Sunday, June 11, 2017

අක්බාර් කැන්ටිම සිර අඩස්සියක් වූ දවස


Akbar Hall- from AllTravels
මා කලකට පෙර කියවූ එක්තරා විදෙස් කෙටි කතාවක සාරය මට මතක හැටියට මේ විදිහය .
රටවල් දෙකක් අතර කලක් තිස්සේ පැවති  යුද්ධය නිමා වී ගියාට  පසු දේශ සීමාව ආසන්නයේ  අවන්හලකට ගොඩ වූ ලේඛකයෙකුට  අමුතු ගතිගුණ ඇති, මුහුණේ බයංකාර කැපුම් තුවාල කැළැලක්  සහිත වේටරයෙකු දකින්නට ලැබෙයි. දුටු හැටියේම මේ  මිනිසාගේ මුහුණේ ඇති කැළල පිටුපස මහා ලොකු  කතන්දරයක් ඇතැයි  සැක කරන ලේඛකයා  කතාව අසා ගැනීමේ නොතිත් ආසාවෙන්  අවන්හලට දිගටම යන්නට එන්නට පටන් ගනියි.  අර වේටර්වරයා හා ටිකෙන් ටික කුළුපග වෙයි.

ඇත්ත නේන්නම්! අර වේටරයාගේ ජීවිත කතාව අතිශයින් ත්‍රාසජනක වුවකි. අල්ලපු රටේ කැරලි කණ්ඩායම් සමග  එකතු වී සිට පසුව ඉන් ඉවත් වී ජීවිතය බේරා ගන්නට වෙහෙසුණු අන්දම, සටන් බිමේ මරණාසන්න අත්දැකීම් හා  තවත් ත්‍රාසජනක  කතා රාශියක්  ලේඛකයාට අසා සිටින්නට සිදු විය. මේ කතා ඇත්ත වශයෙන්ම  පුදුමාකාර හා අපූරු ඒවා උනත් ලේඛකයා ළඟ දැවෙමින් තිබු ප්‍රශ්නය එය නොවේ .  දවස් ගණනක් අර ලොමු දැහැගන්වන ජීවිත කතාවට ඇහුම්කන් දුන්  ලේඛකයා  බැරිම තැන  ප්‍රශ්නය ඇසුවේය.

' එතකොට ඔහේගේ මේ මුණේ තියෙන භයානක තුවාල  කැළල සම්බන්ධ වෙන්නේ ඔය මොන කතාවටද ?

' අයියෝ මහත්තයා ඒක  මාස කීපයකට කලින් මේ හෝටලේදි වෙච්ච පොඩි අනතුරක්නේ  . ටොනික් මුඩියක් ගලවන්න ගිහිල්ල  වෙච්ච'

ඒ කතාව නිමියේය . මේ කියන්නට යන්නේ 1989 අවුරුද්දේ ජුනි මාසේ දවසක මගේ නිකට පැලී මැහුම් හතරක් දමන්නට හේතු කාරණා වූ  , මුළු  රැයක් තිස්සේ මහනුවර මහ රෝහලේ තපින්නට  සිදු වූ  කතාවද  නොවේ . ඒ සිද්දියට  පසුවදා සිදු වූ කතාවකි. කලින් දවසේ රෑ මා රෝහලට රැගෙන ගොස්  තිබුණේ ගිලන් රථයකිනි .  එක දවසකින් ටිකට් කපාගෙන එන්නට ලැබුනත්  තුවාලය ඇදුම් දෙමින් තිබුණි. නිකට කලාපය වසා තඩි පැලැස්තර තලියක් අලවා තිබුනේය.

පේරාදෙණිය සරසවියේ අක්බාර් -අන්ද්රියාස් නෙල් නේවාසිකාගාර සංකීර්ණය සිව් මහල් ගොඩනැගිලි තුනකින් සමන්විතය . යටත් පිරිසෙයින් සිසුන් අටසීයකටවත් සෙවණ සැපයු මෙය පිහිටියේ අලුත් ගම්පොල පාරේ ඉංජිනේරු පීඨයට යාබදවය .

පේරාදෙණි දුම්රිය හන්දිය පිහිටි පැණිදෙනිය පැත්තට වෙන්නට නිව් වින්ග් හෙවත් නව පියාපත පිහිටියේය . ඊළඟට අන්ද්රියාස්  නෙල් ශාලාවය . ගෙලිඔය අන්තයේ අක්බාර් ශාලාව පිහිටියේය . අක්බාර් ශාලාවත්  නෙල් ශාලාවත් අතර මැද විශාල කැන්ටින් රාජයා විරාජමානව වැජඹුනේය.

ඒ අපේ රාජ්‍යයයි . අපේ පලනාධිකාරයේ පැවතී කළාපයයි . කිසිම අනවසර වැසියෙකුට මෙහි ආ නොහැකිය. ඒ  වෙනකොට  පේරාදෙණියේ සියලු නේවාසිකාගාර අවට හවස් වෙද්දී  මුර බටයන් යොදා තිබිණි. ඒ නිරායුධ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ය. කොල්ලන් අල්ලන් යන්නට එන රහස් ඔත්තු  කරුවන්, ප්‍රා කාරයන් , කළු බළල්ලු  ආදී බහුවිධ හමුදාවලට ශාලාවලට එන්නට බැරි උනේ මේ මුරකපොලු වල සිටි විරු සිසුවන් නිසා යයි අපි සිතා සිටියෙමු.

ඒත් අපේ අනුමානය බොරුවක් කරමින් 1989 ජුනි මාසේ දවසක හවස හතට පමණ අප  රාත්‍රී කෑමට කැන්ටිම දෙසට  ඇදී එද්දී ලැබුනේ මෙවැනි ආරංචියකි .

"හමුදාව හොස්ටල් එක වට කරලා" .

ආරංචිය රැගෙන ආවේ මුර කපොලුවල සිටි ශිෂ්‍ය ක්‍රියාකාරීන්ය

ඒත් වට කලාට මොකෝ හමුදාවෙන් ඇතුලට එන්න  කියලායැ?   අප එහෙම හිතුවත් ටික වෙලාවකින් කොරිඩෝරයේ ගඩොල් බිත්තිය බිඳ හමුදා බටයෝ ශාලාවට ඇතුල් වුහ .

දෙකෙළවර ශාලාවල සිටියෝ ඇඳිවත පිටින්ම ටී පනස් හයේ තුවක්කු රැගත් හමුදා බටයින්ගේ අණට කීකරුව අක්බාර් කැන්ටිම වෙත ඇදී ආහ. කැන්ටිමේ සියලු පුටු බංකු එක පසෙකට ගොඩ ගසා ශාලා මධ්‍යයේ  හිස් අවකාශයක් තනා  තිබුණු අතර අප සියලු දෙනාට බිම වාඩි වෙන්නයි අණ ලැබිණි .

මේ වන විට ගඟෙන් එහා පැත්තේ හිල්ඩා ඔබේසේකර ශාලාවේ සිට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් සරසවි සිසුන්ට ඇඟ හිරි වැටී, සිත පිබිදෙන සුළු සංග්‍රාම වාක්‍ය නිකුත් විය.

' මිනීමරු පාලකයින්ගේ මුර බල්ලන් අපේ සරසවි බිම  වට කරලා . වීරෝධාර සිසු සිසුවියනි . බය වෙන්න එපා . යටත් වෙන්න එපා . පාවා දෙන්න එපා . සමාජවාදී  රජයක්  බිහි වෙන්න ඉතා ආසන්නයි. ඒකයි  මේ පැසිස්ට්වාදී පාලකයන් වියරු වැටිලා තියෙන්නේ . ඊට අමතරව නන්දා මාලිනිගේ  පවනේ ගීතද , කපුගේගේ   'සබඳ  අපි කඳු නොවෙමු ' වැනි ගීතද වරින් වර විකාශය විය.

රෑ මැදියම් වෙද්දී බඩගින්න හා අනෙකුත් අවශ්‍යතා ඇති වුවද කිසිවෙකුට සෙලවෙන්නවත් ඉඩක් නොලැබුණේ අවි රැගත් සෙබලුන් සිය ගණනක් ශාලාව තුලත් මිදුලෙත් රඳවා  සිටි නිසාය .මීට  අමතරව හිස ආවරණය කරගත් බිල්ලෙක්ද ඇවිත් සිටියේය.

පසුවදා පාන්දර වන විට හෙලිකොප්ටරයක් සරසවි ගුවන් තලය සිසාරා පිරුක්සුම් චාරිකාවල යෙදුනේය.  හිල්ඩා ඔබේසේකර ශාලාවේ  ශබ්ද  ව්කාශණ යන්ත්‍රය දිගටම  හඬ තැලුවේය

' යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්...

රාත්‍රිය පුරා කුස ගින්නේ සිටි අප ඒ  වනවිට බෙහෙවින් හෙම්බත් වී සිටියෙමු.

හැබැයි හමුදාව අක්බාර් ශාලාව වට කරද්දීම  වාගේ  පොලිසිය සොයමින් සිටි ප්‍රධාන පෙලේ  පුද්ගලයෙක් හෝ දෙන්නෙක්  කැන්ටිමට එළවලු ගෙනා ඩේලිකා රථයේ සැඟවී පලාගිය බවට කසුකුසුවක්ද  පසුව  අසන්නට  ලැබිණි ( මා මෙහි සත්‍ය අසත්‍ය බාවය ගැන  නොදනිමි )

හමුදා හා පොලිස් වටලෑමෙන් පසු මුලින්ම සිදුවුයේ  සිසුන්ට කෑම බීම නොදී හෙම්බත් කිරීමය. ඒත් මෙය දිගටම කරන්ට බැරි වුනේ කවුරුත් එලියට බහින්නට බය වී සිටි මොහොතක සිසුන් වෙනුවෙන් නැගී ආ  ආචාර්ය මයිකල් ප්‍රනාන්දු  හා අක්බාර් ශාලාධිපති ඇතුළු පිරිසක් නිසාය .

මුලින්ම මයිකල් ප්‍රන්නන්දු මහතා ගෙදරින් උයාගෙන ආ බත් පාර්සල් පණහක් පමණ සිසුන්ට බෙදන්නට හමුදාව සමග දැඩි වාග් ප්‍රහාරයක යෙදී අවසර ගත්තේය.  ඊළඟට කැන්ටිමේ ඉතිරි වී තිබු හාල් හා පරිප්පු උයා තවත් කුඩා  කෑම ප්‍රමාණයක් බෙදා දුන්නේය.

මේ මොන දෙයින් උනත්  හිටි පිරිසෙන් හතරෙන් එකකටවත් කුසට අහරක් නොලැබිණි.

දවල් වෙද්දී  අපේ කාමරවලට  හමුදා සුපරීක්ෂාව යටතේ  ගොස්  අඩුම කුඩුම  ගමන්මලුවල්ට පුරවා ගන්නට අපට ඉඩ  ලැබිණි . ඉන්පසු අයිඩෙන්ටි කාඩ්  ඇති  හා නැති උන් වෙන් කරවා ගැනුණි. ඒ වනවිට ශිෂ්‍ය ක්‍රියාකාරීන්  හඳුනා ගැනීම වලක්වනු වස් අප හැමෝගෙම  අයිඩෙන්ටි කාඩ්  එකතු කොටගෙන තිබුනේය  ඒත් මේ මොහොතේ මට තේරුම්  ගියේ බොහෝ  දෙනා සන්තකයේ කුමක් හෝ හැඳුනුම්පතක් තියෙන බවය.  අඩුම තරමින් යුනිවර්සිටි රෙකෝඩ් බුක් එකවත් මට හොයා ගන්නට බැරි විය . ඒ නිසා මා  ඇතුළු පණහක් හැටක් වූ අයිඩෙන්ටි කාඩ් නැතී පිරිස වෙනම තැනකට රැස් කෙරුණි.

ඒ වනවිට හිල්ඩා ඔබේසේකර ශාලාවේ ලව්ඩ්ස්පීකර් හඬ නිවී ගොස් තිබිණි

හවස හය පමණ වෙද්දී සියලු දෙනා බස් වලට පටවා ගලහ හන්දියට ගෙනාවේ දැඩි පොලිස් හා හමුදා රැකවල් මැද්දේය . ඊළඟට එකිනෙකා  ගම් පළාත් අනුව අනුරාධපුර, කුරුණෑගල, යාපනය, බදුල්ල ආදී  වශයෙන් කුඩා කණ්ඩායම් විදිහට පෙළ ගස්වා නවතා තැබූ බස්වලට වෙන වෙනම පටවනු  ලැබීය .

මා ඇතුළු හැඳුනුම්පත්  නැති වුන් මෙන්ම  වෙනත් ක්‍රමවලින්  තෝරාගත් පිරිස  ගෙන ආවේ කඳවුරකට ගෙන යෑමටය. ( මේ පිරිස මහනුවර පාසැලක රඳවා තබාගත් බව පසුව දන ගන්නට ලැබිණි. ඉන් පිරිසක්   සෑහෙන කාලයක් සිරගතව සිටියෝය. සමහරු  යලි නොආවෝය )
අප ශාලාවේ සිට ගෙන ආ බස් රථයද ගලහා හන්දියේ නතර කර එතැනින් අපව තවත්  බස්රථයකට මාරු කරන්නට පියවර ගෙන තිබිණි.

මා පෙර රථයෙන් බැස සැකකරුවන්  කඳවුරට ගෙනයාමට සුදානම් කොට තිබූ අනෙක් බසයට  නැගීමට ඇවිදගෙන යද්දී හරි අපූරු දෙයක් සිද්ද වුනේය.  ඒ කිට්ටුවෙන්ම  නවතා තිබු කෝස්ටර් බස් රථයෙන් බැස ආ සෙනරත්  මගේ අතින් ඇදගෙන 'මෙහෙ වරෙන් ඔය කොහෙද යන්නේ  බණ්ඩාරවෙල යන්නේ මේ බස් එක මේකට නැගපන්' කියා මා ගෙන ගොස් කෝස්ටරයේ ඉන්දෙව්වේය.

මේ අවස්ථාවේ හාත්හස විසිරී  සිටි පොලිස් හා හමුදා බටයන්  කිසිවෙකුට මේ සිද්දිය නිච්චියක් නොවුනේ කෙසේදැයි  මට තාමත් සිතා  ගන්නට බැරිය . නොඑසේනම් මේ කතාව ලියන්නට වෙන්නේ වෙනත් ආකාරයකටය නැතිනම් වෙනත්  කෙනෙකුටය .

මහා රෑ දොළහට පමණ අප දියතලාවට සේන්දු වුනෙමු.  මට යම්තමින් හෝ සුරක්ෂිත බවක් දැනෙන්න  පටන් ගත්තේ  ඊටත් පස්සෙය.  මම එදා රාත්‍රිය සෙනරත්ලා ගෙදර නිදාගෙන සිට  පහුවදා උදේ රැයින්ම  අපේ ගෙදරට ගියේ කරේ ට්‍රැවලින් බෑග් තඩියක්ද නිකට පුරා ඇලවුණු ලොකු  ප්ලාස්ටරයක්ද සමගය.

ඒ වනවිටත් සරසවි වටලා  සිසුන් අත් අඩංගුවට ගත් පුවත රටපුරා පැතිරී තිබුනේය. ඒ නිසා  අපේ  ගෙදර සියල්ලෝ සිටියේ පාරට ගොඩ වී ඈත මග දිහා  බලාගෙනය .

මගේ මුහුණේ  වූ තුවාලය දැක බියපත් වූවද මා ගෙදර ආවාට  සොම්නස් වූ  අම්මා වැඩි විස්තර  විචාරන්නට හදිස්සි නොවුවය

එත් මම දවල් වන විට පෙර දින මුහුණදුන්   ත්‍රාසජනක සිදුවීම් එකින් එක අම්මාටකියා  අවසන් කර තිබුනේය .
මගේ නිකටේ තුවාලය ගැන අම්මා ඇසුවේ මේ වේලාවේය .

මක්වෙලාද පුතා ඔය . ලොකු තුවාලයක්ද? දැන් හොඳටම හොඳද?

ඒක මේ පොඩි තුවාලයක් අම්මා . මැහුම් දැම්මා දැන් හරි .

' ඉතින් මක් වෙලාද ඒක උනේ? '

යාලුවොත් එක්ක සෙල්ලමට වතුර ගහගත්ත  වෙලාවේ  අක්බාර් කොරිඩෝරේ ලිස්සලා වැටුනානේ.

මම කිව්වේ ඇත්තම කතාවය .


( වසර 28ක් පැරණි මේ  කතාවේ මට අමතක වූ කොටස් බොහෝ තිබෙන අතර මෙය කියවන , එදා මා සමග සිටි මිතුරන් ඒවා මතක් කර දෙනු ඇතියි සිතමි )


26 comments:

  1. පූර්ව නිගමනයන් සම්පූර්ණයෙන්ම වරදින්න පුලුවන් නේ :)

    ReplyDelete
  2. සෙනරත් එළ කොල්ලෙක් නේ?

    ReplyDelete
  3. එළවළු ගෙනා වෑන් එකේ ගිය දෙන්නා හිතා ගත හැකියි!

    ReplyDelete
  4. මේ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු යනු කලා පීඨයේ සිටි කොමියුනිස්ට් පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභිකයා නේද?

    ReplyDelete
  5. ඔබේ මුල් කාලයේ සටහනක සිටි "මාරේ" මේ වෙලාවේ කොයි බස් එකේ ද ගියේ?

    ReplyDelete
    Replies
    1. මාරේ.... තිලක සිතේ මගේ සදාතනික මිත්‍රයා....

      Delete
  6. ඔය වතුර ගහ ගන්න ගිහිං වැටෙන එක පොදු සාධකයක් වගේ.. මටත් ඔය වැඩේම උනා අපේ රජරට දුට්ටේ හොස්ටල් එකේ

    ReplyDelete
  7. සෙනරත් එහෙම අතින් ඇදගන ගියේ හරියටම කාරනාව දැනගනද ... එහෙමත් නැත්තං .... වැරදි බස් එකකට නගින්ඩ යනවා කියලා ඇත්තටම හිතපු නිසාද

    ReplyDelete
  8. ඕනෑම කෙනෙකුට දෛවය කියල දෙයක් බලපානවා තිලකේ. මැරෙන්න ලියවිලා නැත්නම් මරන්නම බැහැ. ඒ දෛවය සත්‍යයයි ඔප්පු වුන තවත් අවස්ථාවක්.

    ReplyDelete
  9. මාර බේරිල්ලක්නෙ බේරිලා තියෙන්නෙ.
    ඒ වෙලාවෙ තිලකෙගෙ වෙලාව හොඳ ඇති. නැත්තං ඔච්චර ගාඩ් එකක් මැද ඔය සීන් එක වෙන්න කොහෙත්ම ඉඩක් ලැබෙන්නෙ නෑ.

    ReplyDelete
  10. වැරදිලා වගේ හරි බස් එකට නැගපු ඔයා වගේ වැරදිලා වැරදි බස් එකට නැග්ග තව කොච්චර ඇද්ද ..??

    ReplyDelete
  11. අනූ නවයෙන් නූලෙන්.. ඒ කාලෙ මොන වගේද කියල හිතාගන්නවත් බෑ දැන් ඉන්න අපට නම්..
    ජයවේවා..!!

    ReplyDelete
  12. පේරාදෙනිය විශ්වවිද්‍යාලයට ගිය කිහිප අවස්ථාවලදී මට හිතුන දෙයක් තමයි මේ තරම් ලස්සන රිලැක්සින් ගහ කොල හා ගොඩනැගිලි සහිත පරිසයක ඉඳලත් ගැටුම් ඇති කරගන්නේ ඇයි කියලා.

    ඒත් එක එක්කෙනාගේ සිතුම් පැතුම් අවශ්‍යතා පරමාර්ථ වෙනස්නේ

    ReplyDelete
  13. දැං සෙනරත් කෝ...
    අන්න පොරවල් නැද්ද හැබෑටම
    සිරාම බොක්කවල් හෙහ්

    ReplyDelete
    Replies
    1. Are you talking about Senarath Godakumbura? https://www.facebook.com/SenarathD

      I too was without ID and sitting whole night in front of the Wijewardhane Hall and they took all of us in the morning to Sylvester College where screened through Billa. Then all my batch mates were taken by Prof. Dharmasena (Medical faculty) to his home at Piashaud gardens. We were privileged to be his daughter's batchmates. The meal he gave us was the best meal I ever had (after starving a day!).

      Delete
  14. අම්මෝ හරිම භයානක අත්දැකීමක්නෙ... කැලණියෙ ජිම් එකේ උඩ තට්ටුවෙ ශිෂ්‍ය සංගම් කාර්යාලෙ පැය දෙකක් විතර හිරවෙලා උන්න අත්දැකීමක් තියේ මට... එදා නම් පොලිසිය ඇවිත් තමයි අපිව බේරගත්තෙ.

    ReplyDelete
  15. ඔය වගේ සිද්දි වලදී නුලෙන් බේරුණා කියලා හිතන්නේ පස්සේ කල්පනා කරලා බලන කොට තමයි.

    ReplyDelete
  16. Uvini EdirisingheJune 12, 2017 at 10:24 PM

    😨😨😨 එහෙම අත්දැකීමක්!හිතාගන්නත් බැරියෝ...!
    99.999999...න්!
    ඒකත් හොඳට ගියා..නේද අන්කල්! නැත්තම් අද කෝ කතාවක්!

    ReplyDelete
  17. හපොයි පුදුම බේරිල්ලක් බේරිලා තියෙන්නෙ.

    ජීවත් වෙන්න වාසනාව තියෙනව නම් කොයි විදිහෙන් හරි බේරෙනවා... :)

    ReplyDelete
  18. එතකොට සෙනත් දැනගෙනමද ඕක කලේ? මාර පොරක්නෙ

    ReplyDelete
  19. ඔය හදිසි තීරණ අස්සෙ රිංගන්න කපොලු තියෙනවා. එව්වා පේන්නෙ සමහරුන්ට විතරයි. ආන්න ඒ වගේ කෙනෙක් තමයි සෙනරත්. ඔහු වීරයෙක්.

    ReplyDelete
  20. 1. ශබ්ද විකාශණ යන්ත්‍ර සවිකර තිබුනේ හිල්ඩා, JP, මාකස් ශාලා අවටයි, මන්ද එම කේන්ද්‍රයේ සිට සතර අතටම ඇමතීම පහසු බැවිනි. එම පද්ධතිය භාරව තිබුනේ මට සහ සුමේදටයි.
    2. ඔය වට කිරීමට (මගේ මතකයේ හැටියට පාන්දර 1 ට පමණ) පෙර දින සවස අභ්‍යන්තර ඔත්තුකරුවෙකු මගින් මෙම වටලෑම ගැන අපට විශ්වාසදායක තොරතුරු ලැබුණා, සවස 5 ට 6 ට පමණ. ඒ අනුව මෙය 100% ක් ස්ථිර තොරතුරක් නොවුනත් ක්‍රියාකාරිකයින් සරසවි බිමෙන් ඉවත් විය යුතු යැයි ශි.ක්‍රි. ක. තීරණය කලා. නමුත් ශිෂ්‍ය සුභසාධන අංශයත් ශබ්ද විකාශණ පද්ධතියත් මා යටතේ පැවතුන බැවින්ඉවත් නොවීමට මම තීරණය කලා. නිෂ්මි තදබල ලෙස විරුද්ධ වුනත් මගේ වගකීම බැවින් ඉවත් නොවීමේ තීරණයේම හිටියා. නිෂ්මි ඇතුලු සගයින් විශාල ගණනක් හදිසි සමුගැනීමකින් විසිර ගියා.

    ReplyDelete
  21. 3. ආනන්ද සමග රාත්‍රී මුර සංචාරයක් ද කලත් කිසිදු හමුදා මැදිහත්වීමක ලකුණකුත් නැතිව අපි මධ්‍යම රාත්‍රියේ හිලඩා වෙත පැමිණ මහන්සිය නිවා ගැනීමට ඇල වී වැඩි කල් යාමට මත්තෙන් ආරංචිය සත්‍ය කරමින් ශබ්ද විකාශණය මහ හඬ දෙන්නට පටන් ගත්තා.

    ReplyDelete
  22. 4. අක්බාර්, විජේ නාතන්, මාකස් JP ආදී සියළු නේවාසිකාගාර වටලා අත් අඩංගුවට ගැනීම් හා පිටව යෑම් සිදු වුවත් අපි දින තුනක් නොසැලී අල්ලාගෙන සිටියා. මෙය හමුදාවට බරපතල ප්‍රශ්ණයක් වුනා. ඔවුන් සිතුවේම සරසවියේ අවි ගබඩාව හිල්ඩා හි ඇති බවත් , සන්නද්ධ කල්ලි නායකයින් මෙහි සැඟවී ඇති බවත්. එනිසා ඔවුහු තම මුළු ශක්තියෙන් මේ ශාලාව cordon off කිරීමට කටයුතු කලා! (සිනා!) කිසිදු එවන් නායකයෙක් තබා ගල් කටස් එකක්වත් මෙහි තිබුනේ නෑ. අවසානයේ මාව නම කියාම අත් අඩංගුවට ගෙන කැන්ටිම පිටුපස දොරෙන් පැජෙරෝවකට දාගත්තේ ගජබා රෙජිමේන්තුවේ සෙබලුන්. ඔවුන් කුප්‍රකට අලදෙනියේ කඳවුරට මාව ගෙනයෑමට සැලසුම් කලා යැයි අනුමාන කරමි. නමුත් අප බිමදමා පිට උඩ බූට් සපත්තු යෙදූ කකුල් තබා ගෙන ගිය හමුදා භටයින් පෙරලා ගෙන නැගිට හිල්ඩා ගහ ලග සිටි උපකුලපති තුමා හා උඩුගම්පොල ඉදිරියේ නැගී සිටි නිසා පණ බේරා ගෙන සිවෙස්ටර් ප්‍රාථමිකයට ගෙන ගිය පිරිස සමග එහි යාමට වාසනාව උදාවුනා. එහි එක රැයක් ඉඳ ඔවුනගේ අත් වැරද්දකින් කට උත්තරයක් දී එලියට පැන ගැනීමට ලැබුණා.

    ReplyDelete
  23. ඒ අත්දැකීම පුදුම එකක්. අනුනමයෙන් බේරිලා

    ReplyDelete
  24. ඒ කාලය යළි මතක් කරන්නට අකැමති කාලයක්....ඇඟ හීතල වුනා කතාව අහන යද්දී

    ReplyDelete