Wednesday, June 25, 2014

පහේ පන්තියේදී මගේ දේශපාලනය

ගේ සමහර යාළුවෝ  කියන්නේ ඔය පවුලේ විස්තරයි  යාලුවන්ගේ විස්තරයි විතරක්ම ලියන්නේ නැතිව ලියාපන්කෝ දේශපාලනය ගැන නැත්නම් ආගමේ ප්‍රශ්න ගැන ටිකක් කියලාය.

අනේ අම්මේ ඒක නම් කරන්න බෑ .මම මේ බ්ලොග් එක මුලින්ම ලියන්න පටන් ගත්තේ පස් දෙනෙක් සතුටු කරන්නටය. ඔවුන් අප්‍රිය කරන දෙවල් ලියන්නට මට සිත් දෙන්නේම නැත .ඒ පස් දෙනා නම් අපේ පොඩි උන් දෙන්නාත් මා නිසා තිස්සෙම කරදර වන මාගේ ආදරණීය බිරිඳත්  අපේ වියපත් අම්මා හා තාත්තාත් යන පස් දෙනාය. මේක කියවන සියලුම දෙනා ඒ අතර වයස් පරතර වල සිටිනා, තමන්ටද  ළමා කාලයක් තිබුණු හා වයසට යන්නට බලාපොරොත්තුවෙන් සිටින්නන්  නිසා මා ලියන දේවල් සමෝසමේ  පත්තියන් වෙනවා ඇතැයි  මට සිතෙයි.

මම දේශපාලනේ ගැන නොලිව්වාට  පහේ පන්තියේදී මම මුල් පෙලේ පක්ෂ තුනකට උද්යෝගයෙන් සහයෝගය දී තිබේ.  අපේ බාප්පා සමග (පසු කාලයක අපිට ඉගැන්වූ )සිල්වා සර් මුලික වී ගමේ හන්දියේදී රතුපාට අති දැවැන්ත රැළියක් සංවිධානය උනේය. ඒ අනුව මුලින්ම සම සමාජ පක්ෂයට චන්දය දෙන්නට මම තීරණය කර ගතිමි.

රැස්වීමේ ප්‍රධාන කතිකයා වුනේ පසුව බොහෝ කලක්  පාර්ලිමේන්තුවේ සිටි ඇමතිවරයෙකි. එදා ලැලී ස්ටේජ් එකේ රබර් බෝලයක් මෙන් පෙරළෙමින් ගම දෙවනත් වෙන්නට ඔහු කළ  කතාව අසා සිටි මටනම් හිතුනේ මේ පක්ෂය ඊළඟ චන්දෙන් උඩින්ම දිනනා බවයි. ස්ටේජ් එකේ සිටි තුන් හතර දෙනාත් එසේ සිතා සිටිනා බව පුංචි උනත් මට නිරීක්ෂණය කර ගන්නට පුළුවන් විය.

මහා ජනතාවට සිටියේ හරියටම හතර දෙනෙකි. මමත් ඕනෑම අංජබජල් වැඩකට මා සමග එන අපේ රන්ජි අයියාත් , අපේ පන්තියේ ගාමිණීත් සමග ඒ වනවිට චන්දය දෙන්නට වයස සපුරා සිටි එකම පුද්ගලයා වූ, කැකුණ ගහේ බැඳ තිබු තඩි ස්පීකර් සැට් එකේ අයිතිකාරයද ඒ හතර දෙනාය.

ඊට පස්සේ අපට ගෙවල්වලට හා කඩවලට බෙදන්නට කියා රතු පාට පත්තර ටිකක් ලැබුණි. මේවා බෙදද්දී වැඩිහිටි තරුණයෙක් කිව්වේ ගියපාර නිලට මේ පාර කොළට. වැඩේ හරි ගියේ නැත්නම් ඊළඟ පාර  සත්තයි අපි මේකට දෙනවා කියලාය. ඔහු  71 කරදරවලට අසු වී හිරේ සිට ආ අයෙකු බව මම පසු කලෙක දැන ගත්තෙමි.

මම ගෙදර ගොස් අපේ අම්මයි තාත්තයි කැන්වසින් කළෙමි. ගෙදර සියල්ලෝ හිනා උනා මිස කවුරුවත් මගේ වචනයක් ගණනකට නොගත්තෝය. අම්මලා  චන්දය දෙන්නේ කාටද කියා ඒ දවස්වල දැන ගන්ට හැටියක් නොතිබුණෙන් මම පමණක් සම සමාජයට වැඩ කරමින් සිටියෙමි.

දින කීපයක් ගෙවුනාට පසු  තවත් හැන්දෑවක  අපේ නෑදෑ ගෙදරකට කාර් කීපයක් ආවේය. මේ ආරංචියත් සමග අපි හැල්මේ එදෙසට දුව ගියෙමු. සැනෙකින් පවුල් කීපයක විස්සක් තිහක් පැමිණ ඒ ගදර සාලයේත් මිදුලේත්  තැන්  තැන්වල එක් රොක් වී කාර්වලින් එන අමුත්තන් දිහා විමසිල්ලෙන් බලන්නට පටන් ගත්තෝය.

ඒ යු ඇම්පී එකෙන් චන්දය ඉල්ලන අපේක්ෂකායාය. එදා  මළ ගෙදරකදී මෙන් මාරි බිස්කට් හා අලියා බීමවලින් ආ හැමෝටම සංග්‍රහ කළා මතකය. පසු කලෙක රටේම බලගතු දේශපාලකයෙක්  වුනෙත් අපේ පවුලේ නම් ජන්මාන්තර වයිරයට පාත්‍ර වුනෙත් මේ පුද්ගලයාය. ඒ අපේ තාත්තාට දේශපාලන දඬුවම් මාරුවක් දෙන්නට මොහු මුල් වූ බවට වූ සාධාරණ විශ්වාසයයි.

කොහොමින්  හෝ එදා රැස්වීම ඉවර වෙනකොට මේ මුඛරි  අපේක්ෂකයා එතන සිටි පිරිස අමුතු ඇන්දවිල්ලකට ලක් කළ නිසා මටත් යු අන් පී කාරයෙක් වෙන්නට සිතුනේය. එදා ගමේ පාර දිගේ කෙටි පෙළපාලියකද මේ රථ කිහිපය පස්සෙන් ගියේය. අලියාට ජයවේවා කියා කියා ගිය මේ පෙළපාලියට මමද රන්ජි අයියාද  එකතු වුනෙමි. එදා සිට දවස් කීපයක් යනකන් මම යු ඇම් පී කාරයෙක් වීමි.

ඔහොම ඉඳිද්දී ගමේ සිරි ලංකා කාරයෝ පිරිසක් අපේ ගෙදරට පැමිණ තාත්තා මෙවර නිස්සබ්ද මොකදැයි ප්‍රශ්න කරන්නට පටන් ගත්තෝය. 'අපි එදා ඉඳන් වාමාන්ශිකයි තමයි ඒත් මේ පාර කාටවත් වැඩ කරන් නෑ'. තාත්තා  කිව්වා මතකය.

ඒත් තාත්තාට ඒ විදිහට ඉන්න වුනේ සතියකට අඩු කාලයකි . තාත්තාට පනස් හයේ දේශපාලනයේදී හමු වූ, අපේ ආසනය බාර මන්ත්‍රීවරයා වූ, හිටපු ඇමතිගෙන් ලියුම් කරදහියක්  ලැබී  තිබිණි.

' හිතවත් ඉස්කෝලේ මහත්තයා, මම මේ පාර චන්දෙ ඉල්ලන්නේ නෑ. මම ඒ වෙනුවෙන් ඉතා දක්ෂ උගත් ඉඩම් හිමි වැවිලිකරුවෙක් වන මගේ නෑදෑයෙක් නම් කළා. ඔබෙන් මා ඉල්ලන එකම දෙය නම් මොහු මා වෙනුවෙන් ගමේ හිතවතුන්ට හඳුන්වා දෙන ලෙසයි'.

කිව්වත් වාගේ අපේක්ෂකයා හඳුන්වා දෙන රැස්වීම ගමේ කඩයක් අබියසදී පැවැත්විණි. ගමේ සිරි ලංකා කාරයෝ කිහිප දෙනෙක් පැමිණ තාත්තා කැඳවාගෙන ගියෝය. අනිවාර්යයෙන්ම කරනා පරිදි මමද ඒ පස්සෙන් ගියෙමි.

බඩ මහත බුරුසු රැවුලක් තිබුණු සිරි ලංකා අපේක්ෂකයා අනිත් දෙන්නාට තරගයක් දෙන්නට තරම්  නොවන බව පෙනෙන්ට තිබිණි.
පරදින බව දන්නා මොලේ ඇති හිටපු ඇමතිවරයා බිලි බෝයි කෙනෙක් සටනට ඒවා ජාම් බේරාගෙන මාරු වෙලාය.

හඳුන්වා දීමෙන් පසු අලුත් අපේක්ෂක තුමා නැගිට්ටේය. මහත බඩ  නිසා තිස්සෙම එල්ලා වැටෙන කලිසම අත්  දෙකෙන්ම උස්සා උස්සා කතාව පටන් ගත්තේය. බුරුසු රැවුල අස්සෙන් ඔහු කියනා කිසිම දෙයක් කාටවත් තේරුනේ නැති ගානය. ඔහු වචන හොයා හොයා ආග්  ආග්  ගාමින් තැටමුවේය. පිටිපස්සේ සිටි තරුණ ගැටවුන් ' මොකට මේ මනුස්සයා එව්වද චන්දය ඉල්ලන්න කියලා කිව්වා මට ඇසුනි.

කොහොමින් කොහොමින් හෝ ඊළඟට කතා කළ  ගමේ සමිති සබාපතිගේ වචන නිසා සබාව ආයෙමේත් උද්යෝගයට පත් වුනේය. දැන්නම් දිනන්නේ මේ පක්ෂය බව මට සිතුනි.. අනිත් රැස්වීම් දෙකටම වඩා මේකට සෙනගද වැඩිය. කොහොමත් අපේ ගමේ වැඩිපුර හිටියේ සිරි ලංකා කාරයෝය.
එදාද රැස්වීම අහවර වී ටික දුරක් ගිය පෙළපාලියක අපි සටන්පාට කියමින් උද්යෝගයෙන් ගියෙමු. 'නිල්පාටට  ජයවේවා . අපේ අත රත්තරන් අත'

එදා හිට ටික කලක් යනකන් මම සිරි ලංකා කාරයෙක් වී සිටියෙමි.

මේ මම පහේ පන්තියේදී දේශපාලනය කළ  හැටියි.
මම දේශපාලන පක්ෂ සියල්ල අත හැර දැම්මේ පහේ පන්තියෙන් ඉහළටද ඉගෙන ගන්නට සිදු වූ නිසාය.

ඒත් කරුමය කියන්නේ මා මුලින් කී පස් දෙනාද ඇතුළුව අපි හැමෝගෙම ජීවිත ඉරණම තීරණය කරන්නේ  පහේ පන්තියෙන් ඉහළට ගොඩ නොවූ අර දේශපාලනයම වීමය.

photo: thehindu.com

Monday, June 9, 2014

කහ පාට ආදරය 2- ඔරේන්ජ් බාර්ලි

කොහේදෝ දේශයකදී ලියවුණු, කියවුණු කතාවක් අපේ රටේ නම් ගම් යොදාගෙන කහ පාට ආදරය 1 කොටසින් ලියා මම බෙහෙවින් සතුටු වුනෙමි. කියවූ ඔබද ප්‍රමෝදයට පත් වන්නට ඇතැයි  සිතමි. දැන් අපේ  හිත් ආයෙත් පියවි ලෝකයට ගෙන එන්නට සිදුව තිබේ . මේ දෙවන කොටසට පාදක වුනේද  මීට අවුරුදු විසිපහකට පමණ පෙර ලෝකයේ කොහේදෝ  රටක සිදු වූ ඇත්ත කතාවකි. ඒත් හිරකරුවෙකුගේ කතාවකි.
**********

නගරයේ තැන තැන ආපන ශාලාවලින් පිටවන කුණු කානු අතරේ පියඹා පිළුණු මස් කැබලි හා බත් ඇට අහුළා ආයිමත් කොහොඹ අත්තේ  වසා හොටය උල් කර ගන්නා  කපුටන් හැරුණුවිට ජීවයක් ඇති කිසිවෙක් හාත්පස ඉන්නා බවක් නොපෙනුණේය. එහෙත් බොහෝ මිනිසසු  නගරයේ එහෙ මෙහෙ ගියහ. ඒ මුහුණුවල  ලේ මස්  තිබෙන පාටක්  නොපෙනුණු අතර ඔවුන්  ගහක් ගලක්  තියා කපුටෙක් කුරුල්ලෙක් ගැන වුවත්  කතා කළා නම් ඒ මහා පරිස්සමකිනි. සැකයකිනි.

පරසිඳු වියලි නගරයේ උසාවි ගොඩනැගිල්ලේ සිට ආපහු රිමාන්ඩ් සිර ගෙදර  වෙත ඇදෙන මිනිස් රූ පෙළකි. ඔවුන්ගේ දැත් සම්බන්ධ වී  තිබුනේ සීතල යකඩ දම්වැලකිනි. ඉදිරියෙන් හා පසු පසින් කාකි ඇඳුම් හැඳි නිලධරයන් දෙදෙනෙකි . තමන් අල්ලා ගත්තේ මොන එහෙකටදැයි කියා හෝ තමන්ට වෙන්න යන්නේ මොකක්දැයි කියා හරියටම දන්නේ  නැති සිරකරුවන් තිදෙනාද  තම තමන්ගේ ඉදිරි ජීවිතයක්  ගැන කිසිම බලාපොරොත්තුවක් තබා ගන්නේ නැතිව ඔහේ ගමන් කලෝය..

අවුරුදු විසි පහකට ඉස්සර කු... නම් නගරයේ ටියුෂන් පන්ති යාමට ආ.. නම් පළාතේ දුෂ්කර ගමක සිට පැමිණි අප කතා නායකයා වන රන්ජුලද මේ පිරිස අතරේ සිටියේය.
කු... නගරයේ ටියුෂන් පන්තියට යන්නට හා එහි ජීවත් වන්නට අවශ්‍ය ගාස්තු ඔහු විසින් සපයා ගත්තේ ටියුෂන් ගුරාගේ පොස්ටර් අලවීමෙනි. පෝස්ටර් ඇළවීම  යනු ගෝනි බිල්ලන්ගේ අවධානය පහසුවෙන්ම දිනා ගත හැකි ක්‍රියාවක් බව ඔහු සිතුවේ නැත .

ඒ භීෂණ සමයයි .
 තරුණ ලේ කකියමින් තිබු කාලයයි. මොකුත් විචාරන්නේ නැතිව විප්ලවය ගැන හිත ගිය කාලයයි. මේ ටියුෂන් පන්ති යන දවස්වල ආදරය වගේ දෙයක්ද රන්ජුලගේ හිතට දැනී තිබුනේය. ඒත් යන්තමින් දේශපාලන නැඹුරුවක් තිබු අවංක රන්ජුලට ආලය යනු  හිතට රිංගවගන්න නුසුදුසු දෙයක් යැයි හැඟුනේය.

එහෙත් ඇය වරින් වර ඔහු දෙස බලා සිටියාය . ඒ හැටි ලස්සනක් නොතිබුණු, හේන් කුඹුරු අතරේ දුහුවිල්ලට හා ඉර කෝඩයට අවපැහැ ගැහුණු  මුහුණක් තිබුණු ඇය හිනාවෙනකොට  කාන්තිමක්  බැල්මක් හෙලන්නට පමණක් සමත් වුවාය.ෆ්ලෝරයිඩ් ලයින් එකක් වැටී තිබුණු දත් දෙපෙළ ඇයට ඒ හැටි අවලස්සනක් ගෙනාවේ නැත . කාන්දමක් සේ තම හිත අල්ලා ගන්නට හදන මේ මුහුණ අමාරුවෙන් මග හරින්නට වෙහෙසුණු ඔහුට ඇය කරදර කරන්නට නොආවාය. ඇයත් කුලෑටිය. ඔහුත් කුලැටිය . දෙන්නට දෙන්නා වචනයක් කතා කරලා නැත .මීට අවුරුද් විසි පහකට පෙරත් එහෙමය. අදටත් එහෙමය. හෙටටත් එසේම වනු ඇත .

දැන් ඔහු ලෝකයේ අනිත් අර්ධ ගෝලයේ ජීවත් වන බව මම දනිමි. ඇය ජීවත් වෙනවාද නැද්ද  කියාවත් දන්නා කෙනෙක් නැත. ඇගේ නමක් ගමක් ඉන්නා තැනක් නෑදෑයෙක්  යාලුවෙක් කිසිම කෙනෙක්  ඔහු  දන්නේ නැත. මීට අවුරුදු විසි පහකට පෙර එකම ටියුෂන් පන්තියේ වාඩි වී සිටිද්දීත් දැනගෙන හිටියේ නැත .
ගමේ හා නගරයේ ඔහුගේ සගයන් එකා දෙන්නා මිලිටරි  අත් අඩංගුවට පත් වන්නට විය . එකෙකුගේ සිරුර නගරාසන්නයේ ටයරයක දැවෙමින් තිබුනේය.

මේ කරදර මැද  රන්ජුල කො... නම් නගරයට පලා ගියේය .

පන්සලක නවාතැන් ගෙන රේස් බුකියක රස්සාවක් කරමින් පරිස්සමින් ජීවත් වුනේය. දැන් කරදර අවසාන වුවා නේදැයි කියා හිතිච්ච දවස්වල ගමෙන් ලියුමක් ලැබුනේය . වා.. නම් නගරයේ කච්චේරියේදී ඉන්ටවිව් එකක් . ඒ ගමට ආසන්න ප්‍රධාන නගරයකි.

'කාලෙකින් අම්මත් බලාගෙන ගමට ගිහින් ආවැකි'. හොඳින් හැඳ පැළඳගෙන කොළඹ සිට ගමට ඉන්ටවිව් එකකට යන රන්ජුල . හැම දේම වෙන්නේ තනිකර විරුද්ධ  පැත්තටය  හරිනම් ඉන්ටව්  එන්නේ ගමේ සිට කො.. නගරයටය.

ඔහුගේ ගමට කිට්ටුම  නගරයේ බස් නැවතුම්පලට රන්ජුල ගොඩ බැස්ස  හැටියේම ඔහුගේ දෑතට මාංචු වැටුනේය.එය සෙට් කරපු ගේමක්ය. ඉන්ටවිව් ලියුම  සෙට් කරපු උගුලක්ය . ඔය ඉන්නේ ත්‍රස්තවාදියා .ගමෙන් අතුරුදහන් වී සිට දැන් මාට්ටු  වී ඇත  . තම ප්‍රාණසම පුතනුවන් කොටු කරගෙන ඉන්නා  බව ආරංචි වූ  රන්ජුලගේ මව හඬා දොඩමින් කියන්ට පුළුවන් හැම ලොක්කා ළඟම  පින්සෙන්ඩු උනාය. ඒ නිසා ඔහු එකවර ටයර් සෑයකට යන ඉරණමින් ගැලවිණි.  කොහෙන්දෝ  ඔහුට නඩුවක් පටලැවිණි . රිමාන්ඩ් හිරගෙදර සිට  පට්ට අව්වේ උසාවියට වරින්වර රැගෙන යන්නට වන නඩුවකි එය .

එහෙම  යන අතර වාරයේ දන්නා කියන එකෙකු හිටියොත් හිනා වෙන්නේවත් නැත. ත්‍රස්තවාදියෙකු අඳුනනවා කියන්නේ තමනුත්  ත්‍රස්තවාදියෙක් වෙන වැඩක් බව සිහි බුද්දිය ඇත්තෝ දැන සිටියහ . පන්තියේ සගයන් ගමේ යාළුවන් ළඟම නෑදෑයන් මාංචු දාගෙන උසාවියට රැගෙන යන ඔහු  දුටුවහොත් අඳුනන වගක් නොපෙන්වා  අහක බලා ගනී.

මේ වෙන දේවල් මොන තරම් කර්කශ  මානසිකත්වයක් හදනවාද? නගරය වියලිය. වැහි පොදක් නැත. උදේ සිට  මේ දැන් වන තුරු වතුර පොදක් බොන්නට ලැබුනේ නැත. පරිසරයත් වියලියි. හිතත් වියලියි. තොල කටත් වියලියි.

දම්වලෙන් බැඳ පාර දිගේ දක්කාගෙන උසාවියේ සිට ආපසු යන රිමාන්ඩ් සිරකරුවන් අතරේ  රන්ජුල  හිස් බැල්මෙන් නගරයේ මිනිසුන් දෙස බල බලා ගමන් කළේය. දහසක් දෙනා  මැද තනියම සිටින පිටසක්වල ජීවියා ඔහුය .

ජීවිතය එපා වූ කාලකන්නි සිතිවිලි වලින් තෝන්තු වී සිටි රිමාන්ඩ් සිරකරුවාට නගරය මැදදී විදුලි සැරයක් වැදුනාක් මෙන් එක්වරම ඒ ඇස් දෙක හමු වුනි. අර ටියුෂන් පන්තියේ ගොළුම ගොළු හදවත හිමි කෙල්ල. දෑසේ විශ්මය ශෝකය හා කාන්තිය තවරාගෙන  බලා සිටියාය .

යදමින් බැඳ  ඇදගෙන යන ඔහුගේ දෑස ඇයට හමු විය. ඒ ඇස්  දෙක දිහා  බැලීම ඇයද අනතුරේ හෙළන්නක් බව ඔහු දැන සිටියේය. එහෙත් තම වියළි   ජීවිතය මත ඒ දෑසේ කාන්තියෙන් පතිතවන  සිසිලස අත හරින්නේ කෙලෙසද? .

ඔහු හිත්පිත් නැති මැටි රුපයක් මෙන් ඒ දසුන හැරදමා  ඉදිරියට පිය මැන්නේය. පිය මනින්නට සිද්ද වුනේය. එසේ නොවුනානම් දම්වැලෙන් බැඳුණු අනිත් සිරකරුවන් අතරේ පය ඇදී පැකිලී වැටෙන්නට පවා ඉඩ තිබිණි. පසුපස හැරී බලන්නට ඔහුට වුවමනාය. ඒත් එය අනතුරුදායකය. කුරා කුහුඹුවකුටවත්  වරදක් නොකලා යැයි ඔහු සිතන ඒ කෙල්ල කරදයේ හෙළන්නේ කුමකටද?
.
ගරාවැටුණු සිතිවිලි මැදින් ඔහු තවත් මීටර් දෙසීයක් පමණ ඇවිදගෙන ගිය විට පාරේ ඉදිරියෙන් ආ වැඩිහිටියෙක් කාකි නිලධාරීන්ට ඔවුන් පසු කර ආ මාර්ගයේ යමක් පෙන්නුවේය.
රැකවළුන් දෙන්නා පමණක් නොව හිර කරුවන් තිදෙනාද ආපසු හැරී ඒ දෙස බැලුවෝය.

පුදුමයකි!. කහපාට ඔරේන්ජ් බාර්ලි බෝතලයක් අතින් ගත්  කෙල්ලක් ඔවුන් පසු පස හඹා එයි. තමන් පත්වන සැකමුසු අනතුරුදායක තත්ත්වය ගැන අවබෝදයක් නැතිවාක් මෙන් ඇය දිව එයි. පස් දෙනාම මදකට නතර වූ තැන ඇයද හති හල හලා නතර වුවාය.ඊළඟට මුරණ්ඩු ලෙස බීම බෝතලය ඔහු වෙත දිගු කළාය.

කහ පාට ඔරේන්ජ් බාර්ලි බෝතලය තමන් දෙසට දිගු කරගෙන සිටින අවිහිංසක තරුණිය  දෙස බලා සිටිද්දී ඔහුට තමන් සිටින්නේ කොහෙදැයි හිතා ගැනීමට නොහැකිව මදක් සිහි විකල් විය . ඊළඟට ඔහු තමා ඉදිරියෙන් සිටගෙන ඉන්නා  රැකවල් බටයා දෙස බැලුවේය. කලින් දවසක මාපට ඇඟිලි දෙකෙන් තමාව බාල්කයේ එල්ලා මුගුරු පහර එල්ල කලේ මොහු වැන්නෙකුම නොවේදැයි ඊළඟට සිතුවේය.
එහෙත් රැකවල් කරුවා ඔහුට බීම බෝතලය ගන්නැයි හිසින් සන් කළේය.

ඊළඟට රන්ජුල එකම දම්වලින් යාවී  සිටින තම සගයන් පිරිස දෙස බැලුවේය. ඔවුහු  එකවර හිස වනා ඇගේ කාරුණික පිරිනැමීම පිළිගන්නැයි අභිනයෙන් කිව්වෝය.

ඔහු මොහොතක් යව්වනිය දෙස බලා සිට සිය දෑත දිගු කළේය.

ඒ ඔහු මේ ලොව විඳි ම්හිරිම මිනිස් සම්බන්ධතාවයයි .

තම සිරකරුවා  බීම බොන තුරු  කාකි රැකවල්ලු  ඉවසා බලා සිටියෝය.

ඇගෙන් නම ගම වතගොත අසා ගන්නට නොහැකිය. එකම ටියුෂන් පන්තියේ සිටියාට ඇගේ හිතේ  මේ තරම් ලෙන්ගතු  කමක් තිබුණ  බව ඔහුට දැනුනේ නැත. ඇය නැවත කවමදාකවත් හමු නොවන බවද ඒ  අතරේම ඔහුට පසක් විය. ඉස්සරහ දවස් වල මොනවා වෙන්නට බැරිද .

වැඩි සෙනෙහෙ ඇගේ ජීවිතයටද අනතුරක් කරනු ඇත. අනික ඒ හිතට සමීප වීම දෙහිතටම  වේදනාවකි.
ඔහු දෑසින්ම පමණක් බොහොම ස්තුතියි කිව්වා මතකය. ඉන්පසු   ස්වකීය ආත්මයම  බැඳ දමා ඇති විලංගුවද දරාගෙන, පසුපස නොබලාම හිරගෙදරට ඇවිදගෙන ගියේය.

කලකට පසු නොහිතු ලෙස බේරා ගත් ජීවිතය රැගෙන  දුරු රටකට ගිය ඔහු  සියළු දේ අමතක කරන්නට උත්සහ කළේය . එහෙත් කහපාට දොඩම් යුෂ වීදුරුවක් හෝ සිසිල් බීමක් නෙත ගැටෙන සැම විට බර කල්පනාවකට වැටෙන පුරුද්ද අත හරින්නටනම්  බැරි විය. අවුරුදු විසිපහකට පස්සේද එහෙමය.

photo from:  huffingtonpost.ca

Sunday, June 1, 2014

කහ පාට ආදරය -1


හ පාට දොඩම් යුෂ වීදුරුවක් හෝ වෙනත් සිසිල්  බීමක් දුටු සැනින් බර කල්පනාවකට  වැටෙන මගේ මිත්‍රයෙක් සිටියි. එහි රහසනම් ඔහුගේ හදවතේ  කෙළවරක දශක  ගණනක් තිස්සේ පිපී දිදුලන  පුංචි කහ පාට මලකි . මට හැර තාම කාටවත් කියා නැති ඒ කතාව  දෙවැනියට ලියන්නට ඉඩ තබා මේ  ලියන්නට යන්නේ වෙනත් ලෝක ප්‍රසිද්ද කතාවක මට මතක සාරාංශයයි. සමර්සෙට් මෝම් හෝ ඔස්කා වයිල්ඩ් වර්ගයේ කවුරුන් හෝ ලිව්වා කියා මට හිතෙන   මේ කතාවේ හැබෑ රචකයා සේම හරි කතාව මොකක්දැයි හොයා ගන්නට කවුරුන් හෝ උදව් කරනවා නම් මම හද පත්ලෙන් ස්තුති වෙන්නෙමි.

නම් ගම් හා කතා පසුබිම  ලංකාවේ හැටියට වෙනස්  කළ මගේ වර්ෂන් එක මෙහෙම යි .

බැච් ට්‍රිප් එකේ පළමු දවස අනුරාධපුර ගත කළ  කොල්ලන් කෙල්ලන් රැගත් බසය දෙවැනි දවසේ දවල් එකොළහ පමණ වෙනකොට අනුරාධපුරයෙන් පිටත්වුනේ දවල් කෑම කලාවැව ඉවුරේදී කන්නට හිතාගෙනය.

අනුරාධපුර ජයන්ති මාවත  පැත්තෙන් මල්වතු ඔය පාලම පේන තෙක් මානයට ආවා පමණි. තනි කෙලින් පාරේ මීටර පන්සීයක් විතර ඈතින් පරණ පන්නයේ බැග් කබලක් අතින් ගත්  සුදු සරමක් හා කමිසයකින් සැරසුණු මනුස්සයෙක්, වෙනත් ග්‍රහ ලෝකෙක ඉඳන් මේ දැන් ප්‍රාදීර්භුත වූ අයෙක් මෙන් පාරට අත දික් කරගෙන සිටියේය.

'බයිට් එකක් බයිට් එකක් ; කොල්ලෝ කීප දෙනෙක් කෑ ගැසුවෝය. අර මෑන් හිතල තියෙන්නේ මේක ලංගම බස් එකක් කියල  . මල්ලි අපි වාහනේ නවත්තලා මිනිහා දාගෙන යමු , ටිකක් දුර ගෙනිහින් බස්සමු. හොඳ බයිට් එක'.

සිසු නඩය  සමග ගානට සෙට් වෙලා හිටි ඩ්‍රයිවර කොලුවාද අන්ද මන්ද මගියා අසල බස් රිය නතර කළේය. ඔහු බසයට ගොඩ වෙද්දීම එකෙක්. 'රයිට් පස්සට යන්න පස්සට යන්න . ඔය දැන් නැග්ග එක්කෙනා ටිකට්  ගන්න . කොහාටද යන්නේ ?

ඔහු කමිස සාක්කුවට අත  දමා නෝට්ටු  කීපයක් ඇද්දේය .
'කොහාටද යන්නේ'. කොන්දොස්තර ඇසුවේය.

මගියාට දිව පැටලුනේය. ඔහුද ඒ ප්‍රශ්නයම ඇසුවේය . කොහාටද යන්නේ ?

මේ හලෝ ඔහේ බෝඩ් එක බලන් නැතිවද නැග්ගේ ? යන දිහා දන් නැතිව නගිනවා මෙතන ' . කට්ටියට බයිට් එක සෙට් වෙලාය. කෙල්ලෝ මැසිවිලි නගති. ඒයි  පව් පව් අහිංසක මනුස්සයෙක් රස්තියාදු නොකර බස්සලා යමු අනේ .
හැමෝම ආයෙමත් කොක්සන් හඬ නඟති.

බස් එක කෙලින් පාර දිගේ හැල්මේ ඉදිරියටම ඇදේ . ඒ ගමන කොන්දොස්තරලා රොත්තකි.
'ඔහේ කොහේ ඉඳන්ද එන්නේ ?.

'හිර ගෙදර ඉඳං . අද උදේ තමයි නිදහස් උනේ අවුරුදු දහයකින්'
.
එතෙක් උසුළු විසුළු හඬින් පිරී ඉතිරී තිබු බස් රිය බය බිරාන්ත නිහඬතාවයක ගිලුනේය. ඒ වෙලාවේ රජ කළ  භීතිය ගුවන් යානයක් කොල්ලකරුවෙකු විසින්  අල්ලාගත් විටෙක මෙන් විය.

හීන් හඬින්  සරසවි කොල්ලෙක් මෙසේ ඇසුවේය . මොනා වෙලාද හිරේ යන්න උනේ ?

'මගේ අතින් මිනිහෙක් මැරුණා. ගැටවර කාලේ අපෙත් අණක් ගුණක් නෑනෙ' .

මේ මිනිහා බස්සලා යමු නේදැයි අසන්නාක් මෙන් පිටුපස බැලූ ඩ්‍රයිවර් මල්ලී බස් රිය ස්ලෝ කළේය.

මේ අතරේ එකෙක් කිව්වේ නෑ අපි දිගටම යමු කියලාය ඒ කියන ගමන් ඉස්සරහම පේලියේ අසුනක මගියාට වාඩි  වෙන්නට සැලැස්සුවේය.
දැන් මේ මගියාගේ කතාව බස් එකේ පේලියෙන් පේලියට පිටිපස්සට යනකන් පැතිර ගිහිල්ලය.
හිර කාරයෙක්ලු! . මිනී  මරුවෙක්ලු ! .

දැන් මගියා බයිට් කරන්නට බලා සිටි කොල්ලන් බයිට් වී තිබේ. මගියා යන්නේ කොහාටද දැන ගන්නට වුවමනාව තිබේ. හෙමින් හෙමින් කිට්ටු වෙන 'කොන්දොස්තර' වෙත මගියා පුංචි නෝට්ටු කොළ ටික දික් කරමින් නුවරට එකක් දෙන්නයි කියයි.

'නෑ සල්ලි එපා කමක් නෑ , දැන් නුවර ගිහින් කොහාටද යන්නේ? .
'සමහර වෙලාවට මම නුවරටම යන්නේ නෑ මහත්තයෝ , සමහරවෙලාවට මම නුවරට ගිහින් එතනින් කඩුගන්නාවේ මම දන්නා පන්සලක් තියෙනවා එහෙට යනවා'.
'මොකක්ද ඒ සමහර වෙලාවට නුවරට යන්නේ නෑ කියන එකේ තේරුම මොකක්ද? මගියා නිහඬය.

ඔහේගේ ගම කොහෙද ? ඔහේ කසාද බැඳලද ?
මගියා නිහඬය .
එක්වරම ඔහු හඬ අවදි කළේය.
'මම බැඳලා තමයි හිටියේ මහත්තයෝ . කුසුමා  හරි ලස්සන කෙල්ල' .
ආයෙත් නිහඬ බව

'මේ සිදිදිය  වෙනකොට අපි බැඳලා මාස කීපයක් විතරයි වුනේ'.

දොඩමලු මගියා කියන වචන පිටිපස්සේ සීට්වලට ඇහෙන්නට පටන්ගෙන  ඇත. හැමෝම පුළුවන් තරම් නිස්සබ්දතාවය රකිමින් මගියාගේ මුවින් ගිලිහෙන  වචන අහුලා ගන්නට වෙහෙසෙති. හරියට ඇහුනේ  නැති උන් අනිත් අයගෙන් අසා දැන ගනීති.

'මේ කාලකන්නි මිනීමැරුම වෙලා මම අවුරුදු විස්සකට හිරේ ගියාම ගෑනි අඬ  අඬා  හැම සතියෙම මාව බලන්න ආවා මහත්තයෝ.

එතකොට ඒකිට අවුරුදු විසිපහක් ඇති ,

'මම කිව්වා කුසුමෝ මන් බලන්න එන්න එපා. තව අවුරුදු විස්සක් කියන්නේ ඔහේගේ ජීවිතේ හොඳ කාලේ ඉවරයි. මාව අමතක කරලා වෙනින් අතක් බලා ගනින් කියල .

හුල්ල හුල්ලා අඬනවා විතරයි  පස්සේ  පස්සේ කුසුමා මාව බලන්න ආවම මම එයාව මග ඇරියා. මුණ ගැහෙන්න එන්නේ නැතිව හිටියා. ඒත් සතිපතා එයා ආවා. මම ගියේ නෑ  . පස්සේ ලියුම් එව්වා. මම ලියුම්වලට උත්තර ලියනවා තියා ඒවා කියවලාවත් බැලුවේ නෑ .

පස්සේ පස්සේ මට වෙසක් කාඩ් එකක් විතරක් අවුරුද්දකට සැරයක් ආවා.  දැන් අවුරුදු හතරක පහකට කලින් ඉඳන් ඒකත් නතර උනා .

මම හිතන්නේ දැන්නම් කුසුම ආයේ පෙළවහක ගිහින් දරුවෝ මල්ලෝ එක්ක සතුටින් ඇති'
මගියා ආයෙමත් නිහඬය  .

ඔහු පමණක් නොව අනිත් සියල්ලෝත් නිහඬය.
නිහඬ බව බින්දේද මගියාමය

'අනේ මහත්තයෝ  අවුරුදු විස්සකට අච්චු කෙරුවට මට දහයකින් නිදහස හම්බුනා . කල්කිරියාව හොඳ  හිරකාරයෝ කීප දෙනෙක් ජනරජ දවසේ නිදහස් කරනවානේ. ගිය සතියේ තමයි මටත් කිව්වේ අද නිදහස් කරනවා කියලා.

ඉතින් නිකමටවත් ගෙදරට කියලා යැව්වේ නැද්ද? හැමෝම වෙනුවෙන් එකෙක් ඇසුවේය.

'මම ලියුම්  කරදහියක්  යැව්වා.අපේ ගෙවල් තිබ්බේ මාතලේට ටිකක් මෙහා . මහා පාරින් හැරිලා හැතැප්මක් විතරයි යන්ට තියෙන්නේ. මම කුසුමට ලිව්වේ මෙහෙමයි; මම විසි දෙවැනිදා නිදහස් වෙලා  නුවර බස් එකේ යනවා. ඔහේ තාමත්  තනිකඩව මා එනකම් බලා ඉන්නවානම් විතරක්  අපේ ගෙවල් පැත්තට හැරෙන තැන මහා නුගේ  අත්තක කහපාට කොඩියක් දම්මලා තියන්න කියලා ලිව්වා. එහෙම නැත්නම් එත් කමක් නෑ මම දිගටම ගිහින් ඈත පළාතකට වෙලා ඔහෙලාට කරදරයක් නැතිව ජීවත් වෙන්නම් කියලත් ලිව්වා.

මේ වනවිට  බස් රථයේ කේන්ද්‍රය වී තිබුනේ මේ මගියා සිටි අසුනයි. ඔහු මේ දැන් කියන කතාවත් සමග එකතු වූ මගියාගේ වැදගත් හැසිරීම, සන්සුන් කතා විලාශය හා අහිංසක  බැල්ම නිසා ඔහු තව දුරටත් හිරෙන් නිදහස් වූ මිනීමරුවෙක් ලෙස කාටවත් නොපෙනිණි.

අපි කළාවැව  යන්න ඕනි නෑ කෙලින්ම  නුවර යමු . එකෙකු  කළ  යෝජනාව ඒකමතිකව සම්මත විය. දවල් කෑමත් අමතක කර දැමු  කොල්ලන් කෙල්ලන් පිරිස හා සුවිශේෂ මගියා රැගත් බස්රිය කැකිරාව හා දඹුල්ල පසුකර මාතලේ පෙදෙසට ලඟා වෙමින් තිබිණි.

කෙල්ලන් රොත්ත පිටින් ජනෙල් වලට ලං වී සිටියෝය. දැන් ලඟද දැන් ලඟද? මොන පිස්සුද තව කොච්චර දුරද?. බස් එකේ කසු කුසු කසු කුසු 
මගියා  විතරක් ඔහේ ඉදිරිය  බලාගෙන උපේක්ෂාවෙන් සිටියේය.

ඒත්  මාතලේ පැත්තට  බසය ලං වත්ම ලං වත්ම ඔහුගේ මුහුණේ මාංශ පේශීන්  නොසන්සුන්ව නැටුවේය. ඔහු දෑස පියා ගෙනම සිටියේය  ඔහු කියූ මග සලකුණු අනුව රූස්ස නුග ගහට තව ඇත්තේ කිලෝමීටර දෙක තුනකි.

ජනෙල් කවුළු ළඟ පොර කන්නන් පිරිස වැඩි විය. ඔලු තිහ හතළිහක් තිබ්බේ බස් රියෙන් එලිය පැත්තට වෙන්නටය.

'අන්න අන්න අර නුග ගහ පේනවා'
ඈතින් කුඩාවට පෙනෙනා  නුගය  දුටු එකෙක් කෑ  ගැසුවේය.
'ළඟ වගේ පෙනුනට හරි දුරයි ඒක'.

මගියා දැස්  වරක් ඇරපියා ඉදිරිය බලා යලි වසා ගත්තේය. ඔහු ගැන හැමෝටම අමතකව ගොස් නුග ගස එල්ලේ ඇස් යොමු වී තිබිණි.

තත්පර කීපයකට නතර වී  තිබු හදවත් සියල්ලේ ස්පන්දන වේගය දෙගුණ තෙගුණ කරමින් කෙල්ලක් මුර ගෑවාය .

'කහ පාට කොඩියක් තියෙනවා!'.

තවෙකෙක් එසැණින්ම කෑ ගැසුවේය
'තව කොඩියක් තියෙනවා'
නෑ  නෑ  කොඩි ගොඩක් !!

තව නොබෝ වෙලාවකින් කහපාට කොඩිවැල්  ඇද සරසා තිබු අතුරු මාවත දිගේ ප්‍රේමවන්ත මගියා ජයග්‍රාහී ලෙස පියමනිමින් සිටියේය.

************
සටහන; විදෙස් මුලාශ්‍රයකින් පරිවර්තනය කරන ලද මේ කතාව බොහෝ කලකට පෙර  මා කියවුයේ මනහර සඟරාවකින් කියා මතකය. මෙහි මුල් රචකයා හා කතාවේ  අලගිය මුල ගිය තැන හොයන්නට මට සහාය වෙන මෙන් ඉල්ලමි. මේ කතාව මුලින් ලිව්වේ මා ඉදිරියේ දිග අරුණු සබෑ අත් දැකීමක් වන කහපාට ආදරය-2 කොටසට ප්‍රවේශයක් හැටියටය. ඒ කොටස හෙට අනිද්දාම ලියන්නෙමි. 
Image; layoutparks.com