Saturday, June 29, 2013

සුන්දර ට්‍රැෆික් ජෑම් එක


රාජගිරිය හන්දිය ට්‍රැෆික් ජෑම් වලට කවදත්  ප්‍රසිද්දයි . අවුරුදු හතරකට පහකට කලින් නම් නිතරම පාරවල් වැහෙනවා. චැක් කරනවා. නැත්නම් දේශපාලන උත්තමයෙක් යනවා. උන් හිටි ගමන් බ්රේක් ලයිට් වත් නොදා දඩස් ගාල පාර වහනවා. සෙනග ඉහින් කනින්  එල්ල ගත්තු කොටන බස්, පරණ ඉස්කෝල වැන් , පෙම්වතී  පිටේ නන්වාගත්තු මෝටර් බයිසිකල් මල්ලිලා පැය ගානක් එක තැන . කාටත් ඉතින් ඕක පුරුදුයි ඒ කාලේ.
ඔහොම පාර වහල හතර දිග්බාගයට බ්ලොක් වෙලා කොහට්ටවත් යන්න බැරිව වාහන වේලි වේලි ඉන්න වෙලාවක. ත්‍රී වීල් ගැටයෙක් ලයිටුත්  දාගෙන පේව්මන්ට් එක උඩින් හිට යන්න හදනවා. ඉගිල්ලෙන්න හදනවද? ඔච්චර හෝන්  ගහන්නේ උඩින් යන්න ඕනි වෙලාද? ගන්නවකො හෙලි කොට්ටරයක්. දුරින් හිටි හැමෝගෙන්ම දොස් . ඒත් ලඟින් හිටිය ඈයෝ පොඩි ඉඩක් දෙන්න අවංකවම මහන්සි වෙනවා.මේ කලබගෑනිය දැකල ට්‍රැෆික් රාලහාමි කෙනෙක් ඊ ගහක වේගෙන්  ත්‍රී වීල් එක ලඟට ආවේ හොඳ  සත්තමක් අල්ලන්නම කියල.  අනේ නෑ .ත්‍රී වීල් එක ළඟටම ඇවිත් ආපහු හැරුනා . අතුරුදන් වුනා. ආයේ මතුවුනේ කොහොමද දන්නවද? ලොකුම ලොක්කෝ යනකොට ආරස්සාවට අරන් යන පත්තුවෙන නිවෙන ලයිට් හයි කොරපු සය්රන් මෝටර් සය්කලේක නැගල. පාර මැද කොන්කිරිට් මල් පාත්ති උඩ  හිටන් නගිමින් රාලහාමි ත්‍රී වීල් එක ලඟට ආව. හය්යෙන් සය්රන් එක ගගහ ත්‍රී වීල් එකට ඉඩ අරන් දුන්න. වාහන රබර් වගේ ඇඟවල්  අකුළුව ගනිමින්  එක්කෙනාට එක්කෙනා ඇතිල්ලෙමින්  ඉඩ දෙනවා .
රාජ උත්තමයන්ට දෙන සැලකිල්ල දැන් ත්‍රී වීල් මල්ලීට ලැබෙනවා. හැමෝම මේ දිහා බලනවා. ත්‍රී වීල් එක පේන මානෙන් කිට්ටු වුන හැමෝම මහා ලෙන්ගතු කමකින් ඒකට ඉඩ අරන් දෙනවා. මේ හිතන්න බැරි රාජකාරිය මොකක්ද කියන කසු කුසුව ට්‍රැෆික් ජෑම්  එකේ හිටි හැමෝම අතරට ගිහින්. ඒක දැන් අපේ වැඩක් වෙලා. හැමෝටම තමන්ගේ පරක්කුව අමතක වෙලා.එහාට මෙහාට වෙවී පුළුවන් උදව්වක් කරනවා. වාහන ඝණ  වනාන්තරයක්  වගේ.ඒක  පීරාගෙන රාලහාමි ඉඩ ගන්නවා. හරියට රණවිරු  රියල් ස්ටාර් කෙනෙක් වගේ. ත්‍රී වීල් මල්ලි ත්‍රී වීල් රියල් ස්ටාර් කෙනෙක් වගේ. අන්තිමේ වැර වයමෙන් සය්රන් නලා හා වෙට්ටු මැද්දෙන් දන්නා වැඩ සේරම දාල රාලහාමි වීල් එක ට්‍රැෆික් ඉවර වෙන සීමාවට ගෙනාවා. අසන දකින හැමෝම හිත්වලින් ඔල්වරසන් දෙද්දී,අත්පුඩි ගහදදී රාලහාමි ත්‍රී වීල් එක නිදහස් කරගෙන කාසල් වීදිය  පැත්තට අර ගෙන ගියේ  දිගටම ලය්ටුත් දාගෙන පෙර ගමන් රථය වගේ.  
තමන්ගේ  වාහනේ ලඟින් ත්‍රී වීල් එක යනකොට තමයි  ඒ සොඳුරු දර්ශනය කවුරුත් හරියටම දැක්කේ. 
තරුණ පියෙක් කුඩා පිරිමි දරුවෙක් වඩා  ගෙන ඉන්නවා. දරුවට අවුරුදු දෙකක් විතර ඇති. පියාගේ ඇඟට වාරු වෙලා  හිටපු අම්මගේ ඔලුව තාත්තය් පුතය් දෙන්නම මහත් සෙනෙහසින් අත ගානවා .ඇය සිටියේ තමන්ගේ පිරුණු කුස දෑතින්ම අල්ලාගෙන වැර වැයමෙන් ඉවසාගත් වේදනාව සමගින් ස්තුති පුර්වකව ඉදිරිය බලා ගෙන.

(මේ අත්  දැකීමට මුහුණ දුන් පුංචි පවුලේ අලුත් නිවහනට ගොඩ වී තේ කෝප්පයක් බොන්නට මට ගිය මාසේ වාසනාව ලැබුනා.)

Sunday, June 23, 2013

කැකිල්ලේ සීයාගේ සතුට

අපේ ගමේ  නාට්යයක කැකිල්ලේ රජ්ජුරුවන්ට රඟ  පෑ  කන්දේ  සීයාට ගමේ කවුරුත් කිව්වේ කැකිල්ලේ සීයා  කියායකලාවේ නියැලෙන උනන්දුව  තිබුණ ගමේ බොහෝ දෙනා වෙසක් නාට් හා ටීටර් වලට උද්යෝගයෙන් සහබාගි වුහ 
කැකිල්ලේ සීයා  පත්තර පොත් පත් කියවන්නටද  බෙහෙවින් ආසා  කළේය.උදේම පාර අද්දරට එන ඔහු නගරය   දෙසට යන කාට හෝ රුපියලක්  දෙකක් දෙන්නේ පත්තරයක් සමග සුරුට්ටු  මිටියක් හෝ දුන්කොලයක් ගෙන්වා ගැනීමටය
 සතුට හා සිත්තර පත්තර එලි දුටු කාලයේ සිට කැකිල්ලේ සීයාට  චිත්‍ර කතා පිස්සුව හැදුනේය . ඔහු නගරයට පයින්ම ගොස් උණු උණුවේ සතුට හෝ සිත්තර පත්තරය මිල දී ගත්තේයමගදී හමු වන කා සමගත් වික්‍රමගේ මංජු ගැනත් වීර තීසියස් හෝ ටෝගා මුහුණ දුන්  අකරතැබ්බයක් ගැනත් කතා කළේය . පාරේ තොටේ හමු වන කුඩා වුන්ගෙන් පවා ලබන සතියේ දේදුනු හා කැලුම්ගේ ඉරණම මොකක් වේදෝයි විමසුවේය. චිත්‍ර කතා පත්තර නිසා  ඔහු පමණක් නොව ගමේ අකුරු කියවන්නට පුළුවන් තව බොහෝ දෙනෙකුට  අමුතු උද්යෝගයක් ඇති වූනේ පසු කලෙක රුපවාහිනිය හඳුන්වා දුන් විට ඇති වූනාටද වැඩි ප්‍රමාණයකිනි
අපේ කුඩා පාසලේද ළමුන් අතර චිත්‍ර  කතා පත්තර හුවමාරු වුයේ පිටු දෙකේ කොටස් වශයෙනි . ළමුන් පණක් නොව ගුරුවරුන්ද  ඒවා ආශාවෙන් රස වින්දෝය. එත්  මේ අලුත් පුරුද්ද නිසා ළමයින් සංකර වී නොමග යාවි යැයි මතුවුණු කතා බහ නිසා කල් යැමේදී ඉස්කෝලෙට  චිත්‍ර  කතා පත්තර ගෙන එම සපුරා තහනම් විය..
 දවසක්  විවේක කාලයේදී ගුරු තුමියක් ඉරිදා පත්තරේක ශාස්ත්රීය අතිරේකයක් කියවමින් සිටියේ , තවත් ගුරුතුමියන් කිහිප දෙනෙකු සමග කතා කරමින්මයඇය බිත්ත්තියට හේත්තු වී පත්තරය බලමින් සිට්යාය.ඇයගේ මුහුණ දෙස මම බලා සිටියෙමිඇය වරෙක සිනා සුනායවරෙක මුහුණ ශෝකයෙන් පුරවා ගත්තායවිටෙක  විශ්මයෙන් පත්තරයට නැවත එබී ඔහේ බලාගෙන සිටියාය.අපේ ගෙදරදී මා කියවන්නට උත්සහ කර අතහැර දැමු මේ නීරස අතිරේකය ඇය මේ තරම් රස විඳින්නේ කෙසේද ?ඇය  ඊළඟට අසල සිටි අනිත් ගුරුවරියට පත්තරය දුන්නායඇයගේ හැසිරීමත්  විදිහමයතුනේ පන්තියේදීත් මගේ කුතුහලයේ සීමාවක් නැති වූ නිසා මට තවත් ඉවසා සිටින්නට බැරි වියමම වහාම පත්තරය බලමින් සිටි ගුරුතුමිය ලඟට ගොස් ඇයගේ අතේ එල්ලී මේ තරම් රසවත් ලිපිය මොකක්දය් බැලුවෙමි .
මාගේ කමකට නැති කඩා  පාත් වීමෙන් කලබල  වූ    අතින් විශාල ඉරිදා පත්තරය ඇතුලේ තිබු තවත් කුඩා පත්තරයක් ලිස්සා  බිමට වැටුණි .  සතුට  පත්තරයයි
සතුට පත්තරේ මංජු බට්ටි ඇතුළු මා වඩාත් ආශා කල චිත් කතා රැසක් නිර්මාණය කළ  ' වික්‍රපසු ගිය සතියේ මිය ගිය බව ආරංචි වු විට මට මේ සියල්ල බොඳ වූ මතකයන් අතරින් ගලපා ගන්නට පුළුවන් විය.

Sunday, June 16, 2013

බඹරුන් ආ දවස්

අමරසිරි පීරිස්ගේ  සංගීත  ප්රසංගයක්  ගැන ඉරිදා ලංකාදීපයෙන් කියවුයෙමි . එම ලිපියේ මාතෘකාව වුයේ ' වියපත් බඹරා' ගිය සතියේ මිතුරන් ටිකක් සෙට් වූ විටෙක අපි   'වියපත් බඹරා' ගීතය ගැන බොහෝ  වෙලා කතා කළෙමු
ඊයේ වෙනත් පුවතක මම කියෙව්වේ ගුරුතලාවේ විදුහලක දරුවන්ට එල්ල වූ බඹර ප්රහාරයක් ගැනය.කුඩා දරුවන්ගේ සියුමැලි සම තුලින් බඹර තුඩු ඇනී වේදනා දෙන විට ඔවුන් කෙසේ එය දරා ගන්නට ඇත්ද? වරක් මමත් බඹරුන් දෙදෙනෙකුගේ පහර කෑමට ලක්වුණා මතකය. කරන්ට් වැදුනා හා සමානව සිරුර  පුරා විහිදී ගිය  දැනීම අතිශයින් වේදනාකාරීයබඹරුන් ගැන මොන තරම් රස බර කවි සින්දු ලියවී තිබුනත් බඹරුන් මතක් වෙද්දී මගේ සිත නොමනාපයෙන් පිරී යන හේතු කීපයක් තිබෙයි.
මා උගත් පළමු කනිටු විදුහලට තිබුණේ එක විශාල  ගොඩනැගිල්ලකින් පමණි.  විදුහල්පති  කාමරයත් හෝඩියේ පන්තියත් කුඩා කාමර දෙකක් ලෙස හරස් බිත්ති වලින්  වෙන් වී තිබුනත් අනිකුත්  සියලුම පන්ති පැවැත්වුනේ එක ශාලාවකය. පාසල් ගොඩනැගිල්ලේ වීදුරු ජනෙල් හා දොරවල් සියල්ල  වසා තබන්නට පුළුවන් ලෙස ඉදි කර තිබුනේ නිරන්තරයෙන් පැවති   දැඩි සීතල නිසාය
එක වරම ගැමියෙකු පාසල අසල පාරේ සිට මුර ගෑවේය. 'ළමයි  ටික ඇතුලට ගන්ටෝ . බඹරයක් ඇවිස්සිලෝ!! .
මේ ආපදා කලමනාකරණ  අනතුරු හැඟවීමට ගුරුවරුන් හා ඉහළ  පන්ති වල ළමුන් කොතරම් යුහුසුළුව ප්රතිචාර දැක්වූවාද යත් විනාඩියකටත් අඩු කාලයකදී පාසල් පිටියෙත් මිදුලේ තැන තැන වලත්  සිටි සියලුම දෙනා වහා ප්රදාන ශාලාව තුලට දමා ජනෙල් දොරවල් වසා පාසැල සීල් කර දැමිණි.
සියලු දෙනා ජනෙල් අවට රොක් වී එකා දෙනා බැගින්  අවට කැරකෙන වියරු බඹරුන්ගේ ආගමනය රස විඳින්නට ගත්තා මතකය. එවිටම මහලු අම්මා කෙනෙකු සිය වරලසේ එල්ලී බෙල්ල මුහුණ  සිදුරු කරන බඹර  රංචුවෙන් බේරීමට උදවු ඉල්ලා හඬමින් පාසැල දෙසට දිව ආවය. බඹරුන් රංචු පිටින්  මේ අහිංසක මාතාවට පැන පැන  දෂ්ට කළේ  ආත්ම ගණනාවක් තිස්සේ පැවති  ජන්මාන්තර වෛරයක්  පිරිමසා ගන්නට මෙනි. ඇය පාසල් ගොඩනැගිල්ලේ ජනෙල් අසල දෑත උස්සා වනමින්  කෑ  ගසා උදව් ඉල්ලුවාය. මේ දර්ශනය කෙතරම් හද කකියනා සුළු එකක්ද යත් තරුණ ගුරුවරියන් හා ගැහැණු ළමයින්  ඉකි ගසා හැඬුවෝය. ඒත් එක කවුළුවක් හෝ  ඇරියොත් ඇතුලට රින්ගා ගන්න බඹර කැළ  කුඩා පන්ති වල ළමයින් විද දෂ්ට කරනු ඇත. මේ ආකාරයේ අවිනිශ්චිතතාවය නිසා විදුහල්පති තුමා වේගයෙන් එහා මෙහා ඇවිද යමින් සිටියා පමණකි. අවසානයේ අසරණ කාන්තාව විලාප දෙමින් ගම්මානය දෙසට හැරී ගියේ නොනැවතී එල්ල වන බඹර ප්රහාරය මැද්දේය. එදා සිට දින කීපයක් තිස්සේ මගේ හිතේ  බියක් තිබ්බේ මේ මහලු කාන්තාවට බඹර ප්රහාරය නිසා අතුරු ආන්තරාවක් වේවිදෝ කියාය. සතියකට දෙකකට පමණ පසු  එළවලු කුඩයකුත් රැගෙන අපේ හේ ලඟින්  යනවා දැකීමෙන් මගේ සිත සතුටින් ඉපිලී ගියේය. දේවදාර සුවඳත් මානා  පඳුරු පිස එන සිලි සිලියත් විඳිමින් සොම්නස් මුහුණින් ගිය ඇගේ මුහුනේ  බඹරුන් කෙරෙහි වූ කිසිදු අමනාපයක  සටහනක් නොවිණි.
බඹර අමනාප කම් වල දෙවන කතාවට සම්බන්ද වන්නේ මහාචාර්යවරයෙකි. ලතින් ග්රීක් ආදී සම්භාව් භාෂා පිලිබඳ  ආචාර්ය උපාදියක් දිනා සිටි හේ සංගීත විශාරදයෙකි. ඔහු පේරාදෙණියේ කළා පීටයේ අංශ  ප්‍රධානියෙකු විය. අක්බාර් ශාලාවේ ආදරණීය දසුනක් වූ ඔහුගේ රුව හා හවසට ඔහුගේ කාමරයෙන් ඇසෙන බට නලා නාදය අපි ආදරයෙන් වැළඳගත් මතකයකි .
ඔහුගේ අතින් අල්ලා ගෙන අක්බාර් පාලම හරහා මහවැලිය තරණය කරන්නට අක්බාර් ශාලාවේ සිටි අපට වරින් වර වාසනාව ලැබිණි. මහවැලි ගඟ ගලන සර සර හඬත් උණ පඳුරු වල  කොළ හැලෙන ශබ්දයත් ඔහු සවන් පුරා  වින්දේය. ලඟින් පියඹා ගිය බඹරෙකුගේ හෝ කුරුල්ලෙකුගේ  තටු සලන නාදයෙන් ඔහුගේ වත පිබිදී ගියේය. අපිට පෙනෙන රොබරෝසියා මල්වල පැහැයවත් ඇහැළ මල් විකසිත වෙන ලස්සන වත් ඔහුට නොපෙනුනත් කනට ඇසෙන දෙයින් හා සුදු සැරයටියේ තැවරෙන දෙයින් ඔහු ලෝකය උපරිමයෙන් රස වින්දේය.  
 දවසක් බඹරුන් රංචුවක් මහාචාර්යවරයාට විදින්නට පටන් ගත්තේ කවුරුත් ළඟ පාතක  නැතිව ඔහු තනිවම අක්බාර් පාලමෙන් මෙතෙර වීමට ආ වෙලාවකය. ඇවිස්සුනු බඹරය නිසා කිසිවෙකුට ඒ දෙසට යන්නට නොලැබුනි .
එතැන් සිට පාලමේ අනෙක් කෙලවරට රැස්වී කර කියා ගන්නට දෙයක් නැතිව සිටි පිරිස කී කතා ඇසූ මගේ හිතේ ඇතිවූ හැඟීම  හරියටම ඊට අවුරුදු පහළොවකට පෙර පාසලට බඹරුන් ආ දවසේ තිබු එකම විය.
ටික වෙලාවකින් කවුරුන් හෝ  බඹරුන් කද්දීම එතැනට පැමිණ කුඩා මෝටර් බයිසිකලයක නංවාගෙන මහාචාර්යවරයා රෝහලට ගෙන ගොස් තිබිණි.
එදා සිද්දියට සම්බන්ද වූ සියලු දෙනා අතරින් බඹරුන් කෙරෙහි අබමල් රේණුවකින්වත් අමනාපයක් ඇති කර නොගත්තේ මහාචාර්යවරයා පමණක්ම බව මම දනිමි