Friday, March 18, 2016

තුම්මංහන්දියේ ලොකුමාමා හෙවත් අපේ සමන් රන්ජිත්

කාරයේ පිටුපස අසුනේ හරස් අතට මම නිදාගෙන ආවා .වෙලාව මධ්‍යම රාත්‍රියට ආසන්නයි . බණ්ඩාරවෙල හපුතලේ පසුකරමින් රිය බෙරගල පල්ලම බසිමින් සිටියා . කාරය පදවමින් සිටි බන්දු ඇහැරවා තබා ගනිමින් උපාලි ඉදිරි වම්පස අසුනට වී ඔහේ දොඩවමින් ආවා. වරින් වර මා ඔලුව උස්සා කතාවට සම්බන්ධ වෙන්න උත්සහ කළා .
එවිට බන්දු  මෙහෙම කියනවා
'නිදා ගනින් . ඊයේත්‍ නිදි නෑ . දැන් මෙහෙම්මම එයාර්පෝර්ට් ගිහින් පැය පහක් ප්ලේන් එකේ ඉඳලා හෙට ආපහු වැඩට යන්නත් ඕනිනේ'
මගේ පෙබරවාරි විසිනවවනිදා රාත්‍රිය ගෙවුනේ එහෙමයි .
ෂාහ් අවුරුදු  හතරකට පස්සේ සමන් හම්බුනේ ඊයේ. ඌ එක්ක පැය දෙක තුනක්වත් ඉන්න බැරි වුනා . කොයිතරම් දේ කතා කරන්න තිබ්බද?. ඒත් හෙට පළවෙනිදා බෙල්ල කඩාගෙන හරි වැඩබිමේ ඉන්න ඕනි. හෑන්ඩින්  ඕවර් එකක් තියෙනවනේ.

ඉදිරි අසුනේ ඉන්න මිත්‍රයෝ දෙන්නටත් සමන් හම්බුනේ අවුරුදු හතරකුත් මාස දෙකකට පස්සේ . උන් දෙන්නානම් සමන් ලංකාවට ආ බව දැනගත්  සැනින්  එහෙ ගිහින් තිබුනා. 2011 අවුරුද්දේ දෙසැම්බර් මාසේ දවසක එතෙක් මැද පෙරදිග රස්සාව කරමින් හිටි සමන් මාසෙකට ලංකාවට ආවේ සිය පවුලත් එක්ක ඔස්ට්‍ර්ලියාවට සංක්‍රමණය වෙන්න හිතාගෙන . එදා අපි සමන්ගේ ගෙදර රූෆ් ටොප් එකේ පොඩි මිතුරු සාදයක් දැම්මා. අපි ආයේ හම්බවෙලා සෙට් වෙන හැටි කතා කළා. 'උඹල ඔක්කොම එහෙ වරෙල්ල' . සමන්  කිව්වා.

මේ කල්පනාවල් අතරේදී ඉදිරි අසුනේ මතක කතා බහ ඇවිස්සෙනව .

සමන්ගේ දේශපාලනය. බණ්ඩාරවෙල වධ කඳවුරේ දින කීපයක් ගත  වෙච්ච හැටි.   මුතු කැට වගේ ලස්සන අත්අකුරු හින්දම ඔහුට වෙච්ච නිමක් නැති කරදර.

අඩි  සීයක් විතර දිගට පේරාදෙනි හිල්ඩා ශාලාවේ,  ආර්ට්ස් ෆැකල්ටියේ උඩ ගහපු 'පළමුව මව්බිම දෙවනුව උපාධිය' කියපු පෝස්ටර් . සමන්ගේ අත් අකුරු.

අපේ  බැච් එකේ කාගේ හරි නෑදෑයෙක්ගේ මළගෙදරක්,  මගුල් ගෙදරක්, පිරිත් ගෙදරක් තිබ්බොත් සමන් අඬ ගහගෙන යනවා . මගුල්පෝරු , පිරිත් මණ්ඩප , ගොක්කොල සැරසිලි හැම එකක්ම කරන්න සමන්ට  පුළුවන්.බැනර් අඳින්න සොහොන් කොත බඳින්න මුල් වුනේ සමන් .

ඒ දවස්වල අත් අකුරින් ලියන්න ඕනි කෝස්වර්ක්වල සෑහෙන දෙනෙක්ගේ මුල් පිටුව  සමන්ගේ නිර්මාණයක්.

අපේ කාලේ පීඨ දිනවල ජනප්‍රියම වෙච්ච නාට්‍ය දෙකේ කතා තේමාව, අධ්‍යක්ෂණය වගේම ප්‍රධාන නළුවා වුනෙත් සමන් . මම කලේ ඌ කියපු අදහසට  සින්දු ලියපු එක තමයි.
හැබැයි මේ කිසිම දේක කීර්තිය ගන්න සමන්  උනන්දු උනේ නෑ , කරපු දේ ක්‍රෙඩිට් එක සමහර විට කාට හරි ගියා . ටික දවකින් සමන් කාටත්  අමතක වෙනවා. මේ සිද්දිය පුනරාවර්තනය වෙමින් කාලාන්තරයක් සිද්ද වුනත් සමන් ඒ ගැන තැවුනේ නෑ . අලුතින් ප්‍රබෝධමත් යමක් කරලා කාව හෝ සතුටු කළා .
තුන්මන් හන්දිය නවකතාවේ ලොකු මාමගේ චරිතය සමන්ට බොහෝ දුරට ගැලපුනා .

සමන් ඉස්සෙල්ලාම කොළඹ ගිහින් වල්ලවත්තේ තට්ටු  නිවාස ව්‍යාපෘතියක වැඩ කළා . සමනටත්, ඔහු සමග වැඩ කළ මාහිටිටත් හම්බුන කුඩා නවාතැන ඒ දවස්වල අපේ  මිත්‍රයන්ගේ කොලඹ තානායම. ඉන්ටවිව් එනකොටත්, ලෙඩුන් බලන්න හෝ මොනයම්ම වැඩකට කොළඹ එනකොටත් කවුරුත් පාහේ නතර වෙන්නේ සමන්ගේ නවාතැනේ. ඒ විතරක්ද ඉස්සෙල්ලම කොළඹ රස්සාවක් හම්බ වුනාම නවාතැනක් සෙට් වෙනකන් යාළුවො කාලයක් තිස්සෙම ලැඟුම් ගත්තේ සමන්ගේ  නවාතැනේ. මේ සියලු දෙනාටම ඉඳුම් හිටුම්, තුන්වේල කෑම විහරක් නෙවෙයි හවසට බීර බෝතල්ද සැපයුනා.

දවසක්  සයිට් ඉංජිනේරුවන් දෙදෙනාට දුන් කාමර දෙකේ නිල නිවාසයට සමාගම් ලොක්කා මහා රාත්‍රියේ ආවේ හදිසි විදෙස් ගමනකට එයාර්පොර්ට් යනගමන් . ඔහුට ඉංජිනේරුවන් දෙන්නා හොයාගන්න බැරි වුනා. මොකද දෙන්නා වෙනුවට සාලේ කාමරවල  එක වයසේ දාහත් දෙනෙක් නිදා සිටි නිසා .

කටාර්වලට ඇවිල්ලා සමන් කුලියට ගත්ත කාමර දෙකේ  නිවසත් ඒ වගේ. එක කාමරයක කාලයක් මම හිටියා . අනෙක් හැමතැනම හැමවිටම තව දෙතුන් දෙනෙක් හිටියා බොහෝ විට මේ රටේ ඉස්සෙල්ලම රස්සාවට ඇවිල්ල බෝඩිමක් හොයාගන්නතුරු නැවතිලා හිටි අය . මේ සමහර දෙනෙකුට රස්සා හොයලා දුන්නේ සමන්මයි . ඒ විදිහට බැලුවම ලංකාවේදීත් පිටරටදීත් කී දෙනෙක් රස්සාවලට දාන්න සමන් මුල් වෙන්න ඇත්ද ?

වෙන එකක් තියා මේ මට  කසකස්තානෙත් මැදපෙරදිගත් රස්සාව කරන්න ලැබුනේ සමන් නිසා. ඌ මගේ CV එක කණපිට හරවලා සහතික අමුණලා පියවරෙන් පියවර සීරුවට හොයා බලපු නිසා තමයි මට මේ රස්සා කරන්න ලැබුනේ.  සමන් ඕස්ට්‍රේලියා ගියාට පස්සේ සතියකට දෙකකට වතාවක් මට කතා කළා. ඒ හැම විටම කාට හෝ රස්සාවක් දෙන්න මාව උනන්දු කළා. කාගේ  හෝ ජීව දත්තයක්  මට යොමු කළා. මේ විදිහට සමහරුන්ගේ ජීවිතේම වෙනස් පැත්තකට හරවන්න සමන්ට පුළුවන් වුනා .

පිටිපස අසුනේ වැතිරී නින්දත් නොනින්දත් අතරේ මට මෙවැනි දේවල් කල්පනා වෙමින් සිටිද්දී ඉදිරි අසුනේ බන්දුගේ හඬ උස්ව නැගෙන්නට වුනා.

'උඹ දන්නවද සමනුයි මායි  88 මුල කැම්පස් වහල තියෙන කාලේ රස්සාවක් හොයාගෙන ගිය හැටි . පත්තරේ තිබ්බ අවිස්සාවේල්ල පැත්තේ සයිට් එකකට සුපර්වයිසර්ල ඕනි කියල අපි දෙන්නා  සන්තකේට තිබ්බ රුපියල් එකසිය පණහත් අරගෙන අවිස්සාවේල්ලේ යන්න හිටියා වැලිමඩ බණ්ඩාරවෙල පාරේ. බණ්ඩාරවෙල පැත්තට සෑහෙන වෙලාවකින් බස් එකක් නෑ . මෙන්න එකපාරට ආව අනිත්පැත්තට යන  මහනුවර බස් එක . දෙන්නම පාර පැනලා ඒකට ගොඩ වුනා . නුවර ගිහිං අපි අම්පාරට ගියා. අතේ ඉතිරි වුනේ රුපියල් දෙකයි. පස්සේ උපුල්ගේ ගෙවල් අහ අහ පයින් ගියා . අම්පාරේ උපුලගේ  අයිය ඉස්කෝලේ මහත්තයෙක්. එයාගේ ගෙදර යන්තම් හොයාගත්තයින් පස්සේ අපට ගමනාන්තයක් ලබුනා . අවිස්සාවේල්ලේ ගමන එතනින් ඉවරයි. මම දවස් දෙක තුනකින් උපුල්ලා අක්කාගෙන් සල්ලි ඉල්ලගෙන ගෙදර ආවා. සමන් මාස තුන හතරක් අම්පාරේ කුඹුර වල ගම්  වල ඇවිද ඇවිද ඉඳල තමයි ආවේ.'

ඒ අම්පාරේ ජීවිතේ ගැන සමන් මට විස්තර කිව්වා කසකස්තානේ අපි රස්සාව කරද්දී .  ඒ කතා බොහොමයක් හරිම සුන්දරයි. අලුත් තැන්වල ඇවිදින්න අලුත් රටවල් බලන්න යන්න මිනිහට තිබ්බේ පුදුම ආසාවක්. කසකස්තානේ වගේ රටකට රස්සාවකට යන්න හිතන්නේ එහෙමත් කෙනෙක්. එහෙදි අපි කතා වුනා කවද හරි ඉඩක් ලැබුනොත්  මොන්ගෝලියාව , බටහිර ඉන්දීය දූපත් වගේ රටවල රස්සාව කරමු කියල.

මට තරමක් නින්ද යාගෙන එද්දී ඉදිරි අසුනෙන් රස කතාවක් ඇසෙන්නට උනා .

'අපි  ෆස්ට් ඉයර් එකේ ඉද්දි මතකද ඌ අපිව කෝච්චියට ඇරලන්න ඇවිත් දුන්න අණ්ඩරයක් . පේරාදෙණියෙන් රෑ එකොළහ හමාරට පිටත්වෙන කෝච්චියෙන් තමයි අපි බොහෝ විට ගෙදර එන්නේ. උදේ හයහමාර වෙනකොට බණ්ඩාරවෙල.  බණ්ඩාරවෙලින් බැස්සම ඉස්සෙල්ලම යන්නේ දියතලාව පාරේ තිබ්බ පුංචි තේ කඩේකට . සැර ලුණු මිරිස උලපු පොල් රොටියයි කාලා, ස්ට්‍රොන්ග් ප්ලේන්ටිය බිව්වම මාර ගතියක් දැනෙනවා'.

අපිව කෝච්චියට ඇරලන්න බැචාලා කීප දෙනෙකුත් එනවා . ඒ වගේ දවසක බන්දුයි උපාලියි ඇරලන්න එන උන් එක්ක සමනුත් ආවා . මේ උපාලිගේ වචන .

' ඉතින් අපිව පෙට්ටියකට නග්ගලා  මිනිහා යන්නම් මචන් කියල ගියා.

පහුවදා උදේ අපි බණ්ඩාරවෙලින් බැහැලා සුපුරුදු රොටි කඩේට යනකොට මෙන්න සමන් ඒ කඩේ වාඩි වෙලා රොටි කනවා . හිකි හිකි ගගා හිනා වෙවී. අපිටත් එක්ක රොටි ඔර්ඩර් කරලා . ටික වෙලාවක් යනකම් අපි හොල්මන් වෙලා හිටියා. පස්සෙයි තේරුනේ මේ යකත් ඒ කෝච්චියෙම වෙන පෙට්ටියකට රිංගලා  ඇවිත් කියල' .

ඉදිරි අසුනෙන් නැගී පුපුරා හැලුන සිනාවට මමත්  එකතු වුනා. ඒත් ඒ සිනහවේ  කෙළවර  ඉතා බරපතල දීර්ඝ නිහඬතාවයක් .මේ අප සිටින්නේ සමන්ගේ මළගමට ගොස් ආපසු එනගමන් වග තුන්දෙනාටම සිහිපත්වෙලා තිබුනා.

*********************.

සමන් රන්ජිත් මනතුංග යනු මට ජීවිතයේ හමුවූ ඉතාම කිට්ටුවන්ත සොඳුරු මිතුරෙක් . ඒ වගේම ඔහු ලංකාවෙන් බිහි වෙච්ච සුවිශේෂී ඉංජිනේරුවෙක්. පහුගිය පෙබරවාරි 28 වැනිදා ඔහු මිය ගියේ මා දන්නා විශ්වයේ විශාල හිස් පදාසයක් මවමින්.

මම ලියපු කැස්පියන් හඳ කතා මාලාවේ මහතුන් තමයි සමන් කියන්නේ. මගේ  මගුල් පෝරුව හැදුවේ සමන්. මා ලියු ගොඩක් කතාවල ඔහු ගැන සඳහන් වුනා.
ඔහු ගැන පොතක් ලියන්නට තරම් දේ තිබුනත්, ඔහුගේ වියෝවින් පසු කිසි දෙයක් ලියා ගන්න බැරිව  හිත හිරි වැටුණු සති  තුනක් ගෙවා දමන්නට මට සිදු  වුනා.   මට විතරක් නෙවෙයි තව බොහෝ දෙනෙකුට ඔහු සොඳුරුතම  මිතුරෙක් හා දුර්ලභ වටිනා මිනිසෙක්. මගේ ඊළඟ සටහන වෙන්වන්නේද ඔහු වෙනුවෙනුයි.


31 comments:

  1. වටිනා මිනිසුන් ගොඩ දෙනෙක් අපෙන් වෙන් වී ගිය අවාසනාවන්ත සති කිහිපයක්... සමන් අය්යාට නිවන් සුව පතමි.

    ReplyDelete
  2. මිතුරාට සුභ ගමන්....!

    ReplyDelete
  3. කතා කරන්න මුණ ගැහෙන්න බැරි උනාට සමන් අයියා ගැන මතක ඔහු නැති අඩුව පුරවාවි.
    මට ඔහුව අන්තිමට මුණ ගැහුන මතකයක් තියෙන්නෙ අවුරුදු 22 විතර උඩදි

    ReplyDelete
  4. Only the good die young.
    ඇයි බං එහෙම වෙන්නේ?

    ReplyDelete
  5. ඔය ලිපිය කොයි වෙලාවේ හරි එන බව දැනගෙන හිටියා. සමන් රංජිත් ගැන ලියන්න සුදුසුම පුද්ගලයා ඒ වැඩේ කරද්දී පෝස්ට් එකේ වටිනාකම අඩු කළ යුතු නැති නිසා වැඩිපුර දේවල් ලියන්නේ නෑ.

    ReplyDelete
  6. සුන්දර මිනිසෙක් ගැන විස්තරයක් කරගෙන ඇවිත් මරණය ගැන කියන කොට පොල්ලකින් ගැහුවා වගේ දැනුනා. ඔහුට නිවන් සුව.

    ReplyDelete
  7. සමන් රන්ජිත් වාසනාවන්තයෙක්...ඔහුට සාමය....

    ReplyDelete
  8. මාර පොරක්නේ මොකක් වෙලාද ඉක්මනට ගියේ ,
    ලස්සන අහිංසක පෙනුමක්

    ReplyDelete
  9. හිත සසල කළ ආරංචියක් වුණත් හරියටම බොක්කට දැනු‍ණේ මේ සටහන කියෙව්වාමයි.

    ReplyDelete
  10. ලියන්න ... ඔහුගැන... ඔහුව ජීවත් කරමු.. ඔහු පැතූ ලෙසටම අනුනට උපකාරයක් වේවි ඔහුගේ කතා..
    එතුමාට සැනසීම ලැබේවා..!
    ජයවේවා..!!

    ReplyDelete
  11. හුඟක මෙතන ඉන්න අය දනන් කෙනෙක්. තිලකගේ ලිපිය කියෙව්වම කොපමණ සුන්දර කෙනෙක්ද කියල හිතෙනවා. ඔහුට සුභ ගමන්.

    ReplyDelete
  12. තිලක් අයියගේ ලිපිය සුන්දර මනුස්සයෙත් තවත් සුන්දර කරල පෙන්නනව..
    කියල තියෙන කතාවෙන්ම පේනව අර රත්තරං කියල කියන්න පුලුවන් කුඩා කුලකයට අයත් කෙනෙක් බව...
    මිතුරාට නිවන් සුව ප්‍රාර්ථනා කරනව

    ReplyDelete
  13. සමන් ගැන විස්තරේ කියවන් එදිදි මහතුන්ව මතක් උනා. අන්තිමට තිලකේ ඒක දාලා..

    සුභ ගමන් සමන්.. බොහො දෙනෙකුට ආලෝකයක් වූ පහනක් නිවි ගිහින්...

    ReplyDelete
  14. ඔබේ සටහන හරිම හෘදයාංගමයි තිලකේ.මිත්‍රයාට සුබ ගමන්...

    ReplyDelete
  15. I met this wonderful person and great engineer very late but had the fortune to spend some time with him on various occasions. Once at a estate in Sri Lanka, he told me his trick of finding what is really going on. He was nice to the drivers and they told him many secrets. An amazing person who faced his sickness with Dhamma and strong determination. May he attain Nibbana.

    ReplyDelete
  16. අකල් මරණ අහන්න ලැබීම දුකක්. ඔබේ මිතුරාගේ අභාවය පිළිබඳව මගේ කණ්ගාටුව පිළිගන්න.

    හැබැයි මේ කරුණු දෙක කිව යුතුයි.

    1. හොඳ අය ඉක්මනට මැරෙනවාය කියන කතාව පදනමක් ණැති මෝඩ කතාවක්. හොඳ අයත් ඉක්මනට මැරෙනවා. නරක මිනිස්සුත් ඉක්මනට මැරෙනවා. නමුත් අපට මතක ඉන්නේ, හිතට දැනෙන්නේ හොඳ අය ගැන පමණයි. මෙහි විලෝමයද එසේමයි.

    2. පළමුව මව්බිම - දෙවෙනුව උපාධිය යනු විශ්ව විද්‍යාල සිසුන් විසින් ලියන ලද උපරිමයටම අමන මරි මෝඩ සටන් පාඨයයි. හොඳ වෙලාවට මම ඒ කාලයේ විශ්ව විද්‍යාලයේ හිටියේ නැත.

    ReplyDelete
  17. විශ්ව නීතිය හරිම කුරිරුයි.. හොඳ ම්නිස්සු ඉක්මනට මරල දානවා....වැඩකට නැති සත්තු ටික චිරාත් කාලයක් ජීවත් කරවනවා..

    ඔබේ සොඳුරු මිත්‍රයාට නිවන්සුව ලැබේවා...

    ReplyDelete
  18. He had a very well developed mind towards the latter part of ill health. He guided me through a very tough patch in my health at that time too. Thilake- I will share those moments when we meet again. I have no doubt, he became quite closer to say good bye to suffering in this samsara cycle during 2015. Looking forward to seeing few more stories about him.

    ReplyDelete
  19. කවදා කොහොම යායුතුදැයි නොම දන්නේ,
    සොඳුරු මතක පමණකි අප ගෙන යන්නේ,

    හෘදයාංගම වූ මතක සැමරුමක් තිලක්...

    ReplyDelete
  20. Lassanai uncl...
    Gdak..

    Anith aya gana hitanna thrn sanwedi wena aya gdk adui..
    Gdk watinw ehm aya..

    ReplyDelete
  21. පින්තුරයක් එක්ක කියෝගෙන යනකොට හිත 'ගිඩි ගිඩි' ගගා ගැහෙන්න ගත්තා මේ නම් සතුටකින් ඉවරවෙන කතාවක් නෙවෙයිමයි කියල.. කිව්වත් වගේ.... හ්ම්ම්...

    හොඳ මිනිසුන් ඉක්මනින් මැරෙන්නේ නැහැ. ඔවුන් ඉක්මන් උනා කියලා අපිට හිතෙන්නේ ඔවුන් ගැන අපි වැඩිපුර බලාපොරොත්තු වෙන හින්දා වෙන්න ඇති.

    මේ සටහන් වටින්නේ අනාගතේට. නැත්තම් මේ යන විදියට අපි මිනිස්සු ගැන විස්වාසය අතහරියි. මෙහෙම මිනිසුන් කියන්නේ සුරංගනා කතා චරිත කියලා හිතයි. ඒ නිසා ඔහු ගැන ඔබ දන්නා දෙයක් කියනවා නම් වටිනවා හැමෝටම.

    ඔහු මියගියේ මොකක් හන්දා උනත්, මට අපරාදේ කියල හිතෙන්නේ නැහැ. ඒ ඔහු ඔහුගේ කොටස ඉෂ්ඨ කරපු කෙනෙක් නිසා. තවමත් ජිවත් වෙමින් මළවුන් සේ සිටින අපට නින්දෙන් නැගිටින්න උදව් වෙයි මේ කතන්දර

    ReplyDelete
  22. A great son to his parents....a great brother to his brothers....a great father to his cute kids....a lovely husband to his wife....a great friend to his friends....a great entertainer to all of us....You are an incredible person....Literally, you were too good to this world...We really miss you Saman Ranjith. May you attain Nibbana!!!!! - Nisha

    ReplyDelete
  23. තුම්මංහන්දියේ ලොකුමාමාගේ වියෝව වගේම දුක හිතෙන සමුගෙනයාමක්.කැස්පියන් හඳ මම "තිලක සිත" පොතෙන්.
    තිලකේ අයියාගේ මිතුරාට සුබ ගමන්.

    ReplyDelete
  24. හොද මිනිසුන් ඉක්මනින් නික්ම යයි.
    ඔහුට නිවන් සුව.

    ReplyDelete
  25. මිතුරාට සුභ ගමන්....!

    ReplyDelete
  26. මචං, සමන් ගැන උඹේ මේ "පොස්ට්" එක එන බව මම දැනගෙන උන්නා. සමන් රංජිත් කියන අපූර්ව චරිතය විස්තර කරන්න මට උබට වගේ ලස්සනට අකුරු අමුණන්න හැකියාවක් නැතිවුනත් මේ සටහන තියන්නේ සමන්ගේ නොනිව්න මිනිස්කමට පුංචි උපහාරයක් විදියට...
    මට සමන්ව වඩාත් ලගින් ඇසුරු කරන්න ලැබුනේ "campus" එකෙන් out වුනාට පස්සේ.. සරණාගතයෙක් වගේ කොළඹ රස්සාවට කඩාවැටුන මාව පිළියන්දල "චමරි" එකට අරං ගිහින් නවාතැන් දුන්නේ සමන්. සමන්, මාහිටි, වාසල, විකී, පිළියන්දල චමරියේ ස්ථිර සාමාජිකයන් වුණත්, උඹ කිව්වා වගේම මෙතනත් පොඩි සරණාගත කදවුරක් වුණා. ඒවගේම බොහොමයක් බැචලගේ මළගෙවල්, මගුල්ගෙවල් වගේ දේවල මෙහෙයුම් මද්‍යස්තානය වුනේ මෙතන. මගේ ගෙදර සැලසුම් කරලා හැදුවේ, උඹේ මගුල් පෝරුව වගේම, මගේ මුලු "wedding" එකමත් සංවිධානය කලේ සමන් මුලිකව මේ මෙහෙයුම් මද්‍යස්තානය හරහා. පස්සේ කලෙක අපි "Lady Hill" එකේ ඉන්න කාලේ සමන් අපිත් එක්ක සති කීපයක් ගතකලා. සමන් කසකස්තානේ සහ මැද පෙරදිග ඉන්න කාලේ උඹලට කතාකරන්න ලැබුන අවස්ථාවන් අඩුවුනත් අපි එකිනෙකා ගැන විස්තර දැනගෙනඋන්නා. ඔස්ට්‍ර්ලියාවට සංක්‍රමණය වුනාට පස්සේ "E-mail" එකක් "Skype" කෝල් එකක් හරහා දුක සැප දැනගන්න අපි පුරුදුවෙලා හිටියත්, සමන් කවදාවත් මේ අසනීපය ගැන කිව්වේ නෑ. 2015 අවසාන හරියේ මම සමන්ට කෝල් එකක් ගත්ත වෙලාවේ, සමන් මොනවා හරිදෙයක් හංගාගෙන කතාකරන බව මට දැනුනා. පස්සේ තව කීපවතාවක් සමන්ට කෝල් කරත්, කාරණය දැනගන්න මට ලැබුනේ නෑ. සති කීපයකට කලින්, බමුණාගේ "Wiber" මෙසේජ් එකත් උබේ මේල් එකත්, මාව ගොළු කලේ, මේ සොදුරු මිනිසාව අවසන් වතාවට හෝ දැකගන්න මට නොලැබෙන බව දැනුණ නිසය්.
    අපේ සදාදරණිය සමන් රංජිත් ගැන මුළු ලෝකෙටම කියපන් මචන්......
    -බැචා චන්දන

    ReplyDelete
  27. සංවේදී සටහනක්..හොඳ මිනිස්සු ඉක්මනට යන්න යනවා කියන එක පදනමක් නැති වුනත් මගේ ඔලුවෙත් හැමදාම ඒක එහෙමයි කියල තමයි රෙජිස්ටර් වෙලා තියෙන්නේ..

    ReplyDelete
  28. මිතුරාට නිවන්සුව පතමි !!!

    ReplyDelete
  29. ඔබේ සියලු සටහන් වලට ස්තුතියි. මේ බ්ලොග් සටහන සමග comment සියල්ලද සමන්ට උපහාරයක් ලෙස එක් රැස්කොට තබමි .

    ReplyDelete