Sunday, May 27, 2018

පේරාදෙණියේ ෆිල්ම් සොක-1



 
Peradeniya University Arts Theater ( www.pdn.ac.lk)
ල , සොක හා ගැට්ට කියන්නේ පේරාදෙණියේ සරසවි ජීවිතය සුන්දර කරපු වචන තුනක් . හන්තාන පාමුල මහවැලි නිම්නයේ තිබ්බේ ප්‍රේමය හා චමත්කාරය විතරක් නෙවෙයි. පේරාදෙනි සානුවෙන් අහසට නැගිලා ලෝකය දිහා බලන්න පුළුවන් කවුළු කීපයකුත් තිබ්බා. ෆිල්ම් සොක ඒවායින් එකක් කියලයි මට හිතෙන්නේ

වල කිව්වේ සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයට  ,  ගැට්ට කිව්වේ කඳු නගින්න්නගේ හෙවත් ගවේෂකයන්ගේ සංගමය.   University Film Society හෙවත් චිත්‍රපට සංගමය තමයි අපේ ආදරණීය සොක.
ඒත් 89 අවුරුද්දේ  වල, සොක හා ගැට්ට අකර්මන්‍ය වෙලා තිබ්බා . පන්ති වර්ජන , භීෂණය, අතුරුදහන් වීම  හා මාස ගණන් සරසවිය  වසා තැබීම වගේ ඒවා නිසා.
ඒ අඳුරු කාල පරිච්චේදෙන් පස්සේ හන්තාන අඩවියට ආයෙමත් සෞන්දර්යය රැගෙන එන්න වෑයම් කරපු ගුරු සිසු නඩයේ  මමත් සාමාජිකයෙක් වුණු  බව සතුටින් මතක් කරනවා.

1990 අවුරුද්දේ අප්‍රේල් තමයි අපි පළමු අවුරුද්දේ විබාගය ලිව්වේ . ඊට පස්සේ එළඹුණු අධ්‍යයන  වාරෙදි  කවුදෝ ඉල්ලගෙන ආපු A passage to India චිත්‍රපටයේ VHS කැසට් එකක් අපට හම්බුනා . EM පොස්ටර්ගේ නවකතාවක් ඇසුරෙන් ඩේව්ඩ් ලීන් හදාපු සුවිශේෂ චිත්‍රපටයක්  තමයි A Passage to India
ලංකාවේ රුප ගත කරපු   Bridge on the river Kwai චිත්‍රපටය නිර්මාණය කලෙත් ඔය ඩේවිඩ් ලීන්ම තමයි. 
අපි කීප දෙනෙක් කතා වුනා කොහොම හරි මේ චිත්‍රපටිය හැමෝටම බලන්න පුළුවන් තැනක  පෙන්නමු  කියල .

ඉංජිනේරු පීඨේ මීඩියා යුනිට් එකට ගිහින් එහි  තිබ්බ මල්ටිමීඩියා ප්‍රෝජෙක්ටරේ  ඉල්ලගත්තා .ලංකාවට ආපු මුල්ම විද්‍යුත්  ප්‍රක්ෂේපන යන්තරේ ඒක වෙන්ටත් පුළුවන්. වර්ණ තුන නිකුත් කරන  වෙන  වෙනම ටෝච්  තුනක් තිබ්බා . හරි විශාලයි .
අපි කොහොමින් කොහොම හරි චිත්‍රපටය පෙන්නුවා පොඩි ලෙක්චර් රුම් එකක . හිතුවට වඩා වැඩි සෙනගක් ඇවිත් හිටියා .

පළමු VHS ච්ත්‍රපටය පෙන්නුවේ මිතුරු පිරිසක් එක්කාසු වෙලා. ඒ කැසට් එක සොයාගෙන ආපු මිතුරාම දෙවනවරට සත්‍යජිත් රායිගේ අපූ ත්‍රිත්වය VHS කැසට්පට තුනම නුවර ඉන්දියානු මහකොමසාරිස් කන්තෝරුවෙන්  ඉල්ලගෙන ආවා. අපි පොඩි ප්‍රචාරයක් එහෙම යවලා  ඉංජිනේරු පීඨයේ තිබ්බ ලොකුම ශාලාව වෙච්ච ඊ ඕ ඊ පෙරෙයිරා තියටරේ නැත්නම් සුඛාවතියේ මේ චිත්‍රපට තුන පෙන්නන්න කටයුතු කළා. මට තමයි හැඳින්වීම කරන්න පැවරුනේ . ඒකට සුදානම් වෙන්න පුස්තකාලය පීරමින් විභුති  බැනර්ජි ගැනයි සත්‍යජිත් රායි ගැනයි කියෙව්වා මතකයි.

අපි  බලාපොරෝත්තු  උනාට වඩා වැඩි සෙනගක් ගඟෙන්  එහා පැත්තේ ෆැකල්ටිවලිමුත් ඇවිත් හිටියා . දැහැන්ගතවෙලා වගේ පතෙර් පංචාලි, අපු සංසාර්, හා අපරාජිතෝ කුඩා ස්ක්‍රීන් එකින් බලන්න දවස් තුනක් තිස්සේ ඇදී ආපු සෙනග පෙන්නුම් කළේ සාහිත්‍ය  කලාවට පේරාදෙණියේ ඒ වෙනකොට තිබ්බ පිපාසය.
කාලයක් විශ්ව විද්‍යාලේ ජනප්‍රියම කලා  සංගමයක් වෙච්ච ෆිල්ම් සොක  හරහා  AT එක හෙවත් කලාගාරයට  යලි ගොඩ වෙන්න ඇත්නම් කියල ඒ පැත්තෙන් යන එන හැම වාරේම  අපට හිතුනා .

ටික දවසකට පස්සේ චිත්‍රපට සංගමයේ  රැස්වීමක්  . සයන්ස් ෆැකල්ටියේ කැන්ටිමේදී  තිබ්බ.  91-92 අවුරුද්ද වෙනුවෙන්  නිලධාරී  මණ්ඩලයක් පත් වුනා . සබාපති මැතිව් මම සම ලේකම්.

අපේ ගුරු උපදේශකයන් උනේ  ගාමිණී හත්තොට්ටුවගම මහත්තයයි , මාරි සවරිමුත්තු  මහත්මියයි. මේ දෙදෙනාම සිනමාව ගැන පුළුල් දැනුමක් තිබ්බ ඉංග්‍රීසි සාහිත්‍යය  හොඳින් හදාරා සිටි ආචාර්ය මණ්ඩල සාමාජිකයන්.
 Gamini Haththottuwogama , Photo from Wikipedia
ෆිල්ම් සොක කරන්නේ සීසන් කාඩ් එකක් වගේ එකක් ගහලා නම් මාක් කර කර චිත්‍රපට පෙන්නන වැඩේ  විතරක්  නෙවෙයි කියල අපට තේරුම් ගියේ ඊට පස්සේ. අපි චිත්‍රපට ගැන කතා කරා . මාසික රැස්වීම්  තිබ්බ. ආචාර්ය හත්තොට්ටුවේගම,  මාරි සවරිමුත්තු ආචාර්යවරු අපි පෙන්නපු සමහර  චිත්‍රපටි ගැන විචාර ඉදිරිපත් කරා. මුල්ම චිත්‍රපටි කීපය පෙන්නන්න කලින් ඒවා  ගැන කෙටි හැඳින්වීමක් කරන්න අපට පුළුවන් වුනා . 

සංගමේ යලි ජීවමාන කරලා  ගත්තයින් පස්සේ මුලින්ම අපි කළේ ලංකාවේ තිබ්බ තානාපති කාර්යාල සියල්ලට ලියුම් දැමීම . අපේ සංගමේ ගැන විස්තර කරලා  ච්ත්‍රපට තියෙනවනම් ණයට ලබා දෙන්න කියල ඉල්ලුවා  . බොහෝ ඒවායින් උත්තර ලැබුනා. අපි ලෙක්චර්ස් කට් කරගෙන කොළඹ ගිහින් චිත්‍රපට උස්සගෙන අවා. බොහෝ වෙලාවට  චිත්‍රපටි රෝල තිබ්බ පෙට්ටි එම්බසියේ ඉඳන් කරේ තියාගෙන  බස් හෝල්ට් එකට උස්සාගෙන ආවා .

අවුරුද්දකට චිත්‍රපටි 24ක් පෙන්නන කොටු 24ක් තිබ්බ   කාඩ් එකක් තමයි රුපියල් විස්සකට වික්කේ . ඒත් මේ කියන  අවුරුද්දේ චිත්‍රපටි  තිස් ගානක් පෙන්නන්න අපට පුළුවන් වුනා . ඒවා නිකම්ම ඒවා නෙවෙයි ලෝකේ විවිධ රටවල උසස් ගනයේ සිනමා කෘති.

පොඩි කාලේ අපට මේ ලෝකේ තිබ්බ විශ්වකර්ම  තැනක්   වුනේ සිනිමා හෝල් එක. රීගල් එකේ වැඩ  කරපු මිනිස්සුන්ටත් මාර ගවුරවයක් හිතේ තිබ්බේ . ඒත් ෆිල්ම් සොක කරන කාලේ අපිටම කියල ෆිල්ම් හෝල් එකක් තිබ්බා . ඒ පේරාදෙණියේ සරසවි කලාගාරය හෙවත් AT ( Arts Theater) එක .  මේකේ ඇතුලේ එළියේ හැම තැනම අපේම තමයි .

ෆිල්ම් එකක් පෙන්නනන තීරණය කරාම ඒ ගැන විස්තරේ  සොකේ මුද්‍රාව සහිත  A3 කොලේක ලස්සනට ලියනවා චිත්‍රපටියේ නමයි දිනයයි වෙලාවයි. මේක හැම හොස්ටල් එකකම , කැන්ටින් එකකම ඇලවෙනවා. AT ශාලාව පිරෙන්න සෙනග එනවා. මේ ලස්සන පෝස්ටරේ අත්  අකුරෙන් ඇන්දේ අපේ මේඩ්ඩො සෙට් එක, මහේෂ්, නානා හා කුමුදු ඇතුළු පිරිස .

දවසක් මෙඩ්ඩන්ට විබාග තදවෙච්ච වෙලාවක ෆිල්ම් සොකේ පෙන්නන්න හිටියේ  La Ronde කියන ප්‍රංශ චිත්‍රපටිය . ඒකෙ පෝස්ටරේ අඳින්න  එකෙක් නෑ . පස්සේ මමම මගේ අවලස්සන අත්  අකුරින් ඇන්දා පාට පෑනක් අරන් . දැන් මේ පෝස්ටරේ ඉස්ස්සෙල්ලම  අක්බාර් කැන්ට්මේ අලවලා ඊට පස්සේ ගියේ WUS කැන්ටිමට . කළු ආරි ඇතුළු කීප දෙනෙක් මගෙත් එක්ක හිටියා . උන්ගේ අත් අකුරු මගේ ඒවාටත් වඩා කැතයි . . මේ වෙලාවේ ප්‍රධාන පුස්තකාලේ පාඩම් කරමින් හිටි මහේෂ් ඇතුළු මේඩ්ඩන් පිරිස තේ බොන්න ඇවිත් හිටියා . ඔවුන් මොහොතක්  අලුතින්ම අලවපු පෝස්ටරය දිහා බලා හිටියා .ඒ බැල්මෙන් පෝස්ටරයේ නිමාව ගැන අදහසක් කියවුනා

“අනේ මචන් අපි මේක ලස්සනටම කරමු .මට කොළ ටික ගෙනැල්ල දීපන්” මහේෂ් කිව්වා. ඊට පස්සේ උන් ටික විබාගෙට  පාඩම් කරන එක නවත්තලා ගිහින් පෝස්ටර් ටික ලස්සනට ඇඳලා  හෝල් ඔක්කොගෙම අලවලත් තිබ්බා.

කලාගාරේ තිබ්බේ එක ප්‍රෝජෙක්ටරයයි . ඒකේ විනාඩි පහළවෙන්  පහළවට චිත්‍රපටය නවතිනවා.  රීල් එක මාරු කරනකන් ඉන්ටවල් එකක් දෙනවා. යන්ත්‍ර  ක්‍රියාකරු වුනේ මෙන්ඩිස් අයියා.සුදෝ සුදු නැෂනල්  එකක් ඇඳගෙන උඩ පේරාදෙණියේ සරසවි සේවක නිල නිවාසේ ඉඳන් වැඩට ආපු මෙන්ඩිස් අයියා හොඳ කලාකාමියෙක්. හැම චිත්‍රපටියක්ම පෙන්නන්න කලින් ප්‍රොජෙක්ටර් රුම් එකේ ගල් අරක්කු බාගයක් තියලා එන සම්ප්‍රදායක් තිබ්බා මෙන්ඩිස්  අයියා ඒකෙන් ටික ටික සප්පායම් වෙවී අර පරණ ප්‍රක්ෂේපන  යන්ත්‍රය අම්බන් කරගෙන කොහොම හරි  චිත්‍රපටිය පෙන්වනවා.

මෙන්ඩිස් අයියා පෙන්ෂන් ගන්න 1991 අවුරුද්දේ ඔහු වෙනුවෙන්  උපහාර චිත්‍රපටි උළෙලක් තියන්න යෝජනා වුනා . සරසවියක හිටපු සුළු සේවකයෙක් වෙනුවෙන් කරපු පළමු චිත්‍රපටි උළෙල වෙන්නැති ඒක.

ලංකාවේ  නමගිය චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙක්ගේ චිත්‍රපට උළෙලක්ද අපේ කාලේ සංවිධානය කළා  . කලකට ඉස්සර පේරාදෙනි සරසවි චිත්‍රපට සංගමයේ ක්‍රියාකරියකයෙක්  වෙලා හිටි මේ සම්මානනීය අධ්‍යක්ෂකවරයාත් එක්ක චිත්‍රපට  උළෙල ගැන කතා කරන්න අනිවත්තේ පිහිටි ඔහුගේ ගෙදරට ගියේ මායි  රත්නපුරේ රන්ජියි . අපව පිළිගත්තේ අධ්‍යක්ෂකවරයාගේ  දයාබර බිරිඳ. ඔහු එදා දුර පලාතක දේශනයකට ගිහින්. ඒ වනවිට උළෙල ගැන ඔවුන් තරමක්  දැනුවත් කරලා තිබ්බ නිසා වැඩේ පහසු වුනා. චාම් සරල ගෙදරක පුංචි කැබිනෙට්ටුවක් උඩ  එහෙන් මෙහන් අහුරලා තිබ්බ රාජ්‍ය සම්මාන , සරසවි සම්මාන රාශියක් මම දැක්ක.
“මේ වැඩේට මහත්තයා චිත්‍රපටි හතරක් දෙන්න කැමැත්තෙන්  ඉන්නේ. ඒත් එක චිත්‍රපටියක් කොහෙද කියල හොයා ගන්න බෑ . කොහොම හරි ලැස්ති කරලා තියන්නම්කො”.

ඒ දයාබර ගුරුමව පැවසුවා.

චිත්‍රපට උළෙල ආරම්බ කරන දවසටත් මේ අධ්‍යක්ෂකවරයාට  එන්න බැරි උනා.

උළෙලේ පෙන්නාපු චිත්‍රපටි තමයි බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ හා  පාර දිගේ .
Dharmasena Pathiraja -Photo rom Daily Mirror

---
මතු සම්බන්ධයි
( ගම්ලත්ගේ බඹරු ඇවිත් විචාරය, ජපන් තානාපති සරසවියට ඒම, Escape to Victory චිත්‍රපටය හා අරම්බක දේශනය ඇතුළු කතන්දර මීළඟ ලිපියෙන් )

දෙවන කොටස 

Monday, May 21, 2018

ස්ටීව් ජොබ්ස් එහෙම කියල නෑ !

ලංකාවට ඉන්ටෙට් එන්නට ඉස්සර ෆේස්බුක්  ට්විටර් ,ස්වීටර් ආදිය නොතිබු කාලෙක අපේ ගමේ කඩ  මණ්ඩියේදී මේ වගේ පුවතක් ගැන කතා බහ වුනේය .

"මහනුවර දළදා වීදියේදී  පරණ පුස්කොල පොතක පිටු  සංචාරකයින්ට විකුණමින් ඒවායේ ඇත්තේ බුදුන්ගේ අත් අකුරු බවට මුසා දෙඩු වංචාකර වීථි වෙළෙන්දෙක් පොලිසියෙන් අල්ලා ඇත   '

හොර තක්කඩි නොසන්ඩාලයාට ගමේ ගොඩේ ආච්චිලා පවා   බැන වැදුනේ මේ අසත්පුරුෂයා  බුදු හාමුදුරුවොත්   විකුණන් කනවා  කියාගෙනය. ඉන්ටනෙට් නොතිබූ ඒ කාලයේ මිනිසුන් අදට වඩා විචාරශීලී වුනා යැයි මට සිතේ. පත්තරවල දැනුම මිනුම තීර පළවූ අතර ළමුන්ගේ  විද්‍යා පැනවලට උත්තර දෙන ආචාර්ය උපාලි එම් සේනානායක, බුද්ධදාස බෝධිනායක, තුසිත මලලසේකරලා වැනි අය නිතොරම විද්‍යා ලිපි ලිව්වෝය. ආචාර්ය ඊ ඩබ්ලිව් අධිකාරම්, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ වැන්නෝ සරල සිංහලෙන්  විද්‍යා දැනුම ජනතාවට බෙදා  දුන්නෝය. ඔවුන්ගෙන් උගත් එකල කුතුහලයෙන් පිරි පරම්පරාව දැන් අපේ සමවයස් ඇත්තෝ වෙති. අවාසනාවට කරුණනම් දැන් දැන්මේ  දැන උගත්  පරම්පරාවම  තොරතුරු ලබාගන්නේ සයිබර් අවකාශයේ  විහිලු තහළු නිර්මාණය කරන්නන් නැත්නම් ලනු දෙන්නන් වෙතින් වීමය.   මට මෙය තේරුම් ගත නොහැකි විසංවාදයකි .

මා මුලින් කී පුස්කොල පොත් සිද්දියේ  ඇත්ත  බොරු මා නොදන්නා මුත් අද  වගේ දියුණු ඉලෙක්ට්‍රොනික යුගයක  පුස්කොල පොතක පිටු හොරෙන් ගලවාගෙන 'Lord buddha's hand writing' කියා කවුරුන් හෝ හොර දෙටුවෙක්  විකිනුවොත් කවරෙකු හෝ  එම පුස්කොල ඉරුවෙහි  සේයා රුවක් ගෙන සාදු සාදු කියා හෙඩිමකුත් දමා මුහුණු පොතේ බෙදා හරිනු ඇත . එය දහස් ගණනින් ෂෙයාර් වනු ඇති බවත්  උගත් නුගත් සැදැහැවත්තු මේ බුදුන්ගේ අත් අකුරුමයි කැට තියා  පිලිගනු ලබනු ඇති බවත් ඉන්තේරුවෙන්ම කියන්නට පුළුවන . ඒ ගැන කුඩා විචිකිච්චාවක් හෝ මතු කරන කෙනෙක්  සිටිත්නම් ඔහුව  මඩු වල්ගෙන් තලා යම පුරයට යවන්නට විශාල සෙනගක් එක්කාසු වෙනවා ඇත  .

ඒ පුර්විකාව කියන්නට මට සිද්ද වුනේ ඇපල් සමාගමේ හිමිකරු වශයෙන්  2011 දී මියගිය ස්ටීව් ජොබ්ස්   ගැන කතාවක්  ලියන්නට තෙපර බාද්දීය .

පහතින් පලවන්නේ  මේ අවුරුද්දේ ජනවාරි මාසේ ජාතික පුවත් පතක පළවුනා යැයි කියා මුහුනුපොතේ සංසරණය වූ සටහනකින් කොටසකි  . ඒ ස්ටීව් ජොබ්ස් මරණ මංචකයේදී සිය ජීවිතය ගැන ප්‍රශ්චස්තාප වූ ආකාරය ගැන කියවෙවෙන ඉංග්‍රීසි ලිපියක සිංහල පරිවර්තනයයි.
(උපුටා ගැනීම ) 
මම ව්‍යාපාර ලෝකයේ ජයග්‍රහණයේ මුදුන් හිණිපෙත්තටම පැමිණි අයෙක්‌මි. බොහෝ අය දකින පරිදි මගේ ජීවිතය ජයග්‍රහණය පිළිබඳවම වූ සංකේතයකි.
එහෙත්, වැඩ කිරීමෙන් ලද සතුටට අමතරව මා ජීවිතයෙන් ලද සතුටක්‌ ඇතිනම් ඒ ඉතා ස්‌වල්ප වශයෙනි. මා මේ ජීවිතයෙන් ලබා ගත් එකම සතුට ධනවත් වීම පමණකි.
මේ මොහොතේ මේ ගිලන් ඇඳේ වැතිරී ඉඳිමින් මම මගේ මුළු ජීවිතයම මෙනෙහි කරමි. ළඟ ළඟම එළඹෙන මරණය හමුවේ මා මෙතෙක්‌ ආඩම්බරයෙන් දරා උන් ධනවත් බවෙහිත් කීර්තියේත් දීප්තිමත් බව කෙමෙන් දියවී යන අයුරු මට පෙනෙයි.
අද මගේ පණ නල රැඳී තිබෙන්නේ මගේ සිරුරට සවි කර ඇති මේ යන්ත්‍රවල පිහිටෙනි. ඒ යන්ත්‍රවල මුණු මුණුවත්, ඒවායේ කොළ පැහැ එළිත් අඳුරේදී දකින මට මරණයේ දේවතාවන්ගේ හුස්‌ම හඬ කෙමෙන් ළං වෙන්නාක්‌ මෙන් දැනෙයි.
ජීවත් වෙන්නට ප්‍රමාණවත් තරම් මුදල් උපයා ගත් විට, ධනවත්කම හා බැඳීමක්‌ නැතත් ජීවිතය හා බඳීමක්‌ ඇති අනෙකුත් කාරණා ඉටු කරගන්නට කටයුතු කළ යුතු බව මට දැන් දැනෙයි.
ඒවා ධනවත්කම තරමටම ජීවිතයට වැදගත්ය.
අපේ සමීපතමයන් හා ඇති බැඳීම, කලාව, ළමාවියේදී අප මැවූ සිහින.. මේවා ධනවත්කමට වඩා ජීවිතයට වැදගත්ය.
මේ සියල්ල අත්හැර ධනය පසුපසම හඹා යැමෙන් වනුයේ මා වැනි පැටලුම් සහගත පීඩිත මිනිසෙකු නිර්මාණය වීමය.
දෙවියන් අපට සිතන්නට ශක්‌තිය දුන්නේ අන් අයගේ සිත්හි ඇති ආදරය කරුණාව දකින්නට මිස ධනය විසින් මැවූ මායාවේ දීප්තිය පමණක්‌ දකින්නට නොවේ.
මා විසින් උපයා ගත් අසීමාන්තික ධනයෙන් කිසිවක්‌ අද මට ගෙනයන්නට නොහැකිය. මට ගෙනයන්නට හැක්‌කේ මගේ සිතෙහි රැඳුණු ආදරය පිළිබඳ මතකයන් පමණකි.
අපට උපයා ගත හැකි සැබෑ ධනවත්කම් ඒවාය. ජීවිතයට ආලෝකයත් ශක්‌තියත් ලබා දෙන්නේ ඒ ධනවත්කම් මගින් පමණකි. ජීවිතයේදීත් මරණයේදීත් අප හා රැඳී සිටින්නේත් ඒ මතකයන්ගෙන් සැදුම්ලත් ධනය පමණකි.
ආදරයට සැතපුම් දහස්‌ ගණන් දුර යා හැකිය. ජීවිතයට සීමා මායිම් නැත. ඒ නිසා ජීවිතය තුළ සැරිසරන්න. ඔබට හැකි තරම් ඉහළ ඉලක්‌කයකට ගමන් කරන්න.. ඒ සියල්ලට ශක්‌තිය ඇත්තේ ඔබේ හදවතේ හා ඔබේ දෑතෙහිය.
මේ ලොව මිල අධිකම ඇඳ කුමක්‌ද..?
ඒ ගිලන් ඇඳයි..
ඔබට ඔබේ වාහනය ඔබ වෙනුවෙන් පදවාගෙන යන්නට කෙනෙකු මුදලට සොයා ගත හැකිය. එහෙත් ඔබ වෙනුවෙන් ඔබේ රෝගී බව දරාගනිමින් ගිලන් ඇඳක සැතපෙන්නට කෙනෙකු කොතරම් මුදල් ගෙවාවත් සොයා ගන්නට නොහැකිය.
නැති වෙන, විනාශ වෙන භෞතික දේවල් නැවත ලබා ගන්නට හැකිය. එහෙත් නැති වී ගිය ජීවිතයක්‌ නැවත ලබා ගන්නට කවමදාකවත් නොහැකිය.
ඔබ කොතරම් පොත් පත් කියවා ඇති අයකු වුවත්, ඔබට කියවන්නට නොහැකි වූ තවත් එක්‌ පොතක්‌ ඇති බව ශල්‍යාගාරයට ඔබව ගෙනයන මොහොතක ඔබට මතක්‌ වනු ඇත. ඒ නිරෝගී ජීවිතයකට මාර්ගය නම් පොතයි.
අප ඉන්නේ ජීවිතයේ කුමන අවධියක වුවද, ජීවිත කතාවේ තිරය වැසෙන දිනය ඕනෑම මොහොතක එළඹිය හැකිය. ජීවිතය එබඳු අවිනිශ්චිත නාට්‍යයකි.
එබැවින් ඔබේ පවුලට, සැමියාට බිරිඳට, මිතුරු මිතුරියන්ට ආදරය කරන්න.
ඔබට ආදරය කරන්න.
ඔබව මෙන්ම අනෙක්‌ අයවත් ආදරයෙන් රැක බලා ගන්න.// ( උපුටා ගැනීම අවසන් )
ඉහත විස්තරය මා කියවූයේ මිතුරන්ගේ මුහුණු පොත් සටහන් වලින් නිසා මුල් ලිපියට සබැඳියක් දෙන්නට නොහැකි වීම  කනගාටු වෙමි .
මේ සටහන මුලින්ම කියවූ හැටියේම මට හිතුනේ අඩේ මේක බොරුවක් වෙන්න බැරිද, ස්ටීව් ජොබ්ස් එහෙම කතාවක් කියයිද කියලාය . මගේ සෙවුම් බැලුම්වලින් හෙළිදරව් වුනේ ඉහත සටහන e -rumors වර්ගයට අයත් ලණුවක් බවයි. කේශ ධාතු දන්ත ධාතු ගැන මෙන්ම, අඩුම වයසින් උපාධිය දිනු ලක් දරුවන් ගැන පවා පින්තුර සමග ප්‍රචාරය වන බොහෝ පුවත් මේ ආකාරයේ e -rumors ගණයට වැටේ. ඒවාට ඉලෙක්ට්‍රොනික කටකතා කියනවට වඩා ඉලෙක්ට්‍රොනික බහුභූත කියා හැඳින්වීම හොඳය. අපේ රටේ තරමක් හෝ දැන උගත් මිනිසුන්  මේ ඉලෙක්ට්‍රොනික බහුබුත බෙදා හදා ගන්නට පෙර ගුගල් සෙවිල්ලක්  හෝ කර ඇත්ත නැත්ත පොඩ්ඩක් සොයා බලන්නේ නම්  ලොකු  පිනකි.

ස්ටීව් ජෝබ්ස්ට සම්බන්ධ කිසිම පුද්ගලයෙකු විසින් සනාථ නොකරන ලද ඉහත ප්‍රකාශය ස්ටීව් ජොබ්ස් මියගොස් වසර හතරකට පසු කවුදෝ බ්ලොග් අඩවියකට ලියු ප්‍රබන්ධයක්  බව දැනට ඇති පිළි ගැනීමයි.

තමන් ධනය සෙවූ ආකාරය ගැනවත්  , ජීවත් වූ රටාව ගැනවත් ස්ටීව් ජොබ්ස් කිසිදා කළකිරී නොසිටි බවත් ඔහු ජීවිතයෙන් ලද එකම සතුට ධනවත් වීම පමණක්  නොවන බවත් ඔහු ගැන කියවන ඕනෑම කෙනෙකුට වැටහී යනු ඇත . අප සමහරවිට ධනවතුන් යැයි හඳුනන්නේ ජාවාරම්කාරයන් හෝ දේශපාලකයන් කිහිප දෙනෙක් ගැන පමණක් වන්නට පුළුවන. නිර්මාණශීලීව ව්‍යාපාර දියුණු කළ , සිය ගණනකට රස්සා ලබා දුන්   දෙස් හා  විදෙස් බොහෝ  ධනවතුන් සිය ජීවිතය අර්ථාන්විතව ගත කොට තිබේ. කලාවට, සමාජ සේවයට හා විනෝද වීමට කාලය වෙන්කරගෙන තිබේ. ඉසුරුමත් බව ඉස්සරහ දොරෙන් එනවිට ගුණ යහපත් කම පෑළ  දොරින් පැන යන කතා තව දුරටත් වලංගු නොවේ.  

ඉහත කී බොරු ලිපියෙන් බැලු බැල්මට හානියක් නොමැත . එය ලියා ඇත්තේ අප කැමති වට්ටෝරුවෙන්ය. නරක දෙයක් කියන්නෙත් නැත .

එහෙත් ලෝකය ජයගත් අති සුවිශේෂ ව්‍යවසායකයෙකුගේ ජීවිතයෙන් ගත හැකිව තිබෙන පුළුල් ආදර්ශ ටික මේ  අකාරයෙන් අනේ  පනේ ගෑම නිසා මගහැරී යාම නම් අපරාධයකි .

Carmine Gallo කාමයින් ගැල්ලෝ නම් දේශකයා ස්ටීව් ජොබ්ස් ගෙන් උගත හැකි ප්‍රධානම ආදර්ශ හතක් ගැන ලියා තිබේ. 

  1. ඔබ ආශා කරන දේ කරන්න . රැකියාව හෝ ව්‍යාපාරය  තමන් කැමැති ආශා කරන දේවල්  වූ විට ඒවා  අර්ථ සම්පන්නය .  ( එහෙම කියන ස්ටීව් ජොබ්ස් ජීවිතය ගැන  පසුතැවිලි වෙමින් සිටි බව කටකතා කාරයෝ පසුව ලියා තබති. ලෝකය ඉදිරියට ගෙන යන්නේ නිරාශාව නොව ආශාව නිසා බව ස්ටීව් ජොබ්ස් නොකියා කියයි )
  2.  විශ්වයේ සලකුණක් තබන්න. ඔබ ලෝකයේ ජීවත් වූ බවට විශ්වයේ සටහනක් එකතු වන විදිහේ වැඩ කරන්න . පරසිද්ද බීම සමාගමක සබාපතිගෙන් ස්ටීව් ජොබ්ස් වරක් අසා තිබුනේ ඔබ   හැමදාම පාට වතුර විතරක් විකුනනවාද  නැත්නම් ලෝකය වෙනස් කරන්නට හවුල් වෙනවාද යන්නය . 
  3. සම්බන්ධතා ගොඩ නගන්න - නිර්මාණශීලීත්වය යනු නොයෙක් දේ තර්කානුකුලව සම්බන්ධ කර අපුරු යමක් හඳුන්වා දීමයි. ව්‍යවසායයෙක් නිර්මානශීලී මෙන්ම මේ සම්බන්ධතා ගැන පළල් අදහසක් ඇති අයෙක් විය යුතුය. යුතු  ජීවන අත්දැකීම් සහිත විවිධ ක්ෂේත්‍රවල බුද්ධිමතුන්ගේ සම්මාදම ලබාගත් විට අප හිතන්නේ නැති , අපට මගහැරෙන අංශවල සම්බන්ධයක් අපගේ කාර්යයට එකතු කර ගන්නට පුළුවන . මැකින්ටොෂ් පරිඝනකය නිපදවීමට පෙර ස්ටීව් ජොබ්ස් විසින් සමහරුන්  නිෂ්ප්‍රයෝජන කටයුත්තක් යැයි සිතු  චාරු ලේඛය ගැන හැදෑරූ බව සඳහන් වේ .
  4. නෑ බෑ කියන්නට පුරුදු වෙන්න . සාර්ථක ව්‍යවසායකයෙකුට සමහර දේට නැත කියා කියන්නට සිදු වනු ඇත . නැතිනම් බැහැ කියා කියන්නට සිදුවනු ඇත. දැනට ලාබෙට විකුණමින් පවතින ධනාත්මක චින්තනයට ප්‍රතිවිරුද්ධ කතාවක්  වුනත් සත්‍යය එයයි. 1997 දී ඇපල් සමාගමට යලි සම්බන්ධ වුණායින් පසු ස්ටීව් ජොබ්ස් විසින් එහි අලෙවි  කෙරෙමින් තිබු නිෂ්පාදන 350 කප්පාදු කර දැම්මේ හරියට අවධානය යොමු කළහැකි වඩා කාර්යක්ෂම කණ්ඩායම්වලට  බාර දිය හැකි නිෂ්පාදන දහයක් පමණක් ඉතිරි වන පරිදිය. 
  5. නව්‍යකරණය ගැන වැඩිපුර හිතන්න. නිරන්තරයෙන් හිතන්න . සෑම පාරිබෝගික සේවාවකදීම නවමු අත්දැකීමක් ලබා දෙන්නට උත්සහ කරන්න 
  6. දෙන පණිවිඩය හොඳින්ම  ලබා දෙන්න- මොන තරම් ශ්‍රේෂ්ඨ අදහස් තිබ්බත් එය අවශ්‍ය පුද්ගලයාට තේරුම් කිරීමට නොහැකිනම් ඉන් පලක් නැත . ස්ටීව් ජොබ්ස් ලොව සිටි ඉතා සාර්ථක වාණිජ සන්නිවේදකයෙකු සහ දේශකයෙකු වුනේය 
  7.  හුදු නිෂ්පාදන වෙනුවට සිහින විකුනන්න  . - අති සංකීර්ණ, අතීශය වැඩි දියුණු කරන ලද මෙවලමක් වුව එය පාවිච්චි කරන්නාට හුරුබුහුටි එකක් නොවනතාක් එය  වෙළඳපල ජය ගන්නේ නැත . පාරිබෝගිකයා  හිතන්නේ  තමන් ගැන සහ තමන්ගේ සිහින ගැන මිසක් නිෂ්පාදක සමාගම ගැන නොවේ. ඇපල් සමාගමේ අයි පෑඩ් වැනි  නිෂ්පාදන කුඩා  ළමයින් පවා ආකර්ෂණය කරගෙන ඒවා වෙත බැඳ තබා ගන්නට සමත් වී ඇත්තේ මේ චින්තනය නිසාය.
ඉහත සටහන පවා e-rumor වර්ගයේ එකක් බවට කවුරුන් හෝ සොයා ගතහොත් මම පුදුම නොවෙමි . එහෙත් සාර්ථක ව්‍යවසායකයෙකුගේ ජීවන දර්ශනය මුලින් උපුටා දැක්වූ කතාවට වඩා දෙවැන්නට සමීපවන බව මම අවබෝධයෙන් දනිමි.  

-තිලක සිත බ්ලොග් අඩවියට අදට පස් වසරක් පිරේ . 
සමහර නිහඬ කාල වකවානු හැරුනුකොට අවුරුදු පහක් තිස්සේ මම මේ බ්ලොග් අඩවියේ මොනවා හෝ කුරුටු ගාමි. තිලක සිත කියවන නිබඳව මා දිරිගන්වන මගේ මිතුරු මිතුරියනි ඔබට මගේ  ආදරබර ස්තුතිය.

කතන්දර නොවන විද්‍යා හා දැනුම මිනුම මුසු ලිපි මාලාවක් ලිවීමට මමත් මගේ දෙටු දියණිය දෙව්නිත් අලුත් බ්ලොග් අඩවියක්  පටන් ගන්නේ අදය. එය තාමත්සි ළදරු බ්ලොග් අඩවියක් වන සිලිකන්  වැල්ලයි . මේ ඉහතින් පලවන්නේ සිලිකන් වැල්ලේ පළ කරන්නට සිටි ලිපියකි. මේ ආකාරයේ ලිපි අපට විවේක ලැබෙන හැටියට එහි ලියවෙනු ඇත . ඊට අමතරව තිලකසිත දිගටම  කතන්දර කියනු ඇත .


Saturday, May 12, 2018

මගේ සෙනිත් කැමරා වස්තුව


ට මගේම වන කැමරාවක් ලැබුනේ සරසවියේ පළමු වසරේ සිටිද්දීය. රුසියාවේ නිෂ්පාදිත සෙනිත් වර්ගයේ කැමරාවක් වූ එය බරින් ඉතා ඉහල එකක් විය . රුපියල් තුන්දහසකට මිලදී ගත්තේ අයියාගෙන් ලැබුණු රුපියල් දෙදහකුත් නංගී ඒවා තිබූ රුපියල් දහාකුත් මා ළඟ තිබුන නිසාය. එය පේරාදෙණිය පුරා හරි ප්‍රසිද්ද  කැමරාවක් වුයේය. පොඩි පොඩි උත්සව, බැච් පාටි, හිච් පාටි  , කඳු නැගීම් ආදියේ ෆොටෝ මහා ගොඩක් ගත් ජනප්‍රිය කැමරාවක් වූයේය . තිස්සත් සමග විද්‍යා පත්තරේට  ලියන්නට පටන් ගත්තාට පසු මගේ කැමරාවෙන් ගත් ෆොටෝ වරින්වර පත්තරේද පලවිය.  පයිනස් වගාවෙන් වන විනාශය ගැන මහාචාර්ය අලවත්තාගොඩ ප්‍රේමදාස ලියා තිබු සවිස්තර ලිපියක ෆොටෝ ගත්තේ මමත් මගේ සෙනිත් කමරාවත්ය.

මේ කැමරාවෙන් මුලින්ම ගත්තේ අපේ අක්කාගේ තුන් හැවිරිදි  දූ ජංගි කොටයක් ගහගෙන බේබි රෝස පඳුරක් අසල හිනා වෙමින් ඉන්නා ෆොටෝවකි  . එය අදටත් මා ආදරය කරන සේයාරුවක් උනත් ස්ටුඩියෝ එකේ ෆුල් කිට් ගහගෙන පවුලේ පොටෝ පමණක් අරන් තිබු බැවින් අපේ ලොකු අක්කා ඒ   ෆොටෝ එක දැක සතුටු වුනේ නැත . මේ පරණ ඇඳුම් කැල්ලක් අන්දලා දරුවාගේ ෆොටෝ එක කාටවත් පෙන්නන්නේ කොහොමද  කියා ඈ ඇසුවාය.

 මීදුම පිරුන පසුබිමක  කොළහැලී ගිය ටූනා ගසක වසා සිටි මයින ජෝඩුවක ෆොටෝවක් මම ගතිමි. මේ දුටු  අපේ අම්මාගේ ස්ටාෆ් එකේ ගුරුවරියක් එය මගෙන් සල්ලිවලට ගන්නට  උත්සහ කළාය. මේ සිද්දියෙන් පසුව සල්ලිවලට ෆොටෝ ගහන ආශාවක්  මට ඇති වූනේය. අනේ අපේ තාත්තා මට කිව්වේ උඹට ඕනි සල්ලි මං දෙන්නම්. සල්ලි හොයන්ඩ හිතාගෙන   ෆොටෝ ගහන්ඩ එපා කියලාය.

තාත්තා පැන්ෂන් යන දවසේ ඉස්කෝලේ කන්දේ සිට පහලින් පෙනෙන අපේ ගමත් මහ ගෙදරත් දෙස බලා සිටින ෆොටෝවක් මම පේරාදෙනි ඉංජිනේරු පීඨ කළා කවයේ කවියක්ද සමග පළ කලේ දෙවන වසරේ සිටියදීය.

අපේ මිතුරෙක්ගේ ආච්චීගේ මළ ගදර ෆොටෝ ගන්නට මා මැණික් හින්නට   එක්කරගෙන ගියේ ඔය කාලයේය. ඒ මළ ගෙදරදී මට ප්‍රභුවරයෙකුගේ සැලකිලි ලැබුනේය. කැමරාව ගැන විස්තර අහන්නට සමහරු මා සමග හිතවත් වුහ. සියලු සැලකිලි ලබා මළගෙදර ෆොටෝ ගෙන ආපහු අක්බාර් හොස්ටල් එකට ආවෙමු. ෆොටෝ සුද්ද කරන්නට ස්ටුඩියෝ එකට ගිය පසුවයි  දැන ගානට ලැබුනේ රීලය අරිහැටි දැවටී නැති නිසා එකම එක ෆොටෝ එකක්වත් වැදී නැති විත්තිය .

ඉතින් මක් කරන්නද ? . මිතුරා දෙස් දෙවෙල් තියද්දී  මම ඔහුගෙන් සමාව යදිමින් කිව්වේ ආච්චිගේ මළගෙදර ගන්න  බැරි වුනාට කවදාහරි උඹලා සීයාගේ මළ ගෙදර ෆොටෝ ටික හොඳ කැමරාවකින්  අරගෙන දෙන බවය.
මේ සිද්දියත් සමග ' අරූ මළගෙදර ෆොටෝ ගත්තා වගේ ' වැනි කියමන් ව්‍යාප්ත වන්නට  වුයෙන් මගේ කැමරා ශිල්පී ගමනට කණකොකා සෙට් වුනේය.

සෙනිත් කැමරාවේ නොයෙක් සීමාවන් තිබුනද ඉන් ගත් පිටත පරිසරයේ සේයා රූ හරි තියුණු ලස්සනකින් යුක්ත විය. ඒත් මම ආශා කලේ යශිකා වර්ගයේ හොඳ කැමරාවක් ගන්නටය. සෙනිත් කැමරාවක් රුපියල් තුන්දාහක් වූ කාලයේ මා කැමති  වූ යශිකා කැමරාවක් රුපියල් විසිදහසක් විතර විය. අවසානයේ මගේ සිහිනය සැබෑ කර ගන්නට මට පුළුවන් වුනේ සින්ගප්පුරුවේ සවරියකදීය. ඒ ගමනේදීම මම canaon photoshot ඩිගිටල් කැමරාවක්ද මිලදී ගත්තෙමි.  ඒ දවස්වල දුර බැහැර මාර්ග ව්‍යාපෘතියක වැඩ කළ මට රටේ ලෝකේ ඉස්මතුවෙන අලුත් තාක්ෂනයන් ගැන වැඩිපුර හොයන්නට වෙලාවක් තිබ්බේ නැත. ඒ වනවිට සියලු දේ ඩිගිටල් වලට මාරු වෙමින් තිබුන කාලයයි. ෆොටෝ රීල් සුද්ද කරන වර්ණ  රසායනාගාර කෙමෙන් වැසී යමින් තිබුණු කාලයයි .

එනම් මගේ දීර්ඝකාලීන සිහිනය වූ හොඳ වර්ගයේ යශිකා SLR කැමරාව ගනිද්දී ඒ හා සම්බන්ධ තාක්ෂනය තුරන් වී ඩිගිටල් කැමරා වෙළඳපල අරක්ගෙන තිබුනේය .  ඒත් මට මගේ සිහින කැමරාව ගන්නටම ඕනා විය . එදා  මිලදීගත් යශිකා කැමරාවත් මගේ පරණ කැමරාවත් සිංගප්පුරුවේ සිට ලංකාවට ආ විගස අල්මාරියේ එක ලඟින් අසුරුවෙමි. ඒ දෙකින් එකකින්වත් එදා සිට අදවනතුරු  ෆොටෝ ගත්තේ නැත. කාලයක් යනතුරු මම ආගිය  හැම තැනදීම ෆොටෝ ගත්තේ අර ඩිජිටල් කමරාවෙනි. දැන්නම් ගන්නේ  මොබයිල් ෆෝන් එකෙනි.

ඉහත සේයාරුවෙන් පෙනේනේ ළඟදී විල්පත්තු සවාරියකදී අපේ දෝණියන් දෙන්නා DSLR කැමරා දෙකකින් වන අසිරිය අසුකර ගන්නට හදද්දී  ඒ සිදිය  මගේ ජංගම දුරකතනයේ සටහන් වූ අන්දමයි.  1990 අවුර්ද්දේ ඉරිදාවන්හිදී පේරාදෙණියේ ඉඳන් කොළඹ මහාබෝධි ඉස්කෝලේට චායාරුප ශිල්පය ඉගෙනගන්නට ආ මට දැන් අපේ දුලාට වගේ හොඳ කැමරාවක් ගන්නට ආසාවක් ඇති වී තිබේ.
ඔව් මමත් ලොකු වුනාම ඒ වගේ එකක් ගන්නෙමි.