Sunday, June 16, 2013

බඹරුන් ආ දවස්

අමරසිරි පීරිස්ගේ  සංගීත  ප්රසංගයක්  ගැන ඉරිදා ලංකාදීපයෙන් කියවුයෙමි . එම ලිපියේ මාතෘකාව වුයේ ' වියපත් බඹරා' ගිය සතියේ මිතුරන් ටිකක් සෙට් වූ විටෙක අපි   'වියපත් බඹරා' ගීතය ගැන බොහෝ  වෙලා කතා කළෙමු
ඊයේ වෙනත් පුවතක මම කියෙව්වේ ගුරුතලාවේ විදුහලක දරුවන්ට එල්ල වූ බඹර ප්රහාරයක් ගැනය.කුඩා දරුවන්ගේ සියුමැලි සම තුලින් බඹර තුඩු ඇනී වේදනා දෙන විට ඔවුන් කෙසේ එය දරා ගන්නට ඇත්ද? වරක් මමත් බඹරුන් දෙදෙනෙකුගේ පහර කෑමට ලක්වුණා මතකය. කරන්ට් වැදුනා හා සමානව සිරුර  පුරා විහිදී ගිය  දැනීම අතිශයින් වේදනාකාරීයබඹරුන් ගැන මොන තරම් රස බර කවි සින්දු ලියවී තිබුනත් බඹරුන් මතක් වෙද්දී මගේ සිත නොමනාපයෙන් පිරී යන හේතු කීපයක් තිබෙයි.
මා උගත් පළමු කනිටු විදුහලට තිබුණේ එක විශාල  ගොඩනැගිල්ලකින් පමණි.  විදුහල්පති  කාමරයත් හෝඩියේ පන්තියත් කුඩා කාමර දෙකක් ලෙස හරස් බිත්ති වලින්  වෙන් වී තිබුනත් අනිකුත්  සියලුම පන්ති පැවැත්වුනේ එක ශාලාවකය. පාසල් ගොඩනැගිල්ලේ වීදුරු ජනෙල් හා දොරවල් සියල්ල  වසා තබන්නට පුළුවන් ලෙස ඉදි කර තිබුනේ නිරන්තරයෙන් පැවති   දැඩි සීතල නිසාය
එක වරම ගැමියෙකු පාසල අසල පාරේ සිට මුර ගෑවේය. 'ළමයි  ටික ඇතුලට ගන්ටෝ . බඹරයක් ඇවිස්සිලෝ!! .
මේ ආපදා කලමනාකරණ  අනතුරු හැඟවීමට ගුරුවරුන් හා ඉහළ  පන්ති වල ළමුන් කොතරම් යුහුසුළුව ප්රතිචාර දැක්වූවාද යත් විනාඩියකටත් අඩු කාලයකදී පාසල් පිටියෙත් මිදුලේ තැන තැන වලත්  සිටි සියලුම දෙනා වහා ප්රදාන ශාලාව තුලට දමා ජනෙල් දොරවල් වසා පාසැල සීල් කර දැමිණි.
සියලු දෙනා ජනෙල් අවට රොක් වී එකා දෙනා බැගින්  අවට කැරකෙන වියරු බඹරුන්ගේ ආගමනය රස විඳින්නට ගත්තා මතකය. එවිටම මහලු අම්මා කෙනෙකු සිය වරලසේ එල්ලී බෙල්ල මුහුණ  සිදුරු කරන බඹර  රංචුවෙන් බේරීමට උදවු ඉල්ලා හඬමින් පාසැල දෙසට දිව ආවය. බඹරුන් රංචු පිටින්  මේ අහිංසක මාතාවට පැන පැන  දෂ්ට කළේ  ආත්ම ගණනාවක් තිස්සේ පැවති  ජන්මාන්තර වෛරයක්  පිරිමසා ගන්නට මෙනි. ඇය පාසල් ගොඩනැගිල්ලේ ජනෙල් අසල දෑත උස්සා වනමින්  කෑ  ගසා උදව් ඉල්ලුවාය. මේ දර්ශනය කෙතරම් හද කකියනා සුළු එකක්ද යත් තරුණ ගුරුවරියන් හා ගැහැණු ළමයින්  ඉකි ගසා හැඬුවෝය. ඒත් එක කවුළුවක් හෝ  ඇරියොත් ඇතුලට රින්ගා ගන්න බඹර කැළ  කුඩා පන්ති වල ළමයින් විද දෂ්ට කරනු ඇත. මේ ආකාරයේ අවිනිශ්චිතතාවය නිසා විදුහල්පති තුමා වේගයෙන් එහා මෙහා ඇවිද යමින් සිටියා පමණකි. අවසානයේ අසරණ කාන්තාව විලාප දෙමින් ගම්මානය දෙසට හැරී ගියේ නොනැවතී එල්ල වන බඹර ප්රහාරය මැද්දේය. එදා සිට දින කීපයක් තිස්සේ මගේ හිතේ  බියක් තිබ්බේ මේ මහලු කාන්තාවට බඹර ප්රහාරය නිසා අතුරු ආන්තරාවක් වේවිදෝ කියාය. සතියකට දෙකකට පමණ පසු  එළවලු කුඩයකුත් රැගෙන අපේ හේ ලඟින්  යනවා දැකීමෙන් මගේ සිත සතුටින් ඉපිලී ගියේය. දේවදාර සුවඳත් මානා  පඳුරු පිස එන සිලි සිලියත් විඳිමින් සොම්නස් මුහුණින් ගිය ඇගේ මුහුනේ  බඹරුන් කෙරෙහි වූ කිසිදු අමනාපයක  සටහනක් නොවිණි.
බඹර අමනාප කම් වල දෙවන කතාවට සම්බන්ද වන්නේ මහාචාර්යවරයෙකි. ලතින් ග්රීක් ආදී සම්භාව් භාෂා පිලිබඳ  ආචාර්ය උපාදියක් දිනා සිටි හේ සංගීත විශාරදයෙකි. ඔහු පේරාදෙණියේ කළා පීටයේ අංශ  ප්‍රධානියෙකු විය. අක්බාර් ශාලාවේ ආදරණීය දසුනක් වූ ඔහුගේ රුව හා හවසට ඔහුගේ කාමරයෙන් ඇසෙන බට නලා නාදය අපි ආදරයෙන් වැළඳගත් මතකයකි .
ඔහුගේ අතින් අල්ලා ගෙන අක්බාර් පාලම හරහා මහවැලිය තරණය කරන්නට අක්බාර් ශාලාවේ සිටි අපට වරින් වර වාසනාව ලැබිණි. මහවැලි ගඟ ගලන සර සර හඬත් උණ පඳුරු වල  කොළ හැලෙන ශබ්දයත් ඔහු සවන් පුරා  වින්දේය. ලඟින් පියඹා ගිය බඹරෙකුගේ හෝ කුරුල්ලෙකුගේ  තටු සලන නාදයෙන් ඔහුගේ වත පිබිදී ගියේය. අපිට පෙනෙන රොබරෝසියා මල්වල පැහැයවත් ඇහැළ මල් විකසිත වෙන ලස්සන වත් ඔහුට නොපෙනුනත් කනට ඇසෙන දෙයින් හා සුදු සැරයටියේ තැවරෙන දෙයින් ඔහු ලෝකය උපරිමයෙන් රස වින්දේය.  
 දවසක් බඹරුන් රංචුවක් මහාචාර්යවරයාට විදින්නට පටන් ගත්තේ කවුරුත් ළඟ පාතක  නැතිව ඔහු තනිවම අක්බාර් පාලමෙන් මෙතෙර වීමට ආ වෙලාවකය. ඇවිස්සුනු බඹරය නිසා කිසිවෙකුට ඒ දෙසට යන්නට නොලැබුනි .
එතැන් සිට පාලමේ අනෙක් කෙලවරට රැස්වී කර කියා ගන්නට දෙයක් නැතිව සිටි පිරිස කී කතා ඇසූ මගේ හිතේ ඇතිවූ හැඟීම  හරියටම ඊට අවුරුදු පහළොවකට පෙර පාසලට බඹරුන් ආ දවසේ තිබු එකම විය.
ටික වෙලාවකින් කවුරුන් හෝ  බඹරුන් කද්දීම එතැනට පැමිණ කුඩා මෝටර් බයිසිකලයක නංවාගෙන මහාචාර්යවරයා රෝහලට ගෙන ගොස් තිබිණි.
එදා සිද්දියට සම්බන්ද වූ සියලු දෙනා අතරින් බඹරුන් කෙරෙහි අබමල් රේණුවකින්වත් අමනාපයක් ඇති කර නොගත්තේ මහාචාර්යවරයා පමණක්ම බව මම දනිමි 


11 comments:

  1. වටිනා ලියමන් ටිකක්.. වර්ඩ් වේරිපිකේසන් අයින් කලොත් කමෙන්ට් කරන්න ලේසියි අපිට..

    ReplyDelete
    Replies
    1. ස්තුතිය් අමිල වටිනා උපදෙස් සහ අගය කිරීම් වලට

      Delete
  2. ඔන්න සුබ පැතුවා.. තිලකසිරි අයියගේ ‍බ්ලොග් එකට.. මම නම් නොවැරදීම එනවා මේක කියවන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතිය් මල්ලි .ලොකු හයියක් ඔයාගේ වචන ටික

      Delete
  3. Good one ayya. Keep writing. We want to see more..

    ReplyDelete
  4. මචෝ..
    රසවත් අතීතය මෙනෙහි කරන්නාවු මෙවන් සුන්දර ලිපි තව තවත් ලිවීමට අවශ්ථාවත්.. ශක්තියත්..(වෙනත් ඒවාත් :D)... ලැබේවා....!!!
    - (උබේ බැචා)චින්තක.

    ReplyDelete
  5. මචං චින්තක උඹ දන්නා දවසේ ඉඳන් ඒ කියන්නේ අවුරුදු විසි පහක ඉඳන් මට ලියන්න දිරිය දුන්න. ලියන කියන දේ රස වින්දා . අගය කළා. ඒ මදිවාට ලෝකේ කොහේ හිටියත් email එකකින් හරි හැමදාම ලඟට එනවා. බොහොම ස්තුතිය් මචන්

    ReplyDelete
  6. රස වින්ද. අදට මෙච්චරයිමෙතෙන්ට එනකල් ඔක්කොම කියෙවුව පස්සෙ එන්නං අනිත්වා බලන්න

    ReplyDelete
  7. ඩොක්ටර් වීරක්කොඩි පසුගිය දිනක මිය ගිය බව දන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔවු ඒ ආරංචිය ලැබුනා

      Delete