Saturday, September 14, 2019

බිබිලට වහිනවද ?

සේනානායක සමුද්‍රය - අගෝස්තු 2019
දුර බැහැර  කෙනෙක් හමු වුවහොත් හෝ දුරකතනෙන් කතා කරොත් මම සාම්ප්‍රදායික ප්‍රශ්නයක්  අහනවා .
'කොහොමද ඔය පැත්තට වහිනවද ? " මේක ඔහේ මූනිච්චාවට අහන දෙයක් විතරක් නෙවෙයි . මට ඇත්තටම දැන ගන්න ඕනි වෙනවා  ඒ කියන පුද්ගලයා ඉන්න පැත්තට වහිනවද කියල. වැස්ස ගැන ආරංචි එක්ක බැඳිච්ච මොකක්දෝ සැන්ටිමැන්ටල් දෙයක් තියෙනවා මට.

පහුගිය අගෝස්තු විසිපස් වෙනිදායින් පස්සේ මම දුර බැහැර කෙනෙක් කතා කරපුවාම අර සුපුරුදු ප්‍රශ්නෙට  මොන විදිහේ උත්තරයක් ලැබුණත් ඊට පස්සේ මේ ප්‍රශ්නෙත් අහනවා .
'බිබිල පැත්තට වහිනවද දන්නේ නෑ?' මේ දෙවන ප්‍රශ්නේනම් සැන්ටිමැන්ටල් ගතියකට වඩා මැන්ටල් ගතියක් තිබ්බත් මට ඒක දැන ගන්නකං ඉවසුමක් නෑ. දැනුත් මම කල්පනා කරන්නේ ලුණුගල, මඩොල්සිම බෑවුමටයි බිබිල පැත්තටයි ඇතිවෙන්වන වහීවිද  කියල.

**********
ජලය පිරුණු සේනානායක සමුද්‍රය - Wikipedia

අම්පාරේ  ඉඟිනියාගල ජලාශේ තියෙන්නේ මොන දිස්ත්රික්කේද ?  ඒක නිකන් ශත පහළොවේ තැඹිලි පාට මුද්දරේ  මොන පාටද කියල ඉස්සර අපේ පියරත්න සර් කරකවල අහන ප්‍රශ්නේ වගේ එකක් .
ඔබ   පැනලා උත්තර දෙනවා  මෙහෙම.
"ඒක තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කේ , නැගෙනහිර පළාතේනේ"
"වැරදියි" . මම උද්දාමයෙන් කියනවා
"නෑ ඉඟිනියාගල අයිති මොණරාගල දිස්ත්රික්කෙට. ඌව පලාතට"

ඒ වගේම තමයී හම්බන්තොටට අච්චර ළඟ තියෙන  කතරගම අයිති හම්බන්නතොට දිසාවට නෙවෙයි මොණරාගල ආසනේට කිව්වම මට හිතා ගන්න බැරිව හිටියේ සෑහෙන කාලයක්.

ඌව පළාත මහා විශාල ප්‍රදේශයක්. ලංකාවෙන් පහෙන්   එකකට බත් දෙන සේනානායක සමුද්‍රය හෙවත් ඉඟිනියාගල ජලාශේ තියෙන්නෙත් එහි ජලපෝෂක ප්‍රදේශය මුළුමනින්ම තියෙන්නෙත් ඌව පළාතේ. 1949 හදන්න පටන් ගත්තු  ඉඟිනියාගල ජලාශේ හදල ඉවර උනේ 1954. අදටත් ලංකාවේ ලොකුම ජලාශේ තමයි ඒක.

පහුගිය දවසක මම බස් එකේ අම්පාරේ ගියා, මාත් එක්ක වස ඉලන්දාරියෙක් ගියා . වස ඉලන්දාරියා කිව්වට මිනිහා අවුරුදු පණහත් පැන්න කෘෂි රසායන හෙවත් වස  පිලිබඳ විද්වතෙක්. ඔහුට වස ඉලනදාරියා කිව්වේ කාඩ් එකට.  කඩවතින් ඉන්ටසිටියක නැග්ග අපි උදේ අට හමාර වෙද්දී නුවර. නුවරින් අම්පාර ඉන්ටසිටියක දහ අට වංගුව, මහියංගනය , පදියතලාව හරහා අම්පාරට එනකොට දවල්  කෑමට වෙලාව හරි. මග දිගට අපි කතා කරපු මාතෘකා වෙන වෙනම කෙටි කතා දහයක් විතර ලියන්න පුළුවන්.  ජපානේ කුඩා නගරයක ජීවිතේ , ලංකාවේ රසායන වෙළඳාම , වකුගඩු රෝගය, කෘෂි බෙහෙත් වෙළෙන්දන්ට ලැබෙන තායිලන්ත සවාරි. අපේ තාත්තා දියතලාවෙන් පදියතලාවට මාරු කරපු කතාව වගේ හරබර විස්තර තිබ්බා .

බස් එකෙන් බහිද්දී අපිව ආදරෙන් පිළිගත්තේ  අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂතුමා . එයත් එක්ක ඉඟිනියාගල වැවු බැම්මට  ගිහින් බණ්ඩාරවෙල ඉඳන් ආපු යාලු සමාගමට  එකතු වුනා .  ට්‍රිප් එකේ විස්තර එහෙම්මම කියන්ට තියෙද්දී  මම ඉඟිනියාගල ජලාශේ ගැනම හාරා හාරා අහන්න පටන් ගත්තා .
මේ ඒවගේ අහපු ප්‍රශ්ණ හා ලැබිච්ච පිළිතුරු. මේ පිළිතුරු සමහර ඒවා නිවැරදිම ඒවා  නෙවෙයි කියලත් මට හිතෙනවා .  උත්තර දුන්නෙත් එක්කෙනෙක් නෙවෙයි. මගේ යාළුවො හා අන්තර්ජාලතොරතුරු.

ප්‍රශ්නය  : දැන් එතකොට මේ ජලාශේ හදන්ට කලින් අම්පාර කියල එකක් තිබබෙ නැද්ද ?
උත්තරය : නෑ මේ පළාත විශාල වනාන්තරයක්. අලි කොටි වලස්සු ගහන දඩබිමක් . අම්පාර නගරය මුලින්ම ජනාවාස උනේ ඉඟිනියාගල ජලාශේ හදන්න ආපු පිරිස නිසා.මේ පළාතේ වයස අවුරුදු හැට ගානක් වෙන්නේ තාමත් .

ප්‍රශ්නය : එතකොට ඒ කාලේ අම්පාරට එන්න පාරක් තිබ්බේ නැද්ද ?
උත්තරය : නෑ . මඩකලපුවට කෝච්චියේ ඇවිත් කල්මුනේ පැත්තෙන් වෙන්ට ඕනි ආවේ.  ( ඉතින් එතන ලොකු කතාවක් ඇතිනේ හොයාගෙන ලියන්න ඔනි)

ප්‍රශ්නය  : එතකොට ගල්ඔය ව්‍යාපාරෙයි  , ඉඟිනියාගලයි  අම්පාරයි අතර  තියෙන සම්බන්දෙ මොකක්ද ?

උත්තරය : ගල්ඔය කියන්නේ බිබිල පැත්තෙන් පටන් අරන් කලමුණේන් මුහුදට වැටෙන ගඟක්.කිලෝ මීටර් 108ක් දිග ලංකාවේ දහසය වෙනියට දිග ගංගාව.  ඒ ගඟ ඉඟිනියාගලදී  හරස් කරලා තමයි ගල්ඔය ජලාශේ හැදුවේ. ඉඟිනියාගල ජලාශේ , ගල්ඔය ජලාශේ , සේනානායක සමුද්‍රය ඔය සේරම එකයි.

ප්‍රශ්නය : ජලාශේ  හැදුවේ කවුද ? කාගේද සල්ලි

උත්තරය :  ලංකාවේ සල්ලිවලින් ලංකාවේ පරිපාලනයෙන් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් කරලා Morrison Knudsen කියන ඇමෙරිකානු සමාගම මගින් තමයි වේල්ල හැදුවේ.   මේ වේල්ල හැදීමේ , මුලික සංකල්පය, සැලසුම, ඉදිකිරීම හා නඩත්තුව ගැන වෙනම ලිපියකින් කතා කරන්න ඕනි 

ප්‍රශ්නය : ජලාශේ ඉදිකරාට පස්සේ ජනපද ඇතිකිරීම් , 1956 දී ඇති වෙච්ච ජාතිවාදී කෝලහාල ගැන 

උත්තරය: ඒ ගැන ගොඩක් කතා කරන්න තියෙනවා . තව දවසක කතා කරමු . 

ප්‍රශ්නය : ජලාශේ ගැන තව විස්තර ටිකක් කිව්වොත් 

උත්තරය : මේ ජලාශේ වේල්ල පස් බැම්මක් . මීටර් 1,100 ක් දිග මීටර් 43ක් උසයි. ඒත් මේ සා කුඩා වේල්ලකින් දරා ගන්න ජල කඳ අති විශාලයි . අක්කර අඩි  හත්ලක්ෂ හැත්තා දහයි . ලකාවේ එකම තැනක හිරවුණු ලොකුම ජලකඳ

ජලාශේ ප්‍රයෝජන : 
කුඹුරු අක්කර 120,000 ක් වගා කරන්න වතුර දෙනවා . සාමාන්‍යයෙන් එක අක්කරේක කන්නයක් වගා කරන්න අක්කර අඩි තුනක විතර වතුර ප්‍රමාණයක් ඕනි . වැව අවුරුද්දකට වතාවක් පුරවා  ගත්තම කන්න දෙකක් වගා කරන්න වතුර දෙන්න පුළුවන් . තව මෙගාවොට් 11 කට ටිකක් වැඩි විදුලියක් උපදවන බලාගාරෙකුත් තියෙනවා. හිඟුරාන උක් ගොවීන්ට වතුර දෙන එකයි මිරිදිය මත්ස්‍ය කර්මාන්තෙයි අතිරේක වාසි .

ඉන් පස්සේ තේ විවේකය . විවේකය කියල නෑ උහන ගොනාගොල්ල පැත්තට වතුර ගෙනියන  වම් ඉවුර ගැන , දමන හිඟුරාන පැත්තට වතුර දෙන දකුණු  ඉවුර ගැන , කල්මුණේ, අක්කරේපත්තුව  පැත්තට ඇදෙන  රිවර්  විෂන් එක ගැන අපි දිගටම කතා කරා. 
ඒත් අපි අම්පාරේ ගිය අගෝස්තු 25 වෙනකොට ජලාශය හොඳටම දුප්පත් වෙලා. ජලාශේ මුළු ධාරිතාවෙන් සීයෙට තුනක්  විතරයි  වතුර තිබ්බේ . හරියටම  කියනවානම් අක්කර අඩි විසි එක්දහස් හයසීයයි. 

අපිට සති අන්තේ සියලු ආගන්තුක සත්කාර කරපු අම්පාරේ වාරිමාර්ග අධ්‍යක්ෂවරයා මෙහෙම කිව්වා. 

"ජලාශේ වතුර ඔය ගානට අඩු වුනේ මෑත ඉතිහාසේ පළවෙනි වතාවට . ඉතින් බිබිල පැත්තට වැස්සොත්  තමයි මේකේ වතුර පිරෙන්නේ. දැන් ගොවියෝ යල කන්නේ වගා කරන්න සුදානම් වෙනවා. තව හිඟුරානේ  උක් ගොවීන්ටත් වතුර ටිකක් දෙන්න ඕනි .

අනික වතුර අඩුවෙනකොට බැලන්ස් කරන්න ඕනි දේවල් ගොඩක් තියෙනවා. වතුර  හිඳෙනකොට මාළු මැරෙන්න පටන් ගන්නවා. අපි ධීවර සමිතිවලට කියල වතුර අඩු වෙන්න කලින් වැඩිපුර මාළු අල්ලන්න කිව්වා . සමහර ඇලවල්වල වතුර සීමා කරලා දෙනකොට මිනිස්සු අතර  ප්‍රශ්න ඇති වෙනවා .  ජනවර්ග කීපයක මිනිස්සු ඉන්න නිසා ප්‍රශ්නේ හරි සංවේදීව විසඳන්න ඕනි.  මෙහෙ තියෙන ගොවි සමිති , පොලිසිය එහෙම හොඳ තේරුම් ගැනීමකින් වැඩ කරන එක ලොකු දෙයක් ".

වාරි මාර්ග ඉන්ජිනේරුවෙකුට කරන්න තියෙන රාජකාරී වපසරිය තාක්ෂණ දැනුමින් එහාට ගිය ලොකු මෙහෙවරක් කියල මට පළමු වතාවට  තේරුම් ගියේ එදා තමයි. 

මම ඒ ගමනෙන් පස්සේ දවසක් ඇර දවසක් අපේ යාළුවාට කතා කරනවා. 
කොහොමද වැස්ස ආවද. වතුර පිරුනද ? 

පහුගිය දහ වෙනිදා කතා කරනකොටත් වතුර මට්ටම එහෙම්මමයි . එත් බලාපොරොත්තු සහගත කතා දෙකක් කිව්වා. 

 " කාලගුණ වාර්තාවල හැටියට  මේ දහතුන් වැනිදායින් පස්සේ වැස්ස එනවලු.  දැන් මාළු මැරෙන ප්‍රශ්නේ විසඳිලා . ඉන්න ටික අර පොඩි පොඩි වතුර පිරිච්ච තැන්වලට සේන්දු වෙලා ' 

අද මේ ලිපිය ලියන්න පටන් ගනිද්දීම මම ආපහු අම්පාරේ මිත්‍රයට කතා කරා.  
කොහොමද. වැව පිරෙන්න පටන් ගත්තද ? 

"ඔව්. බිබිල  පැත්තට පොඩි වැස්සක් දෙකක් ඇවිල්ල. දැන්නම් දිගටම වහියි"


-මතු සම්බන්ධයි- 

25 comments:

  1. ගල ගල ගා ගලන ගල ඔය පටන්ගන්නෙ අපේ ගමෙනි. වතුර ඔබලාගේ වුණාට ගල ඔය සහ කන්ද මගේය! 😇

    ReplyDelete
  2. http://amaleymunasinghe.blogspot.com/2015/03/blog-post_13.html

    ReplyDelete
    Replies
    1. ඒ කවිය ලස්සනයි . උපුටා පල කරන්නත් හිතුනා . ඒත් අවසර ගන්න ඕනිනේ

      Delete
  3. අක්කරෙයිපත්තුවට නං වහිනවා.

    ReplyDelete
    Replies
    1. හිඟුරානටත් වැස්සා ඒ දවස්වලම

      Delete
  4. සුන්දර කතාවක්... මමත් අගෝස්තු 9-10 අම්පාරෙ ගියේ.. ඉඟිනියාගල යන්න වෙලාව මදි උනා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි , ඉඟිනියාගල යන්නම ඕනි ගමනක්

      Delete
  5. "අම්පාරට මං යනකොට
    ජලාසෙ හොඳටම දුප්පත්"
    හරිම සොඳුරු ලියැවිල්ලක්
    තිලක සිතත් සොඳුරු සිතක්

    මුළු රටටම බත හදන්න
    ගල්ඔය ගිය මුල් පිරිසට
    උළුවස්සක් සහ මුදලින්
    රුපියල් තිහකුත් දුන්නලු
    එකල තිබුණ ආණ්ඩුවෙන්!

    මහපොලවත් එක්ක හැපිල
    දුක පමණක් දරාගෙනම
    ඒ පොලවෙම මියැදුන බව
    ගල්ඔය ගිය මුල් ගොවියෝ
    මං අහලා තියෙන කතා!

    ReplyDelete
    Replies
    1. මේ අපූරු කවි පොඩියට
      උත්තරයක් ලියා ගන්න
      සති හතරක් ගියා ඔන්න
      සමාවෙලා ටිකක් ඉන්න

      Delete
  6. බිබිල, අම්පාර, ගල්ඔය ව්‍යාපාරය වගේ පැති වල යද්දී කියලා තේරුම් කරන්න අමාරු හැ‌‌ඟීමක් එනවා.. අනේ මේ අපේ බත් ගම් නේද කියලා වගේ..

    ReplyDelete
    Replies
    1. රටට කන්න දෙන බත්ගම් තමයි ඒ

      Delete
  7. නිල්ගල ජාතික වනෝද්‍යානයට ගිය වෙලාවක, අප කැටුව ගිය වනජීවී නියාමක රණවීර ගලඔය වේල්ල අසලදී කීවා "තවමත් අම්පාර පැත්තේ මිනිස්සු බත් පිඟාන අතට ගත්තු ගමන් මුල්ම කෑම කට නොකා පිඟානේ අයිනක තියනවා, ඩී.එස්. සේනානායක මහත්තයට පින් දීලා." කියල. ඒ තරමටම, ඒ පැත්ත පණ ගහල ඇවිත් තියෙන්නේ සේනානායක සමුදුරෙන්.

    එහි වැව් බැම්ම මත, පුන් පෝ දවසක රැයක් ගත කිරීමේ (විරල අවස්ථාව) අපට ලැබුණා (විල්පත්තුවෙදී බෝම්බයකින් මරු වසඟ වුණු) පුෂ්පානන්ද මහතා නිසා! එතුමාට යළි නිවන් සුව පතන්නටත් හිතුණා; පැතුවා, ඔබේ සොඳුරු ලියවිල්ල නිසා.

    ReplyDelete
    Replies
    1. පුෂ්පානන්ද හොඳ මහත්තයෙක්. මම 1995 සිට 2001 දක්වා අම්පාර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරන විට ඔහු Galoya National උද්‍යානයේ පාලකවරයා විය. කොහොමද සුදත් ගමගේ මහත සනීපෙන්ද?

      Delete
    2. අපුරු මතක සටහන් එකතු කලාට ඔබ දෙදෙනාමටම ස්තුතියි , . Techband මගේ මිතුරා සුදත්හො ගමගේ ඳින් ඉන්නවා . දැන් උනන්දුවෙන් තව ලියන්න දේවල් එකතු කරනවා

      Delete
  8. ඉඟිනියාගල දුම් කරවල (smoked fish) තියනව.
    අම්පාර නගරය ලඟ තියන වැවේ නම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ඒක අම්පාර වැව . මම ඊළඟ ලිපියෙන් මේ ගැන ලියන්නම් ප්‍රා

      Delete
  9. ගිහින් ඇහින් දැකල ආවා වගේ දුක.. බිබිලට වහිනවද දන්නේ නෑ.. හොයල බලන්න ඕනි.. :'(

    ReplyDelete
    Replies
    1. හොයලා බැලුවාද සුමිත් ? විස්තර හොයාගෙන එන්න

      Delete
  10. මටත් තිබ්බ ප්‍රශ්නයක් කතරගම කොහොමද අයිති වෙන්නේ මොණරාගල දිස්ත්‍රිකයට කියලා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ. මොනරාගල දිස්ත්‍රික්කේ සෑහෙන පැතිරිච්ච එකක්

      Delete
  11. ඔබ ඔබේ මිතුරා සහ අවම වශයෙන් ඔහුගේ නම ගැන කිසිවක් සඳහන් කර නැත

    ReplyDelete
    Replies
    1. ඔහු දැන් අම්පාර ගැන පොතක් ලියන්න තරම් උනන්දුවක ඉන්නේ. ඉස්සරහට වාරිමාර්ග අධ්‍යක්‍ෂක සුදත් ගමගේ කියන නම කවුරුත් දැන ගනීවි

      Delete