෑග්ගකුත්  ගෙනල්ලා.

'භීෂණයේ මල් පෝච්චි '

මොකක්ද බොලේ ඒ නම. භීෂණයයි මල් පෝච්චියයි ගැලපෙනවද? හරියට උළුඳු වඩෙයි පිච්ච මලයි වගේ අනේ මන්ද?

පොතේ තිබ්බේ කෙටිකතා හතක එකතුවක්. ඔක්කොම  භීෂණ මිලිටෙරියට  බයේ හැංගී හැංගී  ජීවත් වෙච්චි ඒ පැත්තටවත් මේ පැත්තටවත් හේත්තු වුන් නැති කොලුවෙක්ගේ කතා. ඒ මදිවාට ඌ වහදාපු සරසවියක බාගෙට ඉගෙනගත්තු එකෙක්.
මේ හාදයාට නොයෙකුත් හේතු නිසා ජීවිත අවදානමක් තිබිලා තියෙනවා ඒ කාලේ හැම කොල්ලෙකුට කෙල්ලෙකුට වාගේම.  මු කාලයක් ටිකක් රැවුල වවපු, රස්තියාදු ගහන , පොත් පත්තර කියවන්න බර ඔල මොට්ටලයෙක්. ඔය ඔක්කොටොම වඩා භයානක වැඩේ මුගේ තාත්ත වාමාංශිකයෙක්.

මේ අහලා එපා වෙච්ච තේමාව හැම කතාවකම කියවුනා . ඒ හින්දාම කතා ටිකක් ඒකාකාරියි. ප්‍රචාරාත්මකවාදියි. අවුරුදු විස්සකට වැඩිය  හිතක හංගාගෙන හිටපු ,නුල් ඉහිරුණු, පුස් කාපු ලේන්සු කෑලි වගේ. ඒ හැටි කළ  එළියක් නෑ , හරියට අර තැනින් තැන කැලි පිච්චිලා ගිය මුල් කාලේ ඊස්ට්මන් වර්ණ චිත්ර්පටියක් වගේ.

ටිකක් හරි හිතට අල්ලාපු කතා දෙකක් තිබ්බා. එක කතාවක තිබ්බේ ගෙදර ආරස්සාවක් නෑ කියල හිතාන කොලුවා ගිහිල්ල කොළඹ නෑදෑ ගෙදරක හිටපු කාලයක් ගැන.

එහෙ ඉතින් පොඩි උන්ට පාඩම් කියා දිදී ගේදොර වැඩ පලට උදවු වෙමින් වහපු සරසවියෙ  මානවකය ඉන්නේ විච්කිච්චාවෙන්. රැට  නින්ද යන් නෑ. මිලිටෙරි  වහනයක් නතර කරනවද බයේ  ඉන්නවා. ඔහොම ඉන්නකොට නෑයාගේ  තව නෑයෙක්ගේ පුතෙක් ඒ ගෙදර නතර  වෙන්න එනවා. ටික දවසකට. මිනිහට මිලිටෙරියෙන් කාලෙකට පස්සේ නිවාඩු දවස් දහයක් හම්බ වෙලා. ගෙදර ගිහින් හිටියේ දවසයි. ගෙදර ඉන්න බයයි. කොළ කෑලි වලින් තර්ජන ලැබිලා.

ඉතින් නිවාඩුවේ ඉතිරි ටික ගෙවන්න මිනිහත් එන්නේ අර දුර නෑදෑයගේ  ගෙදරට. එදා  සරසවි මානවකයටයි මිලිටෙරි  මානවකයටයි නිදා ගන්න හම්බ වෙන්නේ එක ඇඳක. දෙපැත්තට ඇරිලා කතාවක් බහක් නැතිව නිදා ගත්තට රෑ රාත්රි යේ පොඩි සද්දයක් ඇහුනත් දෙන්නම සුරුස් ගාල නැගිටලා විපරම් කරනවා. මිලිටේරි කාරයා බයයි  සහෝදරයෝ එයි කියල. අනෙත් හාදයා බයයි මිලිටේරි වහනයක් ඇවිල්ල කුදලාගෙන යයි කියල. පස්සේ බැරිම තැන දෙන්නත්තෙක්ක එලි වෙනකන් නිදා ගන්නේ  නැතිව අඳ උඩට වෙලා කතා කර කර ඉන්නවා. ඒක තමයි. කතාව.

අනෙක් දිග කෙටි කතාව තමයි අර පොතේ මාතෘකාවට දාල තිබිච්ච එක. 'භීෂණයේ මල් පෝච්චි '
ගරෙජ්වල පොඩි රස්සා කරලා, පාරවල්   හදන තැන් වල ඉඳලා හිටන් කොලුවා අරෙහෙන් මෙහෙන් වහන් වෙලා ඉන්න බැලුවත් හිතට හරි ගියේ නෑ . හොඳම ආරස්සාව තියෙන්නේ ගෙදරයි කියල ආපහු ගෙදරම ආව.

ගෙට පහල ලිඳ ළඟ කැන්ද ගස්, බීරියා ගස් වලින් මුවා වෙච්ච පුංච් පාත්ති ටිකක් ළඟ මේ හාදයා එළවලු වවන්න පටන් ගත්තා. ඒ අතරේම හිත ගියා රෝස මල් වවන්නත්. පොලිතින්  මලු වල හදපු වල් රෝස පැලවලින්  දළු රිකිලි දෙක තුනක් ආවම හොඳ වර්ගයකින්  කිනිත්තක් බද්ද කරනවා.නොයෙක් පාට වල රෝස වර්ග. මේ ෆෙයාර්. කියයි බ්ලු  මුන් කියයි, පපා මිලාන්ඩ්, මමා මිලාන්ඩ් අරකද මේකද .  සමහර ඒවා රතු පාට රෝස මලේ කළු පාට තිත් තිත් වැටිලා, එකක සුදු මලේ රතු ඉරි ඉරි. කොහෙන්ද මුට මේ එක එක රෝස ජාති හම්බ වෙන්නේ?.  සුරංගනාවියක් උනත් දීලා යනවා වෙන්න පුළුවන්.

පැලවෙලා මල් එන රෝස පඳුරු  සිමෙන්ති පෝච්චි ප්ලාස්ටික් බේසම් පොහොර උර වල ඉන්දලා  ගේ වටේට ගිහින් තියන්නේ ගොම්මන් වැටුනාම. ගේ ලඟින් යන බස් වල ලොරි වල ඉන්න හුදී ජනයා  දකිනවා දවසින් දවස ඉස්මතු වෙන සොඋම්ය මල් පෝච්චි ටික.

එත් මේ මල් පැල  දිහා හීනි සන්තොශේකිනුත් ඊටත් වඩා හද කඩා යන ශෝකයෙනුත් බලා හිටි තුන් දෙනෙක් හිටියා. කොලුවාගේ මවුපියෝ හැරුනම අල්ලපු ගමට දීග ගිය අක්කණ්ඩි. මේ තුන් දෙනාම රැ  තුන්යාමේ නිදි මැරුව. තුන් දෙනාගේම මුණු සුදුමැලි වෙලා. නින්ද ආවේ දවල් කෑමෙන්  පස්සේ පොඩ්ඩක් වෙලාවක් ඉතරයි. අක්කා දවල් දවස ගත කරේ ගෙවල් දෙක අතරේ පාරේ. කන්ද උඩින් සැක කටයුතු වහනයක් එනවනම් වෙනත් හෝඩුවාවක්  ලැබුනානම් හොඳ සෝදිසියෙන් හිටි අක්කා කැලෑ  පාරෙන් සිය බාල සහෝදරයා වහන්ගන්නාගෙන තමන්ගේ ගෙදරට එක්කාගෙන යනවා. කොලුවාගේ බොහේ රාත්රීන් ගෙවුනේ අක්කාගේ සෙවනේ.

වියවුලක ලකුණක් නැති  දවස් වල කොලුවා ගෙදරම නතර වුනා.
එහෙම දවසක, රැ  දෙගොඩ හරි ජාමේ,  මුළු ගම්මානෙම බය බිරාන්තව කලින්ම පොරවාගෙන නිදා හිටි රැ මැදියමක, නිදා නොගෙන හිටි තාත්තලා බෝහොමයක් හිටි වෙලාවක, කොලුවාගේ තාත්තාට ඇහෙනවා බර වහානයක් ඈතින් කන්ද බහිනවා. දැන් ටික ටික කිට්ටු වෙනවා. ඒ හඬ කොළ පාටයි.  මලකඩ ගඳයි.

දැන් ගේ පහු කරගෙන පහලට යනවා. සතියකට දෙතුන් දවසක් මහා රාත්‍රියේ මේ වගේ වාහන ගේ ලඟින් යනකන් හදවත ගැහෙන එක හුස්ම ගන්න එක නවත්තගෙන හිටියත් වාහනේ ඈතට ගියාම ආපහු හිතට සැහැල්ලුවක් දැනෙනවා.

මේ අම්මයි තාත්තයි එදත් පපුව නැවතිච්ච තෝන්තුවෙන් පස්සේ ආයේ සැනසුම් සුසුමක් හෙලුවා. මොකද වාහනේ හීන් සීරුවේ ගේ පහු කරගෙන ගියානේ කියලා . ඒත් නෑ . කන්ද බැහැලා  ගිය ලොකු වහානය ආයෙම හරවාගෙන එනවා. අමාරුවෙන් කන්ද නගිනවා. හඬ කොළ පාටයි . ඩීසල්  ගඳයි .

ආයිමත් ගේ පහු කරගෙන උඩහට ගියාම හුස්ම ගන්නම් කියල හිතාගෙන අම්මයි තාත්තයි හුස්ම නතර කරගෙන බලාගෙන හිටියා. දැන් කොලුවත් ඇහැරිලා.

අනේ වාසනාවන්  ඒක ගේ පහු කරන ගියා.
ඒත් ....

යාර සීයක් විතර ගිහින් එක පාර නතර උනා. කකුල් අටක්  දහයක්  ලොරියෙන් බිමට පාත් වුනා. යකඩ  අඩි තියෙන අලුත් සපත්තු. ඒ අඩි හදවත් තුනක් උඩින් බරට තිය තියා ගේ ඉනි වැට පනිනවා. දැන් ඒ බර කළු පාට අඩි ගේ ඉස්සරහ මිදුලේ.

රොබෝවෙක් වගේ නැගිටින කොලුවා ගේ පිටිපස්සේ දොර ලඟට කිට්ටු කරනවා. සද්දේ නැතිව දොර ඇරලා කැලෑ  පාරෙන් අක්කලා ගෙදරට. පිටුපස දොරට කිට්ටු කරද්දී  අම්ම පිටි පස්සෙන් තාත්තා  ඉස්සරහින්.  තාත්තා කුස්සියේ දොර ඇරලා දෙන්න හෙමින් හෙමින් වෙවුලන අත තියනවා අගුලට.

එකපාරටම ඔක්කොටොම කරන්ට් එකක් වැදුනා වගේ වුනා .

පිටිපස්සෙ දොර ලඟත් යකඩ සපත්තු හඬ.

ගෙය් කුස්සියේ මිනිස් ගුලි තුනක්. එකිනෙකාගේ  කෙෂනාලිකාවලින් රුදිරය ගලාගෙන යන හැටි දැනෙනවා.
විශ්වයේ අහඹු මානුෂික සුසංයෝගයේ නිමවුම් තුනක්, එක්ව හිඳින අවසාන තත්පර කීපයද මේ.?

දැන් දැන් නැගිය හැකි   ඇඟ හිරි වට්ටන   ‘ටක් ටක්’ හඬකින් ඉස්සරහ දොර හෝ පසුපස දොර දෙදරුම් දෙද්දී හදවත් පැලී යන්නට ඉඩ තිබුනා.

තත්පරයක් ගෙවුනා. දෙකක් ගෙවුනා.. මල් පෝච්චි පෙරලෙන හඬ, බුට් සපත්තු එහෙ මෙහෙ ඇවිදින හඬ මිස වෙන කිස්ත් ඇහුනේ නෑ .

කල්ප කාලාන්තරයක් සේ දැනුණු  විනාඩි දෙක තුනකට පසු සියල්ල නිශ්ශබ්ද වී ගියා. සපත්තු අඩි හඬ මැකී ගියා. තවත් ටිකකින් බර වහනය පිටත් වුනා. මිනිස් ගුලි තුන තුරුළු වූ ගමන්ම ටික වෙලාවක් එහෙන්මම හිටියා.  එකිනෙකාගේ ස්නායු පද්දති සම්බන්ද වී තිබුනා.  ආයේ විසිරුණා. කතා නොකරම තම තමන්ගේ ඇඳන් වලට ගොස් ඇද  වැටුනා.

පහුවදා බලන විට මිදුලේ රෝස මල් පෝච්චි බාගෙට බාගයක් අතුරුදන් වෙලා  වගේ කොලුවාට දැනුනා. එදා සිට සෑහෙන කාලයක් යනතුරු  ඔහු රෝස පැළයක් දිහා උනන්දුවෙන් බැලුවේ නෑ .

**
මේ දෙවැනි කතාවත් කියවා  ඉවර වෙලා මම  මේදිස්ට ඔරෙන්ජන් බාර්ලි එකක් වත් දෙන්න ඕනිනේ කියල නැගී හිටියා. මිනිහා කොහෙවත් හිටියේ නැ . වෙනදා ගමේ ගිහින් එනකොට නොවරදවාම ගෙනෙන කළු දොදොල් පට්ටෙවත්  සිංහල අච්චාරු බෝතලෙවත් පෙනෙන්න තිබුනේ නෑ .ඌ  නොකියාම  යන්න ඇති, මම පොතටම  ඇලිලා හිටි වෙලේ.

ආපහු උන්නු තැනටම ආවේ පොතේ ඉතිරි ටික කියවන්න හිතාගෙන . ඒත් ඒ ගමන පොත අතුරුදන් වෙලා. කොහෙවත් තිබ්බේ නෑ . ශේහ් අඩු ගානේ ලියපු එකාගේ නමවත් බලාගන්න බැරි උනානේ.

මම තාම පොත හොයනවා.

(සේයාරුව දෙව්නිගෙන්)

Thursday, September 19, 2013

මගේ දැලි රැවුල


පේ ගේ ඉස්සරහ  ජනේලය ඇරිය හැටියේම පෙනෙන චුට්ටන් උණ  පඳුර   විසිරුණු  කොළ වට්ටියක් දරාගෙන බට බට බට ගොන්නක්  උඩට විහිදුවාගෙන සිටියි. එය විසිතුරු මල් කඩයකින් මිලදී ගෙනත් ඉන්දුවේ දැන් අවුරුදු හය හතකට ඉස්සරය. මේ උණ පඳුර පේන මානයේ සිට සෙල්ලම් කරන්නට  අපේ දෝනියන්  කැමතිය.

ලොකු  දෝනී  දෑවුරුදු ළදරියක්ව සිටියදී අප කොහේදෝ යද්දී පාර අයිනේ ළඟ ළඟ පේලියට උණ  බට හිටවා පිදුරු සෙවිලි කර තිබු එළවලු කඩයක් ළඟ නතර කරන්නයි ඇවිටිලි කළාය . ඉන්පසු බොහෝ වෙලාවක් උණ බට අල්ල අල්ලා  කොහේදෝ චමත්කාර ලෝකෙකට ගිය ඇය එතැනින් ආපසු ආවේ සැහෙන වෙලාවක් අරගෙනය.උපතින්ම ලැබුණු උරුමයක් සේ ඇයට උණ ගැන උනක් තිබේ, ඉතින් ඇය ගෙදර වත්තේ කුඩා උණ පඳුර  ලඟට යන්නට ආසා කිරීම අහන්නත් දෙයක්ද?
ඒත් ඇයට උණ  පඳුර ළඟටම යන්නට අවසර නොලැබෙයි. දවසක් උණ පඳුර අස්සේ සිට එලියට ඇදී ආ ගැරඬි පැටියෙකු අපේ රඹුටන් ගහේ  සිටි ඇටි කුකුලා පාත් වී ඩෑහැ ගන්නා හැටි ඇයද දුටුවාය. ඒ නිසා සෙල්ලම් බෝලයක් උණ  පඳුර ලඟට ගියත් ඇය තනියම ගොස් ඇහිඳ ගන්නේ නැත.

උණ  පඳුරක් හෙවනේ ගහල කොළ ගොල්ලේ සැඟවුණු වෛවර්ණ රබර් බෝල මෙන් උණ පඳුරු හා මුසු වූ මගේ කතන්දර සැඟවී තිබෙයි, මම ඒවා කාටත් හොරින් වරින්වර බලා අල්ලා චමත්කාරය විඳ  ආයෙමත් එතැනම දමා එන්නෙමි.

ඉන්දියාවේ කේරලයේ රාජ්‍ය බම්බු සංස්ථාව කියා එකක් තිබේ. උණ  බම්බු වලින් සෑදු අත්කම් කැටයම් පමණක් නොව ගේ දොර බඩු මුට්ටු  පවා බොහෝ සෙයින් තිබෙන එරට වාසී මාගේ මිතුරකුටද  උණ ගැන මහත් උනක් තිබේ. ඔහුගේ ගම්මානෙය් ගඟ අවට තිබුණු අනන්තවත් උණ පඳුරු ගැන ඔහු නිතර කියවයි. ගිය අවුරුද්දේ  ඔහු මට ලස්සන උපන් දින කාඩ් එකක් දුන්නේය. උණ පඳුරු හෙවණක වාඩි  වී දරුවෙකුට කිරි දෙන මවකගේ සෙනෙහබර මුහුණකි. ඊට දකුණු පැත්තේ මෙසේ ලියා තිබිණි.

'ඔබ අඬද්දී අම්මා සිනාසුන එකම දවස ඔබ උපන් දිනයයි
ඔබට සුබ උපන් දිනයක් වේවා!!.

මේ කතාව මම කොතෙක් වාරයක් කියවා තිබුණත් අම්මා ගැන කතාවත් උණ පඳුරු වල කතාවත් එක සැරේ මතක් වෙද්දී හීන් සැරේ මුවට හිනාවක් නැගුනේය. ඔය කතාව ඇත්තම නොවෙයි.මම ඉකි ගසා හඬද්දී මාවත් තුරුළු කරගෙන අපේ අම්මා හිනා වුනු තව දවසක් තිබු බව මම දැන සිටියෙමි.

අවුරුදු කාලය ලං වෙද්දී අපේ අයියලා මේරු උණ  ගසකින් පුරුක් තුන හතරක් කපා ගෙනෙන්නේ  උණ වෙඩිල්ල හදන්නටය. අවුරුද්ද පුරා සතෙන් සතේ එකතු කළ පුංචි මැටි කැටය බිඳ සල්ලි එක්කාසු කර ලාම්පු තෙල් කඩෙන් ගේන්නේ උණ  වෙඩිල්ල පණ  ගැන්වීමටය.
කාල තුවක්කුවක් අටවන්නාක් මෙන් ලී කරුවක් උඩ උණ දණ්ඩ  රඳවා ගත් විට. එහි එක කොනක් බිමය එකක් ඈත කඳු වළල්ල දෙසට එල්ල වී කරුව උඩ  රැඳවී තිබෙයි.  බිම ගෑවෙන කෙලවරේ පුරුක් බිත්තිය සිදුරු  කරන්නේ නැති මුත් වෙඩි පිටවන පැත්තේ පුරුක් අතර බිත්ති බිඳ  තනි කාල තුවක්කු බටයක් හදා ගැනෙයි. බිම ගෑවෙන පැත්තේ මතුපිටේ  අඟලේ අඟලේ සිදුරක් හාරා ගන්නේ  මුනිස්සම් කෙටීමටය. මුනිස්සම් යනු වෙන මොනවත් නොව ලාම්පු තෙල්මය.

උණ කොටයේ යට පැත්තේ ලාවට ගිනි මාලයක් ගසා කොටය රත් වූ පසු උණ වෙඩිල්ලේ සිදුරට ගිනි පුලින්ගුවක් ලං කරද්දී වෙඩි පත්තු වෙන්නට පටන් ගනී. මුලින් මුලින් පුස් වෙඩි 'බෑන්'සද්දෙන්  නිකුත් වුවද උණ  කොටය හොඳින් රත් වෙද්දී  කඳු වළලු දෙවනත් කරන වෙඩි හඬ නැගේ. දැන් මොන තරම් අනතුරුදායකදැයි  හිතුනත් මේ සෙල්ලම හොඳ පරෙස්සමින් කරන්නට කොලු කුරුට්ටෝ දැනුවත් වී සිටි නිසා උණ වෙඩිල්ල මුල් වූ  අතුරු ආන්තරාවක් ගැන මා අසා තිබුනේ නැත.

අපි කඳු මුදුන් වලට ගොස් වැඩිම සබ්දය පිටවන උණ  වෙඩිල්ල අයිති කාරය ගැන සෙව්වෙමු.. පහුවදා ඉස්කෝලේ කතා කරන්නෙත් උණ වෙඩි ගැනය. ඒ අවුරුද්දේ ගමේ කොළු රැල අතර වීරයන්  වෙන්නේ සද්දෙන්ම  හඬ පිටවෙන උණ  වෙඩිල්ලේ අයිතිකාරයන්ය. තරගයක් නෑ කිව් ගමේ තරගය.
අයියා හා යාළුවෝ උණ වෙඩි පත්තු කරද්දී අපි අත් උදවු කාරයෝය. ඒ වෙඩිල්ලෙන් පසු උණ බටයේ පිරෙන දුම කුඩා සිදුරට මුව ලං කොට පිඹ ඉවත් කරන්නටය.
වෙඩිල්ලට ගිනි පුලින්ගුව ලං කරන කට පුංච වටේට දැලි තට්ටු බැඳෙයි.
දවසක් මෙහෙම බැඳුනු දැලි තලියක් ඇඟිල්ලට ගෙන මම මුහුණ පුරා ගා ගත්තෙමි. හීනියට උඩු රැවුලත් ඇඳ  ගත්තෙමි.
දැන් බලා සිටින සියලු දෙනාට එය විකට ජවනිකාවකි, මම රඟමි. අයියා හා යාළුවො උණ වෙඩි පත්තු කරද්දී මට කවටකම් කරති. අම්මා හා අක්කලාත් හැන්දෑ අඳුර පාත් වෙන මිදුලේ දසුන බල බලා  සොම්නස් වෙති.

ඔය වෙලාවේම අපේ තාත්තා කොහේදෝ දුර ගමනක් ගොස් බඩු මලු උස්සගෙන හොඳටම මහන්සියෙන් ගෙදරට ගොඩ උනේය. ඔහුගේම වචනවලින් කියනවානම් තාත්තා එදා සිටියේ උරූ ජුවල් ගිහිල්ලාය. ඒ කාගේදෝ අකටයුත්තක් ගැන උරණ වීම නිසාය.
මේ කිසි දෙයක් නොදත් පුංචි පහේ මන් මිදුලට ආ හැටියේම දැලි තවරා රැවුල ඇඳ  ගත් මුහුණ තාත්තා වෙත පෑවේ ඔහු සතුටු කරන්නටය. එත් මට ලැබුනේ බලාපොරොත්තු වුණු  ප්‍රතිචාරය නොවේ.

'පොඩි පුතා මොන  විකාරයක්ද ඔය. මුනේ දැලි තරියක් ගාගෙන . ගිහින් හෝද ගන්නවා ගුටි නොකා.'

මගේ යටි තොල පෙරළී ,මුහුණ විරුවන් වී කඩා හැලුණු කඳුළු පේලියට රැවුල හේදී ගිය නිසා ලිඳ ලඟට යන්නට ඕනෑ  වුනේ නැත.
මම ඒ වෙනුවට කලේ අම්මාගේ තුරුළට පැන ඇති තරම් හැඩීමය.

මාව ලෙහි හොවාගෙන අම්මා මා සනසද්දී මට තවත් අනාගත අනතුරක් ගැන හැඬුම් අස්සේ කල්පනා වුනේය. ඇඬිල්ල නැවැත්වූ. මම  අම්මාගේ මුහුණ දෙස බැලුවෙමි.
'අම්මේ;
'අයි මයේ පුතේ'
චිමිනි ලාම්පු එළියෙන් ශෝබමානව තිබුණු අම්මාගේ මුහුණ දෙස බලාගෙනම  මම මෙලෙස ඇසුවෙමි.
'එතකොට අම්මේ කවදාහරි.... මට නැවත ඉකි ගැසුනේය.
ඉකිය අතරින් මම ඉතිරි ටික කියා ගත්තෙමි.
' කවද හරි මගේ මුනේ ඇත්තටම රැවුල ආවොත් එදත් තාත්තා මට බනියිද?
අම්මා මා තදින් තුරුළු කරගෙන හයියෙන් සිනාසෙන්නට පටන් ගත්තාය.
මම දිගටම හැඬුවෙමි .
ඇය දිගටම සිනාසුනාය.

(Picture: indianetzone.com)


Wednesday, September 11, 2013

ගේ දොර විකුනාලා.. ගමකට නයි ඇදලා ...



දෝනීගේ පන්තියේ දරුවන් හැමෝම පාහේ ළමා  නාට්ය උළෙලක්  සඳහා හවස පුහුණු වීම් වල නිරත වෙති. වෙනදා තිබුණු නෙට් බෝල් ප්‍රෑක්ටිස් අර සංගම් මේ සංගම් මදිවාට මේ හින්දාත් හැමදාම හවස් වෙනකන් ඉස්කෝලේ ළඟ ගාටන්නට බැරි නිසා මම කිව්වේ ඔය තරම් අතිරේක වැඩ නොකර නිදහසේ ඉන්නටත් පොතක් පතක් බලා ගන්නටත් කාලය ඉතිරි කර ගන්න යි කියලාය.

'දුවේ ඔය තරම් මහන්සි වෙන්නේ මොකටද? හැම දේම බදා ගෙන ඉඳලා අන්තිමේ මට වගේ වෙයි.' එහෙම කියලා කට ගන්නට කලින්  'ඇයි දැන් ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ ?'' කියා ළමයින්ගේ අම්මා මගේ ඇඟට ගොඩ වුවාය. 

ඇත්ත නේන්නම් මට මොකුත් වෙලා නෑනේ.

ඒත් මගේ හිත එතැන නොරැඳවී  දශක කිහිපයක් එහා අතීතයට ඉගිල්ලී ගියේ මටත් නොකියාමය
මා කුඩා කාලයේ නාට්‍යය කලේ පුංචි ඉස්කෝලේ සිමෙන්ති වේදිකාවේදීය. සති දෙකකට වරක් සාහිත්‍ය සමිතියට අපි නොවරදවාම නාට්‍යයක් කළෙමු. කිසිම ගුරුවරයෙකුගේ උපදෙස් නොලබා පන්තියේ යාළුවො එක්කාසු වී කළ  මේ රංග ජවනිකා දෙක තුනක් මට මතක් වේ.

සුබ සහ යස නාට්‍යය කරද්දී යසලාලක තිස්ස රජ්ජුරුවෝ සුබ සේ වෙස් මාරු කර ගනිද්දී ඇඳුම් මාරු කර ගත්තේ සබාව මදදීමය. එහෙත් සබා තොමෝ කොක් හඬ ලන්නට පටන් ගත්තේ අපි ඇඳුම් මාරු කරන කොට නොව අපි මුහුණේ අලවාගෙන තිබු රැවුලත් ගලවා මාරු කරද්දීය.

තවත් දවසක සපතේරු කතාවක් රඟ  පාද්දී අපට එක විදිහේ දිග කලිසම් වුවමනා විය. අම්මා පරණ පිජාමා සරොම් කිහිපයක් කපා පුංචි මිතුරන් තුන් දෙනාට  වෙලාවේ හැටියට එක වගේ  දිග කලිසම් තුනක් මසා දුන්නාය.

කතාවේ දෙබසක් කියමින් බිම වාඩි  වෙන දර්ශනයකදී මගේ අලුත් කලිසම බරාස් ගා ඉරී විවර වූ විට සාහිත්‍ය සමිතියේ වැඩ මහා හිනා හඬ මැද්දේ  නතර වී ගියේය.

ඊළඟට නාට්‍ය මතකය පේරාදෙනි වල ගාවට ගොස් මාර ගස් හෙවනේ පැල පදියම් වෙයි.

කලින් කිහිප වතාවක් නරඹා තිබුණු හුණු වටයේ කතාව නාට්යය පේරාදෙණි වලේ පෙන්නු දවසක අපි  සරච්චන්ද්ර  එළිමහන් රඟහලේ රූස්ස රොබරෝසියා ගහ පිහිටි පඩි පේලියේම වාඩි වී සිටියෙමු.

සයිමන් සශාවා  ගෘෂාගෙන් බහ ඉල්ලන ජවනිකාව රඟ දැක්වෙයි. සොල්දාදුවාගේ ප්රශ්නාවලිය( මතක හැටියට)
ගෑණු  දරුව කොයි පළාතේද කියල දැන දන ගන්න කැමතියි.
ගෑණු  දරුවාගේ ඉවසීම කොහොමද? සීත කාලේ ඇපල්  එහෙම ඉල්ලාවිද ගැණු දරුවා.
දියේ ඉන්න මාලුවෙක් වගේ ගෑනු දරුවා නිරෝගිද කියල දැන ගන්න කැමතියි.

මේ ප්‍රශ්ණ  සියල්ලටම හුරුබුහුටි රසවත් බසින් පිළිවදන් දෙන ගෘෂා  අවසාන ප්‍රශ්නය අසන තෙක් රැඳෙන්නට කල් වේලා නැතියෙන් මෙසේ කියන්නීය.

ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ :ඔවු මම කැමතියි !

මේ වචන පෙළ  ඇසෙනවාත් සමගම වලේ අඳුරු මුල්ලක සිටි එකෙක් අවට කඳු වළලු සිසාරා යන හඬකින්  මෙසේ කීවේය.

අන්න කෙල්ලෝ '

මෙය මොන තරම් නාට්යමය ස්වරයෙන් කියවුනාද යත් සමහරුන්ට අසුනේ මේ නළුවේම  කොටසක් ලෙසයි. එම කට හඬේ තිබු  දුක්බර එහෙත් හාස්‍ය මතු කරවන ස්වරය නිසා එවදන් ඔහුගේ හද පත්ලෙන්ම නැගුනු ඒවා බවකි හැඟුනේ. 

හිත ගත් මියුලැසියන්ගෙන් යාලු වෙන්නට ඇසීම පළමු විමසීමෙන්ම බෑ  කීම. මනෝ ගැසීම . ආයිමත් ඇසීම.එවර හා කීම හෝ බෑම කීම හෙවත් ඇණ ගැනීම සරසවි දිවියේ සුලබ මනෝ බාවයකට මුල් හේතුවයි.

ඒ නිසාම අඳුරේ ඇසුණු හඬ ගෑමත් සමගම එළිමහන් රඟ හලම සිනා හඬින් ගිගුම් දෙද්දී වේදිකාවේ සිටි සයිමන් සෂාවාගේද  මුවේ මන්දහාසය උතුරා ගියේය.  ගෘෂාගේ මනාපය ලැබීමේ සතුටු මුහුණින් යුතුවම ඔහු එළිමහනේ රළ නගන රස සාගරයටද  එක්කාසු  වුනේය.

අවුරුදු පතා සරසවි පීඨ  දිනයන්ට තොවිලයක්ද ඇතුළු මතක හිටිනා නාට්‍ය දෙක තුනක් අපේ කට්ටිය විසින් එකතු කලා වුනත් මට තාමත් සුනිල් ශාන්තයන්ගේ මිහි කත නලවාලා ගීතය කොහේ හෝ ඇසෙද්දී අපේ  අවසන් නාට්‍යයේ පළමු ගීතමය ජවනිකාවට අනුව රඟන්නට සිතෙයි.

අවූරුදු ගණන් වැහි වැහී ඇරි  ඇරී කල් ඇදුණු  සරසවි ජීවිතයේ අවසන් අවුරුද්දේදී පිටව යන්නට තිබ්බේද අග මුල නොමැති නුහුරු විපරිත සමාජයකටය. අහිංසක පම්පෝරි ගසමින් බලාපොරොත්තු ගොන්නක් සමග කැම්පස් ආ ගමේත් නගරයේත් කොල්ලන් හා කෙල්ලන් ඒ වන විට අරමුණකින් තොර හිස් බවකින් පෙළෙමින්  සිටියෝය. ළමයින් දෙතුන් දෙනෙකුට ඉගැන්නු සමහර දෙමවු පියන්ගේ ගේදොර උකස් වී තිබුනේ ගත්තු බැංකු ණය ගෙවා ගන්නට පරක්කු වූ නිසාය. කොල්ලන් ඉක්මනට සරසවියෙන් පිටවී හොඳ රස්සාවකට ගිය පසු හදා ඉවර කරන්නට බලාපොරොත්තුව සිටි ගෙවල් බාගෙට වැඩ නිම වී  දිය සෙවෙල් බැඳෙමින් එහෙම්මම තිබිණි. කෙල්ලන්ගේ බර අහවර වූ පසු යන්නට සිටි වන්දනා ගමන් විනෝද ගමන් තවත් අම්මලාට කවදාවත් යන්නට නොහැකි විය.

මේ මානසික පරිසරයේදී වුවද අපේ අවසන් නාට්‍යය සඳහා හොඳ උද්යෝගයක් තිබිණි. ගෙවල්වලින් ගෙනා පරණ මැන්ඩලින් හා වයලින් හොයා ගත් සංගීත කණ්ඩායමක් බැචාලා හා බැචිලා අතරින් මතු විය. මේ පිරිස මීට කලින් ගාන්ධර්ව සබාවලදී හෝ අනෙකුත් ආර්ටිස්ට් පන්නයේ වැඩ වලදී එළි පහලියට ආවුන් නොවීය.
නළුව ඇරඹුණේ කෝලම් ඇඳුමින් සැරසුණු  ගැටයන්  තුන් දෙනෙකු අපුරු රංගනයක යෙදෙමින් වෙදීකාවට ගොඩ  වීමත් සමගය. 'මිහිකත නලවාලා ' ගීයේ තාලය හා අනුවාදනය සහිතව මේ ගීතයයි ගැයුනේ

ගේ දොර විකුනාලා..........
ගමකට නයි ඇදලා........
සර-සවියට යන මේ........
පිටිසර හෙළ කොලු රැ  ළ    රැ  ව ටේ . ....


මේ පද පෙළ ඉවර වේද්දීම ප්‍රේක්ෂකාගාරය මොන තරම් මුසපත් වුනාද කියනවා නම් ඊළඟ විනාඩි හත අටේ   ගැයූ දෙඩූ  කිසිවක් කාටවත් අසුනේ නැත්තේ නොනැවතී නැගුණූ  ඔල්වරසන් හඬ නිසාය.

(සේයාරුව දෙව්නිගේය)

Wednesday, September 4, 2013

මගුල් ගෙදර

ට බොහොම වැදගත් වූ මගුල් ගෙවල් දෙකක් තිබුණි. එකක් අපේ අයියාගේ මගුල් ගෙදරය. අප්‍රේල් මාසයක එකොලොස් වැනිදා අයියා මගුල් ගෙදර ගන්නා  බව මට කීවේය. මම කොයි තරම් බරක් පතලක් නැති අයෙක්දයි හැමෝම හිතන්නට පටන් ගත්තේ මේ මගුල් ගෙදරින් පසුවය.

ඒ කාලයේ අපට  මොබයිල් දුරකථන තබා  ලෑන්ඩ් ලයින්වත් තිබුනේ නැත. 'මම ලබන එකොලොස් වෙනිදා බඳිනවා. පොඩියට මගුල ගන්නේ. එදාට කොහොම හරි එන්න ඕනි.' අයියා මට කිව්වේ සති දෙකක් විතර තියලාය. ඊටත් කලින් මට හරියන ඇඳුම් සූට්  එකක් අයියා මිනුම් ගෙන මස්සවා තිබුනේය.
මම අප්‍රේල් දහවැනිදාත් සිටියේ කොළඹය . එදා රස්සාව කළ  තැනින් පඩිත් අර ගෙන හවස බස් එකේ ගෙදර යන්නට හිටියත් පඩිය චෙක් එකකින් හම්බුනේ හවස තුන හමාරටය. එතකොට බැංකු වහලා තිබුණි. ඒ මදිවාට තව හතර දෙනෙකුගේ පඩිත් එකටම  දමා  මගේ නමට චෙක් පත ලියා තිබුණි.  ඉතින් අලුත් අවුරුද්දට ගෙදර යන්නන්ට බලා සිටින මගේ සගයන් හිස් අතින් යවන්නේ කොහොමද?  ඒ නිසා මම පහුවදා වෙනතුරු ගෙදර යන ගමන කල් තැබුවෙමි. ඒත් මගුල් ගෙදර? අයියා මොකුත් හිතන එකක් නැහැ. ඔන්න ඔහේ හෙටම යනවා. මම සිතුවෙමි.

ඒත් අපේ ගෙදර ඒ වනවිට සිදුවෙමින් තිබුනේ ඊට හාත්පසින් වෙනස් දෙයකි, දෙවන මනමාලයාගේ ඇඳුම් සූට් එකත් ලැහැස්ති කරගෙන ගෙදර හැමෝම බලා සිට ඇත්තේ මා එන තුරුය. රැ  එළිවන තුරුත් වරින් වර ඇහැරි ඇහැරී පාරේ වහන ශබ්දයක් ඇසෙන ඇසෙන වාරයක් පාසා පාරට හොස්ස පොවමින් ඔවුන් අවදියෙන් බලා සිට ඇත. පසුවදා උදයේත් මා නොආ නිසා හදිස්සියෙන් සොයා ගත්  දෙවන මනමාලයෙකුත් සමග මනමාලිය කැන්දන් එන්නට පිටත් වී  තිබුණි.

96 අවුරුද්දේ සැප්තම්බර් හතර වැනිදා මට තවත් මගුල් ගෙදරක් තිබිණි. සැප්තැම්බර් තුන්වැනිදා හැන්දෑ වන විටත් මා සිටියේ කිරිබත්ගොඩ මගුල්  පෝරුව හදන තැනය . අපේ යහළුවන්ගේත් නෑදෑයන්ගේත්  මගුල් පෝරු රැසක් හැදු  සමන්, උපාලි, සුදර්ශන ඇතුළු කලාකාමී මිතුරු නඩයක මමද යාව ජීව අත්  උදවු කරුවෙක් වීමි.
එදා රැ  නවයට විතර ගොක් කොළ තෝරමින් සිටි සමන් මට බැන වැදුනේය.
'දැන් අර මිනිස්සු උඹ එනකන් බලා ඉන්න්නවා රත්නපුරේට ඇවිල්ල . තවත් මෙතන තෑග්  ගැහි ගැහි ඉන් නැතිව පලයන්'.

ඒ වන විට මනාලයාගේ පාර්ශවය රත්නපුරයට පැමිණ මගුල් ගෙදර එන්නට නතර වී සිටියේ පහුවදා පාන්දර පහට පිටත් වී කිරිබත්ගොඩ  එන බලාපොරොත්තුවෙනි.

මේ නිසා මම රැ  එකොළහට පමණ පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකට ආවේ රත්නපුර යන බස් එකක් අල්ලා ගන්නටය. පුදුමයකි. බස් එකක් අහලකවත් නැත. අයියාගේ මගුල් ගෙදර දා මට සිදු වූ  දැවැන්ත අතපසුව මතක් වී මට හීන් දාඩිය දැම්මේය. දෙයියනේ හෙටත් මට මගුල් ගෙදර යන්නට බැරි වෙයිද ?

කොහොමින් කොහොමින් හෝ හතරවනිදාට එලි වන්නට මදක් කලින් මම රත්නපුර අයියලාගේ කුවාර්ටර්ස් එකට ගොඩ වුනෙමි.  එදාද අපේ ගෙදර ඇත්තෝ නිදි වරාගෙන පස් පඩන්ගුවේ දොස් පවරමින් මා එනතුරු බලා සිට ඇත.   ඒ මගුල් ගෙදර නම් මට යන්නට පුළුවන් විය. මගේ ඇඳුම් සුට් හා අඩුමකුඩුම ගෙනවිත් තිබුන නිසා ඒවාත්  ඇඳ ගෙන මම මගුල් ගෙදර ගියෙමි. එදා මට තිබ්බේ දෙවන මනමාලයා සේ පෙනී සිටින්නට නොව මනමාලයාම වන්නටය.

මේ සා විශ්වාස නොකළ හැකි තරම්  අපිළිවෙල චරිතයක් වූ මා සමග දාහත් වසරක් දීග කන මනමාලිය මා වෙනස් කරන්නට උත්සහ නොකලා නොවේ. ඒ නිසාම අප අතර ඇති වූ අඬ දබර සියල්ල කෙළවර වුයේ අප සිහිනයෙන්වත්  දුරස් විය නොහැකි නැවුම් පෙම්වතුන් බවට ආයිමත් පත් කරලමින්ය.


2013 සැප්තැම්බර්  04