Sunday, October 12, 2014

වේවැල් කසාය හා සඳුදා අක්කා



ගත් පාඩම්වලින් වැඩ ගැනීම හා පෙර සුදානම මා කුඩා කල සිටම හුරු වී  සිටි හොඳ පුරුදු දෙකකි . මේ අතුරු කතාව ඊට සාක්කි කියනු ඇත.
*****
දඬුවම් හා දැඩි දඬුවම් ගැන ළමා මනෝ විද්‍යාව ආශ්‍රිත කතා බහකට යාමට මේ වෙලාව නොවෙයි .

මාතර ලාල් මට කිව්වේ ඔහු කුඩා කාලයේදී ඉස්කෝලේ ලොකු මහත්තයා කෝටුවක් අතේ තියාගෙන හැන්දෑ වෙද්දී  ගම වටේ රවුමක් යන බවයි. පාරේ රණ්ඩු කරන කොල්ලන් හා අවදානම් ගස් උඩ  නගින කොල්ලන් හමුවුවහොත් තැන නොතැන නොබලා කෝටු පාර දෙන බවය.

නේපාල ජාතික මගේ යෙහෙළියක් කිව්වේ ඔවුන්ගේ තාත්තාද ගමේ ඕනිම ළමයෙක් වැරද්දක් කරන්න්නේනම් කෝටුවකින් තලන්නට පුරුදු වී සිටි බවයි.

ඒත් දියුණු ලෝකයේ එසේ කරන්නට බැරිය. එහෙදීනම් ළමයෙකුට දඬුවම් කිරීම යනු හිරේ ලගින්නට වෙන වැඩකි. බටහිර රටක වෙසෙන මගේ මිතුරෙක් මට කිව්වේ හදන්නට බැරි තරම් මුරණ්ඩු තම පුත්‍රයාට බිරිඳ බනින්නේ මෙසේ කියමින් බවයි.
'යමන්කෝ ලංකාවට. කටුනායකින් බැහැපු ගමන් මම උඹව හම ගහනවා! '

ප්‍රසිද්දියේ ලජ්ජාවට පත් උනොත් හෝ කවුරුවත් වැඩිපුර අවවාද කලොත් ගෙදර හැර දමා යන්නට සැරසෙන දිවි නහ ගන්නට හදන සමහර දරුවන් දකිද්දී  ' සඳුදා අක්කා' වැනි අයට තිබ්බේ කොහොම හිතක්ද කියා මට සිතෙයි.

මීට අවුරුදු තිස් පහකට විතර ඉස්සර සඳුදා දවසක උදේ ඉස්කෝලේ ඇසෙම්බ්ලි එකේ මහා අමුතු වැඩක් සිද්ද වුනේය. විදුහල්පති තුමා ලව් ලේටර් එකක් කියෙව්වේය .

' මම ඔයාව ඉස්සෙල්ලම දැක්කේ සඳුදා දවසක
ඔයා මගේත් එක්ක ඉස්සෙල්ලම කතා කලෙත් සඳුදා දවසක
ඔයා මට ඉස්සෙල්ලම ලියුමක්  දුන්නෙත් සඳුදා දවසක
මම ඔයාට මේ පළවෙනි ලියුම ලියන්නෙත් සඳුදා දවසක'

මෙය හඬ නගා කියවූ විදුහල්පතිතුමා ලොකු පන්තියක සිටි කොල්ලෙක් හා කෙල්ලෙක් තමන් අසලට ගෙන්වා ගත්තේය.

'එතකොට හැම දේම වෙලා තියෙන්නේ සඳුදා දවසක නේද ?

දැනගනිල්ලා මම උඹල දෙන්න හම ගහන්නෙත් සඳුදා දවසක' කියමින් දෙදෙනාටම මහා ප්‍රසිද්දියේ වේවැල් පහර කීපයක්  එල්ල කළේය.

මේ සිද්දියෙන් පසු පත්තරේ  වැටෙන අලකලංචියක්  නොවුනේ කවුරුවත් මේ වගේ දේවල් මහා බරපතලේට නොගත් නිසාය. සිදු වුයේ අර ඉහළ පන්තියේ අක්කාට 'සඳුදා අක්කා' කියා කාඩ් එකක් වැදීම පමණය. කවුරුත් ඒ නම කියා කොලොප්පන් කරනවා  ඇසුනොත් ඇයත් ඔවුන් සමග සිනා සුනාය. .

( ප්‍රසිද්දියේ දරුවන් ලැජ්ජාවට පත්කිරීම හා ළමයින්ට දඬුවම් කිරීම නොකළ යුතු බව මගේ අදහසයි. අනෙක් අතට දරුවන්ගේ හිත්ද මීට වඩා ශක්තිමත් කරවියයුතු බව කියන්නට මෙය ලියමි)

මේ විදුහල්පතිවරයාම තවත් දවසක් අපේ පන්තියේ හිටි 33 දෙනෙකුට තට්ටම් වල පළු  මතුවන තුරු වේවැල් කසාය දුන්නේය. පාසලට ආ ප්‍රභූවරයෙක් සමග විදුහල්පතිතුමා පාසලේ අසිරිය පෙන්වමින් ඇවිද යද්දී අපේ පන්තියෙන් ඇසුණු අශෝබන හු හඬක් නිසා ඒ ගුටි පුජාව ලැබිණි.

ප්‍රභූවරයා නික්ම  ගියාට පසු දිග වේවැල් දෙකක්ම අතින් ගෙන රතු කරගත් මුහුණින් අපේ පන්තියට කඩා වැදුණු ලොකු සර්  ' කෝ කියනවා බලන්න හු කිව්වේ කව්ද කියල , නැත්නම් ඔක්කොටොම ගුටි  කන්න වෙනවා' කියා පන්තිය දෙවනත් කළේය .
ම්හ්! එකෙක්වත් කියන්නේ නැත.

ඉතින් ඔහු මොනවා කරන්නද? එක එකා ගෙන්වා ගුරු  මේසය දෑතින්ම අලලා  ගන්නැයි  කියා තට්ටමට  අතේ හිරි යනතුරු වේවැලෙන් තඩි බෑවේය. සමහරුන් පළමු පහර වදිද්දීම අඬන්නට පටන් ගත්  අතර සමහරු ගුටි කා ගොස් පුටුවේ වාඩි වෙන්නට යද්දී දැනුනු ගිණි කන වේදනාව නිසාය හඬා වටුනෝය. විදුලි සැරයක් වදුනාක් මෙන් පුටුවෙන් නැගී හිටි සමහරෙක් පස්ස අත  ගගා හිටගෙනම ඇඬුවෝය .

ඒත් අපේ මෙත්තා හෙවත්  මෙත්සිරි එක කඳුළක් හෙළුවේ නැත . ඒ උගේ චිත්ත ශක්තිය නිසා නොව ඔහු ඇඳගෙන හිටි කලිසමේ ශක්තිය නිසාය. ඒ දවස්වල ඉතා ඝනකම ඇති රෙද්දකින් වෙළඳපලට ආ බේල් කලිසමක් ඔහු හැඳ සිටියේය .ඔහුගේ තට්ටමට වේවැලෙන් තලන විට දවස් ගානකින් සෝදා නොතිබුණු කලිසමේ තිබු දුවිලි හා රටහුණු කුඩු දුමාරයක් සේ විසිරී  ගියේය.මේ අසිරිය බල බලා සිටි අපට පසුපසින් දැනුණු  වේදනාව අමතකව ගොස් සිනහ ආවේය .

මේ දුර්දාන්ත සිද්දිය හමුවේත් මගේ සිතට නැගුණු  සිතුවිල්ල වුයේ ගන්න ඕනේ මේ වගේ බේල් කලිසමක් කියලාය .

ඉන් සතියක් දෙකක් අවෑමෙන් බණ්ඩාරවෙල පොලේ ආ දවසක අම්මාට පෙරැත්ත කර බේල් කලිසමක් ලබා ගන්නට මටද හැකි විය.

ටික කලක් යනතුරු මගේ ප්‍රියතම ගමන් කලිසම වුයේ බේල් කොට කලිසමයි. අපිට ගෙදරට අඳින්නට පුංචි සරම් පොඩි තිබුනේය .

ඔය කාලයේම මට උගත් පාඩම්වලින් වැඩ ගන්නට ඉඩක්  ලැබුණි.

අපට යාබද ගම්මානයට යන්නට තිබුනේ කුඩා ඔයකින් එතෙර වීලාය. එගමට බස් එන්නේ නැත එනිසා එහි වැසියෝ නගරයට යන්නට දිය පාර තරණය කොට අපේ ගමට පැමිණ බස් එකට ගොඩ විය යුතුය. මේ ගමේ සිටි තාත්තාගේ හිතවතෙක් නගරයේ කන්තෝරුවක රාජකාරී කළේය . ඔහුට බයිසිකලයක් තිබිණි.

බයිසිකලය ගමට ගෙනියන්නට පාරක් නැත . ඒ නිසා බයිසිකලය නතර කර තබන්නේ අපේ ගෙදරය .
බයිසිකලයට ගාන්චුවක්  දමා යතුරක් දමා යන්නට ඔහු අමතක නොකළේය. එසේ කරන්නට එකම හේතුව මාය. මගේ ගජමිතුරු සුනිමල් සහ මම කෙසේ හෝ මේ බයිසිකලය පදින හැටියක්  ගැන සිහින මැව්වෙමු.

එක්තරා සෙනුරාදා දවසක සුනිමල් තඩි සුට් කේස් යතුරක් හොයාගෙන අපේ ගෙදර ආවේය. ගෙදර ඇත්තෝ එකෙල මෙකෙල වෙනතුරු බලා සිට අපි සැලසුම ක්‍රියාත්මක කළෙමු.
හරි යතුර ඇතුළට ගියා. ඒත් තදයි . කරකවමු. තව හයියෙන් . ම්ම්ම්ම් කරුමෙක මහත !
යතුරෙන් කෑල්ලක් සිදුරේය. ඔලුව එලියේය. මොනතරම්  උත්සහ කළද යතුරු කැබැල්ල එලියට ගන්නට අපි දෙන්නට බැරි විය.

හොර පුසන් සේ එතැනින් මාරු වුණු අපි  කල්පනා කළේ සඳුදාට වැඩේ මාට්ටු වූ විට කරන්නේ මොකක්ද කියලාය.
සඳුදාට එලිය වැටුනේය. තාත්තාගේ හිතවතා යතුර දමා බයිසිකල් ලොක් එක අරින්නට යද්දී වැඩේ පත්තු විය. ලොක් එකේ හිරවූ යතුරු කැබැල්ල නිසා ඔහුටද එදා වැඩට යන්නට වුයේ පයින්මය

එදා හවස තිබ්බේ මට දැඩි දඬුවම් පමුණුවන අවස්ථාවට මුහුණ දෙන්නටය.

තඩිමිරහ කෝටුවක්  කඩාගෙන හොඳින් සුදානම් කරගෙන  තාත්තා පිළිකන්නට මා කැඳවීය. මා දඬුවම් විඳින හැටි  බලන්නට ගෙදර අයට අමතරව තවත් කවුදෝ රැස්ව සිටියහ .
අම්මා තරමක් ශෝකයෙන් මුත් මේ කරපු නොසන්ඩාල වැඩේට මට කෝටු පාරක් දිය යුතුය යන බව පෙන්වන මුහුණින්ම සිටියාය .   කණ්ඩියක්‌  මත මා හිටවූ තාත්තා මගේ එක අතකින් අල්ලාගෙන අනිත් අතින් හැකි වෙර යොදා තට්ටමට කෝටු පාර දෙයි. වෙනදා මර හඬ තලමින් තාත්තාගේ අතේ එල්ලෙන මම එදා තාත්තා ගහන ගහන පාරට ඔලොක්කු සිනාවක් පෑම කාගේත් විමතියට ලක් වුණි.

තාත්තාගේ අත රිදෙන්නට ඇත. ඔහුගේ කේන්තිය නිවුණු පසු මගේ අත නිදහස් කළේය. මදක් ඉදිරියට ගිය මම සරම් පොඩිය කඩා දමා දිව ගියෙමි. සරමට යටින් මා ඇඳ සිටි තඩි බේල් කලිසම දුටු කවුරුත් පාහේ හිනාවෙන්නට පටන් ගත් අතර මට වඩාත් උස් හඬින් ඇහුනේ තාත්තා හිනා වෙන හඬයි .

උගත් පාඩම්වලින් වැඩ ගැනීම හා පෙර සුදානම මා කුඩා කල සිටම  ප්‍රගුණ කලේ ඒ ආකාරයෙනි.

96 comments:

  1. දඩුවමට පෙර මේ විදිහට සුජානම් වෙන්න තිබ්බනම් අපි ඉස්කෝලේ ඉද්දි ඉඳගන්න බැරිවෙන්න ප්‍රින්සිපල් ගහපු ඒවාගෙන් බේරෙන්න තිබ්බා :D

    ReplyDelete
    Replies
    1. මේවා ලිව්වේ බොලාට නෙවෙයි දැන් ඉස්කෝලේ යන පොඩි උන්ට ප්‍රයෝජනයක් ගන්න D

      Delete
  2. අපි නම් පහුගිය කාලේ උගත් එකම පාඩම නම්, උගත් පාඩම් කොමිසම් නැවත පත් නොකිරීමේ පාඩමයි!

    ReplyDelete
    Replies
    1. හරියට හරි...:D
      +++++

      Delete
    2. මම උගත් පාඩම නම් උගත් පාඩම් කොමිසම යනු එජාපයේ නායකත්ව මණ්ඩලය මෙන් ඉතා බලසම්පන්න ආයතනයක් බවයි

      Delete
  3. තිලක,
    මාත් ඉස්සර බ්ලොග් එකක් කරන කාලේ ලියලා තියෙනවා උගත් පාඩම් ගැන කතන්දර දෙකක්.

    1. උගත් පාඩම් අංක එක හෙවත් ගෙට් යුවර් ප්රයොරීටීස් ඉන් ඕඩර් - Get your priorities in order
    http://kathandara.blogspot.com/2012/01/get-your-priorities-in-oder.html

    2. සුභලාලක තිස්ස උගත් පාඩම් නොදන්නා අද කාලේ රජවරු
    http://kathandara.blogspot.com/2011/12/blog-post_15.html

    උගත් පාඩම්වලට උගත් කියා කියන්න පුළුවන් ඔය බේල් කලිසමේ කේස් එකේදී වගේ ඒකෙන් ප්‍රයෝජනයක් තග්තා නම් විතරයි.

    එහෙම නැතිවුනොත් ඒවා නූගත් පාඩම්!

    ReplyDelete
    Replies
    1. ඒ සටහන් දෙකම කියෙව්වා . පවුලට ප්‍රයෝරිටි දෙන කතාව සේම යසලාලක තිස්ස උන්නැහැ ගැන පෝස්ට් එකත් සර්වකාලීනව වටිනවා

      Delete
  4. ඔය ළමයින්ට ගහන එකට බටහිර රටවල් වල නීති ගෙනාවෙ, ඒ රටවල් වල ඉන්න මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අම්මල තාත්තලාගෙන් ගුටි කාල මැරෙන ළමයින්ව බේර ගන්න... ඒකෙන් කෙල උනේ ඇත්තටම ළමයි හදාගන්න කියල දඬුවම් දීපු අයට... හැබැයි අපි දැනටත් ඉඳල හිටලා දකිනවා ප්‍රසිද්ධියේ තමන්ගේ ළමයින්ට ගහන අම්මල තාත්තලා (කොකේසියානුවන්)... :)

    ReplyDelete
    Replies
    1. මේක කියවාපු ඔය කලාපයේ වැසි තවත් අයෙක් කිව්වේ නීතිය එහෙම වුනත් ලංකාවෙන් ආ අම්මලාටනම් ඒවා අදාළ නැති බවයි

      Delete
  5. එකතුවෙන් සෑහෙන්න කියෙව්වෙමි. කහ කොඩි කතාව ඇතුලු කතා කීපයක්ම තදින්ම දැනුනි. සුන්දර මතකයන් යලි අවදි කරවීමත් හිතට දැනෙන්නට ඉදිරිපත් කිරීමත් අපූරුයි. ජය...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විසිටර් . පහුගිය ටිකේනම් මට ලියන්න කියවන්න වෙලාව ඉතා අඩු වුනා . ඒත් ඉඩක් ලැබුනාම මොනා හරි කුරුටු ගාලා පුදුම සතුටක් ලබනවා

      Delete
  6. හතරවසරෙ හිටිය අරැණසිරි සර් දෙන්නෙ මීටර් කෝදුවෙන් ඇඟිලි වල ඇට ටිකට... පුදුමෙ කියෙන්නෙ මං කවදාවත් ඔය පාරවත් කාලා නෑනෙ.. මං කොහොම හරි අස්සෙන මුල්ලෙන් පන්තිය ඇතුලට පනිනව...

    අවුරදු ගාණකට පස්සෙ මල්ලිගෙ වැඩකට ඉස්කෝලෙට ගියාම උන්ගෙ පන්තියෙ කොල්ලො සෙට් එක ඉස්සරහම සර් ඔය කතාව කිව්වනෙ... මට දුවන්න පාර අමතක උනා... හි හි....

    ReplyDelete
    Replies
    1. හිරු හුඟක් කෙට්ටු නිසා එහෙන් මෙහෙන් රිංගලා හැංගෙන්න ඇති. හි හි

      Delete
  7. අපිත් ඔන්න ඉගෙන ගත්තලු. පොඩි අයට ගහන්ට කලින් යටට ඇඳලා ඉන්නේ මොනවද බලන්ට. :P

    මෙහෙම ප්‍රසිද්ධියේ කියන දේවල්ද මේ? :D

    ReplyDelete
    Replies
    1. ෂ් ෂ් පොඩ්ඩි . මේ පාඩම් අතිශයින්ම පොඩි උන් සඳහා පමණයි D

      Delete
    2. උගත් පාඩම -

      පොඩ්ස් ගේ කමෙන්ට් එකකට රිප්ලයි හෝ කමෙන්ට් කිරීමට පෙර (විසි )දෙවරක් හිතලා බැලීම !!

      Delete
  8. හෙහ් හෙහ්...
    ගුටි නං කාලතියෙනව මදි නොකියන්න...
    එක පාරක් ගුටි කෑවෙ අගලෙක විතර වේවැලක් පුපුරන්න හම්මේ එදා නං...
    සංසාරෙ එපාකියල හිතුන

    ReplyDelete
    Replies
    1. එහෙම ගහලත් හදා ගන්ට බැරි වෙච්ච හැටි !

      Delete
  9. උගත් පාඩම් කොමිසම් තිබී ඇත්තේ අද ඊයේක නොවේය. :-D

    ReplyDelete
  10. මම දහ අතේ කල්පනා කලා...කොහොමටවත් මතක නැහැ ඉස්කෝලෙදි ගුරු භවතුන්ගෙන් ගුටි කාපු වගක් නම්..හොඳ ලමයෙක් නිසා නෙමෙයි, බොහොම දුර්වල (කායික අතින්) ලමයෙක් නිසා වෙන්න ඕනි..
    හැබැයි කෑවා උසස් පෙල පන්තියෙදි පොලිසියෙන්...අමතක නොවෙනම ගුටිය තමයි ඒක...

    පේරාදෙනියේ වීරසූරිය ශිෂ්‍යයා වෙඩි තියලා මරපු එකට අපි ඉස්කෝලේ උද්ගෝෂනයක්ද මොකක්ද කරා ගේට්ටුවේ තාප්පේ එල්ලිලා, සටන් පාට කිය කියා පොලීසියට විරුද්ධව..එක සටන් පාටෙක තිබුනා ..පොලිස් බල්ලනි සරසවි සිසුන්ට අත නොඅතබනු හරි මොකක් හරි...

    තාම මතකයි ඉස්කෝලේ ඇරිලා ගේට්ටුව ගාවින් එලියට එනකොට පොලිස් ජීප් එකට එක කකුලක් තියාගෙන ඒ කකුල උඩට 303 රයිපලය බර කරගෙන රතු පාට ඇස් ලොඳ එලියට දාගෙන යකෙක් වගේ මා දිහා බලා හිටපු රාලහාමි...හිතුවෙම දැන් මාව කුඩුකරයි කියලා..හ්ම්හු..ඔරවාගෙන හිටියා මිස කිසිම දෙයක් කලේ නැහැ..

    කූල එකේ ආපි ගෙදර (පයින්ම )..හැන්දෑවේ හතරට විතර මම ගෙදර මැද සාලේ ඉන්න කොට සුපුරුදු බයිසිකල් එක පොලොවට අතරින සද්දයත්, බර බූට්ස් සද්දයත් එක්ක මගේ පස්ස පැත්තට වැදුන බූට්ස් පාරට මම දොර රෙද්දත් එක්කම මැද කාමරේ ඇඳ උඩට වීසිඋනා..එතකොට තමයි මට ඇහුනේ...
    " තොට කන්ඩ දෙන තාත්තා..පොලිස් බල්ලා නේද පරයෝ..."

    ?????!!!!!!!!!

    ජීවිතේට අමතක වෙන්නේ නැහැ ඒ පොලිස් බූට් පාර නම්...

    තාත්තාට මේ විසි වෙනිදාට අවුරුදු 83ක් වෙනවා..එයා තමයි මගෙත් දුවගෙත් පුතාගෙත් හොඳම යාලුවා...ඔය කථාව ඒ දෙන්නට කිය කියා තාමත් හිනා වෙනවා අපිව බලන්න ආවාම....

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදෙන කතාව! හිනා යනවා අහනකොටත්

      Delete
    2. චෙෆාකි, ඕක දුක හිතෙන හිනා කතාවක්!

      Delete
    3. හෙහ් හේ අනේ අම්මපා මගේ පෝස්ට් එක කැලේ . මේ කොමෙන්ට් එකේනේ රහ තියෙන්නේ.
      මට මතක් වුනා ඔය වීරසුරිය සිද්දිය ගැන බාගෙට ලියපු පොස්ට් එකක් . හිටින්කෝ හිටින්කෝ

      Delete
    4. තිලකේ කියපු එකම තමයි මටත් කියන්න තියෙන්නේ..

      Delete
    5. මේකත් මරු කතාවක්නේ..

      Delete
    6. @ උපේක්ෂා, ඉවාන්, ඉන්දික, තිලකේ, මාතලන් තිසර...
      බ්ලොග් වල තියෙන හොඳේ ඔන්න ඕකයි...
      සින්ගලෙන් කියන්නේ ස්ටිමියූලේෂන් කියලා නේද?
      දැන් තිලකේ ලියයිනේ වීරසූරිය ශිෂ්‍යයා ගැන...

      Delete
    7. මරු කමෙන්ට් එක බං. තිලකයගේ කතාව කියවලා මරු පෝස්ට් එකක් කියලා කමෙන්ට් එකක් දාන්න හදලා ඊට කලින් කමෙන්ට් කියවගෙන යනකොට මේක දැක්කෙ. ෂෙෆාකියා, අර රයිෆලේ තියාගෙන ඇස් රතු කරගෙන හිටපු රාළහාමියාමද ඔය ගෙදර ඇවිත් පස්ස පැත්තට පයින් ගැහුවේ? නැතිනම් එයා වෙන එක්කෙනෙක්ද?

      තිලකේ උඹේ කතාව වෙනදා වගේම සුපිරි එකක්. ලියවිල්ලත්, සිද්දි දාමයත් අපූරුවට ගලපලා තියෙනවා. නමුත් ඊට එහාට යමක් කියන්න මම යන්නේ නෑ දඬුවම් කිරීම ගැන.

      Delete
    8. එයාම තමයි ඩූඩ්...එයා අපේ අම්මගේ හස්බන්ඩ්...අපේ තාත්තා..හැබැයි එදා පොලිස් බල්ලා...දෙකක් දාලා එහෙම ඇවිල්ලා තමයි මට බූට් පාර දුන්නේ...

      Delete
    9. සැප කණේ කියන්නේ මේවාට තමයි....

      Delete
    10. තව එකම එක දවසයි පොර මට ගහලා තියෙන්නේ, ඒත් ගංවතුරේ ගොඩවෙලේ ඔරු පදින්න ගියාය කියලා...
      හරි හිත හොඳ පොරක් මෑන්...
      මම මොන පංතියේ හිටියද කියලවත් කවදාවත් දැනගෙන හිටියේ නැහැ..හැබැයි මට තාම මතකයි එකම එම සැරයක් මම කටුබැද්දේ ඉන්න කාලේ අම්ම එක්ක ඇවිදින් මගේ කරට අතකුත් දාගෙන (හැමෝටම පේන්න මයෙ හිතේ ) හතරවෙනි තට්ටුවේ ඉඳන් බ්‍රිජ් එක ගාව කැන්ටිමට ගියා මට තේ අරන් දෙන්න...

      හැන්දෑවට කන සාක්කුවේ දාගෙන එන්නේ කාව හරි මරාගෙන..මමත් රෑ දොලහ හරි වෙනකන් ඉන්නවා මෑන්ස් ගෙදර එනකන්..එකක් තමයි පොරට මොනා හරි කරදරයක් වේය කියන බය, අනික් ටවුමේ සාබි එකෙන් මරු බත් පාර්සලයක් ගේනවා හරක් මස් එක්ක...ඕක අම්මායි මාය් එක්ක බෙදාගෙන කනවා කොච්චර බීලා හිටියත්..අනිත් තුන්දෙනා ගොරව ගොරව නිදි..මගේ බඩ පුල්..

      Delete
    11. හැක් හැක් හිනා කනව

      Delete
  11. ඉස්කෝලේ කලේ පන්තියේ මොකා වැරැද්දක් කලත් අපේ පන්තියටම හම්බ වෙන එක සුවර්..කවුද කලේ කියල ඇහුවේ අලුතින් අපු සර් කෙනෙක් විතරයි..

    කලිසමේ පිටි පස්සේ සාක්කුවට අපි දන්නේ ලේන්සු තව ජොකා අස්සට ඔබා ගන්නත් සර්වියට් එකක් තිබ්බ අපි ගාව..
    පස්සේ කාලේ ලොක්කට ඕක ආරංචි වෙලා අතට ගහන්න ගත්තා..එකට පොල්තෙල් ගාගෙන ගියා කාලයක් පවුඩර් ගාගෙන ගිය එක එක ක්‍රම අත්හදා බැලුව

    ReplyDelete
    Replies
    1. ඔය සබ්ජෙක්ට් එකටමද කොහෙද ආචාර්ය පට්ටම හම්බ වෙලා තියෙන්නේ හෙහ් හේ

      Delete
  12. පොඩි දවස්වල තාත්තා මට කෝටුපාරක් දිලා අත ඇරියහම මම මිදුලට පැනලා සරමේ පැත්තක් උස්සගෙන කිවවලු
    අඩෝ...මෙන්ඩියා උඔ චන්ඩියෙක් නම් දැන් වරෙන් යකෝ ගහගන්න කියලා දිව්වලු.

    ReplyDelete
    Replies
    1. හිනා වෙලා පන යනවා.... අඩේ මෙන්ඩියා... මම නම් ආයේ පන්නගෙන ගිහින් අල්ලලා ගහේ බැඳලා දිමි ගොටු දානවා

      Delete
    2. එදා දුවපු පාර මෙන්ඩියා තාම ගෙදර ගියේ නැතිලු....

      Delete
    3. මැවිල පේනව ඒ සීන් එකනං.. !!
      මෙතන තනියෙන් හිනාවෙන්න බෑ බං මුං හිතයි මට පිස්සුද කියල...බොහොම අමාරුවෙන් මේ හිනාව තද කරගෙන ඉන්නෙ.. :D :D :D

      Delete
    4. තව ටිකෙන් මාව පිස්සන් කොටුවට ගිහින් දානවා ඔෆිස් එකේ අනිත් එවුන් සෙට්වෙලා

      Delete
    5. අනේ මෙන්ඩියෝ මේ වගේ අසාධාරණ කොමෙන්ට් දාන්න එපා මීට පස්සේ . ඇයි යකෝ ඔය තරම් හිනාවෙන්න පුලුවන්ද මිනිහෙකුට ?අනේ අම්මේ අද උදේ ඉඳන් මේක ආයේ ආයේ මතක් කර කර හිනා වෙනවා. තව තව එවුන්ට කියලත් හිනා වෙනවා උන් හිනා වෙනකොට ආයෙමත් හිනා වෙනවා. ඉවරයක් නෑ

      Delete
    6. පිස්සු හැදුනා මෙන්ඩියෝ මේක කියවලා.....

      Delete
  13. ඔය බෙල් කලිසම් කියන ජාතිය තියෙන්න ඇත්තේ අපි ඉස්කෝලේ යන්න ඉස්සර කාලේ මම හිතන්නේ ... අපිට ඔහොම ගොඩ දාගන්න විදියක් තිබුනේ නැද්ද කොහෙද ..

    සඳුදා අක්කා ගේ කතාව නම් මරු ... ඊට පස්සේ හිනා වෙලා ජොලියේ හිටිය කියන්නේ හරි ආතල් චරිතයක් වෙන්න ඇති ..

    ReplyDelete
    Replies
    1. හරි ජොලි චරිත හම්බුනා පැතුම් ඔය වගේ. ලේසියෙන් සැලෙන් නැති , හිත හොඳ සැහැල්ලුවෙන් නිතරම ඉන්න උන් කොච්චර හිටියද?

      Delete
  14. හෙක් හෙක් අපි නම් කලේ පර්ස් එක පිරෙන්න හිස් කොළ ඔබා ගෙන පුම්බා ගත්තු එක, අනිත් පැත්තේ සාක්කුවට ලේන්සු දෙක තුනක් හතර නාවලා දා ගත්ත එක.

    මට මතකයි එක සැරයක් අනුල සර් කියලා ගණන් සර් බෙල්ට් එකත් ගලවලා එකෙන් ගහන්න අපු වෙලාවේ අපේ එකෙක් හාර්ට් අටාක් හැදිලා වගේ දාපු ඇක්ට එක, අන්න නළුවෝ සම්මාන දෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඔය එලියට එන්නේ කරපු වැඩ කිඩ . ඉස්සර අපේ යාලුවෙක් පොන්ඩ් කිරිල්ලකින් බේරෙන්න ඔය වගේ හාර්ට් ඇටැක් රඟ පෑමක් කරලා මහා රෑ පේරාදෙනි ඉඳන් නුවර හොස්පිටල් එකට ගෙනිච්චේ ඇම්බියුලන්ස් එකෙන් .ඌටත් නියම පරිප්පුව ආයේ බොරු නොකරන්න

      Delete
  15. වේවැල්කතා අස්සෙ මරු කතා ටිකක් තියනව තිලකෙ

    ReplyDelete
    Replies
    1. තැන්කිව් රාජ් . ඇයි අපේ කට්ටියගේ ඉළ ඇදෙන කොමෙන්ට් ටික ?

      Delete
  16. //යමන්කෝ ලංකාවට කටුනායකින් බැහැපු ගමන් මම උඹව හම ගහනවා!//

    පට්ට කතාව!

    අර සඳුදා අක්ක නම් මරු. ජොලි අක්කියෙක් වෙන්ටැ.

    අම්මෝ මමත් කෝටුපාරනම් කාල ඇති එපා වෙනකං. අපේ තාත්තා යකා නැග්ගම දෙන්නෙ පයින්. ආයෙ නෑ ඒ ලෙවල් කරලා ගෙදරින් පිටට යනකල්ම සතියකට වතාවක් ගුටියක් නැතොත් නිකම් පාලුයි පාලුයි වගේ ගතියක් තිබුනෙ.

    ඒකටත් එක්ක අපේ නගා. මල්පෙත්ත වගේ. උපන්දා හිට තාම ගුටියක් කාල නෑ. උන්දැගෙ නොලැබීම. පව් අෆ්ෆා.
    හැබැයි පොඩිකාලෙ මට මල පනින වැඩේ තමයි නංගිට උණ ගැනෙන්නත් එක්ක මටම තලන එක. ඌ පොඩි එකා හින්ද එයාගෙ වැරැද්දටත් කන්න වෙන්නෙ මටම තමයි.

    හා ඉතින් අපි මලාද? නෑනෙ! නැත්තන් මෙලහට වලළපු තැන්වල ගසුත් පැලවෙලා!

    ReplyDelete
    Replies
    1. ඒ හලෝ මටත් ඔය කේස් එකමනෙ... අපේ මලයට නිය පිටින් පාරක් දෙන්නෙ නෑ... මටමයි ගහන්නෙ... පුදුම කරුමයක් වැඩිමලා උනාම.....

      Delete
    2. අන්න ඒකට අපේ දෙමවුපියෝ .නියම සමාජවාදියෝ . ලොකු පොඩි බේදයක් නෑ . එකම කෝටුවෙන් තමයි හැමෝටම තැලුවේ

      Delete
  17. හම්මේ මටත් මතක් වුනා තාත්තගෙන දවසක් මදි නොකියන්න වේවැල් කසායක් කාපු හැටි..

    ReplyDelete
    Replies
    1. වේවැල් කසාය නිකම්ම දෙන්න නැතිව ඇතිනේ. පසුබිම් කතාවත් ලියන්න

      Delete
  18. බුදු අම්මෝ ගුටි කපුවා නම් මතක් කරන්න එපා. ඉස්කෝලෙට වඩා ගුටි කෑවේ හොස්ටල් එකේදී. අපේ කට්ටිය අතරෙත් තිබ්බ ඔය වගේ එක එක උපක්‍රම. ගුටි නම් හොදයි තව, අපේ ඉස්කෝලේ විද්‍යාව උගන්වපු චින්තක සර් මාපටගිල්ලටයි, දබර ගිලලයි අතරේ බඩේ හම අහුවෙන එක නම් මතක් වෙනකොටත් චු බරක් හැදෙනවා වගේ. විනය භාර ගුරුවරයාට බය නැති උනත් මේ සර්ට නම් මුළු ඉස්කෝලෙම කොල්ලෝ බයේ හිටියේ.

    ReplyDelete
    Replies
    1. ඔය දඬුවම් ක්‍රමයත් ගුරුවරු අතර බොහොම ජනප්‍රියයි ඒ කාලේ

      Delete
  19. මෙහෙම දෙයක් දන්නවනම් ඒ දවස්වල බය නැතිව ඉන්න තිබුන..දැන් පොඩි එකාලට මේව වැඩක් නැහැ.මොකද දැන් ඉන්න එවුන් ඒ කාලෙ කරපු දේවල් කරනව තියා හිතන්නෙවත් නැහැ.

    ReplyDelete
    Replies
    1. දැන් ඇත්තටම පොඩි උන් ගොඩාක් හොඳයි

      Delete
    2. ඊයෙ මගේ පුතාට මේ කතාව කියවන්න දුන්නා. අනේ මංදා කිසිම හැඟීමක් පලවුනේ නැහැ මුහුණෙන් වත්. දැන් ඉන්න පොඩිවුන්ට මේ කතා තේරෙන්නෙ නැද්ද මංදා.

      Delete
  20. සඳුදා අක්කලා කොහෙද දැන් ඉන්නේ?ඔහොම ප්‍රසිද්දියේ දැන් දඬුවම් දුන්නොත් එක්කෝ ගුරාව මරාගෙන කයි.නැතිනම් අක්කා මැරෙයි.ඔන්න රටක් ලෝකෙත් එක්ක ඉස්සරහට දියුණු වෙලා තියෙන හැටි.හැබැයි ඔය කෙල්ලෝ,කොල්ලන්ගේ ලව් වලට දඬුවම් දෙන එක නම් වැඩක් නැහැ.

    අම්මෝ අපෙත් හිටියා ජයරත්න කියලා සර් කෙනෙක්.එයගෙන් ගුටි නොකාපු කොල්ලෙක් හිටියේ නැහැ අපේ පන්ති වල.කෝ ඉතින් තිලකේ අයියලා කලින්ම මේවා ගැන අපිට කියලා දීලා තිබ්බානම්

    ReplyDelete
    Replies
    1. මානෝජ් මේක හරි සංකීර්ණ මාතෘකාවක්. අපේ කාලෙත් හිටිය ප්‍රින්සිපල්ට ගහන්න හදපු කොල්ලෝ

      Delete
  21. ගුටි කාලා නම් නෑ ඉතිං අපි හොඳ ළමයි නේ :P

    ඉස්කෝලේ ගුටි කාලා නිකම් හිටියනම් මදැයි , ටියුෂන් එකේදී ගුටි කාපු එකෙක් ඉන්නවා කියලා හිතන්න පුලුවන්ද? තලකයියට මතකද ධර්මදාස සර්. බණ්ඩාරවෙල ..පියෝ ඇප්ලයිඩ් දෙක කලේ , ඔන්න් ඒ වගේ නිවිච්ච මනුස්සයෙක්ගෙනුත් අම්බානට ගුටි කාපු සංවර ළමයි අපි .

    ReplyDelete
    Replies
    1. උඹලගේ පන්තියෙන් පස්සේ 'ධර්මදාස' සර් නමත් වෙනස් කර ගත්ත කියල ආරංචියි D

      Delete
  22. සුපිරෑදු රටාවට බොහොම රසවත්ව ඒ කතාවත් ලියලා තියෙනවා. ලමා කාලයේ සුන්දර මතක අපි හෑමොටම තියෙනවා උනත් තවත් කෙනෙකුට විදිය හෑකි ලෙස රසවත්ව එය ඉදිරිපත් කල හෑක්කේ ඔබ වෑනි කලාතුරකින් කෙනෙකුට පමනි.
    වාසනාවට හො අවාසනාවකට 6 ඉදන් 11 වෙනකල් අපේ ඉස්කොලෙ හිටිය විදුහල්පතිවරෑන් දෙදෙනාගෙ පුතුන් තිදෙනාද අපේ පන්තියේම සිටි නිසා විශේශ වරප්‍රසාද කෙසේ වෙතත් දඩුවම් නම් අඩු නෑතුවම ලෑබුන.9 වසරෙදි අපේ දගකාර මිත්‍රයො ටික පාවා නොදිමෙ වරදට සතියක්ම අපෙ පන්ති තහනමකටත් ලක් උනා. ඒ දඩූවම දෙන්න කලින් අපිව පන්ති වශයෙන් කාර්යාලයට ගෙන්නලා වේවෑල් කසාය දෙන්නත් එතුමා අමතක කලේ නෑ.එතුමටත් දුවලා දෙන්නෙක් හිටිය නිසාද කොහෙද අපිට ලෑබුනෙ රිදෙන නොරිදෙන පහරවල්. හෑබෑයි කොල්ලන්ගෙනම් අල්ලෙ ලෙලි යන්න දුන්නා විතරක් නෙවෙයි උජාරෑවට අලුත් ඔරලොසුවක් බෑදගෙන හිටිය චන්දන පලු යන්න බෑනුම් අහන අතරෙම වසරේ දෑවෑන්තම වේවෑල් පහරටත් හිමිකම් කිව්වෙ විදුහල්පතිවරයගේ එකම පුතා වීම කෙතරම් භාගයක්දෑයි සනාත කරමිනි.
    ඒ වේවෑල්පාරෙන් මට්ටු උන අපි ඊට පස්සෙ කොච්චර හොද උනත් අර ඔබතුමත් කොහේ හො සදහන් කරපු දේවදාර ගස් පේලිය ඉස්සරහා පන්තියේ ගෙවපු සුන්දර පාසල් කාලෙ අන්තිම කාලෙඩිත්දවස් දෙක තුනක පන්ති තහනමකට ලක් උනත් වේවෑල් කසාය නම් ලෑබුනෙ නෑ

    ReplyDelete
    Replies
    1. සකුන්තලා මේ කතාව පෝස්ට් කලාට පස්සේ අපේ ඉස්කෝලේ හිටි කීප දෙනෙක්ම මට කතා කළා ඒ කාලේ තව ත කතන්දර මතක් කරන්න . ඔව් ඉස්සර අපේ අම්මා අපේ ක්ලාස් ටීචර් වෙලා හිටි හෝඩි පන්තියේදී ඕනිම වැරැද්දකට ඉස්සෙල්ලම අල්ල ගන්නේ මාව තමයි

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  23. Replies
    1. මේකේ කොමෙන්ට් වල තියෙන චෙෆාකිගේ කතාවයි මෙන්ඩියාගේ කතාවයි බැලුවද කඳු -

      Delete
  24. මම ඔය ගුටි කන නරක වැඩ කරපු නැති අහින්සක එකා නිසා කියන්න කිසිවක්ම නැත කිව්වලු. අපී ගෙදර වේවැලක් තියෙනව. තියෙනව නෙමෙයි තිබ්බ. මොකද පොඩි උන් දෙන්න ඒක හංගල, අම්ම දෙනවට සම්බුව. හොයන්න කියල මට කන්ට්‍රැක් එකක් දීල කලක් ගියා කියල මතක් උනේ මේක දැක්කමයි. තව කල් ගියානං එයා වේවැල හොයල ඉස්සෙල්ල මට තඩි බානව. ස්තූතියි "ස්වාමියාගේවගකීම්" මතක් කරල දුන්නට!

    ReplyDelete
    Replies
    1. හෙහ් එහෙම සේවාවනුත් සිද්ද වෙනවා බ්ලොග්වලින්

      Delete
  25. පොඩි කාලේ මමත් අම්බානක ගුටි කන එකෙක්. අර රවී අයියා දවසක් කිව්වා එහෙම පොරවල් ඉන්නවලු. සිදුහත් බෝසතාණන් කුස තණ මිටි අරගෙන බුදුවෙන්න යන ගමන් වුණත් ඒ වගේ එකෙක්ව දැක්කොත් අර තණ මිටි ටික බිම තියලා උගේ හොම්බට දෙකක් ඇනල ඉවරවෙලාලු බුදුවෙන්න යන්නේ.

    හැබැයි දඬුවම් වලින් මම හැදුනද කියන්න නම් හරි අමාරුයි. ඒ කාලෙ මට කාලා ඉන්න බැරි දේ තමයි නොකරපු වැරදි වලටත් අහුවෙන එක. එහෙම දඬුවමක් ලැබුණහම පුදුම කේන්තියක්, පලිගැනීමේ චේතනාවක් ඇතිවෙනවා. කේන්තියට ගහන එකෙයි, ළමයෙක් හදා ගන්න වේවැලෙන් පාරක් ගහන එකෙයි වෙනස ළමයෙකුට උණත් දැනෙනවා. ඒ නිසාම සමහර ගුරුවරු අපිට ගැහුවා උණත් කවදාවත් ඒ ගුරුවරුන්ට වෛර කලේ නෑ. හැබැයි සමහර ගුරුවරු නම් තමන්ගේ ස්ට්‍රෙස් එක යවා ගත්තේ ළමයිට හමයන්න ගහලා.

    අපි පාවිච්චි කරපු ක්‍රමයක් තමයි පස්සේ සාක්කුවේ පර්ස් එකට වදින විදිහට පස්ස හැරවීම. ගොඩක්ම සාර්ථක ක්‍රමයක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. රවිගේ කතාවත් එළ . මමත් ඉස්සර නොකළ වරදකට දඬුවම් විඳින්න උනොත් දවස් ගානක් කේන්තියෙන් පුපුරා හැලුනා

      Delete
  26. තඩිමිරහ කිව්වේ මොකක්ද බං...

    දරුවන්ට ගහන කොට උන්ගේ හිතයි පැලෙන්නේ.

    ReplyDelete
    Replies
    1. "තඩිමිරහ" නෙවෙයි "තඩි මිරහ"

      Delete
    2. අන්න එහෙම එන්නකෝ.. හැක්.. තැන්කුයි

      Delete
  27. මේ තියෙන්නේ අපේ අලුත්ම සිංහලSyndiya.com ඔයාගේ බ්ලොග් / වෙබ් සයිට් එකත් අදම එකතු කරන්න.

    ReplyDelete
  28. තිලකේ මේ වගේ වැඩක් කෙරුවාට අපි පොඩි කාලේ නම් අප්පච්චි එනකොට මීක් කියන්නේ නෑ. ඒත් අපිට එයා ගහලා නෑ. ඒත් පණ බයයි. හෙල්ලෙන්නේවත් නෑ. ඒත් අම්මට එහෙම නෑ. අම්මා බැන්නට අපි ගණන් ගන්නේවත් නෑ. අපේ හොර වැඩ ඔක්කොම දරාගත්තෙත් අපේ අම්මා.
    ලොකු වුනාම අප්පච්චිලාට අපි උගත් පාඩම් කියාදෙන්න ගිය අය නෙව අපි...!!
    මොනව උනත් ළමයින්ට ගහන එක මම නම් අකැමැතිම දෙයක්. ඔය දේම කටින්, ඇක්සන් වලින් කරන්නත් පුළුවන්නේ. අපේ පොඩි එවුන් දෙන්නා මම රවලා බලපු ගමනුත් බාගෙට බෙරි වෙනවා ඉස්සර. බැන්නොත් අඬනවා. එක දවසක් මට තරහා ගිහින් මොකක් හරි ලොකු වැරැද්දකට මම කීවා ගහනවා කියලා. එක පාරට අපේ ඩැරන් බෝයි මට කීවේ ඔයා ගැහුවොත් මම ඔයාට කවදාවත් සමාව දෙන්නේ නෑ කියලා. ( එයාලගේ අම්මා අම්බානකට උන්ට ගහනවා උන් ගනන් ගන්නේවත් නෑ,) ඇයි ඇහුවම කීවේ ඔයා අපේ අම්මාට වඩා ඉස්සරහින් එන කෙනෙක්. එහෙම අය (සිවිලයිස් වෙච්ච අය) ළමයින්ට ගහන්නේ නෑ වගේ පඬි ටෝකක්. එතකොට ඩැරන්ට අවුරුදු පහක් ඇති ඕනේ නම්.
    ඔය යුරෝප් රටවල ගහන්නේ නැත්තේ නෑ. ඒත් හිංසාවක් වෙන තරමට කරන්නේ නෑ. සමහර අම්මලා කම්මුලට එකක් දීලා අරින්නේ දඩාන් ගාලා මහ සෙනඟ මැද්දේ. ( ඒවට පොලීසියෙන් එන්නේ නෑ. )

    ReplyDelete
  29. තිලකේ.......මෙහේ ලංකාවේ තාත්තා කෙනෙක් එයාගේ ළමයාට ගහලා....ළමයා පොලිසියට කියලා..තාත්තාට ප්‍රශ්න ඇතිවෙලා. කාලෙකට පස්සේ පවුලම ලංකාවට නිවාඩු ගිහින්. කටුනායකින් බැස්ස ගමන්, තාත්තා කොල්ලට දුන්නාලු කණ ඉදිමෙන්න පාරක්. ගහලා එහා පැත්තේ හිටිය පොලිස් කාරයෙක් පෙන්නලා පුතාට කිව්වාලු. අන්න ඉන්නවා ගිහිල්ලා කියපන් කියලා. මට මේක යාළුවෙක් කිව්වේ.

    ReplyDelete
    Replies
    1. ඉතින් මචං ඒ පුතා ආයෙත් ඔහේ ආහාම ඌ ඔහේ පොලීසියට පැමිනිලි කලොත් මට මෙයා කෙලියාය එයාගේ ඉස්සර රටට ගියාම කියලා කේස් නැද්ද?

      Delete
    2. අනේ මන්දා බන් එහෙම වුනොත් මොනවා වෙයිද කියලා..හැබැයි එන්නෙත් මාසෙකට පස්සේ හින්දා කෝ සාක්කි...මෙහේ වැඩේ ටිකක් දරුණුයි. මගේ යාළුවෙක්ගේ පොඩි එකා පැංචෙක්. ඌ ඉස්කෝලේ තව පොඩි එකෙක් එක්ක ගහගෙන. ටීචර් එන්න කියලා පොඩි එකාට. මූ ඔක්කොටම ඉස්සෙල්ලා කියලා "ගෙදරටනම් කියන්න එපා..මට තාත්තා ගහයි" කියලා. ඒ වචනේ ඇති. මුන් ඉන්වෙස්ටිගේට් කරලා..ගෙදරට සෝෂල් සර්විස් එකෙන් සතිපතා එවලා, ඩොක්ටර්ස්ලා ගාවට දාලා ඇඟ චෙක් කරලා,,,,මාස ගානක් පරිප්පුවක් කෑවා. එක වෙලාවකට තද වෙනවා බං. ඒ මොනවා වුනත් අපේ වයිෆ් නම් තාමත් තද වුනාම කෙල්ලගේ කණෙන් හරි මිරිකනවා කොච්චර ලොකුවුනත්.

      Delete
    3. //"වයිෆ් නම් තාමත් තද වුනාම කෙල්ලගේ කණෙන් හරි මිරිකනවා"//

      කොල්ලගේ කිව්වේ.....? :P

      Delete
    4. අපේ ගෙදර ඉන්නේ වයිෆුයි...දුව කෙල්ලයි...මම කොල්ලයි. මාත් කණ මිරිකන නෙමේ කණ පලාගන්න සයිස් එකේ වැඩ තාම කරනවා :D

      Delete
  30. ඔය ලමයින් ට ගහන්න බැරීක ගැන ඩුඩ් කියල තිබුන කිප පාරක්ම. සික් උබල මෙව අපිට කලින් කිවුවෙනැනේ.

    ReplyDelete
    Replies
    1. ඩුඩ්ගේ පරණ පොස්ට් ටක හෙමින් සැරේ කියවන්න ඕනි

      Delete
  31. අපේ චූටි නැන්දත් ලංකාවට ආවම ඉස්සර කොල්ලට ගහනවා. පොඩි එකා ගිහින් අපේ ගෙදර ෆෝන් එකෙන් ඩයල් කරනව මොකද්ද මන්ද අංකයක්. ඒක එහෙ ළමයිට වෙන හිංසා ගැන දැනුම් දෙන අංකෙ ලු. ඒ කාලෙ වචන ගලපලා කතා කරන්නවත් බැරි පොඩි එකා ඒ අංකෙ දන්නව

    මට මැවිල පෙනුනා හිනා වෙවී සරම ගලවලා දුවපු හැටි

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අර කටුනායකින් බැස්ස ගමන් සමහර ළමයින්ට දෙකක් දෙන්න හදන කතාව ඇත්ත වෙන්න ඕනි

      Delete
  32. උගත් පාඩම් කොමිසමට තිලකවත් පත් කොරන්න තිබ්බා . . හෙ හෙ හේ . .

    ReplyDelete
    Replies
    1. ඒකනේ දුකා එහෙම තනතුරක්වත් ලැබෙනවානම් කොච්චර දෙයක්ද. ඒක නෙවෙයි මේ බ්ලොග් සංසාරේදී දුකා හමු වීම ලොකු සතුටක්

      Delete
  33. පවුලේ එකම කොලුවා නිසාද මන්දා මාම තාත්තාගෙන් ගුටි කාලම නෑ . . ලොකු උනාම පොලිටික්ස් වලියක් ගිහින් දවසක් තාත්තා මට ගහන්න වගේ ඇවිත් බිත්තියට ගැහුවා . . ඒ මගේ කතාව ත් ටිකක් ලුනු ඇඹුල් දාලා මගේ බ්ලොග් එකේ ලිව්වා කාලෙකට කලින්.

    හැබැයි ගෙදරින් එලියට තනියෙම යන්න දෙන්නේ නැති අක්කා කොල්ලා එක්ක රවුම් ගැහුවේ මාත් එක්ක. මම තමා සපෝටර්. අක්කගේ හොර ගමන් මාට්ටු උනාම තාත්තා අක්කට දෙන්නේ කොන්ක්‍රීට් මික්ශර් එකක රබර් බෙල්ට් එකෙන්. මම ගිහින් අක්කව බදා ගන්නවා බලාගෙන ඉන්න බැරි කමට. මට දෙක තුනක් වදිනකොට අක්කට ගහන එක තාත්ත නතර කරනවා - "තෝනේ සපෝටර් හොඳයි තෝත් කාපු එක" කියලා අහකට යන්නේ . . .

    පවු අහිංසකී . . අක්කගේ ඒ කාලේත් දැනුත් මතක් වෙද්දි මට තාම කඳුලු එනවා අප්පා . . .

    ReplyDelete
  34. පොඩි නිවාඩුවක් ගිහින් හිටිය නිසා මිස් වෙච්චි පෝස්ට් ටික එක හුස්මට කියව කියව ගියා මිසක් කොතනකවත් කොමෙන්ට් එකක් දැම්මෙ නෑ. හැබැයි මෙතනිං නං එහෙම යන්න බෑ වගේ. වක්කඩ කැඩුව වගේ අතීත මතක ඔළුවට එනව. 'තිලක සිත' කියවන්න මං ගොඩාක්ම ආසත් ඒ නිසා. අපේ පන්තියෙත් වැඩියෙන්ම වැරදි කරේ ඉස්කෝලෙම ගුරුවරුන්ගේ දරුවෝ. මං හිතන්නෙ උන්ට ඉස්කෝලෙ 'ගෙදර' වගේ නිසා 'ගේමක්' නැති වෙන්න ඇති. ප්‍රින්සිපල්ට හූ කියපු සීන් එකක් දුර දිග ගිහින් ස්ට්‍රයික් කරල අන්තිමට පත්තරෙත් විස්තර වැටිල ප්‍රින්සිපල් මාරුවකින් කෙළවර වුනු 'සුළු' සිද්දියක්, එතකොට ගෑනු දරුවංගෙ පුටුවල රතු බෝල්පොයින්ට් පෑන් බටේකින් තීන්ත බිංදුව බිංදුව තියල ඊට පස්සේ සිද්ද වුණු කරුණු කාරණා නිසා පේර ගස් දෙක තුනක පොලු කැඩෙනකං පංතියෙම කොල්ලො ගුටි කාපු 'සරළ' සිද්දියක් වගේ දේවල් ඇර වෙන ලොකු ලොකු ප්‍රශ්ණ නම් උන් ඇති කරේ නෑ. හොඳම සීන් එක කියන්නේ මේ කියපු සිද්ධි දෙකේම වග කිව යුත්තා දැන් මුළු ලංකාවම වගේ දන්න ප්‍රසිද්ධ හාමුදුරු නමක්.

    එතකොට අර දඬුවම් සීන් එක. මං නම් ඉන්නෙ වැරදි කරන ළමයෙකුට දෙමවුපියන් හරි වැඩිහිටියෙකු හරි 'හොඳ හිතින්' කරන දඬුවමක් අනුමත කරන තැනක. ඇත්තටම එහෙම නොවුනානම් මං දන්න අපේ කාලයේ බොහෝ පිරිසක් ඉන්නව අද වෙනකොට ඔවුන් අද ඉන්න ඉහළ සමාජ මට්ටමේ නොවී සමහරවිට සමාජයට පිළිලයක් වෙන්න තිබුණු අය. වැරදි කිරීම වගේම දඬුවම් ලැබීමත් ඒ කාලෙ හැටියට අපිට සුන්දර අත්දැකීම් උනා. මේ ලඟදි ගොසිප් වෙබ් එකක මේ වගේ සිද්දියක් ගැන නිවුස් එකක් දැකල මට මගේ පොඩි කාලේ මත වෙලා ලියවුණු කතාවක් මේ. ඉඩ තියෙන විදියට කියවල බලන්න. ස්තූතියි ඔබතුමාට අතීතය සුන්දරව මතක් කරනවට. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔය දඬුවම් කතාවේදී මට මෙහෙම දෙයක් හිතෙනවා. දෙමව්පියෝ , ගුරුවරු මොන විදිහෙන් හරි තමන්ගෙන් දෙන දයාව රැකවරණය ගැන දරුවන්ට මුලින් ඒත්තු ගන්වලා ඉන්න ඕනි . එහෙම අය සාධාරණ හේතුවක් උඩ දඬුවම් කරනකොට දරුවන්ගේ යටි හිතේ තරහක්වත් පසු බෑමක්වත් ඇති වෙන්නේ නෑ . ඒත් ඒ දේ මුලින් ඒත්තු ගන්වන්න බැරිව දරුවන්ට දඬුවම් කරනකොට එතැන ඇතිවන්නේ විකෘතියක්. දරුවන්ගේ පෞරුෂයට හානියක් වෙන්න පුළුවන්. මෙතැනදී අතින් පයින් කරන දඬුවමටත් වඩා වචනවලින්, රැවුම් ගෙරවුම්වලින් කරන දඬුවම වඩා අයහපත් වෙන්න පුළුවන්.

      Delete
    3. ඇත්ත කතාව ඒකනායක සර් . දඩුවමක් වැරැද්ද තරම් විය යුතුයි. දරුවන්ට තරම් නොවන නපුරුකම් කරන්නේ වැඩිහිටියන්ට තමන්ව පාලනය කරගන්න බැරි උනාම. අනික වැරද්දක් කලාම ඒක හරිගස්සන එක සහ දරුවන්ට එක වැරද්දක් කියල තේරුම් කරලා දෙන එක තමයි වැදගත්. ඕනෙම දේකට ගහල බැනල ළමයි හදන්න හිතන එක poor parenting කියල තමයි මම හිතන්නේ.

      Delete
    4. නපුරු ගුරුවරු ගැන මේ කතන්දරත් කියවන්න වෙලාව ඇති පරිදි.

      1. මිලාගිරියේ St Pauls නපුරු විදුහල්පති සහ අපේ කාලයේ නපුරු ගුරුවරු
      http://kathandara.blogspot.com/2010/04/st-pauls.html

      2. මිලාගිරියේ St Pauls වල විතරද නපුරු ගුරුවරු ඉන්නේ?
      http://kathandara.blogspot.com/2010/04/st-pauls_04.html

      3. රුපියල් දෙකේ නපුරු ගුරුවරු
      http://kathandara.blogspot.com/2010/04/blog-post_05.html

      4. නපුරු ගුරුවරුන් ගෙන් ගැලවෙන්නම බැරිද?
      http://kathandara.blogspot.com/2010/04/blog-post_06.html

      5. රසික නානායක්කාර ලියා එවූ දුක හිතෙන කතාවක් - නොකළ වරදට ඇයි මේ දඬුවම්?
      http://kathandara.blogspot.com/2010/04/blog-post_07.html

      6. කතන්දරකාරයා - විලි ලැජ්ජාවක් නැති එකා
      http//kathandara.blogspot.com/2010/05/blog-post_25.html

      Delete
  35. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  36. සුන්දරයි

    ReplyDelete
  37. හම්මේ මන් ගුටි කාලා තියෙන තරමක් අම්මාගෙන්.

    ReplyDelete