Sunday, August 23, 2015

සර් කියලා කියාපන්

මීට අවුරුදු බර ගානකට ඉස්සර නවක ඉංජිනේරුවන් ලෙස මමත් පාලිතත්  අර්ධ රාජ්‍ය ආයතනයක  සේවයට බැඳුනෙමු . ඒ දවස්වලම අලුතින් පත් වූ  තරුණ  ඇමතිවරයෙක් අපේ වැඩබිම බලන්නට ආවේය.
ඇමති ආ දවසේ ඔහු සමග තව විස්සක් පමණ පිරිසක් ආවෝය. අපේ ලොක්කාගේ අණ පරිදි ඔහුත් මමත් පාලිතත්  ඇමති හා පරිවාර පිරිසට  වැඩහල් හා පෙරනිමි නිෂ්පාදන පෙන්නන්නට ගියෙමු.

ඇමතිවරයාගේ හා  පිරිසගේ උනන්දුව තිබුනේ තිබෙන දෙයක් උස්සාගෙන ගොස් තමන්ගේ ආසනේ කොතන හෝ සවි කර ගැනීමය. පසෙක පෙරලී තිබු නාම පුවරුවක් දුටු ඔහු කිව්වේ මේක අලුත්වැඩියා කොට අලුතින් පේන්ට් කරවා තම ගමේ නාම පුවරුවක්  සඳහා ලෑස්ති කර දෙන ලෙසය.
ඊට අමතරව සිය  ආසනයේ ඇති ක්‍රීඩා පිටියකට තමන්ගේ නම යෙදු විශාල නාම පුවරුවක් හදා ගැනීමටද ඕනෑ බව කිව්වේය .මේ ගැන යන වියහියදම් කොච්චර කල් වැඩේට යයිද ආදිය ගැන ඇසු ඔහුට  නවක අපි උත්තර දෙද්දී  සමානයෙකුට මෙන් කතා කළෙමු  ඇරත් මේ මනුස්සයාත් තරුණ  වයසේ සිටි  නිසා  සිය ගෝලයන් තරම්ම  රැස්පොට් එකක් ඔලුවට ගෙන නොතිබිණි.
මේ අස්සේ අපේ ප්‍රධාන ඉංජිනේරුවා  පැත්තකට කතා කොට අපට කිව්වේ අර ඇමති තුමාට කතා කරනකොට ඔයා මෙයා කියල කියන්න එපා සර් කියලා කතා කරන්න කියලාය.
ඒත් තරුණ හිතුවක්කරයන් වූ අප දෙදෙනාටම  මේ  ඇමැතිවරයාට සර් කියන්නට හිත නෑමුනේම නැත.
තරමක්  ලොකු යකඩ කඳන් ගොඩක් තිබු තැනක ඇමති හා පිරිස නැවතී කුටු කුටු ගාන්නට වුනේ මේක උස්සාගෙන යන්නට වටිනා බව පෙනුණු නිසාය. අපි පසෙකට වී බලා සිටියෙමු .
ප්‍රධාන ඉංජිනේරු තැන අපව එතැනින් ඔබ්බට කැඳවාගෙන ගොස් මෙසේ කිව්වේය .
.මේ උඹල දෙන්නට මං කියන්නේ අපි කාගේත් හොඳට. ඇමති කෙනෙකුට සර් කියන්න උඹල ටිකක් අදිමදි කරනවා තමයි. ඒත් අපි ආණ්ඩුවේ  සේවකයෝනේ. ආයතන ස්ට්‍රක්චර් එකේ උඩින්ම ඉන්න අපේ සබාපතිත් මේ මිනිස්සුන්ට සර් කියනවානම් උඹලට ඇයි කියන්න බැරි ?
ඒ වන විට ඇමතිවරයා හා පිරිස අප සිටි දෙසට එන්නට පිටත් වී තිබුනේය.
'අන්න අර යකා මේ පැත්තට එනවා සර් කියල කතා කරපල්ල  හොඳද'.


මේ කතාව මට මතක් වුනේ මේ දවස්වල මුහුණු පොතේ සංසරණය වන පොඩි සටහනක් නිසාය
ඉන් කියවී තිබුනේ දේශපාලකයන්ටවත් ඔවුන්ගේ ලේකම්ලාටවත් සර් කියන්නට යන්නේ නැතිව කොන්ද කෙලින් තියාගෙන ඉන්නා හැටියටය,
ඒත් මේ සර් කියන්නා හා සර් කියා අසා ගන්නා තුල ඇතිවන මානසිකත්වය ආසියානු සමාජයේ  ප්‍රධාන මායාවක් හෝ සමාජ ප්‍රගමනයට උදැල්ලක්  වී ඇති බව බොහෝ වාරයක් නිරීක්ෂණය කර ඇත . මේ කතාවට මූට්ටු කරගත හැකි අත්දැකීම් කීපයකි.
සරසවි සිසුවකුව සිටියදී එක්තරා සම්මන්ත්‍රණයකට ආ දේශකයෙකු හා සෑහෙන වෙලාවක් සුහදව කතා බහ කරන්නට ඉඩක් ලැබිණි . මම ඔහු ඇමතුවේ සර් කියලාය. කොළඹ ආවොත් අපේ ආයතනයටත් එන්න. එවක ඔහු පුද්ගලික  ආයතනයක ප්‍රධානියෙක්  විය.
මේ හිතවත්කම එසේ තිබියදී මට ඔහු යටතේ ටික කලක් රස්සාව කරන්නටත්  සිදු විය. ඒ රස්සාවේ මුල් දවසේ මම ඔහු ඇමතුවේ මිස්ටර් අහවලා කියලාය
ඔහු මට හීන් සැරේ මේ වගේ කතාවක් කිව්වේය
'මම කැමති නෑ කාලෙන් කාලෙට වෙනස් වෙන මුල අමතක කරන මිනිස්සුන්ට. දැන් බලන්න ඉස්සර මට ඔයා කතා කලේ සර් කියලා දැන් දැන් මිස්ටර් කියනවා. මට කමක් නෑ කොහොම කතා කරත් . සමහර විට ඔයා පස්සේ නිකම්ම නම කියලත් මට කතා කරන්න ඉඩ තියෙනවා . ඔහොම තමයි අපේ මිනිස්සුන්ගේ හැටි'.
ආයතන ව්‍යුහයේ තමාට පහලින් සිටින සියලු දෙනාම තමන්ට අනිවාර්යයෙන්ම සර් කිව යුතුයැයි සිතන බොහෝ දෙනෙක් ඉහළ  නිලධාරීන් හා දේශපාලකයන් අබියස ඉතාම නිවට ලෙස හැසිරෙනු මා දැක ඇත.
අපේ මැද පෙරදිග වැඩ බිමට පැමණි තෝමස්  නම් සුදු නිලධාරියා 'සර්' කියා තමන් ඇමතු ඉන්දීය ජාතිකයෙකුට බැන වැදුනේය. සර් කියන්නේ තමන්ගේ කඩේට ආපු කස්ටම්ර්ලට එහෙම නැත්නම් නයිට්වරුන්ට . මට නම කියාපන්.
මේ අතර ආසියාතික කළමනාකරුවෙක් උසස් වීමක්  ලද අලුත කලින්  ඔහු හා සම මට්ටමේ සිටි වෙනත් නිලධාරියෙකු ඔහුට නම කියා අමතනවා ඇසී බොහෝ සෙයින් උරණ වූ කතාවක්ද මා අසා ඇත
ඔහු කියා ඇත්තේ 'ඉස්සර ඒවා තියා ගන්න එපා දැන් මට සර් කියලා කතා කරපන්' කියලාය .
මේ සර් කියන්නා තුල ඇතිවන  දීන මානසිකත්වත්  එය අසා ගර්වය ලබා ගන්නා තැනැත්තා තුල ඇතිවන  පුහු මානසිකත්වයත් මා වැඩිපුරම දැක ඇත්තේ ඉන්දියානු හා ශ්‍රී ලාකිකයන් අතරය .
අනිත් බොහෝ රටවලදී සර් යන්න වෙළඳ හා සේවා සන්නිවේදනවලදී යෙදෙන ඇමතුමක් පමණි . සර් කියා ලිව්වා හෝ කිව්වා කියා ඉන් එහාට අරන් යන මාන්නයක් හෝ නිවටකමක් නොපවතී .
මට හිතෙන්නේ මේ විෂය ගැන හොඳ මට්ටමේ සමාජ විද්‍යා පර්යේෂණයක් තාම සිදු වී නැති බවය .
මා මුල්වරට රට රස්සාවකට යන්නට කලින් ලංකාවේදී කාලයක් තිස්සෙම වැඩ කල එක්තරා සමාගමක තරමක ලොකු තනතුරක් පැටවී තිබිණි . පුළුවන් තරමට සිම්පල් මිනිසෙකු වෙන්නට උත්සහ දැරුවද වටාපිටාව විසින් කාන්දු කරන තනතුරු ආඩම්බරයක්ද හිතේ නොතිබුනා නොවේ. මේ  කන්තෝරුවේ  සගයන් ලොකු කුඩා කා අතරත් සර් කියා අමතන පුරුද්ද තිබුනේ ඉතා අඩුවෙනි .
ඒත් සුළු සේවකයන්, රියදුරන් හා පියන්වරුන්ගේ වාග්මාලාවෙන් සර් යන්න ඉවත් කරවන්නට කවුරුත් උත්සහ නොකළහ.
'සර් තේ එකක් ගේන්නද?. සර් ලියුම් ටික ගෙනිහින් දුන්න. සර් වාහනේ ටයර් පන්ච් එකක් තියෙනවා හදාගෙන එන්නම්'.
මේ ආදී දවසකට සර් කියා ඇමතුම් සිය ගානක් ලැබෙන පරිසරයක සිටිද්දී හදිසියේ මම රස්සාව අතහැර විදේශ ගත වුනෙමි
මට යන්න ලැබුනේ රුසියානු කලාපයේ පිහිටි කසකස්තානයටයි
බටහිර කසකස්තානයේ තෙල් කැනීම් ආශ්‍රිත වැඩ බිමක රස්සාවට ගිය දවසේ ඉතා උණුසුම්ව හැමෝටම මාව හනුන්වාදීමට අපේ කළමනාකරුවා පියවර ගත්තේය.
අන්තිමේදී සුපුරුදු පරිදි කුස්සියේ තේ හදන කාන්තාව  අමතා 'ලිගායා මේ ඇවිත් ඉන්නේ අපේ අලුත් මහත්තයා තිලක . තේ එකක් එහෙම හදලා දෙන්න' .


මා අලුත් කන්තෝරු කාමරයේ බොහොම සතුටින් වාඩි  වී මේ නැවුම් පිළිගැනීම් හා අල්ලාප සල්ලාප නිසා තුටු පහටුව සිටිද්දී  ලිගායා ආවාය.
'තිලක තේ එකක්  හරි කොපි එකක් හරි බොන්නට කැමතිද' ?
එය මොන තරම් යහපත් යෝජනවාක් වුවත් කන්තෝරුවේ තේ හදන කාන්තාවද නිකම්ම නම කියා මා අමතද්දී හීනි නෝක්කාඩුවක් හිතට කාන්දු විය .
තේ එකක් බොන්නට වුවමනාව තිබියදීත් මම මොකුත් එපා කීමි. ඇයට ස්තුති සිනාවක් පාන්නට පවා අමතක වුනේය. ඒ  මා විදේශ රටක රස්සාවකට ආ  පළමු දවසය.
ඉන් ටික වෙලාවකට පසු මා සිටි කාමරයට අපේ ප්‍රධානියා සමග ඇතුළු වුයේ ප්‍රියමනාප උසැති සුදු ජාතිකයෙකි. අපේ ලොක්කා මට අමුත්තා  හඳුන්වා දුන්නේය . 'මේ ඉන්නේ ටොම් .මේ තෙල් සමාගමේ නේවාසික අධ්‍යක්ෂ , කොටින්ම අපි සේවා සපයන සමාගමේ ලොක්කා'.
මම හුනස්නෙන් නැගිට ඔහුට ආචාර කලෙමි. ඔහු ඉතා සුහදව ටික  වෙලාවක් මා සමග ආගිය තොරතුරු කතා කළේය.
'මම දවසක උඹලගේ ලස්සන රටට නිවාඩුවක් යන්න හිතාගෙන ඉන්නේ'
මේ අස්සේ ලිගායා එතැනට කඩා පාත් වුනාය . මගෙන් ඇසු ආකාරයට තෙල් සමාගමේ ප්‍රධානියාටත් කිසි ගරු සරුවක් නැතිව නිකම්ම නම කියා 'ටොම් තේ එකක් බොමුදැයි'  ඇසුවාය
ටොම්ට කෙසේ වෙතත් මටනම් ආයෙමත්  අමනාප සිතක් පහළ විය
ඒ වුනත්  ටොම්නම්  ඇයගේ උරහිසට අතක්ද  තිබ්බේය  . 'නුඹ හරිම කරුණාවන්ත තරුණියක් . මට හොඳ තේ එකක් ගේන්නකෝ එහෙනම්'.
අයියෝ මම ඒක්ෂණයකින්  දියවී සල්ලම් වී ගියෙමි

දැන්නම් අපේ සමාගමේ ලොක්කාට නම කියා කතා කරන්න අවශ්‍ය දිරියත් කාර්යාල පිරිසිදු කරන්නා මගේ නම කියා සුබ උදෑසනක් පතද්දී සුහදව ප්‍රතිචාර දක්වන්නට පුළුවන් පිරියත් මා ළඟ තිබේ .
Image: featurefics.com

93 comments:

  1. නිහතමානී වෙන්න කොයි තරම් හිතුවත්, උවමනාවක් තිබුනත්, අපි හැදුනු පරිසරයේ අභාශයෙන් අපි ලබා ගත්තු අත්දැකීම් එක්ක ඒක ලේසි පාසු එකක් නෙමේ. අනික තමා විවිධ ජාතීන් එක්ක වැඩ කරන්න ඕන කමට එහෙම නිහතමානී වෙලා ආයේ සුපුරුදු පරිසරයෙදි අර සුපුරුදු මිනිස්සු මුණගැහුනාම පුරුදු නිහතමානී කමින් සලකන්න උනාම මූන දෙන්න සිද්ද වෙන සිදුවීම්.
    එක උදාහරණයක් කියන්නම් . .
    අවුරුදු 15ක් මැදපෙරදිග හිටියත් තාම මට මෙහේ ඉන්නකොට ලංකාවේ මූනක් දැක්ක ගමන් මට පුදුම කික් එකක් එන්නේ.
    ඒ කික් එක නිසාම උස් පහත් බේදයක් නැතුව හොඳ හිනාවකින් හැමෝටම හිනාවෙන්නයි මට ඕනකම.
    ෆ්ලයිට් එකේදි / එයාපෝර්ට් එකෙදි එහෙම හිනාවෙන එකෙන් වෙන්නේ අවුරුදු 60ටේ විතර නංගිලාගෙන් මහ හයියෙන් කෑ ගහලා මෙන්න මේ වගේ දේවල් අහ ගන්න ලැබෙන එක
    "අයියා ගෙදරක ඩ්‍රැයිවින්ද කරන්නේ - කීයක් පඩිය හම්බවෙනවද?"
    "අයියා ගාඩ්නර්ද ඩ්‍රැයිවර්ද?"
    "අයියා සුපර්මාර්කෙට් එකක නේද වැඩ? - අවුරුදු කීයකින්ය අනේ ඔයා නිවාඩු යන්නේ?"
    දීපන්කෝ උත්තර ඉතින් . .

    ReplyDelete
    Replies
    1. දාපන් මචං පහක්.

      ඔය ඔක්කොමත් හරි අහන විස්තර ටිකට උත්තර දෙන එක තමයි ඉතිං කාලා ඉන්න බැරි.

      ඔය අන්තිමට කියපු දේ වෙලා දැන් මූණ පුම්බගෙන හිනාවක පාටක් නැතිව රවාගෙන ඉන්නේ කොහේ ගියත්.

      Delete
    2. දුකාට 150km විතර දුරින් තියෙන අල්ලපු ගමේ මම ඉන්නෙ. මේ චූටි අවුරුදු 5 ට මම දැක්ක දෙයක් තමයි. මෙහේ ඔහොම මහ හයියෙන් විවුර්තව කතා කරන 50+60 නංගිල බොහෝ අය ගෘහ සේවිකාවො එහෙම නැත්තං ක්ලීනිං කොම්පැනි වල වැඩ කරන අය. ඉහල ‍රැකියා කරන අය ගෑනු හෝ පිරිමි වේවා ලොවෙත් අනිත් අය එක්ක කතා කරන්නෑ. හෙන උනෙං ඉන්නෙ පඩ ශෝ දාගෙන(බහුතරය).ඒකත් මේ තිලකෙ කියන එකේම දිගුවක්. සුලු ‍රැකියා කරන අය ගින්නක් නැතුව අනිත් අය එක්ක කතාකරනව. ඒක ග්‍රාම්‍යයි. ඒ ඔවුන් ඔවුන්ගෙ මට්ටමින් කතා කරන නිසා.

      Delete
    3. මේ අපේ නිහතමානිකම රස්සාව කරන තැනයි සමාජ ජීවිතයෙදියි වෙන වෙනම කළමනාකරණය කර ගන්න වෙනවා නේද? මමත් බොහෝ විට වැඩිය චරෝ බරෝ ගැන මිනිස්සු එක්ක සෙට් වෙන්න අකමැතියි. සමාජ මට්ටම කොහොම වුනත් .
      ඒත් ඒ හැටි අට්ටකුනා වෙලා නැති අහිංසක පහේ කවුරු හරි .හම්බුනොත් හිනා වෙලා කතා කරන්න උදව්වක් කරන්න මම ඉදිරිපත් වෙනවා
      x porter කිව්වා වගේ උඩඟු කම නිසා පොඩි මිනිස්සු එක්ක කතා නොකරන මිනිස්සු ඉන්නවා වගේම රන්ගි හා දුකා කිව්ව විදිහේ තමන් විඳපු අත්දැකීම් නිසා පාඩුවෙ ඉන්න කැමති මිනිස්සුත් ඉන්නවා

      Delete
  2. ඇත්ත මිනිස්සු කැමති තනතුරෙන් බැබලෙන්න...මේ විදියෙ සංස්කෘතියක් අපේ රටෙත් ඇති වෙනව නං ආයතන තුල මිකිසුන්ගේ ආකල්ප දියුණු වී ඵලදායිතාව වැඩි වේවි.වැඩි පුරම පහල ස්ථර වල ඉන්න සේවකයන්ගෛ්

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර පුද්ගලික ආයතනවල මේ වගේ ආකල්ප වෙනස් කරන්න සාර්ථක උත්සාහයන් අරන් තියෙනවා. ඒත් පුළුල් වෙනසක් කරනන තව සෑහෙන කාලයක් යාවි

      Delete
  3. Replies
    1. හෙහ් හෙහ් ,,තැන්කිව් එහෙනම්

      Delete
  4. ඒක ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ගෙ තියෙන අමුතු මානසිකත්ව වලින් එකක්. ඒ පුංචි කාලෙ ඉදලම පරිසරයෙන් ආරෝපණය වෙච්ච දේවල්.

    දවසක් කැන්ටිමේ කෑම පෝලිමේ ඉන්නකොට අපේ විශ්ව විද්‍යාලෙ සභාපතිවරයා ඇවිත් මගේ පිටිපස්සෙන් හිටගත්තා. ඒ වෙලාවෙ මම මාර අපහසුතාවයකට පත් උනා. ඉන්නෙ ජපානෙ උනාට අර පොඩි කාලෙ ඉදලා හිතට වැටුන යම් යම් සිරිත් විරිත් ඔය වගේ වෙලාවට අපේ හිතට හරියට වද දෙනවනෙ. මම කෑම එක අරන් ගිහින් මේසෙන් වාඩි උනෙත් ඒ වගේ අසහනකාරී හැඟීමකින්. ඒත් ඔහුට ඔහු හැදුන පරිසරය අනුව ඒක කිසිම ප්‍රශ්ණයක් නැති නිසා ඔහු කෑම එකත් අරන් ඇවිත් මගේ මේසෙන්ම වාඩි වෙලා පොඩි කයියකුත් දාගෙන කාලා ගියා.

    හැබැයි ජපානෙයි තායිලන්තෙයි බටහිර රටවල වගේ කවුරුත් කාටවත් නම කියලා කතා කරන්නෑ. හැම පුද්ගලයෙක්ම අනෙක් පුද්ගලයට එක හා සමාන විදිහට ගරු කරනවා. ඒත් ඒකට තනතුරේ තරාතිරමෙ අදාලත්වයක් නෑ. අගමැති "අබේ සන්" පාර අතුගාන මනුස්සයා x සන්" වෙනසක් නෑ. අර සිල්වියාගෙ තාත්තා වගේ ඒ මිනිස්සු වැඩක් කරනකොට අදාල පුද්ගලයා ගාවට ගිහින් වැඩේ කරගන්නවා.ඒක මදි පුන්චිකමක් කියලා හිතන්නෑ අපි වගේ.
    රටක් විදිහට දියුණු වෙන්න භෞතික දේවලට වඩා අපිට ඕනි වෙන්නෙ ලොකු ආකල්පමය වෙනසක්.

    ReplyDelete
    Replies
    1. අඩෝ මේ ඔහොම කිව්වාට faculty එකේදී Dr සකුන්තලා නොකියා සකුන්තලා කිව්වොත් එරවියද දන්නේ නැහැ

      Delete
    2. ඔබේ අදහසත් එකතු කලාට ස්තුතියි සඳ වියමන . ඔව් මේ කතාව ආකල්පවලට වලට අදාලයි. ජපානය කොරියාව වගේ රටවල පොදුවේ හමොටෝම හා අපේ රටෙත් ගුරුවරුන්ට හා වැඩිහිටියන්ට කෙලින්ම නම කියලා කතා කරන්නේ නෑ . ඒක ඒ ඒ රටවල සංස්කෘතියට අදාළ දෙයක්.
      ඒ වුනත් සර් මානසිකත්වය රාජකාරී මට්ටම්වලදීත් සමහර දේශපාලන හා පරිපාලන අංශවලදී අපට බාධාවක් වෙලා තියෙනවා කියන එකයි මගේ නිරීක්ෂණය . ඔබ කීවා වගේම ජපානේ වගේම ගොඩක් රටවල මිනිසුන්ගේ දියුණුවේ රහස ඔය නිහතමානී කමයි සරල කමයි .

      Delete
    3. අනිවර්යෙන්ම සඳමාලි කියන "ආකල්පමය වෙනස"කියන දේ තමයි වැදගත්ම දේ.හැබැයි ගොඩක් වෙලාවට අපි අපේ ආකල්ප සමාජයත් එක්ක ගැට ගහගන්න හදන්නේ හරිම ගතානුගතික විදියට.ඉතින් කොහොමද වෙනසක් කරන්නේ ?

      Delete
  5. මටනම් දැන් ඒක හොඳටම පුරැදුයි. බොරැ සෝබන නැති සුදුස්සට සුදුසු තැන දෙන මේ මිනිස්සුන්ගෙන් අපට කොච්චර ඉගෙන ගන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් ඔවුන්ගෙන් ගන්න පුළුවන් හොඳ දේ එමටයි . අපරාදේ හිතන් හිටි විදිහට පහුගිය නිවාඩුවේදී අපට මුණ ගැහෙන්න බැරි වුනානේ මේ වගේ ගොඩක් දේවල් කතා කරන්න

      Delete
  6. hamadama wage nice story sir..!

    me parath man awa uncle, lassanai kiyala yanna..

    issara siddi ahanna man kawadath asai..
    ithin godaak thank u sir e katha kiyanawata..
    hamadamath wage adath mawa athutu una. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුව. මේ මාසේ මම ලියු සටහන් කලින් ඒවා තරම් හොඳ නතිව ඇති. මොකද මේ මාසේ අවිවේකීයි

      Delete
    2. ane ehem na uncle.... uncle kohoma liuwath matanam hondama hondai..
      lassanai..

      Delete
  7. ධුරාවලි නැති සමාජයක ඇති සැහැල්ලුව ඒ අත්දැකීම ලබාගෙන පුරුදු වනතුරු තේරෙන්නේ නැත. ධුරාවලිය මැනෙන බාහිර සංකේත වලට ලැබෙන ප්‍රමුඛතාව වැඩි වන විට වැය වන්නේ වෙනත් ඵලදායී කටයුත්තකට යෙදිය යුතු සම්පත් හා කාලයයි. මෙහිම අනෙත් කොටස් වන්නේ ඇඳුමෙන් සහ පැමිණි වාහනයෙන් පුද්ගලයෙකුගේ තරාතිරම මැනීමයි. ඔබේම පැරණි ලිපිවලත් මෙවැනි තැන් තිබුණා වගේ මතකය. සමහර ක්ෂේත්‍ර වල රැකියා අරඹන තරුණයින් බස් එකේ යන්නේ හෙල්මටයක් ෂොපින් බෑගයක දමා ගෙනය. පාරිභෝගිකයෙකු හමුවීමට පෙර ෂොපින් බෑගය සාක්කුවට යයි. ගඩොල් බාග යුගයේදී සෙල්ටෙල් එකක් සාක්කුවේ දැමීමට බැරි වුණත් ඉතා ඉක්මණින්ම ජංගම දුරකථන සාක්කුවේ දැමිය හැකි තරමට කුඩා විය. එහෙත්, මේවා සාක්කු වලට ගියේ ධුරාවලි සංකේතයක් ලෙස තිබුණු වැදගත්කම නැති වූ පසුවය. මේ ෆෝන් වල සමහර වෙලාවට සම්බන්ධතා නැත. මෙහෙම අයට වූ අවුල් ගැන කතා ඇතත් ලියන්නට නොසිතෙන්නේ එයින් හාස්‍යයට ලක්වන්නේ වැරදි තැනක් නිසාය.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ සංකල්පය මමත්වය අඩු කිරීම කියන කාරණයටත් අදාලයි. පෙරදිග ආගම්වලින් කරන්නේත් සරල බව හා උඩඟු නොවී සිටීම වගේ ගුණාංග අගයන එකනේ . ඒත් මේ රටවල නේද මමත්වය වැඩි මිනිසුන් බහුලවම ඉන්නේ . ඔබ කිව්වා වගේ අපේ සැහැල්ලුව නැති කරගැනීමේ මගක් තමයි මේ ධුරාවලී ඔලුවට ගැනීම

      Delete
  8. දැන් අළුත් ආංඩුවක් ආපු එකේ අළුතෙන් සර්ලා කියන්න අපිට ලිස්ට් එක වැඩි වෙනවා නේ?

    හොඳම දේ කියන්නේ ඇමති කෙසේවෙතත් උන්ගේ පියන්ගෙත් පියන්ට හිටං 'සර්' කියාගත්ත පරපුරක් බිහිවෙන එකයි ඒ 'සර්'ලාට 'සර්' කියන්න අපිටත් සිදුවෙන එකයි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ මේ අලුතින් සර්ලා බිහිවෙන හා පරණ සර්ලා ආයෙත් කරලියට එන කාලෙනේ

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සමා වෙන්න ඕනේ මෙහෙම උත්තර දෙනවට.
      මම අමුතු මහන්සියකින් තොරව කෙනෙක් එක්ක හිතවත් වෙන කතා කරන කෙනෙක්. ඒත් මාත් ඔය හැමවෙලේම එහෙම මගේ පෞද්ගලික දේවල් කියන්න කැමති නෑ.
      කොටින්ම ඔය වගේ මිනිස්සු අහන්නේ අතිශය පෞද්ගලික දේවල් නේ. එහෙම වුනාම ඒක ටිකක් චරු චුරු මට නම්.
      ග්‍රාමිය මිනිස්සු ඉන්නවා හරිම වැදගත් විදියට හැසිරෙන හා අනෙකාගේ පෞද්ගලිකත්වයට ගරු කරන. අන්න ඒ අයයි මේ අයයි වෙනස්.
      ඒක උගත් නූගත් කමට වඩා හැදියාව නෙමෙයිද?

      Delete
  10. අම්මපා අපි තාම සර් කරේ තියාගෙන දුවන ජාතියක් තමා.........

    ReplyDelete
    Replies
    1. සර්ලා හා තව ගොඩක් වැඩකට නැති දේවල් අපේ කරේ නේද කුරුටු

      Delete
  11. මේ ගැන කලිං කකාත් කතා කරල තිබ්බ වගේ මතකයි.

    මේක වැඩවසම් නොහොත් යටත් විජිත මානසිකත්වය. මේ වැඩවසම් ‍රැහැන් තුන් වන ලෝකයේ රටවල් වල පොදු ලක්ෂනයක්. පලමු ලෝකයේ රටවල් වල වගේ විප්ලවීය ආකාරයෙන් ආර්ථික සමාජ දේශපාලන වෙනස් කම් නොවීමේ ප්‍රතිපල. ඒ නිසා චින්තනයෙත් වැඩ වසම් ‍රැහන් වලින් මිදෙන විප්ලවීය වෙනස් කම් වෙලා නෑ. ඒ නිසා අපි කොච්චර දැනුවත්ව (ඔබ මෙන්) උත්සහකලත් ආත්මීයව තියෙන පසුගාමී චින්තනය යම් නිශ්චිත අවස්තා වල එලියට පනිනව. මුලු තුන් වන ලෝකයේම තියෙන්නෙ මෙන්න මේ වැඩවසම් ‍රැහැන් වලින් අත්‍යන්තයෙන් බැඳුනු පසු ගාමී දනේශ්වර චින්තනයක්. ඒ නිසා අති තුල ඇතිවුන අනෙකුත් අටෝ රාසියක් කුහක කං වලිං මේක එකක් විතරයි.

    ReplyDelete
    Replies
    1. //ආත්මීයව තියෙන පසුගාමී චින්තනය යම් නිශ්චිත අවස්තා වල එලියට පනිනව//මෙන්න මේක අපි කාටත් වෙනවා . පාරම්පරික උරුමය . බොහොම ස්තුතියි x -poter මේ කතාබහට එකතු වුනාට. දිගටම එන්න

      Delete
  12. ටික කාලයකට ඉහත මමත් විදේශ රටක අපේ නගර සභාවක් වගේ එකක සේවය කලා. ඒ කාලයේ දුම් බොන අයට කෝපි බීම සඳහා එක කොටසකුත් අන් අයට වෙනම කොටසකුත් තිබුණා. මමත් ඉතින් දුම් බොන්නකු වශයෙන් එම අංශයෙ 'සාමාජිකයෙක් උනා'. එම නගර සභාවේ පිට වැඩ කරන අය එනම් මලපහ මාර්ග සුද්ද කරන්නන් ඇතුළු සියළුම දෙනා දුම් බොන්නන්. ඔවුන් අඳින්නේ ඔවුන්ගේ රැකියාවට අදාල ඇඳුම්. සීත කාලයේදී බොහෝ විට අපි ඇන්ඳේ බ්ලේසර් එකක් සහ ටයි පටියක්. රැකියාවේ තත්ත්ව තරාතිරම් නැති එම රටේ අපි ඔක්කොම එකම මේසේ වාඩිවී තේ බොන්නේ මචං වලට සමාන වචනයක් එකිනෙකා ඇමතීමට භාවිතා කරමින්.

    තවත් මතකයක් තමයි මගේ අංශයේ අය දවස තුල කල වැඩ ටයිම් ශීට් එකක් සදා ඉදිරිපත්කලවිට මට එය අනුමත කිරීමට තිබුණා. එක් දිනක් මම මගේ අංශයේ පහලම වැඩ කොටසක් කරන තරුණියකට වසරක් අවසානයේ කළයුතු යමක් කිරීම ආරම්භ කරන ලෙස උපදෙස් දුන්නා. පැය තුනකට පසු මට මතක් උනා ඇය එම දේ කිරීමට පෙර මම යමක් සම්පූර්ණ කළ යුතුයි කියා. එම නිසා මම ඇයට එම කාර්‍යය නවත්වන ලෙස දැනුම් දුන්නා. ඊලඟ සතියේ ඇයගේ ටයිම් ශීට් එකේ අදාල පැය තුනක කාලය සඳහා ඇය ලියා තිබුණේ " "මගේ නම' ට පැහැදිලි තීරණයක් ගැනීමට නොහැකිවීම නිසා මෙම කාලය අපතේ ගියා' කියායි. (Wasted 3 hours as X could not make up his mind) එය දුටු මට පොඩි පහේ තරහක් ආවත් එය ඇත්ත නිසා මම එය අනුමත කලා.

    ReplyDelete
    Replies
    1. අපූරු අත්දැකීම් ටිකක් . ස්තුතියි Ian . අනික අපේ රටවලදී උසස් නිලධාරියෙකු ඉස්සරහ තමන්ගේ අදහස කියන්න පසුබට වෙනවා මම විදෙස් රටවලදී දැක්කා බොහොම තරුණ නිලධාරීන් රැස්වීම්වලදී බය නැතිව පළපුරුදු නිලධාරීන්ගේ මතයට එරෙහිව යනවා. එසේ අලුත් අදහස් දක්වන අයව ඇගයීමකටත් ලක් වෙනවා.

      Delete
    2. අපූරු අද්දැකීම ඉයන්. ඔබට කාලයේ වටිනාකම ඉන් පැහැදිලි වෙන්න ඇති.

      Delete
  13. සම්පූර්ණ ඇත්ත කතාව සර්.

    මටත් පේන්න බැරි දෙයක් තමයි මෙලෝ වැඩක් බැරි හාල් කෑලි වලට අතුගාන එකා උනත් සර් කියල කතාකරන එක.

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ . මේ කොමෙන්ටුවේ irony එක ගත්තම ප්‍රසන්න මාව හඳුන්වන්නේ වැඩකට නැති හාල් කෑල්ලක් කියලනේ . ඇයි මුලින් සර් කියල මට අමතලා ඊට පස්සේ කියන එක බලන්ටකෝD . තැන්කිව්

      Delete
  14. මගේ මුල්ම රැකියාව (ලංකාවේ) ජර්මන් කොම්පැනියක නිසා ඔය අවුල මට ආවේ නෑ. පසුව විවිවල සේවය කරන විට යළි තත්වය වෙනස් වුණා

    දැන් ඒ සේරම වෙනස්!

    අද වත්පොතේ දී නම් කවුදෝ ළමයෙකු මට සර් කියා තිබෙනු දැක්කා!

    ReplyDelete
    Replies
    1. //දැන් ඒ සේරම වෙනස්// . මටත් එහෙමයි. ඒත් මට තියෙන ප්‍රශ්නේනම් තව මාස කීපයකින් ලංකාවට ගිහින් රස්සාව කරනකොට නොවෙනස්ව ඉන්නේ කොහොමද කියල

      Delete
  15. අයියෝ සෑර්.... හි හි


    ඕවා ඉවර වෙන් නෑ තිලක මේ ලංකාවෙ තව කල්ප ගානකට.... මම වැඩකරපු ප්‍රයිවට් කම්පැණියෙ සර් කෑල්ල හලවන්න මාර ට්‍රයි එකක් දුන්න අපේ කැපා... කොල්ලො කෙල්ලො ටික නං ඉතිං මිස්ටර්, කැප්ටන්, කැපා... ඩීජේ.... කියල යන්තං වැඩේ අල්ල ගත්ත.. ඒත් මේ අන්කල්ලා ටිකට ඊට පස්සෙ අපිවත් දිරවන්නෙ නැතුව ගියානෙ.... වැඩක් නෑ....

    ReplyDelete
    Replies
    1. ඒකනේ. අපිත් ඔය වගේ උත්සහයක් දාලා තියෙනවා ලංකාවේදී. වැඩේ හරි ගියේ නෑ

      Delete
  16. මං අපේ වයිෆුත් එක්ක මළාට ෆුඩ් සිටියට යන් නෑ.. ඒකෙ ඉන්න නංගිලා සර් කියද්දි අපේ වයිෆ්ට හිනා යනවා :D ඉතිං උන්ටත් හිනා යනවා.. හැක්

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවට බයවෙන පාරට පත්ත්රයා වයිෆ්ට මැඩම් කියනවා , අරුන් ඩබල් එකේ හිනාවෙනවා හැක හැක හක

      Delete
    2. හෙහ් හේ . පත්තර මල්ලි අර ඩුඩ් කියල තියෙන ඉන්දියන් කාරයෝ වගේ වයිෆ්ටත් කියන්න හස්බන්ඩ්ට සර් කියල කතා කරන්න කියල

      Delete
  17. ඔන්න අපි කාලෙක වෝටර් බෝර්ඩ් එකේ ට්‍රේනින්ග් ගියා. ඔතන වැඩ කල නෝනලා, මහත්තුරු සෑහෙන පිරිසක් අපේ අධ්‍යාපන ආයතනයෙන්ම පිටවෙච්චි උදවිය. අපිත් වෙනදා පුරුද්දට උන්නැහේලට අයියේ, අක්කේ කියලා කතා කළා. සාමාන්‍යයෙන් එහෙම තමයිනෙ කතා කරන්නේ ඕන තැනක ට්‍රේනීස්ලා තමන්ගේ සීනියර්ස්ලාට. එක නෝනා කෙනෙක් අපිව පැත්තකට අඬගහලා තමන්ගේ තත්වය නැති කරන්න එපා කියලා දේශනාවක් දීලා එයාට මිස් කියලා කතා කරන්න කිව්වා.
    ප.ලි. ඒ නෝනාගේ නම අව්‍යාජා කියහල්ලකෝ ඉතිං.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා . ඔෆිස් එකකදී අයිය අක්ක කියන එකත් ගැලපෙන් නෑ වගේ නේද ?
      මේ නම් ගම් ව්‍යාජ ඒවා කියල හිතනවා

      Delete
  18. බොස්ලට නම කියල කතා කරන්ට මගෙ දිව නැමෙන්නෙම නෑ. ඒ අර අපි පුරුදුවෙලා තියන විදිහ.

    ඒත් ඔය සර් කතාව පස්සෙ මහ වදයක් වෙන්ට ආව. ඒක වුනේ අපේ අනික් එහෙම නොකියන එවුන් අතර මම එහෙම කියන්නෙ ලොක්කගෙන් ළකුණු දාගන්ටෙයි කියල මතයක් පැතිරෙන්ට ගත්ත. ඕක දැනගත්තට පස්සෙ මම හෙමිහිට ලොක්කන්ට නයිට් පදවි ප්‍රදානය කිරීම අතෑරල දැම්ම. විශේෂයෙන් ප්‍රසිද්ධියෙ. ඒ කිව්වෙ ඔය රැස්වීම්වලදි වගෙ....:)

    ReplyDelete
    Replies
    1. අපි ඉසිස්සෙල්ලම රස්සාවට යන තැන්වලින් තමයි ඔය පුරුද්ද එන්නේ රවී . මේ ඉන්දියන් කාරයෝ නම් එපා එපා ක්යද්දීත් සේරොම් එක්ක සර් සර් ගානවා

      Delete
  19. මටත් ඔය ප්‍රශ්ණෙ තදින්ම තියෙනවා මචං. මට කෙනෙකුට සර් කියන්න දිව නැමෙන්නේ නෑ. ඇත්තෙන්ම මම කාටහරි සර් කියනවා මට මතකත් නෑ මෑතකදි. ඒ වගේම අනිත් උං මට සර් කියනකොටත් මට තරමක අපහසුවක් ඈත බවක් දැනෙනවා.

    එතකොට දකුණු ආසියාතිකයෝ සර් කියන එක දූෂණය කරනවා. ගුරුවරයට කියන්නෙත් සර් කෙනෙක් කියලනේ බං. අර සර්, මේ සර්.

    එතකොට ඉන්දියානුවන්ට සර් නැතුවම බෑ. උං යාලුවන්ට කතාකරන්නෙත් සර් කියලා. ගෑණි මිනිහට සර් කියනවා මම අහගෙන ඉන්නවා වෙලාවකට. උංගෙ සර් එකේ කිසි වැදගත්කමක් නෑ. ඒක නිකං මේ අඩෝ කියනව වගේ එකක්ද කියලත් මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉංග්‍රීසි සර් . මගේ ඉන්දියන් හා පිලිපීන මිත්‍රයෝ ඉන්නවා සර් කියන්න එපා යකෝ කියල නම කියල කතා කරන්න පුරුදු කර ගන්නවා . ඒත් නිවාඩුවක් ගිහින් ආපු ගමන් ආයේ සර් කියන්න පටන් ගන්නවා

      Delete
  20. මේ වගේ කටහ්වක් මට වුනා . ලංකාවේ පවර් ස්ටේෂන් එකක ට්‍රේනින් එකකදී. http://kolambagamaya.blogspot.co.uk/2014/05/1_19.html
    එංගලන්තයේත් සාමාන්‍යයෙන් සර් කියන්නේ නැහැ කාටවත්. මම මුලදී ලංකාවේ පුරුද්දට බොස්ට මිස්ටර් සෝ ඇන්ඩ් සෝ කිව්වහම පොර ඒක විහිළුවට අරගෙන මට මිස්ටර් කියන්න ගත්ත. මම එහෙම්ම ඒක නැවැත්වුවා.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් බැලුව අජිත්. සමහරු කියනවා සර් කියන ගෝල බාලයින්ට නම කියන්න කිව්වම ඒ මිනිස්සු කරේ නගින්න එයි කියල . නැත්නම් ආයතනයේ සම්ප්‍රදාය හා පාලන තන්ත්‍රය කඩා වැටේවිය කියල. මේ දෙගොල්ලගෙම ආකල්ප වෙනස් කරන්න සෑහෙන කාලයක් යාවි .

      Delete
  21. මේක මරු සීන් එක තමා! හැබැයි දැන් ලංකාවෙත් සමහර පුද්ගලික ආයතන වල ඔය සර් කෑල්ල හලලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මම දන්නා ලංකාවේ පුද්ගලික ආයතන කීපයකුත් තියෙනවා නාඩි හැමෝටම නම කියලා කතා කරන ඒත් ඉතා හොඳින් පාලනය වෙන සහ තත්වයෙන් උසස් දේ හදන . මමත් පොඩි උත්සහයක් දරනවා ළඟදීම එහෙම එකක් කරන්න

      Delete
  22. මම නම් ඒ ගැන වැඩිය හිතන්න යන්නේ නෑ. සර් කියන වචනේ පාවිච්චි කරනවා . ඒ නිසා මම ඒ වෙලාවට මගේ මානසිකත්වය හෝ සර් යනුවෙන් පිදුම් ලබන්නාගේ මානසිකත්වය ගැන හිතන්න යන්නේ නෑ. කොටින්ම මේක කියවනකම්, සර් කීමේ මෙතරම් මානසිකමය පසුබිමක් තියෙනවා කියලා නිකම්වත් හිතුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඉවාන් ඔය සර් කියන එක ඔලුවට ගන්නේ නැති මිනිස්සුන්ට ඒක කිව්වත් ඇහුනත් ඒ හැටි දෙයක් නෑ . ඒක සමහරුන්ට ආමන්ත්‍රණ විදිහක් විතරයි . (හැබැයි මමනම් ඒ කාලේ ඉඳන් දේශපාලකයින්ට සර් කියන් නෑ කියල හිතන් හිටිය ) හැබැයි එසේ නොවන අවස්ථා වැඩි කියලයි මම දැකලා තියෙන්නේ. මට සර් කියන මගේ යාළුවො ගොඩක් ඉන්නවා. මගේ පොඩි දායකත්වයක් තියෙන ලංකාවේ ආයතනයක( උඹ දන්නවා ඒක ) ඩිරෙක්ටර්ගේ ඉඳන් හැමෝම මට කියන්නේ සර් කියල . අපි වතාවක් ඕක වෙනස් කරන්න උත්සහ කළා . එදා හවස බියර් එකක් බොන ගමන් අපේ මැනේජර් කෙනෙක් කිව්වේ ' අනේ නිකන් ඉඳපන් සර් අපිට මේ කතා කරන විදිහ කොම්ෆොටබල්නම් එච්චරනේ කියල. ඉතිං ආයේ මොනා කරන්නද

      Delete
    2. අනේ නිකන් ඉඳපන් සර් !! maru

      Delete
  23. කරේ රත්තරං බැන්දට පස්සෙ කටුස්සා උඩඟු උනාට කටුස්සගෙ කරේ රත්තරං බැඳගත්තෙ කටුස්ස නෙවෙයි. ඒක කරේ වටේපිටේ හිටිය කට්ටිය. ඔය ‘සර්‘ පට්ටමත් ඒ වගේමයි කියල මට හිතෙනව.

    අනිත් අතට ‘සර්‘ කියන එකෙයි ‘මහත්තය‘ කියන එකෙයි තේරුමේ මහ වෙනසක් නැති උනාට මහත්තුරුන්ට වඩා අපි සර්ලට තියන බය පක්ෂපාතකම වැඩියිනෙ. සමහර විට පරම්පරා ගානකට පස්සෙත් අපි හිතාගෙන ඉන්නවට වඩා වැඩියෙන් යටත් විජිත මානසිකත්වය අපේ ලේ වල තියනවද කොහෙද.

    ReplyDelete
    Replies
    1. පරිකල්පන ඔබේ අදහස් සටහන් කලාට ස්තුතියි. විශේෂයෙන් ඔය ඉදිකිරීම් අංශෙ මහත්තයා කියන්නේ සුපර්වයිසර් හරි තමන්ට හිතවත් ඉංජිනේරුවන්ට . ඉන් එහා ටිකක් බලවත් කියන අය තමයි සර්ලා

      Delete
  24. මමත් ගිය මුල්ම රස්සාවේදී එකේ ලොක්කාට සර් කියල කතා කරා. දවසක් මට කතා කරලා කිව්වා සර් ල හිටියේ ඉස්කෝලේ මෙහෙ සර් ල නෑ. නම කියල කතා කරන්න කියල. එදා ඉඳන් ගොඩක් අයට නම කියල තමයි කතා කරන්නේ. කාට හරි සර් කියන්න අවස්තාවක් ඊට පස්සේ හම්බ වුනේම නැද්ද මන්ද

    ඉන්දියන් අය නම් ඔය තාක්ෂණික බ්ලොග් අඩවි වල එක එක ප්‍රශ්න අහද්දිත් කතා කරන්නේ සර් කියල හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඔය සර් නොකියන පරිසරයට හුරු වුනාම අය කාටවත් සර් කියන්න ඕනි වෙන් නෑ පැතුම්

      Delete
  25. අපිට නම් ඉතින් දවසක් සීනියර් උනත් සර් තමයි.. :p මරු 'සර්' සීන් කීපයක්ම තියෙනවා නේවි එකේ ෆේමස්.. හිටපු නාවික හමුදපතිකෙනෙක්; බොහෝම බලගතු පුද්ගලයෙක් නාවික හමුදාපති උනාම නීතියක් දාල තිබ්බ සියලුම 'බැචා' ල තමුන්ට මින් ඉදිරියට සර් කියල කතා කරන්නොනේ කියල.. ඒක එයාගේ එක 'අධිෂ්ටානයක්'.. මගේ බැචෙක් අපි ජොයින් වෙච්චි අලුතම සීනියර් බැච් එකේ එකෙක්ගෙන් අම්බානට ගුටි කෑවා 'මචං' කියල.. බැලින්නම් උන් දෙන්නම එක ඉස්කෝලේ එක පන්තිවල, එකට නේවි ඉන්ටර්විව් ඇවිත් අපේ එකා ඉල්ලපු බ්‍රාන්ච් එකේ වෙචාන්සියක් නැතුව එක බැච් එකක් පස්සේ ජොයින් වෙන්න වෙලා.. යාළුවා දැකපු ගමන් සන්තෝසෙට 'මචං' කියල.. කියුව තමයි.. හැක හැක..
    හමුදා පුද්ගලයෝ සිවිල් සමාජෙට ඇවිත් 'ප්ලග්' වෙන්න අමාරු එක තැනක් තමයි ඕක.. අවුරුදු විසි ගානක් තරු පටි ගහගෙන රැස්පොට් එකේ ජාතික කොඩිය තියපු මේසෙක තනි කාමරේක වාඩි වෙලා ඉඳල එළියේ ඔෆිස් එහෙක වැඩට ආපු පලවෙනි දවසේ අවුරුදු 18-20 'ඇච්ච කොල්ලෝ' ඇවිත් මෙසේ කොනකින් වාඩිවෙලා xxx කියල නම කියල කතා කරනකොට කොහොමද දැනෙන සනීපේ.. හිහ් හිහ්.. උඩින් රවී අයිය කියුව වගේ බොස්ට නම කියල කතා කරන්න දිව නැමෙන්නේ නැති අමාරුවක් මටත් තාම තියෙනවා.. හොල්සිම් එකේ වැඩට ගිය අලුත ඔය තත්වෙට හුරු වෙන්න පට්ටම අමාරු උනා.. දැන්නම් ඒ හැටි ගානක් නෑ.. දැන් ඒ වෙනුවෙන් තියෙන හොඳම ආදේශකය ලොකු පොඩි හැමෝටම 'මහත්තය' කියල කතා කරන එක..

    ReplyDelete
    Replies
    1. //"මෙසේ කොනකින් වාඩිවෙලා xxx කියල නම කියල කතා කරනකොට"// ඒ මොකෝ කොල්ලෝ උඹට "ට්‍රිබල් එක්ස්" කියල කතා කලේ ? :O

      Delete
    2. කමියා මම හිතන්නේ හැම හමුදාවකම එහෙමයි. එංගලන්තේ ඇමෙරිකාවේ වුනත් හමුදාවේ ඉහල නිලධාරියා සර්. නැත්නම් යුද්දෙකදී හැමෝම අණ දෙන්න එයි. රුසියාවේදී කමාන්ඩර් සහෝදරයා කියල මුළු නමම කියන්න ඕනේ. "විතාලී විතානවිච් කැප්ටන් සහෝදරයා" වගේ. අණ දීමකදී නැත්නම් විධානය අහන්නේ නැති ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන් නේද?

      Delete
    3. ට්‍රේන් එකෙත් යනව අපේ යාළු මේජර්ල දෙතුන් දෙනෙක්.උන් එකම රෑන්ක් එකේ වුනත් උන්ගෙ සමහරු උන්ගෙම උන්ට සර් කියනව. මල පැන්න වෙලාවට සුද්ද සිංහලෙන්ම මේක ට්‍රේන් එක කියල තේරුම් කරල දෙනව.

      මට ෆෝසස් පෙන්නන්න බැරි උන්ගෙ සාජ්ජ වැඩිකම නිසා.

      බලපල්ල පරිපාලන සේවෙ සර් මැඩම් මේනියාව ගැන කොමෙන්ට් එකක් කවුද එකෙක් පහලින් දාල. මං හිතන්නෙ ඌ රාජ්‍ය සේවෙ ගැන දන්න එකෙක්.
      ප්‍රයිවෙට් සෙක්ටර් එකේ ෆෝර්සස් වල නම් සර් ලට මැඩම්ලට සැලරිය හොදයිනෙ. තව කමක් නෑ කියමු. රජයේ අපි හිඟන සර් ල මැඩම්ලනෙ.

      Delete
    4. කතා බහ නැගලා යනවා වගේ යනවා වගේ . රුසියාවේ සොල්දාදුවෝ අර තරම් දිග නමක් කියල හදිස්සි පණිවිඩයක් එහෙම කියන්නේ කොහොමද දන් නෑ නේද ? ස්තුතියි ක.මි. ම.ම., ඉවාන් හා අජිත් අදහස් ටිකට

      Delete
  26. ප්‍රොෆෙසර් , ඩොක්ටර් කියල ගරු ඇතුව කියන්න පුලුවන්කම තියෙද්දිත් දැන් ලංකාවෙ කියන්නෙ සර් කියල.

    ReplyDelete
    Replies
    1. දැන් නෙවෙයි අපේ කාලෙත් එහෙමයි ප්‍රා

      Delete
  27. අපිටනම් ජොබට යන්න කලින් ඉන්ඩක්ෂන් එකේදිම කිවුවා මෙහෙ සර්ලා මැඩම්ලා නෑ කියල.

    හැබැයි බ්ලොග් ලෝකෙදි සහෝදර බ්ලොග්කරුවන්ට නම කියලා කතාකරන්න ගිහින් මම ඇතිතරම් බැනුම් අහගෙන තියෙනවා අනිත් බ්ලොග්කරුවන්ගෙන්. සමහරුනම් මුට්ටි ඇල්ලීමේ මානසිකත්වයෙන් කමෙන්ට්වලම දොස් කියනවා. තවත් සමහරු ඉන්බොක්ස් කරනව උපදෙස් මාලාවක්. තවත් මොන කතාද ඉතින්!

    ReplyDelete
    Replies
    1. සිරාවටම!!!
      මට මේක අදහගන්නත් බෑ.
      බට්ටි ළමයා බොරු නොකියන බව මම දන්නවා. ඒ වුනාට යකෝ එහෙම ඉන්බොක්ස් එකට උපදෙස් මාලාවක් එවන උනුත් ඉන්නවද. :O

      Delete
    2. ඔය බ්ලොග් වලට කොමෙන්ට් කරන ආචාර ධර්ම පද්ධතියක් ගැන ඇහුවමයි . වෙලාවක ඒ ගැනත් ලියමු නේද බස්සි

      Delete
    3. ඔව් මං ඒක ස්ථිර කරනවා ඉදගෙන

      Delete
    4. හැබැයි එකක් මට අදටත් විචාරක තුමාට "විචාරක තුමා" හැර වෙන නමක් නම් කියන්න බැහැමයි.

      Delete
    5. ඒක බට්ටි(??) කෙල්ලට යැව්වේ මං.. හැක්..

      Delete
  28. මේ ගැටලුව පොඩි තැනින් පටන් ගන්න හැකි දෙයක් නෙමේ. ජාතික මට්ටමෙන්ම ඉහළම තැනින් පටන් ගත යුතු දෙයක්. එහෙත් ලොකු තැන්වල ඉන්න සර්ල ඒකට කැමති වෙයිද කියලනනං හිතන්න බැ. නමුත් මේවගේ සමාජ ජාලා හරහා ලොකු හඩක් නගන්න ගත්තොත් ඒ සර්ල වුණත් ෆැෂන් එකට වගේ මේකට නැමූරු වෙන්නත් ඉඩ තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් නලින් මේ ගැන කතා කරන්න බොහෝ දෙනෙක් උනන්දුයි කියල පේනවා . පත්තරවලට වැඩ බ්ලොග් හා සමාජ ජාල හොඳයි

      Delete
  29. පරිපාලන විවෘත පාස් වුන අයගෙ ආකල්ප දන්නවනම් ඔහෙල හිනාවෙලා නහිනවා. මගෙ කියුබිකල් එකට එහා පැත්තෙ හිටියෙ පරිපාලන පාස් වුන කෙල්ලෙක්. මට ඇහෙනව ඒකි යාළුවො එක්ක කියන කතා.සාරි ගන්න ගියාම කඩේ එවුන් එක්ක වලිලු ,ලොකුම ප්‍රශ්නෙ මොකක්ද දන්නවද දුම් රියේ සෙකන්ඩ් ක්ලාස් එකේ කළමනාකරන සහකාරල , කාර්යාල සේවක සේවෙ අය යන එකලු.කෝච්චියෙ දෙවෙනි පන්තියෙ සල්ලි දීල ඒ මිනිස්සු යන එකටත් මේ අය කැමති නෑ. ක්ලාක්ල පියන්ල ගැන කතා කරන්නෙ " අනේ එහෙම අයත් එනවද ,එහෙම අයත් එහෙම ඒවට දානවද " වගෙ නිකම් කැත විදියට .

    මේ නිකම් සාමාන්‍ය උපාධි තියන අය.කිසියම් විශය ප්‍රවීනත්වයක් තියන අයත් නෙමේ. ඉංජිනේරු සේවය වගෙ රාජ්‍ය අංශයෙ සමාන්තර සේවා වල මේ තත්වය දකින්න නැති තරම්. ඊට හේතුව ඒ අය පෞද්ගලික අංශයෙ රැකියා කර අත්දැකීම් ඇති නිසා.
    මේ අයගෙ පඩිත් පිටරට යන ගෘහසේවිකාවන්ගෙ පඩියටත් අඩුයි (මැලේසියා ,සිංගප්පූරු ) .වැඩවසම් රදලයො වගෙ හිතන්නෙ.

    මේක ලිව්වෙ දියුණු රටවල තත්වය ගැන තිලක ගෙ විග්‍රහය ලංකාවෙ මේ වගෙ අයගෙ මානසිකත්වය එක්ක සසදන්න.

    තිලක කියන ආයතනවල ටොම් ල ඇත්තටම ලොක්කො.සර් මැඩම් කියන වචනවලට උරුමකාරයො.
    අර පරිපාලන කෙල්ලො මැඩම් කියන වචනෙ ඇහෙනකොට මූණ මලක් පිපුන වගෙ ක්ලාක් කෙනෙක් මැඩම් කෑල්ල නැතිව කතා කළොත් මූණ කජු ලෙල්ල වගෙ.
    නමුත් විශ්ව විද්‍යාලවල ත් මේ තත්වය අඩුයි නේද .මිස් කියල කියපුවම ප්‍රමාණවත්.ඒ අය කථිකාචාර්යවරු වුනත් . සමහරුන්ට ආචාර්ය උපාධි තිබුනත් මිස් ප්‍රමානවත්. පරිපාලන කජුකිරි කෙල්ලන්ට මැඩම් කියල දනගහල වදින එක ඕනමයි.

    ReplyDelete
    Replies
    1. අදහස් එකතු කිරීම ගැන ස්තුතියි ඇනෝ. හැබැයි සමහර යෙදුම් කවුරුවත් ඉලක්ක නොකර මීට වඩා ජෙනරලයිස් උනානම් හොඳයි කියා හිතනවා

      Delete
    2. මම හිතන්නේ ඇනෝ හරි කියලා. මෙවැනි ප්‍රතිගාමී අදහස් නැති කරන්න නම් ඒවාට ඒ අයට එක එල්ලේ පහරදීම තමයි වෙන්න ඕනේ. තමුන්ට කෙනෙක් සර් කියනවා නම්, එය එපා කියන්න ශක්තියක් නැති කම නිවට කමක් බව සමාජ ගත කරන්න ඕනේ. තමුන්ට සර් කියන කොට එක ආඩම්බරයක් කරගන්නේ හරිහමන් පසුබිමක් නැති උගත් කමක් නැති වෘත්තීය හැකියාවක් නැති නිකමෙක් පමණක් බව කුඩා කාලයේ සිට දරුවන්ට උගන්නන ඕනේ. ඇනෝ නොකියපු තව කොටසක් තමයි සෞක්‍ය වෘත්තිකයෝ. අට්ටේන්ඩන්ට්ලාට සර් මිස් කීවම ඕනේ දෙයක් කර ගන්න පුළුවන්. වෛද්‍ය වෘත්තිකයන් උගත් වුවත් කුහක මාන්නයකින් ජීවත් වෙන අය. මම හිතන්නේ ඇනෝ කීව වගේ පුද්ගලික අංශයේ හෝ ජ්‍යාත්‍යන්තර සේවය කිරීමේ අත්දැකීම් නැති නිසා වෙන්න ඇති. මිලිටරි සේවාවන් හැරෙන්නට ඉහල නිලයට සර් කීමේ අවශතාවයක් නැති බවයි මම නම් හිතන්නේ.

      Delete
  30. තව පැත්තකින් කල්පනා කරල බලද්දි ඊට කලින් කාල වල තිබ්බ ‘ආයිබොවන්ඩ‘, ‘හාංදුරුවනේ‘, ‘පස්වාන් දහසකට බුදු වෙන්න‘, ‘බලු ගැත්තරයාට අනුකම්පා කරන්න‘ වගේ ආමන්ත්‍රණ විධි වලට වැඩිය ‘සර්‘ කියන එක කමක් නෑ කියලත් හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. නොහිතපු තව පැත්තක් . සමහරවිට එහෙම කියපු කාලේ ඉඳන් එන මානසිකත්වය තාම තියෙනවා කියලත් හිතෙනවා

      Delete
  31. උඹ කිව්වත් වගේ ඕක ආසියාතික උෟරුව.. කොච්චර ට්‍රයි කලත් අර රවියා කිව්ව වගේ ඒවා හිත පතුලෙමයි තියෙන්නේ.. වැඩේ තියෙන්නේ අර වගේ නමින් විතරක් කතා කරොත් ඇති වන මානසික අවපාතය තමා.. හැක්.. දැන් නං ඕන මගුලක් පුරුදුයි බං..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ආසියාතික ඌරු මෙව්වා එක තමයි . උඹ කිව්වා වගේ දැන්නම් කෝකටත් පුරුදුයි

      Delete
  32. හොඳ ලිපියක් මේ රටේ සර් කියන වචනේ මට ඇහිලා නෑ. සුපර්මාර්කට් එකේදිවත්. කොහෙදිවත්.. එයාලා කෙලින්ම නම කියලා කතා කරන්නේ. අනික ලංකාවේ දුරකථන සමාගම් වලට කතා කරාම එපා වෙන්නම මැඩම් සර් කියනවා කිසිම තේරුමක් නැතුව.. ඒ අපේ මිනිස්සු එයාලට ම රඳවා ගන්න වෙන්න ඇති,, මෙහෙ රටේ නායකයට කියන්නෙත් කෙලින්ම එයාගේ නම.. බීබී නෙතන්‍යාහු.. පොලිසියේ අයට කවදාවත් සr කියන්නේ නෑ,, පොලිස් කාරයන්ව ගණන් ගන්නේ නෑ විශේෂයෙන්,,, එයාලත් සමාජයේ යම් රැකියාවක් කරන පිරිසක් විතරයි..අපේ ආසියාතික රටවල තත්වය ඔයා හොඳට පැහැදිලිව ලියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔමා. රටෙන් එලියට බැස්ස නිසා තමයි මේ ගැන හරියටම තේරුමක් ආවේ.

      Delete
  33. එකනේ සර්,වැඩේ කියන්නේ මට ඔය "සර්" කියලා කියන එකේවත්,අහන එකේවත් ඒ හැටි දෙයක් නැහැ.හැබැයි ඉතින් ඔය කියලා "සර්,මැඩම්" කියවා ගන්න අය ගැන නම් තියෙන්නේ අප්‍රසාදයක්.

    ReplyDelete
    Replies
    1. හ්ම් .බලෙන් කියවා ගන්න අය වගේම නොකීවොත් තරහ වෙන අයත් ඉන්නවනේ

      Delete
  34. තිලකේ මේක ඉස්කෝලේ මහත්තක් කිව්ව කතාවක්. ඔහු ගියා ලු නගර සභාවට පොඩි වැඩක් කර ගන්න . එතන වෙන කවුරු හිටියත් ලොක්කා ලිපිකරු ලු . ගුරුතුමා මොහු පරණ ගෝලයෙක් ලෙස අඳුනා ගත්තත් . ලිපිකරු අල්ලසට පාඩු වෙන නිසා අඳුනන්නේ නෑ වගේ හිටියා ලු . දැන් වැඩේ ටිකක් දුර ගිහින් , මූට සර් නොකියා වැඩේ කර ගන්න බැරි වෙන තැනට ආවා ලු . " මට සර් කිව්ව එකාට ආපහු සර් කියන්න බෑ නේ , ඒ නිසා මම මහත්මයා කිව්වා " ඔහු කීවේය

    ReplyDelete
  35. adu gane sir kiyala berune sudda ape ratata awa nisa nathanm ithin balu gattata samawenna handunnee ga gena bima nida ganna wenne

    ReplyDelete
  36. palaweni wathawata mee blog eka kiyewwe.

    math audrudu 5k withara Lankawe IT comapnies wala wada kala. Mehe hoda thiyenne Sir madam thiya Mr, miss kiyala wath kiyanne na. First name policy. Eeka saahenna hodai. wayasin wadi kenekwa unath manage karanna leesi ethakota. Samaharu campus puruddhata akka, ayya kiyanawa. Aluthin aapu kenek Sir keewoth kaata hari eeka lokuma joke ekak wenawa mehe :)

    ReplyDelete
  37. දියුණු සමාජයේ ඔය සර් කෑල්ල භාවිතා කරන්නේ නැහැ. මුල් නමිනුයි කතා කරන්නෙ. මිස්ටර් කෑල්ලට වුණත් විශේෂයෙන් යුරෝපියානුවො කැමති නැහැ.
    ලංකාව වගේ රටවල නොදියුණු මනස් ඇත්තවුන්ට සර් කෑල්ල නොකීවොත් ඉඳල හමාරයි.

    ReplyDelete
  38. මානයෙන් තොරව මේ සියල්ල කියන්න ඔබට තියෙන හයිය ,මේ ලෝකේ තවත් ටිකක් හරි ලස්සන වෙයි.ජයවේවා !!!
    vajira yapa

    ReplyDelete
  39. සර් හෝ මැඩම් හෝ කියව ගන්න එක නම් මාර සවුත්තු වැඩක්. මම කියන්නේ අපි කාටත් එක වගේ ගරු කරන්න ඕනි.
    ඕස්ට්‍රේලියාවේ මිනිස්සු කාටත් කතා කරන්නේ නම කියලා. තමන්ට වැඩිමහල් හෝ වේවා බාල හෝ වේවා මොන තරාතිරමේ කෙන්ක් හෝ වේවා කාටත් නම කියලා තමයි කතා කරන්නේ. සමහර විට අම්මට හෝ තාත්තටත් නම කියලා කතා කරනවා ඇහිලා තියෙනවා.

    අපේ පංතිවල ඉන්න ශිෂ්‍යයෝ මට සාමන්‍යෙන් කතා කරන්නේ මෙත්මා කියලා. නමුත් චීනෙන් එන ළමයි වෙලාවකට මිස් කියලා කතා කරනවා, ඉන්දියාවෙන් එන අය වෙලාවකට මැඩම් කියලා කතා කරනවා. සමහර විට වෙන රටවල ඉදලා එන අය ඩොක්ට මෙත්මා කියත් කතා කරනවා. ඒක මට එච්චර හුරු නෑ. එහෙම ඕන් නෑ මට නම කියලා කතා කරන්න කියලා මම වෙලාවකට ඒ අයට කියනවා.
    ඇමරිකාවේ නම් ක්‍රමය මීට හාත්පස වෙනස්. එයාලා හැමෝටම සර්/මෑම් කියලා තමයි කතා කරන්නේ. ඒකත් හරි ලේසියි. කොහොම වුනත් සමහරු තමන්ගේ යාළුවන්ටත් සර් කියනකොට නම් ටිකක් අවුල් වගේ.

    ReplyDelete