අපේ ගේ ඉස්සරහ
ජනේලය ඇරිය හැටියේම පෙනෙන චුට්ටන් උණ
පඳුර විසිරුණු කොළ වට්ටියක් දරාගෙන බට බට බට ගොන්නක් උඩට විහිදුවාගෙන සිටියි.
එය විසිතුරු
මල් කඩයකින් මිලදී ගෙනත් ඉන්දුවේ දැන් අවුරුදු හය හතකට ඉස්සරය. මේ උණ පඳුර පේන
මානයේ සිට සෙල්ලම් කරන්නට අපේ
දෝනියන් කැමතිය.
ලොකු දෝනී දෑවුරුදු ළදරියක්ව සිටියදී අප කොහේදෝ යද්දී පාර අයිනේ ළඟ ළඟ පේලියට උණ බට හිටවා පිදුරු සෙවිලි කර තිබු එළවලු කඩයක් ළඟ නතර කරන්නයි ඇවිටිලි කළාය . ඉන්පසු බොහෝ වෙලාවක් උණ බට අල්ල අල්ලා කොහේදෝ චමත්කාර ලෝකෙකට ගිය ඇය එතැනින් ආපසු ආවේ සැහෙන වෙලාවක් අරගෙනය.උපතින්ම ලැබුණු උරුමයක් සේ ඇයට උණ ගැන උනක් තිබේ, ඉතින් ඇය ගෙදර වත්තේ කුඩා උණ පඳුර ලඟට යන්නට ආසා කිරීම අහන්නත් දෙයක්ද?
ඒත් ඇයට
උණ පඳුර ළඟටම යන්නට අවසර නොලැබෙයි. දවසක්
උණ පඳුර අස්සේ සිට එලියට ඇදී ආ ගැරඬි පැටියෙකු අපේ රඹුටන් ගහේ සිටි ඇටි කුකුලා පාත් වී ඩෑහැ ගන්නා හැටි ඇයද දුටුවාය. ඒ
නිසා සෙල්ලම් බෝලයක් උණ පඳුර ලඟට ගියත් ඇය
තනියම ගොස් ඇහිඳ ගන්නේ නැත.
උණ පඳුරක් හෙවනේ ගහල කොළ ගොල්ලේ සැඟවුණු වෛවර්ණ රබර් බෝල මෙන් උණ පඳුරු හා මුසු වූ මගේ කතන්දර සැඟවී තිබෙයි, මම ඒවා කාටත් හොරින් වරින්වර බලා අල්ලා චමත්කාරය විඳ ආයෙමත් එතැනම දමා එන්නෙමි.
ඉන්දියාවේ කේරලයේ රාජ්‍ය බම්බු සංස්ථාව කියා එකක් තිබේ. උණ බම්බු වලින් සෑදු අත්කම් කැටයම් පමණක් නොව ගේ දොර බඩු මුට්ටු පවා බොහෝ සෙයින් තිබෙන එරට වාසී මාගේ මිතුරකුටද උණ ගැන මහත් උනක් තිබේ. ඔහුගේ ගම්මානෙය් ගඟ අවට තිබුණු අනන්තවත් උණ පඳුරු ගැන ඔහු නිතර කියවයි. ගිය අවුරුද්දේ ඔහු මට ලස්සන උපන් දින කාඩ් එකක් දුන්නේය. උණ පඳුරු හෙවණක වාඩි වී දරුවෙකුට කිරි දෙන මවකගේ සෙනෙහබර මුහුණකි. ඊට දකුණු පැත්තේ මෙසේ ලියා තිබිණි.
'ඔබ අඬද්දී අම්මා සිනාසුන එකම දවස ඔබ උපන්
දිනයයි'
ඔබට සුබ උපන් දිනයක්
වේවා!!.
මේ කතාව මම
කොතෙක් වාරයක් කියවා තිබුණත් අම්මා ගැන කතාවත් උණ පඳුරු වල කතාවත් එක සැරේ මතක්
වෙද්දී හීන් සැරේ මුවට හිනාවක් නැගුනේය. ඔය කතාව ඇත්තම නොවෙයි.මම ඉකි ගසා හඬද්දී
මාවත් තුරුළු කරගෙන අපේ අම්මා හිනා වුනු තව දවසක් තිබු බව මම දැන සිටියෙමි.
අවුරුදු කාලය
ලං වෙද්දී අපේ අයියලා මේරු උණ ගසකින්
පුරුක් තුන හතරක් කපා ගෙනෙන්නේ උණ වෙඩිල්ල
හදන්නටය. අවුරුද්ද පුරා සතෙන් සතේ එකතු කළ පුංචි මැටි කැටය බිඳ සල්ලි එක්කාසු කර
ලාම්පු තෙල් කඩෙන් ගේන්නේ උණ වෙඩිල්ල
පණ ගැන්වීමටය.
කාල
තුවක්කුවක් අටවන්නාක් මෙන් ලී කරුවක් උඩ උණ දණ්ඩ
රඳවා ගත් විට. එහි එක කොනක් බිමය එකක් ඈත කඳු වළල්ල දෙසට එල්ල වී කරුව
උඩ රැඳවී තිබෙයි. බිම ගෑවෙන කෙලවරේ පුරුක් බිත්තිය සිදුරු කරන්නේ නැති මුත් වෙඩි පිටවන පැත්තේ පුරුක් අතර
බිත්ති බිඳ තනි කාල තුවක්කු බටයක් හදා
ගැනෙයි. බිම ගෑවෙන පැත්තේ මතුපිටේ අඟලේ
අඟලේ සිදුරක් හාරා ගන්නේ මුනිස්සම්
කෙටීමටය. මුනිස්සම් යනු වෙන මොනවත් නොව ලාම්පු තෙල්මය.
උණ කොටයේ යට පැත්තේ ලාවට ගිනි මාලයක් ගසා කොටය රත් වූ පසු උණ වෙඩිල්ලේ සිදුරට ගිනි පුලින්ගුවක් ලං කරද්දී වෙඩි පත්තු වෙන්නට පටන් ගනී. මුලින් මුලින් පුස් වෙඩි 'බෑන්'සද්දෙන් නිකුත් වුවද උණ කොටය හොඳින් රත් වෙද්දී කඳු වළලු දෙවනත් කරන වෙඩි හඬ නැගේ. දැන් මොන තරම් අනතුරුදායකදැයි හිතුනත් මේ සෙල්ලම හොඳ පරෙස්සමින් කරන්නට කොලු කුරුට්ටෝ දැනුවත් වී සිටි නිසා උණ වෙඩිල්ල මුල් වූ අතුරු ආන්තරාවක් ගැන මා අසා තිබුනේ නැත.
අපි කඳු මුදුන්
වලට ගොස් වැඩිම සබ්දය පිටවන උණ වෙඩිල්ල
අයිති කාරය ගැන සෙව්වෙමු.. පහුවදා ඉස්කෝලේ කතා කරන්නෙත් උණ වෙඩි ගැනය. ඒ අවුරුද්දේ
ගමේ කොළු රැල අතර වීරයන් වෙන්නේ
සද්දෙන්ම හඬ පිටවෙන උණ වෙඩිල්ලේ අයිතිකාරයන්ය. තරගයක් නෑ කිව් ගමේ
තරගය.
අයියා හා
යාළුවෝ උණ වෙඩි පත්තු කරද්දී අපි අත් උදවු කාරයෝය. ඒ වෙඩිල්ලෙන් පසු උණ බටයේ පිරෙන
දුම කුඩා සිදුරට මුව ලං කොට පිඹ ඉවත් කරන්නටය.
වෙඩිල්ලට ගිනි
පුලින්ගුව ලං කරන කට පුංච වටේට දැලි තට්ටු බැඳෙයි.
දවසක් මෙහෙම
බැඳුනු දැලි තලියක් ඇඟිල්ලට ගෙන මම මුහුණ පුරා ගා ගත්තෙමි. හීනියට උඩු රැවුලත්
ඇඳ ගත්තෙමි.
දැන් බලා
සිටින සියලු දෙනාට එය විකට ජවනිකාවකි, මම රඟමි.
අයියා හා යාළුවො උණ වෙඩි පත්තු කරද්දී මට කවටකම් කරති. අම්මා හා අක්කලාත් හැන්දෑ
අඳුර පාත් වෙන මිදුලේ දසුන
බල බලා සොම්නස් වෙති.
ඔය වෙලාවේම අපේ තාත්තා කොහේදෝ දුර ගමනක් ගොස් බඩු මලු උස්සගෙන හොඳටම මහන්සියෙන් ගෙදරට ගොඩ උනේය. ඔහුගේම වචනවලින් කියනවානම් තාත්තා එදා සිටියේ උරූ ජුවල් ගිහිල්ලාය. ඒ කාගේදෝ අකටයුත්තක් ගැන උරණ වීම නිසාය.
මේ කිසි දෙයක්
නොදත් පුංචි පහේ මන් මිදුලට ආ හැටියේම දැලි තවරා රැවුල ඇඳ ගත් මුහුණ තාත්තා වෙත පෑවේ ඔහු සතුටු කරන්නටය.
එත් මට ලැබුනේ බලාපොරොත්තු වුණු ප්‍රතිචාරය
නොවේ.
'පොඩි පුතා මොන විකාරයක්ද ඔය. මුනේ දැලි තරියක් ගාගෙන . ගිහින් හෝද ගන්නවා ගුටි නොකා.'
මගේ යටි තොල පෙරළී ,මුහුණ විරුවන් වී කඩා හැලුණු කඳුළු පේලියට රැවුල හේදී ගිය නිසා ලිඳ ලඟට යන්නට ඕනෑ වුනේ නැත.
මම ඒ වෙනුවට
කලේ අම්මාගේ තුරුළට පැන ඇති තරම් හැඩීමය.
මාව ලෙහි හොවාගෙන අම්මා මා සනසද්දී මට තවත් අනාගත අනතුරක් ගැන හැඬුම් අස්සේ කල්පනා වුනේය. ඇඬිල්ල නැවැත්වූ. මම අම්මාගේ මුහුණ දෙස බැලුවෙමි.
'අම්මේ;
'අයි මයේ පුතේ'
චිමිනි ලාම්පු
එළියෙන් ශෝබමානව තිබුණු අම්මාගේ මුහුණ දෙස බලාගෙනම මම මෙලෙස ඇසුවෙමි.
'එතකොට අම්මේ
කවදාහරි.... මට නැවත ඉකි ගැසුනේය.
ඉකිය අතරින්
මම ඉතිරි ටික කියා ගත්තෙමි.
' කවද හරි මගේ මුනේ ඇත්තටම
රැවුල ආවොත් එදත් තාත්තා මට බනියිද?
අම්මා මා
තදින් තුරුළු කරගෙන හයියෙන් සිනාසෙන්නට පටන් ගත්තාය.
මම දිගටම
හැඬුවෙමි .
ඇය දිගටම
සිනාසුනාය.
(Picture: indianetzone.com)
මචං මෙතන බම්බු කතාවට වඩා බොහෝම රසවත්, ඇඟ හිරි වැටිලා යන සමාජමය කතාන්තරයකුත් තියෙනවා. ඒක නම් පට්ට රහයි...
ReplyDeleteබම්බු කතාව කවරෙට දැම්මේ මචන්. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට
Deleteඅමන්දානන්දනීයයි..
ReplyDeleteගොඩක් ස්තුතියි කඳු.මේ ඔයාට හුරු පුරුදු කඳුකරේ කතාවක් තමයි
Deleteඋඹත් රවියට , හැලපයට , මාරයට , එහා ගිය කතා කාරයෙක් වෙයි වාගේ , බම්බුවක් අස්සේ දාලා හැදුවානේද කුරහං පිට්ටුවක්
ReplyDeleteඉතින් කියහන්කෝ කුරක්කන් පිට්ටුව රහයිද කියලා.
Deleteඋඹ කොහොමද බං මෙච්චර ලස්සනට ලියන්නේ? මම මුලදි කියන්න හිතාහිටි එක කමෙන්ට් එකක් වත් වලංගු නෑ දැං. මම කියන්න හිටියේ මමත් ආසම ගහක් තමයි උණ පඳුර කියලා.
ReplyDeleteඋණ ගැනත් ලිව්වනේ බන්, ගොඩක් ස්තුතියි කොමෙන්ටුවට
DeleteGood story ayya...
ReplyDeleteThanks a lot malli
Deleteමචෝ; ලියවිල්ල සුපුරුදු ලෙසම විශිෂ්ටයි!
ReplyDeleteමට පුංචි දෙයක් අහන්න තියෙනවා උබෙන්... උබ ලියන මේ ලිපි අම්මා කියවනවාද? විශේෂයෙන්ම මේක අම්මට බලන්න ලැබිලා නැත්නම්, උබ ලංකාවට ගියපු වෙලාවක පෙන්නපන්..
මොකද මම එහෙම කීවේ...... එදාට අනිවාර්යයෙන්ම සිනහවත් එක්කම පුංචි සතුටු කදුලක් අම්මාගේත් උබෙත් දෑස් අගට එනවා එනවාමයි. එදාට උබේ සිතේ ඇතිවන හැගීම් ලස්සනට අකුරු වෙලා මෙවැනිම අලංකාර ලිපියකින් අප වෙත තිලිණ වෙනු ඇතැයි සිතුනු කෑදරකම හන්දයි..:D
අම්මා හා තාත්තා මගේ බ්ලොග් එක කියවන්නේ අපේ පොඩි උන්ගේ උදව්වෙන්. ගිය සැරේ ලංකාවට ගියාම මමත් එතන හිටියා . උඹ කියපු දේ තමයි. සිද්ද වෙන්නේ. මේ කතා බොහොමයක් අපේ ගෙදර සතුටු සාමීචි වලදී නිතර නිතර මතක් කරන පරණ කතා මුල් කරගෙන ලියලා තියෙන්නේ. මම හිතාගෙන ඉන්නේ වැඩි කල් නොයවා අම්මලාට කියවන්න පුළුවන් පොතක් හැටියට ටිකක් පල කරන්න. අනේ ස්තුතිය් මචන් නිතර මම උනන්දු කරනවාට.
DeleteEkanayaka mahaththaya,
ReplyDeleteHARIMA LASSANAI, ETHTHATAMA OBE NIRMANA GODAK EWA RASAWINDINNE API APE ATHEETHETA GENIHILLA APEMA ATHDEKEEMAK WIDIHATA
ETH MATA THIYANA DUKA APE PODI UNTA ME WAGE DEYAK HUDU MANAKKALPITHA KATHAWAK WITHARAK WEEMA......
PRADEEP (KNE)
ගොඩක් ස්තුතියි ප්‍රදීප්. අපිට අතීත කතා කියවනකොට රස විඳින්න පුළුවන් වෙන්නේ අපේ ජීවිතේ කොටසක් වෙන සිදුවීම් තිබ්බ තරමටයි. අපේ පොඩි උන්ට ඒ අත් දැකීම් නැති නිසා ඔවුන් මේවා මන්ක්කල්පිත කතා ලෙස දකීන එක සාදාරනයි. ඒගොල්ලන්ගේ ලෝකයේත් සුන්දර දේවල් මේ මොහොතේ සිදුවෙමින් පවතිනවා. කාලයක් ගියාම අපි වගේම මතක් කර කර රස විඳීවි.
Delete//' කවද හරි මගේ මුනේ ඇත්තටම රැවුල ආවොත් එදත් තාත්තා මට බනියිද?'
ReplyDelete....//
අනිවාර්යයෙන්ම පුතේ..! එදාට තාත්ත මීට වඩා උඹට බනිනවා. ඒත් වෙනසකට තියෙන්නේ ඒ එකක්වත් උඹට ඇහෙන්නේ නෑ. ඒවා ඇහෙන්නේ තාත්තගෙයි මගෙයි හදවත් වලට විතරයි. අද උඹ මේ කෙරුවේ විහිළුවක් වුණාට එදාට උඹ කරන ඒව කොහෙත්ම විහිළු වෙන්නේ නෑ. අද උඹ කළේ විහිළුවක් කියල තාත්තට නොතේරුණා වගේම උඹ එදාට කරන ඒවා විහිළු නෙමේ කියල උඹට තේරෙන්නෙත් නෑ. එහෙම තේරෙන්න උඹත් තාත්ත එදා ඉන්න වයසට යන්න වෙනවා. ඒ හින්ද හොඳට මතක තියාගනින් අද කඳුළු වලට ඔය රැවුල හේදුනාට එදාට එන කඳුළු වලට ඒ රැවුල හේදෙන්නෙ නැති විත්තිය....
රැවුල ආපු කාලෙක කතාවක් මෙතන තියෙනවා බන්දුල
Deletehttp://thilakasitha.blogspot.com/2013/05/1987-88.html
කියවලා තිබුණා...! බාබර්ට තේරුණ 'විහිළුව' පුතාට නොතේරෙණ බව අම්ම එදාම දැනගෙන හිටියා. ඒකයි මෙහෙම කිව්වේ....!
Deleteඇත්තටම රජෝ උඹනම් බ්ලොග් ලෝකයටම තිලකයකි.
ReplyDeleteඅනේ මන් දැන් නෑ අරූ ඔන්නොහෙ ලියනවා . බොහොම ස්තුතියි නිතරම මා දිරි ගන්වනවාට
Deleteපට්ටයි ඔයි.අන්තිමට නිකන් හිත් නැවතුනාද මන්ද
ReplyDeleteබොහොම ස්තුතියි යාලුවා
Deleteහරිම ලස්සන කතාවක්... අම්මා කියන ඒ අකුරු තුන විස්තර කරන්න දරපු පුංචි ලස්සන උත්සාහයක්!
ReplyDeleteබොහොම ස්තුතියි යාලුවා
Deleteඋණ පදුරු උණ බම්බු එක්ක රසවත්ව පටලවනලද මෙහි සඳහන් ඔබගේ අද්දැකීම් කිහිපය ලියවී ඇති අපූරුව හරියට නිකම් හුයකින් ඇමිණුව මුතු ඇට පෙලක් වගේනෙ.... හරිම ලස්සනයි - උපරිමයෙන්ම රසවින්ඳෙමි. .... බොහෝම ස්තුතියි!
ReplyDelete//මාව ලෙහි හොවාගෙන අම්මා මා සනසද්දී මට තවත් අනාගත අනතුරක් ගැන එක වරම මතක් විය. //
හැබෑ නේන්නම්... එක්තරා කාලයක් තිබුනා නොවැ ඔහේ වැවෙන රැවුල හන්දා (මම කීවේ කරුමෙකට වගේ එක දවසකටවත් ඔය වැවෙන රැවුල කපන්න අමතක වුණා නම්); කිසිදු භේදයකින් තොරවම කොයි කාටත් අම්බානකට පරිප්පු කන්නට වෙච්ච..:(
බොහොම සන්තෝසයි මෙතරම් රස වින්දාට . බොහොම ස්තුතිය් ඇවිත් කියවා මොකුත් ලියලා යනවාට
Deleteකතාව කියවල ඉවරවෙද්දි හිත හිරිවැටුණ වගේ මොකක්ද උනා...මාතලන් කියල තියෙන කතාවට මාත් එකඟයි.
ReplyDeleteඔය සංවේදී කමට මම හරි කැමතියි.
Deleteබහිතේ මෙදා පාර උඹේ ලියවිල්‍ල ලියවිලි අතර ලියවිල්‍ලක්. බොහොම රසවින්‍දා. උඹේ කතාවට හැමදාම ටීකා ලියන මට උණ බම්‍බු ගැන මගේ කතාවක් මතක් වුනා.
ReplyDeleteඑතකොට මට මට අවුරුදු හතරක් පහක් ඇති. අපි ජීවත් වුනේ කඳු ගැටයක් මුදුනෙ තිබුනු ගෙදරක. අවට ගල් තලාව චමත්‍කාර ජනක තැනක්. මම කොතෙකුත් මේ අක්‍කර පහ හයක් වුනු වට පිටාවෙ දුව පැන්‍නත් වැඩි ඈතකට ගියේ නැහැ. වෙසක් දවස් කිට්‍ටුවදවසක් දා මට ඇහෙන්‍න පටන් ගත්‍තා නොනවත්‍වා ඇහෙන "බුම් බුම්" සද්‍දයක්. වැඩි ඈතක නෙමෙයි මේ අත ලඟම. මම හෙමි හෙමින් සද්‍දෙ ඇහෙන පැත්‍තට ඇදෙන්‍න පටන් ගත්‍තා. දැන් මම වෙනදා කරක් ගහන මගේ බල පුදේශය පහු කරලා. බුම් සද්‍දෙ දැන් ලඟ ලඟම ඇහෙනවා. ඇක්‍ටේරියා පඳුර්‍කින් මෑත් වුනු මට පෙනුනෙ බිම ඉඳගෙන මොනවද කරන වැරහැලි ඇඳගත්‍තු කොල්‍ලො දෙන්‍නෙක්. එකෙක් සැරෙන් සැරේ පාත් වෙලා බටයකට පිඹිනවා, අනිත් එකා ගින්‍දර තියෙන කෝටු කෑල්‍ලක් එතනට ලං කරනකොටම බටේ කෙළවරෙන් මම අර හොය හොයා ආපු "බුම්" එක එලියට එනවා ලස්‍සන දුම් වලල්‍ලක් එක්‍ක. මම මේ සෙල්‍ලම ටික වෙලාවක් හැංගිලා බලාගෙන ඉඳලා ගෙදර ගියත් ඒ ගැන මොකුත් නොකීවෙ මම නොයා යුතු දුරක් තනියම ගෙදරට හොරෙන් ගිය නිසා.
ඉංජිනේරු පීඨයෙ අවසාන වසරෙ උගන්‍වන "කොම්‍ප්‍රෙසිබල් ෆ්‍ලුයිඩ් ෆ්‍ලෝ" සම්‍බන්‍ධ කුපිපියක් දෙන වෙලාවක මට එක පාරටම මේකෙ තියරිය ඔලුවට ආවා. කොම්‍බස්‍ටිබල් මික්‍ස්‍චර් එකක් දහනය කිරීමෙන් ඇතිවෙන තෙරපුම සහිත වායු වේගය throat එකක් හරහා ක්‍ෂනිකව යැවීමෙන් මැක් නම්‍බරය = 1 වීමෙන් එදා අර කොල්‍ලෝ දෙන්‍නා කරේ සබ්‍සොනික් ශොක් එකක් ඇති කිරීම බව මට එක පාරටම තේරුනා. මේක පසුව ලමයින්‍ට උගන්‍නන අතරෙ මට ඕනැ උනා මගේ අනුමානය හරිද කියල බලන්‍න. අපේ ආවතේව කවදත් කරපු අපේ ගුණරත්‍න මගේ කීමට පුරුක් පහක් ඇති උණ බම්‍බුවක් කොහෙන්‍ද හොයාගෙන ආවා. මම ඇතුලත පිටත ඩයමීටර් මැනලා පුරුක් දිග මැනලා කොම්‍බස්‍චන් චේම්‍බරයේ පරිමාව අරගෙන, සුලු කැලොරිමෙට්‍රික් ගණනකින් ලාම්‍පු තෙල් සහ වායු දහනයෙන් M=1 ගන්‍න බැරි බව දැනගත්‍තා. ලාම්‍පු තෙල් වෙහුනට ඩීසල් දැමීමෙන් මට උවමනා තෙරපුම ගත හැකි බව දැනගත්‍තට පස්‍සෙ අපි වැඩේට බැස්‍සා. පළමු වෙඩිල්‍ල විද්‍යාගාරය දෙදරවාගෙන පත්‍තු උනා. දෙවැනි වෙඩිල්‍ල ඊට එහා. මහාචාර්‍ය ශාන්‍තිනී දුවගෙන ආවා බලන්‍න. ඇය වෙඩි බලමින් විනෝද උනේ පොඩි ලමයෙක් වගේ. හතරවෙනි වෙඩිල්‍ල වෙනකොට බටේ රත් වෙලා. ඒ ඩීසල් වෙඩිල්‍ලෙන් ගොඩනැගිල්‍ලම දෙදරා ගියා. මේස උඩ තිබුනු සමහර දේ බිමට වැටුනා. නවරත්‍න දුවගෙන ආවා... "අන්‍න සෙකුරිටියක් කළබල වෙලා මැඩම්". Who cares? We love this!" ඇය කිසි දෙයක් ගණනකට නොගෙන කිව්‍වා.
රුවන්........උඹ හිතන්න එපා මම හැම ත්තකටම ඇඟිලි ගහනවා කියලා. මචං රුවන්...බ්ලොග් කතන්දරේ මේ වෙනකොට, කියවන එවුන් බොහෝමයක් අය, පෝස්ට් එක කියවලා කමෙන්ට් එකක් දානවා හැර (සමහරුන් නොකියවාත් )ලියන්නා මතුකරන්නට උත්සාහ කරන දේට අදාල සාකච්ඡාවක් නොකෙරන තරම්ය.
Deleteමා මේ දේ කියන්නට උත්සාහ කරේ රුවන්....උඹට උඹ හිතේ තියෙන දේවල් කියන්නට බ්ලොගක් හදාගන්නට දිරි දීමකටය. නැත්නම් උඹගේ වටිනා අදහස් කියවන්නේ හෝ ඒවාට උත්තර දෙන්නේ බ්ලොග ලියන්නා සහ උඹ පමනක් නිසාය. වරදක් නොසිතන්න. තොටද බොහෝදේ කියන්නට ඇත.
අරූ උඹ ඉතා දයාබරව මතක් කරා වගේ රුවන් තමන්ගේම බ්ලොගයක් පටන් ගන්නවා දකින්න අපි කවුරුත් ආසාවෙන් බලා ඉන්නෙමු. එතකොට උගේ හරබර රසබර අත්දැකීම් මීට වැඩ වැඩි පිරිසකට කියවන්නට වාසනාව ලැබෙනු ඇති . අනෙක් අතට ඌ මේ ලියන ටීකාව මොන විදිහකින් හෝ දිගටම ලියනවා දකින්නට මම ඉතා කැමතිය. එකම සමයෙක එකම විදිහේ අත් දැකීම් ලත් උගේ ටීකාව මගේ බ්ලොගය විචිත්‍ර කරන බව මට සිතෙයි.
Deleteහිතලා බැලූ කොට අරූ කියාපු දේ හරියටම හරි. හිත නොතැලෙන විදිහට ඇත්‍ත පෙන්‍නල දුන්‍නට බොහොම ස්‍තුතියි අරූ.
ReplyDeleteaththatama me katha niyamai.ada paththrawala tiyena evata wedidiya mewa koitharam lassanada? avvviyajada .lipan pathuru yanakam liyapan..umbata jaya......
ReplyDeleteමචන් මහේෂ් .බොහොමත්ම ස්තුතියු
Deleteමචං අනෙක් ඒවා වගේම කතාව පංකාදුයි , මට හිතා ගන්න බැරි දේ තමයි මේ ගොඩක් සිදුවීම් ජීවිතය එක්ක බැඳුනු ඒවා උනත් ඒ සම්බන්ධ හැම පොඩි දේත් උඹට ලස්සනට මතක තියන එකයි. මොනවා වුනත් උඹගේ මේ ලේඛන හැකියාව තව තවත් වර්ධනය වේවා කියලා ප්‍රර්ථනා කරනවා. ජය වේවා.
ReplyDelete
Deleteතැන්කිව් මචන් මං බලන්න ආවාට. ඒ කාලේ විස්තර මේ තරම් මගේ මතකේ තියෙනවා කියලා මමවත් දැනගෙන හිට්යේ නෑ. ලියන්න පටන් ගත්තම තමයි ඒවා ඒ හැටියෙන්ම මතක් වෙන්නේ.
වෙනදා ඇවිත් හොරාට යන එකේ වචනයක් කියල යන්නම හිතුනා අද නම් හාපුරා කියලා.. පරණ මතක අලුත් කරන සුන්දර ලියැවිල්ලක්..!
ReplyDeleteGreat
ReplyDeleteඋණ ගැන උන තියන අය අස්සේ රුවුල් ගැන උන හැදුන කතාව කියෙව්වා. ඔය පිරිමි ළමයින්ගේ රැවුල් එන කාලෙට එයාලට මුහුණ පාන්න වෙන අකරතැබ්බි ගැනත් ලියන්න. ඉස්කෝලෙ කොච්චර නම් රැවුල් ගැන ප්‍රශ්න එනව ද. ඒ ගැන මුලදි මට තිබ්බෙ කුතුහලයක්. රැවුල් වැවෙන්න ගන්නෙ ඇයි කියන සම්පූරණ තියරිය දැනන් හිටියත් යොවුන් පිරිමි ළමයි රැවුල නිසා මුහුණ දෙන ප්‍රශ්න මට අලුත් වුනේ මට සහෝදරයො නැති නිසාත් , මම බාලිකා පාසලකට ගිය නිසාත් වෙන්නැති......
ReplyDelete