Monday, May 18, 2015

පොඩි විජේ, අඹ විජේ හා බට්ටී

රණ තාලේ වැඩබිම් කන්තෝරුවේ දොරකඩට වී බාච්චු කමිසයක් හා  හිර දිග කලිසමක් ඇඳ  තට්ට හිසින් බේරෙන  දාඩිය පිටි අත්ලෙන් පිසදාමින් හිනැහුණු පුද්ගලයාගේ මුවේ ඉදිරිපස දත් දෙක තුනක අඩුවක්  තිබිණි. පෙනුමෙන් ඉතා කුඩා වූ ඔහු මා එන බව කල් තියා දැනගෙන සිටියේය.

යං  මහත්තයා වාඩි  වෙන්න.

බොහොම ස්තුතියි. කෝ ලොකු මහත්තයා ?

ලොකු මහත්තයා මැකී ගියා. මමත් මැකී ගිහින් දැන් තමයි ආවේ .
මට විහිලු කරනවද කියා අසන්නාක් මෙන් ඔහු දෙස බැලීමි.
පැන්ට්‍රියේ තේ හදමින් සිටි ජයසේකරට කතා කළ ඔහු මේ මහත්තයාට තේ එකක් ගෙනත් හෑන්ඩ් ඕවර්  කරපන් කියා කීවේය.

මේ වෙන කවුරුවත් නොව  වැඩබිම් කන්තෝරුවේ කාර්යාල සහකරු බවත් ඔහුගේ හැබෑ නම තෝමස් වගේ එකක් වුනත් කවුරුත් ඔහු අමතන්නේ ' පොඩි විජේ' කියා බවත් මම පසුව දැන ගතිමි.

පොඩි විජේ මොන කතාවාක්  මැද්දට වුනත්  ' හෑන්ඩ් ඕවර් ' කියන වචන දෙක දැම්මේය. ඊට හේතුව බොහෝ විට ඔහුට ලැබෙන්නේ කාට හෝ ' හෑන්ඩ් ඕවර් ' කරන්න කියා දෙන ලිපියකි.
වතාවක් ඔහු මට කිව්වේ 'මහත්තයා අපේ ඉස්ටෝරුවේ දොර පුංචියටනේ හදලා තියෙන්නේ . බලන්න ඒකෙන් දෙන්නෙකුට එක පාර හෑන්ඩ් ඕවර් වෙන්ඩ  බෑනේ කියලාය.

කාගේදෝ මරණයක් ගැන කියද්දී මැද්දට පන්න ඔහු කිව්වේ 'එකනේ අනිච්චාවත සංඛාරා උප්පාධ  වය ධම්මිනෝ කියල බුදු හාමුදුරුවෝ හෑන්ඩ් ඕවර් කරලා තියෙන්නේ' කියලාය.
සෙස්සන්ගේ  රැවුම් ගෙරවුම් මැද  පොඩි විජේ  ඒ වැරදි  කතාව ගැනනම් පසුතැවිලි වන බව පෙන්නුවේය.

ඔහු ඒ දවස්වල ප්‍රිය කළ දෙයකි මැකී යෑම' . මැකී යනු අපි ගනුදෙනු කළ පුද්ගලික ආයතනයක නමකි.

පොඩි විජේ යන නම ඔහුට පට බඳුනේ ඔහු නිතරම අඹ විජේ හා කැඳ  විජේ යන මිතුරන් දෙදෙනා සමග කයිවාරු ගසමින් සිටි නිසාය. ඒ දෙන්නටම වඩා උසින් හා මහතින් අඩු නිසා පොඩි විජේ යන්න ඔහුට සින්නක්කරේ අයිති විය.

කැඳ විජේ උදේ පාන්දර අලව්වේ සිට වැඩට එන වැඩබිම් සේවකයෙකි. පාන්දර තුනට නැගිටින ඔහු බිරිඳ විසින් සාදා දෙන කොළ කැඳ පාප්පය සුදු පාට ප්ලාස්ටික් කෑන් එකක දමාගෙන පැය දෙක තුනක් තිස්සේ බස්වල රස්තියාදු වී මුත් උදේ හය හමාර වෙන විට වැඩබිමට එයි. ඉන්පසු කැන්ටිමේ  ලිපක මුට්ටියක් තබා කොළ කැඳ  තුනී වෙන්නට වැඩිපුර වතුර දමා උණු කර ගනී. වැඩ පටන් ගන්නා හෝරාව  වන තුරු කොළ කැඳ විකුණන ඔහුගේ පාරිභෝහිකයන්  අතර වැඩබිම් සේවකයෝ පමණක් නොව ඉන්ජිනේරු  මහත්තුරුද සිටියෝය.

අඹ විජේ අපේ වැඩ බිමට හේත්තු වුනේ අමුතුම ආකාරයකටය. සීරුවට පොතු සුරා හීනි පෙතිවලට පලා ලුණු දැමු අඹ වට්ටියක් උස්සාගෙන උදෙන්ම  වැඩබිමට  එන්නට පුරුදු වී සිටි විජේ ටික කලකින් අඹ විජේ බවට පත් විය. කැපූ අඹවලට අමතරව නොකැපු අඹද ඔහුගේ වට්ටියේ විය. ඒවා හොඳ පැසුණු කර්තකොලොම්බන් වීම නිසා ඔහුගේ අඹ වට්ටිය වැඩබිම් සීමාවෙදීම ඉවරයක් විය. ඉන්පසු අඹ විජේ කැරකි කැරකී ඒ අවටම සිටි නිසා මහත්තුරු ඔහුව පොඩි පොඩි වැඩවලට කඩේ යවන්නට පටන් ගත්තෝය. අවුරුද්දක් විතර යනකොට ඔහු අනියම් සේවයකයෙක් ලෙස රස්සාවට බැඳුනේය. ඔහු පර්චසින් සහකරු විය. ආමර්වීදිය පුරා ඇවිද  අවශ්‍ය තරමේ පීරී, යකඩ ඇණ , කියත් තල ආදී සුළු සුළු මිලදී ගැනීම් කරගෙන එන්නට ඔහුට පැවරිණි.

පොඩි විජේ කළුතර සිට රස්සාවට එමින්  යමින්පොඩි උන්  තුන් දෙනෙකුගේ කුස ගින්න නිවා ගන්නට අපමණ වෙහෙසක් දැරුවේය. කිසිදාක හොර බොරු නොකලා වුනාට උපක්‍රමශීලීව මහත්තුරුන්ගෙන් ගතමනාවක් කොටා ගන්නට ඔහු හුරුබුහුටි විය.

ගෙදරින් බත් එක ගෙනාවාදයි නිතර අමතක වන ජයවීර මහත්තයා කෑම කාමරයේ වාඩි කරවා  කැන්ටිමෙන් බත් එකක් ගේන්නට රුපියල් විස්සක් ඉල්ලා ගනී. ඉන්පසු පොඩි විජේ කෙලින්ම යන්නේ ජයවීර මහත්තයාගේ කාමරයටය. ඔහුගේ පයිල්  බැගය ඇර කෑම පාර්සලය ගන්නා ඔහු එය මැටි පිඟානක දමා වතුර වීදුරුවක්ද සමග කාගේ හෝ සමග මෙලෝ සිහියක් නැතිව කයිවාරු ගසමින් සිටින ජයවීර මහතා ලඟින් තබයි.

පොඩි විජේ කළ දේ දන්නා අපට කෑම කද්දී බත් එකට අනා ගන්නට නොමිලේම සිනා රසය ලැබිණි.

ඇතැම්විට කාගේ හෝ  කාරයක්  සෝදා දමන ඔහු කමිසයේ හා කලිසමේ අත් නමාගෙන ඇඟපුරා  වතුර ඉහගෙන රථය  හිමි නිලධාරියා පෙනෙන මානයේ එකෙල මෙකෙල වෙයි.

වාහනේ   හොඳටම ජරා වෙලා මහත්තයා. ඔහොම පාරේ යන්න පුලුවන්ද? හිනාමුසු මුහුණින් විජේගේ  අතේ කීයක්  හරි තියන නිලධාරියා විහිලුවට මෙන් ඔහුට තරවටුවක් කරයි.

එක නිවාඩු දවසක ජයවීර මහතා මහා පාන්දර ඇහැරී ඇත්තේ කවුදෝ සර බර ගාමින් මිදුල අතු ගාන හඬක් ඇසීමෙනි . අසනීපයෙන් සිටින සිය බිරිඳ මේ වෙලාවේ එලියට බහින්නේ  නැති බව දන්නා ජයවීර හීන් සැරේ  ජනේලය ඇර බලද්දී දුටුවේ තාප්පයෙන් මිදුලට පැන ඉදලද සොයාගෙන මිදුල අතු ගාන පොඩි විජේය.
සිය දරුවාගේ අසනීපයකට මුදල් හදිස්සියක් වී කීයක් හරි සොයා ගන්නට පොඩි විජේ ආවේ එහෙමය.

පොඩි විජේ මරු ආවේශ වී කෑ  කොස්සන් ගැසුවේ ඔහු හා බට්ටී අතර තිබෙන සම්බන්ධයක් ගැන අනික් උන් උසුළු විසුළු කරන විටය.

අපේ වැඩබිමට නුදුරින් පිහිටි බට්ටිගේ කඩයට හැන්දෑ වෙද්දී මදක් ගොඩවී එන්නට පුරුදු වී සිටි කීප දෙනෙක්ම විය. පොඩි විජේ ඒ පැත්තට වැඩිපුර ගියේ නැතිවාට බට්ටී ගැන කියමින් ඔහුව බයිට් කිරීම නොකඩවා සිදු විය.

එක් හැන්දෑ වරුවක උතුරන කේන්තියෙන් සිය සගයින්ට බැණ වදිමින් ඔහු මා සොයා ආවේය.
බලන්න මහත්තයා අපේ  කාලකන්නි මිනිස්සු අර අහිංසක ගෑනියෙකුට  එක එක කතා කියන විදිහ. මටනං මොනා කීවත් කමක් නෑ .

' ඉතින් විජේගේත් ඒ මනුස්සයා ගැන පොඩි අනුකම්පාවක් තියෙනවා වගේනේ'  මා කී දෙයින් විජේ තව තවත් පරල විය.

යං  මහත්තයා මේ දැන්ම  යං . මං  බට්ටිව මහත්තයාට පෙන්නන්නම්. එතකොට තේරෙයි මේ  කියන්නේ මොකක්ද කියල.

අපේ ෆෝමන් මහත්තුරු පවා ඉඳ හිට බලන්නට යන බට්ටී කවුදයි දැක බලා ගැනීමේ ආසාවක් මා තුලද තිබු නිසා මිදුලේ  නවත්වා තිබු ජයසේනගේ පරණ පර්ජෝ කාරයට විජේවත් නංවාගෙන හා යමන් කියා කීවෙමි.

වැඩම්බිමට පිටිපස්ස්සේ දුර්වර්ණ ලෑලි ගෙවල් පේලිය පසුකළ  පසු කොහොඹ ගහක් සෙවණේ  පෙට්ටි කඩ කැල්ලක්  තිබුනේය .
 ඔහොම නවත්තන්න.

මහත්තයා අන්න බලා ගන්න බට්ටි කියන්නේ කව්ද කියල.

කෝ කවුරුවත් නෑනේ .

පෙනෙන්න සිටියේ ඉස්සරහ තැඹිලි ගෙඩි දෙක තුනක් හා වීදුරු බෝතලයකට දැමු ලොසින්ජර  කීපයක් පමණක් විකුණන්නට තිබු කඩයේ වාඩි  වී සිටි වියපත් ගැහැණියක් පමණි. උඩුකය නිරුවත්  පුංචි උන් දෙන්නෙක් මිදුලේ සෙල්ලම් කරමින් සිටියහ.

ඔය වයසක උන්දැට තමයි මුන් බට්ටි කියන්නේ. මේ ගමේ කියන නම. ඔය මනුස්සයාගේ දූ ළමයි දෙන්නෙක් හදාගෙන උන් දෙන්නා අම්ම ළඟ තියල තව එකෙක් එක්ක පැනල ගහින්.

ඉතින් අපේ මිනිස්සු මෙහෙ එන්නේ මොකටද?
ඔය මනුස්සයා කඩේ පිටිපස්සේ කසිප්පු විකුනනවා. පව්. ජීවත් වෙන්නනේ  මහත්තයෝ ඔක්කොම කරන්නේ.

එදා සිට පොඩි විජේ මට ලොකු විජේ කෙනෙක් ලෙස පෙනුනේය.


සටහන:

මේ දවස් වල වැඩ නැවතී ඇති ඉදිකිරීම් නිසා විජේලා හා බට්ටිලාට කුමක් වී ඇත්දැයි සිතෙයි

Photo: pagalaparrot.com

56 comments:

  1. දින සීය ගෙවෙන්න කලින් යන්තම් බට්ටි ගැන ලිව්වනෙ.... කන්න නැති කෑමක් ගැන නොතිබුනානම් කාලකට පස්සෙ තිලක සිතේ කියවපු මම කැමතිම කතාව.
    පොඩි විජේලා වගේ අය ලොකු විජේ කෙනෙක් විදිහට දකින්න පුළුවන් එහෙමත් කෙනෙකුට.

    ReplyDelete
    Replies
    1. අයියෝ ඔය රටේ අඹ නැද්ද ?සමාවෙන්න ඕනි. දින සීය පටන් ගත්තේ අදින්. ඒ නිසා පොරොන්දු වූ කතා සේරම ලියනවා. බොහොම ස්තුතියි

      Delete
  2. මාර විජේලා ටික පොඩි විජේ..ලොකු විජේ සහ අඹ විජේ.. හරි රසවත් කථාව..

    ReplyDelete
    Replies
    1. ඇයි කැඳ විජේ ? ස්තුතියි කවිඳු

      Delete
  3. මේක කියවද්දී මට මතක් වුනේ අපේ අම්මගේ ඔෆිස් එකේ හිටපු පියන් ල සහ ඩ්‍රයිවර් ල.. පොඩි කාලේ අම්මත් එක්ක ඔෆිස් ගිහින් ඉද්දි ඔය ටොපියක් හරි මොකක් හරි දීලා විහිළුවක් කරලා යනවා. ඒ මිනිස්සුන්ගේ ඇත්ත ජිවිතේ තේරෙන්නේ දැන් .

    ඒ මිනිස්සු තාම ඉන්නවා ද මොනවා කරනවා ද කියල ආයෙත් මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. මීට අවුරුදු පහලවකට විස්සකට කලින් මට හමු වූ චරිත ටිකක් මේ . ඇත්තටම මේ උදවිය දැන් කොහොම ඉන්නවද කියල මටත් කල්පනා වෙනවා .

      Delete
  4. තිලකෙ ආයෙම ලියලා :) නියමයි.

    මේ අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත වල අපට නොපෙනෙන පැත්තක් පෙන්නුවට ස්තූතියි.

    මට මුණගැහිච්ච සමහර ඩ්‍රයිවර්ල ගැන එච්චරම මනාපයක් නැත්තෙ, ඔවුන් ආයතන ලොක්කොන්ගෙ හොර ගමන් වලට යෑම හරහා ඇතිකරගත්ත හිතවත්කම් , අයුතු විදිහට පාවිච්චි කල නිසයි. ඒත් අනියම් කම්කරුවන්ගෙ වීරයො උනේ ඩ්‍රැයිවර්ල. ඔවුන් හැමෝටම උවමනා වුනේ කවදහරි ඩ්‍රැයිවර් කෙනෙක් වෙන්න. කතාවට කිව්වෙ , ඩ්‍රැයිවර් කෙනෙක් පඩි පහක් ගන්නවා කියලයි.

    මාසික වැ‍ටුප
    අත්තිකාරම
    අතිකාල
    බටා නොහොත් පිට වැඩ සඳහා ලැබෙන දීමනාව
    මල - හොරෙන් ඉන්ධන ඇදිමෙන් ලැබෙන මුදල

    ඒත් ඔය ඩ්‍රැයිවර්ල අතරත්, හොඳ විනෝදකාමී අපූරු චරිත හිටියා. බරපතල වාහනයක් එලවපු උබේසේන , එහෙම අමතක නොවන චරිතයක්. වාහනේ වගේම බරපතල මනුස්සයා. මෙන්න මෙහෙමයි, එයා වාහනේ ලොග් පොතේ ඉන්ධන බැලන්ස් කරන්නෙ.

    වරුසාව නිසා බර ගියර වල ධාවනය

    පියන්ල නං අහිංසක කස්ටිය. වැඩිය ඉගෙන ගෙන නැති වුනාට , මේ සමහර බොහොම හොඳ දුර දක්නා නුවනක් තිබ්බා. ඒ තමන්ගෙ ජීවිත අත්දැකීම්වලින්, වටපිටාවෙන් ඉගෙන ගත්ත දේවල්. නිවාඩුවකට ගිය වෙලාව හම්බ වෙච්ච උපතින් බෞද්ධ වෙච්ච එක්කෙනෙක් මෙහෙම කිව්වා:

    " දැන් ඉන්න ලමයි ඉංගිරිසි ටිකක් දන්නෙ නැත්නම් ඉස්සරහට යන්න අමාරුයි. අපිට කොයින්ද ඉන්ටනැෂනල් කොලීජි මහත්තයො. මං කෙලීව පල්ලියෙ ඉස්කෝලෙට දැම්මා"






    ReplyDelete
    Replies
    1. බස්සෝ මේ කොමෙන්ට් එකෙන් පස්සේ මට අපේ හිටපු රියදුරන් ගැන මාරු කතා ටිකක් මතක් වුනා. හිටින්කෝ හිටින්කෝ .බොහොම ස්තුතියි !

      Delete
  5. අපේ ජීවීත කාළය තුල මොන තරම් සුන්දර චරිත මුන ගැහෙනවද..?

    ඒවා මේ වගේ රහට දෙන එක තමයි අමාරු වැඩේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතේ . මේ එදිනෙදා හම්බවෙන ඉතාම සාමාන්‍ය මිනිස්සු. ටිකක් ඇතුළට බැහැලා බැලුවාම මේ වගේ කතා ලියවෙනවා

      Delete
  6. වැඩබිම් වලට සම්භන්ද වෙච්චි මුල් කාලේ ඔය වගේ රාජකාරිය අතරතුර වෙළදාම් කරන ගෝලයෝ දැක්කම මට හරිම කේන්තියි.. විශේෂයෙන්ම වරාය ඇතුලේ හොර සිගරට්, බුලත් විටි එහෙම විකුණනවා අහු වුනොත් මං කෙලින්ම ඒවා 'අත් අඩංගුවට අරං විනාශ කරනවා' නඩු නැතුවම.. කාලයක් යනකොට ලැබුණු අත්දැකීම් එක්ක ඒ දිහා ඊට වඩා හුඟාක් මානුශිකව බලන්න පුළුවන් උනා.. මේ වගේ හම්බුණු ගොඩාක් චරිත මතක් උනා. ඒ අතරින් දැන් සයිට් එකේ ටොයිලට් ක්ලීනර් 'රෝහණ' විශේෂයි.. මිනිහ ටොයිලට් හෝදලා ලැබෙන විවේකයේදී ලොතරැයි විකුණනවා. දවසකට ලොතරැයි තිහ හතලිහක් විකුණ ගත හැකිලු. "එක ලොතරැයියකින් රුපියල් දෙකක් තියෙනවා" කියල හිනාවෙලා කියනකොට බඩ පපුව දාල යනවා..

    ReplyDelete
    Replies
    1. ආ කියද්දී මතක් වුනේ අපේ තව හිටියා සල්ලි පොලියට දෙන , ස්වීප් විකුණන මිනිස්සුත් . තව රක්ෂණ නියෝජිතයෝත් හිටියා. හැබැයි රාජකාරි වෙලාවෙනම් වැඩ ටික කර ගත්තා

      Delete
  7. අනර්ඝයි! මානුෂීය කෝණයකින් ජීවිතය දෙස බලා දයාර්ද සිතින් අකුරු කරන ඔබට ජය! තවත් ලියන්න අපි කියවනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි . ලිවීමෙන් ලබන සතුට යනු ඔබ වැනි අය ඒවා කියවන බව දැනගන්ට ලැබීමය

      Delete
  8. ඒ කාලේ මම වැඩ කරපු කැම්පස් එකෙත් හිටියා සයිඩ් බිස්නස් කරපු කට්ටිය.. එකක් තමයි... ත්‍රි වීලර් එළවීම... ටිකක් අන්දොලන්තමක එකක් මොකද වැඩ කරන වෙලාවේ හයර් අවොත්... මේක කරේ ඇනිමල් හවුස් එකේ පියන්ලා.. මගේඩිපාමන්ට් හිටපු යට මම කියලා දුන්නා නිකන් ඉන්න වෙලාවට පරිගණක ඉගෙන ගන්න සහ අයින් කරන ලියුම් වලින් බෙහෙත් කවර හදන්න.. එක් පියන් කෙනෙක් විශ්‍රාම ගනිද්දී මා ගැන මතක් කරලා තිබුනා.. කවිඳු මහත්තයා අපිට ඉගැන්නුවා විශ්‍රාම ගත්තට පස්සේ කරන්න පුළුවන් දේවල් කියලා..

    ReplyDelete
    Replies
    1. කවිඳුගේ මේ අත්දැකීම් ටිකත් ඉස්සරහට බ්ලොග් එකේ ලියන්න

      Delete
  9. හරි අපූරුවට ලියපු සටහනක්... ඇත්තටම මේ සටහනත් එක්ක මටත් පොඩි පොඩි සිදුවීම් ටිකක් මතක් වුණා මේකට සමපාත නැතත් සංවේදී කතාවක්
    කමුමැලී අනේ ඕව ලියන්න
    තිලකෙ අය්යල ලියන්න අපි කියවන එක කොරන්නං

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි . මහේෂ් අපි දිගටම ලියලා හරි යන්නේ නෑ . දැන් එන්නේ ඔයාලගේ කාලේ. ඒ නිසා කම්මැලි නැතිව ලියන්න

      Delete
  10. පොඩි විජේ කියලා හිටියා මගේ බැජෙක්..... දැන් තමා කාලෙකට පස්සේ මතක් වුනේ... උෟත් සුපිරි පොරක්..

    ReplyDelete
    Replies
    1. ඒ විජේ ගැනත් කවියක් කුරුටු ගාමුද

      Delete
  11. සංවේදි සටහනක් තිලකෙ අයියෙ. මාත් කලින් වැඩ කරපු දෙපාර්තමේන්තුවෙ හිටියා හරි අපූරු පියන් කෙනෙක්. අදටත් උස්පාත් බේදයක් නැතුව සහෝදරත්වයෙන් ආශ්‍රය කරනවා. මිනිහගෙ වෙඩින් එකේ ‍‍‍බෙස්ට්මන්ට හිටියෙත් මම

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිල්ෂාන් . ඇත්තටම ඒ වැඩපලින් ආවට පස්සෙ සෑහෙන කාලයක් යනකන් මේ මිනිස්සු ගැන හොයා බලන්න බැරි වීම ගැන දුකයි

      Delete
  12. ඌ නං ලොකු විඩේ කෙනෙක් තමා. උඹ අර අන්තිම ටික දැම්මේ යහපාලනය අවුල් කියල කියන්න නේද?? හැක්

    ReplyDelete
    Replies
    1. හැක හැක . අන්න පහලින් කවුදෝ හරියටම ලියල තියෙනවා

      Delete
  13. අර වගේ නැගලා යන කෑලි නොහොත් catch phrases කාලෙන් කාලෙට එනවා නේද? උඹට මතකද එක කාලයක් 'අනුකූලතාවය' catch phrase එකක් වෙලා තිබ්බා. "මම ඒකිගෙන් ඇහුවා කෝ කිසිම අනුකූලතාවයක් නෑනේ" ඉඳං "මචං බෝතල් දෙකක්ම ගහලත් නෑනේ බං කිසිම අනුකූලතාවයක්" දක්වා ගැලපෙන, නොගැලපෙන ඕනේම තැනකට.

    උඹේ කතා මානව දයාවෙන් පිරිලා බං. මටනම් සමහර වෙලාවට මල හෑන්ඩ් ඕවර් වෙලා මානව දයාව මැකී යනවා කිසිම අනුකූලතාවයක් නැතුව. :D

    ReplyDelete
    Replies
    1. ඔය මිනිස්සු එක්ක වැඩ කරද්දිනම් හැම වෙලේම මානව දයාව තියා ගත්තේ නෑ බන් . හොඳවයින් දෙකක් හෑන්ඩ් ඕවර් කරා වැඩක් කර ගන්න

      Delete
  14. හ්ම්,කොහොමින් හරි බට්ටිගේ මිනිබිරියන්ට,පොඩි විජේගේ,අඹ විජේගේ දරුවන්ට යහපත් හෙටක් හැදෙනවා නම් එකයි වැදගත්.
    මම හිතන්නේ තිලකේ අයියා මේක සංක්‍රාන්ති සමයක් වෙන්න ඕනේ.මහා ජන්දෙන් පස්සේ ඔක්කොම යථා තත්වයට පත් වේවි.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි මමත් එහෙම හිතෙනවා. තිබ්බ විදිහම දිගටම ගියානම් ආයේ නැගිටින්න බැරි විදිහටය් වැටෙන්නේ .ඒත් මේ මිනිස්සු එක දවසක් ගැට ගහ ගන්න දඟලපු විදිහ මතක් වුනා

      Delete
  15. කමිය වගේම මමත්, රස්සාවට අදාල නැති දේවල් කරන එවුන් ගැන ගැන තද තීරණ ගත්ත කාලයක් තිබුන. ටික කාලයක් ගතවෙද්දි තමයි තේරුම් ගත්තෙ සමහර මිනිසුන්ගෙ සංකීර්ණ ජීවිත ගැන .
    අපේ අයතනයේ සේවක වැසිකිලි පවිත්‍ර කිරීමට දිනපතා පැමිනෙන පුද්ගලයෙක් හිටිය ගාස්තුවක් විදිහට අපේ ආයතනයෙන් ඉවත දමන පොලිතින් ,කඩදාසි විශාල පොලි බෑග්වල දමාගෙන කරේ තියන් අරන් යනව දවසක් මේ මනුස්සය මාව හොයාගෙන ආව " සර්, මම අළුත් වාහනයක් ගත්ත. එන්ඩකො බලන්න" බලන්න ගියාම රබර් රෝද දාපු ලී කරත්තයක්. වෙනදට වඩා කඩදාසි ලෝඩ් එකක් අරන් මිනිහ සතුටින් ගියා.

    ReplyDelete
    Replies
    1. ඔය මිනිස්සු උපහාස කතා කියන්නත් දස්සයි . දුප්පත් වුනත් ගොඩක් වෙලාවට හිනා වෙලා ඉන්නවා

      Delete
  16. හරි අපූරු සටහනක් තිලකෙ.
    මැකී යාම නං නියමයි. ඊට වැඩිය නියමයි අර කෑම විකිණිල්ල.

    මගේ කලින් ඔපීසියෙ හිටිය මුරකරන මනුස්සයෙක්. ඉරිදට කාර්ය‍ාලෙ නිවාඩුයිනෙ. ටවුමෙ පොල තියෙන්නෙත් ඉරිද. මුරකරුගෙ හිතවතුන් එනව වාහන දාන්න කාර්යාලෙට. මොකද ආරක්ෂාව හොඳයිනෙ.සමහරුන්ගෙ වාහන හෝදල කීයක් හරි හොයාගන්නව ඒ මනුස්සය. දවසක් බොසාට මාට්ටු වෙලා බැනුං අහනකල් ඔය වැඩේ කලා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රාජ්. ඔය වාහන හෝදලා කීයක් හරි හොයා ගන්න පුරුද්ද මේ ඉන්න රටේ පියන්ලා ලඟත් තියෙනවා

      Delete
  17. සුන්දර මිනිසුන් ගැන ලියැවුණු සුන්දර සටහනක්. උඹට ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන්. ඒ වගේම සුබ උපන් දිනයක් වේවා

      Delete
  18. Replies
    1. මටත් හිතුනේ ඒක නැතිනම් මැක්වුඩ්ස් වගේ එකක් කියලයි. නමුත් මං හිතන්නේ මෙතන කියවෙන මැකී යාම අර මැකී ගිය දඩමං වගේ මැකී යාමක් කියලයි.

      ලොකු මහත්තයා මැකී ගියා. මමත් මැකී ගිහින් දැන් තමයි ආවේ = ඩිසැපියර් සහ රී-ඇපියර් ??

      Delete
    2. ඔව් ඔව් ඒ මැකී තමයි

      Delete
    3. හරියටම මතකයක් නෑ . 97 විතර

      Delete
  19. මේ දවස් වල වැඩ නැවතී ඇති ඉදිකිරීම් නිසා විජේලා හා බට්ටිලාට කුමක් වී ඇත්දැයි සිතෙයි-
    තිලකසිත නොහොත් තිලකසිරිගේ දේශපාලන ලැදියාව නොහොත් මහින්දට කඩේ යාම පෙන්වන මේ වැකිය මෙම පෝස්‍ටුවේ හරයයි. හොඳ දස්කමක්,

    සටහන- මෙම කොමෙන්‍ටුව මකා නොදමනු ඇතයි සිතමි.

    ReplyDelete
  20. පියන්ලා විවිධයි. කපටිත් ඉන්නවා ඕනෙ තරම්. සමහර පියන්ලා ඉන්නවා උන්ට මනුස්සයින්ට වගේ සැලකුවොත් උනුත් පණ දෙන්න එනවා. මම හිටපු ඔෆිස් එකේ පියන්ලා නිතරම කියපු දෙයක් තමයි මහත්තයලගේ කට්ටිය අපි එක්ක හිනාවෙන්නෙවත් නෑ කියල. එහෙම කට්ටිය මොකක් හරි වැඩක් කිව්වම උන් ඒක කරන්නේ පරංගි කෝට්ටෙ ගිය පාරෙන්. චිකන් නෑම ගේන්න කිව්වම චිකන් තිබුනෙ නෑ එළවළු විතරයි තිබුනෙ කියන වෙලාවලුත් මම දැක්කා. ඒ උන්ට දිරවන් නැති සෙට් වලට. මම මාළු ඉල්ලුවම සල්ලි නැති වෙලාවට උන් සල්ලි දාලා චිකන් කෑම ගෙනාපු වෙලාවලුත් තිබුනා. වාඩි වෙන පුටුව කැරකුණේ නැති උනාට උනුත් අපේ පංතියෙමයි

    ReplyDelete
    Replies
    1. කිචී මේ පැත්තේ ආ එක ගැන සතුටුයි.
      ඕනිම ආකාරයක පියන්ලා සමහ බොහොම සුහදව වැඩ ටිකත් ඕනි විදිහටම කරවාගන්න සමහර බොස්ලා මට හමු වෙලා තියෙනවා. හැබැයි දෙශපාලන හයිය ගහපු පියන්ලයි ලොක්කගේ හොර වැඩ වලට උදව් කරපු පියන්ලයි ඉන්න ඔෆිස් නම් ඕනිම නෑ

      Delete
  21. ජිවත් වීම කියන්නෙත් කලාවක් කියනවනේ

    ReplyDelete
    Replies
    1. ඔව්. අපි ඒ ජීවත් වීමේ කලාව රස විඳින්නත් ඕනි නේද

      Delete
  22. පරාජය වන්න අකමැති මහපොලොවෙ විජය චරිත

    ReplyDelete
  23. පුංචි යෝදයෙක්.. මේ වගේ චරිත අනන්තවත් මටත් මුණගැහිලා තියෙනවා. අපි මිනිස්සු දිහා බලන්නෙ වපර ඇහින් නිසා දකිනෙ අපි දකින්න කැමති මිනිහා මිස ඇත්ත මිනිහා නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. // අපි දකින්න කැමති මිනිහා මිස හැබෑ මිනිසා දකින්ට වෙන්නේ කලාතුරකින්// එකඟයි

      Delete
  24. Write more real life stories like this. We are waiting

    ReplyDelete
  25. අපූරු මිනිස්සුන් එක්ක ජීවත් වෙන්න ලැබීමත් මතකයන් ගොන්නක්..

    ReplyDelete
    Replies
    1. ඒවා බෙදා හදා ගන්න සුදුසු මිනිසුන් ලැබීමත් සතුටක්

      Delete
  26. මේ දවස් වල වැඩ නැවතී ඇති ඉදිකිරීම් නිසා විජේලා හා බට්ටිලාට කුමක් වී ඇත්දැයි සිතෙයි//

    වෙලා තියෙන්නෙ කරපු කලින් කර කර හිටපු රස්සාව නැති වෙලා කොහෙ හරි තැනක සිකුරුටි හරි පියන් හරි කමකට යන්න වෙලා තියෙන එක... අපෙ මහත්තයලගෙ කම්පැණියෙ සිකුරුටි ෆර්ම් එකේ හිටපු කොල්ලෙක් එහෙම ගමේ ගිහින් වැඩබිම් වල ( පාරවල් වල තමයි වැඩිපුර) වැඩ කර කර ඉඳල, දැං යන එන මං නැතුව ඇවිත් ලොක්ක ගාව පින්සෙණ්ඩු වෙලා දහදාහෙ පඩියට වැඩ කරනව...

    ReplyDelete
    Replies
    1. මම දන්නා ගොඩක් දෙනෙක් මේ තත්ත්වයට පත් වෙලා හිරු. ඉක්මනින් ඔවුන්ට සහනයක් ලැබෙනවා නම් හොඳයි.

      Delete
  27. harima lassana sanwedi kathawak........


    thawa liyanna uncle............
    man asawen balan inawa.........

    ReplyDelete