Tuesday, July 15, 2014

අසිරිමත් මොළය හා තුන්වරක් තිස්ස


බට  ලෝකය වටා හතරපාරක් ගිහින් එන්නට කියා කවුරුහරි කීවොත් අනේ අම්මේ කොච්චර දුරක්ද කියා හිතේවි. ඒත් දන්නවද වැඩක් ? අපේ මොලයේ ඇති සියුම් ස්නායු තන්තු සියල්ලේ මුළු දුර  අර කිව්වා විදිහේ ලෝකය වටා හතර පාරක් ගිහින් එන දුරට ආසන්නයි. ඒ විතරක්ද කුඩා නියුරෝන බිලියන් අසුවක් පමණද ඒවා අතර මුට්ටු ට්‍රිලියන දහයක් පමණද තිබෙන බව අනුමාන කෙරෙයි. අපිට නිතිපතා ලියන්ට කියවන්ට , එහෙ මෙහෙ යාමට, කල්පනා කිරීමට , සැලසුම් කිරීමට  අවැසි සෑම දෙයක්ම පාලනය කරන්නේ මෙවායින්ලු.

මේ සා සංකීර්ණ මිනිස් මොළය ගැන කතා කරන්නට යාමේදී  මට තිස්සලා තුන් දෙනෙක් සිහියට නැගේ.

පළමු තිස්ස
මම මුලින්ම තිස්සලා ගෙදර ගියේ ගැමුණුත්  සමග උසස් පෙළ ලියා ගෙදර හිටි සමයේදීය . තේ වතු යායක්  අතරින් හොරෙන් රිංගා යන වට වංගු පාර දිගේ ගිය බසය පුංචි නාන පීල්ලක්  අසබඩ නතර කළේය. අපි  එතනින් බැස  ගල් පඩි පෙළ දිගේ ඉහළට ඉහළට බඩ  ගෑවෙමු  . අප්පා නැග්ගා නැග්ගා. දැන් කඳු මුදුනත සානුවක් දිගේ ගමන් කරමු  . තේ වතුයාය හමාර වී ගම්මානය එළඹ ඇත.
අර තියෙන්නේ තිස්සලා කුඹුර.

බෑවුමේ පුංචි බේසමක් වන් වළක හෙල්මළු ලියදි වලින් හැඩ වැඩ  වී  මනරම් වූ කුඹුරු කෑල්ල පිහිටියේය. තැන තැන උස්ව වැදුණු ගස් කීපයක් නිසා හාත්පස සුන්දරව පෙනුනේය. අලි කාකි තොප්පියක් දාගෙන කොට කලිසමක් ඇදගෙන ලියදි අතරේ මහා හයියෙන්  උරුහම් බාමින් ඇවිදින්නේ තිස්සය.
එදා ඔහු ලියදි පුරා සැහැල්ලුවෙන් සින්දු කියමින් දුව පැන ගිය  හැටි මට අමතක නොවේ .

දෙවන තිස්ස

තිස්සත් මමත් සරසවි බිමේදී කතා කරමින් සිටියෙමු , ඔහු දොස්තර කෙනෙකු වන්නට ඉගෙනීම අරඹා ඇත .ඒ පීඨයේ මුල්ම දවස් කීපයයි.
'මචන් හරි වැඩේනේ මට මේ ඉංග්‍රීසි  තව හදා ගන් නැතිව කෝස්  එක කරගෙන යන්න අමාරුයි. ඒ නිසාම  එහෙන් මෙහෙන් කැපිලි ටිකක් එනවා' කියා කීවේ තරමක හිතේ අමාරුවෙනි.
ඊළඟට දෙවැනි අවුරුද්දේදී ඔහු බැච් එකේම පළමුවැනියා හෝ දෙවනියා වී ඒ හිතේ අමාරුව ප්‍රමෝදයක් බවට හරවාගෙන තිබුනේය.

ඔය කාලයේම මම දෙවන තිස්සත් සමග  විදුසර පත්තරේකට එක එක විදිහේ ලිපි ලියමින් සිටියෙමු. අපි කලේ තැන තැන ඇවිද අපුරු මිනිසුන් සොබා සම්පත් ගැන පත්තරේට ලිවීමය. වරෙක හොර්ටන් තැන්නේ ඇවිද ගොස් කඳුකර වැසි  වනාන්තරය ගැන හොයා සතියේ විශේෂාංගයක් ලිව්වෙමු. කඳුකරයේ අර්තාපල් වගාවට වින  කරන  අලුත් බැක්ටීරියාවක් ගැන  ලිව්වෙමු .

මේ අතරේ අපට ආරංචි වුනේ වී වර්ග කිහිපයක්ම අලුතින් හඳුන්වා දුන් විද්වතෙක්  කුරුණෑගලට නුදුරු පර්යේෂණායතනයක සිටිනා බවය. ඔහු ගැනත් ලියන්නට අපි දෙදෙනා ඔහු සොයා යන්නට තීරණය කළෙමු. උදේම  අරුනාචලම් ශාලාවෙන් හීල වැළඳු අපි දවල් දහය පමණ වන විට ඉබ්බාගමුවට  පැමිණියෙමු. පර්යේෂණායතනයට ගොඩ වී අර විද්වතා ගැන ඇසු විට අපට ලැබුනේ කිසි සේත්  බලාපොරොත්තු නොවූ උත්තරයකි.

අනේ ඒ මහත්තයා අසනීප වෙලා මෙහෙන් අයින් වුනා. දැන් කල්පනාව අඩුයි. නිතර අමතක වෙනවා. ටිකක් කේන්තිත් යනවා. අත් උදව්වට ඔය මෙහෙන් කව්රුහරි ගිහින් තාමත් උදව් වෙනවා.

'අනේ ඉන්න තැනක් කියන්න අපි ගිහින් හම්බ වෙන්නම්'.

එහෙත් අපිට හමු වූ නිලධාරීන් කිව්වේ අපව දිරිමත් කරන කතා නොවේ.
'එයා අසනීපෙන් ඉන්නේ කවුරුවත් එනවට කැමති නෑ' .

'කමක් නෑ අපිට පාර කියන්න' . අපි පෙරැත්ත කර පාර  අසා ගත්තෙමු.

අපි ඒ මහා  පර්යේෂකයා සොයා ගියෙමු. ඒ ගෙදර තරමක් පරණ තාලේ විශාල එකක් විය. එය නෙක නෙක පළවැල පිරුණු ගෙඋයනක් මැද පිහිටියා වුවද පාලු සිරියක් ගත්තේය. පාර අයිනේ වූ මලකඩ කෑ යකඩ ගේට්ටුව අගුලු ලා නොතිබිණි. එහෙත් එය අරගෙන වත්තට ඇතුළු වීමට අපට දිරියක් නොවුනේ, කළු, තඩි නපුරු පහේ බල්ලන් දෙදෙනෙක් මිදුලේ  කුසීතව බුදියාගෙන සිටි බැවිනි.

අපි පාරේ සිට කතා කළෙමු.  ගෙදර කවුදෝ? ගෙදර කවුදෝ ? අපි පත්තරෙන් ආවේ .

ගෙදර දොර ජනෙල් ඇර දමා තිබෙන නිසා කවුරුන් හෝ නිවසේ සිටිනා බව ඉතා පැහැදිලිය.
මම පාරේ වැටී තිබු යකඩ කුරු කැබැල්ලක් ගෙන හඬ නැගෙන සේ ගේට්ටුවට තඩි බෑවෙමි . මේ සියල්ල සිදුවන අතරේ ගෙදර බල්ලන් දෙන්නා වගේ වගක් නැතිව කුසීතව බුදියාගෙන සිටියෝය.

අපේ කන්කරච්චලය මැද්දේ  උගුර පාදන හඬක් ඇසුණි .  බස්තමක් අතින් ගත් වයස්ගත උනත් ආරෝහ පරිණාහ දේහධාරී පුද්ගලයක් හෙමින් ගෙදර දොරකඩට පැමිණ හිට ගත්තේය. ඔහුගේ කට හඬ තීව්රව මතු වුනේය.
'යනවා යන්න !'

එවිට බල්ලන් දෙදෙනා නැගිට අපට බුරන්නට පටන් ගත්තත් උන් අඩියක්වත් සෙලවුනේ නැත.

විද්‍යා පත්තරවලට  ලියන සරසවි කොල්ලන් දෙදෙනාට මීට පෙර ගිය හැම  තැනකදීමනම්  හොඳ පිළිගැනීමක් සැලකිල්ලක්  ලැබිණි. එනිසා මෙතුමාටද කරුණු හරියට පෙන්වා දුන්නොත්  අපට සම්මුඛ සාකච්චාවක් ලබා දෙනු ඇත .

අපි ගේට්ටුවට මෑතින් හිටගෙනම  කිව්වෙමු .
' අපි පත්තරෙන් ආවේ මහත්තයාගෙන් පොඩි සාකච්චාවක් ගන්න, පොඩ්ඩකට ඇතුලට එන්නද?

ඉන්පසු ඔහු බස්තමේ වාරුවෙන් අඩියක් ඉස්සරහට පැමිණියේය.
මිටි තාප්පය අල්ලාගෙන බස්තම  ඉහලට උස්සා අපට සැර දැම්මේය.

පත්තරෙන්  නෙවෙයි මොකෙන් උනත් එපා දුවපියව් යන්න.!
කියා  කීවේ පැත්ත පළාතටම ඇහෙන හඬකිනි.

මෙතෙක් වෙලා එකතැන බුදියාගෙන  බුහ්  බුහ්  ගාමින් සිටි අර යක්ෂ බල්ලන් දෙදෙනා තම ස්වාමියා සතුටු කරවන්ට මෙන් වහා ක්‍රියාත්මක  මිනීමරු  වෘකයන් දෙදෙනෙකුගේ  මාරාවේශයෙන් අප සිටි  දෙසට දිව ආවේ එවිටය .

අතේ තිබු තඩි සෙනිත් කමරාව බදාහත් මමද  කඩදාසි පයිල්  කවරය තදින් ගත් තිස්සද දෙපයට ගතේම වාරු දී දුවන්නට පටන් ගත්තෙමු.

තවදුරටත් අනතුරක් නැතැයි  සිතෙන තරම් දුරක් දිව ආ අපි දෙදෙනා බෝක්කු කණු දෙකක් මත වාඩි  වී හති හළමින් උනුනුන් දෙස බලා සිටියෙමු. තිස්සගේ බැල්ම මට තාමත් මතකය. බිය සන්ත්‍රාසය. ආත්මානුකාව මැදින් සිදුවීමේ හාස්‍යයද ඔහු විඳිමින් සිටියේය.

අප දෙදෙනා පත්තර වලට ලියන්නට දේ සොයමින් එක්ව ගිය අවසන් චාරිකාව එයයි.

ඉන්පසු තිස්ස දිගින් දිගටම පිළිවෙලකට වෛද්‍ය විද්‍යා හා මනෝ විද්‍යාත්මක ලිපි ඉතා සරල බසින් පත්තරවලට ලිව්වේය. මමත් අපිළිවෙල පත්තර ගමනක් ගියෙමි.

තුන්වන තිස්ස
එදා අපව එලවා ගත් විද්වතා මෙන්ම ලෝ පුරා මිලියන  ගානක් සිටින අමතක වීමේ රෝගයෙන් හෝ  අංශ බාග රෝගයෙන් පෙළෙන්නන් වෙනුවෙන් මහා වැඩ කොටසක් කරන ලොව ප්‍රමුඛ පෙළේ  විද්වතෙකු  සිටියි ..
ඕස්ට්‍රේලියාවේ සුපතල රෝහලක  ස්නායු  විද්‍යා ඒකකයේ අද්යෂක වරයාද, සරසවි කතිකාචාර්යවරකුද   වන මහාචාර්ය තිස්ස විජේරත්න ලෝක ස්නායු විද්‍යා ෆෙදරෂණය වෙනුවෙන් ලෝ පුරා ඇවිදිමින් දැවැන්ත මෙහෙයක් කරමින් සිටියි.

ශ්‍රී ලංකාවේ රෝහල්වල අංශ බාග රෝගීන් සඳහා වෙනම ප්‍රතිකාර එකක ඇති කිරීමට ඔහු සෑහෙන දුරට සම්මාදම් වුනේය. එය තවදුරටත් කරමින් සිටී.

එන ජුලි 22 වැනිදාට යෙදෙන ලෝක මොළ දිනය නිමිත්තෙන් ලෝ පුරා බෙදා හරින දැනුවත් කිරීමේ අත් පත්‍රිකාවේ නිර්මාපකයාද ඔහුය.සරල හුරු බුහුටි කාටත් තේරෙන බසින් ලියා ඇති ඒ අත් පත්‍රිකාව http://www.wfneurology.org/world-brain-day.

එහි කියනා විදිහට ඔනෑම පුද්ගලයින් තුන් දෙනෙකුගෙන් එක අයෙකුට ආඝාත තත්ත්වයක් (ස්ට්‍රෝක්  එකක්) හෝ ඩිමෙන්සියාව නම්  අමතක වීමේ රෝගය හෝ ජීවිත කාලය තුළ  ඕනෑම මොහොතකදී වැළඳීමේ අවදානමක් තිබේ. එහෙත්  මේවා කලින් වලක්වා ගත හැකි තත්වයක් බව බොහෝ දෙනා නොදනිති. ලොව පුරා මිලියන ගණනක් අසරණ අංශ බාග රෝගීන් හා ඩිමෙන්සියා රෝගීන්, පමණක් නොව ඔවුනගේ නෑසියෝද දහදුක් විඳිති.

ලෝ වැසියන් අබාධිතයන්  බවට පත් කරන ප්‍රධානම හේතුවක් වන්නේද මොළය සම්බන්ධ රෝගාබාධයන්ය. ඉතින් මේ අති සංකීර්ණ මිනිස් මොළය ගැන අපි දන්නා දේ ප්‍රමාණවත්ද ?  මේ පිළිබඳව මිනිසුන් දැනුවත් කිරීම් තුලින් මානව සංහතිය වෙනුවෙන්ම කළ හැකි සේවය අනුපමේයි  නේද ?

****
ආ  ළඟදී සිට මට තිබෙන අමතක වීමේ තත්ත්වයක් නිසා කියන්නට බැරි වූ දෙයක්ද තිබෙයි.
මේ ඉහත කී තිස්සලා තුන්දෙනා යනු එකම එක පුද්ගලයෙක් බවය.
අනේ වාසනාවන් !. කරනවානම් ලෝකයට කරන්නට අපට කොයි තරම් දේ තිබෙනවාද?.

 

79 comments:

  1. සෑ.. එහෙම දිනේකුත් තියෙනවා එහෙනම්. ලංකාවට නම් ඔය දිමෙන්සියාව සුඋරුදු දෙයක් නේ නේද?

    ReplyDelete
    Replies
    1. වීරේ, එහෙම දවසකුත් තියෙනවා මම හිතන්නේ 2012 තමයි දිනේ සම්මත උනේ

      Delete
  2. අප්පච්චචියේ එහෙම දිනයකුත් තියනවද

    හැ යකෝ විදුසරටත් ලියුවද

    කොයිකාලෙද ඒ

    ReplyDelete
    Replies
    1. තියෙනවා නේන්නම් එහෙම දවසක්. ඔය 90 ඉඳන් 94 වෙනකන් එහෙන් මෙහෙන්

      Delete
  3. තිස්ස ගැන කෙසේ වෙතත් අදයි මුවා කවුද කියලා දැන ගත්තේ.

    ReplyDelete
    Replies
    1. මටත් ඒ ගැන දැන් හිතාගන්න ඇහැකි...

      Delete
    2. මුවා වී සිටි බුවා ගැනද ඔය කියන්නේ

      Delete
  4. මේක මාර අමතක වීමක්නෙ... හි හි...

    වෙලාවකට හිතෙනව ඩිමෙන්ෂියාව හැදෙනව නං හොඳයි කියලත්...

    ReplyDelete
    Replies
    1. හි හි මේ අමතක කරන්න ඕනි දේවල් නම් නිතර මතක් වෙනවා හිරු

      Delete
  5. මම මේ අහන්ට හැදුවා විතරයි 'ඒ තිස්සලා හැර තවත් තිස්සලා සිටීද ' කියලා...:)

    හපොයි මේ මොලේ තියෙන හැම දෙයකින්ම මිනිස්සු වැඩ ගන්නේ නැතිබව නම් මට සහතිකයි. කරන දේවල් බැලුවාම පේන්නේ, එකම දේවල් නැවත නැවත කරනවා වගේනේ.

    ReplyDelete
    Replies
    1. ඇයි අපේ තිස්ස දොඩංගොඩ ?

      Delete
    2. ඒකනේ, අනිත් තිස්සත් පහල ඉන්නවා. මම මේකට ඉස්සෙල්ල තොපික් එක දැම්මේ ' තිස්ස තිස්ස මේ මොලය හැර වෙනත් සිම්පල් මොලයක් නැද්ද?' කියල ;

      Delete
    3. // 'ඒ තිස්සලා හැර තවත් තිස්සලා සිටීද ' //
      ඔවු. ඩී. පී. තිස්ස

      Delete
  6. උදේ පාන්තරම මහා වටිනා කතාවක් තෑන්ක්ස්

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වැව් ඉස්මත්ත

      Delete
  7. Replies
    1. එහෙනම් 'මේ ලෝක මොළ දිනේ ගැන පණිවිඩේ බෙදා ගමු

      Delete
  8. නමේ හොඳකම... නමේ හොඳකම...
    වෙන මක්කවත් නෙමේ ;-)

    ReplyDelete
  9. තිස්සලා තුන්දෙනෙක් පෙන්නපු එක හොදයි.. මිනිසාගේ ස්වභාවය හා කාලය ගෙවී යද්දී ඔහුගේ තියෙන උනන්දුව, උඹ කිව්ව වගේ කළකිරීම ප්‍රාෙමා්දයකට පත් කර ගත් අයෙක් තමා තිස්ස.. ජය වේවා අලුත් තිස්සට. බොටත් ස්තුතියි තිලකේ..

    ReplyDelete
    Replies
    1. තැන්කිව් දේශෝ . ඇත්තටම තිස්ස දහිරියවන්ත මනුස්සයා.

      Delete
  10. මේ ඉහත කී තිස්සලා තුන්දෙනා යනු එකම එක පුද්ගලයෙක් බවය. ///

    මට නං සුවර් නෑ...
    ඇයි දන්නවැයි...
    එක තිස්සයෙක් එක්ක තවත් තිස්සයෙක්ව හොයන් ගියා නෙව

    ReplyDelete
    Replies
    1. හෙහ්. එක තිස්සයෙක් තවත් තිස්සයෙක් හොයා ගිය එක ඇත්ත

      Delete
  11. මෙහි සඳහන් වෙන තිස්සලා තුන්දෙනාගේම එකම සහෝදරයා වීමට ලැබීම මොන තරම් සතුටට කරුණක්ද?? තිලකසිරි අය්යා මේකියන කුඹුරු කෑල්ල වත් අපේ එක්ක නොව අඳයට අරන් එළවලු හදපු එකක්. මමත් එකේම තිස්සත් එක්ක හරි හරියට වැඩ කෙරුව ඒකාලේ.. ඔයා කියන දෙවන තිස්ස කහගොල්ලේ ගොවිපලට ගිහින් මුලින්ම ලිව්වේ "සීතා සහ කෘෂි" කියලා අර්තාපල් බීජ වර්ග දෙකක් ගැන.. ඒකාලේ සීතා කියන නමට තිස්සගේ මොලයේ විශේෂ කොටසක (පස්සේ කාලෙක මගේ ආචාර්ය උපාදියට මම පර්යේෂණ කරේ එම කොටස /amygadala ව ගැන) සැහෙන ඉඩක් වෙන් වෙලා තිබුණා. එයාලට නොකිව්වට මම මල්ලී හැටියට ඒගැන හරිම කැමැත්තෙන් හිටියේ... අවාසනාවකට ඔහුට එය .. එම මොලයේ විශේෂ කොටසෙන් ඉවත් කරන්න සිදුවුණා..

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ඒ ලිපියේ නම ; සීතා හා කෘෂි හඳුනවාදුන් යෝගරත්නම්' ආචාර්ය යෝගරත්නම් කියන්නේ අපුරු මනුස්සයෙක් . කැම්පස් වහලා ගෙවල්වල ඉන්න බැරිව හිටි කොල්ලෝ කෙල්ලෝ බර ගානකට බණ්ඩාරවෙල කෘෂිකර්මේ තාවකාලික රස්සා හොයල දීලා උන් රැක බලා ගත්ත උතුම් මිනිහෙක්. මම පස්සේ ඒ ගැනත් ලියන්නම්

      Delete
  12. වෛද්ය පීටයේ සහ මාර්ස් සාලාවේ තිස්ස වටා සිදු වූ යම් යම් ක්‍රියාකාරකම් සිහියට නැඟේ,,,,,

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔබ අපේ සමකාලීනයෙක්

      Delete
  13. තිස්ස කිව්වම මතක් වුනේ මම වැඩට ආපු මුල් කාලේ හිටපු ඩ්‍රයිවර් කෙනෙක් නම තිස්ස , මිනිහට කොහේ හරි යන්න කියපු ගමන් පාර අහන්නේ "මහත්තයා ඉබ්බන්වෙල හන්දියේ ඉඳන් කොහොමද යන්නේ " මල පනින්නේ ඌට යන තැන ගැන අපි ඉබ්බන්වෙල හන්දියේ ඉඳන් යන හැටි කියලා දෙන්න වුනාම .
    මේ ක හරියන්නේ නැති නිසා දවසක් අපි මූට මැප් එකක් අරන් පාරවල් වල නම් කියලා ඉබ්බන් වෙල් හන්දියට යන හැටියි එතන ඉඳන් යන හැටියි , එක මග ඇරලා යන හැටියි ඔක්කොම දවසෙන් බාගයක් විතර කියලා දුන්නා
    පහුවදා
    " තිස්ස අද ස්ටීල් කෝපරේෂන් යන තියෙනවා "
    "මහත්තයා ඉබ්බන්වෙල හන්දියේ ඉඳන් කොහොමද යන්නේ ...?"

    "උඹේ !#!$@$$"

    ReplyDelete
    Replies
    1. අපේ යාලුවෙක් හිටියා ඌ බ්‍රහස්පතින්දට හරිම කැමතියි . සිකුරාදාට ඌ කියන්නේ බ්‍රහස්පතින්දට පස්සේ දවස කියල. සමහර කතා පතන ගන්නේ මචන් ගිය බ්‍රහස්පතින්දට දවස් දෙකකට විතර කලින් කියල

      Delete
  14. අපේ ඡෙමා දවසක් පියන්ට කිව්වලු
    අර තිස්සට එන්න කියනවා
    පියන් කාරයා එලියට යන්න ගිහින් ආයමත් දොරෙන් ඔුව දාලා ඡෙමාගේ ඇහැව්වලු
    සැර්..සර් අයන් තිස්සටද (මැදිමේ අංශය භාරව සිටින) හුලං තිස්සටද (ෂකර් මැෂින් එක බාරව සිටි) කියලා.
    ඡෙමා- කාවන් තිස්සට හරි කමක් නෑ ඔියි එන්න කියනවා.

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම මේක ඕනෑ තැනකට රයිම් වෙන නමක්

      Delete
  15. නියම කතාව.
    "මේ ඉහත කී තිස්සලා තුන්දෙනා යනු එකම එක පුද්ගලයෙක් බවය"
    මේකෙන් තමයි කතාව මතුවෙලා පේන්නෙ. අමතක උනානං මේක නිකංම කතාවක් වෙනව

    ReplyDelete
    Replies
    1. 'අමතක වීම' ගැන කිව්වෙත් මාතෘකාවට අදාළ නිසා . තැන්කිව් රාජ්

      Delete
  16. අපෙත් තිස්සයෙක් හිටිය පොර කැළණි කැම්පස් එකේ.බීපුවම පජාතයි සාල වනේ.වලි හොය හොයා යන්නෙ අපෝ ඌ ඒ දවස්වල කරපු දේවල්වලට අපිත් බේරිලා ඉන්නව පුදුමයි.දැන්නං තැන්පත් වෙලාද කොහෙද කාලෙකිං සද්දක් නෑ.

    ReplyDelete
    Replies
    1. තිස්සලා ඇති තැන හොඳ කතාවකුත් තියෙනවා .

      Delete
  17. මේ විදුසර ගැන කියැවෙන්නේ අනුර සිරිවර්ධනයන් කර්තෘ යුගයේ නේද තිලකේ....කතාව කියපු ආකෘතියනම් සුපිරිම තමා..

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් ඒ යුගයේ තමයි. මගේ සම්බන්ධකම් තිබ්බේ 90- 94 වගේ කාලේ . 89දීත් මොනාදෝ ලිව්වා වගේ මතකයි

      Delete
  18. පුංචි ගමකින් උපන් තිස්ස ලෝකයටම වටිනා කෙනෙක් උනා. ඒත් උපන් රටට ඔහුව හිමිකරගන්න වාසනාවක් නෑනෙ..

    ReplyDelete
    Replies
    1. සරත් , තිස්ස ලංකාවට මුළුමනින්ම අහිමි වෙලා නෑ . අපේ රටෙත් පුරවැසියෙක් . රජරට සරසවියෙත් විසිටින් කරනවා. තව හොස්පිටල් වල ගොඩක් ස්වෙච්චා වැඩ සටහන් වලට එනවා යනවා.

      Delete
  19. කොහොම වුණත් අමතක නොකර මේ කතාව ලියා තැබූ එක නම් හරිම වටිනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් තරූ . තිස්සට නම් ඕනි වුනේ මේ ' ලෝක මොළ දිනය ' හා ආශ්‍රිත වැඩ සටහන් ගැන දැනුවත් කිරීමක් කරන්න. ඒ ගමන මට පරණ කතාත් මතක් වුනා පේලියට. කොහොමත් මට 'ලුණු ඇඹුල්' තවරන් නැතිව කේක්වත් කන්න බෑනෙ

      Delete
  20. එකම කෙනෙක් ගැන කියන්න ඔබ හැදූ ආකෘතිය අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කම්මල . මේක මොලේ ගැන විතරක් ලිව්වට රසයක් නැති නිසයි එහෙම ආකෘතියක් ගැන හිතුවේ

      Delete
  21. හැබෑට ඒ තිස්සලා තුන්දෙනාම එක වුන එකෙන් පැහැදිළි වෙන්නේ හිත ඇතිනම් කරන්න බැරි දෙයක් නෑ කියලයි, නැතිනම් අර පළවෙනි තිස්ස කොයි තරම් සරළ කෙනෙක්ද!
    සෙනිත් කැමරාවේ බර මතකද මචං?

    ReplyDelete
    Replies
    1. පලවෙනි තිස්සගේ තිබ්බ සැහැල්ලු අධිෂ්ඨානය තමයි අර තරම් දුරක් අරන් ගියේ. අර මහා බර සෙනිත් කැමරාව තාම තියෙනවා මචං අපේ ගෙදර. ඇන්ටික් භාණ්ඩයක් දැන්නම්

      Delete
  22. නවතින්න තිස්ස කියල කිවුවෙ නැද්ද

    ReplyDelete
    Replies
    1. අර බල්ලෝ දෙන්නට බයේ දුවගෙන යද්දීද ? හෙහ් හේ

      Delete
  23. අද මගේ ඩොක්ටර් සෙට් එක මටත් බ්‍රේන් ටෙස්ට් එකක් කලා. පැය කාලකටත් වඩා. රචනාවකුත් ලියන්න දුන්නා. අහපු ප්‍රශ්න නිකම් දෙකේ බබා වගේ වුනාට ඒවයින් කොයි තරම් අපේ මොලයේ ක්‍රියාකාරිත්වය ගැන ඩොක්ටර්ස්ලා බලනවද කියලා ඊයේ රෑ මේ සටහන කියවල හිටපු මට ඒ අස්සෙත් මතක් වුනා.
    මට මතක තියාගෙන ඉන්න කියලා කියවපු වචන ආපහු ප්‍රශ්න කරද්දි අමතකත් වුනා. අවුරුදු දහ අටක් ස්කෝලේ ගිහිනුත් එච්චර එකක්වත් මතක තියාගන්න බැරි මම ගැන මටම හිනා.

    ReplyDelete
    Replies
    1. හප්පෝ ඉස්කෝලේ ඉගෙන ගත්ත ඒවා දැන් ඇහුවොත් එහෙම මටනම් මොනවත් මතක නෑ . බ්‍රේන් ටෙස්ට් එකකට යන්න උනොත් වස ලැජ්ජාවයි

      Delete
  24. එසේය මහරජ..... !!

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ මටද කිව්වේ මහරජ ?! ( කොමෙන්ටුව වැරදි තැන වටුනානේ කමක් නෑ )

      Delete
  25. අද කතාවත් වෙනදා වගේම රසවත් තිලක.................. දුක තිස්ස ගැන නෙමෙයි. ලංකාව ගැනයි.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගී පවුර. ඇත්තටම මේකේ දුක් වෙන්න කිසිම දෙයක් නෑ . මොන ප්‍රශ්ණය ආවත් සුවිශේෂ අරමුණකට ලඟා වෙන්න පුළුවන් කියන එක හා මිනිස් සංහතිය වෙනුවෙන් කරන්න පුළුවන් දේ තව බොහෝ ඉතිරි වී තිබෙන බව කියන්ටයි මේක ලිව්වේ

      Delete
  26. හරිම අපූරැයි තිලකේ උඹගේ ඉදිරිපත් කිරීමේ හැකියාව. මට හරි ආඩම්බරයක් දැනෙනවා උඹ ගැන. උඹගේ යාළුවා තිස්සට මගේ සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං . මේ මගේ යාලුවා විතරක් නොවේ ඒ කාලේ හිටි අපි ඔක්කොගෙම හිතවත් ටිමා හෙවත් තිස්ස.

      Delete
  27. තිලකේ.මුලින්ම මේ සැකිල්ල කෙතරම් මා සිත් ගත්තේද කියනවානම්, තෙවරක් කියෙව්වෙමි.ඒ තුල බහාලු කරුනු හිමින් සැරේ දැන් පත්තියම් වෙමින් පවති.මනස අවුල්වූ ඇදුරාගේ කතාව ...ජීවිතේ..

    ඒ විතරක් නම් මදැයි, මේ සටහනෙන් පස්සේ,ඔන්න හතරවෙනි තිස්සත් කාලෙකට පස්සේ සටහනක් ලියලා ඔහුට අමතක වෙලා වගෙ තිබුනු හද ගී පොතේ ;)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජාලිය. මේ මමත් බොහොම ආශාවකින් ලියාපු සටහනක්. අනික අවුරුදු විස්සකට ඉස්සර මම විද්‍යා ලිපි ලියාපු ස්ටයිල් එක.
      ඔව් අපේ හතරවන තිස්සගේ ගී පොතත් මොළ සනීප කරන තැනක් තමයි

      Delete
  28. තිලකෙගේ ලියවිල්ල නම් හරිම අගෙයි. විදුසරටත් රසවත් ලිපි ලියන්න ඇති කියලා හිතෙනවා.
    මට මැවිලා පෙනුනා බොලා දෙන්නා දුවන හැටි. ඒත් එක්කම මට මාර ජොලියක් ගියා zනිත් කැමරා එක මතක් කරපු එකට. මටත් ෆස්ට් ඉයර් එකේදි zනිත් කැමරා එකක් පාවිච්චියට හම්බ උනා ගාමිනි අයියාගෙන්. මරු නේ බන් ඒ රෂියන් කැමරා එක...
    තුන්තිස්සට ජයෙන් ජය...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං . ඉස්සර ලියපුවාට මම කැමති ඒවා ඇවිදලා කරලා මහන්සියෙන් ලියපු නිසා. කිතුල් ගැන ලියන්න කිතුල් ගස් බඩ ගෑවා. කඩදාසි ගැන ලියන්න ඇඹිලිපිටියේම ගියා. කැළණි පාලමේ රෙපයාර් එකක් ගැන ලියන්න පාලම යටින් බෝට්ටුවකිමුත් ගියා. හරිම සුන්දර කාලයක් . අර සෙනිත් කැමරාවත් මාත් එක්ක ඔය ගමන් බිමන්වලට ආවා. ඒක මරු භාණ්ඩේ

      Delete
  29. පොඩි කාලේ ගෙනාපු පත්තර වලින් මම ආසාවෙන් කියෝපු පත්තරයක් විදුසර. රසවත් ලිපි තිබ්බ... මම හිතන්නේ මම කියෝලත් ඇති ඔබ ලියපු ලිපි... කතෘ ගැන මගේ වැඩි අවධානයක් නැහැ ඒ දවස්වල.

    අමතකවීමේ රෝගය ගැන මට වැඩියන් අහන්න ලැබුනේ කොළඹ ආවට පස්සේ. මොකද ඉස්සර අපේ වයසක ආච්චිලාට ඩිෆෝල්ට් ආපු ලෙඩක් හින්ද වැඩි අවධානයක් නැති හින්ද වෙන්න ඇති. කොළඹ ආවම පෙනුන, මැරෙන්න ආසන්නව හැදෙන ලෙඩක් කියල හිතාගෙන හිටපු මේ අමතක වෙන රෝගය මම හිතනවට වඩා බහුලයි කියල. මගේ යාලුවෙක්ගෙ මවට තියෙන මේ රෝගේ හින්ද තමන්ගේ දරුවන් පවා මතක නැති වෙලා... එතරම් වයසක් නැහැ... දන්නේ නැහැ ඇයි මෙතරම් මේක දැන් බහුල කියල...

    ලිපියේ ගලායාමට මම කැමතියි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උපේක්ෂා . ඔය ඩිමෙන්සියා රෝගේ කියන්නේ හරිම කරුමක්කාර ලෙඩක් . කාට හරි ඒක හැදෙන්න කලින් වළක්වන්නේ කොහොමද කියන දැනුම බෙදන්න තමයි තිස්සලා මහන්සි වෙන්නේ

      Delete
  30. ලෝක මොළ දිනයක් ගැන දැන ගත්තේ ඔන්න මේක කියවල තමයි. මේ වගේ තිස්සල ගැන මෙහෙම හරි අපිට කියවන්න ලැබෙන එක ලොකු දෙයක්.. නැත්තම් හැමදාම අපි දන්නේ මුවෝ දඩයමේ යන තිස්ස ගැන තමයි..

    (සිංදු දඩයමේ යන තිස්ස කෙනෙකුත් දැන් සිටි)

    ReplyDelete
    Replies
    1. මේ ලෝක මොළ දිනය ගැන ආරංචිය ප්‍රසිද්ද කරන්න දරපු පුංචි උත්සහයක් තමයි මේක ඒක ලෝකෙට වැදගත් විශේෂ දවසක්.
      හෙහ් හේ සින්දු දඩයමේ යන එක හරිම සුන්දර වැඩක් තමයි. ස්තුතියි පැතුම්

      Delete
  31. අපේ ආදරනීය "ටිමා" ගැන මතකය අලුත් කලාට උඹට ස්තුතිය්! ලඟ සම්බන්ද කමක් තියේනම් ටිමාව මම ආදරයෙන් මතක්කල බවත්, මිනිස් සංහතියට ඔහුගෙන් වෙන සේවය ගැන සමකාලීනයෙක් විදියට සන්තොසවෙන බවත්, ආඩම්බරවෙන බවත් කියපන් මචං.

    ReplyDelete
    Replies
    1. මචං චන්දන තිස්ස මේක කියවාවි. මමත් පණිවිඩේ කියන්නම් .
      මේකත් හරි පුදුම දෙයක් !, නොර්වේ වල ඉන්න උඹ මේ කාන්තාරේ ඉන්න මට කියනවා ඕස්ට්‍රේලියාවේ ඉන්න ටිමාට පණිවිඩයක් දෙන්න කියලා. ග්ලෝබල් විලේජ් නේන්නම්

      Delete
  32. lassana kathawak mame! ape rate mehema diriya, daksha minisun gana dan kale liyawenne bohoma aduwen. lamai owun gana seweematath dakwana unanduwa itha adui.. ewan samajayaka mewani helidaraw karamin oba karanneth samaja mehewarak mame!!! Obatath pawule samatath sada jaya!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුව ඔබ මෙවැනි ලිප් ගැන දක්වන උනන්දුව ඉතා අගේ කරනවා. අපේ අනාගත පරම්පරාව ගැන යහපත් බලාපොරොත්තු හිතට එනවා

      Delete
  33. Dear Thilake and all the others. Thank you very much for all the comments. I have enjoyed every bit of my journey on this planet so far- there were pleasant moments, there were not so pleasant moments. I tried to embrace every moment as they came and went. It has been my motto that " this too will pass". This has allowed me to get the most out of me to benefit others throughout my life. I got the gift of having the nicest folks around me most of the time. I have no idea how much time I do have on this planet before I go back to basic ingredients that made you . me and all natural things in this planet . I try to live each moment as if it is my last moment. I try to do as much good as possible with every opportunity I get. I try to be as selfless as possible during this journey . It has been a one hell of a journey so far. I never bothered about the destination. It is the journey that matters.
    Thilake- It was a privilege to knew you and all other mates we had. It was a privilege to grew up in our home town. Now we belong to the whole world. Now we have so many "home" to go to. Isn't it fabulous to not to have these boundaries? Let's continue our journey as long as we can, trying to do as many good things as possible for the whole mankind- in a single world!
    My heartiest congratulations and best wishes for the book launch- my sister in law will represent me and approach you to purchase two books with your signature. She has the same surname as me and talk to you at the book launch- thousand apologies for not being able to be there at that time. You will be happy to know that I will be saving lives in a public hospital at that time!
    Tissa/Tima

    ReplyDelete
    Replies
    1. Thank you so much Tissa for taking time for this comment and for the greetings. I always recall our days at BMMV and Pera. I dream to write another, joint media article with you. A day will come. Best wishes for 'World Brain Day' and all other brave programmes of WFN

      Delete
  34. මේ විදිහට ඉදිරිපත් කරන්න බැහැ කතාවක් හැමෝටම. හරිම දියුණු ශෛලියක්!!

    තිස්ස විජේරත්නයන්ට ජයශ්‍රී!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන් අරූ . මේ ඉතා දිරිගන්වන සුළු අගය කිරීමට.

      Delete
  35. අගනා හඳුන්වාදීමකි. අන්තිම වෙනකම් හිත හිතා ආවේ දැන් කෝ අර කුඹුරු තිස්ස කියලා :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රන්දිල්(කා)

      Delete
  36. ඇත්තටම කතාව අවසන් වෙනකම් තිස්සලා තුන්දෙනා එකතු කර ගන්න බැරි වුණා. මේකෙන් ඉගෙන ගත්ත ගොඩක් දේවල වගේම, ඔබේ මිතුරා ගැනත් දැනුවත් වුණා. ශ්‍රී ලාංකිකයෙකු විදියට අපිට ආඩම්බර වෙන්න පුළුවන් දේවල් මේවා.වෛද්‍යාචාර්ය තිස්ස ගැන ලිව්වාට ස්තුතියි. එදා වැඩිය කතා කරන්න බැරි වුණත්, මේ වගේ බ්ලොග් පොස්ට් එකක් අස්සෙන් අපේ කතාව ඇදිලා යයි. ලෝක මොළ දිනය ගැන දැනගැනීම වැදගත්. මටත් thiye

    ReplyDelete
  37. කලින් කමෙන්ට් එක පැනලා පබ්ලිෂ් වුණා. මට කරන්න දෙයක් නෑ. :) මටත් තියෙනවා ක්ෂණික මතකය ගිලිහෙන, එහෙත් පසුව මතකයට එන ගතියක්. මා දන්නා තරමින් ජංගම දුරකථන භාවිතය සහ අවිවේකී බව මේකට හේතුව.

    ReplyDelete
  38. ලෝක මොළ දිනයට ලංකාවෙ උන්න නම් අපිට එකතු වෙලා මොළ මොලවන මොනවා හරි වැඩක් කරන්න තිබුණ නේද?

    ReplyDelete
  39. Nicely written. Also thanks for make us aware on world brain day....

    ReplyDelete
  40. Ananda Prabhath VidanagamaJune 12, 2017 at 7:15 PM

    දිරිය ලංකා පුත්‍රයෙක් ගැන දැනගැනීම සතුටට කාරණයක්.......අනාගත පරපුරට කියල දෙන්න වටිනා ඉතිහාසගත කතා පුවතක් .....................ලංකාවෙ ගොඩක් ජනමාධ්‍ය වල යන්නෙ අපරාධකරුවන් පිස්සන් රට වනසන්නන් ගැනයි.. මේවගේ කතා මාධ්‍ය වල ප්‍රචාරය වෙනව නම් කොතරම් වටිනවද...............ස්තුතියි ඉදිරිපත් කළාට............!

    ReplyDelete