අද, වසර විස්සකට ආසන්න කාලයකට පසු, ඉස්තාන්බුල් නගරයේ සිට බොස්ෆරස් දියවර දෙස බලා සිටින විට, එදා තෙංගිස්හි සේවය කරන කාලයේ මට නොතේරුණු බොහෝ දේ වඩාත් ගැඹුරින් තේරුම් ගත හැකිය. මන්ද යත්: තෙංගිස්හි බොරතෙල් සහ අප ඉදිරියේ දිස් වන බොස්ෆරස් නාවික මාර්ගය අතර ඍජු නමුත් නොපෙනෙන සම්බන්ධතාවක් තිබේ. එය නළ මාර්ග, දුම්රිය මාර්ග, නාවික මාර්ග සහ අන්තර්ජාතික ව්‍යාපාරික සහයෝගිතාවෙන් ගොඩනැඟුණු නූතන ලෝකයේ විශිෂ්ට යටිතල පහසුකම් ජාලයකි.
බොහෝ දෙනා සිතන්නේ තෙල් කර්මාන්තයේ ප්‍රධාන අභියෝගය වන්නේ බොරතෙල් පොළොව යටින් මතු කර ගැනීම බවයි. එහෙත් සැබෑ අභියෝගය ආරම්භ වන්නේ ඉන් පසුවය.
බොරතෙල්වල සැබෑ වටිනාකම තීරණය වන්නේ ඒවා ආරක්ෂිතව, අඛණ්ඩව හා ලාභදායි ලෙස ලෝක වෙළෙඳපොළ වෙත ගෙන යා හැකිද යන්න මතය.
ඒ සඳහා නිර්මාණය කරන ලද ලොව විශාලතම ව්‍යාපෘති අතරින් එකක් වන්නේ CPC හෙවත් Caspian Pipeline Consortium නළ මාර්ගයයි.
මෙය සැබෑ අර්ථයෙන්ම අන්තර්ජාතික කොන්සෝර්ටියමකි. කසාක්ස්ථානය, රුසියාව සහ අන්තර්ජාතික බලශක්ති සමාගම් එක්ව මෙය ක්‍රියාත්මක කරයි. තෙංගිස්, කෂාගන් සහ කරචගනාක් වැනි ලෝකයේ විශාලතම තෙල් ක්ෂේත්රවලින් නිපදවන බොරතෙල්, කිලෝමීටර් 1,500ක් පමණ දිග මේ නළ මාර්ගය හරහා රුසියාවේ කළු මුහුදු වෙරළේ පිහිටි නොවොරොසිස්ක් වරාය වෙත ගෙන යනු ලැබේ.
මේ මාර්ගය කසකාස්ථානයේ කැස්පියන් පහත් බිම්වලින් ආරම්භ වී රුසියාවේ ඇස්ට්රාකාන් ප්‍රදේශය, කල්මික් ජනරජය සහ ක්රස්නොඩාර් කලාපය හරහා ගමන් කර කළු මුහුද වෙත ළඟා වේ. අද කසකස්ථානයට ලෝක වෙළෙඳපොළ විවෘත කරන ප්‍රධාන ආර්ථික දොරටුවක් වන්නේ මේ නල මාර්ගයයි.
තෙංගිස් තෙල් ව්‍යාපෘතියේ ව්‍යාපාරික ව්‍යූහය ද ඉතා සිත්ගන්නාසුලුය.
Tengizchevroil නම් ඒකාබද්ධ ව්‍යාපාරයේ කොටස් Chevron, ExxonMobil, KazMunayGas සහ Lukoil අතර බෙදී ඇත. ඉන් සියයට 20ක කොටසක් කසකාස්ථානයේ රාජ්‍ය බලශක්ති සමාගම වන KazMunayGas සතුය. මේ අන්තර්ජාතික සහයෝගිතාව නොවී නම් මෙතරම් විශාල සම්පතක් සංවර්ධනය කිරීම කිසිදු රටකට පහසු නොවනු ඇත.
එහෙත් කතාවේ වඩාත් ආකර්ෂණීය කොටස ආරම්භ වන්නේ නොවොරොසිස්ක් වරායෙන් පසුවය.
නළ මාර්ගය ඔස්සේ පැමිණෙන බොරතෙල් මුහුදේ පිහිටි පද්ධති හරහා දැවැන්ත තෙල් නෞකාවලට පුරවනු ලැබේ. ඒ නෞකා කළු මුහුද හරහා ගමන් කර බොස්ෆරස් සමුද්‍ර සන්ධිය පසු කර මධ්‍යධරණී මුහුදට පිවිසෙයි.
අද මම ගාලාටා පාලම අසල හෝ උස්කුදාර් වෙරළේ සිට මේ නෞකා දෙස බලා සිටින විට, ඒවායින් සමහරක් තුළ මා සේවය කළ තෙංගිස් තෙල් ක්ෂේත්‍රයේ බොරතෙල් තිබිය හැකියැයි සිතේ.
( Silumina 14-06-2026 Tilakasiri Ekanayaka)

No comments:
Post a Comment