මගේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂ්යය සලකුණු වන්නේ අන්තර්ජාතික ව්යාපෘති සමඟ අත්වැල් බැඳ ගැනීමට මා තුළ වූ නොසන්සුන් උනන්දුවත් සමඟය. ශ්රී ලංකාවේ ක්‍රියාත්මක වූ විදේශීය ව්‍යාපෘතිවලින් ලද පළපුරුද්ද, කරදිය වළල්ලෙන් එපිට ලෝකය ගවේෂණය කිරීමට මට පාර කැපීය. මේ උනන්දුව මා හා සමානවම බෙදා ගත් මගේ සමීපතම මිතුරා වූයේ ඉංජිනේරු සමන් රංජිත්ය. කසාක්ස්තානයේ ඛනිජ තෙල් වැඩබිමක සේවය කරමින් සිටි ඔහු, මටද ඒ සඳහා අවස්ථාව උදා කර දුන්නේය. කසාක්ස්තානය, කටාර් රාජ්යය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල කීර්තිමත් ඉංජිනේරුවකු ලෙස සේවය කළ සමන්, මින් දස වසකට පෙර අප අතරින් වියෝ වූ අතර, අද මා මේ අත්දැකීම් සිංහල පාඨකයන් සමඟ බෙදා ගන්නේ ඔහුට උපහාරයක්ද පුද කරමිනි.
වර්ෂ 2007 අප්‍රේලයේ අලුත් අවුරුදු උත්සව අවසන් වූ විගස මා මවුබිමෙන් පිටත් වී ගියේ ජීවිතයේ පෙරළිකාර ගමනකට මුලපුරමිනි. එවකට ශ්රී ලංකාවේ කසාක්ස්තාන තානාපති කාර්යාලයක් නොතිබූ බැවින්, වීසා ලබා ගැනීම සඳහා මුලින්ම නවදිල්ලිය බලා යෑමට මට සිදු විය. සති දෙකක පමණ කාලයක් දිල්ලියේ රැඳී සිටිමින් අවශ්ය ලියකියවිලි සම්පූර්ණ කර ගත් මම මධ්යම ආසියාවේ විසල් රාජ්යය වන කසාක්ස්ථානය බලා පියාසර කළෙමි. මගේ ගමනාන්තය වූයේ එරට බටහිර කෙළවරේ, කැස්පියන් මුහුදට ආසන්නව පිහිටි සුප්‍රකට ටෙංගීස් තෙල් බිමයි. එහි සැලසුම් ඉංජිනේරු රැකියාවක් ලැබීම මගේ වෘත්තීය දිවියේ නව කඩයිමක් විය.
කසාක්ස්තානය යනු ශ්රී ලංකාව මෙන් හතළිස් ගුණයක් විශාල, ලොව නවවැනියට විශාලතම රාජ්යය වන අතර, අප කුඩා කල කියවූ සෝවියට් සාහිත්‍යයේ නිරන්තරයෙන් වර්ණනා වූ මහා ස්ටෙප් භූමියෙන් වැඩිම කොටසක් හිමිව ඇත්තේ කසාක්ස්තානයටයි.
මුලින්ම කසාක්ස්තානයේ පැරණි අගනුවර වූ ඇල්මටි නගරයට ළඟා වූ මම එහි රැයක් ගත කළෙමි. චීනයට ආසන්නව පිහිටි ඒ සුන්දර නගරයේ සිට අතිරෝ නගරය බලා යෑමට මහා ස්ටෙප් භූමියට ඉහළින් අභ්‍යන්තර ගුවන්යානයකින් පියාසර කිරීමට මට සිදු විය. අහසට පෙනෙන ඒ නිමක් නැති තැනිතලාව දෙස බලද්දී, මේ භූමිය ඔස්සේම දුම්රියෙන් දින ගණනාවක් ගිය මගේ මිතුරකු කළ විස්තරය මට සිහිපත් විය. කැස්පියන් මුහුද අද්දර පිහිටි අතිරෝ නගරය භූගෝලීය වශයෙන් යුරෝපයට අයත් නගරයකි. සුප්‍රකට වොල්ගා නදිය රුසියාව හරහා ගලා විත් කැස්පියන් මුහුදට එක් වන්නේද මේ නගරාසන්නයෙනි. අතිරෝ සිට තවත් කි.මී. 350ක් දකුණට වන්නට, කැස්පියන් මුහුදේ නැඟෙනහිර ඉවුර දිගේ විහිදුණු ඒ දීර්ඝ මාවත මුළුමනින්ම වැටී තිබුණේ මහා ස්ටෙප් තීරය මැදිනි.
ස්ටෙප් යනු වචනයෙන් විස්තර කළ නොහැකි තරම් අද්භූත සුන්දරත්වයක් සහිත භූමියකි. අහසත් පොළොවත් මුණගැසෙන ක්ෂිතිජය දක්වාම විහිදුණු, ගහක්-කොළක් නැති තැනිතලා කලාප එහි වැඩි කොටසක් වසා ගනී. වසරකට අඟල් 10 සිට 20 දක්වා වූ ඉතා අඩු වර්ෂාපතනයක් ලබන මේ අර්ධ ශුෂ්ක කලාපය, වනාන්තර සහ කාන්තාර අතර පවතින අතරමැදි ලෝකයක් වැනිය. රුසියානු භාෂාවෙන් ‘ස්ටෙප්’ යනු පැතලි තණබිම යන අර්ථය වුවද, එහි ඇත්තේ කර්කශ වූත්, විනයගරුක වූත් ගතියකි. කසාක්ස්තානයේ භූමි ප්‍රමාණයෙන් 40%ක් පමණ වන මේ භූමිය පෘථිවියේ ඇති දැවැන්තම කාබන් ගබඩාවක් ලෙස ක්රියා කරන අතර, ගෝලීය දේශගුණික රටාවන් පාලනය කිරීමටද එහි ඇති පස මහඟු දායකත්වයක් දක්වයි.
මේ දැවැන්ත කාර්මික මෙහෙයුම්වලට පරිබාහිරව, ස්ටෙප් භූමිය තවමත් ලෝකයේ වැදගත්ම කෘෂිකාර්මික කේන්ද්‍රස්ථානයකි. එහි උතුරු ප්‍රදේශවල ඇති ඉතා සාරවත් ‘චර්නොසෙම්’ හෙවත් කළු පස, ලොව විශාලතම ධාන්ය උල්පතක් ලෙස සැලකේ. තිරිඟු, බාර්ලි සහ සූරියකාන්ත නිෂ්පාදනයේදී මේ කලාපය ගෝලීය නායකත්වයක් උසුලයි. අතීතයේ සිටම මේ බිම ජල සංචාරක එඬේර ජීවිතයකට උරුමකම් කී අතර, අශ්වයන් සහ බැටළුවන් ඇති කිරීම අදටත් ප්රධාන ආර්ථික මූලාශ්‍රයකි. මහා යුරේසියානු ස්ටෙප් තීරය යනු මනුෂ්ය ඉතිහාසයේ සංචාරක ගෝත්‍රිකයන්ගේ නිවහන වූත්, අද වන විට ගෝලීය ආර්ථිකයේ මුල්ගලක් වූත් සුවිශේෂ පරිසර පද්ධතියකි. ලෝකයේ මුල්ම ඇපල් ප්රභේද, එනම් ටියුලිප් වර්ගද හමු වී ඇත්තේ කසාක්ස්තාන් ස්ටෙප් බිමෙන් බව සඳහනි.
ගමන අතරතුර අපේ වාහනය සෑහෙන වේලාවක් නතර කර ගෙන සිටින්නට සිදු වූයේ සෝවියට් යුගයට අයත් අතිවිශාල දුම්රිය ගැල් පෙළකට ඉඩ දෙන්නටය. තෙල් සහ යන්ත්‍රෝපකරණ පටවා ගත් ඒ දුම්රිය, වැළ නොකඩී යන කළු මකරුන් මෙන් දිස් විය. ඒවා යුගයක අභිමානය සහ කාර්මික ශක්තිය ලොවට කියාපාන නිහඬ සාක්ෂිකරුවන් බඳු විය. අතීතයේදී සේද මාවතේ ප්රධාන කොටසක් වූ මේ භූමිය, අද වන විට ලෝක බලශක්ති සහ වෙළෙඳ දාම යා කරන ‘යුරේසියානු ගොඩබිම් පාලම’ ලෙස හැඳින්වේ. මේ ස්ටෙප් භූමියේ දකුණු කලාපයේ 1961දී යුරි ගගාරින් අභ්‍යවකාශගත වූ බයික්නුර් මධ්‍යස්ථානය පිහිටා ඇත්තේය. ලොව ප්රථම අභ්‍යවකාශ යානය වූ ‘ස්පුට්නික් 1’ ගුවන්ගත වූයේද මේ ඓතිහාසික භූමියෙනි.
අතීතයේ ‘හිස් බිමක්’ ලෙස සැලකුණුමේ ස්ටෙප් තැනිතලාව, අද ලොව බලශක්ති අවශ්‍යතාව සපුරා ලන සුළං මෝල් සහ සූර්ය පැනලවලින් පිරුණු බලාගාරයක් බවට පත් වෙමින් තිබේ. මීට අමතරව යුරේනියම්, තඹ සහ රන් වැනි වටිනා ඛනිජ සම්පත් සොයා යන කැණීම් මධ්‍යස්ථානද මේ හුදෙකලා භූමිය සජීව කාර්මික කලාපයක් බවට පත් කර ඇත. අවසානයේ අප ළඟා වූයේ ලෝකයේ හයවැනි විශාලතම තෙල් නිධිය ලෙස සැලකෙන ටෙංගීස් වෙතයි. ඒ වන විට මේ කලාපය දිය වී යන සුදු හිමෙන් වැසී තිබිණි. එය මා දුටු වෙනස්ම ලෝකයක ආරම්භයයි.
පුදුමයකට මෙන්, එදා ඒ කසාක්ස්තාන ස්ටෙප් බිමේදී මා පසු කර ගිය ඒ දුම්රිය මාවතට මා දැන් සේවය කරන ඉස්තාන්බුල් නගරය දක්වාම පැමිණිය හැකිය. ඊට අමතරව මා සම්බන්ධ වී සිටින්නේද මේ මාර්ගයේම කොටසක් ඉදි කිරීමේ වැඩ සටහනකටය. චීනයේ සිට කසාක්ස්තානය හරහා පැමිණ කැස්පියන් මුහුදෙන් යාත්‍රාවකට ගොඩ වන වෙළෙඳ දුම්රිය, ඉන් පසු ඉස්තාන්බුල් හරහා යුරෝපයට යන බව මා දැන ගත්තේ මෑතකදීය. මා මේ කියන්නේ Trans-Caspian International Transport Route (TITR) හෙවත් අන්තර් කැස්පියන් අන්තර්ජාතික ප්‍රවාහන මාර්ගය ගැනය. අතීතයේ සිට පැවත ආ ස්ටෙප් මාවත අද වන විට ගෝලීය වෙළෙඳාමේ නූතන නහර පද්ධතියක් බවට පත්ව තිබේ. මගේ ටෙංගීස් තෙල් බිමේ අත්දැකීම් සහ එහි තිබූ සුවිශේෂ තාක්ෂණික ශික්ෂණය ගැන ඉදිරි ලිපියෙන් සාකච්ඡා කරමු. ටෙංගීස් මට කියා දුන් ලොකුම පාඩම නම්, සම්පත් තිබීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒවා කළමනාකරණය කිරීමට විනයගරුක මිනිසුන් සහ පද්ධති අත්‍යවශ්‍ය බවත්ය.
(කලකට පෙර තිලකසිතේ පළවූ ' කැස්පියන් හඳ' දිග කෙටි කතාවට පාදක වූ අත්දැකීම් අසුරුන් සිළුමිණට ලියන 'තාක්ෂණික' ලිපි පෙළක පළමුවැන්නයි )
No comments:
Post a Comment