Tuesday, April 28, 2015

කඳුළු රසැති මොමෝ

ම මුලින්ම හඳුනාගත් නේපාල ජාතිකයා අර්ජුන් වෙන්නට ඇති. ඒ වසර කිහිපයකට පෙර මා මුල්වරට මේ රටට  ආ විටදී. ඉස්සෙල්ලාම දවසේ මා වැඩබිම් කන්තෝරුවේ හැමෝටම හඳුන්වා උන් අපේ ලොක්කා මට අර්ජුන්වත් හඳුන්වා දුන්නේ මෙසේ කියමිනි.

' ඔයාට ඕනිම වෙලාවක තේ එකක් කෝපි එකක් බොන්න හිතුනොත්  අර්ජුනට කතා කරන්න'

මම කන්තෝරුවේ නුපුරුදු  පුටුවේ වාඩි වී ටික වෙලාවක් ගත වෙත්ම තේ එකක් බොන්නට සිතිනි. අල්ලාපු ගොඩනැගිල්ලේ තියෙනවා කී  කුස්සියේ ඉන්ටකොම් නොම්මරය සොයාගෙන බොත්තම් එබූ මම  අර්ජුන් ඇමතීමි.
මට තේ එකක් බොන්න ඕනි.
කව්ද කතා කරන්නේ? .
 මම අලුතින් ආපු අහවලා . මම කිව්වෙමි.
 පැය බාගෙකින්වත් තේ එක නොලැබුන නිසා නැවත අර්ජුන් ඇමතීමි
 එවරත් සුපුරුදු ප්‍රශ්නය ඇසිණි .
 'මම අර අලුතින් ආපු අහවලා උදේ කතා කරේ' .
හරි මහත්තයා මේ දැන් ගේනවා .
 තව විනාඩි විස්සකින් පමණ  මට නැවතත් කුස්සිය ට කතා කරන්නට සිදු විය . කෝ අර්ජුන් මම දෙපාරක් තේ එකක් ඉල්ලුවා තාම නෑනෙ .
'දැන් මම ගෙනාවනේ සර් . හරි මම ආයේ ගේන්නම්'
ටික වෙලාවක් බලා සිටි මම මේ වැඩේ හරි යන්  නෑ කියා සිතාගෙන කුස්සිය සොයාගෙන ගියෙමි. කුස්සියට යනවිට නේපාල මල් පත්තරයක් කියවමින් මේසයට හේත්තු වී ගෙන අර්ජුන් සිටියේය.
කෝ අර්ජුන් මම ඉල්ලපු තේ එක?.

අර්ජුන් ඔලුවේ අත  ගහ ගත්තේය. 'අයියෝ ඔය මහත්තයාද තේ ඉල්ලුවේ?.  අද අලුතින් ආපු තවත් මහත්තයෙක් ඉන්නවනේ එයාට තුන් පාරක් තේ ගෙනිච්ච. තුන්වෙනි පාර බැනුමුත් අහගෙන තේ එක ආපහු ගෙනාවා' .
ඔය විදිහට හිතවත් වූ අර්ජුන් හරිම හිත හොඳ අහිංසකයෙක්  බව මට නොබෝ දවසකින් පසක් විය. සන්තෝෂම් මුදල් කිසිවක් නොපැතු ඔහු ඉඳ හිට ඉල්ලා සිටියේ නගරයට සතිපතා ගුවනින් එන නේපාල යොවුන් පත්තරයක් ගෙනල්ලා දෙන්න කියලාය. අපේ වැඩබිම පිහිටියේ තරමක් නගරයෙන් බැහැරව නිසා අර්ජුන්ලාට  නගරයට යන්න ඉඩක් ලැබුනේ කලාතුරකිනි.

ඒ   වැඩබමේ සිටි නේපාල ජාතික ලිපිකාරිණිය ගෞරි  පිළිබඳවද මතකයේ හිටින කතන්දරයක් තිබේ. ජපන් බෝනික්කන් සේ ඇඟ  පසඟින් හා ඇඳුමෙන්  වූ පිලිපීන ලියන් අතරේ කෘෂව ගිය සිරුරින් යුතුව ගෞරි මුළුගැන්වී සිටියාය. වරක් මම නිවාඩු ගොස් එනවිට  අපේ පරණ වැඩබිම් කන්තෝරුවේ කොටසක් කඩා දමා තිබුනේ අලුතින් ඉදිවන සුවපහසු කන්තෝරුවට ඉඩ පහසුකම් සපයමිනි. කලින් තිබුණු කන්තෝරුවේ පුටු මේස ඉවත් කර  තිබුණ අතර අලුත් ගොඩනැගිල්ලේ පැකින් නොකැඩූ අලුත්ම පුටු මේස ලොරිවලින් බාමින්  තිබිණි.

මට ඉඳ ගන්නට ඉතිරි වී තිබුනේ පුංචි ස්ටූලයකි . ලඟපාත මේසයක වැඩ කළ  නේපාල ලිපිකාරිණිය ඇය මෙන් දෙගුණයක් උස විධායක පුටුවක වාඩි  වී සිටියාය. මම ලංකාවේ කලින් සිටි කන්තෝරුවක  අලුතින් පුටු ගන්නා  විට උස්  පහත්  බේදයකින් තොරවම හැමෝටම හොඳ තත්ත්වයේ එකම වර්ගයේ පුටු ගත්තා මතකය. ඒත් මෙතැනදීනම් නම්  මට මදි පුංචිකමක්  වුණායැයි සිතෙන්නට පටන් ගත්තේය. එතැන් සිට මම අර ලිපිකාරිනිය දෙස බැලුවේ තරමක් නොමනාපයෙනි.

මේ අස්සෙම ඇය මා දෙස බලා මෙසේ කිව්වාය.
'මහත්මයා ඔය පුටුවේ ඉන්න අමාරුයි නේද? අපි අලුත් කන්තෝරුවට තව දවසකින් දෙකකින් මාරු වෙනවා. එතන ඔබට ඉතාම සුවපහසු මේසෙකුයි පුටුවකුයි ලැස්ති කරලා තියේවී .

මම කිසිත් නොකීමි. ' මට අපහසුයි  කියල තේරෙනවනම් මේ පොඩි පුටුවක් තිබ්බේ මොකටද ' කියන්නාක් මෙන් ඈ දෙස නුරුස්නා බැල්මක් හෙළුවෙමි.ඇය අසුනින් නික්ම ඉවතට ගිය මොහොතක මම මදක් ඇයගේ  පුටුව දිස බලා සිටියේ පහන් සිතින් නොවේ. ඒත්  පුටුව පාමුල තිබු ගඩොල් කැටයක් දුටුවිට මට මා ගැනම මහා අප්‍රසන්නබවක්  ඇති විය.
ඈ  රෝදයක් ගැලවුණු , කැඩිච්ච කැරකෙන පුටුව අපහසුවෙන් අටවා ගන්නට ගඩොලක් තබා තිබිණි.  තිබිච්ච පුටු අතරේ වඩා හොඳ පුටුවය  මට ඉතිරි කර තිබුණේ .
ඔය සිදුවීම්  දෙකෙන් පසුව මම නේපාල ජාතිකයන් දෙස හිතවත් කමින් බලන්නට පුරුදු වුනෙමි.

මේ ළඟදී නේපාල ජාතික යුවලක් මට රාත්‍රී අහර වේලකට ඇරයුම් කළහ. ඇත්තෙන්ම ඔවුන්ගේ මුල් නිජ භුමිය වී තිබුනේ ටිබෙට් රටය. ඉතාම දුෂ්කර පරිසරයක අල්පේච්ඡ ජීවිතයක් ගත කරමින් ඉහළට ඉගෙන ගෙන තිබූ ඔවුන් දෙදෙනා මේ රටේ සිටින ලක්ෂ හතරක් පමණ වූ අනෙකුත් නේපාල ජාතිකයන්ට වඩා වෙනස් වුයේ රැකියාවෙන් හා අධ්‍යාපන මට්ටමිනි.

ජනාකීර්ණ දෝහා නගරයේ ඔවුන්ට අනුව ඉස්තරම් නේපාල රස්ටෝරන්ට් එකකදී මා කැමැත්තෙන් කතැයි සිතා  මොමෝ නම් මස් රොටි වැනි අහරක් ඔවුන් ඇනවුම් කළහ. ඉහත සේයාරුවේ පෙනෙන්නේ මේ මොමෝ සංග්‍රහයයි .

ඇත්තෙන්ම මට එහි රසයක් නොවුනි. එහෙත් අනන්ත දුෂ්කර ගිරි දුර්ග අතරේ වැඩී  ශීතල ශුෂ්ක පරිසරයක හැදුණු ජන කොටසකගේ කඳුළු, දහදිය හා අහිංසක කමේ රසය එහි විය. මොමෝ ගෙඩියක හැඩයත් කඳුළු බින්දුවක් වගෙය.

ඒ නිසා මම සතුටු මුණක්  පෙන්වා සුප් කෝප්පය සමග මොමෝ හතරක් ගිල දැම්මෙමි.

 මේ රටේ දෙවැනි විශාල් ජනගහනය වුනත් නේපාල ජාතිකයන් පොදුවේ දුප්පත්ය. අහිංසකය. ඔවුන්ට කියා හොඳ තත්ත්වයේ ආපනශාලාවක්වත්  නැත. ලක්ෂ විසි දෙකක් පමණ වූ කටාර් ජනගහනයෙන් ලක්ෂ හතරකට වැඩි නේපාල් ජාතිකයන් පිරිසක් සිටිනවා කියා හිතන්නත් අමාරුය. ඒ ඔවුන් සමාජයේ කැපී පෙනෙන මට්ටමේ මිනිසුන් නොවීමය. කරණවෑමියන් , වේටර්වරුන්, ගෘහ සේවිකාවන් හා කම්කරුවන් ලෙස ඉතා දුක්බර ජීවිතයක් ගෙවන ඔවුහු පෝෂ්‍ය ගුණයෙන් හීන , ඉතා  සහැල්ලු අහරකින් , මිල  අඩු ඇඳුමකින් සැනසී හම්බ කරන සියල්ල නේපාලයට මනි ඔර්ඩර් මගින් යවති. මැද පෙරදිග වෙසෙන නේපාල ජාතිකයන් යවන මුදල සමහර විට එරට  ප්‍රධාන ආදායම වෙන්නට පුළුවන.

ගිය සතියේ ඇතිවූ භුමි කම්පාව මගේ හදවතේ තාමත් ප්‍රතිකම්පන මතු කරන්නේ සොබාදහමත් අන්තිමේ හිරි ඇර ගන්නේ මෙවැනි හද්දා අහිංසකයන්ගේ කඳුළුවලින්  නේදැයි අසමිනි. 

Sunday, April 19, 2015

අර අපූරු ෆෙල්ට් පෑන

නගාමී එඩ්වින් ඕල්ඩ්රින් සමග රුසිරු(walesonline)
ඳ ගැන ලියවී ඇති අනන්ත කවි අතරේ අපූරු පුංචි කවියක් මට හමු විය.ඒ කවිය නොබෝදා පළවූ කවි පොතක තුබුණකි. පොත කියවන්නට මග බලා සිටි මට පොත ලැබෙන්නට පෙරම එහි පළ වී තිබු කුඩා පැදි  තුනක් ඊ තැපෑලෙන් ඒවා තිබිනේ කවියාගේ මව විසිනි. ඔහු අමුතුම ඇසකින් ලෝකය දකින කවියෙකි . හඳේ  ඉන්නා  හාවා ගැනත්, රන්තැටියෙන් බේරෙන පැණි බින්දු ගැවත් කියවන වයසේදීම  ඔහු සඳ මඩල ජයගත් මිනිසුන් ගැන සොයා බලන්නට උනන්දු වුනේය.
මේ කියවන ලැයිස්තුව කුමක්දැයි ඔබට පසක් වෙන්නට එතරම් වෙලාවක් ගත නොවනු ඇත.

1. සඳවතින් ගත් පස් මිටක්
2 වෙඩි බෙහෙත් ගඳ මුසු අමතර මේස් යුවලක්
3 බියපත් විට තුරුලට ගන්නට ටෙඩි බෙයාර් කෙනෙක්
4. නොසිතු අකරතැබ්බයකදී පිහිටට එන අර අපූරු ෆෙල්ට් පෑන
5. පින්තූර ගැනීමට හැසල්බ්ලඩ් කැමරාවක්
6. පොඩි පොඩි දේ කර ගැනීමට පරණ ආයුධ පෙට්ටිය
7.රැවුල බෑමට හොඳින් කැපෙන රේසරයක්  
8.සතුටින් වැනීමට ඇමෙරිකන් කොඩියක්
9. සුබ පැතුම් පතක්
10. 'මහා හුදෙකලාවක' පොත

මේ රුසිරු තාරණ  කොඩිතුවක්කු නම් වූ එකොලොස් හැවිරිදි කවියා ඉංග්‍රීසියෙන් ලියු පැදි පෙළක මගේ රළු  පරිවර්තනයයි. මෙන්න රුසිරුගේ කවිය:
Ten Things Found in Buzz Aldrin’s spacesuit.
1.     A specimen of lunar rocks,
2.     And a spare pair of smelly socks.
3.      A teddy for cuddling whilst in terror,
4.   And a felt tip pen for an unexpected error.
5.     A Hasselblad camera for taking pictures,
6.      And a rusty toolbox for making fixtures.
7. A sharp razor for shaving,
8. The US flag for waving.
9. A card saying congratulations,
10.            And a copy of the Magnificent Desolation.
එක්සත් රාජධානියේදී ළඟදී පල වූ රුසිරුගේ කවි පොතේ  පළවූ එක කවියකි ඒ . පොතේ රචකයා සිය ප්‍රියතම විද්වතා වූ එඩ්වින් ඕල්ඩ්‍රින් ගගනගාමී  ඇඳුමේ තිබුනා යැයි චිත්ත රුප මවා ගත් අංගෝපාංග දහයක් ගැන ලියු හැටි එහෙමය. මේ කවිය ලියන්නට කලින්  එඩ්වින් ඕල්ඩ්‍රින්  පුද්ගලිකව මුණ ගැසීමටද පුංචි කවියාට වාසනාව ලැබුණි. ඒ ප්‍රථම සඳ ගමනේ 45 වන සංවත්සරය නවෙනුවෙන් ඕල්ඩ්‍රින් ලන්ඩන් නුවර කළ  සංචාරය අතර වාරයේය.
 මේ කවියේ එන අංගෝපාංග හැම එකක්ම පිටුපස රුසිරු විසින් කියවූ අපූරු තොරතුරැක්   හෝ කතන්දරයක්ද වෙයි. මා දන්නේත් ඉන් එකක් දෙකක් පමණි. මුල්ම සඳ ගමනට එකතු වූ ගගනගාමීන් වන නීල් ආම්ස්ට්‍රෝන්ග් , එඩ්වින් ඕල්ඩ්‍රින් හා මයිකල් කොලින්ස් යන තිදෙනා අතරින් සඳ මත පා තැබීමට වාසනාව ලැබුනේ ආම්ස්ට්‍රෝන්ග් හා ඔල්ඩ්රින්  දෙදෙනාට පමණකි.  සිය සගයන් දෙදෙනා සඳ මත පා තබන ඉතිහාසගත මොහොත වෙනුවෙන් ඉමහත් කැපකිරීමක් කරමින්  ඔවුන් නැවත පැමිණෙන තුරු සඳ වටා  කක්ෂ ගත වී තිබු කොලොම්බියා උප යානයට වී මග බලා සිටින්නට  මයිකල් කොලින්ස්ට සිදුවිය.

සඳ මත පා තබා ආපසු එන ගමනේදී කුඩා ඊගල් යානය  පිටත් වෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී යානයේ  සර්කිට් බ්රෙකරයක් කැඩී  ගියේය. තව පොඩ්ඩෙන් ඉතිහාසය වෙනස්කරමින් ගගන ගාමීන් දෙදෙනාගේ ජීවිත පාලු සඳ මඩලේ අවසන් වෙන්නට ඉඩ තිබිණි. එහෙත් එඩ්වින් සතුව තිබු ෆෙල්ට් පෑනේ  උදව්වෙන් යානය නැවත පණ  ගන්වාගෙන සඳ මතින් නික්මී කොලම්බියා යානය හා එක වීමට අපේ ගගනගාමීන් දෙදෙනාට හැකි විය. මේ නිසා රුසිරුට මෙන්ම මානව සංහතියටම එඩ්වින් ඕල්ඩ්‍රින්ගේ ෆෙල්ට් පෑන අගනා සමරුවකි.
ඒ විතරක්ද ඔහුගේ  රේසරය!. නීල් ආම්ස්ට්‍රෝංග්ට පසු තව නොබෝ වෙලාවකින් සඳ මත පා තැබීමට ඔන්න මෙන්න කියා තිබියදී ඕල්ඩ්‍රින් තනිවම මුමුණන හඬ හුස්ටන්හි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටි කාටත් ඇසුනි.
 ' හඳට බහින්න කලින් රැවුල බා ගන්න ඕනි'

ඉතින් ඕල්ඩ්‍රින්ගේ රේසරය කවියෙකුට කවි නිමිත්තක් නොවන්නේද?
හඳ   මත පා තැබූ  ගගනගාමීන් හඳේදී දැනුණු පරණ වෙඩි බෙහෙත් ගඳක් ගැන කියා  ඇත. සමහර විට රුසිරු  smelling socks ලෙස ලියා ඇත්තේ මේ ගඳ ඇති  මේස්  දෙක වෙන්නට ඇත.

ආපසු නික්ම යද්දී නීල් ආම්ස්ට්‍රෝන්ග් විසින් යානයේ ඉහළ  නගින  මට්ටම් ආදී ශුක්ෂ්ම තොරතුරු ගැන කරදර වෙද්දී එඩ්වින් ඕල්ඩ්‍රින් බලා සිටියේ යානයේ පිටාර දුම වැදී ඇමරිකානු කොඩිය සඳ මත හොඳින් ලෙල දෙන ආකාරයයි. ඉතින් ඒ ඇඳුමේ තිබුණු ඇමෙරිකානු කොඩියේ සලකුණ රුසිරුගේ සිත් ගන්නටත් ඇති.

මොන ආකාරයෙන් අභිමානයට පත් කරනු ලැබුවද මේ ගගන ගාමීන් මුහුණ දුන් අවදානමේ තරම  තේරුම් ගැනීමට අපහසු තරම් සංකීර්ණය. සමහර විට නීල් හා එඩ්වින් දෙදෙනාම දී පෙරලා නොඑන්නටද ඉඩ  තිබුණි. ඒ නිසාම ඇමෙරිකානු ජනාධිපති රිචර්ඩ් නික්සෝන් සිය ජයග්‍රාහී කතාවට අමතරව ශෝකය ප්‍රකාශ කිරීමේ කතාවක්ද සුදානම් කරගෙන තිබූ  බව කියවෙන්නේ.
ගගනගාමීන් එසේ තනිවී මිය යන්නට ඉඩ   තිබූ  හුදෙකලා විශ්වීය පාළුව රුසිරුගේ  කවියේ අවසන් පදයෙන් කියවෙතැයි මට සිතුනි. එය ඕල්ඩ්‍රින් විසින් ලියන ලද ' Magnificent Desolation' කෘතිය කියවන්නට පෙළඹුමක්ද  වෙයි.  
 මේ රුසිරුගේ පොතේ එන තවත් කවි දෙකක් .

The Universe
The universe is everlasting,
Sometimes it is flabbergasting,
To the past you can travel,
Mysteries you might unravel,
Sometimes things are curiously magic,
Sometimes things are very tragic,
In time when we come to the brim,
Big Bang Two might begin.

I am a snake in captivity
I live in the busy, boring, dangerous city,
People goggle at me when they go past, 
saying “oh, look at that snake isn’t it vast,”
The zoo-keepers only give me a dead mouse to eat,
Even though I deserve rather finer meat,
Why would they do this to a cobra this fine?
If they replaced me in the jungle the pleasure would be mine,
I know that I was a talented thief, 
but as they say anyone can turn over a nice, new leaf.



මේ ආදී වෙනස් , නැවුම් මාතෘකා ඔස්සේ චිත්ත රූප මැවූ කුඩා කවියාගේ කුළුඳුල් කවිපොත දොරට වැදීමේ උළෙල ඉතා සාර්ථක එකක් වූ බව දැන ගන්නට  ලැබිණි.


කවුරුත් ගෙයින් එලියට බහින්න හිතෙන්නේ  නැති යුරෝපයේ රුදුරු කුනාටු සහගත හීගොතුව උහුලාගෙනම  11 හැවිරිදි රුසිරුගේ පොත දොරට වඩිනා උත්සවයකට 140ක් විතර ආවා කියා අසු විට මට දැනුනේ පුදුම සතුටකි.. මේ පොත් දොරට වැඩුම තිබ්බේ පහුගිය මාර්තු 29 වැනිදා හන්දෑවේදීය.අමුතුම අද උදහස්වලින් ලෝකය දකින කුතුහලයෙන් පිරුණු දරුවෙක් වශයෙන් කාලයක් තිස්සේ ඔහු ලිව්ව කවි දෙස බලා සැනසුණු ඔහුගේ දෙමව්පියෝ  රුසිරුගේ පළමු පොත එලි දක්වන්නට වෙහෙස මහන්සිව වැඩ කලෝය. සතුටුදායක ප්‍රවෘත්ති අඩු මේ කාලේ මෙවැනි සිතට සැනසුම් දෙන යමක් අහන්න සැලැස්සු ඔවුන් දෙදෙනාටද අපේ ස්තුතිය හිමි විය යුතය .

රුසිරුගේ My Universe හෙවත් 'මගේ විශ්වය' පොත දොරට වැඩි දා රුසිරුගේ පාසලේ විදුහල්පතිනිය විසින් කියූ කතාවකින් කොටසක් walesonline වෙබ් පිටුවෙන් උපුටා සිංහලට පෙරලා ලියන්නට   කැමතිය.
' ඔහුගේ අලුත් කවි නිර්මාණ බොහෝ විට අපි ගුරු විවේකාගාරයට ගෙන ගොස් කියවනවා. ඒවා මුලින්ම කියවන්නට අප අතර තරගයක් ඇති වන්නේ එවිටයි'

( රුසිරු කොඩිතුවක්කු  හිතවත් ලේඛිකාවක වන මදාරා  සරසිගේ ආදරණීය පුතනුවන්. කුඩා කාලයේ සිට සිංහලෙන් නොයෙක් ලිපි ලේඛන ලියන ඇය  විදුසර පුවත්පතේ යාවජීව ලේඛිකාවකි. රුසිරුගේ පොත සරසවි  , විජිත යාපා ඇතුළු ප්‍රධාන පොත් හල්වලින් ගන්නට පුළුවන)