එදා මා සහභාගී වූ වැඩ මුළුවේ තේමාව වුයේ අත්පත් කර ගැනීමයි. සමාගමට තවත් කුඩා සමාගමක් අත්පත් කර ගන්නට උපාය මාර්ගික සැලසුම් සකස් කරන හැටි ගැනය. එය ව්‍යාපාරික ලෝකයේ අරුමයක් නොවුනත් මේ දෙසුම්වලට ඇහුම්කන් දී සිටි මගේ හිතට අතීතයට නොගොස් ඉන්නට බැරි වී අපේ කුඹුරට අල්ලපු කුඹුර වූ කුඹුක් ගහ උල්පත වෙත ලඟා වුනේය. එය සුනිමල්ලාගේ කුඹුරයි.
සුනිමල් ඉගෙන ගත්තේ අපේ පන්තියේමය.ඉස්කෝලෙත් ගමේත් අපි දෙන්නට හිටිය හොඳම යාළුවෝ දෙන්නා අපි දෙන්නාමය. සුනිමල්ගේ තාත්තා අපේ තාත්තාත් එකිනෙකාට ගව්රවය මුසු මිත්රත්වයකින් ඇසුරු කළහ. සුනිමල්ගේ අම්මාට අපේ අම්මා හිතවත්ව සිටියාය.
එත් මේ හිතවත්කමට පුංචි කහටක් එක්කරේ මේ කියන දිය උල්පතමය.
එය පිහිටා තිබුනේ හෙල්මළු ලියදි නගිමින් කන්ද මුදුනට යද්දී සුනිමල්ගේ කුඹුරේ හරි මැදට වන්නට පිහිටි මහා කළුගලක් පාමුලය. ඊට යාබදව පිහිටි රූස්ස කුඹුක් ගහත් දෝතුළු ගස් මන්ඩියත් නිසා කුඹුර මැද පුංචි ක්ෂේම බුමියක සිරි මැවී තිබිණි.
මේ උල්පතින් උනන දිය පහර නිසා කුඹුරේ හරි අඩක් අස්වැද්දීමට සුනිමල්ලාට හැකි විය. වැඩිපුර වතුර අවුරුද්ද මුළුල්ලේම ඔය පාරට ගලා ගියේය.
වී වගා කරන්නට තරම් වතුරක් නොලැබුණු නිසා අපේ කුඹුරේ අවුරුද්ද පුරාම වාගේ වගා කෙරුනේ නොයෙකුත් එළවලු වර්ගය. ඉඳ හිට අවුරුදුවලදී කුඹුරේ කොටසක වී වැපිරුවා වුවද මේ කොයි දේටත් වතුර සපයා ගැනීමට මහත් පරිශ්රමයක් දරන්නට සිදු වුනි. කුඹුරේ සිට හැතැප්ම දෙකක් පමණ ඈත සිට ගලා එන ඇල පහරකින් වතුර ගෙන එන්නට සිදුවුනි. ඇලට වතුර ලැබුනේ ඔයේම ඉහල ස්ථානයක පිහිටි අමුණකිනි.
අපේ කුඹුරට වතුර වැද්දවීමට ඕනෑ විට මේ අමුණටම ගොස් වතුර හරවා ගෙන එන්නටත් ඒ අතර මැද පිහිටි තවත් කුඹුරු වලට වතුර හරවන වක්කඩ ළඟදී මුර දමාගෙන රැක ගැනීමටත් සිදු විය. මේ වතුර කඩන වලදී අපේ ගෙදර ළමයින් තැනින් තැන මුරට නවත්වා තාත්තා කුඹුරට වතුර සපයා ගතතේය .
විලම්බීත, ගම්පෙරලිය, මඩොල් දුව, උම්මග්ග ජාතකය වැනි පොත් බොහොමයක් අප කියවුයේ මේ වතුර මුර කරන තැන්වල ගල් පඩියක වාඩි වී සිටිද්දීය.
අපට කුඹුර අත්යවශ්ය වුනේ තාත්තාගේ හා අම්මාගේ ගුරු වැටුප හදමින් තිබු ගෙදර වැඩටත් ලොකු දරු පවුලක ඉගෙන ගැනීමේ වැඩවලටත් නොසහුණු නිසාය. අනෙක් අතට රටපුරා සාගතය පැතිරුණු හත්තෑ හතරේ අපේ කුසගිනි නිව්වේ මේ කුඹුරේ පළදාවෙනි. සරුසාර වූ කන්නවලදී හොඳ අමතර ආදායමක්ද ලැබිණි.
මේ වතුර ප්රශ්නය නිසාම සුනිමල්ගේ කුඹුරේ දිය උල්පත ගැන පොඩි පහේ තෘෂ්ණාවක් අප කා තුලත් අඩු වැඩි වශයෙන් තිබුනේය.
'අර ඔයට බැහැලා යන වැඩිපුර වතුර ටික අපේ කුඹුරට හරවා ගන්න කතා කර ගන්නකො සුනිමල්ලා තාත්ත එක්ක' අම්මා කිහිපවරක්ම තාත්තාට කීවාය
තාත්තා ඒ ගැන ඔහුගෙන් අසුවාදයි නැත්දැයි කවුරුත් දන්නේ නැත. ඒ වෙනුවට ඔහු සිතා සිටියේ සුනිමල්ලා තාත්තා විසින්ම සිය කැමැත්තෙන් උල්පත් වතුර අප සමග බෙදා ගන්නට කතා කරනු ඇත කියලාය.
එහෙත් එවැන්නක් සිදු නොවුනි. එළිපිට කතා නොකළ අප්රකාසිත වුවමනාව වුයේ උල්පත් වතුරයි .
කාලය ගෙවී යද්දී සුනිමල්ලා ටික ටික කුඹුරෙන් ඈත් වන්නට පටන් ගත්තෝය. කුඹුක් ගහ උල්පොත වෙනුවට ඊට ඔබ්බෙන් පිහිටි වියලි ලියදි තීරුවක වගා කරන්නට පටන්ගෙන තිබුනේ ඕනෑවට එපාවාට මෙනි
මේ අල්ලපනල්ලේ අපට ආරංචි වුයේ කුඹුක්ගහ උල්පොත කුඹුරේ හැබෑ අයිතිකාරයා ඈත ගමක පදිංචි වී සිටින සුනිමල්ලා ලොකු තාත්තා බවය. ඔහුට එය පවුලේ උරුමයෙන් ලැබුනා වෙන්නට පුළුවන.
සුනිමල්ලා ලොකු තාත්තා විසින් කුඹුර විකුණන්නටට හදන කතාවක් ඒ අතර ආරංචි විය. ඔහු ගමේ දෙතුන් දෙනෙකුට ඒ ගැන කතා කර තිබිණි.
'ඔය කුඹුර විකුනනවානම් ණයක් තුරහක් වෙලා හරි අපි ගමුකො. ඇල දිගේ ඇවිදලා තවත් දුක් විඳින්න ඔනෑ නෑනේ එතකොට' නරකද සුනීමල්ලා තාත්තා එක්ක කතා කරලා බැලුවොත්. එයාගේ අයියට කියයිනේ '
අම්මාගේ මෙවදන් තාත්තා වගකීමකින් බාර නොගත්තා වුවද ඔහු නිහඬවම අනුමත කලේ ඒ කුඹුර අපම ගත්තානම් හොඳ බවය. ඒ උල්පතේ වතුරින් අපේ කුඹුරේද බාගයකට වතුර සපයා ගන්නට පුළුවන් වෙන නිසාය.
මෙවරත් තාත්තා කිව්වේ මම කතා කරලා බලන්නම් කියලාය. ඔහු එය සුනිමල්ලා තාත්තා සමග කතා කරාදැයි නැත්දැයි කවුරුත් දන සිටියේ නැත.
ඔය විදිහට දවස් ගෙවී යද්දී සුනිමල්ලා තාත්තා බරපතල ලෙස අසනීප වුනේය. උල්පත පිහිටි කුඹුර කවුරුවත් වැඩ නොකර අත හැරුනේය. උල්පතින් උතුරා බුබුළු දැමු වතුර පාර ඔයට ගලා යමින් තිබුණු හැන්දෑවක සුනිමල්ලා තාත්තා සදහටම දෑස පියා ගත්තේය.
උල්පත් දියත් කුඹුරේ ප්රශ්නයත් මුළුමනින්ම අමතක කර අප සුනිමල්ලා සමග මේ සිදුවීමේ ශෝකය බෙදා ගන්නට ඉදිරිපත් වුනෙමු .
තාත්තා ඒ දවස්වල මොනතරම් විස්සෝපයෙන් සිටියේද යත් ඔහු හා සුනිමල්ලා තාත්තා අතර මෙතරම් ගැඹුරු මිත්රතත්වයක් තිබුනා යයි සිතා ගන්නට පවා බැරි විය. මළ ගෙදර අවසන් වන තුරු මම සුනිමල් ලඟින් නොසෙල්ලී ඔහුගේ තනි නොතනියට සිටියෙමි. අපේ අම්මා සුනිමල්ලා අම්මාගේ දුක බෙදා හදා ගත්තේ සොයුරියක සේය.
මළ ගෙදර වැඩ අහවර වී මාසයක් යන්නටත් මත්තෙන් අපේ ගෙදරට අමුත්තෙක් ආවේය. ඒ සුනිමල්ගේ ලොකු තාත්තාය.
උල්පත කුඹුරේ ඔප්පුවත් අතේ තියාගෙන හෙමින් හෙමින් ආපු කාරණාව පැහැදිලි කළේය .
දැන් මේ කුඹුර මම විකුනන්ට තීරණය කළා. මම ඉන්නෙත් ඈත නිසා මේක මට වගා කරන්නත් බෑ . අල්ලපු කුඹුර නිසා මේක වටින්නේ ඉස්කෝලේ මහත්තයාටම තමයි.
මේ අප අසන්නට බල බලා සිටි පුවතක් නොවේද? ඇල දිගේ දුක් විඳිනවා වෙනුවට කුඹුරු දෙක තුනකට අවුරුද්ද පුරා වතුර දෙන කුඹුක් ගහ උල්පත අපේ වෙන්නට යන හැටි. ණයක් තුරහක් වී මේ කුඹුර ගමු යැයි අම්මා කී විට නිහඬවම එකඟ වූ තාත්තාගේ දැන් ප්රතිචාරය කුමක් වේද?
සිවිලින් නොගැසූ වහලය නිසා අල්ලපු කාමරවලටත් කුස්සියටත් මේ කතා බහ හොඳින් ඇසෙයි. සෙමින් සාලයෙන් නික්මුණු තාත්තා අම්මාගේත් අප කාගේත් මුහුණු දෙස බලා නිහඬවම ආපසු ගොස් අමුත්තා ලඟින් ඉඳ ගත්තේය.
ඉන්පසු තාත්තා සිය හදවතේත් පවුලේ සෙසු සාමාජිකයින්ගේ මුහුණුවලත් ලියවී තිබු ඒකමතික තීරණය අමුත්තාට දැනුම් දුන්නේය
'දැන් අපට ඔය කුඹුර ගැනවත් උල්පත ගැනවත් ආසාවක් නෑ .
සුනිමල්ලාගේ තාත්තා හිටියනම් එයත් එක්කත් කතා කරලා අකමැත්තක් නැත්තම් අපි ගන්න තමයි හිටියේ'.
ඉටි කවරයක ඔතා ගෙන ආ ඔප්පු තිරප්පු ආපසු හකුළා ගත් අමුත්තා කරබාගෙනම යන්නට හැරුනේය.
Photo from Scienceviews.com
කියැවූවෙමි.................
ReplyDeleteස්තුතියි . ආයෙමත් එන්න
Deleteනිශ්චිත නිගමනයකට එන්න බෑ. විවිධ හේතු නිසා ඉඩම එපා කීවා විය හැකියි.
ReplyDeleteමට හිතෙන්නේත් මේ තීරණයට වැඩිපුරම බල පෑවේ ඒ වෙලාවේ තිබු මනෝ භාවය බවය
Delete////සෙමින් සාලයෙන් නික්මුණු තාත්තා අම්මාගේත් අප කාගේත් මුහුණු දෙස බලා නිහඬවම ආපසු ගොස් අමුත්තා ලඟින් ඉඳ ගත්තේය.
ReplyDeleteඉන්පසු තාත්තා සිය හදවතේත් පවුලේ සෙසු සාමාජිකයින්ගේ මුහුණුවලත් ලියවී තිබු ඒකමතික තීරණය අමුත්තාට දැනුම් දුන්නේය////
තදටම හිතට වැදුන වාක්‍ය දෙක ...
ස්තුතියි . ඒ කාලේ වචනවලට වඩා මුහුණේ ඉරියවුවලින් කතා කළා
Deleteහරිම සංවේදී කථාවක් මචං. තාත්තලා දෙන්නගේ තිබුන යාළුකම අණුව එහෙම දෙයක් අහන්න බැරිවෙන්න ඇති. ගොඩක් රස වින්දා. ජයෙන් ජය!!!
ReplyDeleteස්තුතියි මචන්
Deleteබොහෝම අව්‍යාජ තීරණයක් අරගෙන තියෙන්නෙ..එහෙම වෙන ඕනිම සංවේදී කෙනෙක් කරයි කියලා හිතන්න පුළුවන්...අතීතයට ඒක පොදු උනත් අද නම් බහුතරයක් මෙවන් තීරනයක් ගනී කියලා හිතන්න අමාරුයි..
ReplyDeleteඑකනම් ඇත්ත . මේ සිද්දිය ගැන කතා කරපු ගොඩක් දෙනෙක් කිව්වේ යාලුවා මතක් වෙන්න හරි කුඹුර ගන්න තිබ්බනේ කියල.
DeleteThattagena godak adambaray.
ReplyDeleteස්තුතියි රසීන්
Deleteබොහොම සන්වෙදි තිරනයක්.එත් හරිම එක කියන්න අමාරුයි නෙද.
ReplyDeleteහය හතර
මේ තීරණය හරි හෝ වැරදියි කියන්නේ නෑ මචං . ඒත් එක එහෙම උනා
Deleteඅද කලේ කවුරුත් මෙහෙම තීරණයක් ගන්න එකක් නැහැ.
ReplyDeleteඒ කාලේ උනත් ඒ වගේ දේ උනේ අඩුවෙන්
Deleteඑහෙම කරේ ඇයි කියලා මටනං හිතාගන්ඩ බැ
ReplyDeleteඒක හරියටම කියන්න බෑ මටත් . ඒත් ඒ කාලෙනම් ඒ ගැන දෙපාරක් හිතන්න දෙයක් තිබ්බේ නෑ
Deleteසමහරවිට කුඹුර ගත්ත නම් ගමේ මිනිස්සු හිතන්න ඉඩ තිබ්බා සුනිමල්ලගේ තාත්තා මැරෙනකම් බලන් හිටියා නේද කුඹුර ගන්න කියලා... ඒකයි එහෙම කියන්න ඇත්තේ...
ReplyDeleteඒකත් හේතුවක් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා යාලු.කාගෙන් හෝ නරක නාමයක් අහන්නේ නැතිව ඉන්න කැමති උනා වගේම හිතට එකඟ නැත්නම් මොනතරම් වාසියක් වුනත් ඒ දවස්වල ඇත ඇරියා .
Deleteඅඩුවෙන් කතාකරන , අඩුවෙන් හැගීම් පිටට පෙන්නන මිනිස්සු ඇතුලේ තමයි වැඩිම සංවේදී ,හන්ගීම් බර මිනිස්සු ජීවත් වෙන්නේ ,තාත්තා එහෙම කෙනෙක්
ReplyDeleteමේ නිහඬ බව ඒ කාලයේ තාත්තලා ගාව තිබ්බ පොදු ලක්ෂණයක් ඉවාන් . එකිනෙකා අතර තියෙන මිත්‍ර කම ප්‍රකාශ කර ගන්න උනත් ඒ හැටි වචන පාවිච්චි කලේ නෑ .
Deleteඉහළින් අංජන කියලා තියන දේ තමයි මටත් හිතුනේ. ඒක ගන්න තිබබ් හොඳම විදිහ තමයි සුනිමල් ගෙ තාත්තා එක්ක කතා කරලා ගන්න එක. ඒ අවස්ථාව මග ඇරුණට පස්සෙ, ඒකට විවිධ අර්ථකතන ලැබෙන්න තිබ්බා. තමන්ගේ යාලුවෙක් සතුව තිබ්බ දෙයක්, එයා නොදැනුවත්ව (නීතිවිරෝධී ක්‍රමයකට නොවුනත්) ලබාගන්න බැරි කමක් දැනෙන්න ඇති.
ReplyDelete
Deleteඔවු! එත් සමග තාත්තා දකින්න ඇති මේ හැම දේම අත හරින්නට වෙන බව. තවත් අවුරුදු හතරකින් පහකින් අපි වගාව ඇත ඇරියා. කාලයක් පුරන් වෙලා තිබ්බ කුඹුර කාටදෝ වැඩ කරන්න දුන්නා. අර කුඹුරත් ගත්තානං ඒකටත් ඒ දේමයි වෙන්නේ.
මෙය කියවූ බොහෝ දෙනෙකු ගේ අවධානය යොමු වූ කරුණ බව පෙනෙන්නේ "තාත්තා ගේ තීරණය" යි . නමුත් ලේඛකයා ,මෙය තාත්තාගේ පමණක් පමණක් නොවේ පවුලේ අනෙක් අයගේ ද අදහස වූ බවට යම් ඉඟියක් ද සපයයි.
ReplyDeleteමෙයින් පෙන්වන සිංහල ගැමි සමාජයේ පවුලක මානසිකත්වය, කලාතුරකින් දක්නට ලැබෙන අහම්බ තීරණයක්ද ? ඒ කාලයේ ගැමි සමාජයට පොදු මානසිකත්වයක්ද ?
දෙවන කරුණ යයි සිතීමට අපි බොහෝ දෙනෙක් කැමැත්තෙමු. මගේ අදහස නම්, එම කැමැත්ත "නිර්මල සිංහල බෞද්ධ මානසිකත්වය" පිළිබද ෆැන්ටසියක් බවයි. මෑත සිංහල ගැමි සමාජයේ දෘෂ්ටිය හා ක්‍රියාකාරකම් පිලිබඳ සෑහෙන දුරකට ලිය ඇති, කේ ජයතිලකගේ නවකතා ආශ්‍රයෙන් විමසා බලන්න.
මෙම රචනයේ උත්ප්‍රාසජනක සිද්ධිය ලෙස මට පෙනුනේ , "අත්පත් කර ගැනීම " ( Mergers, Takeovers, Acquisitions ) පිලිබඳ සම්මන්ත්‍රණයකදී ලේඛකයාට මෙම සිද්ධි මතක් වීමයි. ලේඛකයා මේවා ගැන ඉගෙන ගන්නේ, සමහර විට එම අදහස් න්‍යායන් මුල ධර්ම ක්‍රියාත්මක කිරීමට විය යුතුය. ශ්‍රී ලංකාවේ ගැමි සමාජය දියුණු වී ඇති තරම !!!
හිතවත, සමාජ විද්‍යා ප්‍රවාද ගැන තර්ක විතර්ක කරන්නට මා මෙය ලීවා නොවේ. අත්පත් කිරීම් හා අදාළ තාක්ෂණ හුවමාරුව මා කරන රැකියාවට අදාළයි. ඒ රස්සාවට අදාළ න්‍යාය හා අල්ලාපු කුඹුර අත් හැරීමේ සිද්දිය පටලවා ගන්නට වුවමනාත් නැහැ. එය මා ලිව්වේ අතීත සිද්දිය මතක් වෙන්නට වර්තමානයේ හේතු වූ කාරනාව පෙන්වීමට පමණයි.
Deleteහිතවතකුගේ මරණයකින් පසුව පවුලේ පොදු මනොභාවයක් තිබීම එකලත් මෙකලත් ලංකාවෙත් පිටරටත් පොදු තත්ත්වයක්. ඒ වගේ වෙලාවට ඒකමතික තීරණයකට එන්න පුළුවන් වීම ෆැන්ටසියක් නෙවෙයි.
ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි.
මට හිතෙන්නෙ මෙහෙමයි තිලකෙ,කුඹුර ගන්න තමන්ට කොපමණ අවශ්‍යතාවක් තිබුනත් ගන්න ලැබිච්චි අවස්ථාව ගැන වරදකාරී සිතුවිල්ලක් තාත්තගෙ හිතේ ඇතිවෙන්න ඇති.
ReplyDeleteඒ වගේම දෙසැරයක් නොහිතා ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය ශක්තිය ඔහුට තම පවුලෙනුත් ලැබුනනෙ ඒ නිසා සෘජු තීරණයක් ක්ෂණිකව ගන්න හැකිවුනා,හරිම සංවේදී කතාවක් තිලකෙ.
Deleteඒක නම් බොහොම තාර්කික නිගමනයක් තමයි . ස්තුතියි මචන්
මටත් හිතුනෙ හැලප්ස් කියපු එක තමයි... තාත්තගෙ හොඳම යාලුවගෙ කුඹුර... එයා නැති වෙච්ච ගමන් ගත්තොත් එයාගේ ගෙදර අයට පොඩි හරි තව දුකක් එකතු වෙන බව දැනෙන්න ඇති... ඔය වගේ වෙලාවට හිත් වල තියෙන්නෙ ඒ වගේ අදහස් නේද....
ReplyDeleteඔවු හිරු. ඔබ කිව්වා වාගේම මියගිය හිතවතාගේ පවුලේ සාමාජිකයන්ගේ හිත පාරන්න බැරි කමත් මේ තීරණයට හේතුවක් වෙන්න ඇති
Deleteමටත් පැහැදිළි නෑ ඇයි මේ වගේ තීරණයක් ගත්තේ කියලා. උඹ පස්සේ තාත්තගෙන් ඇහුවේ නැත්ද?
ReplyDeleteපස්සේ මොකද වුනේ?
ඒ දවස්වල් ඕක අහන්න හිතුනේ නෑ බන්. කාලයක් ගිහිල්ලා තමයි මමත් මේ ගැන ටිකක් ගැඹුරට කල්පනා කළේ . එතකොට අපි තිබ්බ කුඹුරත් අත ඇරලා
Deleteකතන්දරගේ පාර දිගේ මේ බ්ලොගයට ආවේ. සියලු පෝස්ටු ඉතා ආසාවෙන් කියවූවා. කමෙන්ටුවක් නොදමා තව දුරටත් සිටීම ඔබට කරන අසාධාරණයකැයි මට සිතුනා. ඔබේ රචනා ශෛලිය ඉතා අපූරුයි. මෙය දිගටම පවත්වාගෙන යන්නැයි ඉල්ලා සිටිනවා. ඔබට ජය!
ReplyDeleteස්තුතියි ඔබට . මට දිගටම ලියන්නට ලැබුණු දිරියකි මෙය .
Deleteමෙවැනි මනෝ භාවයන් මතු වුනු වෙලාවල් මට ඕනෑ තරම් මතක් කර ගන්‍නට පුලුවනි. අපට නොයෙක් දේ ලද යුතු හැටියට දැනෙන්‍නේ යම් යම් අතුරු කාරණා වල සම්‍මුති පිහිටුම් නිසායි. මේ කරුණු වලින් එකක් දෙකක් හෝ අවලංගු වුනහම අර සම්‍මුතිය බිඳ වැටෙනවා. අන්‍න එතකොට අර මුලින් වූ ඕනෑ කමත් බිඳ වැටෙනවා. කොයි මිනිසා හෝ ගැහැනිය ගත්‍තත් ඔහු හෝ ඇය තුල මිනිස් කම පිහිටා තියෙන්‍නේ අපි හිතනවාට වඩා ගැඹුරක. සුනිමල්‍ගේ තාත්‍තා සහ ඒ පවුලේ අය සමග සුහදත්‍වයෙන් එලඹෙන්‍නට ඕනෑ වූ එකඟතාවයකට ඔහුගේ මරණින් පසු ඔහුගේ උවමනාවකින් තොරව වෙනකෙකු හා එළඹීමේ හිස් බව තාත්‍තාටත් පවුලේ අනිත් අයටත් දැනුනාට සැක නැහැ.
ReplyDeleteමිනිස් හිත් වල ඇති ගැඹුරු බව ගැන මට දැනුනු එක්‍තරා අවස්‍ථාවක් වුනේ මීට අවුරුදු හත අටකට පමණ පෙර මිතුරු පවුලකගේ ආරාධනයෙන් ඔවුන්‍ගේ ගෙදරට රෑ කෑමට ගිය දවසක. මිතුරෙකු යැයි කීවාට ඔහු මට වඩා වියපත් මිනිහෙක්. අහම්‍බෙන් මට මිතුරු වූ ඔහු ගුවන් යානා සමාගමක් හිමි හොඳින් උගත් ඉහල සමාජයේ ගැවසෙන්‍නෙක්. කෑම මේසයේ ඉඳගත් වයස අවුරුදු හැටක් පමණ වූ කාන්‍තාවකටත් ඔහුගේම මුහුණුවර තිබුනා. "මේ මගේ නිවුන් සොහොයුරිය" ඔහු ඇය සෙස්‍සන්‍ට හඳුන්‍වා දුන්‍නා. පෙර හමු නොවුනු අමුත්‍තන් සිය වං හුං හුවමාරු කර ගන්‍නා අතර සමහරු කීවා: "මම ශල්‍ය වෙදෙක්", "මම වෘත්‍තීය ගොල්‍ෆ් ක්‍රීඩකයෙක්" "මම මහාචාර්‍යයක්". අර ප්‍රසන්‍න ගැහැනිය කීවා "මම වසර විසි පහක් පමණ වේශා වෘත්‍තියේ යෙදුනා" තරමක නිහැඩියාවක්.... "ලාස් වේගාස් වල, අසූ ගණන් වල මැද පමණ වෙනතෙක්". ඇයගේ සොහොයුරාටත්, ඔහුගේ බිරිඳට හෝ දරුවන්‍ටත් කිසිම ප්‍රශ්‍නයක් ඇති බවක් පෙනෙන්‍ට නැහැ. එවිට ඇයගේ සොහොයුරා හිනැහෙමින් කීවා.. "ඔන්‍න එතනින් පස්‍සෙ තමයි සැන්‍ඩ්‍රාගෙ ජීවිතය අවුල් වෙන්‍න පටන් ගත්‍තෙ..." ඇය මොකවත් කීවේ නැහැ. තලත්‍තානි මහාචාර්‍ය වරයා ඇහුවා, "ඉතින්, ඉන් පස්‍සෙ ඔබ මොකද කලේ"? "මම යේල්‍හි උපාධි ලබා දැන් ජෝන්‍ස් හොප්‍කින්‍ස් වල හර්‍ද ශල්‍ය වෙදෙක් මෙන් වැඩ කරනවා." ඇය වෙද විදුහලට අතුලු වුනේ අවුරුදු හතලිස් හතේදි. මා කෑමට පසු ඇය සමග බොහෝ වෙලාවක් කතා කලා. ප්‍රංශ, ජර්‍මානු, සහ ස්‍පාඤිඤ භාශා ඇය චතුරව කතා කලා. ඇය ලෝක දේශපාලනය, සම්‍භාව්‍ය සංගීතය ගැන ඉතා ඉහල දැනීමක් තිබුනු ඇය හාප් සංගීත භාන්‍ඩය ඉතා සිත් කලුව වාදනය කලා. ඇය මට හමුවුනු සුන්‍දරතම ගැහැනුන් කීප දෙනෙකුගෙන් එක්‍කෙනෙක්.
මා ඇසු අති සුන්දර කතාවක් . සුන්දර ගැහැනියක් පිලිබඳ සුන්දර මිතුරෙකුගේ වචනවලින්. අපුරුයි
Deleteහුඟක් මිනිස්සු අනිත් අය මැරෙනකල් දෙපල බෙදාගන්න බලං ඉන්න ලෝකෙක මේ වගෙ හිතන්න පුළුවන් මිනිස්සු ඉන්නවා හිටියා කියල අහන එකත් සැනසිල්ලක්..
ReplyDeleteදේපල වස්තුව කවදා හරි දාල යන්න වෙනවානේ සරත්. ඒත් මනුස්සකම සදාකාලිකයි.
Deleteතිලකෙගේ ලියමන් ඇතුලේ මට තදින් කාවදින මිනිසුන් හමුවෙනවා. මචං අපි කොච්චර පුංචි ද කියලා හිතෙනවා ඒ තාත්තාගේ තිබුනු ලොකු ගතිගුනයත් එක්ක. සමහරුන් අනුමත කරන එකක් නැහැ. මම අනුමත කරනවා. මට සමීපයි.
ReplyDeleteමේ උඹ දකින විදිහ මම දකින විදිහට සමීපයි මචන්. හිතට එකඟව ගත්ත තීරණ ගැන පසු තැවෙන් නැත්තම් ඒකයි වටින්නේ.
DeleteBeautiful..! Reminds all our touching memories in good all days..!
ReplyDelete(Sorry I dont know how to type in sinhala fonts)
Yr Batcha -Kira
Thank you machan. කොච්චර දෙයක්ද මේ පැත්තේ ආව එක
DeleteHaaaaa bole... menna Kirath avilla!!
ReplyDeleteඒකනේ කියන්නේ
Delete