Tuesday, October 27, 2015

රා බීමේ ආදීනව හෙවත් ලියන මහත්තයාගේ අබග්ගය

මීදුම විඩෙන් විඩේ ඇවිත් සුදුපාට පුළුන් අලවලා පැලැස්තර දැම්මට අපේ ගමේ කඳුවල සීතලට නිල්වෙච්ච තැන් සේරම වහන්න කවදාවත් බැරි වුනා. මේ කඳු හෙල් බෑවුම් එපාවෙනකම් පිරිච්ච ගමේ දිගට දිගේ උසට උසේ කඳු  නගින, බහින ගල් පඩිපේලි හා සිමෙන්ති කොන්ක්‍රීට් පඩිපේලි තිබුනා.සමහර ඒවා සිරීපාදේ නගිද්දී හමුවෙන මහගිරිදඹේ තියෙන එව්වා වගේ . දිගම එක  තිබුනේ ගමේ කඩ මණ්ඩියේ ඉඳන් ගම පාවුලෙන් ගලාගෙන යන උමා ඔය නානතොට හා ඒදණ්ඩ ගාවට .

කඩ මන්ඩියේ ඉඳන් ඉහළට ආයෙත් බෑවුම ඇති තාර පාර. අපේ ආච්චිලා ගෙදර ලඟින් පටන් ගන්න තාර පාරේ ටිකක් මුදුනට නගිද්දී  යවුල ගහ හම්බ වෙනවා. අද්දා අද්දා කන්ද නැග්ගාම දියතලාව සානුව හම්බවෙනවා. කොටින්ම අපේ ගම තියෙන්නේ ගැඹුරු වළක් පතුලේ. කඳු මුදුනේ පිහිටි තැනිතලා සානුවේ සිට පාර දිගේත් බැහැගෙන බැහැගෙන ඇවිල්ලා ගල්පඩිපෙළ දිගේත්  බැහැලා ඉවර වුනාම හම්බ වෙන ඔයපාර අඩි  දාස් ගාණක් පාතින් තියෙන එකක් කියලයි හිතෙන්නේ. අපේ ගෙදර ආපු සමහර පාසැල් මිත්‍රයෝ සරසවි මිත්‍රයෝ කියන්නේ අපේ ගම තියෙන්නේ මුහුදු මට්ටමෙනුත් පහළ කියල. අපේ ඔය ඉවුරෙන් සිප්පි කටු හම්බ වෙනවා, ලිඳේ හාල්මැස්සෝ ඉන්නවා කියල කාඩ් හිට ගහලා තිබ්බා.

පන්සල තිබ්බේ ඔයට යන ගල්පඩි පාර  අතරමැද. ටී හන්දියකින් තවත් පඩිපෙළක්  විහිදුනා පන්සල දිහාවට, එතැනින් හැරිලා පන්සල පැත්තට යනකොට නුදුරේම තියෙන සිමෙන්ති බැම්මෙන් වටකරපු පංසලේ ලිඳ හම්බ වෙනවා. අඩි  පහළොවක් විතර ගැඹුරෙන් පිරිමි කෙනෙක්ගේ තන මට්ටමට එනකන් විතර නිල් කැටේට පිරිලා තිබ්බ ඒ ළිඳේ වතුර මිහිරි රහයි. (මේ ලිඳේ වතුර මට්ටම මෙහෙමයි කියල දැන ගත්ත දවස ගැන තමයි අද ලියන්න යන්නේ ) පඩිපෙළ නැගලා මහන්සිය නිවාගෙන මේ ලිඳෙන් වතුර ටිකක් බීලා යන ඇත්තොත් හිටියා .

පඩිපෙළ බැහැගෙන බැහැගෙන බැහැගෙන ගිහිල්ලා  ඒදණ්ඩෙන්  එහා පැත්තට ගියාම හම්බ වෙන්නේ ගොවිතැන් බතින්, පැණි හකුරෙන් සරුසාර ගමක් . ඒ සුන්දර එහා ගම ලෝකයේම ප්‍රසිද්දයි කිතුල් රා හා කිතුල් හකුරු වලට. හකුරුනම් එහා ගමෙන් අපේ ගමට ගෙනත් විකුණන ඈයෝ හිටියා. රානම් කලගෙඩි අරන් ගිහිල්ලා පුරවාගෙන එන්න ඕනි . කලගෙඩි වෙනුවට බඩගෙඩි  උස්සගෙන බොහෝ දුර පාර ගෙවාගෙන මේ ගම්සබා පඩිපෙළ දිගේ බැහැලා හොඳ පෙණ  උතුරන කිතුල් රා බඩෙන් එකක් පුරවාගෙන ඒවා ඇඟ පුරා ලේ නහරවලත් දුවද්දී හති හල හලා  ඒ වුනත් තනියම හිනා වෙවී ඔය කන්ද ආපිට නගන වැඩිහිටි ඇත්තෝ අපි  ඕනි තරම් දැකලා තියෙනවා.

අපේ ගමටත් ඉහළින් තිබ්බ ගමකට ඈත පලාතකින් ආපු කොට මහත ලියන මහත්තයා මේ කිතුල් රා ගැන ආරංචි වෙලා තාරපාර දිගේත් පඩිපෙළ දිගේත් සන්තෝසෙන් රෝල් වෙමින් ඇවිත් අපේ අල්ලපු ගමට ඇදිලා ගිහින් තියෙන්නේ කාන්දමකට ඇදෙනව වගේ.

මේ  අවාසනාවන්ත දවසේ ලියන මහත්තයා ජෙමිස්ගේ  ගෙදරින් පෙණ උතුරද්දීම කිතුල් රා  බෝතල් දෙක තුනක් බීලා ඒදණ්ඩෙන්  ගඟේ මෙහා පැත්තටත් ආවා . කොච්චරවාත් කකුලේ එල්ලෙන කුඩෑල්ලන්  ගලවමින් උන්ට බැන වදිමින් ගල් පඩි පෙළ දිගේ මැද හරියක්  එනකොට වටින් ගොඩින් කළුවර වෙලා .
අනේ මනුස්සයට පාර  වැරදුනා පන්සල ලඟදි. මහා පාර පැත්තට එනවා වෙනුවට පන්සල පැත්තට  හැරුණා . වෙරි මරගාතේ ඒ පඩිපෙළ දිගේ විසිවී විසිවී යනකොට අයෙත් හන්දියක් .පාරවල් දෙකක්. ලිඳට හැරෙන සිමෙන්ති පඩි දෙකතුන හා පන්සලට දිවෙන පඩිපෙළ.

අහෝ! අපේ කතානායකයා එතැනින් හැරුනෙත් වැරදි පැත්තට. අඩි දෙක තුනක් තිබ්බම ටිකක් උස  සිමෙන්ති පඩියකුත් හම්බුනා. එතනින් එහාට මොකුත් පේන් නෑ .ඊළඟට ලියන මහත්තයා අඩිය තිබ්බේ කොහාටද දන්නවාද ?
ජබ්බොග් ! පන්සලේ ලිඳ ඇතුලට.

 'සුරා සොඩෙක්  ගිරි කුළකින් පාවී මහා පොළවට පාවී  එද්දී... ගත දැවටෙන මේ සීත සුළං රැල් අහෝ සැපයි කිව්වාලු' .

පිංවතුනි අපේ ලියන මහත්තයා සින්දු කිව්වේ නෑ . අඩිය වැරදිලා තමන් අගාධයකට වැටෙන්න යනවා කියලා තේරුම් ගත්තු ගමන් 'බුදු අම්මෝ මාව බේරා ගනියෝ' කියල මරහඬ තලාගෙනම ලිඳ ඇතුලේ පත බෑවුනා . ඒ මර ළතෝනිය සද්දෙන් මතුවෙලා  ලිඳ ඇතුලේ ගිලෙද්දී මහා  බියකරු දෝංකාරයක් නංවමින් හරියට රයිෆල් උණ්ඩයක් වගේ  ලිඳ වටේ කැරකි  කැරකී ඇවිත් උඩට මතු වුනා.

පන්සල්වත්තේ කෙළවරක කයිවාරු ගසමින් සිටි කොලු නඩේ අතරින් එකෙක් තමයි විමලේ . මිනිහට ඇහුනෙම තමන්ගේ ආතාගේ කට හඬ. මල් පුජා  කරන්න කලින් වට්ටියට පැන් ඉහින්න ලිඳ පැත්තට යන ආතා ලිඳට වැටෙන්න ඇති කියල හිතන් ගම දෙවනත් වෙන්න කෑ  ගැහුවා

 'අනේ මගේ රත්තරං ආතේ  උඹට  මොකද උනේ . ඇයි ලිඳ ලඟට ගියේ මේ කළුවරේඒ ඒ ඒ ඒ '
 කියා කෑ ගසමින් පොළොවේ පස් කන්නට වුනා.
මේ හඬ ඇහිච්ච ගමන් ගමෙන් බාගයක් විතර පන්සලට දුවගෙන අවා, පන්සලේ ඝන්ටාරේ නොකඩවා වැදුනා. මේ අතරේ පන්දම් ඉනිමන් කඹ එහෙම ගත්ත තවත් පිරිසක් ලිඳ වටා රොක් වුණා

හතර පස් දෙනෙක් ඇවිත් ගණකම කඹයක් බොලොක්ක පොල්ලේ ගැට ගැහුවා , උස ඉනිමගක් හා දිග උණ ලීයක් ලිඳට දැම්මා . දෙතුන් දෙනෙක් ලිඳට බැස්සා. තන මට්ටමට වතුරේ ගිලිලා බය බිරාන්තව හිටි මහත දෙහෙත පුද්ගලයාගේ ඉණ වටේ කඹේ  වෙළුනා . කවුද කින්ද මන්ද හොයන්නේ නැතුව වැර වීරියෙන් ඒ පතාක ශරීරය ලිඳෙන් ගොඩට ගත්තා.

විමලයා සැනසුම් සුසුම් හෙලුවේ සිය හීන්දෑරී ආතා වෙනුවට ලිඳෙන් ගොඩට ගත් මේ ජම්බෝල මුණයි කලගෙඩි බඩයි හිමි තැනැත්තා දුටුවාට පසුවයි. ප්‍රථමාධාර ක්‍රම මොකුත් නොදැන සිටි නිසා කවුරුවත් ලියන මහත්තයා බිම පෙරලගෙන බඩේ තිබ්බ රා කලගෙඩිය එලියට ගන්න මහන්සි වුන් නෑ . කොහොම වුනත් මිනිහා හොල්මන් වෙලා හිටියට හොඳ ශරීර සනීපයෙන් හිටියා . ටික වෙලාවක් බිම වාඩි  වෙලා ඉඳලා ගමේ කීප දෙනෙක්ගේ වාරුවෙන් ගෙදර යන්න පිටත් වුනා.

රා බීමේ ආදීනව ඔන්න ඔහොමයි!

අර මහදැනමුත්තා කාගේදෝ ඇඹේනියක් දුන්න තෙලිජ්ජ ටිකක් බීලා රහ වැටුනයින් පස්සේ ඒ දිව්‍ය  පානය හම්බුනේ කොතැනින්ද කියල ඇහුවම අනේ අර මායියා ඔලොක්කුවට කිවලු  අපේ වත්තේ ලිඳෙන් කියල. එදා රෑ  මහදැන මුත්තා ගෝලයෝ ටිකයි අලියෙකුයි අරං  ආවලු ලිඳ උස්සාගෙන යන්න. ලියන මහත්තයා පන්සලේ ලිඳට එබුනෙත් කවුරු හෝ දුන් ඒ වගේ ලණුවක් නිසාද කියලා අපේ අම්මයි තාත්තයි කතා වුනා.

මේ අතීත සිද්දියේ සමහර කෑලි මට අමතක වෙලා තිබ්බේ. සිකුරාදා නිවාඩු දවසේ අපේ තාත්තට කතා කරලා විස්තර මතක් කර ගත්තා. අපි දෙන්නා සැහෙන වෙලාවක් හිනා වුනා පරණ සිද්දි මතක් කරලා . හැබැයි ඉතින් ඕනිවට වඩා අතිශයෝක්තිය දාලා ලියන්න එපා කියල තාත්තා කිව්වේ මගේ ජම්ම පුරුද්ද අත අරින්න බෑ කියල දැන දැනමයි.

(මහදැනමුත්තා ලිඳ උස්සාගෙන යන්න හදපු කතාවේ නූතන වර්ෂන් එක තියෙනවා ලබන සතියේ ලියන්නම්.  මට හමු වූ අපුරු මැවිසුරන් ගැන ලියවෙන කතා පෙළට අයිති එකක් ඒක )

චිත්‍රය ඇන්දේ ඔවිනි 

Monday, October 19, 2015

ගාමිණී බොස්

කොළඹ රස්සාවට ආ මුල් කාලයේදී අමතර ආදායමක් හොයා ගැනීමට මම නිවාඩු
දවස්වල ඔටෝකැඩ්  ටියුෂන් දුන්නෙමි .

නුගේගොඩ රේල්වේ ඇවෙනිව්හි පිහිටි නවීන දෙමහල් මන්දිරයට මාස කීපයක් යනතුරු සෙනසුරාදා උදෙන්ම මා ගෙන්වා ගත්  ගාමිණී සිල්වා මගෙන් මහත් ඕනෑකමින්  ඔටෝකැඩ් ඉගෙන ගත්තේය. ඒ කාලේනම් අලුත් මැජික් එකක් වූ පරිගණක ඇසුරෙන් සැලසුම් අඳින මේ මෘදුකාංගයෙන් ඔහු ඉන් පසු හොඳින් ප්‍රයෝජන ගත්තේය.මට වඩා බොහෝ වැඩිමල් වරලත් ඉංජිනේරුවෙක් වූ ඔහු ඒ වනවිට හොඳින් ලාබ ලබමින් තීබු  ඉදිකිරීම්  සමාගමක හිමිකරුවා වීය .ඒ වුනත් ටියුෂන් ගන්නා කාලයේ ඔහු සිගරට් එකක් වුනත් බිව්වේ මට නොපෙනෙන පරිදිය.  බොහෝ ගරු සරු ඇතිව මට සැලකු ඔහු ඉන්පසු ජීවිත කාලය පුරාම මගේ හිතවතෙක් වුනේය. මගේ හැම වැදගත් කටයුත්තකදීම ඔහු මා සමග හිටියේය.

හැම විටම අලුත් දෙයක් ඉගෙන ගැනීමට උතුරා යන උනන්දුවක් තිබුණු ගාමිණී සිල්වා  වැඩබිමට පැමිණ පම්පෝරි ගසමින් වුනත් එසේ උගත් දේ  තම ගෝල  බාලයින්ටත් කියා දුන්නේය. පලංචි ගහන ක්‍රම, සැටලීම් ගහන ක්‍රම, බිල්ඩින් හදන්නට ඔනෑ අලුත් මාදිලියේ උපාංග ආදිය ගැන ඔහු නිරන්තරයෙන්  හොයා බැලුවේය. මා මුල්වරට ඩිජිටල් කැමරාවක් දැක්කේද ඔහු ළඟ  තිබියදීය.

සෙනසුරාදා නැතිව ඉරිදා උදේ පන්ති කරමුදැයි මා ඇසු විට ඔහු කිව්වේ 'මේකනේ වැඩේ අපි සෙනසුරාදා රෑ යාළුවො සෙට් වෙනවා, ඩාන්ස් කරනවා ඉතින් ඉරිදා  දවල් වෙනකන් බුදියාගන්නවා'.

මහන්සි වී වැඩ කරන අතරේම ඔහු විනෝද වෙන්නටද ස්ථිර කල සටහනක් වෙන් කරගෙන තිබුණේය.

ඔය කාලයේදීම අලුතින් ඉදිකරන්නට යන කර්මාන්තශාලා වැඩබිමකට ඉංජිනේරුවෙක් හොයා දෙන්නැයි ඔහු කිව්වේය. මට නිතැතින්ම මතක් වුනේ කරමින් සිටි රස්සාව එපා වී  ආඩපාලි කියමින් සිටි මගේ මිතුරු දිසාය.

ඒ අනුව දිසා බියගම අලුත් වැඩපලට මුල්ම ඉංජිනේරුවා ලෙස බැඳුනේය.සුවිසල් කර්මාන්ත ශාලාව, ගබඩා, පිරිපහදුව, පරිපාලන ගොඩනැගිල්ල  ආදිය ඉදිකෙරුණු මුළු කාලය තුලම නොයෙක් නොයෙක් දේ කරමින් මමත් ගාමිණී හා දිසා සමග බියගම වැඩපොළ හා සම්බන්ධ වී සිටියෙමි.

වැඩ පටන් ගැනීමට කලින් මේ වැඩබිමට වෙන්කර තිබු මුඩු  ඉඩමට අරක්ගෙන සිටි ගණන්කාරයින් දෙන්නෙක් ගැන අසන්නට ලැබුනේය.  තමන්ට රිසිසේ අණසක පතුරුවන්ට තිබෙන ඉඩම එලි පෙහෙළි වෙනවාට ඔවුන් කැමති වුනේ නැත. මේ මිනිස්සු මෙහෙම කරන්නේ හොඳ ආදායම් මාර්ගයක් නැති නිසා බව පැවසූ ගාමිණී සිල්වා ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකුට වැඩබිමට පස් සපයන කොන්ත්‍රාත්තුව දුන්නේය. අනිකාට කෑම සප්ලයි කරන්නට අවසර දුන්නේය. ඒ දෙදෙනාගේම ජීවන රටාව ක්‍රමයෙන් ඉතා යහපත් අතට හැරුණි .

අලුතින් පත පොත හොයාගෙන නිර්මාණශීලීව  ඉදිකිරීම් කරගෙන ගිය  ගාමිණී ඇතුළු පිරිස හොඳ ලාබයක් ලබමින් අන්තිමේදී බියගම වැඩේ අවසන් කලෝය.

ඉන් ටික දවසකට පසු දිසා අවනඩුවක් කිව්වේය.

'මචන් බලපන්කො  මේ වැඩේ ඉවර කරන්න මම තරම් මහන්සි වෙච්ච මිනිහෙක් ඉන්නවද. දවල්ට කන්න වෙලාවක් නෑ . ගෙදර යනකොට රෑ  දහයයි එකොළහයි ඔහොම අවුරුදු දෙකක් මහන්සි වෙලා වැඩේ ගොඩ දාල දුන්නා .
ඉතින් ?

'ගාමිණී බොස් හැමෝටම බෝනස් දුන්නා. පනස්දහ, හැටදහ හිටන් . මට එක ශත පහක් දුන් නෑ . වෙන එකක් තියා කලින් අස් වෙලා ගිය මිනිස්සුන්ගේ පොත්වලටත් සල්ලි දාලා . උන් දන්නෙත්  නෑ' .

ගාමිණී සිල්වා ගැන මගේ හිතේ තිබ්බ පැහැදීම මදක් සසල වුනත් මම ඒ ගැන වැඩිදුර හිතන එක කල් දැම්මෙමි .

ඊළඟ පඩි දවසේ මා ඇමතූ දිසා මෙසේ කිව්වේය,

'මචන් බොස් මාර වැඩේ තමයි  කරලා තියෙන්නේ.
මොකක්ද ?
මට ගේ හදන්න ලක්ෂ තුනක ලෝන් එකක් දීල තිබ්බනේ කොම්පැනියෙන්.
තව ලක්ෂ දෙකක් විතර ගෙවන්න  තිබ්බා.
ඉතින් ?
බලපන්කො බොස් එකවුන්ටන්ට කියල මගේ ණය ගෙවල ඉවරයි ඒ නිසා ක්ලෝස් කරලා දාන්න කියල. මේ සැරේ පඩියෙන් වාරිකේ  කැපිල නැති නිසා අහනකොටයි දැන ගත්තේ . එහෙම බලනකොට මට තමයි ලොකුම බෝනස් එක දීලා තියෙන්නේ.

**********
බියගම මහා කම්මල් කොන්ත්‍රාත්තුව අවසන තව කුඩා ඉදිකිරීම් කීපයක්  කරාට පසු ගාමිණී සිල්වා කොම්පැනිය වසා දැම්මේය .

කොම්පැනිය වසා දමා  අවුරුදු දහඅටක් යනතුරු හරියටම කියනවානම් පසුගිය එකොලොස් වැනිදා වනතුරු ඔහු කිසිම ව්‍යාපාර කටයුත්තක් කලේ නැත. . ඔහු එක්  රැස් කර තිබු මිලමුදල් වතු පිටි සියල්ල ටික ටික කාට හෝ බෙදා දී හිත සැහැල්ලු  කර ගත්තේය. මේ නිදහස් මනස නිසාදෝ ඔහු වයසට යන බවක් පෙනෙන්ට නොතිබිණි.

පහුගිය මාසයේ ඔහු හමු වීමට ගිය දිසාට කියා තිබුනේ ඔහු දැන් සියලු බැඳීම් අත් හැර දමා  ඇති බවය . ඒ වුනත් එදත් ඔහු දිසාට අලුත් බිස්නස් එකක් හොයා ගන්නට උපදෙසක් දී තිබුනේය.

ඔක්තෝබර් එකොලොස් වැනිදාත්  සුපුරුදු හිනා මුණින් අවදි වූ ගාමිණී සිල්වා සැහැල්ලු සිතින්ම ජීවිත ගමන නිම කලේ  හදිසි හර්දයාබාදයකට පසුබාමිනුයි.

අත් හැරීම හෝ සැහැල්ලුවෙන් ජීවත් වීම පටන් ගත යුත්තේ මිනිස් දහිර්යයේ මහිමය පෙන්වමින් පුළුවන් තරම් ජයග්‍රහණ අත්පත් කර ගත්තාට පසුව බව ඔහුගේ දහම වුණේය .  ඔහු විජිතයක් ගොඩ නගා  දරුවන් දෙදෙනාට ඉහළම උසස් අධ්‍යාපනය ලබා දුන්නේය . ඇසුරු කළ හැමෝම ගොඩ දමන්නට මහන්සි ගත්තේය. මේ අපූරු ගති ගුණ නිසා පවුලේ අයත් හිතවතුනුත් ඔහු කෙරේ වැඩි වැඩියෙන් බැඳෙද්දී ඔහු උත්සහ කළේ  බැඳීම් අඩු කර ගන්නටය.

ඉතා දක්ෂ ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් වූ ගාමිණී  සිල්වා තමන්ට ලැබුණු හැම ව්‍යාපෘතියක්ම  සාර්ථකව නිමා කළේය. ඔහුගේ නායකත්වය හා සාර්ථකත්වය ගැන ඉන් පසුවද කතා බහ කෙරුනේ ඒ නිසාය .

ඔහුගේ ජීවිතය ගැන කියන්නට ඇත්තේද එයමයි. ඔහු ඒ ප්‍රොජෙක්ට් එකත් අති සාර්ථකව අවසන් කොට ඇත .

(මට හමු වූ සුවිශේෂ ඉංජිනේරුවන් කීප දෙනෙක් ගැන වරින්වර සටහන් පෙළක් ලියන්නට හිතුනේ සිමෙන්ති. ගල්වැලි හා සැලසුම් කඩදාසි සමග දිවි ගෙවන මේ මිනිසුන්ගේ  සැබෑ ජීවිතය බොහෝ දෙනාට මග ඇරෙන බැවිනි . මේ ඒ ආකාරයේ සටහන්වල  පළමුවැන්නයි.)
*****************



Saturday, October 3, 2015

සිරිල්ගේ ෂටරිම


( මෙය කෙටි කතාවකි )
ජන්ත ගේ කෑල්ලක් හදමින් හිටියේය . ඉසේල්ලාම බත්රුම් එකයි එක කාමරයක් හදාගන්න පුළුවන් විදිහට උඩ  තට්ටුවෙන් කොටසකට ස්ලැබ් එකක් දාන්නත්  එළියෙන් මඩුවක් ගසා  තාවකාලික කුස්සියක් හදා ගන්නත් ඔහු සිතා සිටියේය.

ඒ වුනත් කාමර හතරක දෙමහල් නිවසට අත්ත්වාරම් දමා එක කෙළවරක් වෙන්නට තිබු කාමරයේ පමණක් බිත්ති ටික නංවා ගත්තාට පසු අජන්තගේ අතේ තිබු පිච්චිය ඉවර වී තිබිණි

කින්ග්   ජෝජ්ලා ගෙදර ඇනෙක්සිය කුලියට ගෙන අම්මා නවත්තා තියා ගත්තාට අම්මා පිරියකින් එහෙ වාසය නොකරන බව ඔහුට තේරුම් ගිහිල්ලා තිබුණි.
'තිබ්බ මහගේ කඩා දාලා තට්ටු දෙකට ගෙවල් හදන්නනේ  උඹට වුවමනා වුනේ' . අම්මා නිතර ආඩපාලි කීවාය
'අම්මේ තිබ්බ එක කඩා වැටෙන්ඩ  ඔන්න මෙන්න කියලනේ තිබ්බේ'.
අම්මා කිසිත් නොකියා කරබා ගත්තී මෙසේ සිතමිනි 'ඒ වුනාට මට ඔය එක එකාගේ අගුපිල්වල ලගිනවට වඩා පරම්පරාවක් හිටිය පරණ ගේ ඇතුලෙම ඇස් දෙක පියාගනන තිබ්බානම් '

ඒ අතරේම ඇයට සිහිපත් වුනේ අජන්ත මේ වැඩේ නොකලානම් නොබෝකලකින් පරණ ගෙයි  මුලප්පරාලය කඩා වැටී මහා අනතුරක් වෙන්ට තිබුණු බවය , නැත්නම්  ඒ වෙනකොටත්  එකිනෙකා නුර්ස්නා ලෙස ඈත්වෙමින් සිටි පරණ ලොකු මෝඩ ගඩොල්  විසින් මවන හිදැස් විසින් පාරේ යනවුන්ට ගෙයි නැතිබැරිකම් උලුප්පා පෙන්වනු ඇති බවය.

ඔප්පු නිරවුල් නැති නිසා බැංකු ණයක් ගන්නට බැරියෙන් අජන්ත ගේ හදන්න පටන් ගත්තේ මාස දෙකක පඩිය ඇඩ්වාන්ස් එකක් අරගෙනය. ඉන්පසු අම්මාගේ රත්රන් බඩුද අයියාගෙන් ඉල්ලා ගත මුදල්ද පොලියට ගත්  මුදල්ද අවසන් වීම නිසා ඔහු පතුලටම හිර වී ගියේය .
යකඩබඩු  කඩෙන් ආයේ ණයට  දෙන්නේ නැති වග දන්වපු දවසේ ඔහු ඉල්ලා තිබුණේ ෂටරීම් කෑල්ල ගැසීමට ඕනෑ  කරන රුපියල් දහදාහක් වටිනා ෆ්ලයුවූඩ් තහඩු දහයකි.

කම්බිත් ඇත. මෙටල් ගලුත් ඇත. සිමෙන්තිත් ඇත. කම්බි  කූරු ඇත. දැන් ඇත්තේ ෂටරිම ගහන එකය. මේ පොඩි ෂටරීමක් දවස්  තුනෙන් ගසා පහුවදා කම්බි බැඳ  ඊළඟ දවසේ කොන්ක්‍රීට් දමන්නට පුළුවන.

'මහත්තයා ෂටරින් ලෑලි  ටික ගෙනල්ල තියල අපිට පණිවිඩයක්  එවන්න අපි එන්නම්'. ගලහබාස් කිව්වේ  කාගේදෝ ගෙයක් හදන්නට ගාලු යන්නට  පිටත් වෙද්දීය .

දැන් ඉතින් ලබන මාසේ පඩිය ලැබෙනතුරු කරන්නට දෙයක් නැත. ණයට ගන්නට තැනක් නැත. පොඩි ගානක් තිබ්බත් බාස්ලාගේ ගෝලයින්ගේ දවසේ වියදම් සල්ලිත්, පොඩි පොඩි අඩුම කුඩුමත් ගන්නට එය  ඕනෑ  වෙයි.

ඉතින් මේ අල්ලපනල්ලේ අජන්තට ඝන දෙවි නුවණක් පහළ  වුනේ වැඩපලේ අලුත් ෂටරිම දෙස බලමින් ඇවිදිමින් සිටියදීය. මේ ෂටරින් ලෑලි හතරපාරක් පාවිච්චි කරාම අයින් කරන්න ඕනි. ලබන අඟහරුවාදා එහෙම ගැලවෙන ෂටරින් තහඩු දහයක් දොළහක් තියෙනවා. ඉතින් ඒ ටික සිරිල්ට කියලා සුද්ද බුද්ද කරගෙන ගේට්‌ පාස් එකක් දාගන්න එකනේ තියෙන්නේ.

මහලොකු ඉංජිනේරුවෙක් වුනාට ගෙයි වැඩටික කරගන්න ලක්ෂ දහයක් නැති අසාර්ථක මිනිහෙක් ලෙස සමහරුන් ඔහු දෙස බැලුවේ, වැඩබිමේ උප  කොන්ත්රත්කරයෙකුට කිව්වනම් ඔය වැඩේ නොමිලේම කර දෙන බව දන්නා බැවිනි.

දැන් මේ ඩිස්පෝස්  කරන්න තියෙන තහඩු ටික ලොක්කට කියලම ගෙනියන්න පුළුවන්. අනික මේ කොළඹ අධි ආරක්ෂක කලාපේ බලධාරීන් වර්ග කීපයක් ඉන්න තැන ඇණයක් මුරිච්චියක්වත් අනවසරයෙන් ගෙනියනට් කාටවත් බැරිය.

එහෙම නොවෙන සයිට් එකක හිටියත් අජන්ත කවදාවත් අහක දාන දෙයක් මිස කිසිවක් ගෙදර ගෙනිච්චේ  නැත. නිකන් ඉල්ලුවෙත් නැත.
ෂටරින් ගලවන්නේ අඟහරුවාදය.
සඳුදා උදෙන්ම අජන්ත ගලහබාස්ට කතා කළේය.
'බදාදා උදේ එන්න. මම ෂටරින් ලෑලි ටික ගේනවා. මේ සතියේ කොන්ක්‍රීට් ටික දාගත්තැකි . ලබන සතියේ මට පඩි හම්බ වෙනවා. දිගටම වැඩ කරතහැකි. දෙතුන් දෙනෙක් එක්ක එන්න' .

දවල්වෙද්දී ෂටරිම ගලවා අවසන් වුනේය. තබා ඇති සලකුණු අනුව සිව්වරක් පාවිච්චි කරන ලද  ෆ්ල්යිවූඩ් ශීට් කෑලි හරියටම දොළහක් තිබ්බේය.

'සිරිල්ට කියලා මේකෙන් දහයක්  සුද්ද බුද්ද කරලා කැබ් එකට පටවා ගන්න ඕනි' අජන්ත එසේ සිතා සිටියත් සිරිල් කියන්නත් පෙර ක්‍රියාත්මක වී තිබුණේය  .

වෙනදා කෑම පැයෙන් පසු කොහේ හරි මුල්ලක සැඟවී පොඩි නින්දක් දමන සිරිල් එදා යුහුසුළුව ප්ලයිවූඩ් තහඩුවල තැවරී තිබූ සිමෙන්ති බදාම සුද්ද කරමින් සිටියේය.

මම සිරිල්ට කීවද මේ ශීට් ටික සුද්ද කරලා ගන්න කියල?. මතකත් නෑ .
සුවච කීකරු ගෝලයක් වෙච්ච සිරිල් අනුන්ගේ හිත්  කියවන්න පුළුවන්. පොඩි පොඩි අත්  උදව්වලට් සිරිල් ගෙදර එක්කගෙන ගිහින් තියෙන එකේ අපේ ගෙදර ඊළඟට තියෙන්නේ ෂටරිම ගහන්න කියලා මිනිහ දන්නවා ඇති.

සිරිල් ලී ෂටරින් තහඩු සුද්ද කරමින් සිටි තැනට ගිය අජන්ත ඔහු වැඩ කරන දෙස දයාබරව බලා සිටියේය.

සිරිල් අජන්ත දුටුවේ ටික වෙලාවකට පසුවය. තිගැස්සී අජන්ත දෙස බැලු සිරිල් වරදක් කර හසු වුවෙක් මන් මදක් පසුබා ගොස්  කහට පැහැ දසන් පෙන්නා සිනා සුනේය.

සිරිල්ට මං මහන්සියට ගාණකුත් දෙන්නම්. ඔය ටික හොඳට සුද්ද කරලා කැබ් එකට පටවපන් පුතා. මම අද කලින් ගෙදර යනවා.

ඉන් පසු ඔහු වැඩබිම් කන්තොරුව දෙසට ඇවිදගෙන ගියේ දවසේ ලියකියවිලි ටික ඉක්මනින් අහවර කර දමන්නටය.

බහලුම් පෙට්ටියකින් තැනූ වැඩබිම් කන්තෝරු කවුළුවෙන් ඔහුට වැඩබිමේ බොහෝ වගවිස්තර පෙනෙයි. ඒ  සියලු දේ  පරදා ඔහුගේ නෙත යොමුවුණේ සිරිල් වැඩ කරන තැනටය.

මීට මදකට ඉස්සෙල්ලා දකිද්දී කඩියකු මෙන් වැඩ කරමින් සිටි සිරිල්ගේ උද්යෝගය අඩු වී ඇති සෙයකි. ඔහු ඕනෑවට එපාවට දෙපසට වැනෙමින් ෆ්ලයිවූඩ් තහඩු  ටික පිස දාමින් සිටියේය . ඒ අතර විනාඩි ගණන් නතර වී එක තැන බලා සිටියේය.

අජන්ත පුරවමින් හිටි ෆෝරම් කොළ ටික උඩින් යකඩ කෝදුව තබා සිරිල් වැඩ කරන තැනට ගියේය
සිරිල් අසනීපෙන්ද?
සිරිල් හිස ඔසවා බැලුවේය. ඔහුගේ දෑසේ කේන්තියක් තිබිණි.
සිරිල්ට මහන්සිනම් කියන්න මම යසරත්නට  කියල ඔය වැඩේ කරවගන්නම්.
සිරිල් දන්නවනේ මම ඔෆිස් එකේ මිනිස්සුවත් බඩු  භාණ්ඩයක්වත්  මගේ වැඩකට ගන්නේ කොච්චර කලතුරකින්ද කියල. එහෙම වැඩක් ගත්තත් මම ඒ කටත් ගෙවනවානේ.

'අනික ඔය තහඩු ටික අද හවස ලොරියේ පටවාගෙන පාමංකඩ ඉස්ටෝරුවේ  ගොඩ ගහන්නනේ  හිටියේ . පස්සේ වේයෝ කෑවාම  කහළ  ගොඩට දානවා. ඉතින් කවුරුහරි ප්‍රයෝජනයක්  ගන්න එක හොඳයිනේ'.

 සිරිල් අජන්ත කී දේ නෑසුනාක් මෙන් දිගටම තුනී ලෑලි  තහඩු ටික සුද්ද කරගෙන ගියේය.

හවස වැඩ අවසන් වෙන හෝරාවේ ලී තහඩු ටික කැබ් රියට පටවා ගැනීමට සිරිල් උදව් නොකළේය.  ඔහු ඒ වෙලාවේ කාරිය මග හැර කොහේදෝ ගොස් සිටියේය .
ඉස්ටෝරු කාමරයේ අත් උදව්වට සිටි යසරත්නව හවුල් කරගෙන තහඩු ටික වහානයට පටවා ගන්නට අජන්ත සමත් වුනත් යසරත්නගේ පවා  මුහුණේ යම්කිසි විරෝධාකල්පයක් පෙනෙන්නට තිබුණි.
ඔහු කැබ් තට්ටුව මත ප්ලයිවූඩ් තහඩු අත හැරියේ එපා වාහෙට හොදි බෙදන්නාක් මෙනි .

තේරුම් ගැනීමට අපහසු මේ බහුබූත හැසිරීම් මැද බයාදු සේවකයෙකු වූ යසරත්නට මදක් සැර වැර වී ඇත්ත අසා ගැනීමට අජන්තට හැකි විය .

සිරිල් ඉන්නා පර්චස් තුනේ ඉඩම් කෑල්ලේ පුංචි කාමරයක උඩ තට්ටුවක් දැමීමට සියල්ල ලැහැස්ති කොටගෙන තිබේ. හෙට බාස්ලාද එන්නෝය. හවස පාමන්කඩට පටවන අබලි බඩු ටිකක් සිරිල්ලා ගෙදරට ගෙන ගොස් බෑමට ලොරියේ රියදුරා සියල්ල සුදානම් කරගෙන සිටී . මෙය කන්තෝරුවට හොරෙන් කරන වැඩකි. නැත්නම් හොරකමකි. ලොරිය පදවන ආනන්දට දීමට ගල් අරක්කු බෝතලයක් සිරිල් විසින්  කල්තියා අරගෙන ඇත්තේ දෙදෙනෙකුට ණය වීමෙනි .

දැන් අජන්තගේ මැදහත් වීම නිසා ඒ 'හොරකම' වැළකී තිබේ.

හ්ම්ම් අජන්ත පපුව හිස් කර ගත්තේය.

'යසරත්න මේ බව මම දන්නා වගක් කාටවත් කියන්නා එපා'.

'දැන් ගිහිං සිරිල්ට එන්න කියනවා මා එක්ක යන්න'.

ඕ ටී නොකරන බොහෝ දවස්වල කිරිබත්ගොඩට යනතෙක් අජන්තගේ වහනයේ නැගී යන්නට සිරිල්ට අවසර තිබේ. කිරිබත්ගොඩින් වත්තල පාරේ හැරී ටික දුරකදී හමුවන අතුරු පාරකින් ගිය විට සිරිල් වෙසෙන අනවසර රිසර්වේෂන් ඉඩමේ හැදූ ගේ කෑල්ල තිබෙනා බව අජන්ත දැන සිටියේය.
කිරිබත්ගොඩ පසු කරාටත් පසු අජන්තටනම් නුවර පාරේ තවත් හැතැම්ම දහයක් විතර යා යුතුය

මේ කල්පනාවේ ගිලී සිටින අජන්තට සිරිල් සොයා ගොස් හිස් අතින් පැමිණි යසරත්නගේ බයාදු කටහඬ ඇසුණි .

'සිරිල් එන්ඩ පරක්කු වෙනවා  කියනවනේ සර්' .

අජන්ත කෝපාවිෂ්ඨ වුනේය

දෙන්න තුන් දෙනාගේම රස්සා නැති කර ගන්නද හදන්නේ? . නගින්ට කියනව මිනිහට ඇවිත් වාහනේට.

තවත් විනාඩි ගණනාවකට පසු ඉටි බෑග් එකකට දමාගත් හිස් කෑම පෙට්ටිය අතින් ගත් සිරිල් අජන්තගේ වාහනේ පසු පස අසුණට  ගොඩ වුනේය .

නුවර පාරේ වාහන තදබදය මැද්දෙන් කිරිබත්ගොඩ හන්දියට රථය ළඟාවනතෙක් දෙදෙනා අතර කතා බහක් නොවීය .

'ඉස්සරහින් මං  බහිනවා මහත්තයා ' කියා වෙනදාටනම්  බොහොම ලෙන්ගතුව පවසන සිරිල් අද උගුර පමණක් කාරා තමන් ඉන්නා බව අජන්තට මතක් කර දුන්නේය.

 ඒ වගක් නොතකන්නාක් මෙන් ඉදිරියට ඇදුණු රථය නුවර පාරේ කෙලින් යන්නේ නැතිව වත්තල දෙසට හැරවිණි .

'සිරිල් මට හරියටම කියන්න ඕනි ගෙදරට යන පාර . ගේ ළඟටම වාහනේ ගන්න පුළුවන් නේද ?

සැනෙකින් සිය වත මඩල ඒකාලෝක වී ගියමුත් ඇස් දෙකට කඳුළු පිරුණෙන් සිරිල්ට ඉස්සරහා පාර පෙණුනේ නැත . ඒ මදිවාට අජන්ත මහත්තයා ඇසු  ප්‍රශ්නයට උත්තර දී ගන්නට බැරිව ඔහුගේ දිව පැටලුණේය.

Photo:smallhouseplans.biz