Monday, April 27, 2020

අටවිසිමහල 10 ( පළමු මහල )


කොටස් වශයෙන් පළවන අටවිසි මහල නවකතාවේ දහවෙනි කොටසයි මේ ( අප සිටින්නේ දෙවන පරිච්චේදය වන පළමු මහලේය)  මීට පෙර කොටස් මෙතැනින් .

ම්පැත්තෙන් පෙනෙන ලුනාව කලපුව දෙස බලාගෙන මනෝරන්ජන් කතා කළේය .
"පිරිමියෙක් ගෑනියෙකුට  ආකර්ෂණය වෙන එක , කොල්ලෙක් කෙල්ලෙකුට නැත්නම් කෙල්ලෙක් කොල්ලෙකුට  නොදැනීම ලං වෙන එක වරදක් නෙවෙයි අසේල. ඒකට වයස පරතරයක් නෑ. වෙන බේදයකුත් නෑ . අන්තිම සොබාවික දෙයක්  . ඒත් ඒ වැඩේ පාලනය කර ගන්න එක තම තමන්ගේ වුවමනාවෙ හැටියට තමයි. එච්චර කලබල වෙන්න දෙයක් නෑ . සමහරු ඔලුව ගල් වෙනකම් මේවා නිසා විඳවනවා . අසේල පොත් කියවලා නැති නිසා විරාගය ගැන දන්නේ නැතිව ඇති . මම ෆෝචුන් බුකියට ගිය දවසේ නෙතදරා ගාව තිබ්බේ කේ ජයතිලකගේ ' චරිත තුනක් " පොත . විරාගයේ අරවින්ද වගේම චරිත තුනක් එකේ ඉසාත් දෙන්නම  මොකක් හෝ නොගැලපිල්ලක් ගලපගන්න බැරිව වුවමනා වෙලාවට අඩියක් ඉස්සරහට තියන්න බැරිව සාගරයක් තරම් දුක් වින්ද දෙන්නෙක්. ඇයි මිනිස්සු ඔච්චර විඳවන්නේ ?. තමන් කැමති කෙනා මුඩුක්කුවක ඉඳල හම්බුනත් මාලිගාවක ඉඳල හම්බුනත් එයා දකිද්දී හිතට අමුත්තක් තේරෙනවනම්  , සතුටක් දැනෙනවනම් එතැන මොකක් හරි  සම්බන්ධයක් තියෙනවා. මේ හැමෝම කසාද බඳින්න ඕනි කියලවත් පෙම් සුව විඳින්න කොහේ හරි අරන් යන්න ඕනි කියල එකක්වත්  නෑ. විවෘතව  කතා කළා. දැනෙන දේ වින්දා .එච්චරයි"

ඉසා ගැනවත් , අරවින්ද ගැනවත් කියවලා නොතිබුනා වුනත් අසේලට තේරුනේ මනෝරන්ජන් කතා කරන්නේ ඇත්ත හංගාගෙන බවය . එහෙම නැත්නම් ඔහු කියන දේවල් ප්‍රායෝගිකව වෙන්නට බැරි දේවල් බවය .

"අනික බලන්න අසේල අපේ රටේනේ මේ කොල්ලෙක් කෙල්ලෙක් එකට හිටියොත් , ගමනක් බිමනක් ගියොත් , පොතක් බෙදාගෙන බැලුවොත්, දෙන්නට දෙන්නා  උදව් කර ගත්තොත් උන් දෙන්නා ආදරවන්තයෝ  කියල හිතන්නේ . අසේලත් පුළුවන් වෙච්ච දවසක රටෙන් එලියට බැහැල බලන්න . නැත්නම් අම්රිතාගෙන් අහන්න.  කිසි බයක් නැතිව ඕනි පිරිමි ගොඩක් එක්ක දවසක් ඉන්න හරි,   ඕනි ගමනක් යන්න හරි එන්නේ එයා උන් එක්ක ප්‍රේම සම්බන්ධතා තියෙන හින්දද ? නැත්නම් උන් එක්ක එකට නිදා ගන්න ඕනි  හින්දද? නෑ ! "

" මං  ෆෝචුන් රේස් බුකියට ගොඩ වෙලා බැලුවේ මමත් කාලයක් බුකියක බුක් කීපින් කරපු මතකෙට . මටත් හිතුනා නිකමට වගේ ඔට්ටුවක් දාලා බලන්න "
අසේල පුදුමයෙන් මෙන් ඔලුව උස්සා මනෝරන්ජන් දෙස බැලුවේය .    රහස් මතක ගබඩාවකට වැරදීමකින් අනෙකෙකුට  දොර හැර දෙන්න හැදුවා නේදැයි මනෝරන්ජන් බියට පත් වුනේය .
ඉන්පසු ඔහු  කතාව වෙනතකට යොමු කරන්නට වල්පල් දෙඩවුයේය . ඒවා මනෝරන්ජන් දැන් මොහොතකට කී  වදන් හා ගැලපුනේ නැති බවක් ඔහුට වැටහුනේය . .

" මම ඒ කෙල්ලට කැමතියි අසේල . ඒ කෙල්ලත් මට කැමතියි කියල දැනෙනවා . ඒකෙන් කියන්නේ නෑ අපි දෙන්නා කසාද බඳින්න ඕනි කියල. මට ඉස්සෙල්ලම ඕනි වුනා මේ වත්තේ ඉපදිච්ච කෙල්ලකට ' නෙතදරා' වගේ නමක් දැම්මේ කවුද කියල දැන ගන්න . ඊළඟට ඒ ළමයා අර වගේ පොතක් පතක් කියවන්න පුරුදු වෙලා තියෙන්නේ කොහෙන්ද කියල දැනගන්න  . නෙතදරා ඒ ලෙවල්  පාස් වෙලා හිටියේ. කැම්පස් යන්න ලකුණු මදි හින්දා බුකියේ වැඩ කළා. එයාගේ අම්මත්  කොන්වන්ට්  එකක ඉගෙන ගත්තු පිළිවෙලට ඉන්න කැමති කෙනෙක්ලු.  ඒ අම්මගේ ගෙදර තීන්ත ගාන්න  ගිය බාස්ගේ  ගෝලය තමයි පොකුටු නන්දේ. දෙන්නා යාලු වුනා .පැනලා ආවා . අම්මගේ  යාලුවෙක් තමයි නෙතදරා තෙලවල ඉස්කෝලෙන් අස් කරගෙන පානදුර සුමංගලේට දාලා උගන්නලා තියෙන්නේ . කෙල්ල හිතන විදිහ වෙනස් . මඩේ පිපුන නෙළුමක්"

එසේ කියා මහා හඬින් සිනාසුනු මනෝරන්ජන් නැගිට හුළං අතට මුවා වී සිගරට්ටුවක් දල්වා ගත්තේය .

අසේල කතාවේ අමුතු ඉසව්ව රස විඳිනා අතරේ මනසින් බූස්සේ කඳවුරු ජීවිතයට  ගියේය . මනෝ මහත්තයා කියන ගොඩක් පොත් ඔහු කියවා නැති වීම පිලිබඳ ශෝකයක් ඉපදිණි . එමනිසා  ඇති නැති ගානට තිබු ඔහුගේ ගර්යවයට යම්තමින් හෝ  හානි කළ බවක් ඔහුට දැනුණේය.

"  අපි ගොඩක් පොත් කියෙව්වා කඳවුරේ ඉද්දි. පොතක් හම්බුනේ කලාතුරකින් . එහෙම ලැබිච්ච  පොත එකෙක්  අරන් කියවනවා. වටේ ඉන්න සේරම අහගෙන ඉන්නවා. පත්තරයක් හම්බුනත් එහෙමයි. ඒකෙ පලවෙනි පිටුවේ තියෙන පත්තරේ නමේ ඉඳන් අග පිටුවේ පහළ කෙලවරේ තියෙන මෙය අහවල් අය විසින් අහවල් තැනදී මුද්‍රණය කරන ලදී ' කියන එකට එනකම් කියවනවා. ප්‍රවෘත්ති විස්තර, කෙටි කතා , චිත්‍රකතා විතරක් නෙවෙයි නම මාරු කරපු දැන්වීම්, මරණ දැන්වීම් උනත් ලස්සනයි . ඒ පත්තරේ තිබ්බ විස්තර  තරම් සමහර පොත් ලස්සන නෑ කියල මට හිතුනා මහත්තයා. ඒක හින්දා තමයි පස්සෙවත් මට පොත් කියවන ආසාවක් දැනුනේ නැත්තේ  "

මනෝ රන්ජන් යළි හඬ නගා සිනාසුනේය .

++++++++=

මනෝරන්ජන් දිනපොත ලියමින් සිටිනා හැන්දෑවේ , තරුණියන් තිදෙනාත් සමග ගාලු පාර දිගේ පානදුර දෙසට ඇදෙන රියේ සිටි අසේල වාහනය රාවතාවත්තෙන්  පිළියන්දල පාරට හැරෙව්වේ අම්රිතා නතර වී සිටින්නේ ඒ පාරේ බව දන්නා  නිසාය .
" නෑ අපි ඕගොල්ලන්ගේ ගෙදර ගිහින්ම එමු . නංගිලා ඇරලවලා එනකොට මාව ඇනෙක්සියෙන් දාන්න "
ඒ කතාවත් සමග අසේලගේ හිතේ සියුම්  කිති කැවීමක් ඇති වුනේය . මනෝරන්ජන් රථයෙන් බැස්සාට පසු අසේල බලා සිටියේ  අම්රිතා පැමිණ ඉදිරි අසුනින් වාඩි වන තුරුය.  ඒත් ඈ ඒ වෙනුවට අනුරාධා ඉදිරි අසුන වෙත එව්වාය "
" යන්න අනූ. අයියා ලඟින් වාඩි වෙලා යන්න ආසා ඇතිනේ " මේ වෙලාවේ රාධා තුළ තුනී ඉරිසියාවක් ඇති වූ නමුත් සිය සොයුරියගේ සතුටු මුහුණ දැක සැනසීමක් ලැබුවාය .  " අපි දෙන්නටම අයියෙක් තාත්තෙක් නැති සෑහෙන කාලයක් තිබ්බා . වැඩියි වැඩියි ඒ කාලේ හොඳටම දිග වැඩියි " එසේ සිතද්දී රාධාගේ දෙනෙත් තෙත්  වී දෙකොපුල් දිගේ කඳුළු පේළියක් බේරී ආවත්  ඇය එය වසන් කරන්නට උත්සහයක් නොගත්තාය '
 අම්රිතා මේ සියල්ල දෙස බලා සිටියාය . රාධා හඬන්නේ ඇයිදැයි ඇය තේරුම් ගත්තාය . ඇය ඉන් සතුටක් වින්දාය . සුපුරුදු විඳීම .ජීවිතයේ ශෝක රසය .

පානදුර පින්වන්තේ කුඩා පන්සලක් අසලින් ගොඩබිම පැත්තට හැරවූ රිය ගල් ගැලවුණු තාර පාර දිගේ ගැස්සෙමින් යද්දී අනුරාධා මෙසේ කීවාය "
"බලන්නකෝ අයියේ මම හිතාගෙන ගිටියේ අර අනුරාධපුරෙන් එහා ගම්වලට යන පාරවල්වලට  වඩා අපේ පාර හොඳ  ඇති කියලනේ. දැන් බැලුවම අපේ පැත්ත වන්නියටත් අන්තයි "

තිදෙනාම සිනා සුනෝය. ඒ අතරේ අසේල  අටේ පන්තියට එනතුරු ඉස්කෝලේ ආගිය  පාරේ කොට කලිසමක් ඇඳගෙන පයින්ම ඇවිද යමින් සිටියේය. ඔහු පසු පස සුදු ගවුම් හැඳගත් හයේ පන්තියේ සිටි එක වගේ කෙල්ලන් දෙන්නෙක්ද ගාට ගාටා ඇවිද එමින් සිටියෝය . දැම්මම ගෙදර  ගියාට එය ගෙදරක් වෙන්නේ කළුවර වී තාත්තා ආවාට පසුවය . මොනවා හෝ උයා තබා කතාවක් බහක් නැතිව අම්මා සුපුරුදු ප්ලාස්ටික් පුටුවට වී වාඩි වී මුළු හවස් වරුවම  සිටින්නීය .
තාත්තා එනවා යැයි පළමු ඉව වැටෙන්නේ ගෙදර සිටි පුසාටය . ඊළඟට  බුලාටය. ඌ වලිගය කැඩෙනතුරු කරකවමින්ගේ ගේට්ටුව දෙසට දුවයි. ගෙදර ඉදිරිපස පාරේ ටික දුරක් ගොස්  වත්තේ කෙලවරේ ගේට්ටුවෙන් කාරය ගෙමිදුලට ගන්නා විට පෙරමුණට විත් සිටින්නෝ පස් දෙනෙකි. පුසා, බල්ලා , අසේල හා නංගිලා දෙන්නාය. තාත්තා මේ හැමෝටම මොනවා හෝ දෙයක් රැගෙන එයි. මොටයි, සීනි බනිස්, නෙලකඩල, සව් බොරවා, 
' සව් බොරවා පාර්සලය අසේලට දෙන තාත්තා, "සේරමල්ලා බෙදාගෙන කාපල්ලා" කියා  කීවත් එලෙස  ගෙනා කිසි දෙයක් අම්මානම් කෑවේ  නැති බව අසේලට මතක් වුනේය. ඒත් අම්මා එසේ කළේ  ඇයි කියා දැන් අසේල දනී.
ගෙදර මිදුලට රිය  හරවන විටම මිදුල පිළිවෙලක් වී අලුතින් මල් පෝච්චි තබා තිබෙනවා අසේල  දුටුවේය. මින් මාස කීපයකට කලින් ඔහු මෙහි ආවේ අවුරුදු දොළහකට  පසුවය.  ඒ අවුරුදු දොළහටම  ගෙදර හෝ වටාපිටාව මොනම වෙනසක්වත්  ලබා නොතිබුණද දැන් මේ ළඟක සිට  එය වෙනස් වී තිබේ. ගෙදර සියලු දෙනාගේ මනසේ පැල් බැඳගෙන තිබු පාලු හුදෙකළාව තමන්ගේ පෙරළා පැමිණීම නිසා මැකී ගොස් ඇති බව ඔහුට වැටහුනේය .

අම්රිතා හැමෝටම පෙර ආඩම්බරෙන් රියෙන් බැස එද්දී පානදුර අම්මා පැමිණ ඈ වැළඳ ගත්තාය .

ජීවිතයේ කිසිදා නොදුටු ප්‍රබෝධයකින් පානදුරේ අම්මා කෑම පිළියෙළ කර  දුන්නාය. අලුත් බල මාළු ලොකුවට කපා මිරිසට උයා රතු හාලේ බතකුත් සම්බලයක් හා එළවළුවක් පමණක් වූ ඒ ආහාරය ඉතාමත් ප්‍රනීත එකක් විය .
හතරවටින්  කරුවල වැටී තිබුනේය.  පිටත්වන්නට සැරසෙන අසේල අතින් ඇදගෙන " එන්න අයියේ බඩ්ඩක් කියන්න තියෙනවා ' කියමින්  පසෙකට කැඳවා ගිය රාධා මෙසේ කිව්වාය.
" අයියේ මම දවල් දැක්කේ නෑ වගේ හිටියට මම බලා හිටියා ඔයාලගේ මනෝ මහත්තයා කවුරු හම්බ වෙන්නද අඹේපුස්සේදී තදියමේ  බැස්සේ කියල "

අසේලගේ ඇස් ඉහළ ගියේය.

" ඔයා කොහොමද  නංගී එයා  ගැන දන්නේ ? "

" මම මොකද නොදන්නේ එයා අපේ පන්තියෙනේ හිටියේ .  එයා දක්ෂයි. ලස්සනයි. ඒත් අයියේ එයා එච්චර හොඳ  ළමයෙක්නම්  නෙවෙයි " කී ඇය සිය සොයුරිය හා අම්රිතා අසලට දිව ගියාය.

අසේල සිටි තැනම ගල් වී බලා සිටියේය

මීළඟ කොටස

Photo Source-Bigstock
"






Thursday, April 23, 2020

අටවිසි මහල -9 (පළමු මහල )



අටවිසි මහල නවකතාවේ නව වැනි කොටසයි මේ ( අප සිටින්නේ පොතේ දෙවන පරිච්චේදය වන පළමු මහලේය) පෙර කොටස් මෙතැනින්

දා හවස නංගිලා හා අම්රිතා නිවෙස්වලට ඇරලවීම අසේලට බාර දී වැඩබිම ලඟින් බැස ගත් මනෝරන්ජන්  සිය නවාතැනට ගොස්   ඇඟපත දොවා ගත්තේය .  සිල්වා දෝතින්ම අල්ලා ගෙනත් දුන් කිරි කෝපි කෝප්පය රස වින්දේය.
"තේ එක හොඳයි පුතා " මනෝරන්ජන් තමන්ට වඩා අවුරුදු විස්සක් විතර වැඩිමල් සිල්වාට පුතා යැයි කියද්දී සිල්වා හිනැහුණේ වෙන කාරනයකටය .
" ඔය තේ නෙවෙයි  බොස් කෝපි. නිකම් කෝපිත් නෙවෙයි කිරි කෝපි "
" හරි හරි මම පුරුද්දට වගේ කිව්වේ.  තැන්කිව් සිල්වා අපි නැති දවසේ මේ ටික බලා ගත්තට"
මනෝ රන්ජන්ට සිතුනේ  සිල්වා හිතුවටත් වඩා හොඳ මනුස්සයෙක් බවයි .
 " හිතේ කහටක් නැති හාදයා " මනෝරන්ජන් තමාටම කියා ගත්තේ ආපසු හැරී යන සිල්වා දෙස බලමිනි.
ඊළඟට ඔහු කඩිමුඩියේ යතුරු ලා තිබු මේස ලාච්චුව ඇර සී ආර් පොත  එලියට ගත්තේය .සීරුවට ලියන දිනපොත . ඒත් ඔහුට නුපුරුදු   බවක් දැනුනේය.
වෙනදානම්  ඔහු සතියේ දින වාර්තාව ඉංග්‍රීසියෙන් ලිව්වාට පසු එය තවත් වතාවක් කියවා බලා කාමරේ දොර වහගෙන දිනපොත ලියන්නට පටන් ගනී . ඒත් අද එසේ පිළිවෙලට කරන්නට ඕනෑ නැත. සයිට් එකේ වැඩ ආයෙමත් පටන්ගන්නේ හෙටින් පසුවය. දොර වසා දැමීමට වුවනාවක් නැත . සිල්වා හැර වෙන කවුරුත් මේ වෙලාවේ එන්නේ නැති බව ස්ථිරය.

ඔහු ලියන්නට පටන් ගත්තේය .

කැබිතිගොල්ලෑ හමනේ විස්තර එහෙන් මෙහෙන්  ලියු ඔහු අඹේපුස්සේදී නෙතදරා  යලි හමු වීම ගැන කොළය පිරෙන්නට ලියා තිබුනේය.
සයිට් එක අද්දර  සිටි නෙතදරා නොකියා අතුරුදන් වී මාසයකට පසු මේ ආකාරයෙන් හෝ යළි දකින්නට ලැබීම ඔහුගේ සිත ප්රීත්මත් කර ඉන්පසු වගකීම් සහගත බරක් පැටවූ බව එහි ලීවේය. ඉන්පසු යලි කල්පනාවට වැටුනේය .
සයිට් එකට ගොඩ බැස සති කිහිපයක්  යද්දී සිදු වූ සිද්දීයක් මෙසේය . ඒ අසේල විතරක් නොව සිල්වාත් වැඩට  එන්නට  පෙරය.  අම්රිතා ආවෙත් මේ සිද්දියට පසුය.     මුහුද පැත්තේ තාවකාලික තහඩු වැට ගසා හමාර කොට  වම් පස වැටේ කණු හිටවන්නට පටන් ගත් දවසය . ඒ පැත්තේ ගෙවල් පේලිය වැසෙන්නට ටාපොලින් රෙද්දක් දිගට ඇද පයිප්ප බට ගසා තිබුනේය. එය ටිකෙන් ටික අයින් කරමින් අලුත් කණු හිටවා ශක්තිමත් තහඩු බිත්තිය හදද්දී කාගේදෝ අතින්  වැඩබිම මායිමෙන්  යන වතුර  බටයක් කැඩී ගියේ හොඳටම කළුවර වැටී තිබියදීය .
කළුවරේ දනිපනිගා  වතුර උතුරා යාම වලක්වා  වතුර බටයට ඇබයක් ගසා ගත්තද  පෙර තිබුණු පරිදි හදා ගන්නට බැරි වුනේය. "හෙට උදේම වෝටර් බෝඩ් එකට කියලම වැඩේ කරනවා" මනෝරන්ජන් සිතුවේය.
පහුවදා උදෙන්ම රිචර්ඩ්  කන්තෝරුවට  ආ නිසා මනෝරන්ජන්ට කැඩුණු වතුර බටය මුළුමනින්ම අමතක වුනේය .

වැඩබිමේ හතර මායිම් හා ගොඩනැගිලි සීමා සහිත ලොකු ට්‍රේසින් කරදාසිය  රැස්වීම් මේසය මත දිග හැරගෙන  බරසාර සාකච්චාවක යෙදී ඉන්නා වෙලාවේ  ගේට්ටුවේ මුරකරු තල්ලු කරගෙන දෙදෙනෙක්  ඇතුළු වන්නට උත්සහ ගත්හ . එකෙක්ගේ කරේ සාලුවකි . කටේ සුදුපාට පෙන පුරවාගෙන දත් මදිමින් සිටියේය. අනෙකා  බෙලෙක්  පනිට්ටුවක් හා සබන් පෙට්ටියක් අතේ එල්ලාගෙන  යට කලිසමකින් පමණක් සැරසී  සිටියේය  .
" කෝ තමුසෙලා  මහා ලොකු මහත්තුරු?. අපි අවේ අද මෙහෙ පදිංචි වෙන්න  " සෙකුරිටි අමරේ ඔවුන් දෙදෙනා ඇතුලට එන්නට නොදී නතර කර ගැනීමට උත්සහ දරයි. මිස්කින් ඔහුගේ සහයට ආවත්  කලහකාරීන් දෙදෙනා ඒ දෙන්නාත් පෙරලාගෙන ගේට්ටුව ඇරියෝය.
කවුරුත් සිතා සිටියේ මේ ගොරියට  එන්නේ  මින්නිසුන් දෙදෙනෙක් පමණක් බව වුනත් උන් දෙදෙනා පසු පසින් විවර වූ ගේට්ටුව  තුලින් වැඩබිමට ඇතුළු වුවේ අමුතුම ජන කොටසකි.
දිය රෙදි හැඳ ගත් ගැහැණුන්, පොලු මුගුරු ගත් කොල්ලන්  හා  අමු හෙලුකොට්ටෙන් සිටි ළමයින් පිරිසකි. කීප දෙනෙක්ගේ අතේම පාට බේසම් , රෙදි පොට්ටනි  හා සබන් පෙට්ටි තිබුනේය.

කන්තෝරු දොරකඩට ගොස් මේ වෙන්නේ මොකක්දැයි බලා සිටි රිචර්ඩ් හා මනෝරන්ජන් දුටු දාමරික පෙනුමැති මිනිසුන් දෙදෙනා හා පිරිස ඔවුන් වෙත එන්නට පිය මනිද්දී මනෝරන්ජන් තනිවම  ඉදිරියට ඇවිද ආවේ මෙසේ සිතමිනි  . "මටනම්  ඉතිං ගුටි කන්න වුනත් කමක් නෑ. ඒත් මේක ඇතුලෙදි පිටරටක එකෙකුට ගුටි  කන්න වුනොත් ඒක වස වැරැද්දක් "

ගේට්ටුවත් කන්තොරුවත් අතර මැදදී පිරිස නතර වුහ . මනෝරන්ජන් හා පිරිස අතර තිබ්බේ  අඩි කිහිපයක දුරකි .

රිචර්ඩ්ට ඇතුලට යන්නැයි මනොරන්ජන් අතින් සන් කළද ඔහු ගියේ නැත. මිස්කින් හා සිකුරිටු අමරේ පැමිණ මනෝරන්ජන් දෙපස සිට ගත්හ .

" සර් ඔහෙලගෙ අම්මලා ගෙදරින්ද අපි නාන්න බොන්න වතුර ගන්නේ . මේකේ බිල්ඩින් හදනවා දුප්පත් අපේ වතුර බටේ වහලා . මේකේ බිල්ඩින් නෙවෙයි හදන්නේ සොහොන් සොහොන් .  දත් මැද මැද සිටි මිනිසා  සිය කලිසම් වාටියේ රඳවාගෙන සිටි පිහියක් එලියට ගත්තේය.
මනෝරන්ජන්ට හීන් දාඩිය දැම්මේය. "කවුරුත් නැද්දෝ මිනී මරනවෝ" කියාගෙන අමරේ එලියට දිව්වේය.
බිය වූ වගක් නොපෙන්වා මනෝරන්ජන් අතක් ඔසවා

' හෝව් හෝව්! අපි  කතා කරමු. කලබල වෙන්න එපා. වතුර බටේ කැඩුනේ අත් වැරද්දකින් .අපිට සමාවෙන්න .  ඒක තව පැයක් යන්න ඉස්සර හදලා දෙන්නම් . ඕනි කෙනෙක් ඉන්නවානම් මේ  ඇතුලෙන් නාගන්න පුළුවන්"

මනෝරන්ජන් ගේ ස්වරය නිසා ඉදිරිපෙළ කැරලිකරුවන් මෙල්ල වූ බවක් පෙන්වද්දී ගැහැනුන් පිරිස කච බච ගාන්නට වුනෝය ." අපි කොහොමද ළමයි නාවන්නේ .උයන්නේ . ඔය මහත්තුරුන්ට වගේ අපිට ගේ ඇතුලටම වතුර එන්නේ නෑ. මේ අපිට තියෙන දේත් නැති කරොත්  ඔහෙලගෙ  බඩ කඩත්තු බිමට සමතලා කරනවා"   තාවකාලික කන්තෝරු කාමර දෙස බලමින්  ඉතා කෙසඟ කට සැර ගැහැනියක් කීවාය  .

ඉතා ඉක්මනින්  කැඩුණු  පයිප්පය හදා දෙන්න්නටත් ඊටත් කලින්   වතුර බවුසරයක් ගෙන්නා දෙන්නටත්  පොරොන්දු වුනාට පසු  ගින්දර නිවී ගියේය.  උදේ සිද්දියත් සමග රිචර්ඩ් උපදෙස් දුන්නේද පුළුවන් තරම් ඉකමනින් වට තාප්ප හදා භාහිර පරිසරයෙන් වැඩබිම සපුරා වෙන් කර ගත යුතු බවය.

දවල් අහාරය ගෙන නිස්කාන්සුවේ  සිය ප්‍රියතම විනෝදාංශය  වන කොම්පියුටරෙන් කාඩ්  ගසන සෙල්ලම කරමින් විවේකීව සිටි මනෝරන්ජන් වෙත ආ අමරේ කවුදෝ අමුත්තන් දෙදෙනක් ඇවිත් තිබෙන බව කීවේය . ඔහු   අකැමැත්තෙන් වාගේ  ගේට්ටුව ගාවට ගියේ උදේ සිද්දියෙන් පසු ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුලට නොදන්නා කාටවත් එන්න දෙන්නට එපායැයි අමරේට  තදින්ම  කියා තිබු නිසාය .

ඒ ඇවිත් සිටියේ ෆොර්චුන් බුකියේ කෙල්ලන් දෙනෙනාය .

' නෙතදරා " ඕගොල්ලෝ මොකද මෙහෙ ?

" අනේ මහත්තයා අපිට සමාවෙන්න කියන්නයි ආවේ . අපේ තාත්තා ගමේ කට්ටිය එක්කගෙන ඇවිල්ල මහත්තයාලට උදේ කරදර කලාලු නේද ? අනේ අපි . දන්නවානම් කීයටවත්  මේ ගමන එන්න දෙන්නේ නෑ"

නෙතදරා කඳුළු පුරවාගත්දෑසින් ඔහු දෙස බලා හෙමින් කීවාය.  කවුද ඔයාගේ තාත්තා ? ඔහුට නොදැනුවත්වම මුවින් එලියට පැන්නේය /
" අර නන්දේ කියන්නේ කොන්ඩේ පොකුටු ."
එවිටම පිහියක් අතින් ගෙන ශිල්ප දක්වන්නට ආ මැරයාගේ රුව ඔහු ඉදිරියේ මැවී පෙනුණේය. අපුලක් හා අනුකම්පාවක් එකවරම දැනුණෙන් මනොරන්ජන් ඔවුන් පිටත් කර හැරියේ මෙසේ කියමිනි .
" අනේ කරදරයක් වුනේ නෑ . අපි කතා බහ කරලා ප්‍රශ්නේ විසඳා  ගත්තා . අපේනේ වැරැද්ද. ගෙවල්වලට යන වතුර බැටේ කැඩුවම  හදන්න පරක්කු වෙච්ච එකේ වැරැද්ද "

ඒ කතාවෙන්   පසුව ආපසු යන්නට හැරුණද  නෙතදරාගේ මුහුණේ වරදකාරී හා ලැජ්ජාවට පත් වුනා වැනි පෙනුම ඉතිරි වී තිබුනේය . .

රේස් බුකියට මුලින්ම ගොඩ වූ දවසේ එහි සිටි කෙල්ලන් අත තිබී  කේ ජයතිලකගේ පොතක් ඉල්ලා ගෙන ආ  හැටිත් , ඔවුන් දෙදෙනා කාලයක් සිට දන්නා දෙදෙනෙක් මෙන් තමන්ට රේස් ඔට්ට්වක් දාන්නට නොදී වැළකු හැටිත් ඔහුට සිහිපත් විය.
" මහත්තයා මේ පැත්තේ නෙවෙයි නේද? දැක්කම කියන්න පුළුවන් . මේව තියෙන්නේ මහත්තයාලට නෙවෙයි . ඒ නිසා ආයේ එන්න එපා "
ඉන් පසු කිහිප විටක් ඔහු තනියම බුකියට ගියත් ඔට්ටු දමන්නට අවසර ලබුනෙ  නැත. අසේල ආවාට පස්සෙද ඔහුත් කැටිව කීප වතාවක් බුකියට  ගියේය .

එහි සිටින එක කෙල්ලක් මනෝරන්ජන් දකින විට සතුටින් උදම් වෙන අයුරුත් මනෝරන්ජන් පවා ඈ කෙරෙහි ආකර්ෂණය වෙමින් සිටින බවක් අසේලගේ ඇස ගැටුණු වග මනෝරන්ජන්ට තේරුම් ගියේය .
ඉන්පසු වූ  පොත් හුවමාරු වීම් කිහිපයක් හැරුණු විට කියන්නට තරම් සම්බන්ධයක්  අසේලට  අසු නොවුනත් බොහෝ  දේ සිදු වෙමින් තිබුනේය .

වැඩ රාජකාරී පිරිච්ච නිසා  බුකිය පැත්තේ යන්නට බැරි වූ සතියකට පසු එහි යන විට නෙතදරා එතැනින් ඉවත්ව ගොස් තිබුනේය . ඒ වෙනුවට අලුත් කෙනෙක් වැඩට අරගෙනය . නෙත්දරා ගිය තැනක් කියන්නට කවුරුත් දන්නේ නැත .
" අර වසවර්තියාගෙන් අහන්න කියලයැ? ඔහු සිතුවේ අගේ පියාගේ රුව මවා ගනිමිනි .
එදා හවස ඔහු අසේලත් සමග කලපුව අසල මුහුදු වෙරළට ගියේය. ගල් පතුරක් මත වාඩි වී මෙසේ කිව්වේය.
" අසේල අර බුකියේ ගෑණු ළමයා අස්වෙලා  ගිහින්නේ . කොහෙට ගියාද කියල කවුරුවත් දන්නේ නෑ"

"මේක හොඳ සෙල්ලමක් නෙවෙයි. මහත්තතයා තමන්ගේ  තත්තෙට ගැලපෙන වැඩ කරන්න ඕනිනේ.  අනික වයස් පරතරේ වුනත් අවුරුදු දහයකට වැඩියි :  අසේල කිව්වේය. ඒ වගේ දෙයක් කියන්නට ඔහුට දහිරියක් ලැබුනේ කොහොමදැයි මනොරන්ජන් කල්පනා කළේය .

" අසේල   ඒක කතා කරපු එක හොඳයි. අසේල විරාගය පොත කියවලා තියෙනවද ?  මනොරන්ජ්න් ඇසුවේය .

මීළඟ කොටස 

( මේ මගේ එකසිය පනස් වන බ්ලොග් සටහනයි. 2013 මැයි මාසයේ සිට මා ලියන දේ කියවූ , කොමෙන්ට් ලියා දිරි දුන් , මිතුරන් අතරේ බෙදා ගත් හා නන් අයුරින් ප්‍රචාරය කළ ඔබ සැමට මගේ දයාබර ස්තුතිය. මේ ස්තුතිය බ්ලොග්  සින්ඩිකේටර් සාදා අපට ප්‍රචාරය දෙන සියලු දෙනාටද නොඅඩුව හිමේ වේ )






Image Source; iStock

Sunday, April 19, 2020

අටවිසි මහල 8 ( පළමු මහල )

මේ අටවිසි මහල නවකතාවේ දෙවන පරිච්චේදය වන පළමු මහලේ පළමු කථාවයි .
මින් පෙර කොටස් මෙතනින් බලන්න 


ම්රිතා නතර වී සිටින්නේ කොහේදැයි රේස් බුකියේ කෙල්ලන් දෙදෙනා ඇසු ප්‍රශ්ණයට වැඩිමනත් හිතන්නේ නැතිව  "බෝට්ටුවේ "  යනුවෙන් උත්තර දෙන්නට සිල්වාගේ දිව නැමූනත් ඔහුට විදිලි වේගයකින් මෙන් තමා කරන්නේ වරදකැයි කල්පනා වුයේය .

ඔහු වෙනදා නැති කලබලයක් පෙන්වා  ' අනේ ඔය විස්තර මම දන්නේ නෑ මිස් ' කියමින් එතනින් ලිස්සා ආවේය . අද ඔෆිස් එකේ කවුරුත් නොගැවසෙන දවසෙත් නිස්කාන්සුවේ ෆෝර්චුන්  බුකියට වී කයිවාරු ගසන්නට තිබ්බ එක නැති වුනා කියා සිතමින් ඔහු අඟුලාන පාර දිගේ ගාට ගටා සයිට් එක පැත්තට ඇදුනේය . ඒ අතරේ ඔහු කල්පනා කලේ තමා මේ තරම් බය පක්ෂපාත වී  සිටින්නේ මනෝ බොස්ට නොව  අම්රිතා මිස්ට කියලාය. මනෝ බොස් මොන තරම් දුරට හොඳ මුණ පෙන්න්නට හැදුවත් ඔහු ආඩම්බර කාරයෙකියි සිල්වාට සිතුනේය .
"අර අසේල මහත්තයා රෑ එලි වෙනකම් මඩවලා ඉන්ටවිව්කරා . තමන්ගේ මහන්තත්වේ පෙන්වන්න. ඉඩක් ලැබිච්ච හැටියේ දේශනා තියෙනවා. හැදෙන හැටි, හොඳින් ඉන්න හැටි. ඒත් සිගරැට් බොන්න  ගියාම කෙළවරක් නෑ.  රේස් බුකියට හොරෙන් හොරෙන් රිංගනවා .සමහරු කිව්වේ කැසිනෝ ගහන්නත් යනවා කියලා . පාටි වලදී බොනකොට හරි කුහක වැඩ කරනවා . අනෙක් මිනිස්සුන්ට් බොන්න දීලා උන්ගේ කතා බතා රහස් හැමදේම අල්ලාගෙන අන්තිම වෙලාවේ තනියම බොනවා . අවුරුදු තිස් ගාණක් වෙලා කසාදයක් බැඳ ගන්නෙත්  නෑ. මිස්කින් මාව ඉන්ටවිව් එකෙන් තෝරා නොගත්තානම් සමහර විට මේ මනුස්සයා මාව වැඩට නොගන්නත් ඉඩ තිබුනා"  කියා ඔහු තමාටම මුමුණා ගත්තේය .

මිස්කින්  මේ වනවිට සිල්වා පාලනය කරගෙන සිටියේ ඔහු වැඩට ගත්තේ තමා බව ඒත්තු ගැන්වීමෙනි. මනෝරන්ජන් සිල්වා මුලින්ම තෝරා වැඩට ගන්න යැයි මිස්කින්ට අණ දුන් බව ඔහු සිල්වා ඉදිරියේ හෙළි නොකළේය. අනෙක් අතට සිල්වා කිසියම් කාරණයක් නිසා මනෝ බොස්ට දොස් පවරාගෙන තමන් ලඟට එන්නේ නම් ඔහු වළක්වා "උඹ හිතනවට වඩා ඒ මහත්තයා හොඳයි දවසක උඹටම  තේරෙයි" කියා පමණක් කීවේය. මේ පසුබිම නිසා සිල්වා තමන්ට පැවරෙන රාජකාරිය අඩුවක් නැතිව  ඉටු කර දැම්මේය.

සිල්වා ආයෙමත් කල්පනා කලේ අම්රිතා මිස්ගේ සජීවී හිතවත්කම පිලිබඳවය  . "මම හිතන්නේ අම්රිතා මිස් ඉන්නේ රිචර්ඩ් බොස් එක්ක . ඒක හොඳයි. උස තිබ්බට සුදට හිටියට මනෝ මහත්තයා එයාට හරි යන්නේ නෑ. අසේල මහත්තයානම් පොඩි එකා වගේ හැම දේටම හිනා වෙච්ච ගමන් .  ඇත්තටම් අම්රිතා මිස් ඉන්නේ  කොහෙද ?. අච්චර දේවල් කතාබහ කරලා තිබුනාට කවදාවත් ඒක  හරියට අහ ගන්න බැරි වුනා" වැඩට ආ මුල්ම දවසේ හවස රිචර්ඩ් බොස් පැමිණ ඇය කැඳවාගෙන  යනව අයුරු සිල්වා දුටුවේය  . ඉන්පසු කිහිප වරක්ම ඒ දෙන්නා වැඩ ඇරී එකම රියෙන් යනු ඔහු දුටුවේය. රිචර්ඩ් බොස් අමුතු හාදයෙකි. මේ ව්‍යාපෘතියේ හැම වැඩක්ම බාරව ඉන්නා මැනේජර් වුනත් ඔහු ඒ සියල්ල  මනෝ බොස්ට බාර දී හෙඩ් ඔෆිස් එකට වී සිටියි. හිතුනු හිතුනු හැටියේ රට යයි. බෝට්ටු සවාරි යයි . රිචර්ඩ් බොස් ලංකාවට ආ හැටියේ කළේ ලොකු මාළු බෝට්ටුවක් සල්ලිවලට අරගෙන එය  කාමර දෙකේ  ලස්සන  ගෙදරක් සේ සකසා ගැනීමය .

දවසක් අසේල හා අම්රිතා මිස් බෝට්ටුව බලන්නට බොල්ගොඩ ගඟට ගිය හැටිත් ඉන්පසුව "රිචර්ඩ් බෝට්ටු ගෙදරින් කාමරයක් මටත් දෙනවා කීවා "කියා අම්රිතා හිනැහෙමින් කී හැටිත් සිල්වාගේ මතකයේ තිබිණි. සිල්වා අනුමාන කරන්නේ දැන් අම්රිතා නෝනා  ජීවත් වන්නේ ඒ බෝට්ටු ගෙදර බවය. ඒත් මේ වගේ ඕපදූප ෆොර්චුන් එකේ කෙල්ලන් සමග කතා කිරීම නොහොබිනා දෙයක් බවත් තමාට අර තරම් ලෙන්ගතු , ආඩම්බරකාර කමක් නැතිව රටේ ලෝකේ විස්තර කතා බහ කරන අම්රිතා නෝනට කරන ද්‍රෝහී කමක් ලෙසත් සිල්වාට යලිත් වරක් සහතිකව දැනුනේය .

අනුරාධපුරයට එනවිටත් තරමක් හැන්දෑ වී තිබු නිසා කොහෙවත් නතර වන්නේ නැතිව හැල්මේ කොළඹ දෙසට එන රියේ සිටි පස් දෙනාම සැහැල්ලුවෙන් සිටියෝය.  අසේල කල්පනා කරමින් සිටියේ කලක් තමන්ට යන්නට තහනම් කලාපයක් වී තිබු සිය ගම්මානය ගැනය.  තාත්තාගේ ලෙන්ගතුකම්,  ශක්තිවන්ත බව මෙන්ම දුර්වල කම්ද බොහොමයක් තමන්ට හමු වූ ගම ගැනය ,  මේ පුංචි දනව්වේ  උතුරටත් නැගෙනහිරටත්  නිදහසේ විහිදුණු කැලෑව හා තමා අතර තිබු සහජීවනය ගැනය. කාලතුවක්කු හඬ  ගිගුම් දෙමින් තිබියදී පවා සිය සිංහල දෙමල හා මුස්ලිම් සහචරයන් සමග නොකඩවා පවත්වාගත් මිත්‍ර සමාගම ගැනය . ඉස්කෝලෙට අලුතින් ආ ඉංග්‍රීසි ටීචර් ගැනය . නැටුම්   සර් ආවාට පසු ඉගෙන ගත්  දේශපාලන පාඩම් ගැනය . මේ සියල්ලට ඉහලින් පිටස්තරයෙකු  ලෙස  ගම දිහා බලන්නට ඔහු අමුත්තන් පිරිසක් සමග ඊයේ ආ ගමන ගැන අසේල උපරිමෙන් තෘප්තිමත්ව සිටියේය .

ඔහුගේ නිවුන් සොයුරියන් වන රාධා හා අනුරාධා හිටියේද යහපත් මනෝභාවයක ගිලීගේනමය. තමන් කාගේ කවුදැයි ගමේ කවුරුත් නොදැන සිටියාට ඒ ඔවුන්ගේ  ගමය. තාත්තා උපන් ගමය. හයේ පන්තියේදී තාත්තාත් අයියාත් අතුරුදහන් වී ගියාට පසු අම්මාත් සමග  ඔවුන් තනිවම  මුහුණ දුන් අමුතුම තාලේ ජීවිතයට වඩා ආපසු අයියා මුණ ගැසීමත් තාත්තා සිටි ගම දැක බලා ගැනීමත් සතුටක් නොවී තිබෙන්නේ  කෙසේද ? සොයුරියක් හෝ මීතුරියක් වූ අම්රිතා, අයියාගේ පෙම්වතී වෙනවානම් හොඳ යැයි අනුරාධා සිතුවාය . රාධා කල්පනා කරමින් සිටියේ ඊයේ මනෝරන්ජන් කියූ දෙයක් ගැනය  .
" බලන්න මට හිතෙන විදිහ හරිද කියල . රාධා කියන්නේ දෙමල නමක් ඒකට අනු කෑල්ලක් දාපු ගමන් අනුරාධා හැදෙනවා. අනුරාධා  සිංහල නමක් "
එසේ කියද්දී අම්රිතා කෑ ගසා කීවේ ඔය නම් දෙකම ඉන්දියාව පුරා තිබෙන බවත් . ලංකාවේ තියෙන සේරම නම් ඒ රටෙත් නෙපාලයේත් තිබෙන බවයි .

අම්රිතා රට තොට දකින්නට ලැබීම නිසා ත් සොඳුරු සමාගමය නිසාත් තුටු පහටුව සිටියත් පිටතට නොපෙන්වූ  ශෝකී වේදනාවක් සියුම්ව රස විඳිමින් සිටියාය. එය කුමක්දැයි හරියට විස්තර කරන්නට බැරිය . දුක හිතෙන නවකතාවක් කියවා කඳුළු සලමින් තෘප්තිමත් වෙන්නට පුළුවන . ඇගේ ජීවිතයද ඒ වාගෙයි කියා ඈ නිරන්තර සිතුවාය . පිටතට නොපෙන්වුවාද මේ හැමෝගෙම ජීවිතවල ඇත්තේ ඒ තේමාවමය. වැඩපලේදී හමුවන මිතුරා සහ විවේකීව සිටින මිතුරා නමින් එකෙක් වුවද දෙදෙනෙක් බව ඈ යලි යලිත් තේරුම් ගන්මින් සිටියාය.

මනෝරන්ජන් අන් සිව් දෙනාටම වඩා ගැඹුරු  කල්පනාවක වැටී  කතාවක් බහක් නැතිව රිය පදෙව්වේය. දැන් හෙට සිට මුහුණ දෙන්නට වෙන සටන් බහුල ජීවිතය  ඔහුට චලන චිත්‍රයක් සේ මැවී පෙනේ. දැන් තිබෙන සයිට් ඔෆිස් එක කඩා  ඉඩමේ මායිමට ගෙන යන්නට ඕනෑය. උප කොන්ත්‍රාත් කරුවන් සඳහා වෙනම කන්තෝරු පේලියක් හදන්නට ඕනෑය . අලුතින් ෂටරින් හා යකඩ මුක්කු ගෙනත් ගොඩ ගසන්නට ඕනෑය. හෙඩ් ඔෆිස් එකේ සිටින කිව් එස් හා සැලසුම් ඉංජිනේරුවන් සමග ඉස්සරහ වැඩ ටික ප්ලෑන් කර ගන්නට ඕනෑය. මේ හැම දේම අසේල හා අම්රිතා සමග පමණක් කරන්නට බැරි වෙතියි ඔහු සිතුවේය. ඔහු මනසින් පයිල් කැප් නිමවා ටයි බීම් දැම්මේය . පොලවේ ජල නල , අපජල පද්ධති , විදුලි බට හා  ටෙලිෆෝන් බට ආදිය අතුරා ඒ මත කම්බි දමා කොන්ක්‍රීට් කළේය. දැන් පලවෙනි තට්ටුවට නගින පඩිපෙළ හැදෙමින් තිබේ.  විශාල තට්ටුවේ ෂටරිම කණු එකසිය විස්සක් උඩ නිමවා ඇත. "කොන්ක්‍රීට් එක දාලා හොඳ පාටියක් දාමු ". ඔහු තමන්ටම කියා ගත්තේය.

රථය අඹේපුස්සෙන් නුවර පාරට වැටී කොළඹ දෙසට හැරෙව්වා පමණි . නුවර යන බස්රියක් ජිනදාස තලගුලි කඩේ ඉදිරිපස නවතා ඉන් මගීන් එකිනෙකා බසිමින්  සිටියෝය. බසයෙන් බහින මගීන් අතරේ ඈ   ලා කොළපාට පසුබිමක කළු තිත් වැටුණු බ්ලව්සයක් හා කළු පාට  ඩෙනිමක් ඇඳගෙන ඔලුව බිමට නමාගෙන සිටියාය .
මනෝරන්ජන් කලබල වී රථය ඉදිරියට ගෙන යන්තමින් පාර අයිනේ නවත්වා ඉන් බැස ගත්තේය.

අසේල මේ සිදු වුයේ මොකක්දැයි සිතා ගැනීමට බැරිව මනෝරංජන් දුවන්නේ කොහාටදැයි බැලුවේය. එවිට ඔහුත් ඈ දුටුවේය.
" අපේ මනුස්සයානම් කියන දෙයක් අහන කෙනෙක් නෙවෙයි " අසේල  හෙමින් කීවේය.


-මීළඟ කොටස -



Image Source : PxHere

Wednesday, April 15, 2020

අටවිසිමහල -7 ( බිම්මහල )

 



මේ අටවිසිමහල නවකතාවේ හත්වන කොටසයි. අප තාමත් සිටින්නේ පළමු පරිච්චේදය වන බිම්මහලේය. 

ධ්‍යහනයට පෙර කොළඹින් ආ අමුත්තන් පිරිස ගමේ වැව ඉස්මත්තේ ඉදි කර තිබූ රමණීය කුඩා නිවෙස වෙත ලඟා වුහ . එය සාදා  තිබුනේ ගමේ ගෙවල් මන්ඩියක් පෙනෙන දුරින් ඊට  තරමක් ඈතිනි. ඒ ගෙවල් පේලියේ තිබෙන කුඩා නිවෙස් අතරේ තාත්තා හා තමා ගමේ ජීවිතය පටන් ගත් කුඩා කාමර දෙකේ ගෙදර යාන්තමට මෙන් අසේලට පෙනේ . අසේල දිග සුසුමක් පිට කළේය .  ඉන් ඔහු සැහැල්ලුවක් ලද්දේය .  "අසේලලා මේ තරම් ලස්සන ගෙයක් හදල තියෙනවා කියල මම හිතුවේ නෑ . මෙතන නියමයි. " මනෝ රන්ජන් කීවේය.

 දවල් කෑමට එන්නයැයි බොහෝ  පෙරැත්ත කිරීම් ලැබුනත් අසේල නැන්දලා ගෙදරින් කෑම ගෙන්නා ගත්තේය. ගමේ නෑදෑයන් හා හිතවතුන් ඔවුන්ට විදා නිවා ගැනීමට ඉඩ දෙනවා මිස  බලන්නට ඇවිත් කරදර කරන්නට නොසිතුවෝය. .
මේ වියලි කාලය වුවත් වැවු දියෙන් හා මීට දෙමසකට පෙර ඇද හැලුණු වැහි පොද කීපයකින් සිය රූ සපුව හරිත පැහැයෙන්ම  තබා ගන්නට සොබා දහම  සමත් වී සිටියාය . මේ ඇසල මාසය වුවත්  එන්නට ප්‍රමාද වූ පොසොන් සුළන් රැලි වරින් වර වැවු දියෙන් මුණ දොවාගෙන අසේලලාගේ කුඩා නිවෙස වෙත ඇවිත්  ඇඟ දැවටුනේය .   විවේකී සැන්දෑවක් ගත කරද්දී ඒ ගෘහය තුල එකිනෙකාගේ අවබෝධය , ලෙන්ගතුකම හා පුද්ගලිකත්වයට ගරු කිරීම වැනි අදෘශ්‍යමාන බන්දනයකින්  යව්වන යව්වනියන් පස් දෙනෙක් එකිනෙකාගේ ආත්මවලට ලංවෙමින් සිටියෝය .

විවේකී හෝරාවකින්  පසු අසේල හා මනෝරන්ජන් උදලු කෙටියක් හා කැත්තක් හොයාගෙන ගේ වටාපිටාවත් මිදුලත් සුද්ද බුද්ද කර දැම්මෝය . මල් පිපී තිබු සපත්තුමල්   හා ගැට පිච්ච පඳුරු මුලට පස් එකතු කර අතු කප්පාදු කලෝය.  මිදුලේ ගල් අල්ලා  තිබු අඩිපාර පිළිවෙලක් කලෝය.
තරුණියන් තිදෙනා ගෙතුළ වූ සියල්ල උඩු යටිකුරැ කර පෙරලා අලුත් පෙනුමක් අරන් දුන්නෝය. පරණ  කාඩ්බෝඩ් පෙට්ටි හා  පත්තර කොළ  ආදිය මිදුලට ගෙන ගොස් ගිනි ලෑවෝය. ඉර බහින්නට පෙර ගෙතුළ වූ ඇඳ ඇතිරිලි , කොට්ට මෙට්ට පමණක් නොව අල්මාරියේ තිබු ඇඳුම් සියල්ලද අව්වට දමා වේලා ගනු  ලැබිණි. මාස තුන හතරකින් පාවිච්චි නොකළද රෙදි පෙරෙදි හෝ ගේ ඇතුළත එතරම්  අපිරිසිදු වී හෝ පාලු වී නොතිබුනේය.

"අලුත් වෙමින් යන සිය කුඩා නිවහන දෙස බලා අසේල මෙසේ කීවේය ' පහුගිය කාලෙත් අපේ  පොඩි නැන්දා බැරි බැරි ගානේ ඇවිල්ල ගේ අතුපතුගාලා යන්න ඇති  . උන්දෑ තමයි තාත්තා ආපහු එනකම් අවුරුදු එකොළහක් කවුරුත් නැති ගේ හැමදාම අතු ගාල මාසෙකට සැරයක් ගොම මැටි ගාලා නඩත්තු  කරගෙන හිටියේ."

මේ කතාවට සාවධානව කන් යොමා සිටි මනෝරන්ජන් ගණන් හිලවු පිලිබඳ හොඳ සැලකිල්ලෙන් සිටියේය . ඒ නිසාම ඔහුගේ මුවින් දඩස් ගා ප්‍රශ්නයක් පිටතට පැන්නේය.
'" අසේලට හොඳටම ෂුවර්ද තාත්තා ගමෙන්  ගිහින් අතුරුදහන් වෙලා හිටියේ අවුරුදු එකොළහක් කියල මොකද  අසේල ගමේ පදිංචියට එනකොට අවුරුදු දහතුනයි කිව්වනේ ?  එහෙත් අසේල උත්තර දී ගන්නට බැරිව තමන් කොටුවුනා නේදැයි සිතමින් පසුතැවිලි වුනේය  .
" මම වෙලාවක හැම දේම කියන්නම් මහත්තයා " ඔහු සුසුමක් හෙළමින් කීවේය. එවේලේ තරුණියන් දෙදෙනාද ඔවුන් අසලට පැමිණි නිසා කතාව වෙනතකට හරවා මනොරන්ජන්  "අපි එහෙනම් වැවට ගිහින් නාගෙන එමු" යයි කීවේය .

සැන්දෑ හිරු කිරණ විසිරී දිය තරංග මුදුනේ රිදී තාරකා  මතු වී නැතිවී යන අතරේ ඔවිහු ඉතා සුවදායක  ස්නානයක යෙදුනෝය.
" ඕගොල්ලෝ දන්නවද මේ වැවේ මාළු අද අල්ලන්නේ නෑ. හෙට දේවාලේ උත්සවේ නිසා"
" ඒ කියන්නේ  ඒ උත්සවේන් පස්සේ දෙන කෑම නිර්මාංශ එකක්ද? "
අම්රිතා ඇසුවාය .  ඊට පිළිතුරු දුන්නේ මනෝරන්ජන්ය .
" මොන පිස්සුද ? හෙට  වැවේ මාළු අල්ලලා දේවාලේ දවල් කැමට උයනවා. මම හරි කැමතියි මෙහෙ මිනිස්සු හිතන විදිහට. කිසි දෙයක් සීරියස් නෑ. වහින්න ඕනි කාලෙට වැස්සේ නැත්නම් දේවාලේට ගිහින් දෙවියන්ට හොඳටම දොස් කියල එනවා. ඊට පස්සෙත්  වැස්සේ නැත්නම් දේව රූපේ උස්සගෙන ගිහින් වැව් තාවල්ලේ කැලේට විසි කරනවා. ආයේ වැස්සම තමයි නාවලා කාරිය පෙරහැරෙන් එක්කරගෙන යන්නේ . ඇදහිල්ල වුනත් කරන්නේ විනෝදෙකට වගේ . ඇඟට අරන් නෑ"

" ඕක මම කියවපු පොතකත් තිබ්බා . හැබැයි මෙහෙ නෙවෙයි චීනේ. ධාන්‍ය වගාව නිසරු වුනොත් දේවාලෙට ගිහින් බැනලා එනවා. ඔන්න ඊළඟ වතාවෙනම් දෙයියෝ මගෙන් හොඳ දෙකක් අහ ගන්නවා. පත්තු කරන් නෑ එක සුවඳ කූරක් මීට පස්සේ "  කී අම්රිතා කොක් හඬ ලෑවාය.

එදා රාත්‍රී කොළඹින් ආ අමුත්තන් පිරිස  ගෙවල්  කිහිපයකටම කැඳවාගෙන යනු ලැබිණි. මේවායේදී ඔවුන්ට උපරිම පුද සත්කාර ලැබිණි . දේවාලේ උත්සවයට පෙර දින  භාර හාර වූ සමහර ගෙවල්වල රාත්‍රී භෝජන සංග්‍රහයකි . මේ ගමේ ඇත්තෝ අවුරුද්ද පුරා නොයෙක් නොයෙක් අපල උපද්‍රව වලට භාර හාර වෙති . ගෙදර කවුරුන් හෝ අසනීප වූ විට කහවතුරෙන් සේදු කාසියක් සුදු රෙදි කැබැල්ලක් ගැට ගසා බිත්තියත් වහලත් අතර හිදස්සේ රඳවති.  හමුදාවේ  වැඩට ගිය සියලුම දෙනාගේ  නිවෙස්වලද  පහුගිය කාලයේ කොල්ලන් හා එකතු වී වන වැදී පන්තිවලට ගිය හැමෝගෙම ගෙදරවලද  ඔය ආකාරයේ පඬුරු කීපයක් තිබුනේය. මේ පඬුරු සියල්ල පුජාවට්ටියක තබාගෙන දේවාලයට  ගෙන යන්නේ උත්සවේ දවසටය .  හෙට ඒ දවසයි .

ඉන්දියාවේත් , නේපාලයේත් , ටිබෙටයේත්, චීනයේත් එපමණක් නොව තමන්ට  රිචර්ඩ් හා මානෝරන්ජන් හමු වූ මැද පෙරදිගදීත් අම්රිතා මේ ආකාරයේ පූජා, උත්සව හා වතාවත්වලට ගොස් තිබේ. ඒ නිසා ඈ මේවායේ විශේෂයක්  දුටුවේ නැත . එහෙත් අසේලගේ සොයුරියන් දෙදෙනාටනම් මේ මහත් අස්වාදජනක අත්දැකීමකි . තාමත් ඔවුන් කවුරුදැයි ගමට හෙළි කර නැත. එනිසා අසේලගේ කොළඹ ඔෆිස් එකේ රාජකාරී යාළුවන් පිරිසක් පමණක් ලෙස ඔවුන්ට ආගන්තුක සත්කාර ලැබුනේය.

පසුවදා උදේ දේවාලේ කිරිබත් කන්නට ඔවුන්ට යා නොහැකි වුනේ උදේ පාන්දර වනතුරු නිදි නොලැබ ගල් තලාවේ දිගාවී  වැවේ දිය කෙලින ඇසල සඳ දෙස බල බලා  කතා බහ කරමින් සිටි නිසාය . ඒ රාත්‍රියේදී අසේලට ඔහු තුල තිබු බොහෝ ප්‍රහේලිකා විසඳා ගානට පුළුවන් වුනේය.

මනෝරන්ජන් යනු තවදුරටත් තේරුම් ගැනීමට නොහැකි අද්භූත චරිතයක් නොව බොහෝ ලෙන්ගතු සොයුරෙකු සේ ඔහුට දැනුනේය. අම්රිතා  හා රිචර්ඩ් සමග මනෝරන්ජන් මැද පෙරදිග එකම තැනක කලක් සේවය කර තිබේ.රිචර්ඩ්ට  ලංකාවේ ව්‍යාපෘතිය සිංගප්පුරු සමාගමෙන් භාර කෙරුණු විට ඔහු පළමුවෙන්ම කලේ මනෝරන්ජන් හා අම්රිතා රටවල් දෙකක සිට තමන් ලඟට ගෙන්වා ගැනීමය. මේ ව්‍යාපෘතියේ බලකණු තුන බවට පත් වූ මිනිස් චරිත බිහි වන්නේ ඒ ආකාරයෙනි. මනෝරන්ජන්ට වුවමනා සෙසු සේවක පිරිස ඕනෑ හැටියට තෝරා ගන්නට ඉඩ ලැබුනේය. ඔහු කියන්නේ  මෙතැනින් පහලට ඕනෑ වෙන්නේ මගෙත් එක්ක කට්ට කන්න පුළුවන් උන්, දුක් විඳලා පුරුදු උන් , ඔලුවේ බහුබූත නැතිවුන් .

සුපර්වයිසරවරයෙක් ලෙස අසේලව තෝරා ගත්තද ඊළඟට ඔහු ටෙක්නිකල් ඔෆිසර් කෙනක් දක්වා උසස් කිරීමද කවදා  හෝ තවත් ඉහළට උගන්වා ගැනීමද මනෝරන්ජන්ගේ  බලාපොරොත්තුවයි. ඔහුගේ එක ඉලක්කයක් වුනේ එක ප්රෝජ්ක්ට් එකකට එක හොඳ වැඩකාරයෙක් හදන්න ඕනෑ බවයි. අසේල ගැන සියලු තොරතුරු හා ඔහුගේ දේශපාලන සම්බන්ධකම් මනෝරන්ජන් අසා දැනගෙන තිබෙන්නේ ඔහු සමග සය මසක් බුස්සේ සිර කඳවුරේ සිටි මනම්පේරිගේනි . අසේලගේ  පානදුරේ මව සහ නැගණියන් සොයා යාමට අම්රිතාව යොමු කර තිබුනේද මනෝරන්ජන්මය.

'එදා හැන්දෑවේ ආපහු කොළඹ එන අතරේ බොහෝ සතුටින් සිටි සෙසු සිව්දෙනා  අමතා මනෝරන්ජන් මෙසේ කීවේය.
' තට්ටු විසි අටක බිල්ඩිමකට  හොඳ අත්තිවාරමක් ඕනි. ඒක බිමට බස්සන කුලුනුවලින් විතරක් නෙවෙයි වැඩේට බහින මිනිස්සුත් එහෙම වෙන්න ඕනි . පොලව හාරාගෙන මීටර් විස්සක් තිහක් ගල්තලාව හම්බවෙනකම් පයිල් බහිනකොට පොළව ඇතුලේ මොන තරම් කතන්දර  හැංගිලා තියෙනවද. පස් තට්ටුවෙන් තට්ටුවට . මම ඒ කතන්දර හොයන්න ආසයි. මම හොයන මිනිස්සු ලඟත් පස් තට්ටුවෙන් තට්ටුව හාරලා බලන්න පුළුවන් විදිහේ කතන්දර තියෙන්නේ ඕනි . සමහර වෙලාවට ඒ කතන්දර කවදාවත් කාටවත් කියන එකක් නෑ. ඒත් කතන්දරයක් ළඟ තියාගෙන  ඉන්න මිනිස්සුන්ට මම  ආසයි.

********
සෙනග එහෙන් මෙහෙන් පිරෙන්නට පෙර සිල්වා ෆොර්චුන් පැලස් වෙත රිංගා ගත්තේ රුපියල් සීයෙක රේස් තුන්ඩුවක් දමා ඉන් පසු හිතේ හැටියට කවුන්ටරයේ සිටි තරුණියන් දෙදෙනා සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්නටය. ඉස්සර මෙහෙ ආගිය දැන් ගමන් අඩුකර ඇති ඉංජිනේරු මහතුන් දෙදෙනා ගැන විස්තර අසා දන ගැනීමට ඒ කාන්තාවන් දෙදෙනාද  සිල්වා එනතුරු බලා සිටියෝය.

"ඉතින් අන්කල් දැන් ඔය බිල්ඩිම හදන එකක් නෙවෙයිද. දැන් මාස කීයක්ද . අර ටකරන් තාප්පෙන් උඩට මතු වෙන්න මොකක් හරි හැදෙන්නේ කවද්ද ?"

මේකනේ මිස්  ඒවා මේ ආවට ගියාට කරන්න පුළුවන් වැඩ නෙවෙයි. හොඳ මුදුන්මුලක් ඕනි ගහකටත් . මේ  කාලේ ටිකක් වැඩිපුර අරන් හරි හොඳට  පදනම හදා ගන්න ඕනි. මම රේස් කොලේ බලන්න විතරක් නෙවෙයි ඔය එන යන ලියුම් කියවලා තේරුම් ගන්න පුලවන්  ඉංග්‍රීස් දන්නවා හොඳද ?

දැන් මෙහෙමයි වෙන්නේ ඔය බිමට බස්සපු කුළුණු සේරම යා කරලා කොන්ක්‍රීට් බීම් දානවා පොළව මට්ටමේදී  . ලබන සතියේ ඉඳන් ඔය කුළුණු උඩ කඩලා යකඩ මතු කරගන්නවා . තව සති දෙකෙන් පලවෙනි තට්ටුවේ කුළුණු බඳින්න පටන් ගන්නවා .

මාසයක් යන්න කලින් පළවෙනි තට්ටුව දානවා බලන්නකෝ. ඊට පස්සේ තමයි මේකේ වැඩ තියෙන්නේ මයේ අප්පේ. පලංචි, ඉලෙක්ට්‍රික්, ටයිල්, ලිෆ්ට්, වතුර බට,  බිත්ති, සීලින්, පේන්ටින්. ඒ කාලෙනම් මගේ අස්සයෝ දෙන්නත් මිස්ටල තමයි බලා ගන්න වෙන්නේ "

කෙල්ලන් දෙන්නා හිනා වෙන්නට පටන් ගත්තෝය.

"එතකොට ඔය කළු සුද්දී නෝනා කොහේද නතර වෙලා ඉන්නේ?"
"අපේ අම්රිතා නෝනද ?
"ඔව්"



*****************************************


පළමු පරිච්චේදය වන බිම්මහල නිමියේය 










(Photo By Dewni)

Sunday, April 12, 2020

අටවිසි මහල 6- ( බිම්මහල )

සතියේ දිනවල සඳුදා හා බ්‍රහස්පතින්දා කොටස් වශයෙන් පළවන අටවිසි මහල නවකතාවේ හයවැනි කොටසයි මේ. පෙර කොටස්  සඳහා සබැඳි: පළමු කොටස, දෙවන කොටස, තුන්වන කොටස , සිව්වන කොටස, පස්වන කොටස .

"' ඔයාල දෙන්නයි අම්මයි දාලා ඇයි තාත්තලා ආයේ නොඑන්නම ගමට ගියේ  ?"  යනුවෙන් අම්රිතා ඇසු ප්‍රශ්නය හමුවේ පිපී දිලෙමින් සිටි රෝස කානේෂන් මල් දෙක සැනෙකින් මුකුලිත වී ගියේය. එකම රුපයේ ප්‍රතිබිම්බයක් සේ දෙදෙනාගේ මුහුණු රතු වී කඳුළු කැට පුපුරා හැළෙන්නට විය. 
තමා විසින් අසන   ලද්දේ මොන තරම් අකාරුණික ප්‍රශ්නයක්දැයි  වටහා ගත් සැණින් අම්රිතාගේ හදවත හෝස් ගා ඇවිලී ගියේය. මේ කෙල්ලන්ගේ අම්මත් මේ ප්‍රශ්නෙ අහන්නවත් ඉඩ නොදී මග හැරී බව අම්රිතාට මතක් වුනේ එවෙළේය. 

"අනේ  සමාවෙන්න . මට සමා වෙන්න . මම වැඩිපුර හිතල  ඇහුවේ නෑ. මම දැන් ටිකකට කලිනුත් කල්පනා කර කර හිටියේ ආයෙමත් කාටවත් කියන්නේ නෑම කියල හිතපුදෙයක් ගැන . එහෙම දේවල් අපි හැමෝටම තියෙනවා.  මේ  ගැනත් අපි  කතා නොකර ඉමු. දැන් මට සමා වෙලා අඬන්නේ නැතිව ඉන්න . ඔය කඳුළු පිහිදාගන්න. දැන් අර දෙන්නා ආවම මොනා හිතයිද ?" 

ටික වෙලාවකින් ඉකි ගැසීම් නතර වී කම්මුල් වල කඳුළු වියලී ගියේය. එළිමහනේ ඇවිදිමින් සිටි තරුණයන් දෙදෙනා කෙල්ලන්ට අත වනා කතා කරති . බැරිම තැන දිගටි මටසිලිටි රන්වන් පාටින්  ඉදී දිලිසෙන ගෙඩි කීපයකින් යුත් පලු අත්තක් රැගෙන අසේල රිය වෙත  ආවේය . 

ඔහු තරුණියන් වෙත පලු අත්ත දිගු කරමින් මෙසේ කීවේය. 
' පුදුමයි මේ පලු වාරේ ඉවර වෙලා මාසයක් විතර වෙද්දීත් පලු ගෙඩි ටිකක් ඉතිරි වෙලා තිබ්බා . ඔහු සිය නැගණියන් දෙදෙනාගේ මුහුණු බලමින් කීවේ සිංහලෙනි .  අම්රිතා සිටි නිසා රිය තුල මෙතෙක් වෙලා බොහෝ   කතාබහ කෙරුනේ ඉංග්‍රීසියෙනි . 

දෙමට අතු කැබැල්ලක් දත් අතර රඳවා  වරින්වර හපමින් පැමිණි මනෝරන්ජන්ද රියට ගොඩ වුයේ රංචාගොඩ ළමයාගේ කවියක් පද වෙනස් කොට කියවමිනි .

' මෙහෙව් රටේ වේයන්ගොඩ   ඉපදීලා 
බිල්ඩින්වල වැලි හලලා ඉලව්වේ 
දෙමට පොතු කකා කට හම යන්නාය
හැම දෙයියෝ මගේ වාහේ රකෝ රකෝ '

අම්රිතාට මේ කිසි දෙයක් තේරුනේ නැත, අසේල හා මනෝරන්ජන් කොක් හඬලා සිනාසෙති . 
' කෝ ඉතින් මනෝ මහත්තයාට රකින්න වාහේ කෙනෙක් හොයා ගන්නෙත් නෑනේ ? " අසේල කීවේය. මනොරන්ජන් වාහානය දෙදරා යන  හඬකින් සිනාසුනේය. 

" ඔයාලත් පොඩ්ඩක් එලියට පහලියට බැහැල අවිද්දානම් ඔය කම්මැලි ගතිය නැති වෙනවා . කොහෙද කතා කරාට ආවේ නෑනේ කියමින් අසේල තරුණියන් දෙස  හැරී බැලුවේය . 

ඔවුන්ගේ මුහුණු කියා පෑවේ තිදෙනාම යම් ලතවිල්ලක පෙලෙන බවය. ඒ ගැන හාරා අවුස්සන්නට යන්නේ නැතිව අසේල යලි කල්පනාවට වැටුනේය.  එක අතකට පරණ තුවාල පාරන්නේ නැතිව අපි අයින් වෙලාම හිටියනම් හරි. නංගිලා කවදාවත් ගමට ඇවිල්ල නෑ. මමත් ඒ ගෙදර යන්නේ නැතිවයි හිටියේ . තාත්තාගේ මළ ගෙයත් අම්මාට නොකීවේ ඒ වනවිට ඔවුනොවුන්ගේ ඈත් වීම තහවුරු වී දැවැන්ත එහෙත්  අදෘශ්‍යමාන වේල්ලකින් දෙපිරිස වෙන් වී සිටි නිසාය . ඒ වෙන් වීමේ සාධාරණ බවක් හා යහපත් බවක්ද ඔහු දුටුවේය. ඒත් තම පවුලේ කතාව උඩින් පල්ලෙන් දැනගත් අම්රිතා සියල්ල උඩු යටි කුරු කරමින්   අම්මාද නංගීලාද සොයාගෙන පානදුර ගෙදරට  රහස් පරීක්ෂක ගමනක් ගියාය. දැන් ඒ  පවුලේ හොඳම හිතවතියක් වී සිටින ඇය අම්මාගේ දුක සැප සොයා බලන්නට දවසකට සැරයක් හෝ කෝල් එකක් දෙන්නීය. පසුගිය කාලයට තුන් හතර පාරක් ඈ බලන්නට ගියාය . අවුරුදු දොළහකට පසුව අසේලට සිය උපන් ගෙදරට නොයා සිටින්නට බැරි වුයේ ඈ නිසාය. පානදුරේ අම්මා සිතා  සිටින්නේ අම්රිතා යනු අසේලගේ  පෙම්වතිය බවයි. එහෙත් අසේල සිතා සිටින්නේ අම්රිතා රිචර්ඩ්ගේ පෙම්වතිය බවයි. ඈ මනෝරන්ජන් සමග කතා බහ කරමින් සිටිද්දී නොදන්නා කෙනෙකුට සිතෙන්නේ මේ දෙන්නාද පෙම්වතුන් බවය. ඒත් මේ චරිත තුන හරියටම  තේරුම් ගන්නට තට්ටු විසි අටම  හදා ඉවරයක් වෙනතුරු ඔවුන්  සමගම ගැවසුනත්  බැරි විය හැකි බව අසේලට සිතිනි. 

අටවිසිමහල් ගොඩනැගිල්ල දරා සිටින භූගත කොන්ක්‍රීට් කුළුණු හෙවත් පයිල් එකසිය විස්සක්   නිමා කරන රාජකාරී අස්සේ  මේ පවුල් ප්‍රශ්නයට අම්රිතා  අත ගැසුවේ ඇගේ බරපතල රාජකාරියක් සේ සලකාය. 
ගමට ආදා සිට අතුරුදහන් වී සිටි ලොකු අයියා බාල සොයුරියන් හා යලි සමාගමයට වැටුනේ ඒ විදිහටය. අසනීපෙන් සිටින පානදුර  අම්මා ගෙදර තනිකර දමා නංගිලා   කැටුව ගමේ යාමට පොළඹවාගත්තේද අම්රිතාගේ කපටි ලෙන්ගතු කමය .  ඒ සඳහා මනොරන්ජන් තුල වූ අසේලලාගේ ගමට යාමට වූ අදිටන විශේෂයෙන්ම ගමම උත්සව සිරි ගන්නා පුල්ලෙයාර් දේවාල උත්සවය ගැන ඔහු තුල වූ උනන්දුව අම්රිතා අවියක් කොට ගත්තීය . 

හෙඩ් ඔෆීස් එකෙන් ඉල්ලාගෙන ආ ෆෝර් වීල් ජීප් රිය වලවල්වල වැටෙමින් යලි ගොඩ එමින් ඉදිරියට ඇදේ . ගමනේ මුල් හරියේ තිබු දුෂ්කර , දිළිඳු වටාපිටාව මැකී ගොස් සරුසාර ගම්මානයක සිරියද ,  රන්වන් කරල් පැසී ගොස්  කැපීමට ආසන්න වූ සාරවත් කෙත් යායද පෙනේ. තව දුරක් යද්දී බොහෝ වෙල්යායවල අස්වනු නෙලා තිබුනේය.  මී ගවයන් හා එළ ගවයන් රංචු කිහිපයක් ඉපනැලි අතරේ ඇවිදිමින් නියරවල තාමත් ඉතිරි වී තිබු කොළපාට තණ උලා කති .

' කෙල්ලෝ  තුන් දෙනාට අපේ ගම් පළාත අල්ලයිද දන්නේ නෑ. ගිය හැටියේ  ආපහු යන්න ඕනි කියාවිද දන්නේ නෑ ' සිතමින් පසුපස හැරී තරුණියන් දෙස බැලූ අසේල දුටුවේ මොහොතකට පෙර කළු වලාකුලකින් වැසී තිබුණු  යව්වනියන්ගේ  මුහුණු  සියල්ල වෙල් එළියත් මනස්කාන්ත වටාපිටාවත් දැකීමෙන් යලි බබලන්නට පටන් ගෙන තිබෙන බවයි. ''

රථයේ සිටි සෙසු   තිදෙනා ගැන නොතකමින් මනෝරන්ජන් ආගිය තැන්වල  කතන්දර  කියයි.  ඔහුට ආවේනික පුරුද්දක්   තිබේ. අදාළ හෝ අදාළ නොවන දේ අනෙකා අසා සිටියද නැතද ඔහු කියවන්නේ තමන්ට හිතුන වෙලාවටය. මේ හැම විටම සිය පුද්ගලික ජීවිතය හෝ පවුල ගැන කතා නොකරන්නට ඔහු පරෙස්සම් වෙන්නේය. 
" ඔය  පලු මාර රස පළතුරක් . පොඩ්ඩක් කාලා බලන්න . අපි කාලයක් ගල්කිරියාගම පැත්තේ පාරක් හදන්න  ගිහින් ඉන්නකොට මරු වැඩක් වුනා. අපි හවස වැඩ ඉවරවෙලා බෝඩිමට ගිහින්  බයිසිකල් දෙකකින් ආවා පලු කඩන්න. පාරේ  අයිනේ තිබ්බ ලොකු පලු ගහකට එකෙක් නැග්ගා . මිනිහා අතු කඩ කඩා දානවා. ඌ ගහ උඩ ඉඳන් පලු කනවා . අපි ගහ යට ඉඳන් ඉදුණු පලු තෝර තෝරා කනවා. මෙහෙම ටිකක් වෙලා යනකොට  ඈත කඳු ගැටයකට  මිනිස්සු දෙතුන්  දෙනෙක්  ඇවිල්ල අපිට  අතින් කතා කරනවා. අපි ඒ මිනිස්සුන්ටත්  කතා කරා පලු කන්න එන්න කියල අත පය වන වනා  . තවත්  ගමේ මිනිස්සු දහයක් පහළොවක් ඒ කන්දට ඇවිල්ල අපිට මොකක්දෝ කියන්න හදනවා . අපි හු කියනවා.  කීප දෙනෙක් අතින් කට වහල පෙන්නුවා. ඒ කියන්නේ සද්ද කරන්න එපා කියල. අපිට ටිකක් බය හිතුනා . ඔන්න එතකොට තමයි අපිට වටපිට පොඩ්ඩක් බලන්න හිතුනේ . අපිට යාර සීයක් විතර එහායින් තුන් පත් රෑන. වල් අලි. උන්ට අහු වුනානම් අපිව උස්සලා පොළොවේ ගහනවා .

අපි පණ කඩාගෙන බයිසිකලුත් දාලා දිව්වා අර මිනිස්සු හිටපු කන්දටම යනකන්. එදා තමයි අපි මැරෙන්න තිබ්බේ" 

ගම පෙරට වඩා කඩිසර බවක් පෙනේ. දැන් මහා වැව ලඟට රථය පැමිණ ඇත . 
සියලු දෙනා රථයෙන් බැස අසල තිබු සෙවනැති තැනක වූ ගල්තලාවේ වාඩි වුහ. මද්දහනට ආසන්න වුවද දැඩි හිරු රශ්මියක් නොවුනේ අහසේ සුදෝසුදු  වලාකුළු ඉහිරී තිබු නිසාය. 

දහතුන් හැවිරිදි දරුවකු  සන්දියේ පටන් තමන් හැදුනු වැදුණු ගමට පැමිණීම අසේලට විශේෂත්වයක් නොතිබුණේය. කලක් තමන්ගෙන් ඈත් වී සිටි නැගණියන් දෙදෙනා සමග මේ ගමන එන්නට ලබීම ඔහුට සතුටක් වූ මුත් ඊටත් වඩා ඔහු සතුටු වුයේ මෙහි පැමිණීම පිලිබඳ ඔවුන් ප්‍රසාදයෙන් සිටින බව තේරුම් යාමත් සමගය .

කෙල්ලන් දෙදෙනා මනෝරන්ජන්ගේ කතන්දර අහන්ට ලොල් වී සිටින බවක් මේ අතරේ අසේල දුටුවේය. ඔහු රස කර කර කියන්නේ මේ ගම ගැනය . අද රෑට ගමේ ගෙවල්  කීපයක තිබෙන පුංචි උත්සව ගැනත්  හෙට උදෑසන ගමේ පිරිමින් දේවාලයට ගොස් ගමටම කෑම උයන්නට පටන් ගන්නා හැටි . මේ ගම සිංහල දෙමල හා මුස්ලිම් ගම්මාන යාබදව පිහිටා තිබෙන පුරාතන ගමක් බවත් . මේවායේ ඇදහිලි හා සංස්කෘතිය මිශ්‍ර වී තිබෙන හැටිත් ඔහු ඔවුනට කියා දෙයි. තමා හා පියාණන් හැදුනු වැඩුණු ගම්මානය ගැන මේ තරම් විස්තර ඔහු දන්නේ කෙසේද ? මේවා සියල්ල ඔහුට කීවේ කවුද?

පසුගිය මාස තුනේම අසේලට අසන්නට දිරියක් නොවූ ඊට අවස්තාවක්ද නොලැබුණු ප්‍රශ්නයක් අසේලගේ මනස විකල් කළේය.
" මනෝරන්ජන් මහත්තයා කාගේ කවුද ? උපන් ගම කොහෙද ? "

-මීළඟ කොටස  -



photo Source : Silumina







Thursday, April 9, 2020

අටවිසිමහල -5 ( බිම්මහල )


සතියට දෙවරක් සඳුදා හා බ්‍රහස්පතින්දා පළවන අටවිසි මහලේ පළමු පරිච්චේදය වන බිම් මහලේ - පස්වන කොටසයි .

පෙර කොටස් සඳහා සබැඳියන් : පළමු කොටස, දෙවන කොටස, තුන්වන කොටස, සිව්වන කොටස 

දා වෙරළ අද්දර පාරෙන් ඇදී ඉංජිනෙරු කන්තෝරුව වෙත යනු ඇතැයි සිතා සිටි උසැති  තළෙළු, නෙත්කළු යුවතිය කෙළින්ම ආවේ තමා සිටි කාමරයට  බව අසේල සිහහිපත්  කළේය. ඇගේ දිගු ගෙල   මනස්කාන්ත ලෙස ඇළ කර
"ගුඩ් මෝර්නින් . අද ඉඳන් ඔයා මෙහෙ වැඩ නේද? මට සිල්වා කිවා මගදී හම්බ වෙලා . මෙහෙ හොඳයි සතුටින් වැඩ කරතහැකි." යැයි ඉංග්‍රීසියෙන්  කීවාය .

ඒ මතකයත් සමග ඇගේ දිගු ගෙළ හා පියකරු සිනාව යළිත් දකිණු රිසියෙන් ඔහු රියේ පිටුපස අසුන වෙත හිස හැරෙව්වේය.

ඇය තමන්  දෙපස සිටි යව්වනියන් දෙදෙනා සමග තොරතෝංචියක් නැතිව කතා කරයි . රිය පදවන මනෝරන්ජන් ගැනවත් ඉදිරි වම්පස අසුනේ සිටින අසේල ගැනවත් ඒ තිදෙනාටම මෙලෝ තැකීමක් නොවීය .

මුලින්ම හමු වූ දවසේ අම්රිතා කතා කරද්දී  තමන්ගේ ඉංග්‍රීසි බස හැසිරවීමේ දුර්වල කම ගැන අසේලට සෑහෙන අආත්මානුකම්පාවක් දැනුනද ඒ වගක් නොඅඟවා ඔහු සිංහලෙන්ම කතා කළේය.

" ගුඩ් මොර්නින්ග් මිස් .  මම අසේල . අද තමයි ඉස්සෙල්ලාම    වැඩට ආවේ"

අම්රිතා ශ්‍රී ලාංකික යුවතියක් නොවන බවත් තමාට බැරි වුනාට සිල්වාට  හොඳට ඉංග්‍රීසි කතා කරන්නට පුළුවන් බවත් අසේල දැන ගත්තේ එදාය. සිල්වා පැමිණ සියලු පරිවර්තන සහායයන් ලබා දුන් නිසා ඈ සමග සන්නිවේදනය ආරම්බ කර ගැනීමට අසේලට පුළුවන් වුනේය.

 ටික දවසක් යද්දී අම්රිතා යනු ව්‍යාපෘතියට සම්බන්ධ වූ සියලු දෙනාගේ ජීවිත හැසිරවිය හැකි මිත්‍රශීලී එහෙත් බලගතු  හස්තයක් වුනේය . උදේම කන්තෝරුවට එන ඇය දවල් එක දෙක  වෙද්දී සියලු ලියකියවිලි වැඩ නිමා කර කයිවාරු ගැසීමට පටන් ගන්නීය .  මනෝරන්ජන් හා අසේල  පමණක් නොව ස්ටෝර් කීපර් මිස්කින් හා සිල්වා සමගද ඇය පිළිසඳරේ යදී සිටිනට කැමැත්තක් දක්වයි.  ඈ සමග කතා කරද්දී වෙන කිසිවෙකුට කතා කරන්නට ඉඩක්  ලැබෙන්නේ කලාතුරකිනි. ඒත් සියලු දෙනාගේ සියලු තොරතුරු ඈ ගබඩා කර තබා ගන්නීය . මනෝරන්ජන් නිරන්තරයෙන් විමසිලිමත් හා පරිස්සම් සහගත ලෙස ඇය ඇසුරු කළේය. ඔහු සිය පුද්ගලික විස්තර කතා කළේ නැති තරම්ය. එහෙත් සියලු දෙනා අසල තිබු පුද්ගලික ආරක්ෂක  කලාප ආක්‍රමණය කරමින් අම්රිතා නම් ප්‍රබෝධමත් සංවේදනාවක්  හැම තැනම පැතිරෙමින් තිබියදී මුඩු ගොරහැඩි ඉදිකිරීම් වැඩබිම ප්‍රියමනාප පරිසරයක් බවට පෙරලණි .  හෙඩ් ඔෆිස් එක සමග දබරයක් කරගෙන පොත් පොළවේ ගසමින්  ආවේගය පිට කරන මනොරන්ජන් පසුව පුරුදු වුනේ අම්රිතා සමග  සියලු වේදනාව පිටවනතුරු කතා කර කර සිටීමය. ඒත්  මේ කතාබහ වරින්වර අසා සිටියෙක් හැටියට අසේලටනම් අසුනේ  අම්රිතා කතා කරන හඬ පමණි .

කාගේ හෝ දුක් ගැනවිල්ලක් අසා සිටීමට එන ඇය ඒ දුක් ගැනවිල්ල නොගිනිය හැකි බවට පත් කළ හැකි වෙනත් කතාවක් කියවන්න්නීය. සමහරවිට ඊට කිසිම සම්බන්ධයක් නැති ආකාරයේ යමක් කියා කොක් හඬ ලා සිනා සෙන්නීය . කොහොම කොහොම හෝ අවසානයේ සිදුවන්නේ ආතතිය සමනය වීමය.
අගේ රාජකාරිය , ලිය කියවිලි පාලනයද  ,  ගිණුම් හා පෙටි කෑෂ් පාලනයද, පිරිස් කළමනාකරණයද නැතහොත් ආතති කලමනකරණයද කියා තෝරා බේරා ගන්නට අසේලට අපහසු විය.

අසේලගේ කල්පනා ලෝකය බිඳ වැටුනේ මනොරන්ගන්ගේ  ගඩොල් බාගේ මොබයිල් ෆෝනයට ලැබුණු විශේෂ දුරකතන  ඇමතුමත් සමගය .  ඔහු වාහනය  පාර අයිනේ  නවත්වා පිටුපස අසුනේ වූ තරුණියන් තිදෙනාට කිචි බිචිය නවත්වා ගන්නා ලෙස අතින් සන් කළේය .

දුරකථන සංවාදය අවසන ඔහු මෙසේ කීවේය. "චෙහ් මේ සිල්වයි මිස්කිනුයි දෙන්නම සයිට් එකේ නැතිලු. රිචර්ඩ් ඇවිල්ලා. අර ෆයිල් ටෙස්ටින් රිපෝර්ට් ටික ගෙනියන්න .  සිල්වා ෂුවර් එකටම බුකියට වෙලා කට අරගෙන අස්සයෝ දුවනවා බලාගෙන ඇතී. එතකොට මිස්කින් කොහේ ගියාද? . ඒ යකා සාමාන්‍යයෙන් සයිට් එකෙන් එලියට යන්නේ නෑනේ''

ඉනපසු මනෝරන්ජන් තවත් ටෙලිෆෝන් කෝල් එකක් ගත්තේය. ඒ ගන්නේ කොහාටදැයි අසේල දනී. මනොරන්ජන් හා අසේල රේස් බුකියේ වැඩ කරන තරුණියන් දෙදෙනා හඳුනති. ඒ කතාව වෙන වෙලාවක අම්රිතාට කියන්නට ඕනෑ යැයි අසේල සිතුවේය.

' යම්තම් සිල්වා හොයා ගත්තා" යැයි කී මනෝරන්ජන් රථය ප්‍රධාන වීදියට යොමු කර වේගය වැඩි කළේය .  ඉන්පසු පුරසාරම් දොඩන්නට වුයේ වැඩිපුරම නිවුන් සොයුරියන්  දෙදෙනාට ඇහෙන්නටය . අසේලට හා අම්රිතාට  ප්‍රසාදය  පල කිරීමක්ද ඒ අතරේ කතාවට ඇතුළත් විය.

" අපිට පහුගිය ටිකේ මොන තරම් දුක් කන්දරාවක් විඳින්න උනාද ? හැමදාම පීඩනේ. හෙඩ් ඔෆිස් එකේ එවුන් තේරුම් ගත්තේ නෑ මෙච්චර පොඩි පිරිසකගෙන් අච්චර ලොකු සයිට් එකක් කරන්නේ කියල. පයිලින් ගහන එව්වෝ දුන්නු වදයක්. ඒ අස්සේ වටේ පිටේ එව්වෝ බැලන්ස් කර ගන්ත හැටි . ඇත්තටම මටනම්  මාස තුනකින් විතර පස්සේ අද තමයි පොඩ්ඩක් සයිට් එකෙන් පිට ලෝකයක් ගැන කල්පනා කරන්න පුළුවන් වුනේ.  අසේල මේ ගමන යමු කියල ඉන්ටවිව් එක දවසේ කිව්වට මම හිතුවේ නෑ මේ අවුරුද්දෙම යන්න පුළුවන් වයි කියල. කොහොම උනත් අම්රිතත් එක පයින්ම යන්න කැමැති වුනානේ . ඒ මදිවට මේ කිරිල්ලියෝ  දෙන්න  හොයාගෙන ගිහිල්ලා ගමනටත් එකතු කර ගත්තානේ "

ඔහු තමා ඉදිරියේ වූ පසු පස පෙනෙන කන්නාඩියෙන් පෙනෙන තරුණියන් තිදෙනා දෙස සෙනෙහසින් බැලුවේය . එක පාට එක වගේ හැඩ ගවුම් දෙකක් ඇඳ සිටි යව්වනියන් දෙදෙනාගේ  මුහුණු  රෝස කානේෂන් මල් දෙකක් මෙන්  පිපී තිබිණි. ඒ මැදට වී තලෙළු පාටට අම්රිතා ආඩම්බරෙන් ඉදිරිය බලා ගෙන හුන්නාය . පිටුපස අසුනේ මල් තුනක පොකුරක් තිබෙන්නාක් මෙන් මනෝරන්ජන්ට සිතිනි. ඒ මල් පොකුරේ මැදින් තිබෙන මලට කියන්නට නමක් ඔහුට කල්පනා  වුනේම නැත.

මේ අතරේ හදිස්සියේ ඔහුට යමක් මතක් වී මෙසේ කෙවේය . " අපරාදේ කලින් කියල තිබ්බානම් රිචර්ඩුත් අපිත් එක්ක එනවා. මිනිහට මම පෙරේදා  කියනකොට තමයි දන්නේ. මිනිහා හරියටම අද රැස්වීමක් දාගෙන අනෙක් ප්‍රොජෙක්ට් එකේ.  මේ ගමන මාර ජොලි එකක්  වෙනවා මිනිහා ආවනම් "

මනෝරන්ජන් රිචර්ඩ් ගැන කියද්දී අසේල හොරෙන් වාගේ පසුපස අසුන වෙත දෑස් යවා අම්රිතාගේ මුව මඩල දෙස බැලුවේ කිසියම් හෝඩුවාවක් දැනගනු රිසියෙනි. ඒත් ඔහු බලාපොරොත්තු වූ පරිදි ඒ මුනේ කිසියම් ප්‍රභෝධයක් හෝ චලිතයක් නොවිණි.

ඒ වෙලාවේ අම්රිතා සිටියේ සැතපුම් දහස් ගණනාවක එපිට චීනය හා නේපාලය අතර ටිබෙටයේ දුෂ්කර මාර්ගයේ ඇදෙන විශාල මෝටර් බයිසිකලයක පිටුපස අසුනේය . කැබිතිගොල්ලාවේ සිට හඳගල පාරට රිය හැරෙව්වාට පසු ඇයට පෙනෙන්නට පටන් ගත් දුප්පත් ගැහැණු, පිරිමි හා ළමා ළපටින් පටවා ගත් අත් ට්‍රැක්ටර් හා දර කරත්තද, පාර අයිනේ පිදුරු හෙවිලි ලු මැටි ගෙවල්ද  ඈට ඒ ගමන සිහිපත් කළේය . සිත සන්තෝෂයකින් පිරෙනන්ට පටන්ගෙන සැනෙකින් එය ශෝකී මතකයක් පමණක්  බව ඇය තේරුම් ගත්තාය. මේ කතාව මෙතැන සිටින සගයන්ට කවදාවත් කියන්නට වුවමනා නැතැයි  ඇය සිතුවාය. ජීවිතය වසාගත් දුක්බර දේ කියන්නට කියන්නට කාටවත් සතුටක් නොලැබෙන බවත් අසා සිටින්නන් ඉදිරියේ තමාගේ වටිනාකම දිය වෙවී යන බවත් ඇය සිතා සිටියාය .  බොහෝ හිතවතුන් සිය දුක් ගැනවිලි ඈ සමග කියන්නට හදද්දී  කතාව වෙනතක හරවා වල්පල් කතා කරන්නට ඇය පුරදු වී සිටියේ එනිසාය . "එහෙම කරාම කාගේ කාගේත්  වටිනාකම ආරක්ෂා වෙනවා" . ඇය සිතුවාය.

දුෂ්කර මගේ ටික දුරක් ගිය විට වන වදුලෙන් වට  වූ දිය කඩිත්තක්  ළඟ රිය නතර විය. රථයෙන් එලියට බට මනෝරන්ජන් සිගරට්ටුවක් ද්ලවාගෙන දිය කඩිත්තේ කැළතෙන පෙණ පිඩු හා දියේ පීනන තිත්ත පැටවුන් දෙස බලා සිටියේය . අසේල  මදක් ඔබ්බෙන් තිබු පලු ගසක් යටට වී ඉදුණු පලු ගෙඩි ටිකක් කෙල්ලන්ට කඩා දෙන්නට ඇත්නම් කියා උඩ බිම බලමින් සිටියේය.

මෙවෙලේ රිය තුලින් එලියට බහින්නට තිබ්බානම් හොඳයි කියා  තරුණියන් දෙදෙනාට සිතුනත්, මැද අසුනේ තුෂ්නිම්බීත වී බලා සිටින වැඩිමහල් මිතුරියගේ  දැහැන බිඳින්නට බිය වුහ .

ටික වෙලාවකින් අම්රිතා කල්පනා දැහැනින් මිදුණාය. පිරිමින් දෙදෙනා අසලක නැතියෙන් මෙතෙක් වෙලා අසන්නට අමතකව සිටි ප්‍රශ්ණයක් ඇ නිවුන් සොයුරියන් වෙත යොමු කළාය.

' ඔයාල දෙන්නයි අම්මයි දාලා ඇයි තාත්තලා ආයේ නොඑන්නම ගමට ගියේ  ?


-මීළඟ කොටස මෙතනින් 

Photo Source : Easy Tour China







Sunday, April 5, 2020

අටවිසිමහල -4 ( බිම්මහල )


(මේ අටවිසි මහල නව කතාවේ පළමු පරිච්චීදය වන බිම් මහලේ හතරවන කොටසයි. සතියේ දිනවල සඳුදා හා බ්‍රහස්පතින්දා පළ වේ

මින් පෙර කොටස් : පළමු කොටස , දෙවන කොටස , තුන්වන කොටස)


සුවදා පාන්දර තද හිසරදයකුත් සමග අසේල අවදිවන විට ඔහු සිටින්නේ කොහේදැයි සිහිපත් කර ගැනීමට තරමක් වෙලාවක් ගත්තේය. තමා නිදා සිටිනා හතරැස් කුටිය ඉතා කුඩා වුවද එය හුරුබුහුටි සුවපහසු එකක් විය. දැනටම ඇර දමා තිබෙන කුඩා කවුළුව තුලින් සුවදායක සුළං රැල්ලක් හමා ආවේය . ඔහු කවුළුව අසලට  ම ගොස් පිටත පෙනෙන දර්ශනය නැරඹුවේය.  තමා මේ සිටින්නේ  ලී ගොඩනැගිල්ලක උඩුමහලේ බව ඔහු දුටුවේ එවිටය .අපුරුය.

ඈතින් පෙනෙන  ඉන්දියන් සාගරයද වම් පැත්තේ පෙනෙන මනෝරම්‍ය දසුන ලුනාව කලපුවද ,කලපුව හා මුහුද අතරින් රිංගා  දිවෙන කෝච්චි  පාරද අසේලගේ සිත තදින් පැහැර ගත්තේය. මේ ලුනාව ඇලේ මුවදොර පෑදී කලපුවේ වතුර මුහුදට ගලන බාදිය වෙලාවයි. හවස් වෙද්දී වඩදිය ගලාවිත් ඒ සමග සිනිදු වැලි කැට ලක්ෂ කෝටි ගණනින් රැස්වී මුවදොර වසා ගෙන කලපු දිය හිරකර  තබා ගන්නා බව අසේල ඒ වනවිට නොදැන සිටියේය.   මෙතන නම් හොඳ සයිට් ඔෆීස් එකකට නෙවෙයි  ටුවරිස්ට් හෝටලයකට යැයි සිතමින් ඔහු බොහෝ වෙලාවක් ඈත සමුදුරු රළ බිඳෙන හැඩ බලා සිටියේය.   ඉහින් කණින් එකම වයසේ වගේ මිනිසුන් හා ගැහැණුන් එල්ලාගත්  කන්තෝරු කෝච්චි දෙකක්ම කොළඹ බලා හැල්මේ දිව්වේය.   ඔහුගේ නිදහස අහිමි කරමින් කුටියේ දොර ඉදිරියේ ප්‍රාදිර්භුත වූ  අමුතුම තාලේ මිනිස් රුව ඊයේ හවස ඔවුනට උවැටන් කළ කන්තෝරු සහායකයාගේය .

" සර් මං දැක්කා නැගිටලා ඉන්නවා ජනේලේ ගාව. මෙතැන ලස්සනයි නේද ?
මේක ලොකු මහත්තයාගේ කාමරේ . ලොකු සර් ඊයේ ඔෆිස් එකේම නිදා ගත්තා ඔය සර්ට මේ කාමරේ දෙන්න කියල. සර්ට මතක නෑ නේද මෙතනට ආවේ කොහොමද කියලවත් ?"

" මට මතක නෑ. හෙට ඉඳන් වැඩට ඉන්න කියල  මහත්තයා කිව්වම මම හිතුවා මම කොහේ ගිහිල්ලද ආපහු එන්න ඕනි කියල "

" හරි බොහොම ස්තුතියි" කියමින් ඔහු සිල්වා අත තිබූ තේ කෝප්පය හා වතුර වීදුරුව ගත්තේය.

වහලක් නැති නාන කාමරයේ වතුර මල යට බොහෝ වෙලාවක් ගත කරමින් හිස  හා  සිරුර පොඟවා ගත් අසේල බෑගයේ තිබු සුට් දෙකෙන් අඩුවෙන්ම  පොඩි වී තිබු  ලා නිල් ටෙට්‍රෝන් කොටන් අත්කොට කමිසය හා  කලුපාට  කලිසමත්  ඇඳ ගත්තේය .

ඔහු වැඩබිම් කන්තෝරුවට ඇතුල්වන විට කන්තෝරුවේ සිටියේ මනෝරංජන් පමණි. ඔහු   ලියකියවිලි කිහිපයක් ළඟ තබාගෙන  මේස පරිඝනක යතුරු පුවරුවේ මොනවාද සටහන් කරමින් සිටියේය  . ඔබ මොබ බැලු විට අසේලට වැටහුනේ මෙය තමා කලින් වැඩ කළ සයිට් ඔෆිස් වලට වඩා තරමක අලුත් තාලේ උපකරණ තිබෙන තැනක් බවය. පෙරදා සන්ධ්‍යාවේ ඔහුගේ නෙත නොගැටුණු බොහෝ විසිතුරු දෑ එහි තිබුනේය.

 සිය කාමරයට අල්ලපු කන්තෝරු කාමරයේ  රැස්වීම් මේසයේ වාඩිවෙන්නැයි අසේලට රළු ලෙස පැවසු මනෝරන්ජන් සිය කාරියේ දිගටම නිරතව සිටියේය .

 අසේල ලොකු ඕවලාකාර මේසයේ වාඩ් වී ඒ මත තිබු සැලසුම් මිටියක් දිග ඇරගෙන විස්තර බලන්නට පටන් ගත්තේය .

මනෝරන්ජන්  පෙරදින වැඩ වාර්තාව  හා  සිය පුද්ගලික දිනපොත ලියමින් සිටියේය. සාමාන්‍යයෙන් ඔහු එදිනෙදා වාර්තාව හා සිය පුද්ගලික දිනපොත  දවසේ අවසාන රාජකාරිය ලෙස ලියා අහවර කිරීමේ පුරුද්දක් තිබ්බත් ඊයේ දිනයේ සම්මුඛ පරීක්ෂණයේ වැඩේ පාන්දර වෙනකම් ඇදී ගිය නිසා සුපුරුදු  ලිවීම අතපසු වුනේය .

ඔහු දින වාර්තාව ලිව්වේ ඉංග්‍රීසියෙන් පරිඝනක පුවරුවේය. දිනපොත ලිව්වේ කලුපාට බෝල්පොයින්ට් පෑනෙනි. ඔහුගේ අත් අකුරු මොන තරම් අවලස්සනද කිවහොත් කිසිවෙකුට ඒ දිනපොත හොරෙන්වත් කියවා බලන්නට හිතෙන්නේ නැත. එසේ වුනත් එය කිසිවෙකුගේ ඇස නොගැටෙන පරිදි සඟවා  තබන්නට මනෝරන්ජන් වග බලා ගත්තේය . එය දිනපොතක් කිව්වාට විශාල පිටු දෙසීයේ සී ආර් පොතකි. පොතේ එක තීරුවක වැඩබිම් වාර්තාවට අදාල විස්තර අලුතින් හොයා ගත් ටෙක්න්කල් වචන. වැඩ කල මිනිසුන් ගණන, පුද්ගලිකව වියදම් වූ මුදල් ආදී සියලු දේ ලියයි. අනෙක් විශාල කොටසේ ඉතා කුඩා අපැහැදිලි අකුරින් තමා විඳි ජීවිතය සටහන් කළේය .

මනෝරන්ජන්ගේ  රාජකාරී දින සටහනේ සරල පරිවර්තනයක් .

අද උදේ පයිල් වැඩ  බාර දුන් උප කොන්ත්‍රාත්කාර සමාගමේ නිලධාරීන් දෙදෙනක් සහ ව්‍යාපෘති  කළමනාකරු රිචර්ඩ් සමග කලාප කාර්යාලයේදී රැස්වීමක් පැවත්විණි. ඉදිරි මාස දෙක ඇතුලත සියලුම පයිලින් වැඩ නිම කිරීමට තීරණය විය. 
වැඩබිම් කාර්යාලයට අත්‍යවශ්‍ය තනතුරක් වූ වැඩ පරීක්ෂකවරයෙක් බඳවා ගතිමි. ඔහු අවශ්ය අධ්‍යාපන සුදුදුකම්, පළපුරුද්ද සපුරා තිබුනේය .  කාර්යාල චෙක් ලිස්ට් එකට අනුකූල ආකල්ප හා බාහිර සම්බන්ධතා පිලිබඳ සොයා බලා සෑහීමකට පත් වුනෙමි . 

වැඩබිම් කන්තෝරුවේ පරිපාලන කටයුතුවලට අවශ්‍ය සීමිත කාර්ය මණ්ඩලය දැන් බඳවාගෙන ඇත . ඉතිරි සියලු ඉදිකිරීම් හා සේවාවන් උප කොන්ත්‍රාත් කරුවන්ට පැවරීමට ගත් තීරණය අනුව කටයුතු කරමි.

මනෝරන්ජන් සිය පුද්ගලික දිනපොත අතට ගෙන මෙවන් සටහනක් දැම්මේය . ඒ කාලය තුලම ඔහුගේ මුවේ මදහසක්  රැඳෙමින් තිබුනේය .

කතන්දර ගොඩක්  හාරා අවුස්සා දැන ගැනීමට පුළුවන් විදිහේ  තවත් පුද්ගලයෙක් හමු වුනා . ඔහු සිය ජීවිත කතාව ම වාගේ  මා ඉදිරියේ කණපිට ගසා  හෙළිදරව් කළා . ඒත් කුතුහලය නොසන්සිඳෙන්නක්. තවත් බොහෝ දේ අපැහැදිලියි . ඒත් ඔහු හිතන මතන විදිහ මධ්‍යස්තයි.  සරලයි.  මේ තෝරා ගැනීමේ ක්‍රමවේදය  මොන තරම් අකාරුණික වුනත්  අවුරුදු දෙකක් තිස්සේ මේ වැඩබිමේ යාවජීව සහායකයා වශයෙන් පත්කරගත යුතු පුද්ගලයා ගැන මට සෑහීමකට පත් වන්නට  ඕනෑ . ඔහු කපටියෙක් නෙවෙයි. . ඉතා බරපතල දුක් කම්කටොලු විඳ දරා ගෙන ඇති අයෙක්.  

මේ සටහන් දෙක දමා  මනෝරන්ජන් යලි කල්පනා ලොවට පිවිසුණේය . තමන් සොයන්නේ  කියන පදයට නටන ඒ තරම් ගැඹුරු සමාජ දැනුමක් නැති සිය අනුගාමිකයෙක් කරගන්නට පුළුවන් විදිහේ සේවකයන් නොවේදැයි   කල්පනා කළේය . ආරාධිත  දේශනා වලදී ඔහු ඉදිරිපත් කරන න්‍යායට මේ ක්‍රමය පටහැනි බව ඔහු දැන සිටියේය . ඔහුගේ මුවේ කපටි සිනාවක්  මැවුනේය. තමන් පිටුපසින් ඔත්තුකරුවෙකු සිටින්නේදැයි ඔහුට නිරතුරු දැනෙන අනියත බිය ගැන  කිසිවක් නොලී බව  කල්පනා කරද්දී ඔහුගේ මුවේ වූ මන්දහාසය අතුරුදන් වී ගියේය .

ඒ අතරේ මඩ වී තිබු කන්තෝරු මිදුල මගහැර මුහුද පැත්තේ පිවිසුමෙන් තමන් සිටි කාමර පෙළ දෙසට ඇදෙන සුකුමාල තරුණිය දුටු අසේල  ඈ එන මග බලා සිටියේය . ඒත් එය නුසුදුසු වැඩකියි සිතී ඒ  දෙස නොබලාම  විශාල ප්‍රමාණයේ භූමි සැලසුම දෙසට ඇස් හැරෙව්වේය .

ඔහු සිතා සිටියේ ඈ කෙලින්ම ඇදෙන්නේ මනෝරන්ජන් සිටි කාමරය දෙසට බවය .


ඊළඟ කොටස  
Image Source : Freepik




Wednesday, April 1, 2020

අටවිසි මහල -3 ( බිම් මහල )




අටවිසි මහල නවකතාවේ පළමු පරිච්චේදය  වන බිම් මහලේ තුන්වන කොටසයි.

මුල් කොටස් මෙතනින්

"ඉතිං තාත්තා ඊට පස්සේ මොකද කිව්වේ"

අසේල කල්පනා ලෝකයක සිට පිළිතුරු  දුන්නේය.

" තාත්තා කිව්වා අම්මට වැඳලා වරෙන් කියල "

මනෝරන්ජන් ප්‍රශ්නාර්ථ ලකුණක් මුහුණේ අලවා ගත්තේය.

"එදා තාත්තා කතාව  එතනින් නැවැත්තුවා.  දවස් ගානක් යනකං  ගෙදර  තිබ්බේ  අමුතු නිහැඬියාවක්. අපට නෑසෙන්න තාත්තායි අම්මයි කටු කුටු ගෑවා.  තාත්තා එහෙ මෙහෙ ගියා ආවා. දෙන්නගෙම මූණු එච්චර හොඳ නෑ. ඒක ඉස්කෝලේ නිවාඩු කාලයක් නිසා  අපි හැමෝම හිටියේ ගෙදර.  ඒ නිසා තත්තා කාර් එක විකුණපු සිද්දිය කාටවත් බරපතල දෙයක් වුනේ නෑ. ඊළඟ  සෙනසුරාදා රෑ තාත්තා මට කතා කරලා  මෙහෙම කිව්වා .
"හෙට අපේ ගමේ යන්න තියෙනවා . පාන්දර නැගිටලා ලැස්ති වෙන්න " තාත්තා මෙහෙම කියනකොට අම්මා ඈතින් ඉඳන් බලා හිටියා . නංගිලා නිදි.

පහුවදා පාන්දර හතරට විතර අපි පිටත් වුනා . අම්මා ඇහැරුනේ අපි එලියට බහිනකොටම වගේ. එතකොටත්  නංගිලා නිදි .

අන්න ඒ වෙලාවේ තමයි තාත්තා කිව්වේ අම්මට වැඳලා වරෙන් කියලා .

බස් එක කැබිතිගොල්ලෑවට එනකොට දවල් දොළහට විතර ඇති. එහේ තිබබ  තේ කඩේකින් තාත්තායි මායි දවල්ට කෑවා.
පුංචි බස් එකක තව දුරක් ගියා ඒ ගමන නම් මාරයි."

අසේල සිනාසුනේය.

බස් එකේ බැටරි පෙට්ටිය උඩ වාඩි වී ගැස්සී ගැස්සී යන  පොඩි එකෙක් ඔහුට පෙනේ.   බොරළු පාරේ ලොකු වලක වැටී එන්ජිම නතර වන බසයෙන්  රියදුරු හැර සියලු දෙනාම බිමට බසිති. සියල්බලෝ බසය තල්ලු කරති.  රිය  ස්ටාර්ට් වුන හැටියෝම සියල්ලෝ ලහි ලහියේ ඇවිත් ගොඩ වෙති. මෙහෙම කිහිප වටයකට  පසු බස්රිය තරමක විශාල  වැවක් වට කරගත් ගම්මන්ඩියකට සේන්දු වුනේය.

වැව් තාවුල්ලේ නිල් පැහැ ගත් ඝන කැලෑ රොදක් තිබුනේය. වැව් බන්ට් එක පහලින් ඇළ පාර දෙපැත්තේ ගෙවල් පොකුරු පොකුරු තිබුනේ පොල්, කජු, කොස්  ආදී ගස් ලැහැබ් අතරේ හැංගීගෙනය  . අක්කර ගානක් ඈතට විහිදෙන කෙත්යාය නිල් පාට ඇඳ අතිරිල්ලක් මෙන් පෙනුනේය.
තැන තැන දෙණිවල තණ උලා කමින් හරක් හා වසු  පැටියන්  කීප දෙනක් සිටී . උන් අසලම දැවටී දැවටී කොක් රෑනක් සරති.  ඈතින් වාගේ ළමා කට හඬක් ඇසුණ මුත් තාමත් අලුත් මිනිස් රුවක් ඇස ගැසුනේ නැත.

බස් රියේ ආවෝ නොයෙක් අනු දිශා ඔස්සේ විසිරී ගොස්ය . බර ගමන් බෑගයත් අතින් ගත් අසේලලාගේ තාත්තාගේ මුහුණ දුකක් හෝ සතුටක්  පළ නොකළේය. අසේල අලුත් පරිසරය විඳිමින් සොම්නසින් සිය පියා පසුපස ඇවිද ආවේය.

ඇල දිගේ පැය කාලක් පමණ ඇවිද  ඔවුහු තවත් කුඩා වැවක් අද්දර පිහිටි ගෙවල් පේලියක් අසලට ආහ. ඒ ගෙවල්   පිදුරු සෙවිල්ලා සිදු හුණු පිරියම් කර තිබුනේය.  ළමා කට හඬ දැන් දැන් පැහැදිලිව ඇසේ.  කිරි දත් හැලුණු සිඟිත්තියක්  ලොකු මල් මල් චීත්ත ගවුමක් ඇඳගෙන සිටියාය .ඈ අසලින්ම වාගේ  කුඩා පිරිමි දරුවෙක්  සිටියේය.
අමුත්තන් දෙදෙනා දුටු දැරිවිය සිය සොයුරාද උස්සගෙන ගෙවල් මන්ඩියට වැද සඟවා ගත්තීය . නිමේෂයකින් දරුවන් කිහිලි ගන්නා ගත් ගැහැනුන් දෙදෙන්ක්ද මහළු ස්ත්‍රියක්ද කුඩා කොල්ලන් කෙල්ලන් රෝත්තක්ද ගෙවල් වලින් එලියට මතු වී අමුත්තන් එන මග අවුරා  බලා සිටියෝය.

දරුවන් ඇඳ සිටි නොයෙක් වර්ණ මිශ්‍රිත ඇඳුම්  මධ්‍යහන හිරු එලියේ ප්‍රභාමත්ව දිලිසුණේය. දිළිඳු කමක සේයාවක් නැති, පිරුණු මුහුණු හා නිල්ල පිරුණු සශ්‍රීක වටා පිටාව  කියා පෑවේ  මේනම් අගහිඟ කමින් තොර  ප්‍රසන්න ගම් පියසක් බවයි. තාත්තා එතැන සිටි වැඩිහිටි කාන්තාවක් අසලට ගොස් මොන මොනවාද හෙමින් මිමිණුවේය. ඇගේ මුහුණ විශ්මයෙන් හා සතුටින් පිරී යනු අසේල බලා සිටියේය.

ඉන්පසු කොල්ලන් , කෙල්ලන් හතර අතේ දුවගොස් තව තව ගැහැණුන්ද පිරිමින්ද ළමයින්ද එතනට කැඳවා ගෙන ආවේය. නොබෝ වේලාවකින්ම උත්සව ශ්‍රීයක් ගත් නිවසක ඉස්තෝප්පුවේ වාඩි වී අසේල හා තාත්තා අතොරක් නැති සංග්‍රහ හා ආ ගිය තොරතුරු කතා වැස්සේ තෙමි තමී ප්‍රීතියෙන්  සිටියෝය.

ජයසුරිය ගමට ඇවිත් . ජයසූරිය ගමට ඇවිත්!!. කාලෙකට ඉස්සර ගම දාල ගිය ජයසුරිය පුතත්  එක්ක ගමට ඇවිත් .

ඒ අස්සේ ලහි ලහියේ ගෙවල් මන්ඩියේ  හිස්ව තිබූ ගෙයක් මකුළු දැල් කඩා අතු පතු ගා ලක ලෑස්ති වෙමින් තිබුනේ සිදාදියේ සිට පැමිණි පිය පුතු දෙදෙනාට නවාතැන් ගැනීමටය.

' වරින් වර කල්පනා ලෝකයක කිමිදෙමින් සිනමා පටියක කොටස් මෙන් ගමේ විස්තරය කියවමින් සිටි තරුණයාගේ   අතීතාවර්ජන දිය දහර නතර  වූ වෙලී මනොරන්ජන් මෙසේ කීවේය .

' මටත් ආසයි දවසක් ඒ ගමට ගිහින් ඉන්න '

"යමු යමු. මම ලැස්ති කරන්නම් . හැබැයි  පුල්ලෙයාර් කෝවිලේ උත්සවේ තියෙන දවසට ගියොත් තමයි ගොඩක් හොඳ .'

"ඉතිං පස්සේ මොකද වුනේ ?"

"එදා අපි ගොඩක් ආගන්තුක සත්කාර, ආදර සැලකිලි  විඳලා නිදා ගත්තා. මට අලුතින් යාලුවොත් එකා දෙන්න හම්බුනා. ඒත්  රෑ නින්ද ගියේ නෑ. ගෙදරයි, අම්මයි, නංගිලයි සැරින් සැරේ මතක් වුනා.  හෙට ඉස්කෝලේ පටන් ගන්නවා. ඉස්කෝලේ ඉස්සෙල්ල්ලම පටන් ගන්න දවසට මට යන්න බැරි වෙයිද දෙයියනේ  . ඒක මතක් වෙච්ච හැටියේ මට ඉගිල්ලිලා  කොළඹ යන්න හිතුනා. මම දැක්ක තාත්තත් නිදි නෑ. සැරෙන් සැරේ නැගිටලා ඇඳේ වාඩි වෙනවා. ආයේ දිගා වෙනවා . හුල්ලනවා" .

මේ අතර සිල්වා වරින් වර වතුර වීදුරුද , කෙටි කෑම වර්ගද , කැපූ පළතුරු කැබලි තසිමක්ද  ගෙනත් ගෙනත්  අසේල හා මනෝරංජන අතර වූ මේසය මත තැබුවේය . ගාලු පාරේ කොච්චි හු කියමින්  ඇදුනේය. මුහුදු ඝෝෂාව ළඟ ළඟ ඇසෙන්නට ගත්තේය .

"උදේ තාත්තා නැගිටලා ඇඳේ වාඩි වුනා.  මට කතා කළා. මම ඇස් දෙක පියාගෙන හිටියා.හෙල්ලුනෙත් නෑ. ඒ වුනත් තාත්තා දන්නවා මම ඇහැරලා ඉන්නේ කියල .

" ලොකු පුතේ මේක හොඳට අහ ගනින් .  අද ඉඳන් උඹ ඉස්කෝලේ යන්නේ මෙහෙ. අපි දෙන්න මෙගේ නවතිනවා. උඹට ලොකු කතා ගොඩක් කියන්න තියෙනවා . ඒත් අද කියන්නේ නෑ මම වෙලාව ආවහම කියන්නම් .'

" ඉතින් තාත්තා ඒ කතා කිව්වද පස්සේ කාලෙක හරි? " මනෝරන්ජන් අසේලට භාධා කළේය . එම ප්‍රශ්ණය නිසංසලේ ගලන දිය පාරකට කඩා හෙලූ  කුඹුක්  අත්තක් මෙන්  කාල අවකාශය  කලඹන්නක්  විය.

" ඒක මම වෙලාව අවහම කියන්නම් මහත්තයා  " අසේල හිස ඔසවා මනෝරන්ජන් දෙස බලමින් කීවේය.

ඉන්පසු කතා සරිත් සාගරයේ දියවැල් ගලා ගියේ රසබර, දුක්මුසු මෙන්ම හිනා නොවී සිටිය නොහැකි ජීවිතාවලියක විසිතුර වැඩබිම් කන්තෝරුවක මේසය මත  දිග ඇරෙද්දීය .

පාන්දර දෙක පසු වී විනාඩි දාසයට හෙට ඉඳන් වැඩට ඉන්න පුළුවන් කියා අසේලට කියන්නට විනාඩි එකොළහකට පෙර මනෝරන්ජන් මේ ප්‍රශ්නය ඇසුවේය

" අසේල දැන් මට මේ ප්‍රශ්නෙට කෙලින් උත්තරයක්  දෙන්න මගේ ඇස් එක දිහා බලාගෙන .  අසේල තාමත් සංවිධානේ ඉන්නවද, අයින් උනාද?"

හතරවන කොටස මෙතැනින්

Photo Source : Rainey Dewey Arts