Monday, February 15, 2016

අපේ බබා බත් කෑ හැටි

ලොකු  දෝනීගේ උපන් දවසේ කතාන්දරය ඇයත් එක්කම එකතු වී මීට කලින් මගේ බ්ලොගයේ ලියා ඇත . ඒ මීට හරියටම අවුරුදු  දෙකකට ඉස්සරවෙලා දවසකය

උපන් දවසේ ඒ වගේ වුනාට ඊට  පස්සෙද ඇය ගැන කතන්දර එමට  කියන්නට තිබේ .

සිය කුළුඳුල් දරුවා වෙනුවෙන් තරුණ මවුපියෝ ඕනෑවට වඩා කරදර වෙති.  ඒ කාලේ අපි දෙන්නා ඔය ඔක්කොටම වඩා හපන්ය.

අපේ ලොකු දෝනී  ඉතා කුඩා කාලයේදී දොස්තර කෙනෙක් ලඟට වඩාගෙන ගියේ හැම තිස්සෙම අඬනවා කියලාය . උපදේශක දොස්තරවරයා අපේ දෝනිව පරික්ෂා කොට බලා කිව්වේ  කිසිම ලෙඩක් නැතිය කියලාය.
ඒත් ඩොක්ටර් පොඩි දේටත් අඬන එක?
ආ ඒක ගණන් ගන්න එපා. ලෙඩක් නැතිව අඬනවානම් අඬන්න දෙන්න. අඬලා වැඩි වෙලා ළමයෙකුට මොකුත් වෙලා  තියෙනවද ?

තව දවසක් අපි බබා පෙන්නන්නට එකක්ගෙන ගියේ  රාගම ලීසන් එකටය. බබා කිරි විතරක් බොන බවත් කිසිම කෑමක් කන්නේ නැති බවත් අපි දොස්තර නෝනාට පැමිණිලි කළෙමු .

'දැන් මොනවද බබාට දෙන්නේ'
'අපි නෙස්ටම් හදල දෙනවා අර රස්ක්ස් කිරිවල ඔබල දෙනවා'

'මේ පිස්සු වැඩ කරන්න එපා. ඕගොල්ලෝ ගෙදර කන එකෙන් ටිකක් බබාට කවන්න . ඔය පරිප්පු ටිකක් බත් ටිකක්'

අපේ හිතට  වැඩේ ඇල්ලුවේ නැත.

අපි එන ගමන් බොහොම විස්සෝපෙන්  කෑම කන්නේ නැති දරුවෙකුගේ අසරණ දෙමවුපියන් සේ කඩේකින් දවල්ට කෑවෙමු. බබා අම්මාගේ උකුලේ නිදිය. මේ අතරේ අප පුදුමයට පත් කරමින් අම්මාගේ උකුලෙන් එසවුණු සිඟිති අතක් මේසයේ වැටී තිබු බත් ඇට අහුලනවා දුටුවෙමු.  හීන් සීරුවේ ඒවා මුවේ රුවා ගන්නා  හැටිද දුටුවෙමු . එදා සිට අපේ බබා  බත් කන ජීවියෙක් බවට පත් විය.

මේ  සිද්දිය වෙනකොට ඇය හිටියේ  තුනේ පංතියේය.දුගේ උදේ කෑම එක ඔතා  ගන්නට බැරි  වෙච්ච  දවසක මම පේස්ට්‍රි ෂොප් එකෙන් දූගේ  කෑම පෙට්ටියට දමන්නට කෙටි කෑම මොනා හරි අරන් දෙන්නයි කියා වහනයෙන් බැස ගියෙමි. ඇයද මා පසු පස ආවාය.   මගේ සාක්කුව අදිද්දී  ලේන්සුවට ඇමිණී තිබූ රුපියල් සීයේ කොලයක් බිම වැටෙනු මම නුදුටු මුත් දෝනී දුටුවාය. ඒත් ඇයට මොකුත් කර කියා අගන්නට ඉඩක් නොතබාම පෝලිමේ සිටි මරුමුස් පහේ මිනිහෙක් ඒ නෝට්ටුව සැනෙන් අහුලාගෙන සාක්කුවට දමාගෙන තිබිණි. මේ සිද්දිය ඇයව කොපමණ කම්පා කර තිබුණාද යත් වහනයටත් නැගී  ටික දුරක් යනතුරු ඇයට කතා කරගන්නට  බැරි විය .

ටික දුරක් ආපසු ඇය බියපත්  හඬකින්  මෙසේ ඇසුවාය  .

'තාත්තේ ඔයාගේ සාක්කුවෙන් වැටුණු රුපියල් සීය අර ඔයාට පිටිපස්සෙන් හිටි නපුරු මනුස්සය අහුලා ගත්ත. ඇයි මිනිස්සු එහෙම කරන්නේ?'.  .

'ඒ වෙලාවේ කිව්වනම් හරිනේ දුව. ඒත් කමක් නෑ දුප්පත් මිනිහෙක් වෙන්න ඇති'.
මම ඇගේ හිත හදන්නට උත්සහ කළෙමි .මම හිතුවේ වැඩේ ශේප් ඇති කියලාය . ඊට මාස හයකට විතර පස්සේ අර සිද්දිය මට මුළුමනින්ම  අමතක වෙ තිබ්බ කලෙක අපේ දෝනිට ආච්චි ඒවා තිබු තෑගී අතර  රුපියල් දෙසීයක්ද තිබිණි . ඇය පළමුවෙන්ම කලේ  එතැනින් රුපියල් සීයක් අරගෙන අත්  දෙකින්ම මට දෙන එකය.
'තාත්තේ  මෙන්න ඔයාගේ අර පේස්ට්‍රි ෂොප් එකේදී නැති වෙච්ච රුපියල් සීය .

අපි ඇයට නැකතට බත් කවලා නැත . නැකතට අකුරු කියෙව්වේ නැත. කිසිදාක දහම් පාසැල් යැව්වේ නැත.

ඒත් මගේ දුව මනුස්ස ගුණ යහපත්කම් පවත්වාගෙන යන බවත් හොඳ ආත්ම විශ්වාසයකින් පසු වෙනවාද යන වගත් ගැන අපි පරීක්ෂාවෙන් සිටිමු . අනාගත අභියෝග මොනවා වුනත් ඒවාට මුහණ දිය හැකි පෞරුෂයක් ඇය විසින් හීන් සීරුවේ  ගොඩ නගා ගනිමින් සිටිනු දැක දැක අපි බෙහෙවින් තුටු වෙමු .

දැන්නම්  මගේ අතින් වැටුණු රුපියල් සීයක් වෙන කවුරුහරි අසාදාරන ලෙස ගන්නට ආවානම් ඇය කෑ ගසා ඊට එරෙහි වන බව මම දිනිමි.

(චිත්‍රය  ඇන්දේ ඔවිනි )

79 comments:

  1. attama atta uncle......
    'manussa guna yahapathkam' walin piruna duwek...

    lassanama lassanai uncle.... godaaak lassanai....!

    onem abiyogekata nanga sarthakawa muna denw.. (as i know and believe)
    e hama dekatama one shaktiya eya gawa tiyenw..



    nangage hama deyakma hama wadakma sarthaka wenna man suba pathanawa..

    wish u all da very best nanga...!
    Happy 18..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුව. මම දන්නා බොහෝ දුවලා අපේ දුව වගේ තමයි . ඒ අය අතරින් මගේ බ්ලොගය නොවරදවා කියවන ඔයා වගේ දුවෙක් ඉන්නා එක ගැන මට හරිම සතුටුයි

      Delete
  2. 'කිසිදාක දහම් පාසැල් යැව්වේ නැත'. +++
    ඒ ගියත් කරන්නේ ගාථා කටපාඩම් කරවන එකනේද. ඊට වැඩිය හොඳයි ඇත්තටම ළමයින්ට ආත්ම විශ්වාසය ඇති කරගන්න හැටි කියල දෙන එක. අපේ ළමයි විතරක් නෙවෙයි වැඩිහිටියොත් හරිම බයාදු, කර්මය හා fate එක මතම යැපෙන ජාතියක්නේ.

    ReplyDelete
    Replies
    1. දහම් පාසැල් ගියත් නොගියත් දරුවන්ට යහපත් ගති ගුණ මෙන්ම විචාරශීලී මනසක් ලැබෙන්න ඕනි නේද ?

      Delete
  3. දරුවෝ ගැන මොනවා ලියුවත් කියුවත් ඇති වෙයිද , මේ දෙන්නටම උණ හාමිනේ ෂොප් එකට ඇරල මං ගෙදර , ඒ පැත්ත බලල මේ පැත්ත බලනකොට ලෙඩ පැත්තකින් තියල මොකකහරි පණ්ඩිත වැඩක් , එක්කෝ වතුරට පනිනවා , එහෙං මිනිස්සු කොල් කරනවා වැඩකරගන්ඩ , මං මේ මොකද කරන්නේ කියල ඉන්නේ , තනියම දාල යන්ඩත් බැ , කරනවැඩවලට තරහත් යනවා , සැර කලහම ටිකකින් දුක හිතෙනවා , මොනවා කලත් තරහවෙන්නෙත් නැ , බය වෙන්නෙත් නැ , කියනදේ අහන්නෙත් නැ .....හම්මෝ මුන් දෙන්නා කොල්ලෝ උනානං මට එල්ලෙන්ඩ තමා වෙන්නේ

    ReplyDelete
    Replies
    1. කොල්ලො උනානම් එච්චර කරදරයක් නෑ. උන් දෙයක් කරන්න ඉස්සල්ලා හිතනව කෙල්ලො දෙයක් කරල පස්සෙ හිතන්නෙ. මට ජාති දෙකෙන් ඉන්නවනෙ.

      Delete
    2. මට හිතන්නේ අටම් අපේ කම්මල කිවා වගේ කොල්ලෝ හදන්න ලේසියි කෙල්ලෝ හදනවට වඩා .

      Delete
  4. //ආච්චි ඒවා තිබු තෑගී අතර රුපියල් දෙසීයක්ද තිබිණි . ඇය පළමුවෙන්ම කලේ එතැනින් රුපියල් සීයක් අරගෙන අත් දෙකින්ම මට දෙන එකය.
    'තාත්තේ මෙන්න ඔයාගේ අර පේස්ට්‍රි ෂොප් එකේදී නැති වෙච්ච රුපියල් සීය .//

    ඒක එයා නිසා නැතිවුණා කියල හිතාගෙන ඉන්න ඇති. හොඳට වගකීම් තේරෙන දරුවෙක්. මේව ඉගෙන ගන්නෙ මව්පියන්ගෙන්. දහම් පාසැලෙන් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. මටත් ඒ සල්ලි ආපහු දෙනකොට මාර ෂොක් එකක් දැනුනා . බොහොම ස්තුතියි ඉයන්

      Delete
  5. දූට සුබ උපන් දිනයක්! ( දවසක් දෙකක් එහා මෙහා වුනත් මම හිතන්නෙ මම හරි)
    දරුවෙකු වෙනුවෙන් කල යුතු හොදම දේත් ඔවුනට හොද පෞරුෂත්වයක් ගොඩනගා ගැනීමට ඉඩහැර විමසිල්ලෙන් සිටීමය. සමහර තැන්වල එහෙම කරන්න දෙමව්පියො අසමත් වෙනවා නැත්නම් දරුවො අසමත් වෙනවා. ඒ දෙපැත්තම සාර්ථක දෙව්නි වගේ දරුවො රටටම වාසනාවක්.

    කාලෙකින් පොඩි දෝණිගෙ චිත්‍රයක් දකින්න ලැබීම සතුටක්. තාත්තා අම්මගෙයි අක්කගෙයි උපන්දින වලට විතරක් බ්ලොග් පෝස්ට් ලියනවා කියලා පොඩි දූ කියන්නැද්ද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුත්යි සඳ වියමන. ඔවිනි නිතරම කියන්නේ මොනා හරි කමක් නෑ ලියන්න කියල .එයාට කියවන්න. හැබැයි මේ සැරේ එයාගේ උපන් දිනේටත් ලියන්න වෙනවා . අක්කට ලියපු නිසා

      Delete
  6. මේ ලිපියේ මම වඩාත්ම සිත්ගත් කොටස වූයේ කියන කොටස. "කිසිදාක දහම් පාසැල් යැව්වේ නැත."
    මමත් මගේ දරුවන් කිසිම ආගමකට නැඹුරු කරේ නෑ, කිසීම අවුලක් නෑ.
    මගේ යාලුවන් හැමෝම දහම් පාසැල් යන නිසා සහ එහි සිටි සිත්ගත් කෑල්ලක් නිසා මාත් ගියා බලන්න.
    කෑල්ල වෙන එකෙක් ඩැහැ ගත්තා. සති 2යි මගේ දහම් පාසැල් ගමන ඉවරයි

    ReplyDelete
    Replies
    1. සමහර දරුවන්ට ඉස්කෝලෙදි නැත්නම් ගෙදරදී ලැබෙන් නැති කුසලතා හා දැනුම දහම් පාසැලේදී ලැබෙන අවස්ථාත් තියෙනවා

      Delete
  7. සුන්දර ලියැවිල්ලක්.. මං පුංචි කාලෙ මතක් වුණා.දවසක් මං ලෙඩ වුණාම තාත්තා කෑ ගගහා මාව උස්සගෙන මෙඩිකල් සෙන්ටර් එකට යනකම් නොනැවතී දිව්වලු.පවුලෙ එක ම ළමය වුණාමත් ඔය කුළුඳුල් දරුවට වගේ තමා සැලකිලි..))

    ..මාත් දහම්පාසල් ගිහින් නැහැ.ඒත් දහම් පාසල් ගිය ළමයින්ට වඩා හොඳට මං බුද්ධාගම පිළිපදිනවා කියලා මං දන්නවා.පුංචි කාලෙ ඉඳල අම්මා තාත්තා ඉගැන්නුවෙ මනුස්සකමින් ජීවත් වෙන්න ඕන විදිය.

    මේ ලිපියෙ ලියවිලා තියෙන විදියටත් ඒක තමා දෙමව්පියන්ගෙන් අපි ඉගෙනගන්න වටිනා ම පාඩම. සුන්දර ලිපියක්.. අදම ද මන්දා මේ පැත්තේ ආවේ... නන්නාඳුනන සොයුරියට වාසනාවන්ත ජීවිතයකට ආසිරි ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තට වැස්සක් අරගෙන ආවට . කලින් ඇවිල්ලා නෑ වගේ තමයි මටත් මතක. ආදරෙන් පිලිගන්නවා එහෙනම්

      Delete
  8. Wish her a very happy birthday. :) sorry no sinhala.

    ReplyDelete
  9. ඒ රුපියල් සීයේ කතාව නම් බොක්කටම වැදුනා. බලපං කෙල්ල මෙච්චර කල් ඒකට වරදකාරී හැඟීමකින්නෙ ඉඳලා තියෙන්නේ.

    මගෙ කොල්ලටත් දහ අට තමයි පහුවුනේ.

    මේ කතාව දුව අහලා තියෙනවද බලාපං. දවසක් යාලුවෝ දෙන්නෙක් පාළු පාරක ගමනක් යනකොට මංකොල්ලකාරයෙක් පැන්නලු උල් පිහියකුත් ඇදගෙන.

    "දීපියව් අතේ තියෙන සල්ලි, ඔරලෝසු චේන් ඔක්කොම මෙහාට මැරුම් නොකා"

    දෙන්නම තාමන්ගෙ අතේ තියෙන සල්ලි එලියට ගනිද්දි එක යාලුවෙක් අනිත් යාලුවට රුපියල් සීයක් දීලා මෙහෙම කිව්වලු.

    "මෙන්න මචං මම එදා උඹෙන් ගත්ත රුපියල් සීය."

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ඒ සල්ලි නැති වෙච්ච එක ගැන එයාට සෑහෙන දුකක් දැනිලා තියෙනවා . අර යාලුවෝ දෙන්නගෙයි හොරු මුලෙයි කතාවත් මරු

      Delete
  10. දෝනිට සුභ උපන්දිනයක් පතමි. සංවේදී කතාවක්.. ලස්සනයි.. ජීවිතේට දහම් පාසලකට අඩිය තිබ්බේ නැති ජිවියෙක් තමයි මේ මමත්. අත්දැකීමෙන්ම කියන්න පුළුවන් ඒක යහපත් මනුස්සයයෙක් වෙන්න බාධාවක් වෙන්නේ නැතිබව.. ඇත්තටම ඔබේ දෝනි කළා වගේම තමන්ගේ හිතට එකඟව හොඳ ඩේ කරන්න ඉගෙන ගන්නවා නේද එහෙමවුනාම ??

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කවිඳු . ඔව්. කොහොමත් ගෙදර පරිසරෙන් හදන්න පුළුවන් ළමයෙක්ගේ මූලික සිතුම් පැතුම්. ඒ හැර දරුවෝ ඒ අය විසින්ම ගොඩනගා ගන්න දේකුත් තියෙන්න ඕනි

      Delete
  11. මට අකුරු කියවා ඇත්තේ ( අම්මලා නැකත් බලන්නත් පෙර ) අපේ අල්ලපු ගෙදර මැණිකේ (ජේන් අක්කගේ දුව ) විසිනි. මෙවැනි නැකතට නොකෙරුණ ගණුදෙනු රාශියක් අපිටත් තියෙනවා.. අර ඇනෝ .. කිව්වා වගේ කිසි අයහපත් බලපෑමක් වූ බවක් නම් පෙනෙන්න නැහැ...

    ReplyDelete
    Replies
    1. ජේන් අක්කගේ දුවගේ අකුරු කියවිල්ල වැරදුන් නෑනෙ . පස්සේ ඒ ළමය ආචර්ය උපාධියක් තියෙන දොස්තර මහත්තැන් කෙනෙක් වුනා කිව්වම

      Delete
  12. අර කඩේදී නියම බත් කවන නැකත අහුවෙලා තියෙනවා. දූට සුබ උපන් දිනයක්!

    ReplyDelete
    Replies
    1. හැබෑට එහෙම නැකතක් තියෙන්න ඇති . බොහොම ස්තුතියි ඉකොන්

      Delete
  13. දරුවා වාසනාවන්තයි. ඒකයි මේ වගෙ දෙමාපියන් ලඟ ඉපදි තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඕනෑම කෙනෙක් දරුවෙක් වෙලා ඉඳලා තියෙනවනේ . ඒ නිසා හැමෝම එක්තරා විදිහකට වාසනාවන්තයි සුරංග . බොහොම ස්තුතියි

      Delete
    2. //ඕනෑම කෙනෙක් දරුවෙක් වෙලා ඉඳලා තියෙනවනේ//++++++++++++++++++

      Delete
  14. වාසනාවන්ත දරුවන් උපදින්නේ වාසනාවන්ත දෙමාපියන්ට..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාලු . මේ වාසනාව අවාසනාව එක එක්කෙනා ජීවිතේ බාර ගන්න විදිහෙමුත් වෙනස් වෙනවා නේද?

      Delete
  15. "සිය කුළුඳුල් දරුවා වෙනුවෙන් තරුණ මවුපියෝ ඕනෑවට වඩා කරදර වෙති. ඒ කාලේ අපි දෙන්නා ඔය ඔක්කොටම වඩා හපන්ය."

    අපිත් එසේමය. වරක් පොඩි එකා කතා කරන්නේ නැතැයි කියා දොස්තර ලඟට උස්සගෙන දිව්වෙමු. පොඩි එකාගෙ කන් ඇහෙනවා නම් ඌ කියන දේකට ප්රතිචාර දක්වනවානම් බයවෙන්නට එපා දොස්තර කීවේය.

    දවස් තුන හතරක් පොඩි එකා කක්කා දැම්මේ නැතැයි කියා ඔන්න ආයෙත් කොල්ලා උස්සන් දිව්වෙමු. අද කක්කා දමා ඌ හෙට ඉස්කෝලෙ යන්නදැයි මහ හඬින් දොස්තර සිනා නැගුවහෙයින් ආ පයින් කොල්ලා උස්සන් ගෙදර ආවෙමු.

    :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ ඒ වගේ විස්තර වීඩියෝ කරල් තියන්න වටිනවා ළමයි ලොකු වෙලා ගෙදරින් ඈත් වුනාම වයසක අපිට බල බලා ඉන්න . මේ පෝස්ටුවට රසවත් කොමෙන්ටුවක් එක්කරාට ස්තුතියි පිනි බිඳු

      Delete
  16. සංවේදී දෝනී කෙනෙක්... දහම් පාසල් ගියා කියලා දරුවෙක්ව හරියට හදන්න බෑ.. ඒකට පවුල් පසුබිමත් ගොඩක් දුරට බලපානවා. මේ දරුවා සමාජයෙන් ඉගන ගන්න දරුවෙක්..
    දෝනිට සුභ උපන්දිනයක් වගේම සුභ අනාගතයක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන් සිංහ. දරුවන්ගේ සංවේදී ගතිගුණ සමහරවිට ලොකුවෙනකොට වෙනස් වෙනවා . පෙළක් වෙලාවට සංවේදී වැඩි වීම අවාසියක්.

      Delete
  17. අගෙයි තිලකයියේ................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුරුටුලා

      Delete
  18. ළමයින්ට බත් කවන්න,අකුරු කියවන්න මොකට නැකත් බල බල ඉන්නවාද ? ළමයින්ට දහම් අද්‍යාපනය ලබන්න දහම් පාසල්ම යන්න ඕනේ නැහැ කියන එක මේ කතාවේ පවා ඔප්පු වෙනවානේ.එත් අපේ අය ඉල්ලන්නේම නීතියක් හරහා දහම් අධ්‍යාපනය අනිවාර්ය කරන්න කියලා.දහම් අධ්‍යාපනය ඒ විදියට නීතියක් හරහා නීතිගත කරන්න හදන්නේ ඒ තරම් නීති ගරුක පුරවැසියන් අපේ රටේ ඉන්න නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනෝජ් . ඇත්තටම දහම් පාසැල් කතාව ඔහේ ලිව්වට මේ පොස්ටුවේ අරමුණ වුනේ ඒ ගැන විනිශ්චයක් දෙන එක නෙවෙයි. මෙහි හොඳ නරක දෙපැත්තම දකින මගේ යාළුවො ඉන්නවා . මමනම් පුද්ගලිකව කැමති විවෘත විචාරශීලී මිනිස්සු වෙන විදිහට ළමයි හදන්න

      Delete
  19. ලස්සන කථාවක්...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි . මේ දවස්වල පොඩි දරුවන් ගැන කතා රස විඳිනවා නේද. ජය !

      Delete
  20. මමත් දැන් සති දෙකක් වයසැති චූටි හුරතල් පුතෙක්ගෙ තාත්ත කෙනෙක්.
    කතාව ඇත්ත තමයි. අපි ඕනෙවට වඩා කලබල වෙනව.

    ReplyDelete
    Replies
    1. හුරතල් චුටි පුතෙක්ගේ තාත්තා වීම ගැන සුබ පැතුම් . මේ පැත්තට ආදරෙන් පිලි ගන්නවා මාධව

      Delete
  21. මට අසනීපයක් හැදුනම අපේ තාත්ත කලබල වෙන හැටි මතක්වෙලා කඳුළුත් ආවා.

    ළමයි මනුස්සකම් පුරුදු වෙන්නෙ දහම්පාසලෙන් නෙමෙයි, දෙමව්පියන්ගෙන්. අවුරුදු දහ අටක් කියන්නෙ අපේ නගාට වඩා අවුරුදු දෙකකට බාලයි. අවුරුදු 17,18 ඉඳන් ඉස්සරහට තියෙන්නෙ ජීවිතේ තීරණාත්මක අවුරුදු කිහිපයක්.

    (නම දන්නෙ නෑනෙ, ඔවිනිවනම් දන්නවා චිත්‍රවලින්.) නංගියාට සුභම සුභ උපන්දිනයකට සහ යහපත් අනාගතයකට ආසිරි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බස්සි. මගේ පොතේ චිත්‍ර ඇඳලා තියෙන්නේ දුවල දෙන්න . මුල කවරේ සහ අග කවරේ ෆොටෝ ලොකු දුව ගත්තු ඒවා

      Delete
  22. මේ වගේ දූවරු ඔබටත් රටටත් වාසනාවක්. ඔබත් මේ වැනි දූ වරුන්ට වාසනාවක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කසුන් . ඔය වගේ හොඳ හිතක් සහ හැකියාවක් තියෙන ඔබත් වාසාවන්තයි

      Delete
  23. යහපත් දෙමාපියන් ඉන්නවනම් දහම් පාසැල් යන්න ඕනෙ නෑ කොටින්ම මගෙ අදහස එහෙමනම් ආගමක් වත් ඕනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. දැන් වෙලා තියෙන්නේ අම්මලා තාත්තලා යහපත් වුනත් දරුවෝ එක්ක රැඳෙන්න වෙලාවක් නැති එක . බොහොම ස්තුතියි කම්මල

      Delete
  24. මිනිස්සු අනිකා ගැන හිතනවානම් ලෝකේ ලස්සන වෙයි. එහෙම හිතන්න දුවට පුරුදු කරපු මව්පියන්ටත් දෙවියන් වඳියි . දුවට සුබ උපන්දිනයක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉවාන් . ජය !

      Delete
  25. දෝනිට සුබ උපන් දිනයක්...!
    දරුවො හදන්න බැහැ..ඒ අය අපි දිහා බලාගෙන හැදෙනවා මිසක්....!
    එච්චරයි...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන් . ඔව් උන් බලෙන් හදන්න බෑ . අපි හැදිලා පෙන්නන්න ඕනි

      Delete
  26. එාහම දරුවො ලොකු වුණාම තමයි තිලකෙ අයියෙ මිනිස්සු කියන්නෙ
    අර යන්නෙ අහවල් ළමයගෙ තාත්ත නැත්තං අම්ම කියල
    අනික් අය යද්දි ආ ඒ අර &&&&& ගෙ ළමය නෙ

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ් . ජය !

      Delete
  27. හැලපැට්ටත් කිසි දවසක දහම් පාසැල් ගිහිං නෑ.එහෙමයි කියල උගෙ යහගුණ අඩුවක් වෙලත් නෑ.දෝණිට සුබ උපන් දිනයක්!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං . හැලපැට්ටටත් ආදර සුබ පැතුම්!

      Delete
  28. කතාව පුංචියි. ඒත් ගතයුතු දේ බො හෝයි. ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං . ජය !

      Delete
  29. සුබ උපන් දිනක්. මගේ දූලා දෙන්නම මාස හය පහුවෙච්ච් ගමන් අල කැරට් දුන්න මාස අට වෙනකොට බත් කන්න ගත්ත මම කන නිසා. දැනත් උන් දෙන්න බතුයි පරිප්පුයි කන්න මාර කැමතියි. තිලක ගේ බිරිඳගේ යහළුවෙක් මගෙත් යහළුවෙක් කියල දැන ගත්ත. දෙන්නම මොස්කව් ඉඳල තියෙන්නේ. //අපි ඇයට නැකතට බත් කවලා නැත . නැකතට අකුරු කියෙව්වේ නැත. කිසිදාක දහම් පාසැල් යැව්වේ නැත.//
    මෙහෙ නම් නැකත් බලන්න බහ. නමුත් අපි දහම් පාසල් අරන් ගියා. ලංකාවේ එකකට නෙමේ. බුද්ධාගම උගන්වන ජර්මන් එකකට. (උගන් වන්නේ වෙනස් විධිහේ දර්ශනයක් ) දැන් නම් යන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත් . අපේ දෝනිත් ඔය වගේ දේ ලෑටිගාමින් හිටියා මුලින්. ඒත් පස්සේ කිරි විතරක් බොන්න ගත්තම තමයි ඔයි දොස්තර ගාවට ගියේ . ඔව් ඔබේ මිතුරු ලයිස්තුවේ ඉන්නා ඇය අපේ ඉතාම හිතවත් මිතුරියක්. සුබ පැතුවා කියන්න

      Delete
  30. දෝණිට මගෙනුත් සුභම සුභ උපන් දිනයකට ආසිරි!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හේමමාලි . මේ අපේ ගමේ කෙනෙක්නේ . ජය !

      Delete
  31. රුපියල් සීයේ කතාවනම් හිතට තදින්ම වැදුනා. ඉස්කෝල, දහම්පාසල් වලින් කියාදෙන්නේ නැති හොද ගති ගුණ ළමයි උපතින්ම අරගෙන එනවා. ඒ දේවල් ඉස්සරහට අරන් යන්න දෙමවුපියෝ මග පෙන්වනවනම් ඒ ළමය දවසක සාර්ථක වෙනවමයි. තිලකේ අයියගේ දුවත් දවසක එහෙම වෙනවාමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනේෂ් . දෙමවුපියන්ගෙන් විතරක් නෙමෙයි සීයලා ආච්චිලාගෙනුත්, ජීවත් වෙන පරිසරයෙනුත් යහපත් ගතිගුණ ලැබෙනවා දරුවන්ට. මොනා වුනත් දරුවන් නිදහස් මනසකින් හැදෙනවානම් හොඳයි .

      Delete
  32. වාසනාවන්ත සුබ උපන්දිනයකට මාත් සුබ පතනවා...

    ඇත්තටම පුංචි අයගේ සිතුම් පැතුම් සමහර වෙලාවට හිතාගන්නවත් බැරි තරම් ඉහල මට්ටමේ ඒවා.. ඒ හිත් තවත් ලස්සන කරගන්න, හොඳ දේවල් පුරුදු කරගන්න උදව් කරන එක දෙමව්පියන්ගේ යුතුකමක්...

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තුතියි තුෂානි . ගොඩක් දරුවන්ගේ ඉතා උසස් සියුම් ගතිගුණ තියෙනවා. මේවා ගැන අවධානයක් යොමු කිරීම හා අගය කිරීම සමහර විට මග ඇරෙනවා

      Delete
  33. ගස්ලබ්බට අකුරු කියවලා තියෙන්නෙ අක්ක එයාගෙ සෙල්ලම් ගෙදරදි.
    ගස්ලබ්බට ඉඳුල් කටගාල තියෙන්නෙත් අක්ක එයාගෙ සෙල්ලම් ගෙදරදි..
    මොන නැකතක් වත් නෑ.. හෙහ් හෙහ්..
    සංවේදීකම බලෙන් ඔබන්න බැරි දෙයක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපේ අක්කා තමයි මාව ලොකු ඉස්කෝලට එක්කරගෙන ගිහින් බාර දුන්නේ. බොහොම ස්තුතියි ගස් . ජය වේවා !

      Delete
  34. මගේ කෙල්ලට අකුරු කියවපු බවනම් මතකයි . එතනින් එහාටනම් එහෙම නැකත් බැලීමක් කල බවක් මතක නෑ . කොහොමද මන්දා තිලකේ මේ ලියවිල්ල මට එක පාරටම මතක් කලේ වෙනම මතකයක් . ඒ මම පොඩි එකී ළදරු පාසැලට බස්සන්න යනකොට හැමදාම උදේට දාගෙන , අපි දෙන්නත් එක්කම කියා කියා ගිය සින්දුව ....බඹරා වගේ විසේ කාරයා , දෙඹරා වගේ ගණන් කාරයා .. ටිකක් පරක්කු වුනත් ඔබ දියණියට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි JP . මමත් ඉස්සර අපේ පොඩි උන් දෙන්නා ඉස්කෝලෙට අරන් යද්දී කියන මෙගා කතා සීරීස් තුන හතරක් තිබ්බ. ETගේ කතා, හත්පණ , ඇලිස්ගේ කතා වගේ . පුදුම සැහැල්ලුවෙන් සතුටෙන් කරපු දෙයක් තමයි ළමයි අරන් ඉස්කෝලේ ගිය එක

      Delete
  35. දරුවට සුබ උපන් දිනයක් පතනව . මට මේක කියවනකොට මතක් වුනේ ඊයෙ ෆේස් බුක් එකේ නාරද කරුණාතිලක දාල තිබුණ ස්ටේටුවක්. එයාගෙ පුතාට පේර ගන්න පාරෙ ඉදපු වයස අම්මෙක් ගාවට ගියහම පේර වල මිල රු 30 යි. අර අම්මට ඉතුරු 60 යි දෙන්න තිබිල තියෙන්නෙ. දරුව තාත්තගෙ මුහුණ දිහා බලල අපි ඒක තියගන්න කියමු තාත්තා කියල. ඒක ඒ දරුවටම ආව සිතුවිල්ලක්.
    මොනව වුනත් දරුවන්ට නිදහසේ සොබා දහමත් එක්ක හැදෙන්න දෙනව නම් තරඟවලට පුරුදු නොකර බොහොම සංවේදි දරුවො සමාජයට එකතු වෙනව. ඒත් කරුමෙට සම හරක් දෙමාපියො ඒක කරන්නෙම නැහැ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනිති. නාරදගේ කතාව අපි එක්ක බෙදාගත්තට ස්තුතියි . මම හැමදාම කියන්නේ ළමයි ගැන අවධානෙන් හිටියොත් මේ වගේ සියුම් සංවේදීකම් අඳුනගන්න පුළුවන්

      Delete
  36. මේ ලියමන නිසා මට හිතුන, පොඩි එවුන්ට ස්වාධින බුද්ධියක් සහ කොඳු නාරටියක් ඇතුව ජිවිතේ "බවුන්ඩේසන්" දාගන්න උන්ටම ඉඩ අරින එක හොඳම වැඩේ බව. අනවශ්‍ය විදිහට ආගම් ඇදහීම් ඔලුවට රිංගවන්න හදන එක උනත් මට නං හිතෙන්නේ පුංචි හිත් වලට කරන අරියාදුවක් බවයි. ගහක් පැලයක් උනත් මුලෙන් අඩියක් විතර ඈතට වෙන්න, උවමනාවට වඩා වැඩි නොවෙන්න පොහොර ටිකක් කිට්ටු කරලා තියනවා මිසක් ඕක දිය කරලා ඉන්ජෙක්සන් ගහන්න යනවයැ? පැලේට උවමනා ප්‍රමාණයට තියෙන තැනින් අවශෝසනය කර ගන්නවා. ගහ හැදෙනකොට ඇඹරිලා යයිද, කැරකිලා යයිද, ඉද්ද ගැහුවා වාගේ තනි කෙලින් යයිද කියල කාටද කියන්න පුළුවන්? රූලට නූලට අද ඇරලා අඟලට දසමෙට මට්‌ටන් කරපු එකකට එකක් නොවෙනස් වෙන්න හීලෑ කරපු දේවදාර ගස් පේළියක ඒකාකාර බවත්, තමුන්ට ඔනෑ හැටියට හතර අතේ අතු බෙදාගෙන මෙලෝ බැලන්ස් එකක් නැතුව හුළඟට වැනි වැනී ඉන්න දේවදාර ගහක ජොලියත් අතර කොතරම් වෙනසක් තියෙනවද...

    ReplyDelete
    Replies
    1. බොහොම කාලෙකින් රුවන්. දැකීමත් සතුටක් . මට හිතෙන්නේ මුලින් නිදහසේ හැදෙන්න දීලා පස්සේ තේරෙන කාලේදී ආගම් ගැන ළමයින්ට කියල දුන්නනම් හරි කියල. එතකොට කැමති දෙයක් කරගෙන ස්වාධීන මිනිස්සු විදිහට ජීවත් වෙයි

      Delete
  37. //ආවානම් ඇය කෑ ගසා ඊට එරෙහි වන බව මම දිනිමි.//
    මෙන්න මෙතන තෙරුනේ නැ, ඇයි කැ ගහන්නේ... කැ ගසා ප්‍රශ්න විසඳන්න පුලුවන් ද??

    දිගු අර්ථවත් ජිවිතයක් ඉදිරියත් ගත කරන්න හැමදේම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව ඔව්නිට...

    ReplyDelete
    Replies
    1. පුංචි කාලෙ සංවේදි, විනයගරුක වෙන දරුවොම ලොකු උනාම පෝලිම් පනින, ප්‍රශ්න වලදි කැගහන, අනුන්ගේ දේවල් ඉවක් බවක් නැතුව ලබාගන්න වගේ අසංවේදි වෙන්නෙ ඇයි...එහෙම වෙන්නේ වැඩිහිටි හැසිරිම් කියල අවට පරිසරයෙන් එයාලට පේන දේවල් නිසාද ??

      ඔබේ දුව මම උනා නම් ඒ සිද්දියම අද උනා නම් (ඒ කියන්නෙ මට අවුරුදු 18 දි..) මං කරන්නේ ඒ මනුස්සය හිතන්නත් කලින් මගේ මොළේට පණිවිඩයක් දෙනව අර මුදල් නෝට්ටුව කකුලෙන් හරි පොළවට අලවන්න ඒ වැඩිහිටි පුද්ගලයගේ මොළය ක්‍රියාත්මක වෙන්න කලින්. එහෙම කරලා මං ඒක තාත්තාට ඒ වෙලාවෙම දිල අර අනිත් වැඩිහිටියට මඳ හිනාවක් එක්ක කිසිම කලබලයක් නැතුව පැහැදිලිව ඇස් දිහා කෙලින් බලල කියනව "ඒ සල්ලි නෙමේ ,මගෙ තාත්තාගෙ දාඩිය මහන්සිය ලේ කඳුලු " කියන්න වචන ටික. ඊට පස්සේ සැහැල්ලුවෙන් තාත්තා එක්ක අත්වැල් බැඳන් එළියට එනව...

      අවට පරිසරයේ සිදුවෙන කිසිම දේකින් තමන්ගේ හිතේ සාමයට හානිදායක දෙයක් කර ගන්න එපා කියල මගේ තත්තා හොඳින් වටහල දුන්නු නිසා...

      Delete
    2. බොහොම ස්තුතියි හීන දකින්නී. ඇත්තටම මම අදහස් කරේ අසාධාරනෙකදී ඇය දැන්නම් කටපියාගෙන ඉන්නේ නෑ කියන එක. ඒත් ඒ වගේම මම අනුමත කරන්නේ නෑ පෝලිම් කඩාගෙන යන එක,බොරුවට කෑ ගහලා ප්‍රශ්න විසඳන්න යන එක වගේ අසංවේදී දේවල්. නමුත් අවශ්‍ය තැනදී කතා කළ යුතුයි. කවුරැ හරි වැරදිනම් එය පෙන්වා දිය යුතුයි. ඊට ගැලපෙන විදිහක් තියෙනවා. කොහොම උනත් ඔබ මතු කළේ බොහොම සියුම් සහ වැදගත් කරුණක්.
      ඔබේ මේ සටහනට මම කැමතියි . //අවට පරිසරයේ සිදුවෙන කිසිම දේකින් තමන්ගේ හිතේ සාමයට හානිදායක දෙයක් කර ගන්න එපා කියල මගේ තත්තා හොඳින් වටහල දුන්නු නිසා...//

      Delete
    3. ස්තුතියි..තිලක සිත.. මම ලියන්න පෙළබෙන්න මූලික හේතුව තාත්තගේ ඒ ආකල්පමය වෙනස කියලයි මට දැන් හිතෙන්නේ. අවටින් ලැබෙන දැනෙන වගේම මගේම හිතේ ඇති වෙන විවිධ හැඟිම් දැනිම් නැවත නැවත වෙනස් ආකාර වලින් එළියට ගෙන්න එයින් මට හැකි උනා මගෙ හිතත් නිදහස් වෙන ගමන්. ඒ වගේම ඔහුගෙන්ම ඉගෙන ගත්ත කිසිම කෙනකු විනිශ්චය කිරිමක් නොකර සිටිමටත් මං පරිස්සන් වෙනවා..අඩුම ගනේ මාව වත්..

      (comment එක එක පාරක් දැම්මත් error එකක් ආව නිසා ආයෙත් දැම්මා, දෙපාරක් ඇවිත් නම් delete කරන්න තිලක සිත..)

      Delete
  38. මටත් ඉන්නේ දුවෙක්.. අම්මා කෙනෙක් හැටියට මට මේ දෝණිගේ කතාවත් දැනෙන්නේ මගේ දෝණිගේ කතාවක් වගේ. මගේ දෝණිට 8යි.. 18 වෙනකොට ඔවිනි දූ වගේ ඉදිවී කියලා හිතෙනවා....

    ReplyDelete