Monday, September 7, 2015

මස්රොටී ස්මරණ

නාරාහේන්පිට පැත්තෙන් දවල් කෑම බඩ  පිරෙන්න කාලා තව අයිස් කෝපි  එකකුත් බීලා ආපහු එන ගමන් බොරැල්ලෙන් දෙමටගොඩ පැත්තට හැරෙව්වා . 'ඔහොම නවත්තන්න නවත්තන්න' අපේ බිරින්දැයි දෝනිලා දෙන්නයි එක වර මරහඬ දෙන්න තියාගත්තා.

හතර වටේ වාහනවලින් බැනුම් හෝන් අසා ගනිමින් සයිකල් බසාර් එක ඉස්සරහ පාර අයිනේ  අනවසර තැනෙක බොහොම අමාරුවෙන් නවත්තා ගත්තා.
ඔන්න ඉතින් අපේ ලොකු දෝනි අම්මගෙන් ඉල්ලා ගත්ත  රුපියල් පණහේ නෝට්ටු දෙක ලෙළවමින්  කඩ මණ්ඩිය පැත්තට දිව්වා .
මේ වගේ වෙලාවට ගිරවෙක් වගේ කියවන මගේ සුපුරුදු දේශනාවක් තියෙනවා .
'ඕවා බදිනකොට ප්ලාස්ටික් බෝතල් හිටන් උණු කරලා දානවලු. පාර අයිනේ බේසම්වල දාගෙන තියෙන කඩචෝරුවල  කොච්චර වාහන දුම දුවිලි වැදෙනවද . අනික ඔය තෙල් තාච්චිය කවදාවත් මාරු කරන් නෑ'.

මම ඔහොම කිව්වට කවුරුවත් අහගෙන හිටියේ නෑ . තව ඩිංගකින්  සිලි සිලි කවරෙකට දාපු බ්‍රව්න් පේපර් බෑග් දෙක තෙල් බේරී බේරී උස්සාගෙන දෝනි ආවා. එයා වාහනේට නගින්නත් කලින් කරස් කරස් ගාලා බැදපු මයියොක්කා පෙති හැපෙන සද්දෙ ඇහුනේ මාව අපහසුවකට පත් කරමින්.

'දවල්ට කාලා පැය බාගයක්වත් නෑ . මේ ගොල්ලෝ ඔය ජරාව කන්නේ හරියට හත් අවුරුද්දකින් කාලා නෑ වගේනේ' .

එහෙම කියපු මගේ කටට කෙළ උනා ඇතිබව වචන උච්චාරණය අනුව කාටවුනත් තේරුම් යනවා  .
'ඇයි ඉතින් දැන් එපා කිව්වේ . ඉස්සරහ බලාගෙන වාහනේ එලවන්න' .

ඔය  කීවට  ටික වේලාවකින්ම  මිරිස් රහ, ලුණු රහ යහමින් තියෙන රස්නේ තාමත් නොගිය මයියොක්කා පෙත්තක් මගේ කටට වැටෙනවා. ඔහොම ඉතින් පෑලියගොඩ හරියට යනකොට අර ගෙනාපු පැකට් දෙකෙන් වැඩි හරියක් මගේ බඩටත් සමෝසමේ ගිහිල්ලා .

කොච්චර් කන්න ආස උනත් මම ඔය කඩචෝරු ජාති ඉල්ලන එක නවත්තලා දැන්  ගොඩක් කල්. ඒක වුනේ අර පොඩි එකා මල් වට්ටියක් වියලා දෙන්න කියල යුද්දයක් කරපු දවසට පස්සේ. හැබැයි අපේ ගමට බස් එක දාන්න ටික කාලෙකට කලින්.

අපි ඉතින් ටවුමට එක්කගෙන යන්නේ මාස ගානකට සැරයක් අලුත් සපත්තු දෙකක් ගන්න හරි පණු බෙහෙත් ටිකක්  අරන් දෙන්න එහෙම තිබ්බොත්නේ. එහෙම ගියපු දවසට නොවරදවාම මට අරන් දිය යුතු අයිටම් දෙකක් තිබ්බා , එකක් පුංචි ප්ලාස්ටික් නලාවක්. අනික බිස්මිල්ලා හෝටලෙන් මස්රොටියක් . මේ රතුපාට හා නිල්පාට මූඩි දෙකක් තිබ්බ පුංචි නලාව පිඹ පිඹ මස්රෝටිය ලෑටි ගසමින් ගෙදරට එනකන් පයින් ආවත් මගේ කකුල් රිදුන් නෑ . මම එන්නේ රජෙක් වගේ. මග දිගට පාර හරහා පනින මුගටියෝ, තණකොළ අස්සේ ඉඳන් එබිලා බලන කොළපාට පෙත්තෝ  ඔක්කොම මට පේනවා. වෙන එකක් තියා  තුත්තිරි මල් උනත් මට මහා විශාලෙට ලස්සනට පේනවා .

ඒත් මේ කියන දවසේ මට මේ පළා පෙත්තොවත්, තුත්තිරිමල්වත් මොකක්වත් පෙනුනේ නෑ . මම අඬ අඬා  අම්මගේ  අතේ එල්ලීගෙන යනවා. කඳුළු සහ  හොටු ගෑවිච්ච නලාව අතට අරං වරින්වර  පිඹිනවා. ආයේ අඬනවා.

අම්ම මාව නලවන්න හදනව. හෙට තාත්ත තලාවේ යනවනේ. එතකොට බිස්මිල්ලා කඩෙන් මස්රොටියක් ගෙනල්ල දෙනවා. දැන් ගෙදර යං. කිරිටොපි හදමු. අම්ම එහෙම  කියන්නේ අපි දෙන්නත් එක්ක සතොසෙන් ගත්ත පැරකුම් උකුකිරි ටින් එක තියෙන මල්ල මගේ දිහාට හරවන ගමන්.

මම තව අඬනවා. ආයෙත් නලාව පොඩ්ඩක් පිඹිනවා. අම්ම ඔසරි පොටින් මගේ මුණ පිහිනවා.

අනේ පුතේ අඬන්න එපා අපි ඔයාට මස්රොටිය ගන්න යනකොටමනේ මේ මගට එන වාහනේ හම්බුනේ . ඒ නාවානම් අපිට ගොඩක් දුර පයින්ම යන්න එපැ යි.

කොහොම හරි ගෙදරටම ආවා කියමුකෝ. කාටත් පේන්න  නලාව ලන්දට විසි කරලා මිදුලේ පෙරළෙමින් මම අඬන්න පටන් ගත්තා
මස් රොටියක් ඕනි! මට මස් රොටියක් ඕනි !!
මේක කොයි තරම් බරපතල උද්ඝෝෂණයක්  උනාද කිව්වනම් කඳුළු  ගෑස් ගහලවත්, සාකච්චා මාර්ගෙන්වත් ප්‍රශ්නේ විසඳන්න බැරිවුනා.
අන්තිමේ මම  ඉල්ලීම දිනා ගත්ත.
ඇඳගෙන හිටිය අත්දිග බැනියමට උඩින් පොලියෙස්ටර් නැෂනල් කමිසයක් දාගත්ත තාත්තා මස්රොටියක් ගේන්න හැතැම්ම දෙකක් ඈතින් තියෙන බිස්මිල්ලා එකට යන්න පිටත් වුණා . ඇවිදලා  ඇවිදලා කකුල් රිදී රිදී තිබ්බත් මමත් අත ඇරියේ නෑ . තාත්තා  පස්සෙන් එල්ලුනා. මාත් හැල්මේ ඇවිදගෙන යනවා තාත්තා එක්ක
ඔන්න තව පැයකින්  විතර අපි බිස්මිල්ලා හෝටලේට ආවා .  ගත්ත ගමන් උණු උණු මස් රොටිය තාත්ත මගේ අතින් තිබා .

තාත්තගේ මුණ මහන්සි පාටයි . කේන්තියක් තිබ්බද මතකත් නෑ .

ඒත්  මස් රොටිය අතට ගත්තට පස්සේ මට මහා මොකක්දෝ දොම්නස් සිතිවිල්ලක් ආවා . ලැජ්ජාවක් වගේ .
'ඉතින් ඕක කන්න'. තාත්ත කීවා.
'යනගමන් කමු'. මම කිව්වේ තරමක් ඇඹරෙමින්.
මගක් දුර ගිහින් මස් රොටියෙන් චුට්ටක් කන්න ගත්තට මෙලෝ රහක් දැනුනේ නෑ . පාර හරහා  මුගටියෝ පැන්නෙත් නෑ . තුත්තිරි මල් ලස්සනට පෙනුනෙත් නෑ . පලාපෙත්තෝ හිටියෙත් නෑ .

තාත්තා පොඩ්ඩක් අහක බලාගන්න වෙලාවක මම මස් රොටියත් ලන්දට විසි කරා .
එදා තමයි අතේ නලාවක්වත් මස් රොටියක්වත් නැතිව ටවුමේ ඉඳන් අපේ ගෙදරට මම මුලින්ම පයින් ගිය දවස.
මට  ඉන්තේරුවෙන්ම කියන්න පුළුවන් ආයේ කෑමක් බීමක් ඉල්ලලා අඬලා නෑ ඉන් පස්සේ කවදාවත්.

කටින් කියලා ඉල්ලුවේ නැතිවට මම ආසාකරන කඩචෝරු මට කොහෙන් හරි හම්බවෙනවා . ඒ මට ආදරේ, මගේ යටි හිත දන්නා කවුරුහරි ඒ 'දහජරාව' කන වෙලාවට.
බැදපු මයියොක්ක පෙති කන්න ලැබෙන්නෙත් ඒ විදිහටමයි.

Photo. sbs.com.au

78 comments:

  1. මාත් ඔය දහජරාව කන්න මාර අාසයි... ඔයිට වඩා හොදයි තෝ මහ රෑක මස් රොටියක් කන්න තනියම ඔය පාරේ ගියානං. (කරුමෙ කියනනේ ඒ වෙලාවටත් තාත්තා පස්සනේ ඒවි නේ..හැක්)

    ReplyDelete
    Replies
    1. ඒ 'යවුල ගහේ ' කතාව වුනේ ඊට අවුරුදු ගානකට පස්සෙනේ බං

      Delete
  2. මගෙත් ප්‍රියතම ආහාරයක් තමයි ඔය ජාතියේ රොටි. ඒ උනාට 95% අවස්ථාවල කැවෙන්නේ පිටි හටිය විතරයි. ඒකට හේතුව බොහෝ තැන්වල ෆිලිං එකට දාන්නේ කළින් දවසේ ඉතිරි එලවළු ජාති වීම. මේ ලඟදී දැක්කා විනාදි 10 ක් බේක් කර ආහරයට ගත හැකි ප්‍රී කුක්ඩ් රොටි සුපර් මර්කට් එකක. අලුත් ෆිලිං දාල හදන රොටි තිබෙන කොලඹ තැනක් කවුරුහරි කිව්වොත් ඒක මේ රොටි පෙරේතයාට නම් ලොකු උපකාරයක්.

    ReplyDelete
    Replies
    1. අපි මේ රොටි ලෝලීන්ගේ සංගමයක් හදමු නේද ඉයන්

      Delete
  3. අපේ කඩේ විකුණන්න තිබ්බත් ඔය මඤ්ඤොක්ක පෙති කන්න මට තාම කිසිම ආසාවක් ඇති වෙලා නෑ.
    //කටින් කියලා ඉල්ලුවේ නැතිවට මම ආසාකරන කඩචෝරු මට කොහෙන් හරි හම්බවෙනවා// කරුමෙ කියන එක කරත්තෙ රෝදෙ වගේ පස්සෙන් එනව කියන්නෙ ඕකට තමයි. :D

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට ඔය පස්සෙන් එන කරුමෙට අපි කැමතියිනේ ප්‍රසා

      Delete
  4. මට ඉස්සරම කාලේ ඔය වගේ හම්බ උනා හැම බදාදාම අලියා බිම එකයි කෝලිකුට්ටු කෙසෙල් ගෙඩියයි.. එදාට අම්ම මාව එක්කගෙන යන ගමන් විහාරගොඩින් ඔය දෙක අරන් දීල බදාදා පොලෙන් බඩුත් අරන් යන්නේ.. ඒක කවද කොහොම නතර උනාද නම් මතක නෑ..

    පස්සෙන් පහු කාලේ ගෙදර ආර්ථිකේ හුඟක් අමාරු උනහම බස්සෙකේ යන්න හම්බ වෙන 1.50න් සත පනහේ 'පකඩ' ගොටු තුනක් අරන් කකා යනවා සේනානායක පිට්ටනිය ළඟ ඉඳල ගෙදෙට්ටම පයින්.. යනකොට බත් කන්නත් බෑ කට හම ගිහින්..
    මටත් ඉතින් අපරාදේ කියන්න බෑ කොහෙන් හරි හම්බ වෙනවා කඩචෝරු නම්.. ඒත් මටම කියලා අරගෙන කාල නෑ කාලෙකින්.. මස් රොටිය දිගේ සෑහෙන අතිතේකට ගියා.. :)

    ReplyDelete
    Replies
    1. මගේ අම්මෝ අර අලියා බීම බෝතලයක්ම තනියෙන් බිව්ව එකා හෙන පොරක්නේ 1.50ට බස් එකේ යන්න පුළුවන් කාලේ. ඒ කාලේ අපි ඕකට කිව්වේ ඔරෙන්ජන් බාර්ලි කියල . ස්තුතියි කමි තව ටිකක් රස එකතු කලාට

      Delete
  5. ගොඩක් ඈත අතීතෙට ගියා තිලකේ.අපේ තාත්තා ඉස්සර හවසට වැඩ ඇරිල ගෙදර එද්දි අපට ඩෙල්ටා ටොෆි ගේනවා.දවසක්දා කෝච්චිය මග නවත්තල තිබිලද කොහෙද ගෙදරට ළඟ නිසා තාත්ත එතනින් බැහැල ගෙදර එන්න පිටත්වුනා.
    අපි කට්ටිය මිදුලෙ පිණි ජම්බු ගහ යට පඩිය උඩ තාත්තා ටොෆි ගේනකල් බලාගෙන ඉන්නවා ඈතදීම දැක්ක තාත්තට අද ටොෆි නෑ නේද කියල මතක් උනා.එහෙම්මම ආපහු හැරුන ඔහු හැතැප්ම එකහමාරක් දුර පයින්ම ටවුමට ගිහිං ටොෆිත් අරං ආපහු ආවා.
    තිලකෙගේ කතාව කියවද්දි ඔය කතාව මගේ සිතේ රඟදුන්නා.ඇත්තටම පළාත්වල තැන්වල දේවල වෙනස මිසක හැම තැනම තියෙන ඔය සෙනෙහස කොහෙත් එක සමානයි නේද මචං.

    ReplyDelete
    Replies
    1. හැලපේ, ඒකත් හරිම රසවත්, සංවේදී කතාවක් මචන් . අපි පුංචි කාලෙත් දන්නා හොඳම රසකැවිල්ල ඩෙල්ටා ටොපිය තමයි .

      Delete
  6. වරදකාරී හැඟීම කියන්නෙ එක් එක් පුද්ගලයා මත පුද්ගලයගෙ සංවේදීතාවයට අනුලෝමව සමානුපාතිකව ක්‍රියාත්මක් වෙන දෙයක්.
    අප්පට සිරි. දැන් කවදාහරි මේක මගෙ පඬිවදනක් හැරියට ඉතිහාසගත වේවිද?

    ReplyDelete
    Replies
    1. පඬි වදනක් නෙවෙයි සමහර විට සමීකරණයක්, සූත්‍රයක් වගේ දෙයක්...

      Delete
    2. මේක ප්‍රසිද්ද වෙන්න ඉඩ තියෙනවා 'ඩුඩ්ගේ වරදකාරී න්‍යාය' කියල

      Delete
  7. hmm.. lassanai uncle.. mekatanm mn godaak asai.. uncleta hithagn pluwnne ai kyla.. (thaththi katha, pawle katha.. <3 )

    unclenm ehm hri wahane nawattanawa... mata ammai thahthai dannama thahanam niyoga dila thiyenne owa kanna.. iskole yaluwekge pihita thama.. :)
    mas roti gananm mata loku idea 1k na uncle..

    uncle.. khmd uncle e tharan lassanata liyanne... kama wlata wada matanm kathawa dahas gunayak rasai...

    godak sthuthi uncle e lassana mathakaya mechra lassanata liuwta...

    (pudum wade kiyanne, matath uncle kthawk dapugmn wge me paththata ewena ekane.. kawadawat kathawak danadena awe na..... awilla danagaththe.)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුව . මමත් නිතරම ළමයින්ට කඩචෝරු කන්න අවසර දෙන්නේ නෑ. හැබැයි ඔය බොරැල්ලේ මයියොක්කා පෙති කඩේනම් මග ඇරලා යන්න බෑ ලේසියෙන්

      Delete
  8. මේ කතාව දිගේ පුන්චි කාලෙට ගියා. ඒ කාලේ මොනව හරි කඩචෝරුවක් ඉල්ලලා අඬන හැටි මතක් වෙනවා. මම ඉල්ලන දේ ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි. මම ඉල්ලන කෑම ගන්න තරම් අපේ ගෙදර සල්ලි නැති නිසා. තිබුනත් මේ සල්ලි වියදම් කරන්න ඊට වඩා ගොඩක් වැදගත් දේ තිබුනා. ඒවාද මට සිතෙන්නේ දැන් .

    ReplyDelete
    Replies
    1. Ahasenenna මේ පැත්තට ආ එක ගැන ඉතාම සතුටුයි. ඉස්සෙල්ලම කියන්නකෝ ඔය ප්‍රොෆයිල් නාමය ශබ්ද කරන්නේ කොහොමද කියල

      Delete
    2. ස්තුතියි . 'අහසෙන් එන්න' බ්ලොග් අඩවියත් බොහොම ආසාවෙන් කියවන්න පටන් ගත්තා

      Delete
  9. බිස්මිල්ලා (අපි කිව්වේ බිසිබිල්ලා කියලා. තවමත් ගොඩ දෙනෙක් කියන්නේ එහෙම තමයි.) එළවලු රොටී සහ බාගෙට හෝදපු කෝප්පෙ දෙන ප්ලේන්ටී එක තරම් රස කෑමක් මම ලෝකෙ කොහෙදිවත් කාලා නෑ කිව්වොත් හරි. ගිය අවුරුද්දෙ ගෙදර ගිය වෙලාවේ අපි එතැන්ට ගියා. හවස හය පහුවෙලා ගියොත් එළවලු රොටී නෑ. කොහොමහරි දෙවැනි දවසෙ හයට කලින් ගිහින් ගත්තා. ඒ රස එහෙමමයි. වෙන කිසිම කඩේක තියෙන එළවලු රොටීවල ඒ රස නෑ. හිත අතීතයට ගෙනගියාට ස්තූතියි තිලක අයියා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නිලූක මමත් මේ නම කණට ඇහිච්ච විදිහෙන් තමයි මතකේ තියාගෙන ඉන්නේ. බිසිබිල්ලා වෙන්නත් ඇති. මේ කතාවේ තියෙන සිද්දිය වෙනකොටනම් හොඳම මස්රොටී තිබ්බේ රීගල් එක ඉස්සරහ නෙවෙයි. පහල සයිබු කඩේට උඩින් . ඒකෙ නම ඇත්තටම මට මතක නෑ . ඒ නිසයි අර දන්නා කියන කඩේ නම දැම්මේ කතන්දරේට

      Delete
  10. “මම අඬ අඬා අම්මගේ අතේ එල්ලීගෙන යනවා. කඳුළු සහ හොටු ගෑවිච්ච නලාව අතට අරං වරින්වර පිඹිනවා. ආයේ අඬනවා.“

    මට මැවිල පේනවා.... අඬන ගමන් නලාව පිම්බෙ මොකද? :) :)

    කවුරු හරි කියල නොදී තමන් තුළින් ඇතිවන යමකින් පාඩමක් ඉගෙන ගැනීම කොච්චර ලස්සන දෙයක්ද? තාත්තගේ ආදරේ මොන තරම් විසාලද? තාත්තා බැන්න නම් ඒ වරදකාරී හැඟීම ඒ පොඩි දරුවට කවදාවත් ඇති නොවෙන්න ඉඩ තිබුණා.

    ReplyDelete
    Replies
    1. //අඬන ගමන් නලාව පිම්බෙ මොකද?//අඬන එකත් නලා පිම්බිල්ලක් තමයි . ඒත් මේ ළමයගේ ඔය ඉඳහිට ටවුමේ ඉඳන් ගෙදරට එන ගමන සම්පුර්ණ උනේ නලාවයි, මස් රොටියි එක්ක මග තොට අනිත් සිරි නරඹමින් එනකොටනෙ. මස්රොටියේ රසේට වඩා ඒකත් අතට ඕනි මේ සුන්දර ගමන සම්පුර්ණ කර ගන්න . එදා මස් රොටිය නැති දුක චුට්ටක් අමතක වුනාම නලාව පිඹිනවා . නලාව පිඹිද්දී මස් රොටිය මතක් වෙලා ආයෙමත් අඬනවාD

      Delete
  11. අපිට "දහ ජරාව" කන්න තියෙන ආසාව මේවා "දහ ජරාව" කියලා දැනගත්ත පලියට නැතිවෙන්නේ නැහැ. තිලකෙගේ වෙනත් කතා වගේම මේ කතාවත් කියවගෙන යනකොට අකුරු අස්සෙන් කතාවේ රූපත් ඉබේම උඩට මතුවෙලා පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ කතාවේ නැති කාලයක් හිතේ හැංගිලා හිටපු රූපත් උඩට මතුවෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන්. දැන් ඔය අලුතින් මතක් වෙච්ච කතා ටිකත් දාලා ඉකොනොමැට්ටත් මොනා හරි කුරුටු ගායි කියල හිතනවා

      Delete
  12. පුංචි කතාවක් දිගේ මේක කියවන හැමෝම අතීතෙට අරන් ගිහින් තියෙනවා ලස්සනට.
    කවුරුහරි දෙයක් කියලා අවබෝධ කරවලා දෙනවට වඩා තමන්ම යමක් අවබෝධ කරගන්න එක කොච්චර වටිනවද කියන එකට මේ පුංචි කතාව ලොකු සාක්ෂියක්.

    මම දන්න පවුලක් මේ වගේ දරුවෙක් පොඩි බනිසක් ඉල්ලලා කරපු දරුණු උපවාසයක් නිසා සුනාමියෙන් බේරිලා තිබුනා. මේක කියවද්දි ඒක මතක් උනා. එඩාඅ ඒ බනිසක් ඉල්ලලා අරගල කරපු පැංචි දැන් වෛද්‍ය ශිෂ‍යාවක්.

    මමනම් ජීවිත කාලෙටම තාමත් කිසිම දෙයක් ඉල්ලලා අඩලා නෑ මතක හැටියට. හැබැයි හෙට අනිද්දට දවසට පැය හතලිස් අටක් දියෝ කියලා වගේ අඩන්න ඉඩ තියෙනවා.

    ප.ලි: "තාරා මගේ දෙව් දුව" කියවන්න සති දෙක තුනකට කලින් ඒක කියවද්දි මතක් උනා කියපු මස් රොටියෙ කතාව දැම්මට ස්තූතියි!..

    ReplyDelete
    Replies
    1. අනේ බොහොම ස්තුතියි සඳ වියමන් මට අමතක වෙලා තිබ්බ කතාවක් මතක් කලාට . ඔව් මතකයේ යටපත් වෙලා තිබ්බ මේ මස් රොටී කතාව ආයෙමත් මතක් කලේ තාරාදේවී (නිශ්ශංක විජේමාන්නගේ නවකතාවේ බෝනික්කෙක් ඉල්ලලා අඬපු දැරිවි) තමයි. මම ගිය නොවැම්බර් මාසේ ලියන්න පොරොන්දු වෙච්ච කතානේ මේ දැන් ලියන්නේ. කල්ගිහිල්ල හරි ටික ටික පොරොන්දු ඉටුකරන්න ලැබීම සතුටක්

      Delete
  13. මම නම් බිම පෙරලිලා ඉල්ලලා අඬපු දේවල් තිබුනේ නැහැ. එක හේතුවක් එහෙම ඉල්ලන්න ඕනේ කියල නොතේරුම්කම වෙන්නත් ඇති. අනිත් එක මම තේරුම් අරගෙන තිබ්බේ මට ලැබෙන දෙයක් බාරගන්න.
    මටත් ඔහොම ඉල්ලලා හැපිලා දෙයක් ගත්තම ලොකු පසුතැවිල්ලක් දැනෙනවා. නමුත් මම දැකලා තියෙනවා ගොඩක් අයට එය ලොකු ජයග්‍රහණයක් වගේ පේනවා කියලා.
    එක දවසක් මට වෙච්ච බෝනික්කෝ කතාවක් මම ලිව්වා. අදටත් ඒ දුක මට තාම දැනෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උපේක්ෂා පොඩි කාලේ ඉඳන්ම හැම දෙයක්ම දිහා උපේක්ෂාවෙන් බලල තියෙනවා. අර බෝනික්කෝ කතාවේ ලින්ක් එකක් දාන්නකෝ උපේක්ෂා .

      Delete
    2. හැබෑටම කලින් නොකිව්වට මටත් මේ වගේ ඉල්ලලා ඉල්ලලා ලැබුනම මාර දුකක් එනවා. ඒක ආයෙනම් ඉල්ලන්නෙ නෑ කියලා හිතට එනවා. මට ඉල්ලපු ගොඩක් දේ නොලැබුනු බව උඩ කොමෙන්ටුවේ කිව්වා. මට මතකයි මට දවසක් අඬලා හම්බෙච්ච කාර් එකක් ඉස්කෝලේ යාලුවෙක්ගේ අතින් කැඩුනා. මම ඒ දුකට ඒ ලමයට හොඳට ම ගැහුවා. මමත් හොඳටම ඇඬුවා.මේ දුක නිසාම ටික ටික මම ඉල්ලන දේත් අඩු වුනා.

      දෙවනි වර මේ පොස්ටුව සහ කොමෙන්ට් කියවා මේ කොමෙන්ටුව ලිවීමට සිතුනි.

      Delete
    3. තිලක්: අනේ මන්දා තිලක් එහෙමද කියලා නම්... මෙන්න 'බෝනික්කෝ නොවන බෝනික්කෝ කතාව'
      අහසෙන්: මම පොඩිකාලේ ඉඳන්ම ඉල්ලීම් අඩුයි. ඉබ්බියක් වගේ හි හි

      Delete
  14. ස්වයං වාරණය තුළින් බොහෝ දේ බැහරකරන්නට හැකි වග අපුරු රුපක සහිත කතාවකින් කියල දිලා. ඇත්ත කාගේවත් බලපෑමෙන් තොරව කරන කටයුතු හරිම සාර්ථකයි. කතාව ලස්සනයි. ලෙංගතුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලී සහ ප්‍රා ජේ

      Delete
  15. බිම පෙරලිලා අඬලා ඉල්ල ගත්තු දේවල් නම් මගේ ජිවිතේ නැහැ.එහෙම වුනේ අපිට ඕනේ හැමදේම තාත්තා ගෙනැත් දීපු නිසාමත් නෙමේ අපි ඉල්ලන හැමදේම අරන් දෙන්න තරම් වත්කමක් තාත්තාට නැහැ කියලා පොඩි කාලේ ඉඳන්ම අපි දැනන් හිටියා.හැබැයි එක එහෙමයි කියලා ඔය "කඩචෝරු"වල රස දිවට නුහුරු වුනෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඉල්ලන හැමදේම නොලැබුන නිසා තමයි අපි ජීවිතේ සමහර දේවල් පස්සේ කාලෙක හරි ජයගන්නේ නේද මනෝජ්

      Delete
    2. අනිවාර්යෙන් තිලකේ අයියා...:)

      Delete
  16. මම බිම පෙරලි පෙරලි කරපු එකම උද්ඝෝෂන ක්‍රියාවලියනම් අම්මා යන හැම තැනම මාව එක්ක යන්න කියන එකත් නිවාඩු දවස්වලටත් මට ඉස්කෝලේ යන්න ඕන කියන එකත්ය.
    මගේ ඇස් දෙකට කඳුලු ඉනුවේ (කතාවේ අන්තිම හරි‍යට කිට්ටු වෙනකොට ) තාත්තා ඉස්සර රෑට වැඩ ඇරිලා එනකොට සාබි එකෙන් ගේන මස් බත් එක (හම්මො ඇත්තටම කටට කෙල ඉනුනා ) කන්න මම ඇහරගෙන ඉන්න හැටිත් තාත්තාත් මමත් මේසේ වාඩි වෙලා ඒ බත් එක රස කර කර කන හැටි මතක් වෙලා නෙවෙයි, කකුල ඔපරේට් කරලා සනීප වෙනකන් ගෙදර ඉන්න තාත්තා බලන්න තාම ගියේ නෑ නේද කියල මතක් වෙලා...

    ReplyDelete
    Replies
    1. අනේ මචං මම ලබන සතියේ එනවා . තාත්තා බලල එමු

      Delete
    2. හුටා මම ලබන අඟහරුවාදා උදේ ඩෙන්මාර්ක් යනවා..ආයෙත් එන්න හිතාන ඉන්නේ සැප්තැම්බර් 27 වෙනිදා...කී දොහක් මෙහේ ඉන්නවද සත්තරනේ..අපි සත්නපුරේ යන්නම ඕනි මාතා බලලා අපේ තාත්තාත් බලලා එන්න....

      Delete
    3. ඒ කියන්නේ මේ පාර අපට හම්බ වෙන්න ලැබෙන් නෑ මචං . මම 28 අපහු එනවා . Happy Journey !

      Delete
  17. තිලක සිත .. මගේ බ්ලොග් ගුරුතුමා කෑමක් ගැන ලියපු නිසා ඔන්න මමත් ලිව්වා කවුරුත් කන්න ආශා කරන කෑමක්.. සිනි බනිස් ගැන... අපි ඒ කාලේ "අරලගංවිල " හිදායා එකට හරි බුහාරි එකට හරි එහෙම නැතිනම් සිංහගිරියට හරි ගියාම කන කෑමක්....

    http://kalukitty1.blogspot.com.au/2015/09/blog-post_7.html

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කවිඳු. සීනි බනිස් කතාව ගොඩක් රස වින්දා . මම කිව්වේ අනේ අපට එහෙම යාළුවො හිටියේ නෑනේ කියල

      Delete
  18. කතාවේ රසවත් ම තැන තමයි රොටිය විසි කිරීම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රසික . එතැන කතාවේ පීක් එකද? .

      Delete
  19. හප්පා ඒ අතීතය කොයිතරම් සුන්දරද....

    ඉස්සර තාත්තා එනකන් අපි බලාගෙන ඉන්නවා..
    අද අපි එනකන් තාත්තා බලාගෙන ඉන්නවා...

    ජීවීතේ කොයි තරම් සුන්දරද.....?

    ReplyDelete
    Replies
    1. //ඉස්සර තාත්තා එනකන් අපි බලාගෙන ඉන්නවා..
      අද අපි එනකන් තාත්තා බලාගෙන ඉන්නවා...//තාත්තා එනකන් බලා හිටි හැටි මතක් වෙලා අපි දැන් සතුටු වෙනවා. ඒ කාලේ පොඩි උන් බලාහිටි හැටි මතක් වෙලා තාත්තලා සතුටු වෙනවා . ජීවිතේ තියෙන සුන්දරත්වය අතීත ස්මරණයම තමයි මාතේ

      Delete
  20. හප්පා, ඔන්න මට මාර බඩගින්නක් ආවා. මං යනවා කොටා බාන්න.

    කඩචෝරු කියන්නෙ මයෙ ප්‍රියතම කෑමක්. හැබැයි එව්වා රස විඳින්න නං, ප්‍රමිතිය අමතක කරන්න ඕනෙ.

    ඉස්සො වඩේ, උම්බලකඩ වඩේ, පිට කො‍ටුවෙ මුස්ලිම් පල්ලිය ලඟ පොල් වෙරළු අච්චාරු, ඒ හරියෙම තියෙන ෆලුඩා, අප්පේ මතක් කරන කොට බඩ පපුව දාලා යනවා.

    මගේ ප්‍රියතම කෑම මාළුපාන්. ඉස්සර ගල් කන්ද බේකරියෙ හදනවා, සැමන්, යහමින් ගම්මිරිස් දාලා කටසැර මාළුපාන් එකක්. අප්පා දිවිය ලෝක රහයි

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ටුව කියවනකොට ගම්මිරිස් වැඩි සැමන් යහමින් තියෙන කර වෙච්ච මාළුපාන් එකක රහ දැනුනා

      Delete
  21. අතීතෙට ඇදෙනවා..
    ගස්ලබ්බා එකම එක දවසක් ඇඬුව සෙල්ලම්බඩුවක් ඉල්ලලා ආපිකෝ එකක් ඉස්සරහ.අම්මයි අප්පච්චියි සාකච්ඡා කරලා කරලා පොඩි ප්ලාස්ටික් කාර් එකකුත් ලැබුනා.ඒත් ඒක අල්ලන අල්ලන මොහොත හිත බර කරන මොහොතක් උනා..එදායින් මත්තෙ කිසිදෙයක් ඉල්ලල ඇඬුවෙ නෑ.. ඒ කාරෙක තාමත් ඇති.ගිය වෙලාවක හොයන්න ඕනෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වෙල්කම් GL . අපි ගොඩක් දෙනෙකුට ඔය වගේ සුවිශේෂ සිද්දියක් මතක තියෙනවා නේද ළමාකාලේ . මම හිතන්නේ යම්කිසි ජීවිතාවබෝධයක් ලැබිච්ච දවස වෙන්නැති

      Delete
  22. 1960 දශකයේදී අම්මා පොලට යන්න දෙන රුපියල් දෙකෙන් සත පහක් ඉතුරු කරගෙන කෑවා වෙෆර්ස් බිස්කට් එක වගේ අඟල් දෙකයි දෙකේ බිස්කට් එකක් උඩට දාලා දෙන අයිස්ක්‍රීම්. ඒවා අරන් එන මනුස්සයා කළුම කළුයි. දාඩිය පෙරාගෙන ඉන්න ගමන් එයා ගේන පෙට්ටියට අත දාලා බිස්කට් එකක් ගන්නේ. පොඩි හැන්දකින් අයිස්ක්‍රීම් දාන්නේ. නමුත් පුදුමේ කියන්නේ අපිට කවදාවත් අජීර්ණයක් නොහැදුන එකයි.

    ReplyDelete
    Replies
    1. //මුත් පුදුමේ කියන්නේ අපිට කවදාවත් අජීර්ණයක් නොහැදුන එකයි.//
      දැන් ඒ දේ වෙන්නෙ ළමයි ඕනවට වැඩිය පරිස්සං කරන්න යන හින්දයි විචා.

      Delete
    2. ඔය පපඩමක් නැතිනම් බිස්කට් එකක් වගේ එකක් උඩට දාලා දෙන අයිස්ක්‍රීම් මමත් කාලා තියෙනවා. ගානත් මතකයි . තනි බිස්කට් එකට දාල දෙන අයිස්ක්‍රීම් එක ශත පණහයි . බිස්කට් එක දෙකට කඩල ඉන් කෑල්ලකට දාල දෙන එක ශත විසි පහයි

      ප්‍රසා ඔය වැඩි පරිස්සම නිසා ලෙඩ වලට ඔරොත්තු දෙන් නැතිව යන එකනම් ඇත්ත වග තේරෙනවා

      Delete
  23. අපි අද රෑ මේ රොටි හදනවලු...:D

    ReplyDelete
    Replies
    1. මස් රොටී නෙවෙයිද ? අපි ඉන්න අහ තියෙනවා අරාබි රොටී

      Delete
  24. කියන්න තිබුණු දේ කමෙන්ට් කියවගෙන පහළට එද්දි නැති වෙලා ගිහිං...

    අඩලා හැපිලා දෙයක් ඉල්ලගත්තම, මහ ලැජ්ජාවකුයි වරදකාරීබවකුයි එනවා තමා. මටත් ඔය අත්දැකීම තියෙන්නෙ තාත්තා එක්කම නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒ අපි කාගෙත් කතාවක් .ඒ අත්දැකීමත් ලියන්න ඩ්රැකී

      Delete
  25. දවල් දොලහයි කාලට මේ විදිහේ පෝස්ටුවක් කියෙව්වා ම කෑමත් ඔ්න්නෑ.......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුරුටු ගී කට්ටිය

      Delete
  26. මට පෝස්ට් එක මිස් වෙලා තිලකෙ. ඇත්තටම ඔයා අපේ ළමකාලයට ආයෙ ගෙනියන්න නියම චිත්ත රූප මවන්න දක්ශයෙක්.
    හැමෝම තමන්ගෙ අම්මල තාත්තල ගෙනත් දෙන දෙයට ආසාවෙන් හිටපු හැටි කියද්දි , මමත් මතක් කලා, ම්හ්ම්...... මම එහෙම ළමයෙක් වෙලා හිටියෙ නෑ. ආර්ථික අමාරුකම් නොතිබුනත් මම කවදාවත් මොනවත් ඉල්ලල නෑ. මට හිතුනෙ ඒක දෙමාපියන්ට වදයක් කියල, අදත් මට හිතෙන්නෙ එහෙමයි.
    තව ටිකක් හිතුව මම කොහොමද එහෙම උනේ කියල. දවසක් බස් එකේදි අම්මගෙ පොකට් එක උත්සල , කඩවත ඉදං ගම්පට යන්න සල්ලි නැතිව ගොඩක් දුර පයින් ඇවිත් අදුරන ගෙදරකින් සල්ලි ඉල්ල ගත්ත. එදා ඉදන් වෙන්න ඇති මම එහෙම හිතන්න ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කම්මල. එදා කඩවතදී අම්මගේ පර්ස් එක නැති වෙච්ච කතාව ගැන මම ආයෙමත් හිතුවා. මේ වගේ සිද්දි හැමදාම වගේ වෙනවා. ඒත් මේවට මූණ දෙන අම්මලා ළමයි මොන තරම් අසරණ වෙනවද?

      Delete
  27. තිලකෙට විතරක්මස් රොටී දෙන කතාවක් දැකලා තද වෙලා කොමන්ට් එකකුත් දැම්මට අස්සේ මේක කියෙව්වේ.

    අපිට කොයින්ද ඉතින් මස් රොටී පොඩි කාලේ? මම කඩේකින් කිසි දෙයක් කාලා නැ වෙන්න ඇති ඒ කාලේ. ඇයි කන කන එක ඇලජික්නේ. ඒ වුනාට ඉල්ලුවේ නෑ කියලාත් හිතාගන්න බෑ.
    කෑම වෙනුවට ඇති තරම් පොත් පත්තර හා ඔය එකී නොකී ගැජට් හම්බ වුන හින්දා සේප් වෙන්න ඇති.
    මොනවා වුනත් පොඩි කාලේ මම වැඩියම ඇඬුවේ අම්මා පස්සේ යන්න තමයි. එයා අපිට හොරෙන් ගමණක් ගියා නම් ඉතින් ගෙදර නො එන එක හොඳයි ඒ කාලේ. ඒ තරම් යක්ශයා මම ඒ කාලේ

    ReplyDelete
    Replies
    1. දැන් ඔය ගමන චෙෆාකිට මස් රොටී කඩයක් දන්නා වෙනවා. බලංගොඩ වැඩ කරද්දීත් නිතර මස් රොටී එළවලු රොටී කෑවා හොඳ කඩයක් තියෙනවා ඔරලෝසු කණුව ළඟ .

      Delete
  28. කදිමයි ඒක නම්. ..... සමාන අත්දැකීමක් මටත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මෙතූ . මෙතුගේ බ්ලොග් එක කියවන්නත් එනවා අර සමාන අත්දැකීම ගැන ලියන්න

      Delete
  29. හැමදාමත් වගේ උඹගේ රචනා කලාවට මම ආසයි. ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං

      Delete
  30. niyamai.....thilak aiya mamath blog ekakak haduwa puluwan unoth balanna...http://manjulaprabhani.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රභාත් මල්ලී. ඔබේ අලුත් බ්ලොග් අඩවියට සුබ පැතුම් ! එහි සිංහල අකුරු කියවන්න බෑ. Unicord අකුරු පාවිච්චි කරන්න

      Delete
  31. මරදානේ පොලිසිය ඉස්සරහ පල්ලිය ගාව තිබ්බ ෂෝර්ට් ඊට් කඩේ කෑම මතක් උනා. වර්ග අඩි තිහක හතලිහක විතර පොඩි කඩ කෑල්ලක හැදෙන කෑම කන්න මිනිස්සු පෝලිමේ. දැන් ඒ ඒ කඩේ කඩේ තියනවද මන්ද. ..අම්මේ ඒ එළවලු රොටි , පැටිස් වල රහ.

    ReplyDelete
    Replies
    1. මරදානේ කඩවලින් මට මතක බුහාරි එක විතරයි. අම්බලන්ගොඩ මේ පැත්තට ආදරෙන් පිලි ගන්නවා

      Delete
  32. මයියොක්කා පෙති බදින කොට ප්ලාස්ටික් බෝතල් දානවා. ඉතා ප්‍රසිද්ධ රහසක්. මයියොක්කා, මුරුක්කු, පපඩම් ආදී කඩවීදියේ විකුණන ක්‍රිස්පි ගතිය තියාගන්න උවමනා හැම කෑමජාතියම පාහේ බදිද්දි තෙල් තාච්චියට මෙගාබෝතලයක් දෙකක් දානවාමයි. පපඩම් සීන් එකක් නම් මෑතකදී අහුවුනා. රහසිගතවනෙ කරන්නෙ. පපඩම් විස්තරේ තියෙනවා මෙන්න මෙතන

    ReplyDelete
  33. අපිත් කුඩා කාලෙ ඉඳන්ම කඩචෝරු කන්න හරිම පෙරේතයි. ගමනක් යනව නං කඩචෝරු ඕනෙමයි.
    ඉස්සර නං කරදර කළේ අම්මට. අම්මත් ඉතිං බැන බැන හරි අරං දෙනව.
    දැන් ඉතිං බනින්නෙ නැති කෙනෙක් අරං දෙන්න උන්නට අතරමගදි ලේසියෙන් වාහනේ නවත්තන්නෙ නැති එක තමයි බාධකේ...
    කොහොමත් තිලක සිතගෙ සටහන සිත අතීතයට රැගෙන ගියා.

    ReplyDelete
    Replies
    1. ඔව් , අපි මේ කඩචෝරු තාම හොයන්නේ අතීත මතක කර කන්න. සමහරවිට කාට හරි අරන් දීල කරන්නෙත් ඒකම තමයි

      Delete
  34. මස්රොටි, මාළුපාන් කාලයක් මටත් පෙන්නන්න බැරිව හිටියෙ. දැක්කද කෑවා....දැන් ඉතිං පිටි ආහාර අපට අකැපයි නොවැ......හැබැයි වෙරළු, අන්නසි, අඹ අච්චාරු වගේ කඩචෝරු නම් තාමත් කනවා.
    තිලක සිත කඩචෝරු මතක් කරල කටට කෙල ඉනුවත් මේ අරාබිකරයෙ මොන කඩචෝරුද ?

    ReplyDelete
    Replies
    1. මේ අරාබිකරයේ තියෙන්නේ ශවර්මා තමයි ඉතින්. එකක් කාලා මාසයක් විතර යනකං ආයේ කන්න පිරියක් නෑ

      Delete