Tuesday, October 29, 2019

බිබිලට වහිනවලු !



මේ බිබිලට වහිනවද කතාවේ දෙවන කොටසයි.

මොණරාගල ඇතිමලේ ගොවි ජනපදයේ පදිංචිව සිටි අපේ ගමේ පවුලක ළමයෙකු වූ සමරකෝන්  ආපහු අපේ ගමට ආවේ මා  පහේ පන්තියේ සිටිද්දීය.  ඉතා තීව්ර කට හඬකින් කතා කරන සමරේ ඉස්කෝලේ සාහිත්‍ය සමිතිය වේදිකාවට ගොඩ වී ගැයු  ජන කවියක් මට තාම මතකයි .

මුලදී කැලේ හැටි දුටුවම කුමක් වැනී
කැත්ත නොදුටු අපේ මාමගේ රැවුල වැනී
හේන කොටා ගිනි තිබ්බම කුමක් වැනී
බඳින දවසේ එලි කල මගේ රැවුල වැනී

මේ ගායනාවෙන් පසු  කොල්ලන් හා කෙල්ලන් හිකි හිකි ගගා වරුවක් හිනා වුනේ පහේ පන්තියේ කොල්ලෙක් කසාද බඳින කතාවක් ගැන කී විට දැනුණු හන්කිතියත් එක්කය.  මට දැන්නම් හිතෙන්නේ සමරේගේ කටහඬ ජනකවි ගායනයට අපූරුවට ගැලපෙන බවයි . සමන් ලෙනින්ගේ ජන ගායනාවක් ඇසෙන විට මට සමරේගේ අඬහැර පාන්නාක් වැනි වූ ගායනා විලාශය සිහිපත් වේ .

සමරේට කොල්ලන්  කිව්වේ බයියා කියලාය. අපේ ගමටත් වඩා ඈත පිටිසරකින් ගමට එන කාටත් පොදුවේ බයියන් යන අන්වර්ථ නාමය යෙදුනත් ඒ කාලේ අද මෙන් ඒ නාමයට දේශපාලන අර්ථ නිරුපනයක් තිබ්බේ නැතිය.

සමරේගේ පවුලේ අය මෙන්ම ඈත ගොවි ජනපදවල ඉඩම් ලැබීම නිසා  අපේ ලස්සන ගම් පියස අතහැර දමා වරින් වර පවුල් පිටින් පිටගම්ගිය ඇත්තෝ එමට වෙති. ඒ සංක්‍රමණ කතා පටන් ගෙන තිබුනේ 1953න් පසු ගල්ඔය ව්‍යාපාරයේ වැඩ කටයුතු නිම වීමත් සමගය . බදුල්ල දිස්ත්‍රික්කයේ  මහියංගන මාපාකඩ වැව නාගදීප,  මොනරාගල  දිස්ත්‍රික්කයට අයත් ලාහුගල, ඇතිමලේ , ඔක්කම්පිටිය හා ඉන්ගින්යාගලට පමණක් නොව පුත්තලම  දිස්ත්‍රික්කයේ රිදී බැඳි ඇල ව්‍යාපාරයේ වතුරෙන් වගා කරන්නටත් දියතලාවේ සුන්දර ගම්මානයක වැසියන් වූ අපේ ගමෙන් මිනිස්සු ගියහ.

මේ ගිය කාගේ හෝ පවුලක සාමාජිකයෙක්න්  පසු කෙලක ගමට ආවානම්  ඔවුන් බයියන් වුවා සේම ඔබ දන්නවාද තවත්  වැඩක්?. මේ මිනිසුන් යන විට ඒ පැත්තේ  ජීවත් වු පුරාණ ගම්වල වැසියන්ට අලුතින් ජනපද වල පදිංචියට ආ පොෂ් මිනිසුන් කියලා තියෙන්නත්  බයියන් කියලාය.

මගේ මිතුරා සුදත් ගමගේ  මට පසුගිය දවසක මෙහෙම කිව්වා. ඒ අපේ ගිය අගෝස්තුවේ  අම්පාරේ ගමන හා 'බිබිලට වහිනවද ' ලිපියෙන්  පසුවය .

''ඉඟිනියාගල  වැවු බැම්මේ පසුගිය් දවසක පිරිතක් කිව්වා . ගොවි  සමිති එක්කාසු වෙලා අලුත් කන්නයක් පටන් ගන්න කලින් කරගෙන යන චාරිත්‍රයක් . ඉතින් මේ සමාජ සංස්කෘතික කාර්යයෙන් පස්සේ සතුටු සාමීචියේ යෙදීලා ඉන්නකොට බොහොම පැරණි ගම්මාන ගැනත් කතා වුනා. 1918 වෙල්ලස්සේ කැරැල්ලෙන් පස්සේ සුද්දන් වෙල්ලස්ස හා බින්තැන්නේ ගම් බිම් විනාස කරන විට ඊට බය වූ ගම්මුන් අතට අහුවෙන දෙයක්  උස්සාගෙන , දරුමල්ලන් කර ගසාගෙන ජීවිත බයෙන් පලා ගියේ ගල් ඔය නිම්නයේ නැගෙනහිර දිසාවට.
මෙහෙම ඇවිත් පදිංචි වෙච්ච වැසියන් ජීවත් වූ පොඩි පොඩි ගම්මාන ඉඟිනියාගල ජලාශයට යට වූ භුමියේ ත් තිබුන බවටත් ඔවුන් බය වී පලා ආ නිසා බයියන් ලෙස  හැඳින්වූ බවත් තමයි එක් වියපත් ජනපදිකයෙක්  කියලා තියෙන්නේ. මේ පැරණි බයියන් සිටි ගම්මාන විලින් විතැන් කොට අලුතින්  පදිංචි කරන එක තමයි ගල් ඔය වයාපාරේ මුලින්ම කෙරිලා තියෙන්නේ .

ජලාශේ හදලා ඉවර වුනාම මේ ගම්මානවලට අමතරව අලුතින් ජනපද හෙවත් කොළණි හදල ඈතින් ගොවි පවුල් පදිංචි කරාම ඔවුන් මුල් ගම්මාන වැසියන්ට බයියන් කී බවත් . දෙවන  පිරිස් යලි ඔවුන් මුලින් සිටි ගම්වලදී බයියන් වූ හැටිත් පුදුම එළවන සුළුයි.

ඒත් හරිශ්චන්ද්‍ර විජේතුංගගේ සිංහල ශබ්ද කෝෂයේ 'බයියා'  යන්නට අරුත් කීපයක් දී තිබෙනවා " අත දරුවා , පිටිසර මිනිසා හා නොදියුණු මිනිසා ' වශයෙනි. එහෙත් මේ පිලිබඳ මහැදුරු ජේ බී දිසානායකගෙන් කළ විමසීමේදී ඔහු පැහැදිළි කර දුන්නේ බයියා  හෙවත් බෑයා යනු සහෝදරයාට කියන නමක් බවය . ඔහු මපාරට නම හැදුණු හැටිත් මට කියා දුන්නේය . ඒ අනුව අඹ පාර යන වචන දෙක සන්ධි වී 'අම්පාර; සෑදී ඇත,

ආයෙත් ගල්ඔය පැත්තට ගියොත් ගල්ඔය ව්‍යාපාරේ අලුත් කොලනි හතලිස් හතක් ඉදිකර තිබු බවත් ඒ එක ගමක පවුල් එකසිය පනහක් පදිංචි වූ බවත් 23 වෙනි කොලනියේ එකසිය විසි තුන ගමේ පදිංචි ගැමුණුලා ලොකු අම්මා කීවාය .  මේ කොළණිවල ට ඉලක්කමෙන් නම් ලැබුනද ඒවා බොහෝ විට  මුල් පදිංචි කරුවන් පැමිණි ගම්මානවල  නමින් හැඳින්විණි . ගම්පොල කොලනිය,  කෑගලු කොලනිය, වැලිමඩ කොලනිය ආදී වශයෙනි.

අම්පාරට ආගන්තුකයෙක් වූ මට මේ ගම්මාන ගැනත් ගල්ඔය නිම්නයේ ජීවිතය ගැනත් සොයා බලන්නට ආශාවක් ඇති වී තියෙද්දී  ඊට තවත් තල්ලුවක් ලැබුනේ මෙවර පොත් ප්‍රදර්ශනයේ ගොඩගේ කුටියේ තිබී හමු වූ පියසේන කහඳගමගේ විසින් ලියන ලද 'දිගා මඩුලු දනව්ව' නම් පොත ය .  ගුරුවරයෙකු ලෙස දශක ගණනාවක් අම්පාර දිස්ත්‍රික්කයේ දිවි ගෙවූ  ඔහු දිගාමඩුල්ල ආශ්‍රිත පර්යේෂණ හා නිර්මාණ අඩංගු පොත් පහළොවක් ලියා තිබෙනවා. ආර් එල් ස්පිටල්, ආර් එල් බ්‍රෝහියර්  , මායා රන්ජන්, තාඹුගල  ආනන්ද හිමි, ගුණසේකර ගුණසෝම , සඳරුවන් ලොකුහේවා  ඇතුළු ලේඛකයන් නව දෙනෙකු විසින් ලියන ලද පොත් තිස් හතක ලැයිස්තුවක්ද 'දිගා මඩුල්ල දනව්ව' පොතේ ඇතුලත්ව තිබේ.

දිගාමඩුල්ල ආශ්‍රිත පැරණි ගම්මානවල පොහොසත් සිංහල භාෂාවක් භාවිතා වූ බවත් මේ දනව්වෙදී හමු වූ ජීවිතය හා භාෂාවේ ජීව ගුණය ඉස්මතු කළ ලේඛකයා මායා රන්ජන් බවත් කහඳගමගේ සඳහන්  කරනවා.  දිගා මඩුල්ලේ ආශ්චර්ය , මගේ රාජ්‍යය හා පිටිසර මිනිස්සු නමින් පොත් තුනක්  මායා රන්ජන් යන අන්වර්ථ නාමයකින් ලියු මහානාම රාජපක්ෂ වේයන්ගොඩ ඉපිද  අම්පාරේ අකුරු උගන්වන්නට ගිය ගුරුවරයෙක්.

වනසරණ හා මැකී ගිය දඩමං නමින් සිංහලට පෙරලුනු Savage Sanctuary  හා Vanished Trails යන දිගාමඩුල්ලේ හා බින්තැන්නේ සමාජ මානව තොරතුරු නවකතා  පොත් ලෙස ලිව්වේ ආර් එල් ස්පිටල්ය.  හිටපු මිනින්දෝරු අධ්‍යක්ෂකවරයෙකු වූ ආර් එල් බ්‍රෝහියර් ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය ගැන 1951දී ලියු පොත  මට තාම සොයා ගන්නට බැරි වූ සම්පතකි.

1818 කැරැල්ල , දිගාමඩුලු ඉතිහාසය , නැගෙනහිර සංස්කෘතික උරුමය හා වාරි කර්මාන්ත   , ඉඟිනියාගල ජලාශය , ගල් ඔය නිම්නයේ කතාන්දරය  , ජනපදකරණය හා ලංකාවේ කෘෂිකර්මාන්තය ආදී විවිධ මාතෘකා ඔස්සේ කතා කරනවානම් දවස් ගානක් කතා කරනන්ට පුළුවන. අර පොත් තිස් හත අතරට අලුත් පොතක් එකතු කරනවානම් අම්පාරේ අවුරුදු දෙකක්වත් ජීවත් වෙන්නට ඕනෑය. කොළඹ ඉඳගෙන  ඔය වැඩේ කර න්නට බැරිය .

ඒ නිසා මගේ සිහින ග්‍රන්ථය ලියන්නැයි අම්පාරට ආදරය කරන මිනිසේකුට  මම ඇරයුම් කලෙමි. ඔහු සරල සුන්දර, කලාකාමී ඉංජිනේරුවරයෙකු වන සුදත් ගමගේය . ඔහු  අම්පාරේ වාරිමාර්ග අධ්‍යක්‍ෂකවරයාය . පොත ගැන විස්තර කී විට ඔහු සරල සිංහලෙන් කීවේ මෙසේය.
' මම විස්තර හොයලා දෙන්නම් උඹම ලියපන් " කියලය. ඒ වුනත් ඔහු වැඩේ ගැන උනන්දු වෙමින් තිබේ .

ඊයේ හවස මට පණිවිඩයක් එවූ ඔහු කිව්වේ දැන්නම් බිබිලට වහිනවා කියලාය. අගෝස්තුවේදී අඩියටම වේලී තිබූ සේනානායක සමුද්‍රය පිරෙන්නට පටන් ගනිමින් තිබේ. ඊයේ වෙනවිට එහි අක්කර අඩි 89.700ක් පිරී තුබුනේය.

එන මාස් කන්නයේදී වී වගා කරන්නත්  ලංකාවෙන් පහෙන් එකකට බත් දෙන වැඩේ කරන්නටත්  පුළුවන්ය. හිඟුරානේ උක් වගාවට වතුර ලැබේ. ඇළ වේලිවල , වක්කලම් වල වතුර පිරී යනු ඇත . නිල්ල පිරෙන වෙල් නියර දිගේ දුව යන පොඩිත්තෝ ඇලේ වරුවක් පීනා කුඹුරේ වැඩ කරන මාපියන්  සමග ගෙදර එන දසුනත් සමග මට මේ වදන් ඇසේ.

බිබිලට වහිනවාලු !

සේයාරුව : දෙව්නි