Sunday, September 29, 2013

භීෂණයේ මල් පෝච්චි


කොළඹ පොත් ප්දර්ශනේ බලන්න යන්න මොන තරම් ආශාවෙන් හිටියද? ඒත් අගෝස්තු මාසේ ඉවර වෙන්න කලින් ආයෙත් රට රස්සාවට  ගාටන්න වුණායින් ඒක මේ අවුරුද්දේ හීනයක් විතරක්  උනා.

පෙරෙය්දා  හැන්දෑවේ වැඩ ඇරිලා ඇවිල්ල වැඩි වෙච්ච අර්ද්රවතාවයයි අඩු වෙමින් යන උෂ්ණත්වයයි ගැන හිත හිතා සැටීයේ පත බැවිලා  ඉන්නකොටම මේදිස් ආවා.

මිනිහා ලංකාවට ගිහින් .පොත් ගේන්නම.

මෙන්න උඹේ සමකාලීනයෙක් ලියපු පොතක් . යාළුවා මට තෑග්ගකුත්  ගෙනල්ලා.

'භීෂණයේ මල් පෝච්චි '

මොකක්ද බොලේ ඒ නම. භීෂණයයි මල් පෝච්චියයි ගැලපෙනවද? හරියට උළුඳු වඩෙයි පිච්ච මලයි වගේ අනේ මන්ද?

පොතේ තිබ්බේ කෙටිකතා හතක එකතුවක්. ඔක්කොම  භීෂණ මිලිටෙරියට  බයේ හැංගී හැංගී  ජීවත් වෙච්චි ඒ පැත්තටවත් මේ පැත්තටවත් හේත්තු වුන් නැති කොලුවෙක්ගේ කතා. ඒ මදිවාට ඌ වහදාපු සරසවියක බාගෙට ඉගෙනගත්තු එකෙක්.
මේ හාදයාට නොයෙකුත් හේතු නිසා ජීවිත අවදානමක් තිබිලා තියෙනවා ඒ කාලේ හැම කොල්ලෙකුට කෙල්ලෙකුට වාගේම.  මු කාලයක් ටිකක් රැවුල වවපු, රස්තියාදු ගහන , පොත් පත්තර කියවන්න බර ඔල මොට්ටලයෙක්. ඔය ඔක්කොටොම වඩා භයානක වැඩේ මුගේ තාත්ත වාමාංශිකයෙක්.

මේ අහලා එපා වෙච්ච තේමාව හැම කතාවකම කියවුනා . ඒ හින්දාම කතා ටිකක් ඒකාකාරියි. ප්‍රචාරාත්මකවාදියි. අවුරුදු විස්සකට වැඩිය  හිතක හංගාගෙන හිටපු ,නුල් ඉහිරුණු, පුස් කාපු ලේන්සු කෑලි වගේ. ඒ හැටි කළ  එළියක් නෑ , හරියට අර තැනින් තැන කැලි පිච්චිලා ගිය මුල් කාලේ ඊස්ට්මන් වර්ණ චිත්ර්පටියක් වගේ.

ටිකක් හරි හිතට අල්ලාපු කතා දෙකක් තිබ්බා. එක කතාවක තිබ්බේ ගෙදර ආරස්සාවක් නෑ කියල හිතාන කොලුවා ගිහිල්ල කොළඹ නෑදෑ ගෙදරක හිටපු කාලයක් ගැන.

එහෙ ඉතින් පොඩි උන්ට පාඩම් කියා දිදී ගේදොර වැඩ පලට උදවු වෙමින් වහපු සරසවියෙ  මානවකය ඉන්නේ විච්කිච්චාවෙන්. රැට  නින්ද යන් නෑ. මිලිටෙරි  වහනයක් නතර කරනවද බයේ  ඉන්නවා. ඔහොම ඉන්නකොට නෑයාගේ  තව නෑයෙක්ගේ පුතෙක් ඒ ගෙදර නතර  වෙන්න එනවා. ටික දවසකට. මිනිහට මිලිටෙරියෙන් කාලෙකට පස්සේ නිවාඩු දවස් දහයක් හම්බ වෙලා. ගෙදර ගිහින් හිටියේ දවසයි. ගෙදර ඉන්න බයයි. කොළ කෑලි වලින් තර්ජන ලැබිලා.

ඉතින් නිවාඩුවේ ඉතිරි ටික ගෙවන්න මිනිහත් එන්නේ අර දුර නෑදෑයගේ  ගෙදරට. එදා  සරසවි මානවකයටයි මිලිටෙරි  මානවකයටයි නිදා ගන්න හම්බ වෙන්නේ එක ඇඳක. දෙපැත්තට ඇරිලා කතාවක් බහක් නැතිව නිදා ගත්තට රෑ රාත්රි යේ පොඩි සද්දයක් ඇහුනත් දෙන්නම සුරුස් ගාල නැගිටලා විපරම් කරනවා. මිලිටේරි කාරයා බයයි  සහෝදරයෝ එයි කියල. අනෙත් හාදයා බයයි මිලිටේරි වහනයක් ඇවිල්ල කුදලාගෙන යයි කියල. පස්සේ බැරිම තැන දෙන්නත්තෙක්ක එලි වෙනකන් නිදා ගන්නේ  නැතිව අඳ උඩට වෙලා කතා කර කර ඉන්නවා. ඒක තමයි. කතාව.

අනෙක් දිග කෙටි කතාව තමයි අර පොතේ මාතෘකාවට දාල තිබිච්ච එක. 'භීෂණයේ මල් පෝච්චි '
ගරෙජ්වල පොඩි රස්සා කරලා, පාරවල්   හදන තැන් වල ඉඳලා හිටන් කොලුවා අරෙහෙන් මෙහෙන් වහන් වෙලා ඉන්න බැලුවත් හිතට හරි ගියේ නෑ . හොඳම ආරස්සාව තියෙන්නේ ගෙදරයි කියල ආපහු ගෙදරම ආව.

ගෙට පහල ලිඳ ළඟ කැන්ද ගස්, බීරියා ගස් වලින් මුවා වෙච්ච පුංච් පාත්ති ටිකක් ළඟ මේ හාදයා එළවලු වවන්න පටන් ගත්තා. ඒ අතරේම හිත ගියා රෝස මල් වවන්නත්. පොලිතින්  මලු වල හදපු වල් රෝස පැලවලින්  දළු රිකිලි දෙක තුනක් ආවම හොඳ වර්ගයකින්  කිනිත්තක් බද්ද කරනවා.නොයෙක් පාට වල රෝස වර්ග. මේ ෆෙයාර්. කියයි බ්ලු  මුන් කියයි, පපා මිලාන්ඩ්, මමා මිලාන්ඩ් අරකද මේකද .  සමහර ඒවා රතු පාට රෝස මලේ කළු පාට තිත් තිත් වැටිලා, එකක සුදු මලේ රතු ඉරි ඉරි. කොහෙන්ද මුට මේ එක එක රෝස ජාති හම්බ වෙන්නේ?.  සුරංගනාවියක් උනත් දීලා යනවා වෙන්න පුළුවන්.

පැලවෙලා මල් එන රෝස පඳුරු  සිමෙන්ති පෝච්චි ප්ලාස්ටික් බේසම් පොහොර උර වල ඉන්දලා  ගේ වටේට ගිහින් තියන්නේ ගොම්මන් වැටුනාම. ගේ ලඟින් යන බස් වල ලොරි වල ඉන්න හුදී ජනයා  දකිනවා දවසින් දවස ඉස්මතු වෙන සොඋම්ය මල් පෝච්චි ටික.

එත් මේ මල් පැල  දිහා හීනි සන්තොශේකිනුත් ඊටත් වඩා හද කඩා යන ශෝකයෙනුත් බලා හිටි තුන් දෙනෙක් හිටියා. කොලුවාගේ මවුපියෝ හැරුනම අල්ලපු ගමට දීග ගිය අක්කණ්ඩි. මේ තුන් දෙනාම රැ  තුන්යාමේ නිදි මැරුව. තුන් දෙනාගේම මුණු සුදුමැලි වෙලා. නින්ද ආවේ දවල් කෑමෙන්  පස්සේ පොඩ්ඩක් වෙලාවක් ඉතරයි. අක්කා දවල් දවස ගත කරේ ගෙවල් දෙක අතරේ පාරේ. කන්ද උඩින් සැක කටයුතු වහනයක් එනවනම් වෙනත් හෝඩුවාවක්  ලැබුනානම් හොඳ සෝදිසියෙන් හිටි අක්කා කැලෑ  පාරෙන් සිය බාල සහෝදරයා වහන්ගන්නාගෙන තමන්ගේ ගෙදරට එක්කාගෙන යනවා. කොලුවාගේ බොහේ රාත්රීන් ගෙවුනේ අක්කාගේ සෙවනේ.

වියවුලක ලකුණක් නැති  දවස් වල කොලුවා ගෙදරම නතර වුනා.
එහෙම දවසක, රැ  දෙගොඩ හරි ජාමේ,  මුළු ගම්මානෙම බය බිරාන්තව කලින්ම පොරවාගෙන නිදා හිටි රැ මැදියමක, නිදා නොගෙන හිටි තාත්තලා බෝහොමයක් හිටි වෙලාවක, කොලුවාගේ තාත්තාට ඇහෙනවා බර වහානයක් ඈතින් කන්ද බහිනවා. දැන් ටික ටික කිට්ටු වෙනවා. ඒ හඬ කොළ පාටයි.  මලකඩ ගඳයි.

දැන් ගේ පහු කරගෙන පහලට යනවා. සතියකට දෙතුන් දවසක් මහා රාත්‍රියේ මේ වගේ වාහන ගේ ලඟින් යනකන් හදවත ගැහෙන එක හුස්ම ගන්න එක නවත්තගෙන හිටියත් වාහනේ ඈතට ගියාම ආපහු හිතට සැහැල්ලුවක් දැනෙනවා.

මේ අම්මයි තාත්තයි එදත් පපුව නැවතිච්ච තෝන්තුවෙන් පස්සේ ආයේ සැනසුම් සුසුමක් හෙලුවා. මොකද වාහනේ හීන් සීරුවේ ගේ පහු කරගෙන ගියානේ කියලා . ඒත් නෑ . කන්ද බැහැලා  ගිය ලොකු වහානය ආයෙම හරවාගෙන එනවා. අමාරුවෙන් කන්ද නගිනවා. හඬ කොළ පාටයි . ඩීසල්  ගඳයි .

ආයිමත් ගේ පහු කරගෙන උඩහට ගියාම හුස්ම ගන්නම් කියල හිතාගෙන අම්මයි තාත්තයි හුස්ම නතර කරගෙන බලාගෙන හිටියා. දැන් කොලුවත් ඇහැරිලා.

අනේ වාසනාවන්  ඒක ගේ පහු කරන ගියා.
ඒත් ....

යාර සීයක් විතර ගිහින් එක පාර නතර උනා. කකුල් අටක්  දහයක්  ලොරියෙන් බිමට පාත් වුනා. යකඩ  අඩි තියෙන අලුත් සපත්තු. ඒ අඩි හදවත් තුනක් උඩින් බරට තිය තියා ගේ ඉනි වැට පනිනවා. දැන් ඒ බර කළු පාට අඩි ගේ ඉස්සරහ මිදුලේ.

රොබෝවෙක් වගේ නැගිටින කොලුවා ගේ පිටිපස්සේ දොර ලඟට කිට්ටු කරනවා. සද්දේ නැතිව දොර ඇරලා කැලෑ  පාරෙන් අක්කලා ගෙදරට. පිටුපස දොරට කිට්ටු කරද්දී  අම්ම පිටි පස්සෙන් තාත්තා  ඉස්සරහින්.  තාත්තා කුස්සියේ දොර ඇරලා දෙන්න හෙමින් හෙමින් වෙවුලන අත තියනවා අගුලට.

එකපාරටම ඔක්කොටොම කරන්ට් එකක් වැදුනා වගේ වුනා .

පිටිපස්සෙ දොර ලඟත් යකඩ සපත්තු හඬ.

ගෙය් කුස්සියේ මිනිස් ගුලි තුනක්. එකිනෙකාගේ  කෙෂනාලිකාවලින් රුදිරය ගලාගෙන යන හැටි දැනෙනවා.
විශ්වයේ අහඹු මානුෂික සුසංයෝගයේ නිමවුම් තුනක්, එක්ව හිඳින අවසාන තත්පර කීපයද මේ.?

දැන් දැන් නැගිය හැකි   ඇඟ හිරි වට්ටන   ‘ටක් ටක්’ හඬකින් ඉස්සරහ දොර හෝ පසුපස දොර දෙදරුම් දෙද්දී හදවත් පැලී යන්නට ඉඩ තිබුනා.

තත්පරයක් ගෙවුනා. දෙකක් ගෙවුනා.. මල් පෝච්චි පෙරලෙන හඬ, බුට් සපත්තු එහෙ මෙහෙ ඇවිදින හඬ මිස වෙන කිස්ත් ඇහුනේ නෑ .

කල්ප කාලාන්තරයක් සේ දැනුණු  විනාඩි දෙක තුනකට පසු සියල්ල නිශ්ශබ්ද වී ගියා. සපත්තු අඩි හඬ මැකී ගියා. තවත් ටිකකින් බර වහනය පිටත් වුනා. මිනිස් ගුලි තුන තුරුළු වූ ගමන්ම ටික වෙලාවක් එහෙන්මම හිටියා.  එකිනෙකාගේ ස්නායු පද්දති සම්බන්ද වී තිබුනා.  ආයේ විසිරුණා. කතා නොකරම තම තමන්ගේ ඇඳන් වලට ගොස් ඇද  වැටුනා.

පහුවදා බලන විට මිදුලේ රෝස මල් පෝච්චි බාගෙට බාගයක් අතුරුදන් වෙලා  වගේ කොලුවාට දැනුනා. එදා සිට සෑහෙන කාලයක් යනතුරු  ඔහු රෝස පැළයක් දිහා උනන්දුවෙන් බැලුවේ නෑ .

**
මේ දෙවැනි කතාවත් කියවා  ඉවර වෙලා මම  මේදිස්ට ඔරෙන්ජන් බාර්ලි එකක් වත් දෙන්න ඕනිනේ කියල නැගී හිටියා. මිනිහා කොහෙවත් හිටියේ නැ . වෙනදා ගමේ ගිහින් එනකොට නොවරදවාම ගෙනෙන කළු දොදොල් පට්ටෙවත්  සිංහල අච්චාරු බෝතලෙවත් පෙනෙන්න තිබුනේ නෑ .ඌ  නොකියාම  යන්න ඇති, මම පොතටම  ඇලිලා හිටි වෙලේ.

ආපහු උන්නු තැනටම ආවේ පොතේ ඉතිරි ටික කියවන්න හිතාගෙන . ඒත් ඒ ගමන පොත අතුරුදන් වෙලා. කොහෙවත් තිබ්බේ නෑ . ශේහ් අඩු ගානේ ලියපු එකාගේ නමවත් බලාගන්න බැරි උනානේ.

මම තාම පොත හොයනවා.

(සේයාරුව දෙව්නිගෙන්)

20 comments:

  1. මටත් කියවන්න හිතුනා. නමුත් මම පොත ගත්තේ නෑ. උඹ මාව හෙම අල්ලන්න එපා.

    ReplyDelete
    Replies
    1. මචන් උඹ ගත්තානම් දීපන්. උඹනේ ඉස්සෙල්ලම මේ පැත්තේ ආවේ

      Delete
  2. මමත් ගත්තේ නෑ ඩුඩ් තමා ගන්න ඇත්තේ

    ReplyDelete
    Replies
    1. ඉවාන් .මම කොහොම හරි පොත හොයා ගෙන ඔයාටත් දෙන්නම්

      Delete
  3. මේක කියවූ පසු මටත් ඒ පොත කියවන්න ආශාවක් ඇති වූ අතර පුංචි සිද්ධි කීපයක් මතක් වුණා.....:D

    හිටු කියලා දින නියමයක් නැතිව කැම්පස් වැහුණු ඒ දවස්වල; මටත් මා සමඟ එකම පංතියේ ඉගෙන ගත්ත මාගේ හොඳම මිත්‍රයෙකුටත් තාවකාලික රැකියා අවස්ථාවක් ලැබුණා ඉතා දුෂ්කර මෙන්ම භීෂණය රජකල පැත්තක තිබු දුම්කොළ එකතු කරන ඩිපෝවක. සති අන්තයට වෙන කරන්න වැඩක් නැති නිසා කොහේහරි ඇවිදින්න යනවා දෙන්නත් එක්ක. දවසක් අපි ලගපාත නගරයේ වූ සතිඅන්ත පොළට ගියපු වෙලාවක පොළ වටකලා හමුදාවෙන්. සිටී සියලු දෙනාම ගෝනිබිලි පරීක්ෂාවකට ලක් කළා.

    පරීක්ෂාවෙන් සමත්වූ අප දෙදෙනා වැඩි කථා බහක් නොමැතිව නවාතැනට පැමිණි පසු, මගේ මිතුරා "අප්පටසිරි අදනම් මාර බය විල්ලක් තමා බය වුනේ.." කියලා කීවා. මම ඇසුවා මොකෝ මචං එහෙම කීවේ කියලා.

    මචෝ අපි පුංචි කාලේ ඉදලා එකට හිටියේ... දෙන්නට-දෙන්න හොඳට දන්නවා.... උබෙයි මගෙයි කිසිම රහසක් කවදාකවත් තිබිලත් නැහැ තියෙන්නෙත් නැහැ... ඉතින් උබත් එක්ක මට කොහේවත් යන්න කිසිම බයක් නැහැ... උබ මම ගැන කිසිම අහිතක් නොහිතන බව දන්න නිසයි මම මෙහෙම කියන්නේ... කරුමෙටවත් අර බිල්ලෝ එක්ක උබව කැම්පස් එකේදි යම්තමින්වත් දැකපු මතකය තියෙන එකෙක් හිටියානම්....

    කාලේ විදිහට කැම්පස් වීම පමණක් ප්‍රමාණවත් නිසා මාගැන ඇතිවූ අනුකම්පාව හේතුවෙන්ම ව්‍යාකූල වී ඇති මගේ මිතුරාගේ කථාව අවසානයේ මා තුල ඇතිවුයේ .... කිසිවකට සම්බන්ධ නොමැති මා පමණක් නොව; එහිදී මා සමග සිටී මාගේ අහිංසක මිතුරාටත් අත්වෙන අවසනාවන්ත තත්ත්වය මොනතරම් නම් සෝචනීය වේවිද කියලා....

    ReplyDelete
    Replies
    1. ගෝනි බිලි පරීක්ෂණයකට ලක් වෙලා නිදහස ලැබුණු එක ලොකු දෙයක්. මමත් දවසක් හැඳුනුම්පතක් නැති නිසා කඳවුරකට පටවාගෙන යන්න හැදුවා.

      Delete
  4. උන් හිටි තැන් අමතක ව තත්පර කීපයක භීතිය එ ලෙස ම විඳ ගතිමි.

    ReplyDelete
    Replies
    1. ඒත් කඳු භීතියට පසු ඇති වූ කලකිරීම ගැන මා මෙහි කිසිවක් ලියා නෑ . අදටත් ඒ ගැන ලියන්න වචන මදි පාඩුයි.

      Delete
  5. පොත අතුරුදහන් වී ඇත...!!!

    දෙවියන්ට ස්තූතිවන්ත වෙයන් පොත අතුරුදහන් වන වෙලාවේ, ඒක උබේ අතේ නොතිබුණු එක ගැන :D

    ReplyDelete
    Replies
    1. එත් මචන් මන් හිටියා කියලා ඒ වගේ පොතක් ලියන්න කියලද

      Delete
  6. තිලකේ.......මේ හා බැඳුණු අප්‍රමාණ භීතියකට යටත්වූ අයගේ කතාවක් අපේ පවුලේත් තියෙනවා. මතක්වෙන හැම වෙලාවකම තදබල කළකිරීමක් ඇතිවෙනවා.

    ReplyDelete
    Replies
    1. මචං .මේ වගේ භීතියකටත්, කලකිරීමකටත් ලක් වූ පරපුරේ වගකීම තමයි ආයේ දකුණේවත් උතුරේවත් කාටවත් එවැනි අත් දැකීම් ලැබීමට ඉඩ නොතැබීම. ලියමන් හා හරවත් සංවාද වුනත් ඒකට උදවු වේවි. මන් දන්නවා මේ වගේ ලියමන් සුන්දර නෑ . එත් අපි ලියමු.

      Delete
  7. එහෙමත් කාලයක් තිබුන නේ,
    වුඩො පොත් දීපන්

    ReplyDelete
  8. භීෂණය ඔය කොයි කවුරුත් වැපිරුවා. එහි දුක් වින්දේ අහින්සකයෝ.

    ReplyDelete
  9. හිතවත
    මා ඒ පොතේ එන කතා කීපයක්ම මේ වන් විට කියවා හමාර කළා. අතිශය සංවේදී රචනා.
    පොතේ ඉතුරු කතාත් ලියන්න.
    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මම ඉතිරිය ලියාගෙන යනවා. ඔබේ දිරි ගැන්වීම ගැන ගොඩක් ස්තුතියි

      Delete
  10. ඒ පොත මාත් හොයන්න ගත්තා.....

    ReplyDelete
  11. විප්ලවය සහ විසාඛා සිටුදේවිය ගැන මට මතක් උනා භීෂණයේ මල් පෝච්චි කිව්වම.
    "සූසැට බරණින් සැරසීලා... නා කපනා වැසි වැටෙන වෙලේ... විසාඛාතොමෝ පැමිණි විලාසෙන්.. මට එන්නට බෑ... නිසංසලේ..
    පමා උනෝතින් මන්දාරම් වැහි කඩාපු දර ටික තෙමා දමාවී......."
    කියල කියන්නේ විප්ලවය කියල කිව්වේ අපේ තාත්තා.
    සින්දුව ලිව්වේ අපේ ගමේ (බෙන්තර ඇල්පිටිය ) තාත්තගේ යාලුවෙක්ලු. විප්ලවය ගැන කවි සිංදු ලියන්න තහනම් කාලේලු මේ වහෙන් ඔරෝ සින්දුවක් ලිව්වේත, විප්ලවය Now or Never කියල...
    අපේ තාත්ත 'බර සමසමාජ කාරයෙක්' ඒකාලේ. බාප්පා jvp. බාප්පාව ගෝනිබිලි පරීක්ෂණයටත් අරගෙන ගිහිල්ල. වෙලාවට බිල්ල ඔලුව හොලවල නැහැ. මට අවුරුදු 7යි . මට වැඩියෙන්ම මතක ඉස්කෝලේ වහනවා විතරයි. දවසක් අපේ ගෙදර army එකෙන් ඇවිල්ල ඇඳන් යට හිටන් බැලුවත් මතකයි යන්තම් වගේ . රුසියානු ලමාපොත් සහ රුසියානු පරිවර්තන කියවල බොහොම සුන්දර ඒවගේම රැඩිකල් චින්තනයක් ලැබුන කියල මට හිතෙන්නේ.. ස්ටෙප්ස් තණබිම් ගැන කියවල එහෙම තැන් බලන්න, එහෙම තැනක ජීවත් වෙන්න දැකපු හීන හින්දමයි පිටරටජීවත් වෙන්න උණක් ආවේ කියල මට හිතෙන්නේ.

    ReplyDelete