මේ පින්තුරය ගත්තේ කටාර් නව ජාත්‍යන්තර ගුවන් තොටුපලේදිය . කලාපයේ තිබෙන විශාලම හා නවීන පහසුකම් තිබෙන ගුවන් තොටුපලකි . සමහර විට මම කටුනායක ගුවන්තොටුපලට වඩා වැඩි වර ගණනක් කටාරයේ පැරණි හා අලුත් ගුවන්තොටුපලට ගොස් තිබෙනවා විය හැකිය.
2009 හා 2010 අවුරුදුවලත් 2012 අවුරුද්දේ මුල සිට 2016 අවසානය දක්වා මම කටාරයේ සේවය කළෙමි . ඒ කාලයේ මහා මාර්ග පද්ධති රාශියක් සමග නව ගුවන් තොටුපල ඉදිකිරීමේ එක් උපදේශක සමාගමක් වුයේ මා සේවය කළ සමාගමයි . මේ ගුවන්තොටුපල වාගේම කටාර් ගුවන් සමාගමත් සැහෙන ප්‍රසිද්දය. ඔවුන්ගේ කාගෝ ගුවන් සේවය වඩාත් ප්‍රසාදයට ලක් වුයේ 2017 අවුරුද්දේ කටාරයේ කිරි ප්‍රශ්නය විසඳීමට එළ දෙනුන් හාරදහසක් කඩිනමින් ප්‍රවාහනය කර දීම නිසාය.
පසුගිය අවුරුදු විස්ස ඇතුලත විවිධ රාජකාරි හා සංචාර සඳහා නොයෙක් රටවල් වලට ගියත් මට එක දිගට මාසයකට වඩා ඉන්නට සිදු වූ රටවල්නම් ශ්‍රී ලංකාව, කසක්ස්තානය, කටාර්, ඔස්ට්‍රේලියාව හා තුර්කියයි , මේ සියල්ල අතරින් ශ්‍රී ලංකාව හැර අනෙක් සියල්ල මුළුමණින්ම හෝ ආසන්න වශයෙන් සිය සමස්ත කිරි අවශ්‍යතාව රට තුල නිපදවා ගනී . වෙනකක් තබා අර්ධ කාන්තාර කුඩා රටක් වූ වූ කටාර් රාජ්‍යය 2017 දී මුහුණ පෑ අපනයන තහනමක් නිසා තමන්ගේ කිරි අවශ්‍යතාවයෙන් සියයට අසුවක් පමණම රට තුලම දොවා ගන්නට පියවර ගත්තේය . මේ කතාව හරි අපූරුය
කටාරයේ වැසියන්ට නිතිපතා කිරි , චීස් , බටර්, යෝගට් ආදී කිරි ආශිත අහර වුවමනාය. 2017 ට පෙර ඔවුන්ගේ කිරි ආශ්‍රිත ආහාර සියල්ලම පාහේ අසල්වැසි රටවලින් ආනයනය කෙරිණි. 2017 දී අසල්වැසි රටවල් සමග ඇති වූ අර්බුදයක් නිසා අපනයනය නතර වීමත් සමග කටාර් රජය මුහුණ පෑවේ දරුණු අර්බුදයකටය . වහා ක්‍රියාත්මක වූ රජය මුලින්ම ගුවන් මගින් කිරි හරකුන හාරදාහකුත් ඉන්පසු එවැනිම ගණනක් මුහුදු යාත්‍රා මගිනුත් ගෙන්වා ගත්තේය. ඊට සමාන්තරව ගව සම්පත රැකබලා ගන්නට අවශ්‍ය වායු සමනය කරන අලද ගාල් , නිෂ්පාදන හා බෙදා හරිම ක්‍රියවලිය සඳහා අවශ්‍ය සමාගම් හා ආයතන රාමුවද ද ලහි ලහියේ සකස් කෙරිණි.
ඒ ගැම්මෙන්ම රටේ කිරි සැපයුම නොකඩවා පවත්වා ගැනීමටද පුළුවන් වුනේය . ඒ විතරක් නොවේ අවුරුදු කීපයක් ඇවෑමෙන් ආසන්න එශයෙන් කිරෙන් ස්වයංපෝෂිත රටක් වුනේය. තව ඉවර නැත . ඉදිරියටම යමින් තිබේ. නොබෝ කලකින් කටාරය හෙවත් අර පර්සියන් මුහුදේ පිහිටි ඇඟිල්ලක් හැඩයේ වැලිපරය කිරි බුරුල්ලක් කරගෙන කිරි අපනයනය කරන්නටද ඉඩ තිබේ.
දැන් ප්‍රශ්නය ශ්‍රී ලංකාව වගේ රටකට ඔය වැඩේ කරන්න පුලුවන්ද? ආපෝ කටාර් කාරයින්ට තෙල් සල්ලි තියෙනවා . අපට පුලුවන්ද හරක් හාරදාහක් අහස්යාත්‍රා වලින් ගෙන්නලා කිරි කර්මාන්තෙ දියුණු කරන්න කියා ඔබට සිතෙනු ඇත .
ඒත් පුදුමයට කරුණ නම් 2017 අවුරුද්දේ අපේ රටටත් කිරි හරක් 4000ක් ගුවනින් ඇවිත් තිබීමය. එපමණක් නොවේ කිරි දෙනුන් විසිදහසක් දක්වා ආනයනය කරන දීර්ඝ කාලින සැලැස්මක් තිබුනේ වසරකය කිරිපිටි ගෙන්වීමට යන ඩොලර් මිලියන තුන් හරසියය ඉතිරි කර ගැනීමේ අරමුණිනි . අනික යෝගට් එකක්, චීස් පෙත්තක් හෝ බටර් ටිකක් බහුතරයක් දෙනාට මිලදී ගන්නවා තබා හිතන්නටවත් බැරි තත්ත්වයෙන් මුදන්නටය .ඉතින් අර ගෙන්වූ කිරි දෙනුන්ට හා පොරෝත්තු ලේඛනයේ සිටි උන්ට සිදු වුයේ කුමක්ද? ඒ වැඩෙන් ලංකාවේ කිරි ගොවිතැනට එකතු වූ අගය කුමක්ද?
මෙන්න මේ ප්‍රශ්නයට උත්තරය ගවේෂනාත්මකව හොයා ගත්තොත් ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය සංවර්ධනය කරන්නට තිබෙන බාධක එකින් එක හඳුනා ගන්නට ලැබෙනවා ඇත .
සමහර පුවත් වාර්තා කලේ මුලින්ම ගෙනා හරකුන් එක එකා මිය ගිය බවය . මේ සිද්දිය ගැන ලංකාවේ පත්තර වලටත් වඩා නවසීලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ කතා වුනා වෙන්නට පුළුවන . කෝප් වාර්තා වලටද ඇතුලත් වූ බව කියයි. ලස්සනම වැඩේනම් ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක හරක් ගෙවීමේ ප්‍රොජෙක්ට් එකේ ඔස්ට්‍රේයාලියනු පාර්ශවකරු සමග අත්සන් කරන ලද ගිවිසුමේ මුල් පිටපත අතුරුදන් වී ඇති බව වාර්තා වීමයි .
ඕස්ට්‍රේලියාවේ සිට කිලෝමීටර් හත් අටදාහක් දුර ගෙවා ගුවනින් ගෙනෙන ලද ගවයෙකු අපේ රටේදී මිය යාම මොන තරම් ලොකු කතාවක්ද? එකෙකු නොව දහස් ගණනක් ? ආණ්ඩුවෙන් සල්ලි ගෙවා ගෙන්නා දුන් හරකුන් ගොවියන්ට දුන්නේ නිකම්ම නොව පසුව ගෙවීමේ ණය මුදලක් වශයෙනි . මේ නිසා සමහර ගොවින් හා ව්‍යාපාරිකයන් අන්තිමේදී නට්ටම් වූ කතා මා අසා ඇත .
සමහරුන් කියන්නේ ගෙන්වුයේ ලෙඩ වූ හරකුන් කියාය. සමහරුන් කියන්නේ ඒ වර්ගය ලංකාවේ දේශගුණයට ඔරොත්තු නොදෙන බවය. ගවයින් රැකබලා ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් අපේ ගොවින් ළඟ නොතිබූ බවද කියවේ.
නමුත් මේ කිසිවක සම්පුර්ණ ඇත්ත නැත්ත දැනගැනීමට ප්‍රමාණවත් තොරතුරු මුලාශ්‍ර නැත . මා දන්නා එකම දෙය කිරි ගවයන් ගෙන්වීමේ කාර්යය සමාන්තරව කළ රටවල් දෙකක් වන ශ්‍රී ලංකාව හා කටාර් රාජ්‍යය අතරින් කටාර් රාජ්‍යය සිය ව්‍යාපෘතිය පියවරෙන් පියවර ඉදිරියට ගෙන යමින් කිරෙන් ස්වයංපෝෂිත වෙමින් තිබෙන බවය.
මේ දෙරට සරලව සංසන්දනය කරන්නට බැරිය . කටාරයේ මෙන් දහගුණයක් ජනගහනයක් අපට සිටි . අනෙක් අතට කටාරයට වඩා බොහෝ වාසිදායක භුමි සම්පතක් හා දේශගුණයක් අපට තිබ්බේ.
ව්‍යාපෘති කළමනාකරණය පැත්තෙන් බලු විට මෙහි ඇති වැදගත් අධ්‍යයන මාතෘකා කිහිපයක් වෙයි . ඒවාට සිංහලෙන් කියන්නේ ශක්‍යතා අධ්‍යයනය, වාසි කළමනාකරණය, පාර්ශවකරුවන් හඳුනා ගැනීම, තොරතුරුවල විනිවිද භාවය, වගවීම හා අවසන් පරිශීලකයා සුදානම් කර තැබීමය.
මේ ගැන තවදුරටත් කතා කරන්නට බලාපොරොත්තු වෙමි .