Saturday, February 7, 2026

මැටි ගොඩක් ගිය දුර හෙවත් බෙන්ටොනයිට් විසිතුර

 

Source: https://lonestarbarite.com/

පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ පළමු වසර සිසුවකුව සිටියදී, කර්මාන්තශාලා වාත්තු වැඩ පුහුණුවේදී මුල්වරට මම ‘බෙන්ටෝනයිට්’ දුටුවෙමි. ඒ අතට හසු වූ අළු දුඹුරු පැහැති සිනිඳු මැටි කුඩු විශේෂය පිළිබඳ මේ තරම් දේවල් කතා කරන්නට තිබේයැයි මම එදා සිහිනෙකිනිදු නොසිතුවෙමි. ඉන් පසු මා රැකියාව කළ ශ්රී ලංකා රාජ්ය ඉංජිනේරු සංස්ථාවේදීත් තව බොහෝ ඉදි කිරීම්වලදීත් මට බෙන්ටෝනයිට් හමු විය. වෙනෙකක් තබා, එය කසක්ස්තානයේදීත් මැදපෙරදිග උමං ඉදි කරන තැන්වලදිත් තුර්කියේ දුම්රිය මාර්ග ව්යාපෘතිවලදීත් මට යළි යළිත් හමු විය. මුලින්ම එය පෙනුණේ වාත්තු කර්මාන්තයේ අච්චු බැඳ තැබීමට වැලි සමඟ මුසු කර භාවිත කරන තවත් එක් කාර්මික ද්රව්යයක් ලෙස පමණි. එහෙත් පසුව ප්රායෝගික සිවිල් ඉංජිනේරු ක්ෂේත්රයට පිවිසෙන විට, ඒ මැට්ට හෙවත් බෙන්ටෝනයිට් පිළිබඳ අවබෝධය සම්පූර්ණයෙන්ම වෙනස් විය.

බෙන්ටෝනයිට් යනු හුදෙක් වෙළෙඳපොළේ ඇති පාෂාණ කුඩු වර්ගයක් නොවේ. පාලම් පයිලින්, ගැඹුරු කැණීම්, යටිබිම් සේවා මාර්ග පද්ධති වැනි නූතන ඉදිකිරීම් ක්ෂේත්රවලදී, එය මේ වන විට අනිවාර්ය සහකරුවෙකි. බොහෝ විට අපට නොපෙනෙන නමුත්, ඉදිකිරීම් කාර්යයන් ආරක්ෂිතව සිදු වීමට පසුබිම සකස් කරන මූලික ද්රව්යයක් ලෙස බෙන්ටෝනයිට් කටයුතු කරයි. බෙන්ටෝනයිට් යන පස් වර්ගය අවුරුදු මිලියන ගණනක් මහපොළොවේ සෙසු පාෂාණ මෙන්ම අමුත්තක් නැතිව තිබුණා වුවද දහනවවැනි සියවස අගදී අමෙරිකාවේ වයෝමින් පළාතේ බෙන්ටන් භූ විද්යා කලාපයේදී හමු වූ අමුතු මැට්ටක් ගැන කෙරුණු පිරික්සුම් දුරදිග යෑම නිසා බෙන්ටෝනයිට් ලෙස නම් වූ අරුම පුදුම පාෂාණය ගැන ලොවට දැනගන්නට ලැබිණි. එය විසි වැනි සියවසේ මුල පටන් ඉදිකිරීම් ක්ෂේත්රයේ නොයෙක් අංශවල සිය අණසක පැතිරෙවුවේය.
භූ විද්යාත්මකව බෙන්ටෝනයිට් නිර්මාණය වන්නේ ගිනිකඳු අළු දිගු කාලයක් තුළ රසායනික විපර්යාසයට ලක් වීමෙනි. මෙහි ප්රධාන සංරචකය වන්නේ ‘මොන්ට්මොරිලොනයිට්’ නම් ඛනිජයයි. මෙය ස්තරමය ඇලුමිනෝ-සිලිකේට් ඛනිජයක් වන අතර, එහි විශේෂත්වය වන්නේ ස්තර අතරට ජල අණු ඇතුළු වූ විට අතිශය ලෙස ඉදිමීමයි. මේ ඉදිමීමේ හැකියාව නිසාම, බෙන්ටෝනයිට් වෙනත් සාමාන්ය මැටි වර්ගවලින් සම්පූර්ණයෙන්ම වෙනස් හැසිරීමක් දක්වයි.
ඉංජිනේරුමය වශයෙන් බෙන්ටෝනයිට් වටින්නේ එහි ඉහළ ප්ලාස්ටික් ගුණය සහ ඉදිමීමේ හැකියාව නිසාය. විශේෂයෙන්ම සෝඩියම් බෙන්ටෝනයිට් වර්ගය, තමන්ගේ මුල් පරිමාවට සාපේක්ෂව කිහිප ගුණයක ජලය අවශෝෂණය කරමින් නොබිඳී පරිමාව වැඩි කරගනිමින් පැවතිය හැකිය. මෙය පසෙහි ඇති සියුම් සිදුරු වසා දමා, ජලය කාන්දු වීම පාලනය කරන ස්වාභාවික බාධකයක් ලෙස ක්රියා කරයි. එනිසා අප බෝඩ් පයිලින් ලෙස හඳුන්වන පාලම් හා ගොඩනැඟිලි පාදම් ඉදි කිරීමේදී වැදගත් කාර්යයක් ඉටු කරයි. පොළොව මට්ටමේ සිට ගැඹුරට මීටර් විස්ස තිහ දක්වා ගැඹුරු වූත් මීටර් දෙකක් පමණ දක්වා විෂ්කම්භයක් ඇත්තා වූත් සිදුරක් විදුම් යන්ත්ර හෝ පීඩන ක්රම මඟින් පොළොවේ විද්දාට පසු සිදු විය හැකි දෙය ඔබට තේරුම් යනු ඇත. මේ ගැඹුරු සිදුරේ බිත්තිවල පස් කඩාවැටී, යළි සිදුර පිරවීයෑම වළක්වාගත යුතුය. එවිට බලාපොරොත්තු වූ පරිදි සිදුර තුළට යකඩ වැරගැන්නුම් කූඩුවක් බස්සවා, ඉන් පසු කොන්ක්රීට් පුරවාගත යුතුය. ඒ සඳහා අඩු වියදම් ශක්තිමත් බිත්ති ආවරණයක් තිබිය යුතුය. මෙන්න මේ අවශ්යතාව සඳහාත්, පොළොව ගැඹුරට හෑරීමේදී හමු වන පස් මඩ දියරයක මුසු කොට මතුපිටට ගෙන ඒමටත් මේ අපූරු පාෂාණය හෙවත් බෙන්ටෝනයිට් උදවු වේ. එසේ වන්නේ එහි ඇති අතිශය කුඩා අංශු, ඒවායේ හැඩය හා එම අංශුවල මතුපිට රසායනික ගතිගුණය. මේ අපූරු ස්වාභාවික පිහිටීම නිසා ඉතා වැඩි ජල ප්රමාණයක් රඳවා තබාගැනීමට බෙන්ටෝනයිට් මිශ්රණයකට පුළුවන.
අප මේ ආකාරයෙන් රත්නපුර බළන්ගොඩ පාරේ සමහර පාලම් ඉදි කරද්දී බෙන්ටෝනයිට් තැවරූ පයිලින් සිදුරුවල බිත්ති නොබිඳී තබාගැනීමට බැරි වීම මෙහිලා අතුරු කතාවක් ලෙස කියන්නට සිතිණි. එයට හේතුව: එම ප්රදේශයේ පොළොවේ බොහෝ ලොකු කුඩා පබළු ගල් තිබීමය. මේ පාෂාණ ස්වභාවය නිසා ඒ කලාපයේ බහුලව මැණික් ඉල්ලම් තිබේ. මේ වටකුරු ලොකු කුඩා පබළු ගල් පොළොවෙන් තෙරපී, බෙන්ටෝනයිට් ආවරණය කඩාගෙන වළ තුළට රිංගාගැනීම නිසා අපට මයික්රෝ ටනලින් නම් වූ අලුත් තාක්ෂණයක පිහිට පතන්නට සිදු විය.
ඒ කෙසේ වෙතත් මා සම්බන්ධ වූ ව්යාපෘති කිහිපයකදී අපි ලුනාව අවට බොහෝ පාලමුත්, මඩකලපු ත්රිකුණාමල පාරේ සමහර පාලමුත් ඉදි කරද්දී බෙන්ටෝනයිට් යොදාගතිමු. ඉන් පසු කටාර් රාජ්යයේදී පොළොව මට්ටමේ සිට මීටර් තිහක් ගැඹුරෙන් පොළොවට සමාන්තරව ඇදී ගිය කිලෝමීටර් දහයක මයික්රෝ ටනල් හෙවත් ක්ෂුද්ර උමං ඉදි කරද්දී යළිත් බෙන්ටෝනයිට් මඩ දියරයේ ප්රයෝජන ලබාගන්නා හැටි මම දුටුවෙමි.
මේ සියලු අවස්ථාවල, සිදුරු බිත්ති කඩාවැටීම වැළැක්වීමට බෙන්ටෝනයිට් මිශ්රණයක් භාවිත කෙරේ. මේ දියර මිශ්රණය මඟින් සිදුරු බිත්තිය මත ඉතා තුනී ස්තරයක් සැදී, පස ස්ථායි කර තබන අතර, භූගත ජල පීඩනයද සමතුලිත කරයි. එබැවින් බෙන්ටෝනයිට් මෙහිදී හුදෙක් පහසුකමක් නොව, ඍජු ආරක්ෂක ක්රමවේදයක් ලෙස ක්රියා කරයි.
නවීන මයික්රෝ ටනලින් තාක්ෂණයේදීද බෙන්ටෝනයිට් පාෂාණයේ භූමිකාව අතිශය වැදගත්ය. පොළොව යටින් නළ හෝ උමං කැණීමේදී, කැණීම් යන්ත්රය සහ පස අතර ඇති ඝර්ෂණය අවම කිරීමට එය ලිහිසි ද්රව්යයක් ලෙස භාවිත කෙරේ. ඒ සමඟම කැණීම්වලින් ඉවත් කරන පස මතුපිටට රැගෙන ඒමට වාහක මාධ්යයක් ලෙසද බෙන්ටෝනයිට් මඩ දියරය ක්රියා කරයි. එසේ බොන්ටෝනයිට්වල දිය වූ හෝ මුසු වූ වෙනත් පස් සරල උපකරණ මඟින් පෙරා වෙන් කරගෙන බෙන්ටෝනයිට් යළි ප්රයෝජනයට ගන්නට පුළුවන. එසේ කරන්නට පුළුවන් වී තිබෙන්නේ බෙන්ටෝනයිට්වල ඉතා සුවිශේෂ වූ කුඩා අංශු සංයුතිය නිසාය.
ලෝකය දෙස බලද්දී, අමෙරිකාවේ වයෝමිං ප්රාන්තයේ බෙන්ටෝනයිට් නිධි විශේෂයෙන් ප්රසිද්ධය. එහි ඇති උසස් තත්ත්වයේ සෝඩියම් බෙන්ටෝනයිට් නිසා, බොහෝ රටවල් තම ඉදිකිරීම් ව්යාපෘති සඳහා ඒවා ආනයනය කිරීමට පුරුදු වී ඇත. ලෝක බැංකු වෙළෙඳ දත්ත අනුව, 2021–2022 වසරවලදී ශ්රී ලංකාවට වාර්ෂිකව ටොන් 9,000 ඉක්මවූ බෙන්ටෝනයිට් ප්රමාණයක් ආනයනය කර ඇත. 2023 අවුරුද්දේ රටේ ආර්ථික තත්ත්වය සහ ව්යාපෘති ක්රියාකාරිත්වය අඩු වූ නිසා මේ ප්රමාණය අඩු වීම පෙන්නුම් කරන්නේ රටේ ඉදිකිරීම් ක්ෂේත්රයේ ක්රියාශීලිත්වය රටට ගෙන්වන බෙන්ටෝනයිට් ප්රමාණයට සමානුපාතික බවයි.
වාර්ෂිකව ලෝ පුරා බෙන්ටෝනයිට් ටොන් මිලියන විස්සකටත් වඩා පොළොවෙන් හාරාගෙන වෙළෙඳපොළට නිකුත් කෙරේ. අපේ රටට වුවමනා ටොන් හත්අටදාහ මුළුමනින්ම වගේ ආනයනය කෙරේ. මා දැනට සේවය කරන තුර්කිය වාර්ෂිකව ටොන් මිලියන දෙකකට වැඩි ප්රමාණයක් බෙන්ටෝනයිට් හරාගනී. ගලිපොලි, බිගා, අන්කරා හා ට්රැබ්සෝන් ඇතුළු පළාත් ගණනාවක බෙන්ටෝනයිට් නිධි පිහිටා තිබේ.
මෙහිදී ශ්රී ලංකාවේ බෙන්ටෝනයිට් පාෂාණය නැතිද යන ප්රශ්නයට පිළිතුරු සෙවිය යුතුය. මුරුන්කන් ප්රදේශයේ සහ අම්පාර ඉරක්කාමම් ප්රදේශයේ පවතින මැටි නිධි පිළිබඳ සිදු කළ පර්යේෂණ, ඒවායේ ‘මොන්ට්මොරිලොනයිට්’ ඛනිජය සැලකිය යුතු ප්රමාණයකින් අඩංගු බව පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මේවා ඍජුවම සෝඩියම් බෙන්ටෝනයිට් ලෙස හැඳින්වීමට වඩා, ‘මොන්ට්මොරිලොනයිට් බහුල මැටි’ ලෙස හැඳින්වීම වඩා විද්යාත්මකය.
මිට අවුරුදු එකසිය පනහකට පෙර කාගේවත් විශේෂ අවධානය නොලබා මහ පොළොවේ සැඟවී තිබුණු නිකම්ම නිකම් මැට්ටක් ලොව වටිනාම ඉදිකිරීම් ද්රව්යයක් බවට ක්රමයෙන් පරිවර්තනය වීම අපූරු කතාවක් බව මට සිතේ.
( Silumina 08 Feb 2026 Tilakasiri Ekanayaka)

No comments:

Post a Comment