Sunday, January 28, 2024

මා සමග කෝච්චියේ ගිය රන්ජන් හා මැත්තා

අපේ අවසාන වසරේ විභාගය ඉවර වී දවසක් දෙකක් ගෙවී ගෙදර යන්නට බලා සිටි අප‍ට 1993 මැයි පළවෙනිදා මානසිකව විවේකි දවසක් උනේය . එදා උදේ ජනාධිපති ගමන්ගත් මැයි පෙළපාලියෙදී සිදූවූ අලකලංචිය අපට අසන්නට ලැබුනේ නුවර ගොස් දෙල්තොට බස් එකක නැගී පේරාදෙණි එද්දීය . බසයට අතරමගින් ගොඩ වුවෙක් මේ ආරංචිය කිවේය. බසයේ සිටි සියල්ලන්ගේම කුතුහලය මුසු මුහුණු පිබිදෙමින් තිබිණි. ඊළඟට ගොඩවූ තවත් මගියෙක් අවසාන ආරංචිය තහවුරු කළේය. මගීන්ගෙන් නැගුනේ ප්‍රීතිය මුසු ප්‍රතිචාරයකි. මග දෙපස මිනිසුන් එකතු වී රතිඤ්ඤා දල්වන අයුරු අපට පෙනිණි .


"ගෙවල්වලට ගිහින් කැවුම් කිරිබත් උයන්නලා වැඩේ ඉවරයි" කියා පාරේ සිටිවුන් අපට ඇහෙන්නට කෑ ගැසුවෝය . බසයේ සිටි වයස අවුරුදු හත අටක කුඩා දරුවෙක් "අම්මේ අපි ගෙදර ගිහින් පාටියක් දාමු අයිස්ක්‍රීම් ගමු" කියා කියද්දී දරුවාගේ මව වහ වහා දරුවාගේ මුව දෑතින් වසාගෙන බියමුසු දෑසින් වටපිට බැලුවාය. ඒ වනවිටත් සැකය හා භීතිය පහවගොස් නොතිබිණ . අප ගලහා පාරේ මෙඩිකල් ෆැකල්ටිය ලඟින් සරසවි බිමට ඇතුල්වෙන තැන සිට ජේමිස් පීරිස් ශාලාව අසලින් බහිනතුරු කන් බිහිරි කරවන ජයඝෝෂා හා රතිඤ්ඤා හඬ ඇසුණේය . අවට සමාජය හා සරසවි සිසුන්ඇතුළු සියල්ලන් සතුටු වූ සිද්දියක් වූ එය සමාජය වසා සිටි භීතිය , කියාගන්නට බැරි තරම් වූ අවනීතිය තුලින් උපන් පීඩනය පිටකිරීමක්ම විය .

සමාජ මාධ්‍ය නොතිබූ ඒ කාලයේ අපට අසුනේ මේ ප්‍රීති වීමට හවුල් වූ අයගේ හඬ පමණකි. එය සාතිශය බහුතරයගේ හඬ බවටනම් සැකයක් නොවීය .දවසෙම වෙන වැඩක් කරන්නට හිතුවේ නැති අපි කැන්ටිමේ ටිවී නිව්ස් වලින් හා තම තමන්ගේ අතින් දමා රසකර මැවූ කතන්දර වලින් සංතෘප්ත වෙමින් දවස ගෙවා දැමුවෙමු.

එදා රාත්‍රී කෑම ගනිද්දී රන්ජන් මා ලඟට පැමිණ හෙට උදේ අපට දුර ගමනක් යන්න තියෙනවා පාන්දර පහට ලෑස්ති වෙලා හිටපන් කියා කිව්වේය. අද හෙට ගෙදර යන්නට ප්ලෑනක් නොවූ මම ඕනි බඩකඩිත්තුවක යන්නට කැමති වුනෙමි. උදේ පාන්දර අපි පේරාදෙණියට ගොස් නුවරින් මාතර බලා යන එක්ස්ප්‍රස් කෝච්චියේ පානදුරට ටිකට් දෙකක් ගතිමු .

' කොහෙද බං යන්නේ ? ' මම ඇහුවේ කෝච්චියට නැග්ගාටත් පසුවය.

' පානදුරේ අපේ පුංචි අම්මලා ගෙදර '

ආයි මේ හදිස්සියේ ?

"නෑ බං කාලෙකින් ගියෙත් නෑ" .

ඒත් මේ යන්නේ අතින් කයිට් කරගෙන කාගේදෝ ප්‍රශ්නයක් විසඳන්නට බව මට වැටහුණේ පසුවය.

කෝච්චියේ සිටි කිසිවෙකුත් ඊයේ රටේ සිදුවූ සිද්දිය ගැන කතා කළේ නැත . ඒත් රන්ජන් කිව්වේ දැන් තියෙන්නෙ නව පාලනයක් ඉක්මනින් බිහි වී රට ගොඩ යෑමට ගතවන කාලය පිලිබඳ ප්‍රශ්නයක් විතරක් කියාය .

මේ වෙලාවේ අපේ මැදිරියේම කෙළවරක කල්පනාවක ගිලී වාඩි වී සිටින මැත්තා අපට දකින්නට ලැබිණි . ඒයී උඹ කොහෙද යන්නේ ? කියා ඔහුවත් අප ලඟට ගෙන්නා ගතිමු.
දේශපාලනය ගැන ඉහළ උනන්දුවක් ඇති පරිණත, ප්‍රතිපත්තිගරුක හිත හොඳ මිනිසෙකු වූ ඔහු දේශපාලනය නිසා බොහෝ දේවල් අහිමි කරගෙන සිටියේය . ඉතින් ඔහු බෙහෙවින් සතුටට පත්ව ඇතැයි සිතුවෙමි .

"ඊයේ මාර වැඩේ නේද වුනේ?" මම අහුවෙමි . ඒත් කිසිම සතුටක් නැති මුහුණින් ඔහු මෙසේ කිව්වේය.

"ඔය එක පුද්ගලයෙක් නැති වුනා කියල මිනිස්සු පීඩනෙට පත්වෙච්ච හේතු නැති වුන් නෑනේ බං . අනෙක ඔතෙන්ට තව එකෙක් ඇවිල්ල ඔය ක්රමේම පවත්වාගෙන යයි. අපිට හොඳටම ෂුවර්ද තව පාලකයෙක් මැරුණම කිරිබත් කන් නැති ගානට මේ රටේ ක්‍රමේ හැදෙයිද කියල? හොඳ නරක ගැන පොදු එකඟතාවක් අපි කාගේ ගාවවත් නෑනේ. ඒ නිසා මටනම් ලොකු සතුටක්වත් බලාපොරෝත්තුවක්වත් නෑ" කී ඔහු කැමතිම විෂයය වන චිත්‍රපටි ගැන කතා කරනන්ට පටං ගත්තේය.

මා සමග එදා කෝච්චියේ ගිය රන්ජන් හා මැත්තා දෙදෙනාම අද ජිවතුන් අතර නැත . ඒත් ඔවුන් සිහිකිරීම වෙනුවෙන් දියුණු සමාජවල තිබෙනවා යැයි මා අසා ඇති සමහර ලක්ෂණ ටිකක් සටහන් කරන්නට කැමතිය.

ඒවායේදී අමු අමුවේ නීති කැඩීම, අනිතිකව ඉඩම් අල්ලා ගැනීම, හොරකම හා වංචාව දේශපාලනයේ යෙදීමට බැරිවෙන තරමේ වරදවල බවට තහවුරු වී ඇත . දේශපාලකයෙක් වීමට හා බලයේ සිටීමට අවශ්‍ය මුලික සදාචාර රාමුවක් ගැන විවාදයකින් තොර පොදු එකඟතාවක් ඇත. ප්‍රතිපත්ති ස්ථාවර වී ජානගතවී ඇති නිසා දේශපාලනය ගැනම කතා කරන්නේ නැතිව තමන්ගේ වැඩක් බලාගෙන ජීවත්වීමට පොදු මහජනතාවට පුළුවන. කොලිටි ඔෆ් ලයිෆ් හොඳ වී ඇත්තේ මේ ආදී බොහෝ අංශවල කිලිටි සෝදාගෙන තිබීම නිසාය.

Wednesday, January 3, 2024

උමන්දාවේ දින සටහන් 2- කැපඩෝසියාවේ භූගත නගරය

 

Source- Wikipedia

නවාරි දෙවැනිදා මම  අපේ ජපන් ජාතික මිතුරෙකුට   සුබ අලුත් අවුරුද්දක් කියා කිව්වාට ඔහු යමක් මුමුණ  මුමුණා  සිටියා  මිසක යහපත් ප්‍රතිඋත්තරයක් දුන්නේ නැත.
උඹට මොකුත් ආරංචි වුනේ නැද්ද ?  ඔහු ඇසුවේය.
මම මොකුත් නෑ  කියා කිව්වෙමි. 

මොකුත් නෑ ? ඔහු යලි ප්‍රශ්න කළේය . අලුත් අවුරුද්ද උදාවන  දවසේ ඇවිදින්නට  යන්නටත් දවල් කෑම  කොහෙන් හෝ ගැනීමටත් එකතු වන්නැයි  කියා අප කිව්වට ඔහු ආවේ නැත . 

පසුගිය සෙනසුරාද ඔහු අලුතින් ටී වී චැනල් එකකට සබ්ස්ක්රයිබ් කලේය. ටිකක් ලොකු ගානක් ගියා මට එත් අලුත් අවුරුද්ද දවසේ එහෙ උත්සව, සංගීත වැඩ සටහන් සෑහෙන්න බලන්න පුළුවන්. ඒ වැඩ නිසා මම ජනවාරි පළවැනිදා ගෙයින් එලියට යන්නේ නෑ  කියා ඔහු කල්තියා කිව්වේය. 
මේ සා බලාපොරෝත්තු  තියාගෙන සිය  රටේ මිනිස්සුත් එක්ක අවුරුදු සමරන්න හිටි මනුස්සයා මේ ලෙස අවුල් වී සිටින්නේ ඇයි ? 

ඔහු මොහොතකින් අලුත් අවුරුදුදා  ජපානයේ ඉෂිකාවා පලාතට  අවාසනාව ගෙනා භූමිකම්පාව ගැන මට කිව්වේය. 

පෙරදා  උදේ සිට ඇවිදිනවා, කතා කරනවා, කනවා හැරුණුකොට කිසිම  ලෝක තොරතුරක් ගැන මම අප්ඩේට් නොවී සිටීම ගැන කණගාටු වුනෙමි. ඒ වේදනාව මට මතක් කළේ 'කඳුළු රසැති මොමෝ ' පෝස්ට් එකය. 

' ජපානේ අපිට අපි විතරයි . කවුරුවත් අපි ගැන බලන්නේ නෑ ' කියා ඔහු කියන විට මගේ හිත   පිලිස්සී  ගියේය.
උඹ දනන්වද ? මේ මගේ  අවුරුද්ද . මම ඉපදිලා තියෙන්නේ අවුරුදු දොළහකට වතාවක් එන මකර රාශියේ. මේ අවුරුද්ද හොඳ වෙයි කියල හිතාගෙන අපේ ගෙදර හැමෝම මට සුබ පැතුවා . දැන් වෙච්ච දේ නිසා මේ අවුරුද්දේ  මට සැකයි" .  

මේ මිනිසා   බොහොම අහිංසක සංවේදී මිනිසෙක් ලෙස මට තේරුම් ගියේය . 

"ඊයේ රටපුරා මොනතරම් උත්සව තියන්න ලැහැස්ති කරලා තිබ්බද ? ඒ සේරම කැන්සල් වුනා"

මීට  මාසයකට   පමණ පෙර ඉස්තාම්බුල් ආසන්නයේ   රික්ටර් පරිමානයේ 5.1ක භූමිකම්පාවක් ඇති වුනේය.  ඒ  වෙලාවේ  භූමිකම්පා හා උමං අතර ඇති සම්බන්ධය කතා කරමින් සිටිද්දී පුලන් කිව්වේ භූමිකම්පාවලින් ආරක්ෂා වීමට හොඳම  තැන පොළව යට පිහිටි  උමං මාර්ග බවයි. 

ජපානය මෙන්ම තුර්කියේ ඉස්තාන්බුල් ඇතුළු බොහෝ පෙදෙස්  භූමිකම්පා සක්‍රිය කලාපවල පිහිටියි. ඈත  මෑත ඉතිහාසය පුරා දැවැන්ත භූමිකම්පා ව්‍යසනවලට මේ දෙරටම මුහුණ දී ඇත .
භූගත ගොඩනැගිලි  හා උමං අවදානමෙන් අඩුයයි කිව්වට නව ඉදිකිරීම් වලදී ඒවා භූකම්පනවලට ඔරොත්තු දෙන ලෙස හැදීමට රෙගුලාසි ඇවිත් තිබේ. 
ඉස්තාම්බුල්  නුවර තක්සිම්  චතුරශ්‍රයේ සිට ලෙවන්ට් 4 නගරය දක්වා කිලෝමීටර් හයකට ආසන්න  උමග ඉදිකිරීමේදී ඊට සම්බන්ධව සිටි පුලන් මෙහෙම කතාවක් කිව්වේය . 

"1999දී ඉස්තම්බුල් වලට ඇඟට දැනෙන භුමිකම්පාවක් ඇතිවුනා. ඉස්තාන්බුල් ආසන්නයේ වෙච්ච මේ භුමිකම්පාව දරුණුම එකක්. එතකොට මම හිටියේ වැඩ ඉවරවිගෙන යන උමග ඇතුළේ . මට කිසිම කම්පනයක් දැනුන නෑ . එලියට අවිල්ල බලනකොට එකම කලබගෑනියයි. ඒ අතරේ ආරංචි වුනා අපේ උමග හදන ප්‍රංශ කොම්පැනියෙ උන් බඩු පැක් කරගෙන  යන්න හදනවා කියල. 
මම ඉක්මනට ගිහින් ඒ මිනිස්සුන් අස්වැස්සුවා.  උමග දිගේ පයින් එක්කරගෙන ගියා . මම කිව්වා උමගට කිසිම දෙයක්  වෙලා නෑ . උමගේ වැඩ කරන්න බය වෙන්න එපා කියල. ඊට  පස්සේ තමයි ආපහු නොයා මෙහෙම  ඉන්න ඒ මිනිස්සු හිත හදා ගත්තේ"  ඔහු කිව්වේය. 

තුර්කිය එහි භූගත නගර සඳහා ප්‍රසිද්ධය, විශේෂයෙන් කැපඩෝසියා කලාපයේ මෙම භූගත නගර නිර්මාණය  සහ අදාළ ඉංජිනේරු විද්‍යාව සිත් ඇදගන්නා සුළු වනමානව දක්ෂතාවයේ අරුමයන්ය.
ඉතින් මේ භූගත නගර භුමිකම්පාවලින් බේරී සිටීමට හැදූ  ඒවාද ? 

කැපඩෝසියාහි භූගත නගරවල මූලික අරමුණ භූමිකම්පා සඳහා ආරක්ෂිත ස්ථාන යොදා ගැනීම බවට කිසිදු සාක්ෂියක් නැත. මෙම භූගත ජනාවාස  ගිනිකඳු පාෂාණ සිදුරුකර හැඩවැඩ දමා නිර්මාණය  කර ඇත්තේ  සතුරු ආක්‍රමණ කාලවලදී  බේරි සිටීම සඳහා ය. මෙම කලාපයට මානව ජනාවාස පිළිබඳ දිගු ඉතිහාසයක් ඇති අතර, විවිධ තර්ජනවලින්  ජනයා  ආරක්ෂා කිරීම සඳහා භූගත නගර රහස්  නවාතැන්  හෙවත් බංකර් ලෙස සේවය කළේය.

 කෙසේ වෙතත්, කැපඩෝසියාව (Cappadocia) භූ කම්පන ක්රියාකාරී කලාපයක පිහිටා ඇති බව සඳහන් කිරීම වටී. සමහරවිට මේ කලාපයේ මෙළෙක් යමහල් පාෂාණය යම් භූ කම්පන ශක්තියක් අවශෝෂණය කර ගත හැකි වුවද, මෙම භූගත නගර නවීන භූ කම්පන ආරක්ෂණ ප්‍රමිතීන් අනුව නිර්මාණය කර ඇති බවක් සොයාගෙන නැත.
මෑත කාලීනව  භූ කම්පන කලාපවල ගොඩනැගිලි  භූ කම්පනවලදී ඒවායේ ආරක්ෂාව සඳහා නිශ්චිත භූමිකම්පා-ප්‍රතිරෝධී ලක්ෂණ සහිතව නිර්මාණය කර ඇත. 

Cappadocia හි භූගත නගර ඒවායේ ඓතිහාසික වැදගත්කම සහ වාස්තුවිද්‍යාත්මක ආශ්චර්යයන් ලොවක් මවිත කර තිබේ.

වඩාත් ප්‍රසිද්ධ භූගත නගරවලින් එකක් වන්නේ  ඩෙරින්කියුය. එය සියවස් ගණනාවකට පෙර මෙළෙක්  ගිනිකඳු පාෂාණවලින් සැදුණු  කඳුවැටිවල  මනාව නිර්මාණය කරන ලද, තට්ටු කීපයක් ඇති  භූගත නගරයකි. ගිනිකඳු පිපිරිම නිසා ඇතිවන ලාවා සහ අළු මිශ්‍ර වී සෑදෙන යමහල් පාෂාණ මෙළෙක්ය. උපකරණවලින් සිදුරු කිරමට හා කැටයම් දැමීමට පුළුවන.   නගරය ආරක්‍ෂක අරමුණු සඳහා ඉදිකරන ලද බවට විශ්වාස කෙරෙන අතර, දහස් ගණනක් පුරවැසියන්ට එහි  නවාතැන් සලසා දී ඇත. එයට විවිධ කුටි, උමං මාර්ග, ගබඩා කාමර සහ වාතාශ්‍ර සපයන මාර්ග  ඇතුළත් වී තිබු  අතර එහි ජල සැපයුම, ජලාපවාහණය හා ආලෝකය සැපයීම, ආහාරපාන සැපයීම, අධ්‍යාපනය, ආගමික කටයුතු, සෞඛ්‍ය පහසුකම් ආදිය සිදු වුයේ කෙසේද යන්න තවමත් හරිහැටි හොයාගෙන නැත.  .

තුර්කියේ භූගත නගර ඉංජිනේරුමය ආශ්චර්යයන් පමණක් නොව කලාපයේ ඓතිහාසික හා සංස්කෘතික පොහොසත්කමට සාක්ෂිය සපයයි. 

මෙම භූගත නගර ප්‍රාතිහාර්යයන් නොවුනද ,පොළෝ  මට්ටමට  යටින්  විචිත්‍ර නිර්මාණයන්  කිරීමේදී පුරාණ සමාජවල තිබු හැකියාවන් ගැන පුදුම නොවී සිටිය නොහැක .

ඉතින් මා පැමිණ සිටින්නේ  මානව ශිෂ්ටාචාරය පිළිබඳ අලුතින්ම  හදාරන්නට පුළුවන් කලාපයකය. ඒවායේ ඇවිද සියැසින්  දැකබලාගත් තොරතුරු ඉදිරියේදී ලියමි 

මම  මේ රට දකින්නේ ත්‍රී ඩිමෙන්ෂනල් රටක් ලෙසටය. මිට වඩා දියුණු සාමකාමී රටවල් මම දකින්නේ ටූ ඩිමෙන්ෂනල් රටවල් හැටියටය.