අපේ කන්තෝරුව පිහිටා ඇත්තේ බෝලේවාර්ඩ් ඒකකය. එනම් දෙපස ගස් වැවුණු නිස්කලංක මංපෙතක දෙපැත්තේ පිහිටි ගොඩනැගිලි පෙළක් ලෙසය. මේ එක් එක ගොඩනැගිලි අතරත් මල් පඳුරු හා දිය පොකුණු නිර්මාණය කර තිබේ . කන්තෝරු මිදුලට බැස බලද්දී මීටර් පන්සියක් විතර දුරින් වනාන්තරයක් පෙනෙයි . මම හිතුවේ මේ පෙනෙන කඳුගැටය වසාගත් අක්කර කිහිපයක වනරෝදක් වන්නට ඇත කියාය. ඇරත් ලෝකයේ ජනගහනය වැඩිම මෙගා නගරයක් වන මෙහි මිලියන් දහසයක් වන ජනී ජනයාට වාසස්ථාන හා රැකියා ස්ථාන ඉදිකළාට පසු තව වනාන්තරයකටත් ඉඩක් තිබේද . නගරයේ ඇතැම් තැන්වල එකදු බිම් අඟලක් ඉතිරි නොවන සේ තට්ටු නිවාස ඉදිකර තිබුනත් උද්‍යාන හා විවේක ස්ථාන සඳහා ඇතිපදම් ඉඩකඩද වෙන්කරගෙන තිබේ. එසේ වෙන්කරගත්තටත් පසු නගරය මැදම වනාන්තරයකුත් රැකගෙන තිබෙන්නේ කොහොමද ? මේ ගැන විමසීමේදී මට දන ගන්නට ලැබුනේ මේ එසේ මෙසේ වනාන්තරයක් නොව අක්කර දහතුන්දාහක් පමණ වන ඉතිහාසය පුරා සුරැකිව රැකගන්නා වන සම්පතක් බවයි. ඒ නිසා මට පෙනීගියේ ඉස්තාන්බුල් නගරවාසීන් කෙසේ හෝ නිදහස් භුමි හා වනාන්තර එසේම රැක ගනිමින් තම විසල් ජනගහනය සඳහා ඉදිකිරීම් අනෙක් ඉතිරි වී ඉඩකඩේ අසීරුවෙන් හෝ කරගන්නා බවයි .
බෙල්ග්‍රේඩ් නුවර වැසියන් මෙරටට එන්නට ඇත්තේ ඩැනියුබ් ගඟ දිගේ ඇවිත් කලුමුහුද හරහාය . කෙසේ වුවද බෙල්ග්‍රේඩ් වනය ඔටෝමන් අධිරාජ්‍ය කාලයේත් ඉන්පෙර රෝමන්වරුන්ගේ කාලයේදීත් නගරවසියන්ට අවශ්‍ය ජලය දෙන උල්පත් රක්ෂිතය ලෙස රැක බලාගෙන තිබේ. මේ නගරයේ තැන තැන දකින්නට ලැබෙන ඉපැරණි ආරුක්කු පාලම් ආකාරයේ ජලමාර්ග කඳු අතර යාකරමින් ඉදිකර තිබේ. බෙල්ග්‍රේඩ් වනපෙත ඇතුලතත් ඉතිහාසගත ජලාශ්‍ර, වැව් බැමි, හා ජලපාලම් වල නටබුන් ඉතිරිව තිබේ. නගරයේ තැන කිහිපයක අදටත් හොඳින් සංස්කරණය කර පවත්වාගෙන යන ඉපැරණි ආරුක්කු පාලම් කිහිපයක් තිබේ. ඒවා ඉදිකර ඇත්තේ කඳු දෙකක් අතර නිම්නය හරහා අනෙක් පසට ජලය ගෙන යාමටය. සමහරක් ආරුක්කු පාලම් මත ඉදිවූ ඇළ මාර්ග දිගේ ගලාගියේ බෙල්ග්‍රේඩ් වනයේ උල්පත්වලින් උපන් වතුරයි.
අප වනයට පිවිසුනේ අපේ කන්තෝරුව ආසන්නයේ තිබු සිස්ලි දොරටුවෙනි . වනපෙතට ඇතුල්වෙන තැනම විශාල වාහන නැවතුම්පලක් තිබුණු අතර ඉන් ඉදිරියට පයින් යා යුතුව තිබුනේය. මුල්ම කොටස ජනතාවට ඇවිදිය හැකි , විනෝද විය හැකි භෝජනාගාර , ඇවිදින මංපෙත් හා විවේක ස්ථාන ආදියෙන් සමන්විත විය. වනයේ සමහර ප්‍රදේශවලට විශේෂ අවසරයකින් තොරව සාමාන්‍ය ජනයාට පිවිසෙන්නට බැරිය. ඒවායේ ඇති සුවිශේෂ පරිසර පද්ධති හා නටබුන්වල ආරක්ෂාව සඳහා එසේ කර තිබේ. අප එහි ගියේ මෙරට ළමා දිනය වෙනුවෙන් රජයේ නිවාඩුවක් ලබා දී තිබු පසුගිය අප්‍රේල් විසිතුන් වැනිදාය .
අප යනවිටත් සිය දු දරුවන් සමග වනපෙතේ ඇවිදීමට දෙමප්ව්පියන් බොහෝ පිරිසක් පැමිණ තිබුණි. විවේකාගාර අසල ළමා චිත්‍ර හා මුර්ති තරග පැවැත්විණි . ළමයින් හා පරිසරය ලංකර තැබීමට වෙහෙසෙන නගරවාසින්ද ඒමට සිටින බව මට පෙනිණි. එක අතකට නවීන හා ඉපැරණි ගොඩනැගිලි පිරි කොන්ක්‍රීට් වනයක් යයි මා මුලින් සිතු නගරය ස්වභාවික ජීවයෙන් පිරුණු දැවැන්ත වනයක් හා තැනින් තැන ස්වභාවික කලාප නඩත්තු කරයි.
අප මුලින්ම ගිය ගමනේ දවස පුරාම වනපෙතේ අවිද්ද්මු. බඩගිනි වූ විට යලි වනදොර අබියස තිබු අවන්හලෙන් කෑම ගත්තෙමු. ඕක් , බිච් හා චෙස්ට්නට් බහුලව තිබුණු වනයේ මටනම් ඒකාකාරී බවක් පෙනුනේය. එසේවන්නට ඇත්තේ නිවර්තන වැසි වනාන්තර බහුල ශ්‍රී ලකාවේ වනාන්තරවල ජීව විවිධත්වය ඉතා ඉහළ මට්ටමක තිබෙන නිසා වන්නට ඇත . එහෙත් බෙල්ග්‍රේඩ් වනය ඉතා විශේෂ ශාක හා සත්තව වර්ග වෙසෙන ස්වබාවික පරිසරය ගැන අධ්‍යයනය කිරීමට බොහෝ දෙනා යන එන පරිසර සරසවියකි .
සමනල වර්ග හා උරග වර්ග රාශියක් එහි වෙසෙති. මුවන් , නරියන් හා වල් ඌරන්ද , ඉඳ හිට වෘකයන්ද මෙහිදී හමුවේ.
මේ වනය කුරුළු ලෝලීන්ගේ ප්‍රියතම නැරඹුම් කලාපයකි. කොට්ටෝරුවන්, වවුලන්, රොබින් හා නෛටින්ගේල් වැනි පක්ෂි වර්ග රාශියක්ද මෙහිදී බලන්නට පුළුවන. කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොන්සුලර්වරයා වන ධර්මසිරි විජේවර්ධන සිය දරුවන්ගේ පෙරැත්තය නිසා බෙල්ග්‍රේඩ් වනයේ කුරුල්ලන් බලන්නට තකහනියක් පැමිණ සිටි ගමනේදී මට හමු විය . ඔවුන් වනපෙතට ඇතුළු වී තිබුනේ නගරයේ අනෙක් අනෙක් ඇන්තයෙනි . එම ගමනේදී විශාල ජලාශයක් හා මනරම් බුමි දර්ශනද හමු වේ . කොහොමත් ඉස්තාන්බුල් නගරය තනිකර කඳුකර කලාපයක් නිසා බෙල්ග්‍රේඩ් වනයේ පිහිටීම පුරාණ නගරවාසීන් සිය වාසියට හරවාගෙන තිබේ . ඔවුන් ජලාශවල වතුර රැස්කරගෙන මුළු නගරයේම ජන අවශ්‍යතාව සපුරාගෙන ඇත. බුගත ජලය තිරස් උමන්, ආරුක්කු ජලපාලම් හා ක්‍රමවත්ව ගල් ඇතිරූ ඇළ මාර්ග හරහා නගරයට සපයාගෙන ඇත . විසිවන සියවසට පෙර ඔවුන් නගරයේ තැන තැන තිබු පොකුනුවලට ජලය රැස් කරවූ අතර. ජනයා බඳුන්වල පුරවාගෙන සිය නිවෙස්වලට රැගෙන යන්නට ඇත . දේවස්ථාන හා ප්‍රභූ නිවාසවලට වෙනම ජලය සපයා තිබේ. සමහර ස්ථානවල පමණක් ඊයම් ජලනල හා සෙරමික් බට යොදාගෙන තිබු බව කියවේ.
19 වන සියවස වනතුරු නිවාස සඳහා ජලනල භාවිත කිරීම ගැන සඳහන් වන්නේ නැත . ඒ වෙනුවට පොදු නාන ස්ථාන තිබී ඇති අතර සංචාරකයන් අතර ජනප්‍රිය ටර්කිෂ් හමාම් නාන නිවස්න අදටත් මෙහි තිබේ .
බෙල්ග්‍රේඩ් වනයේ දිය උල්පත් කලක් ඉස්තාන්බුල් නගරයේ සමස්ත ජල අවශ්‍යතාව සැපයුවා වුනත් අද වනවිට ජනගහනය බෙහෙවින් වැඩි වී තිබෙන නිසා නගරයට් ජලය සපයන්නට වෙනත් මුලාශ්‍ර කිහිපයක් එකතු වී තිබේ.
බෙල්ග්‍රේඩ් වනාන්තරය එහි ස්වභාව සෞන්දර්යය හා ඓතිහාසික වටිනාකම නිසා වැදගත් වෙයි. එමෙන්ම සිය කාර්යබහුල නාගරික පරිසරයෙන් මිදී සුන්දර පලා යාමක් සඳහා සුදුසු කෙම්බිමක් ලෙස එයට නගර වැසියන් විසින් ගැඹුරින් ආදරය කරයි. එය නාගරික ජීවිතය ස්වභාවධර්මයට බැඳ තබන අතර ඉස්තාන්බුල්හි ජීවිතය සැහැල්ලු කරන සම්පතකි .
මේ පිරිසිදු ජල මුලාශ්‍රය ඉතිහාසය පුරා පවිත්‍රව තබා ගැනීමටත් වනපෙත රැකබලාගෙන එය නගර දිවියේ අත්‍යවශ්‍ය අංගයක් විදිහට සලකන්නටත් නගර වැසියන් උත්සහ ගෙන තිබේ . ඒ වගේම එසේ ලබාගත් ජලය පිරිසිදුව අපවහනය කරන්නටත් ඔවුන් පියවරගෙන තිබේ. මිලියන් දහසයක් මිනිසුන් වෙසෙන ජනාකීර්ණ නගරයක එකදු උතුරා යන කාණුවක්වක්වත් දුගඳ හමන දිය පහරක්වත් මා දුටුවේ නැත.
ReplyReply allForward |
No comments:
Post a Comment