පොඩි මාමා නැගෙනහිර ලංකාවේ අති දුෂ්කර ගමෙක කුඩා ඉස්කෝලෙක උගන්න
උගන්නා හිටියේ හිරිමල් ගැටයෙකු සන්දියේය. ඇසුවේ දශකය අග හරියේදී යුද බිය හා ඉඩෝරයෙන්
හෙම්බත් පරිසරයක දී සාගින්දරෙන් පෙළුණු පැටවුන් දවසකට හත් අට දෙනා ගානේ ඉස්කෝලේ ඇතුලේ කලන්තය දදා ඇද
වැටෙන සමයක ඔහු සෞඛයය හා සමාජ අධ්‍යයනය උගන්වමින් සිටියේය, පෝෂණය හා සහජීවනය ගැන පවා කියා දෙමින් සිටියේය.
ඉස්කෝලේ පැටවුන්ගේ කුසේ ගින්දරත් දුප්පත් කමත් ගැන අකම්පාලව
සිටි පොඩි මාමාගේ පඩියෙන් බාගයක්ම ඉස්කෝලේ ළඟ පෙට්ටි කඩෙන් පොඩි උන්ට ඕනෑ පොත් පත්
හා කිඹුලා බනිස් ගෙන්නා දෙන්නට වියදම් වුනේය.
පොඩි මාමා ගුරු රස්සාව අවසන් කරන්නට හේතු බූත වූ දවසේ පන්තියකින්
පන්තියකට මාරු වෙන්නට අඩි එහා මෙහා කරද්දී
අලුතින් ආ භූගෝල විද්‍යා ගුරුවරයා විසින්
ඉත්තෑ කුරු මෙන් කොණ්ඩය පුම්බා ගත් කනාටු කොලු
ගැටයෙකුට පහර දෙමින් සිටිනු දුටුවේය.
ගුරුතුමා කෝපයෙන් වියරු වැටී තමාව පාලනය කර ගන්නට බැරි තරම් රළු පරළු ලෙස අවුල්
වී සිටියේය. ඊට හපන් ගෝලයා. ගහන්ට ගහන්ට පුප්පමින් පහර දෙන්නා කුපිත කරවන ඇස් ගෙඩි දෙකින් කේන්තිය පිට කරමින් කරබාගෙනම ගුටි කමින්
සිටියේය.
අතේ තිබු කරදාසි මිටිය විසිකළ පොඩි මාමා සැනෙන් භූගෝල සර්ගේ
කමිසයෙන් අල්ලා ඉවතට ඇද 'ඇයි මහත්තයෝ කොල්ලාට ගහන්නේ. ඌ මොකක්ද කරපු වැරැද්ද ?'
උරුක් කරගත් අත්ල පොඩි මාමා දෙසට හැරවූ භූගෝල සර් කිව්වේ
'මු පොර කුකුලා වාගේ තිස්සෙම අනිත් උන් එක්ක රණ්ඩු කරනවා.
මේ දැන් එකෙකුට කියනවා මම අහගෙන ' කැවුතු කනවා' කියලා. එහෙම කුණු හරුප කියන්න ඉඩ දුන්නොත් මුන් අපිටත් ගහලා පන්නයි මෙහෙන්'. කියමින් ආයෙමත් පොඩි මාමා පෙරළාගෙන
ගොස් නොසන්ඩාල කොලුවා වෙත කඩා පැන්නේය .
දෙවන වරටත් භූගෝල විද්‍යා සර් පැත්තකට තල්ලු කර දැමු පොඩි
මාමා පොඩි එකාගෙන් මෙසේ ඇසුවේය. ඒයි උඹ දන්නවාද කැවුතු කනවා කියන එකේ තේරුම? පොඩි එකා නෑ යැයි කීවේ කිසි ගරු සරුවක්
නැතිවය. ඊළඟට මාමා පොඩි එකාගෙන් ඇහුවේ ඌ උදේට
කාලද කියලාය. පොඩි එකා හිස දෙපැත්තට වනමින් ' කැවුතු කනවා'
කියන ස්වරයෙන්ම මෙසේ කිව්වේය.
' දවස් තුනකින් බත් ඇටයක් දැක්කේ නෑ '
මෙවර යක්ෂාවේශයෙන් ආපසු හැරුණු පොඩි මාමා භූගෝල විද්‍යා ගුරුවරයාට පහර දෙන්නට
පටන් ගත්තේය.
ඒ අතරේම මෙසේද ගිගිරුවේය.
; දැන ගනින් කැවුතු කනවා කියන්නේ කුනුහරුපයක් නෙවෙයි දවස් තුනක් හරියට
කාපු නැති පොඩි එකෙක් කේන්තියට කියපු දෙයක් මිසක්ක. ඕනි එකෙකුට ගහන්න කලින් බලපන් ඌ බඩගින්නේ ඉන්න එකෙක්ද කියලා.
මේ ගාලගෝට්ටිය ගැන ඇවිස්සුණු ඉස්කෝලේ ලොකු පන්තිවල කොල්ලන් පිරිසක්ද සටන් බිමට
පැමිණි නිසා වහා සන්සුන් වූ පොඩි මාමා
ඔවුන්ද වලක්වා විදුහල්පති කාමරයට ගියේ රස්සාවෙන් ඉල්ලා අස්වෙන ලියුම ලියන්නටය.
පහුවදා ඔහු අම්පාරෙන් කොළඹට එද්දී අතේ තිබුනේ රුපියල් දෙසීයකි. ගුරු රස්සාවට යන්නට කලින් ඔහු ගෙදරින් පැන
ගොස් ටික කලක් රස්සාවක් කර තිබුණි. කොළඹ පිට්ටු බම්බු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් පටන්ගන්නා
කාලයේ වඩුවෙකුගේ අත් උදවු කාරයෙකු වූ ඔහු එතැනින්
අයින් වුනේ හොඳ වඩුවෙකු විදිහටය.
ඔහුගේ දෙවන ආගමනයෙන් පසු කොළඹ රටේදී ජීවිකාව වුයේද මේ වඩු රස්සාවමය. ගුරු රස්සාවෙන් වඩු රස්සාවට යලි ප්‍රවේශ
වූ පොඩි මාමා ඔහු දන්නා හඳුනන කීප දෙනෙක් සමග
එක්කාසු වී පැන්ට්රි කබඩ් හදන්නට පටන් ගත්තේය. කුඩාවට පටන් ගත් ව්‍යාපාරය
දවසට දෙකට දියුණු වෙන්න්නට පටන් ගත්තේ පොඩි මාමාද ගෝලයින් සමග හරි හරියට වැඩ කළ නිසාය. උදේ අටේ සිට රැ දොළහ වෙනතුරු වැඩ කළ නිසා
සල්ලිය භාගය යහමින් ගැවසෙන වියාපාරිකයෙක් වන්නට ඔහුට ගතවුයේ අවුරුද්දක් දෙකක් පමණි.
කරුණු කාරණා එසේ වුවත් ඔහු ඉගැන්වූ ඉස්කෝල අමතක නොකළේය. ඔහුගේ සිත් ගත් සිසුවියක්
සමග ඇයි හොඳයි කම් දිගටම තිබු නිසා කලකට පසුව ඇයව කරකාර බැඳ ගත්තේය. හොඳ දස්ස කොල්ලන් දෙන්නෙකුට දිගින් දිගටම ඉගෙන ගන්නට
මුදල් යැවූවේය . ගුරු හරු කම් ලියා යැවූවේය. වාසනාවකට උන් දෙන්නම පේරාදෙණි ගියෝය. දෙන්නාම නතර වී සිටියේ හන්තාන පාරේ මාර්ස්
හෝල් එකේ ය.
උන් දෙන්නාගේ සියලු විය හියදම් පොඩි මාමා විසින් දැරුවා පමණක් නොව මාසෙකට දෙතුන්
පාරක් හාල් කිලෝ දහයක බතක් හා මාළු පිනි උයාගෙන පිය බිරිය හා සිඟිති පුතුන් සමග කොල්ලන් බලන්නට පේරාදෙණි ගියේය.
මේ ගමන් නිසා මාමාගේ අනුග්‍රහය ලද දොස්තර පුතුන් දෙදෙනාගේ
බැචාලා විස්සක් තිහක් පමණ ඔහු එනතුරු මග බලා සිටියෝය. ඔවුන් සියලු දෙනා පොඩි මාමාට
මහත් සේ ආදරය කලේ ඔහු ඔවුන් හැමටම නිතිපතා ගෙනෙන රස මසුවුලු තෑගි බෝග නිසාම නොව ඔහුගේ
ලෙන්ගතු මනුස්සකමත් සිය මිතුරන් දෙදෙනා වෙනුවෙන් කරනු ලබන අනුපමේය උදවු උපකාර හා ආදර
කරුණාව හින්දාය
සරසවි නේවාසිකාගාරයකට ලොකු බත් මුලක් ලැබුණු විට මේසයක දිග
හැර ගෙන එකෙක් ' කාක් කාක්' කියමින් කෑ ගසයි. එවිට අහුමුලුවල සිටින
බඩගිනි කොල්ලෝ දුවගෙන ඇවිත් බත් මුල වටා රොක්
වෙති. මේ ප්‍රියජනක කපුටු හඬ පොඩි මාමාගේ
පුතුන්ද අනුකරණය කලෝය. මාර්ස් හෝල් එකේ රථය නවත්වා පොඩි උන් එලියට පැන 'කාක් කාක්' කියා කෑ ගසද්දී පොඩි මාමාගේ කැම්පස් පුතුන් පිරිස ඔවුන් කරා
දිව ආවේ සිය දෙමවුපියන් ආවාක් මෙන් සන්තෝෂයෙනි.
දැන් මේ සිසුන් රටේ නමගිය දොස්තර මහත්තුරුය. නුවර පාරේ යද්දී
නිකමට ගොඩ වී යනවා නොව ඔවුන් තකහනියක්ම පොඩි මාමා
බැලීමට මාසයකට දෙකකට සැරයක් පැමිණෙති. අලුත් කාර් එකක් ගත්තත් එය ඉස්සෙල්ලම
පෙන්වන්නට එන්නේ පොඩි මාමාටය. උසස්වීමක් ලැබුනත් සිස්සත්තයක් ලැබුනත් වෙනත් දුකක් කරදරයක්
උදා වුනත් පොඩි මාමා බැහැ දැක හැගීම් බෙදා හදා ගන්නට දරුමල්ලන් සමග එති. ඒ අතරේම පොඩි මාමාට අවශ්‍ය බෙහෙත් හේත් ප්‍රතිකාර
ගැනද ඔවුහු සැලකිලිමත් වෙති.
පොඩි මාමා මුණ ගැසී ඩින්ගිත්තක් කතා කර යන්නට ඉඳ හිට පැමිණෙන තවත් පුද්ගලයෙක්ද සිටියි. ඒ පොඩි මාමාගෙන්
එදා ගුටි කෑ භූගෝල සර්ය. ඔහුද ගුරු රස්සාවට ආයුබෝවන් කියා කොළඹ ඇවිත් වෙනත් වෘත්තියකින්
ඉහලටම ගොසින් සිටියත් ඔහු කියන්නේ තම ජීවිතය
වෙනස් කලේ පොඩි මාමාගෙන් එල්ලවූ පහරවල් කීපය බවය.
පොඩි මාමාගෙන් උදවු ලැබූ සිසුන්
දෙදෙනා සේම ඔහුගේ බත් මුල්වල
රස දන්නා දොස්තර මහත්තුරු සේම මේ ලියන
මාද පොඩි මාමා හඳුනා ගත්තේ අහම්බෙනි.
ඒ අපේ ගෙදර පැන්ට්‍රි කබඩ් එකක් හදවා ගන්නට වතාවක් ඔහු හමුවන්නට
ගිය ගමනකදීය. එදා සිට ඔහු තුල මා දුටු අපුර්වත්වය ගැන ඉව අල්ලමින් සිටි නිසා ඔහු වටා
තිබෙන මේ අපුරු වෘතාන්තය හෙමින් සැරේ එලියට
ගන්නට පුළුවන් වීම ගැන මම ආඩම්බර වෙමි..
කොහේ හෝ දුර ගමනක් ගොස් ගෙදරට ගොඩ වන මා දරුමල්ලන්ගේ මුහුණු
දැක ගත්තාට පසු ඉක්මනින්ම යන්නේ අපේ කුස්සියේ රාක්ක පේලිය බලන්නටය.
එහි වීදුරු පියන් තුලින් පොඩි මාමාගේ දහිරියවන්ත, සෙනෙහෙබර
මුහුණේත් 'කැවුත්ත කනවා' යැයි කැ ගැසූ මුරණ්ඩු
කොලුවාගේ ඉත්තෑ කුරු කෙස් වැටියේත් පිලිබිඹු
පෙනෙන්ට පටන් ගනී.
( සටහන ; මේ කතාන්තරය මා ඇසු අතීතාවර්ජනයක් ඇසුරෙන් ප්‍රතිනිර්මාණය වුවක් නිසා නම් ගම් හා සමහර සිද්දි වෙනස් කර ලියා ඇත)
(සේයාරුව දෙව්නිගෙන්)
God of Small things ලොකු සම්බන්ධයක් නැතත් මට මතක් උනේ මේ වචන පේලිය..බොහොම පොඩි දෙයක් ඇති ලොකු වෙනසකට !
ReplyDeleteමටත් හිතෙනවා ඒ වචන පේලිය මේ කතාවට අදාලයි කියලා
Deleteකඩවත පැත්තේ පැන්ට්රි කබඩක් ගහන පොඩි මාමා කවුද බොලේ , කතාව ඇහුවට පස්සේ කවුද පොඩිමාමා කියලා දැකගන්ඩ හිතුනා
ReplyDeleteපොඩි මාමා උඹට ළඟදීම හමු වේවි අටන්. මොකද උඹත් හිත හොඳ මිනිහෙක් නිසා
Deleteකාට කාට නමුත් පින්සිද්ද වෙන්න තාම ඒ වාගේ මිනිස්සු ඉන්නවා
ReplyDeleteතමන් අතින් උනු අතපසුවක් 'ඒක එහෙම තමා' කියල ඔප්පු කරන්න හදන කාලෙක, තමන්ට හරි මග කියදුන්නු මනුස්සයට ගරුකරන මිනිස්සු ඉන්න එකත් ලොකුම සම්පතක්
ඒ ඉත්තෑ කූරක් කූරක් ගානේ මනුස්සකම වැඩේවා!
ඒ ඉත්තෑ කූරක් කූරක් ගානේ මනුස්සකම වැඩේවා! අගේ ඇති පැතුමකි
Deletekawda habeetama podi uncle a..???????????
ReplyDeletepasta pasta...........
මේ කතාවේ මට නම් පොඩි මාමාට වඩා සිත් ගත්තේ පොඩි මාමාගෙන් උදව් උපකාර ලබා ඉගෙන ගත් දොස්තර කොල්ලන් දෙදෙනා සහ භූගෝල සර්ය. මොකද කියනවානම්
ReplyDelete//"නුවර පාරේ යද්දී නිකමට ගොඩ වී යනවා නොව ඔවුන් තකහනියක්ම පොඩි මාමා බැලීමට මාසයකට දෙකකට සැරයක් පැමිණෙති. අලුත් කාර් එකක් ගත්තත් එය ඉස්සෙල්ලම පෙන්වන්නට එන්නේ පොඩි මාමාටය. උසස්වීමක් ලැබුනත් සිස්සත්තයක් ලැබුනත් වෙනත් දුකක් කරදරයක් උදා වුනත් පොඩි මාමා බැහැ දැක හැගීම් බෙදා හදා ගන්නට දරුමල්ලන් සමග එන්නෝ නොඅඩුය. ඒ අතරේම පොඩි මාමාට අවශ්‍ය බෙහෙත් හේත් ප්‍රතිකාර ගැනද ඔවුහු සැලකිලිමත් වෙති."//
//"පොඩි මාමා මුණ ගැසී ඩින්ගිත්තක් කතා කර යන්නට ඉඳ හිට පැමිණෙන තවත් පුද්ගලයෙක්ද සිටියි. ඒ පොඩි මාගෙන් එදා ගුටි කෑ භූගෝල සර්ය. ඔහුද ගුරු රස්සාවට ආයුබෝවන් කියා කොළඹ ඇවිත් වෙනත් වෘත්තියකින් ඉහලටම ගොසින් සිටියත් ඔහු කියන්නේ තම ජීවිතය වෙනස් කලේ පොඩි මාමාගෙන් එල්ලවූ පහරවල් කීපය බවය. "//
මේ දොස්තර කොල්ලන් දෙදෙනා මෙන් අන් අයගෙන් උදව් උපකාර ලබාගත්ත්වුන් එමටය ඒත් වහලට නැගුනාට පසු ඉනිමගට පයින් ගහන්නට අද කාලයේ මිනිස්සු නොපැකිළෙති. එහෙයින් ඔවුන් දෙදෙනා නියම මිනිසුන්ය.
භූගෝල සර් නියම මිනිසෙකි වෙන එකෙක් නම් කරන්නේ පලිගැනීම පමණි. එසේ නොකලත් ඒ මිනිහාගේ මූනවත් බලන්නේ නැත. ඒ අතින් මේ කතාවට සම්බන්ධ හැමෝම නියම මිනිසුන්ය.
මේ කතාවට සම්බන්ධ හැමෝම නියම මිනිසුන්ය. එය මාගේත් නිගමනයයි.
Deleteඇත්තටම මුලින් මම හිතුවේ ඔබේ මාමය කියල,හරිම අපූරු චරිතයක්නේ,ඒ චරිතය එලියට ගත්ත ඔබ ඊටත් වඩා අපූරු පුද්ගලයෙක්.
ReplyDeleteස්තුතියි. ඔහු මගේම මාමා යෑයි මට සිතේ
Deleteසිම්පල් මිනිහෙක් නේද.එත් අනිත් සර්ට ගහපු එක පොඩි මාමගෙ චරිතලක්ශන වලට ගැලපෙන්නෙ නැ වගෙ කියල මට හිතෙනව
ReplyDeleteසාධාරණ මිනිසෙකු වුනත් පොඩි මාමා තව කෙනෙකුට පහර දෙන්නට ඇත්තේ කොල්ලාගේ බඩගින්න ගැන අසු වචන ටික නිසා විය හැකියි. ඔහු පොඩි උන්ගේ බඩගිනි නිවීමට ඒ වනවිටත් තම වැටුපෙන් කොටසක් වැය කරමිනුයි හිටියේ.
Deleteඅගේ ඇති කතාවක්... ස්තුතියි
ReplyDeleteමෙය රස විඳ අගය කිරීම ගැන ඔබටත් ස්තුතියි
Deleteපොඩි මාමා ඉන්නෙ කඩවත ' කොහේද...?
ReplyDeleteමේ සත්‍ය කතාවක් අනුසාරයෙන් කළ නිර්මාණයක් බව කරුණාවෙන් සලකන්න
Deleteපොඩි මාමා ඇත්තටම කඩවත තවමත් ජීවත් වෙනවා ඇති කියලා මේ ලිපිය කියවද්දි හිතුනා. මම කඩවත කෙනෙක් නිසා දන්න කියන කෙනෙක්ද කියල බලන්නයි ඇහුවෙ.
Deleteකියවද්දි නොදැනුවත්වම මමත් කතාවෙ කොටසක් බවට පත්'උනා. ස්තුතියි.
ඔබේ උනන්දුව ගැන සතුටුයි, ටිකක් විමසිලිමත් වුනොත් ඔබට පොඩි මාමා හමු වේවි. ස්තුතියි.
Deleteසුරංගනාකතවක් වගේ බං. අදහගන්න බෑ. පොඩි මාමව පැත්තකින් තියහංකෝ. කෙළෙහි ගුණ දන්න දොස්තරලා සෙට් එක? එතකොට පොඩි මාමට වෛර නොබැන්ද භූගෝල සර්?
ReplyDeleteඑතකොට මේ උඹගේ පොඩි මාමා වෙන්න බෑ නේද? එහෙම නම් උඹට පැන්ට්‍රි කබඩ් හදනකොට හම්බ වෙන එකක් නෑනේ. එහෙම නම් ඇයි මේ පොඩි මාමා කියන නම පාවිච්චි කලේ?
මචන් ,මෙය වඩා හිතට සමීප කතාවක් කිරීමටයි 'පොඩි මාමා' නම ඉස්සරහට දැම්මේ.
Deleteතිලක සිතට හැම විටම හසුවන මනුශ්සත්වය හරිම හැඟුම් බරයි....!
ReplyDeleteස්තුතියි, බන්‍දුල
Deleteපුදුමත් හිතෙනවා තාමත් අපේ මිනිස්සු ලග ඉතුරු වෙලා තියෙන මිනිස් කම ගැන.
ReplyDeleteපුදුමයි තමයි. ඒත් තවමත් තැනින් තැන මෙවැනි මිනිසුන් සිටිනවා
Delete//දැන් මේ සිසුන් රටේ නමගිය දොස්තර මහත්තුරුය. නුවර පාරේ යද්දී නිකමට ගොඩ වී යනවා නොව ඔවුන් තකහනියක්ම පොඩි මාමා බැලීමට මාසයකට දෙකකට සැරයක් පැමිණෙති. අලුත් කාර් එකක් ගත්තත් එය ඉස්සෙල්ලම පෙන්වන්නට එන්නේ පොඩි මාමාටය. උසස්වීමක් ලැබුනත් සිස්සත්තයක් ලැබුනත් වෙනත් දුකක් කරදරයක් උදා වුනත් පොඩි මාමා බැහැ දැක හැගීම් බෙදා හදා ගන්නට දරුමල්ලන් සමග එන්නෝ නොඅඩුය. ඒ අතරේම පොඩි මාමාට අවශ්‍ය බෙහෙත් හේත් ප්‍රතිකාර ගැනද ඔවුහු සැලකිලිමත් වෙති.//
ReplyDeleteපොඩි මාමා වගේ අය හිටියත්, මේ වගේ අය හරිම අඩුයි. මුල අමතක වෙන අය දැන් කාලේ වැඩි හන්දා. හිතට වැඩියෙන්ම වැදුනේ මේ හරිය.:)
පොඩි මාමාගෙන් ඔහුගේ ජීවිත කතාව අසා ගනිද්දී මටත් වඩාත්ම දැනුනේ මේ කොටසයි. මේ කොටස කියද්දී පොඩි මාමාගේ දෙනෙතින් සතුටු කඳුළු කැට කඩා හැලෙන හැටි මම සහසුද්දෙන්ම දැක්කා
Deleteමේ හා සම්බන්ද කතා මටත් තියෙනවා. අපි දන්න කියන ගුරුවරයෙක් ( ඔහුට බොහොම තරුණ වයසෙන් පත්වීම ලැබුනේ. මතක විදියට විද්‍යාගණිත උගැන්වුවේ.) ඔය වගේ ක්ෂණික ආවේගයට කාට හෝ පහර දීලා ඉන්ටඩික් වුනා. අසාධාරනය වෙනුවෙන් පෙනීහිටලා තමයි මතක විදියට. ගම් වල වැදගත් පවුලක ළමයකුට එහෙම රැකියාව නැතිව යනවා කියන්නෙත් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයිනේ. ඒ කාලේ ඔහුගේ පවුලේ අය බොහොම අසහනයෙන් හිටියේ මේ ගැන. මට මතකයි ඒ කාලෙම ඔහු මැණික් බිස්නස් කරන්න හුරු වුනා කියනවා. එතකොට මට අවුරුදු හතක් වෙන්න ඇති ඕනෙ නම්.
ReplyDelete( ඊට පස්සේ කාලෙකදි ඔහු අපේ ගෙදරදි මුණ ගැහුනාට මට ඒ තරම් කතා කරන්න තරම් සිහියක් තිබුනේ නෑ. අපේ අම්මාගේ හා අප්පච්චිගෙ මලගෙවල් වල.)
මේ ළඟ කාලෙකදි මමයි අයියයි ඉන්නකොට ආව කිරි ටෝයියා කාර් එකකින් බැහැලා මාව අඳුණන්න පුලුවන්ද කියලා අනේ අනේ මම ඔයාව පොඩි කාලේ අතේම තියාගෙන හිටියේ කියලා කියනකොටත් මට මතක් වුනේ නෑ. අන්තිමට මම අහවල් මාමා කියලා ආගිය විස්තර කතා කලා. ඔහු නැවත රැකියාව ලැබුනාට ගිහින් නෑ. ඒ කාලේ ඉඳන්ම බලංගොඩ පැත්තේ ළමයින්ට කිසිම මුදලක් අය නොකර ටියුශන් කරනවලු. මැණික් ව්‍යාපාරයෙන් ඉහලට ගිය ඔහු ඔහුගේ අර ගුරු ආශාව අත් හැරලත් නෑ.
මම දන්නේ නෑ ඔහුගෙ ගෝලයෝ කොහොම ඔහුට සලකනවද කියලා. ඒත් ඔහු ඒ කිසි දෙයක් බලාපොරොත්තු නොවෙන කියලා නම් මම දැන් දන්නවා. කළගුණ සැලකීම අතින් නම් අපෙ අරටේ මිනිස්සු ටිකක් පහලින්නේ මේ වෙනකොට ඉන්නේ.
ස්තුතියි ඔබේ අත් දැකීමත් ලිව්වාට . ඒකත් අපුරු කතාවක්
DeleteYou can't find this kind of valuable people very easily. Nice machan! Good Luck
ReplyDeleteI love your way of writing.. as you know my medium is not sinhala but I too enjoy reading this article. good luck and keep writing.
ReplyDeleteThanks Razeen. Your comment is very valuable for me.
Deleteතිලකේ......ඇස් දෙකට කඳුළු ආවා බං. අර කකා ලියලා තිබ්බා වගේ වයසට යනකොට සංවේදී දේවල් වලට නිකම්ම ඇස් තෙත් වෙනවා. පොඩි මාමා ගුරු වෘත්තියෙන් අයින් උනත් තවත් ඇස් පාදන්න කරපු උදව්, අනිත් පරපුරත් ඉදිරියට ගෙනියයිනේ.
ReplyDeleteඇත්ත අරූ අපි ජීවිතයේ මහා ගොඩක් හැල හැප්පීම් වලට මුහුණ දුන්නා උනත් සංවේදී දේ දෑස් තෙත් කර ගන්නේ නැතිව අසන්න දකින්න අපටත් අමාරුයි.
Deleteපොඩි මාමා කියවාපු මට ඇතිවුණ හිතුවිලි බොහොමයි. පෞද්‍ගලික මානසික උවමනාවල් ගුරු බලතල හරහා ඉටු කරගත්‍තු ගුරු ලෙඩ්‍ඩු මගේ පාසැල් ජීවිතයේ දිග පළල සිසාරා මටත් හමු වුනා. ගුරු බැතින් ඇමදපු පුදබිමක බලු කපුටන් විසින් ඇවිස්‍සූ කුණු බක්‍කියකින් වැටී අහිංසක සිසුහිත් ගඳ ගැස්‍වූ පණුවන් වැදුනු මී කුණු වගේ. නොදරුවන් ඇෆ්‍ගනිස්‍තාන බචාබාසින් හෝ සිය අන්‍තහ්‍පුර කොන්‍කියුබයිනයන් මෙන් එළිපිට "පාවිච්‍චි කළ" පාදිළියන්, කුඩා දරුවන් තබා මේරූ වැඩිහිටියෙකුටවත් විඳ දරා ගත නොහැකි තරම් මානසික පීඩාවන් ඝාතක ආයුධ මෙන් දශක ගණනාවක් තිස්‍සේ භාවිතා කළ සමාජ පීඩකයන් (bullies) ගැන අපේ රටේ ඉටුවුනු සමාජ සාධාරණය මොකක්‍ද?
ReplyDeleteමේ අතර සුපිපි මල් මෙන් සුවඳ හමමින් තම ගුරු කාර්‍යය පූජනීයත්‍වයෙන් ඉටු කළ ගුරු දෙවිවරුත් මේ ගුරු රොඩු අතර වැඩ හිටියා. මම අදත් හොයමින් ඉන්‍න බදුල්‍ලේ රංජිත් අධිපති ගුරුතුමා දත් කෙනෙක් ඉන්‍නවානම් කරුණාකරලා මට දන්‍වන්‍න. යම් දිනෙක යම් තැනක ඔහුගේ පාද වැඳුමට මට ඉඩ ලැබෙතොත් එහි පින් මම ඔබටත් පවරන්‍නම්.
මචෝ ඔය රන්ජිත් සර් ගැන තව ටිකක් විස්තර එව්වොත් හොයලා බලන්න පුළුවනි. බදුල්ලේ පැත්තේ මගෙත් ගුරු ගෝල සම්බන්ද කම් තියෙනවා
Deleteකලින් සිතා සිටියේ "පොඩිමාමා" උබේ පොඩි මාමා කියලනේ..:) පොඩිමාමාත් භූගෝල සරුත් අපූරුම මිනිසුන් දෙදෙනෙක්නේ... පොඩි මාමා කරකාර බැදගත් සිසුවියටත් තියෙනවා ඇත්තේ පොඩිමාමාගේ හදවත වැනි හදවතක්ම විය යුතුයි.
ReplyDeleteකාක්.. කාක් කියනකොට මට මතක්වුනේ; ඒකාලේ මහ පාරේ අම්බලම වගේ වෙච්ච "නෙල් 34" රූම් එකයි, ඒකේ තිබුණු කොට රවුම් (වට) මේසේ වටේට ඉදන් ගෙවල්වලින් ගේන බත් මුල් ගිල්ල හැටියි. සමහරක්දාට ඇන්ටිලා... අන්කල්ලා ... ගෙනත් තියලා ගියපු තඩි බත් ගෙඩි ටිකට වග කියන්න (ඒ අය අක්බාර් කැන්ටිම පහුකරන්නත් කලින්) වට වෙන හැටි. දැන ඇදිනිල්ලක් / ආරාධනයක් නැතිවවම ආපු කොරිඩෝවේ යනෙන එවුන් වට මේසේ ඉඩක් තියෙන තැනකින් අතක් ඇතුලට දාලා... කෑම මුලේ මොනාද තියෙන්නේ කියලවත් දකින්නේ නැතිව.... අහුවෙච්ච දෙයක් කටේ ඔබා ගෙන ගියපු හැටි...:D
ඉස්සර ගමේ ගිහින් එනකොට මම බත් පාර්සල් දෙකක් ගෙනෙනවා. බෑග් එක පතුලේම රස මසවුළු සහිත ලොකු බත් එක. ඊළඟට ඇඳුම් හා පොත් පත් . උඩින්ම තවත් පොඩි බත් එකක් . කාමරයට යන්න කලින් අක්බාර් කැන්ටිමෙදී උඩින් තියෙන බත් එක පැහැර ගැනීමට ලක් වෙනවා . ඒත් ලොකු බත් එක නිරුපද්‍රිතව කාමරයට රැගෙන යනවා එතනදී නැවත කාක් කාක් කියන්නේ රූමා හා අල්ලාපු කාමරවල උන් සඳහා.
Deleteවිසාල හදවතක් ඇති උතුම් මනුස්සයෙක් මනුස්සයෝ අතරේ දෙවියෙක්.. අනුන්ගෙ බඩගින්න දැනන මේ වගෙ මිනිස්සු තමා රජවෙන්න ඕනෙ..
ReplyDeleteමේ වගේ මිනිස්සු රජ වෙන්නේ නෑ සරත් අපේ රටේ . මොනවා කරන්නද ?
Deleteබඩගින්නේ ඉන්න මිනිහට කුසල් කියලා දෙන්න බෑ. ඕක නොතේරෙන කෙනෙකුට සංවේදී වෘත්තිකයෙක් වෙන්නත් බැහැ. පොඩි මාමාට ඉතාමත් ගරු කරමි.
ReplyDeleteඅනික් කාරණේ - ගහලා දරුවෝ හදන්න පුළුවන් නම් මේ වෙනකොට අම්බානක ගුටි කාපු උන් ගොඩක් හොඳ තැන් වල ඉන්න ඕනේ. ඔය ගැන වතාවක් මහින්ද අබේසුන්දර (ඉස්සර එක්කෙනා) හොඳ කතාවක් කියලා තිබ්බා ලක්බිම පත්තරේ මහින්දගේ ආගිය කතා වලට.
ඒ කාලේ නැගෙනහිර මායිමේ ගම්වල බඩගින්න හා දුප්පත්කම පමණක් නොව යුද බියත් තිබුනා. ඒ වගේ කාලෙක ගුරුවරයෙකුට පැවරිලා තිබ්බේ සුළුපටු මෙහෙවරක් නෙවෙයි.
Deleteගෙදර යන වෙලාව පහුවෙලා වැඩ කරන අතරෙ බන්‍දුල නානායක්‍කාරවසම්‍ගේ රෑ ඉරපාන මට අහන්‍න ලැබුනෙ අහම්‍බෙන්. මුල් විනාඩි හතර පහ ගත වෙනකොට මට කාරනා තුනක් ගැන හිතුනා. පලවෙනි කාරනාව, මට මතක් උනා තිලක සිත ගැන. දෙවනුව කතු තුමා කියාපු එක කතාවක්; පොඩි මාමා වගේ උදවිය අද රජ නොවෙන බව. මට හිතුනා රජ වෙන්‍න ඔටුන්‍නක් ඕනෙමද කියල. තුන් වෙනුව, අපේ රට ගැන අපේ අනාගතය ගැන අලුත් බලාපොරොත්‍තුවක් ඇතිඋනා. කවුද කොතනකදිද කියල මට මතක නැහැ, නමුත් මට මතක් උනා කවදාවත් අමතක නොවුනු කියවිල්‍ලක්. "මිනිස්‍සු තිබහට වැලි බොන්‍නෙ වැල්‍ලට ආසාවෙ නොවෙයි, වතුර ගැන නොදන්‍න නිසා" කියල. පොඩිවට හරි පුලු පුලුවන් විදියට අපි ලිං කැපිය යුතුයි. ලිං කපන්‍නන්‍ට උදවු කළ යුතුයි. පිපාසාව උහුලගන්‍නම බැරි උනත්, වැල්‍ල පහු කරගෙන, ඇහැට හරි හැටි නොපෙනෙන තාරකා එලි බලාගෙන, ඈත ක්‍ෂේම භුමියක දිය පොදක් ලැබෙන තෙක් කුර ගගා හොයාගෙනම යා යුතුයි. ලිඳ කපාපු රජාට ඔටුන්‍නක් දාන්‍න නෙවෙයි.... වතුර බොන්‍න.
ReplyDelete
Delete//ඈත ක්‍ෂේම භුමියක දිය පොදක් ලැබෙන තෙක් කුර ගගා හොයාගෙනම යා යුතුයි. ලිඳ කපාපු රජාට ඔටුන්‍නක් දාන්‍න නෙවෙයි.... වතුර බොන්‍න.
//මේ අලුත් මානයක් ගැන හිතෙන අදහසට මම කැමතියි. තාමත් අපි බලාපොරොත්තු අතාරින්න ඕන නෑ .
ගුරුවරිය සිසුවාගේ එකම සුදු කලිසම කතුරෙන් කපලා…. හිරට ඇඳන් ආවාලූ.
ReplyDeletehttp://lankacnews.com/sinhala/news/103917/
අද මේ ප්‍රවෘත්තිය දැක්කම හිතුනේ පොඩි මාමලා තව ගොඩක් ඕනෑ කියලා .
මම දන්න ඔය වගේ කෙනෙක් ඉන්නවා... පැන්ට්‍රි කබඩ් විතරක් නෙමෙයි... ඕනෙම වඩු වැඩක් තක්කෙට කරන... නුවර පාරේ, කඩවත මහර හන්දියෙන් පොඩ්ඩක් ඇතුලට වෙන්න.. එයා නෙමෙයි වගේ...
ReplyDelete