Sunday, September 20, 2020

විසි අට වෙනි කොටස - අටවිසි මහල පොත නිකුත් වෙයි

 


(මේ පලවන්නේ අටවිසි මහල නවකතාවේ විසි අට වෙනි කොටස නොහොත් අවසාන කොටසයි. මින් පෙර කොටස් සියල්ල මෙතනින් .  මේ අවසාන කොටස කියවීමට පෙර කල් වේලා අරගෙන මුල් කොටස් ටික කියවන්නේ නම් වඩා හොඳින් මා ලියු දෙය රස විඳිය හැකි  බව මට විශ්වාසය  )

ලුත වැඩ නිම කල දෙමහල් නිවසේ වහළටත් වඩා අඩි දහයක් ඉහලට නැග්ග  තැන තිබෙන සිමෙන්ති අට්ටාලයේ පසෙකින් විශාල ප්ලාස්ටික් වතුර ටැංකියක් විය අනෙක් පැත්තෙන් කුඩා පුටු දෙකක් හා බෝගන්විලා  පඳුරේ අතු ඉති  බදාගත් අත්වැටකි

මුරුගසන් වරුසාව ඇති දවසක  මිස අනෙක්  සෑම සැන්දෑවක පාහේ  ගෙහිමියා මේ එක් පුටුවක වාඩි වී දෑත් ළයට  බැඳ උජාරු මුහුණින් උතුරු පස වෙරල තීරයේ  පෙනෙන ගොඩනැගිල්ලක් දෙස බලා සිටීම සුලබ දසුනකි . අද  ඔහු අතට පොතක් ලැබී ඇත .  ඒ අටවිසි මහලයි .කතුවරයා පේරාදෙණිය ව්ශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ කථිකාචාර්ය අංජුල සිරිමේඝය . 

පිදුම මෙසේවිය .

" සමබිමක් සොයා වෙහෙසීම අත්හැර   අටවිසි මහල් තන්නන්ට ගල්වැලි අදින අපේ කාලයේ තරුණයන්ට " 

ඒ වචන කියවද්දී  මනෝරන්ජන්ගේ මුහුණේ මදහසක් මැවුනේය . පෙරවදන දුටු පසු  ඒ සිනහව සෝපාහාසය මුසු  එකක් බවට පෙරැලී ඔහුගේ මුහුණේ සෑහෙන වෙලාවක් නොවෙනස්ව  තිබුනේය . 

තමාගේ ඉතාම සමීප අත්දැකීම් මේ පොතට එකතු  කර ඇති බව කතුවරයා ලියා තිබිණි .  භීෂණ සමයේ තහනම් දේශපාලයට යොමු වන්නට කොල්ලන්ට කෙල්ලන්ට ඕනෑ තරම් හේතු කරනා තිබූ  අතර ඒ දේශපාලනය අතහැර පලා යාමට ඊටත් වඩා හේතු තිබිණි . මේ කතාවෙන් කියන්නට උත්සහ කරන්නේ එකී දේශපාලනේ පෝෂණය කර රටින් පලා ගිය තරුණයෙකුට  කලකට පසුව  ඊට ගොදුරුව යම්තමින් දිවි බේරා ගත් ගම්බද  තරුණයෙක්  එකම වැඩබිමකදී හමු වීම ගැනය . ඔවුන්  අලුත් ජීවිතය දෙස බලන ආකාරය යි. අනෙක් අතට ලෝකයේ තවත් කලාප දෙකක උපන්  යුවලක්ද මේ කතාවට මුසු කිරීමෙන් ඒක දේශීය සිතුවිලි වලින් ඔබ්බට පාඨකයා  රැගෙන යාමට උත්සහ කළ බව ඔහු ලියා තිබිණි .

එහි තිබු එක්තරා වැකියක් දෙස මනොරන්ජන් ඇසිපිය නොහෙලා මද වෙලාවක් බලා සිටියේය .

"මේ පොත ලිවීමේදී   චිත්ත  රූප නොවන බොහෝ දෑ මා වෙත සපයාදුන් කුරුළු ජෝඩුව බිම්සර හා නෙතදරාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි ".

පරිච්චේද විසි අටක් ලෙස නිමවා තිබු පොතේ මුල් පරිච්චේද සියල්ල ගොඩනගා තිබුනේ මනෝරන්ජන්ගෙන් සො රාගත් දිනපොතේ විස්තර එහා මෙහා කිරීමෙනි . එහෙත් හිතුවාට  වඩා අසේලගේ ගම ගැනත් අසේලගේ සිරගත ජීවිතය ගැනත් ලියා තිබුනේය . 

" ඒකත් එකටම මේ යකා අර පොත නැති වෙන්න ඉස්සෙල්ල අසේලගෙන් සෑහෙන දේවල් අවුස්සලා අරන් තියෙනවා " මනොරන්ජන් සිතුවේය . ඉන්පසු ඔහුවත් නොදැන සිටි අසේලගේ පෙම්වතියන් , අසේලට   හමු වූ සටන්කාමීන් ,  දේශපාලන අවස්ථාවාදීන් හා මිතුරු සිරකරුවන් ගැන ලියා තිබුනේය. ඒවා ප්‍රභන්ධද නැතිනම් සැබෑ ඒවාදැයි සිතන්නට ඔහු නොවෙහෙසුනේය . 

මනෝරන්ජන් ගේ  සැහැල්ලු සිත වෙවුලා ගියේ විසි අටවෙනි පරිච්චේදයට ලං වන විටය එතෙක් වෙලා ඔහු සිතා සිටියේ අම්රිතාගේ දරුවා ගැන රහස පොත ලියු පිරිසට අසු වී නොමැති බවය .දිනපොත නැති වන විට මනෝරන්ජන් පවා  අම්රිතාගේ කතාන්දරයේ එක පැත්තක් නොදැන සිටියේය.  ඒත් ඉන්පසු දිනක  ජීවිතයේ එකම වරක් අම්රිතා තමන් සමග රාත්‍රිය ගතකල ඒ මනරම් හෝටලයේ සඳලුතලයේ සිට ඈත සයුරේ  තරු පිළිබිඹු  හිස දරාගෙන රඟන දිය රල දෙස බලමින් ඔහුට පමණක්ම ඈ කී ඒ කතාව මේ පොතට ආවේ කොහොමද ? කෙසේ වුනත් ඒ කතා කොටසේ රසවත් බව නිසාම ඔහු නැවත කියෙව්වේ ඊට අදාළ සැබෑ නම්ගම් ආදේශ කර ගනිමිනි  . 

අම්රිතා ඩුබායි බලා යාමට ඩිස්පුර් හි ලෝක්ප්‍රියා  ගුවන් තොටට  ප්‍රවේශ වෙමින් සිටියාය ,  ඒ වන විටත් ඇය සිතමින් සිටියේ මනොරන්ජන් ගැනමය.  තමන් අසලින්ම ඉදිරියෙන් ගමන් ගන්නා මිටි හුරු බුහුටි තරුණයා දුටු අම්රිතාගේ සියොළඟ වෙවුලා ගියේය . 

' දෙයියනේ වැන්ග් ඔයා ? " තරුණයා පසුපස හැරුණේය. ඔහුටද දෑස් අදහා ගන්නට බැරි විය . ඉදිරියට ආ හැටියේම ඔහු අම්රිතා වැරෙන් බදා ගත්තේය .  දෙදෙනා වැළඳගත්වනම් සිටිද්දීම මගී පෝලිම ඉදිරියට ඇදී ගියේය .

පොතේ මුල් භාගයේ විස්තර කර නොතිබුණත් ඒ අම්රිතාගේ සෙල්ලක්කාර ලෝකයට ඇතුල් වූ පළමු පෙම්වතාය . සිය නිවස ආසන්නයේ පිහිටා තිබු චීන සමාගමක ලිපිකරුවකු වූ වැන්ග් අම්රිතා නම් යව්වනිය හා මිත්‍රත්වය අරඹන්නේ ඈ සමාජ සේවා කටයුතු කරන NGO එකක තාවකාලිකව රස්සාව කරද්දීය . දත්ත වගයක් ලබා ගැනීමට දෙතුන් දවසක් වැන්ග්ලාගේ වැඩබිමට ගියාට පසු තව වරක් හමු වීමේ වුවමනාව ඔවුන් දෙදෙනා තුලම ඉතිරි වුණේය . ඒ ලෙන්ගතුකම  නිදහසේ අතු ඉතිලා වැඩුනේය. ඒත් හැම දේටම විවෘත අම්රිතාගේ තාත්තා රන්දීබ් මේ  සම්බන්ධයටනම් කොහෙත්ම කැමති  නොවූ අතර "උඹට ඕනිනම්  එංගලන්තේ  හරි අප්‍රිකාවේ  හරි එකෙක් බැඳ ගනින් . හැබැයි චීනේක්නම් එපා" යැයි දැඩි හඬින් කීවේය . මේ ගැටුම දරුණු වූ එක්තරා දවසක රන්දිබ් මග රැක සිට වැන්ග්ට පහර දුන්නේය  . අවසානයේ වැන්ග්ව රස්සාවෙන්  පිටුවහල් කිරීමට ඔහුගේ ලොකු ලොක්කන් පියවර ගත්තේය. එහෙත් අම්රිතා ඒ ප්‍රේමයෙන් ගැලවී ගත නොහැකිව මහා දුක් කන්දරාවක් වින්දාය . ඈට  අහිමි වුනේ වැන්ග් පමණක් නොවේ . කත්මන්ඩු නුවරට ගොස් එතනින්  ටිබෙටය හරහා චීනයට  යාමට ඈ තිළ තිබු සිහිනය බොඳ වී ගියේය . ඒ වගේ ගමනක් කලින් ගිහින් තිබු වැන්ග් ඇයට  ඒ කතාව නගර කෙලවරේ කුඩා කෝපිහලකදී රස කරමින් කියද්දී ඈ සිහින ලෝකයට පිවිසුනාය . "ඒ තමයි මගේ හීනය සතියක් තිස්සේ මග නතර  වෙවී යන ගමන". ඈ තිර ලෙස සිතුවාය . 

අම්රිතා ඩුබායි සිටි මුළු කාලයේම වැන්ග් ගැන කරදර වුනේය . ඈට කිට්ටු  වීමට උත්සහ කල දුසිමක් පමණ වූ පිරිමින් අතරේ  මනොරන්ජන් පිලිබඳ ඈට අමුත්තක් දනුනාය . එහෙත් ඔහු වැන්ග්ට සම කළ නොහැකි වෙනස් ආකාරයක , තැන්පත් මිනිසෙකු වීම ඈට එතරම් අල්ලා ගියේ නැත . මේ අඩුව නොවන්නට හමු වී ටික කලකින් ඈ මනෝරන්ජන්ගේ ඇවිටිලි දෑස දෙස බලා බහ දෙන්නට ඉඩ තිබිණි . 

ඉන්පසු පොතේ සාරවත් ලෙස විස්තර  කර තිබිණතිබුනේ  අම්රිතා හා වැන්ග් අතර යව්වන ප්‍රේමය ඔවුන්ගේ අහඹු වෙන් වීම . වැන්ග් නැවතත් චීනයට  ගොස් විවාහපත් වීම ආදී විස්තරයි. මේ පෙම  මගහැරී ටික කලකින්  ඩුබායි යන්නට සිදු වීමෙන් පසු  අම්රිතාට  එහිදී මොනතරම් තනිකමක් දැනුණත් , නිදහසක් තිබුනත්  තමන්ට ලං වීමට සෑම පැත්තෙන්ම උත්සහ කළ මනෝරන්ජන් වෙත හදවතින් බැඳෙන්නට නොගියේ වැන්ග් ගැන වූ හදට කිඳා බැස තිබු  ආදරය නිසාය . 

කෙසේ වෙතත් එදා අහඹු ලෙස ගුවන් තොටුපලේදී යළි හමු වීමෙන්  පසු සියලු දේ අමතක කර වැන්ග් සමග ටිබෙටය හරහා ලොකු මෝටර් බයිසිකලයක් කුලියට ගෙන  චීනයට  යාමට අම්රිතා කැමති වුනාය . 

ඒ ගමන අතීශයින්  චමත්කාරජනක ලෙස විස්තර කර තිබුනේය . තමන්ට අහිමි වූ පෙම්වතෙකු සමග සතියක් තිස්සේ ජීවත් වීම ගෙදරට බොරු කීම, වීසා හදා ගැනීම , ලොකු මෝටර් බයිසිකලයකට බර මලු පටවා  ගැනීම නේපාලයට යාම , එතැනින් ටිබෙටය හරහා චීනයට ගොඩබිමින් ගිය ගමන ආදී විස්තර සහිත පිටු සියල්ල මනොරන්ජන් කියවාගෙන ගියේ එදා රාත්‍රියේ අම්රිතා සමග හෝටල් සඳලු තලයේදී මේ කතාව මීටත් වඩා සවිස්තරව අසා සිටීමේ ප්‍රීතියද ස්මරණය කරමිනි . 

කෙසේ වෙතත් අම්රිතා චීන ගමනින් පසු ආපසු  නිවෙසට පැමිණීම , වැන්ග් නිසා දරුවෙකු පිළිසිඳ ගැනීම , ඊළඟට ඒ ප්‍රශ්නයට මුහුණ දුන් ආකාරය ලියා තිබුනේ නොසැලකිල්ලෙන් මෙනි . ඒ වුනත්  ටිබෙටය හරහා ගිය ප්‍රේමවන්ත මෙන්ම හිතුවක්කාර  ගමන ගැනවත් , පියෙකු නැති දරුවෙකු ලැබෙන්නට සිටීම ගැනවත් අම්රිතා කිසි ලෙසකින් කම්පා වී  තිබුනේ නැති බවත් ඒ සිද්දි දෙක  ඈ  සිය ජීවිතය සම්පුර්ණ වීමක්  ලෙස කල්පනා  කර තිබූ බවට තමන්ට මතු වූ අදහසම වාගේ පොතේද ලියා තිබීම මනෝරන්ජන් විමතියට පත් කළේය .  

තවත් අවුරුදු දෙකකට පසු අම්රිතා යලි ඩුබායි ආවේ දරුවාගේ හා අබාධිත පියා ඇතුලු පවුලේ නඩත්තුවට මුදල් වුවමනා වූ නිසාය. ඒ ඇවිත් ටික දවසකට  පසු   ඇය පියා නැති දරුවකුගේ මවක් බව මනෝරන්ජන් හා රිචර්ඩ් දෙදෙනාම දැන ගත්හ.   මේ සියල්ල  දැන දැන වුවද මනෝරන්ජන් ඈට දිගටම ප්‍රේම කළේය . ඈ හා දරුවා ආදරයෙන්  භාර ගැනීමට කැමති බව කෙලින්ම කීවේය . එහෙත් අම්රිතා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළාය. ඈ පසු දිනක කීවේ මනෝරන්ජන් සම්ප්‍රදායික ආසියාතික සිතුවිලි ඇති පුද්ගලයෙක් බවත් එසේ නොවන  බව පෙන්වන්නට කොතෙක් මහන්සි වුනත් වරින් වර සැබෑ පුද්ගලයා මතු වන බවත්ය . මනෝරන්ජන්ට එය පිලි නොගෙන සිටීමට බැරි විය . එහෙත්  අන් පියෙකුගේ දරුවෙක් සමග වුව  අම්රිතාගේ අත ගන්නට  ඇත්නම් තමා  මුල් බැහැගත් චරිතයෙන් ගැලවී නිදහස් වීමට කැමැත්තෙන් සිටියේය . 

 මේ කාලයේදීම රිචර්ඩ් මුල් වරට අම්රිතා තුල ආකර්ශනයක් දුටුවේය . ඔහු ගැහැණුන්  ගැන සිතුවේ ඉතාම නිදහස් හා සෙල්ලක්කාර ආකාරයෙනි . ඔහුගේ සල්ලාල ජීවිතයේ ඔහු සමග කෙටි කාලීනව  විසු චීන , පිලිපීන හා සුදු ජාතික පෙම්වතියන් සමහර දෙනෙක්  ගැන අම්රිතාද දැන සිටියාය. එහෙත් ඔහු හැම විටම අම්රිතාට විනීත හා ගවුරවනීය ලෙස සැලකුවාය . ඈට සියලු උදව් උපකාර කලේ  රන්දිබ් කෙරෙහි වූ  භක්තිමත් මිත්‍රශීලි අදහසිනි .එහෙත්  අම්රිතාගේ පෙරළා පැමිණීමෙන්  පසු ඔහු වෙනස් වන්නට පටන් ගත්තේය . ඔහු පළමු වරට විවාහයක් ගැන හිතුවේය . එක ගැහැණියෙක් සමග පමණ ගෙවන  වැදගත් පවුල් ජීවිතයක් ගැන හිතුවේය . ඒ අනුව ඈ අම්රිතාගෙන් ප්‍රේමය අයැද සිටියේය . අම්රිතා ඊට අකමැති වූ මුත් ඔහු සමග පෙරට වඩා මිත්‍ර වුණාය. සිය ජීවිත කතාව කීවාය . අගේ ජීවිතයේ  ඉතිරි වී ඇති එකම සිහිනය වන කවදා හෝ දියමත පාවෙන   බෝට්ටුවක් නිවෙස කරගෙන දියණියත්  සමග ජීවත් වීමේ උමතු ආශාව ගැනද කීවාය . ඉන් අවුරුද්දකට පසු ඩුබායිහි ව්‍යාපෘතිය නිමවා  ඔවුහු සියල්ලෝ විසිර ගියහ. 

අනූ පහේ අවුරුදේ රිචර්ඩ් ලංකාවේ ප්‍රොජෙක්ට් එකට පත් වී ආ හැටියේම මනෝරන්ජන්  සොයා   තමන් ලඟට ගත්තේය . ඉන්පසු අම්රිතාට ලිව්වේය . ඈ ලංකාවට   එන්නට කැමති බව දැන ගත් ඔහු පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේය . ඔහු මුලින්ම කළේ බෝට්ටුවක් මුදලට ගෙන එය සියලු පහසුකම් සපිරි  කුඩා නිවෙසක් බවට පෙරලීමය. එහෙත් ඒ නිවෙසේ පදිංචියට අම්රිතා සමග යාමට ඉවසීමෙන් කල් යල් බලමින් සිටියේය . අවසානයේ ඔහුගේ කැමැත්ත ඉටු වුනේය .

මේ සියල්ල කියවා පොත පැත්තකින් තැබූ මනෝරන්ජන් ඈත පෙනෙන අටවිසි මහලේ විදුලි ආලෝකය දෙස සෙනෙහසින් බලා සිටියේය . 

"සමහර ගොඩනැගිලි තියෙනවා පණ තියෙන හුස්ම ගන්න . අටවිසි මහලත් ඒ වගේ එකක්" ඔහු සිතුවේය. 

තමන්ගේ  පසුපසින්  පැමිණ   ගෙල බදා ගන්නා සියුමැලි ගැහැණු  දෑතක් නොතකමින් ඔහු අටවිසි මහල පිහිටි දිශාවම  දෙස බලා සිට ඉන්පසු ඒ දෑත අල්ලා ගත්තේය . 

කුඩා ටීපෝව මත තිබු පොත දෙස බැලු ඇය " ඔයා පොත කියවලා ඉවර කරාද ? " කියා ඕනෑකමින්  ඇසුවාය . 

" පොතනම් කියෙව්වා . ඒත් මට තාම හිතා ගන්න  බැරි වෙලා ඉන්නේ අරූ මගේ දිනපොතෙන් ගත්ත දේවල් වලිනුයි අසේලගෙන් අහ ගත්ත දේවල් වලිනුයි විතරක් මේ පොත සම්පුර්ණ කලේ කොහොමද කියල. පුදුමේ කියන්නේ අම්රිතාගේ දරුවා ගැන , චීනේ ගමන ගැන , රිචර්ඩ් ගැන එහෙම අකුරක් නෑර හරියටම ලියලනේ" 

ඈ හිනැහුණාය . ඉන්පසු මෙසේ කීවාය . 

" ඔයා දන්නේ නැති වුනාට ඔයා අර දිනපොත නැති වෙලා පිස්සු හැදිලා හිටි දවසේ .  අම්රිතා ඔයා එක්කරගෙන  ගිහින් හෝටලේකින් බේත් අරන් දුන්නු දවසේ .." 

එසේ කී ඈ සරදම් ලෙස මනෝරන්ජන්ගේ පිට හරහා පාරක් ගැසුවාය. මනෝරන්ජන් රතු වී හියේය 

"හරි හරි ඒ දවසෙන් පස්සේ අම්රිතා කීප වතාවක් පේරාදෙනි ගිහින් නෙතදරා හම්බුනා කියල දන්නවද ?"

" නෑ?" මනෝරන්ජන් පුදුමයෙන් බැලුවේය .

" ඔව් එයා  එහෙ ගියේ වැන්ගේ, දරුවාගේ , ටිබෙට් ගමනේ එහෙම ෆොටෝ පෙන්න පෙන්න මහන්සි වුනේ අම්රිතාගේ දරුවාගේ තාත්තා ඔයා නෙවෙයි කියන්න . ඒ මහන්සියෙදී අම්රිතා එයාගේ මුළු ජීවිත කතාවම නෙතදරා එක්ක කියල ?

" ඉතින් ඒ වෙනකොටත් නෙතදරා බිම්සර එක්ක යාළුවෙලානේ ඉඳලා තියෙන්නේ ?"  මනෝරන්ජන් කීවේය . 

"ඒක එහෙම වුනත් අම්රිතා  සෑහෙන්න මහන්සි වෙලා තිබ්බා නෙතදරාගේ හිත හදලා ආපහු ඔය දෙන්න එකතු කරන්න  " 

මනෝරන්ජන් දිග සුසුමක් හෙලා කල්පනා කළේය . "එතකොට නෙතදරා මොකද කියල තියෙන්නේ ?" කියා අසන්නට සිතුනත් ඔහු නිහඬව සිටියේය .

" ඔයා ඕව ගැන ඒ තරම් හිතන්න එපා. අලුත් ප්‍රොජෙක්ට් එක පටන් ගන්න කලින් ටිකක් විවේකෙන් ඉන්න . ඒ බිල්ඩිමේ තට්ටු පනස් හයක්ලු නේද ? " ඈ කීවාය . 

සඳ එලිය වැටී ඇගේ  රාත්‍රී ගවුම තුලින් ඉල්පී පෙනෙන  මේරූ  කුස මත ඔහු පරෙස්සමට අතක් තැබුවේය. සිඟිති හා පැටවෙකු මොළකැටි ලෙස එහෙ මෙහෙ  දඟලන හැටි ඔහුගේ අත්ලට  දැනුණේය. 

එකෙණෙහිම ඔහුට අම්රිතාගේ දියණිය මතක් වුණේය. 

ඔහුගේ මුහුණේ නැගුණු සෞම්‍ය  සිනාව දුටු රාධාද  සඳ පහනක් සේ හිනැහුණාය 


-අවසානයි. මෙය කියවා වදාළ ඔබ සැමට ස්තුතියි -

( මේ නවකතාවේ සක්ෂිප්ත  වෙළුමයි. කතාව මීට  වඩා දිගහැර, ඔප මට්ටම් කර ඉදිරියේදී පොතක් ලෙස පල කරන්නට සිතා සිටිමි . මේ බ්ලොග් කතාව කියවන ඔබෙන්  ඉල්ලා සිටින්නේ හොඳ හෝ නරක සියලු අදහස් හැකි අයුරින් මට දන්වන ලෙසය .)







14 comments:

  1. මේක පටංගත්දි තිබ්බෙ වෙන අහක දැං අගට තියෙන්නෙ තව දිහාවක. මටත් මෙහෙම දස අතේ යන්න ලියන්න පුළුවං. හැබැයි ආපහු මිටියකට එක්කහු කරගන්න බෑ.

    ReplyDelete
  2. පොත ඉක්මනින්ම කියවීමට ආසාවෙන් බලා සිටිමි.කොටසින් කොටසට කමෙන්ට් නොකලාට හැමදාමත් මේකට ගොඩවෙලා බැලුවා ඊලඟඑක දාලාද කියලා.සුබ පැතුම් මල්ලී.මේ සැරේවත් පොත් ප්‍රදර්ශනය ට යන්න හිටියේ.කොරෝනා ඒකත් කෑවා.

    ReplyDelete
  3. //මේ නවකතාවේ සක්ෂිප්ත වෙළුමයි. කතාව මීට වඩා දිගහැර, ඔප මට්ටම් කර ඉදිරියේදී පොතක් ලෙස පල කරන්නට සිතා සිටිමි//
    එහෙම හදලා එනවානම් හොදයි. මුල ඉදලා ආපු විදිහ එක්ක අවසාන කොටස හදිස්සියේ කතාව ඉවරකරන්න ඔනේනිසා ලීවා වාගේ දැනුනේ.අනිත් කොටස් වලට වැඩ වේගෙන් ගියා වගේ.පොත ඉක්මනින් කියවන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  4. කතාවෙ ගලා යෑම, කුතුහලය, රසය ඉතා ඉහලයි. උඩ jeewantha කියලා තියෙනවා වගේ අන්තිම කොටස පොඩ්ඩක් rushed. ඔබ ඉතා දක්ශ රචකයෙක් නිසා එය හදාවි.

    ඊට අමතරව කෙනෙක්ගෙ දිනපොතක් සොරාගෙන, අතිශය පෞද්ගලික තොරතුරු මත තව කෙනෙක් කතාවක් ලිවීම මට නම් unethical. කතාවෙ රසයෙ වෙනසක් නොවී, අවශ්ය නම් එය සුමට කරන්න ඔබට පුලුවන් කියා දන්න නිසයි ඒක කියන්න හිතුවෙ.

    Lotus

    ReplyDelete
  5. +++ අලුත් පොත ඉක්මනටම කියවන්න ලැබේවා! +++

    ReplyDelete
  6. මුල් කොටස් ටික බොහොම සීරුවට එහෙන් මෙහෙන් කතා ගලප ගලපා.. ඊළඟට වෙන්නේ මොකද කිය කියා හිත හිතා ආවා ගමනේදී... මහා නිස්කාන්සුවක් බලාගෙන හිටිය අන්තිම දවසේ අයියා කරකවලා අතෑරියා නේ හිතාගන්න බැරි විදිහට මහා කුතුහලයක් හිතේ ඉතුරු කරලා...
    ඔහේ ගලාගෙන යන කතාවකට වඩා මේක මොකක්දෝ අමුතු රසයක් තියෙනවා. කොහොමත් ඉතින් එයාගේ ලිවීම වෙනම කලාවක් නිසා හොඳට ඇති කියලා හිතෙනවා..
    දැන් ඉතින් පොත ඉක්මනට ඕන කියවනකං ඉවසුමක් නෑ..

    ReplyDelete
  7. මුල ඉදන්ම හැමදාම කතාව කියෙව්වා.. මුල ටිකේ කතාව ගලාගෙන ගිය විදිහ සුපිරි! අන්තිම කොටසනම් එක පාර ඉවර කළා වගේ හිතෙනවා. පොතකට මරු! හැබැයි මට හිතෙනවා පොතකට යනවනම් අන්තිම ටික තව ටිකක් ඇද්දානම් හොඳයි කියලා..

    ReplyDelete
  8. ඇත්තටම පෝස්ට් එක කියෙව්වේ නැ. හෙඩිම ආකර්ශනිය නිසා ඇවිත් බැලුවා මහතුන්ගේ තුන

    ReplyDelete
  9. මුල ඉදන්ම කතාව කියෙව්වා සද්දයක් නොකරම.මුල් කොටස් හරිම ලස්සනයි ගලපලා රස කරල පිලිවෙලට ලියලා තිබුනා. ඒත් අන්තිම කොටස් හතර පහ වගේ හරි ඉක්මනට ඉවර කරන්න උවමනාවෙන් ලිව්වා වගේ.කම්ක් නෑ ඉතින් පොතට එනකොට ඒකත් පිලිවෙලක් වෙලා තියේවිනේ

    ReplyDelete
  10. මම මුල ටික ඔක්කොම කියවගෙන ආවට මාස දෙකක් විතර මග ඇරිලා ගියානේ. දැන් මේ කල්පනා කරන්නේ බ්ලොග් එක කියවනවද ? පොත අරගෙනම කියවනවද කියල ..

    ReplyDelete
  11. මමත් හිතනවා අන්තිම කොටස 28a , 28b වගේවත් ගියානම් හොඳයි කියල. අවසානය හොඳයි.

    ReplyDelete
  12. ඔක්කොම කොටස් ටික දාපු දවසෙම වගෙ කියෙව්වා.හරිම ආසාවෙන් කියවපු කතාවක්. ඒත් අන්තිම කොටස් දෙක නම් ලග නවලා වගේ තෙරෙනවා. පොතක් විදියට මීට වඩා ලස්සනට අනාගතේ කියවන්න ලැබෙයි කියලා හිතනවා. සුබ පැතුම්. ඔබට ලස්සනට ලියන්න කතාව ගලපන්න පුලුවන් හැකියාවක් තියෙනවා.

    ReplyDelete
  13. Thanks Aiya. Very different yet very familiar. Beautiful woven.

    ReplyDelete