Sunday, May 27, 2018

පේරාදෙණියේ ෆිල්ම් සොක-1



 
Peradeniya University Arts Theater ( www.pdn.ac.lk)
ල , සොක හා ගැට්ට කියන්නේ පේරාදෙණියේ සරසවි ජීවිතය සුන්දර කරපු වචන තුනක් . හන්තාන පාමුල මහවැලි නිම්නයේ තිබ්බේ ප්‍රේමය හා චමත්කාරය විතරක් නෙවෙයි. පේරාදෙනි සානුවෙන් අහසට නැගිලා ලෝකය දිහා බලන්න පුළුවන් කවුළු කීපයකුත් තිබ්බා. ෆිල්ම් සොක ඒවායින් එකක් කියලයි මට හිතෙන්නේ

වල කිව්වේ සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයට  ,  ගැට්ට කිව්වේ කඳු නගින්න්නගේ හෙවත් ගවේෂකයන්ගේ සංගමය.   University Film Society හෙවත් චිත්‍රපට සංගමය තමයි අපේ ආදරණීය සොක.
ඒත් 89 අවුරුද්දේ  වල, සොක හා ගැට්ට අකර්මන්‍ය වෙලා තිබ්බා . පන්ති වර්ජන , භීෂණය, අතුරුදහන් වීම  හා මාස ගණන් සරසවිය  වසා තැබීම වගේ ඒවා නිසා.
ඒ අඳුරු කාල පරිච්චේදෙන් පස්සේ හන්තාන අඩවියට ආයෙමත් සෞන්දර්යය රැගෙන එන්න වෑයම් කරපු ගුරු සිසු නඩයේ  මමත් සාමාජිකයෙක් වුණු  බව සතුටින් මතක් කරනවා.

1990 අවුරුද්දේ අප්‍රේල් තමයි අපි පළමු අවුරුද්දේ විබාගය ලිව්වේ . ඊට පස්සේ එළඹුණු අධ්‍යයන  වාරෙදි  කවුදෝ ඉල්ලගෙන ආපු A passage to India චිත්‍රපටයේ VHS කැසට් එකක් අපට හම්බුනා . EM පොස්ටර්ගේ නවකතාවක් ඇසුරෙන් ඩේව්ඩ් ලීන් හදාපු සුවිශේෂ චිත්‍රපටයක්  තමයි A Passage to India
ලංකාවේ රුප ගත කරපු   Bridge on the river Kwai චිත්‍රපටය නිර්මාණය කලෙත් ඔය ඩේවිඩ් ලීන්ම තමයි. 
අපි කීප දෙනෙක් කතා වුනා කොහොම හරි මේ චිත්‍රපටිය හැමෝටම බලන්න පුළුවන් තැනක  පෙන්නමු  කියල .

ඉංජිනේරු පීඨේ මීඩියා යුනිට් එකට ගිහින් එහි  තිබ්බ මල්ටිමීඩියා ප්‍රෝජෙක්ටරේ  ඉල්ලගත්තා .ලංකාවට ආපු මුල්ම විද්‍යුත්  ප්‍රක්ෂේපන යන්තරේ ඒක වෙන්ටත් පුළුවන්. වර්ණ තුන නිකුත් කරන  වෙන  වෙනම ටෝච්  තුනක් තිබ්බා . හරි විශාලයි .
අපි කොහොමින් කොහොම හරි චිත්‍රපටය පෙන්නුවා පොඩි ලෙක්චර් රුම් එකක . හිතුවට වඩා වැඩි සෙනගක් ඇවිත් හිටියා .

පළමු VHS ච්ත්‍රපටය පෙන්නුවේ මිතුරු පිරිසක් එක්කාසු වෙලා. ඒ කැසට් එක සොයාගෙන ආපු මිතුරාම දෙවනවරට සත්‍යජිත් රායිගේ අපූ ත්‍රිත්වය VHS කැසට්පට තුනම නුවර ඉන්දියානු මහකොමසාරිස් කන්තෝරුවෙන්  ඉල්ලගෙන ආවා. අපි පොඩි ප්‍රචාරයක් එහෙම යවලා  ඉංජිනේරු පීඨයේ තිබ්බ ලොකුම ශාලාව වෙච්ච ඊ ඕ ඊ පෙරෙයිරා තියටරේ නැත්නම් සුඛාවතියේ මේ චිත්‍රපට තුන පෙන්නන්න කටයුතු කළා. මට තමයි හැඳින්වීම කරන්න පැවරුනේ . ඒකට සුදානම් වෙන්න පුස්තකාලය පීරමින් විභුති  බැනර්ජි ගැනයි සත්‍යජිත් රායි ගැනයි කියෙව්වා මතකයි.

අපි  බලාපොරෝත්තු  උනාට වඩා වැඩි සෙනගක් ගඟෙන්  එහා පැත්තේ ෆැකල්ටිවලිමුත් ඇවිත් හිටියා . දැහැන්ගතවෙලා වගේ පතෙර් පංචාලි, අපු සංසාර්, හා අපරාජිතෝ කුඩා ස්ක්‍රීන් එකින් බලන්න දවස් තුනක් තිස්සේ ඇදී ආපු සෙනග පෙන්නුම් කළේ සාහිත්‍ය  කලාවට පේරාදෙණියේ ඒ වෙනකොට තිබ්බ පිපාසය.
වහල දාලා තිබ්බ AT එක හෙවත් කලාගාරයට  යලි පණ දෙන්න ඇත්නම් කියල ඒ පැත්තෙන් යන එන හැම වාරේම  අපට හිතුනා .

ටික දවසකට පස්සේ චිත්‍රපට සංගමය හෙවත් ෆිල්ම් සොක ආපහු පටන් ගන්න තීරණය කෙරී තිබුනා . සයන්ස් ෆැකල්ටියේ කැන්ටිමේ තිබ්බ මුල්ම  සාකච්ඡාවෙන් පස්සේ අලුත්  නිලධාරී  මණ්ඩලයක් පත් වුනා . සබාපති මැතිව් මම සම ලේකම්.

අපේ ගුරු උපදේශකයන් උනේ  ගාමිණී හත්තොට්ටුවගම මහත්තයයි , මාරි සවරිමුත්තු  මහත්මියයි. මේ දෙදෙනාම සිනමාව ගැන පුළුල් දැනුමක් තිබ්බ ඉංග්‍රීසි සාහිත්‍යය  හොඳින් හදාරා සිටි ආචාර්ය මණ්ඩල සාමාජිකයන්.
 Gamini Haththottuwogama , Photo from Wikipedia
ෆිල්ම් සොක කරන්නේ සීසන් කාඩ් එකක් වගේ එකක් ගහලා නම් මාක් කර කර චිත්‍රපට පෙන්නන වැඩේ  විතරක්  නෙවෙයි කියල අපට තේරුම් ගියේ ඊට පස්සේ. අපි චිත්‍රපට ගැන කතා කරා . මාසික රැස්වීම්  තිබ්බ. ආචාර්ය හත්තොට්ටුවේගම,  මාරි සවරිමුත්තු ආචාර්යවරු අපි පෙන්නපු සමහර  චිත්‍රපටි ගැන විචාර ඉදිරිපත් කරා. මුල්ම චිත්‍රපටි කීපය පෙන්නන්න කලින් ඒවා  ගැන කෙටි හැඳින්වීමක් කරන්න අපට පුළුවන් වුනා . 


සංගමේ යලි ජීවමාන කරලා  ගත්තයින් පස්සේ මුලින්ම අපි කළේ ලංකාවේ තිබ්බ තානාපති කාර්යාල සියල්ලට ලියුම් දැමීම . අපේ සංගමේ ගැන විස්තර කරලා  ච්ත්‍රපට තියෙනවනම් ණයට ලබා දෙන්න කියල ඉල්ලුවා  . බොහෝ ඒවායින් උත්තර ලැබුනා. අපි ලෙක්චර්ස් කට් කරගෙන කොළඹ ගිහින් චිත්‍රපට උස්සගෙන අවා. බොහෝ වෙලාවට  චිත්‍රපටි රෝල තිබ්බ පෙට්ටි එම්බසියේ ඉඳන් කරේ තියාගෙන  බස් හෝල්ට් එකට උස්සාගෙන ආවා .

අවුරුද්දකට චිත්‍රපටි 24ක් පෙන්නන කොටු 24ක් තිබ්බ   කාඩ් එකක් තමයි රුපියල් විස්සකට වික්කේ . ඒත් මේ කියන  අවුරුද්දේ චිත්‍රපටි  තිස් ගානක් පෙන්නන්න අපට පුළුවන් වුනා . ඒවා නිකම්ම ඒවා නෙවෙයි ලෝකේ විවිධ රටවල උසස් ගනයේ සිනමා කෘති.

පොඩි කාලේ අපට මේ ලෝකේ තිබ්බ විශ්වකර්ම  තැනක්   වුනේ සිනිමා හෝල් එක. රීගල් එකේ වැඩ  කරපු මිනිස්සුන්ටත් මාර ගවුරවයක් හිතේ තිබ්බේ . ඒත් ෆිල්ම් සොක කරන කාලේ අපිටම කියල ෆිල්ම් හෝල් එකක් තිබ්බා . ඒ පේරාදෙණියේ සරසවි කලාගාරය හෙවත් AT ( Arts Theater) එක .  මේකේ ඇතුලේ එළියේ හැම තැනම අපේම තමයි .

ෆිල්ම් එකක් පෙන්නනන තීරණය කරාම ඒ ගැන විස්තරේ  සොකේ මුද්‍රාව සහිත  A3 කොලේක ලස්සනට ලියනවා චිත්‍රපටියේ නමයි දිනයයි වෙලාවයි. මේක හැම හොස්ටල් එකකම , කැන්ටින් එකකම ඇලවෙනවා. AT ශාලාව පිරෙන්න සෙනග එනවා. මේ ලස්සන පෝස්ටරේ අත්  අකුරෙන් ඇන්දේ අපේ මේඩ්ඩො සෙට් එක, මහේෂ්, නානා හා කුමුදු ඇතුළු පිරිස .

දවසක් මෙඩ්ඩන්ට විබාග තදවෙච්ච වෙලාවක ෆිල්ම් සොකේ පෙන්නන්න හිටියේ  La Ronde කියන ප්‍රංශ චිත්‍රපටිය . ඒකෙ පෝස්ටරේ අඳින්න  එකෙක් නෑ . පස්සේ මමම මගේ අවලස්සන අත්  අකුරින් ඇන්දා පාට පෑනක් අරන් . දැන් මේ පෝස්ටරේ ඉස්ස්සෙල්ලම  අක්බාර් කැන්ට්මේ අලවලා ඊට පස්සේ ගියේ wus කැන්ටිමට . කළු ආරි ඇතුළු කීප දෙනෙක් මගෙත් එක්ක හිටියා . උන්ගේ අත් අකුරු මගේ ඒවාටත් වඩා කැතයි . . මේ වෙලාවේ ප්‍රධාන පුස්තකාලේ පාඩම් කරමින් හිටි මහේෂ් ඇතුළු මේඩ්ඩන් පිරිස තේ බොන්න ඇවිත් හිටියා . ඔවුන් මොහොතක්  අලුතින්ම අලවපු පෝස්ටරය දිහා බලා හිටියා .ඒ බැල්මෙන් පෝස්ටරයේ නිමාව ගැන අදහසක් කියවුනා

“අනේ මචන් අපි මේක ලස්සනටම කරමු .මට කොළ ටික ගෙනැල්ල දීපන්” මහේෂ් කිව්වා. ඊට පස්සේ උන් ටික විබාගෙට  පාඩම් කරන එක නවත්තලා ගිහින් පෝස්ටර් ටික ලස්සනට ඇඳලා  හෝල් ඔක්කොගෙම අලවලත් තිබ්බා.

කලාගාරේ තිබ්බේ එක ප්‍රෝජෙක්ටරයයි . ඒකේ විනාඩි පහළවෙන්  පහළවට චිත්‍රපටය නවතිනවා.  රීල් එක මාරු කරනකන් ඉන්ටවල් එකක් දෙනවා. යන්ත්‍ර  ක්‍රියාකරු වුනේ මෙන්ඩිස් අයියා.සුදෝ සුදු නැෂනල්  එකක් ඇඳගෙන උඩ පේරාදෙණියේ සරසවි සේවක නිල නිවාසේ ඉඳන් වැඩට ආපු මෙන්ඩිස් අයියා හොඳ කලාකාමියෙක්. හැම චිත්‍රපටියක්ම පෙන්නන්න කලින් ප්‍රොජෙක්ටර් රුම් එකේ ගල් අරක්කු බාගයක් තියලා එන සම්ප්‍රදායක් තිබ්බා මෙන්ඩිස්  අයියා ඒකෙන් ටික ටික සප්පායම් වෙවී අර පරණ ප්‍රක්ෂේපන  යන්ත්‍රය අම්බන් කරගෙන කොහොම හරි  චිත්‍රපටිය පෙන්වනවා.

මෙන්ඩිස් අයියා පෙන්ෂන් ගන්න 1991 අවුරුද්දේ ඔහු වෙනුවෙන්  උපහාර චිත්‍රපටි උළෙලක් තියන්න යෝජනා වුනා . සරසවියක හිටපු සුළු සේවකයෙක් වෙනුවෙන් කරපු පළමු චිත්‍රපටි උළෙල වෙන්නැති ඒක.

ලංකාවේ  නමගිය චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙක්ගේ චිත්‍රපට උළෙලක්ද අපේ කාලේ සංවිධානය කළා  . කලකට ඉස්සර පේරාදෙනි සරසවි චිත්‍රපට සංගමයේ ක්‍රියාකරියකයෙක්  වෙලා හිටි මේ සම්මානනීය අධ්‍යක්ෂකවරයාත් එක්ක චිත්‍රපට  උළෙල ගැන කතා කරන්න අනිවත්තේ පිහිටි ඔහුගේ ගෙදරට ගියේ මායි  රත්නපුරේ රන්ජියි . අපව පිළිගත්තේ අධ්‍යක්ෂකවරයාගේ  දයාබර බිරිඳ. ඔහු එදා දුර පලාතක දේශනයකට ගිහින්. ඒ වනවිට උළෙල ගැන ඔවුන් තරමක්  දැනුවත් කරලා තිබ්බ නිසා වැඩේ පහසු වුනා. චාම් සරල ගෙදරක පුංචි කැබිනෙට්ටුවක් උඩ  එහෙන් මෙහන් අහුරලා තිබ්බ රාජ්‍ය සම්මාන , සරසවි සම්මාන රාශියක් මම දැක්ක.
“මේ වැඩේට මහත්තයා චිත්‍රපටි හතරක් දෙන්න කැමැත්තෙන්  ඉන්නේ. ඒත් එක චිත්‍රපටියක් කොහෙද කියල හොයා ගන්න බෑ . කොහොම හරි ලැස්ති කරලා තියන්නම්කො”.

ඒ දයාබර ගුරුමව පැවසුවා.

චිත්‍රපට උළෙල ආරම්බ කරන දවසටත් මේ අධ්‍යක්ෂකවරයාට  එන්න බැරි උනා.

උළෙලේ පෙන්නාපු චිත්‍රපටි තමයි බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ හා  පාර දිගේ .
Dharmasena Pathiraja -Photo rom Daily Mirror

---
මතු සම්බන්ධයි
( ගම්ලත්ගේ බඹරු ඇවිත් විචාරය, ජපන් තානාපති සරසවියට ඒම, Escape to Victory චිත්‍රපටය හා අරම්බක දේශනය ඇතුළු කතන්දර මීළඟ ලිපියෙන් )

දෙවන කොටස 

45 comments:

  1. අගෙයි. දැන් ඩීවීඩී දාල දුවනව වගේ නෙමෙයි රීල් දෙක මාරුවෙන් මාරුවට දාල ෆිල්ම් පෙන්නන එකේ අමුතු ගතියක් තිබුණ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසා . චිත්‍රපටි බලන්න තිබ්බ ආසාවට මේ සරින්වෙ සැරේ එන බාදා වීම් ගැන වොරි වුනේ නෑ අපි

      Delete
  2. //ඒකේ විනාඩි පහළවෙන් පහළවට චිත්‍රපටය නවතිනවා. රීල් එක මාරු කරනකන් ඉන්ටවල් එකක් දෙනවා//
    පොඩි අවුලකට තිබුණේ සමහර වෙලාවට ඔය රීල් මාරු කරන ඉන්ටවල් එක ටිකක් දිග වැඩි වෙන එකයි. ඒ වෙලාවට ගල් බාගේ සප්පායම් වෙලා පොඩි නින්දකට වැටිල ඉන්න මෙන්ඩිස් අයියව ඇහැරවන ආකාරය ප්‍රේක්ෂකයෝ හැමෝම වගේ දැනගෙන හිටියා.

    ReplyDelete
    Replies
    1. Ikon,

      /මෙන්ඩිස් අයියව ඇහැරවන ආකාරය ප්‍රේක්ෂකයෝ හැමෝම වගේ දැනගෙන හිටියා.../

      මොකෝ කලේ?මෙන්ඩිස් අයියගෙ crown jewels අල්ලල මිරිකුවද? :)

      Delete
    2. මෙන්ඩිස් අයියට බාගේ එක පාර දෙන්නේ නැතිව කාල කාල දෙපාරකට දුන්නා කියල අපේ ගිටපු සබාපති තුමා කිව්වා

      Delete
  3. අපේ කාලයේ නම් ගොඩක්ම ප්‍රොජෙක්ටර් හයි කරලා dvd තමයි පෙන්නුවේ. එත් අක්බාර් මාලිගාවේ වේලි වේලි සිටි අපට AT එකේ, වලේ, ජිම් එකේ ඕන පෙස්ටිවල් එකක් (ගගෙන් එහා ඕන දෙයක්) වසන්තයක්ම විය

    ReplyDelete
    Replies
    1. //එත් අක්බාර් මාලිගාවේ වේලි වේලි සිටි අපට AT එකේ, වලේ, ජිම් එකේ ඕන පෙස්ටිවල් එකක් (ගගෙන් එහා ඕන දෙයක්) වසන්තයක්ම විය//

      ඒකනේ සෝකෙන් කරෙත් කට්ටියට වසන්තය උදා කරන එක

      Delete
  4. //මේ ලස්සන පෝස්ටරේ අත් අකුරෙන් ඇන්දේ අපේ මේඩ්ඩො සෙට් එක,//

    මෙඩ්ඩන්ගෙ අකුරු කියවන්න පුලුවන් ද? MMBS කරන අය නෙවෙද? :D

    කරපු සේවයට කළ උපහාරය නම් වටිනවා (y)

    ReplyDelete
    Replies
    1. Sam,

      /මෙඩ්ඩන්ගෙ අකුරු කියවන්න පුලුවන් ද? MMBS කරන අය නෙවෙද? :D /

      මමත් මේ අහන්න හිටියෙ එවුං දොස්තරල වෙලා බේත් තුණ්ඩු ලියද්දි ඒ ලස්සන අකුරු හකුරු වලට රූපාන්තරණය වෙන්නෙ කොහොමද කියල?

      Delete
    2. මේඩ්ඩන්ට අන්තිම අවුරුද්දේ කාටත් හොරෙන් උගන්වන සබ්ජෙක්ට් එකක් තියෙනවලු Illegible Antonyms කියල .

      Delete
    3. හෝල් එක පිරෙන්න සෙනග එන්නේ ඒ නිසා තමයි.කියවලා තේරුම් ගන්න බැහැනේ මොකක්ද පෙන්වන්නේ කියලා ඉතින් කුතුහලය නිසාම එනවා මොන මගුලක්ද මේ පෙන්වන්නේ කියලා බලන්න.:D

      Delete
  5. චියර්ස්. තිලකා ලියනවා

    ReplyDelete
    Replies
    1. චියර්ස් දේශා . එහෙනම් ලියමු අපි දෙන්නම

      Delete
  6. අතීතකාමය ඇවිස්සීම කෙසේ වෙතත්, ඉංජන්ගේ අකුරුවලට වඩා ලස්සන අකුරු තියෙන පෝස්ටර් අඳින්න පුළුවන් මෙඩ්ඩන් හිටියා ය කියා කියවා හිනා ගියා!

    සිගරුට් බට් එකෙන් අඳින් පටන් ගෙන, අඟල් බාගේ, අඟලේ සිට අඟල් දෙකහමාරේ බුරුසුවලින් ඩිමයි කොල, ඇශ්පෝල්ට් විතරක් නොවේ දංගොල්ල පාලමේ වානේ කඳන් සමතික්‍රමණය කළ අයෙකුට නම් අනේ අවුරුදු කිහිපයකට පසු සිදුවී ඇති වෙනසක මහත කියා සිතෙනු ඇති!!!

    ReplyDelete
    Replies
    1. මේක හිනා වෙන්ට කාරණයක් නෙවෙයි රසික . කාගේ හරි කුමන්ත්‍රණයක් .ඉන්ජෝ ඔක්කොගෙම අකුරු ලස්සනයි තුන් දෙනෙක්ගේ ඇර . උන් තුන් දෙනා තමයි ෆිල්ම් සොකට දැම්මේ . අනිත් අතට ගත්තම අකුරු කැත මේඩ්ඩො ඔනිතරම් ඉද්දි අකුරු ලස්සන උන් තුන් දෙනෙක් තෝරලා සොකට දාලා උන්ට පෝස්ටර් අලවන්නත් දුන්නනේ. ඒකෙන් ඉන්ජන්ගේ කීර්ති නාමයට උනේ සුළුපටු හානියක් නෙවෙයි

      Delete
  7. නියමයි තිලක්...Waiting for the next episode...

    අර රීගල් එකක් ගැන කියන්නෙ දියතලාවෙ රීගල් එක නේද? බණ්ඩාරවෙල මොකක්ද තිබ්බ හෝල් එක? එත්විල් නේද?

    ReplyDelete
    Replies
    1. තැන්කිව් රවී . රීගල් තිබ්බේ දියතලාවෙ . බණ්ඩාරවෙල තිබ්බ හෝල් තුනක් එත්විල්, සීගිරි හා මොඩර්න්. 83 ජාත්යාලෙන් මොඩර්න් එක ගිනි තිබ්බ .

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. මම මේ දැක්කමයි බ්ලොග් ඇඩ්මින් කෙනෙක් උගෙම කමෙන්ට් එකක් මකනවා... :D

      Delete
    4. ඒ වගේ අමුතු වැඩ මේකේ තියෙනවා D. එකම උත්තරේ දෙපාරක් පබ්ලිෂ් උන හින්දයි මෙහෙම කලේ සෙන්නා .

      Delete
  8. Has some corrections. From 1987 to 1990 I'm the president of Filmsoc. And we have done several festivals during that time. I personally select films from Russian Embassy, Colombo about WW2, and some general films too. I'm not agree with you that during 88.89 we have faced a difficult situation with showing films, due to the strike and other. But we have arrange the films during strike days too. And one day one student leader came to my room in Arunachalam Hall (No02) with another fellow having T56 in hand and asked me to stop the films. I told him that we have collected money from students and now we cant do that. And I explain him that you can get students stay in Campus with these type of programs while we have strikes more and more. And he never show up again. That tie no Meddo's coming to the committee. We had one foot bike to go here and there to paste poster. All written in hand with PLATIGNUM pens. Before writing that I'm collecting as much as inf about film from papers in Library. No internet those days, even no computers. Still I have the seal with Filmsoc logo.

    ReplyDelete
    Replies
    1. ඒ හඬ ඇසුනේ පෝස්ටරයක් අඳින්නට හැකි ඉංජන් සිටි යුගයෙනි!

      ජයවේවා.

      So Nishmi and Co had even T-56s in campus...???

      Delete
    2. Thanks a lot Dhammika for adding your memories and pointing out some errors in my post. I have corrected the text. However in 1989 Film Soc was not functioning and University was closed down for nearly 7 months.
      You will be a good resource person for me to gather some information for part 2 of this post

      Delete
    3. Yes they had guns, but actually the fellow with a gun not a student. Just wrapped that with a Cement bag paper, he only shows the butt. Yes as per the results of strikes I too found a job in Hayleys Group on July 1989 and Filmsoc was abandoned. SO in 1989 I think only 3-4 films screened at AT.

      Delete
  9. 70 දශකයේදී ශ්‍රී ලංකාවේ විදි නාට්‍ය ආරම්භ කිරීමේ ගෞරවය හිමි වන්නේත් ගාමිණි හත්තොටුවගම ශුරින්ට නේද? ඒ කාලයේ ඉතාමත් ජනප්‍රිය භාවයකට පත්වූ විදි නාට්‍ය කලාව අද සම්පුර්ණයෙන්ම සමාජයෙන් ඉවත්වි ගොස්‌ ඇති බවයි පෙනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ ලිපියේ සඳහන් වන ගාමිණී හත්තොට්ටුවගම හා ධර්මසේන පතිරාජ යන දෙදෙනා ලංකාවෙන් බිහි වූ සුවිශේෂ කලාකරුවන් දෙදෙනෙක්. ඔවුන් ගැන තව බොහෝ දේ ලියන්නට තියවනවා

      Delete
  10. මෙතන ඉන්න තුනෙන් දෙකකටම බ්ලොග් තියනවා. බ්ලොග් හිමි ඉංජො. මන් ඉස්සර හිතන් හිටියෙ ඉංජිනේරුවො කියන්නෙ මහ යකඩ හිත් තියන අය කියලා.ඒ අදහස සෑහෙන දුරට වෙනස් කරෙත් ඉංජිනේරු මහත්තරුමයි. නරක ද අර ඉතිරි තුනෙන් එකත් බ්ලොග් එකක් පටන් ගත්තොත්.

    ReplyDelete
    Replies
    1. Oh..will you help me blog queen?

      Delete
    2. හොඳ යෝජනාවක් සොඳුරු සිත .ඔය කියන ඉන්ජා බ්ලොග් එකක් පටන් ගන්නවානම් එය ඉතා විචිත්‍ර එකක් වෙයි. ඔහු දක්ෂ කැමරා ශිල්පියෙක්ද වෙනවා

      Delete
  11. ගාමිණී හත්තොට්ටුවගම මහත්තය කිව්වම වෙනම මතකයක් ඇවිස්සුනා ,මගේ අත්දැකීම් එක්ක , ලියන්න කියන්න ඕන කාටහරි :P

    ReplyDelete
    Replies
    1. කාටවත් කියලා හරි යන්නේ නෑ . ඉවාන් ඔය නින්දෙන් නැගිටලා ලියන්න පටන් ගමු

      Delete
  12. සිනමාවට තියෙන ආසාව නිසාම මේ ලිපියත් බොහොම ආසාවෙන් කියවනව. මමත් ඒකාලෙ ඉඳලම කොයි විදිහට හරි එන එන ෆිල්ම් එක බලනව. තවමත් එහෙමයි. හෝල් එකෙන් බැරි වුනොත් DVD එක හොයාගෙනහරි බලනව.

    ReplyDelete
    Replies
    1. ටී වී බලනවට වඩා හොඳ චිත්‍රපටි බලන එක වටිනවා කසුන්. ඒත් ඒකට සෙට් වෙන්න වැඩිපුර වෙලාවක් ඕනි . මමත් උත්සහ කරන්නනේ සතියකට එකක්වත් හොඳ චිත්‍රපටියක් හොයාගෙන බලන්න තරමේ විවේකයක් හදා ගන්න

      Delete
  13. අතීතකාමය අැවිස්සුවාට තුති. ඔයිට අවුරුදු කීපයකට කලිං ඔය කට්ට ශය විදිහටම කෑවා.
    රසවත් කතාවකුත් තියනවා. "හංස විලක්" මුලින්ම පෙන්වද්දි රීල් මාරු වුණා. අර ගල් අරක්කු බාගය ටිකක් වැඩ කරලා. "හංස විලක්" ස්ටයිල් ඒක නිසාම කෑන් මාරු වුණාම අනාථයි. අග මුල හොයාගන්න බෑ. හැබැයි කලිං ෆිල්ම් ඒක බලල තිබුණ අපි කීපදෙනෙකුට විතරයි අවුල ෙත්රුනේ...

    ReplyDelete
    Replies
    1. හංස විලක් එකේ අග මුල මාරු උනාම කොහොම තියෙන්න ඇද්ද කියල මං කල්පනා කරා . අපි බලපු ප්‍රංශ ඉතාලි චිත්රපටිවලනම් ඔය වැඩේ ඔහොමම උනත් තේරෙන්නේ නෑනේ . ස්තුතියි මේ මතක සටහනට

      Delete
  14. රසවත් සමාජයක් ගොඩනගන්න ඔබ ගත් වෙහෙස මහන්සියට හිස නමා ආචාර කරමි .
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විචාරක දියණිය

      Delete
  15. රසවත් සටහනක් තිලක් අයියේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි

      Delete
  16. I was the VP in 1965/66. We had similar experiences. Prof. Gerald Pieris (Geography) was the Senior Treasurer. Good to go back to the past. THanks for the blog.
    For those interested, there is the site EINTHUSAN where you can watch Indian movies mostly with English subtitles (similar to Film Soc stuff). In this collection there are very good movies. Enjoy

    ReplyDelete