Saturday, October 3, 2015

සිරිල්ගේ ෂටරිම


( මෙය කෙටි කතාවකි )
ජන්ත ගේ කෑල්ලක් හදමින් හිටියේය . ඉසේල්ලාම බත්රුම් එකයි එක කාමරයක් හදාගන්න පුළුවන් විදිහට උඩ  තට්ටුවෙන් කොටසකට ස්ලැබ් එකක් දාන්නත්  එළියෙන් මඩුවක් ගසා  තාවකාලික කුස්සියක් හදා ගන්නත් ඔහු සිතා සිටියේය.

ඒ වුනත් කාමර හතරක දෙමහල් නිවසට අත්ත්වාරම් දමා එක කෙළවරක් වෙන්නට තිබු කාමරයේ පමණක් බිත්ති ටික නංවා ගත්තාට පසු අජන්තගේ අතේ තිබු පිච්චිය ඉවර වී තිබිණි

කින්ග්   ජෝජ්ලා ගෙදර ඇනෙක්සිය කුලියට ගෙන අම්මා නවත්තා තියා ගත්තාට අම්මා පිරියකින් එහෙ වාසය නොකරන බව ඔහුට තේරුම් ගිහිල්ලා තිබුණි.
'තිබ්බ මහගේ කඩා දාලා තට්ටු දෙකට ගෙවල් හදන්නනේ  උඹට වුවමනා වුනේ' . අම්මා නිතර ආඩපාලි කීවාය
'අම්මේ තිබ්බ එක කඩා වැටෙන්ඩ  ඔන්න මෙන්න කියලනේ තිබ්බේ'.
අම්මා කිසිත් නොකියා කරබා ගත්තී මෙසේ සිතමිනි 'ඒ වුනාට මට ඔය එක එකාගේ අගුපිල්වල ලගිනවට වඩා පරම්පරාවක් හිටිය පරණ ගේ ඇතුලෙම ඇස් දෙක පියාගනන තිබ්බානම් '

ඒ අතරේම ඇයට සිහිපත් වුනේ අජන්ත මේ වැඩේ නොකලානම් නොබෝකලකින් පරණ ගෙයි  මුලප්පරාලය කඩා වැටී මහා අනතුරක් වෙන්ට තිබුණු බවය , නැත්නම්  ඒ වෙනකොටත්  එකිනෙකා නුර්ස්නා ලෙස ඈත්වෙමින් සිටි පරණ ලොකු මෝඩ ගඩොල්  විසින් මවන හිදැස් විසින් පාරේ යනවුන්ට ගෙයි නැතිබැරිකම් උලුප්පා පෙන්වනු ඇති බවය.

ඔප්පු නිරවුල් නැති නිසා බැංකු ණයක් ගන්නට බැරියෙන් අජන්ත ගේ හදන්න පටන් ගත්තේ මාස දෙකක පඩිය ඇඩ්වාන්ස් එකක් අරගෙනය. ඉන්පසු අම්මාගේ රත්රන් බඩුද අයියාගෙන් ඉල්ලා ගත මුදල්ද පොලියට ගත්  මුදල්ද අවසන් වීම නිසා ඔහු පතුලටම හිර වී ගියේය .
යකඩබඩු  කඩෙන් ආයේ ණයට  දෙන්නේ නැති වග දන්වපු දවසේ ඔහු ඉල්ලා තිබුණේ ෂටරීම් කෑල්ල ගැසීමට ඕනෑ  කරන රුපියල් දහදාහක් වටිනා ෆ්ලයුවූඩ් තහඩු දහයකි.

කම්බිත් ඇත. මෙටල් ගලුත් ඇත. සිමෙන්තිත් ඇත. කම්බි  කූරු ඇත. දැන් ඇත්තේ ෂටරිම ගහන එකය. මේ පොඩි ෂටරීමක් දවස්  තුනෙන් ගසා පහුවදා කම්බි බැඳ  ඊළඟ දවසේ කොන්ක්‍රීට් දමන්නට පුළුවන.

'මහත්තයා ෂටරින් ලෑලි  ටික ගෙනල්ල තියල අපිට පණිවිඩයක්  එවන්න අපි එන්නම්'. ගලහබාස් කිව්වේ  කාගේදෝ ගෙයක් හදන්නට ගාලු යන්නට  පිටත් වෙද්දීය .

දැන් ඉතින් ලබන මාසේ පඩිය ලැබෙනතුරු කරන්නට දෙයක් නැත. ණයට ගන්නට තැනක් නැත. පොඩි ගානක් තිබ්බත් බාස්ලාගේ ගෝලයින්ගේ දවසේ වියදම් සල්ලිත්, පොඩි පොඩි අඩුම කුඩුමත් ගන්නට එය  ඕනෑ  වෙයි.

ඉතින් මේ අල්ලපනල්ලේ අජන්තට ඝන දෙවි නුවණක් පහළ  වුනේ වැඩපලේ අලුත් ෂටරිම දෙස බලමින් ඇවිදිමින් සිටියදීය. මේ ෂටරින් ලෑලි හතරපාරක් පාවිච්චි කරාම අයින් කරන්න ඕනි. ලබන අඟහරුවාදා එහෙම ගැලවෙන ෂටරින් තහඩු දහයක් දොළහක් තියෙනවා. ඉතින් ඒ ටික සිරිල්ට කියලා සුද්ද බුද්ද කරගෙන ගේට්‌ පාස් එකක් දාගන්න එකනේ තියෙන්නේ.

මහලොකු ඉංජිනේරුවෙක් වුනාට ගෙයි වැඩටික කරගන්න ලක්ෂ දහයක් නැති අසාර්ථක මිනිහෙක් ලෙස සමහරුන් ඔහු දෙස බැලුවේ, වැඩබිමේ උප  කොන්ත්රත්කරයෙකුට කිව්වනම් ඔය වැඩේ නොමිලේම කර දෙන බව දන්නා බැවිනි.

දැන් මේ ඩිස්පෝස්  කරන්න තියෙන තහඩු ටික ලොක්කට කියලම ගෙනියන්න පුළුවන්. අනික මේ කොළඹ අධි ආරක්ෂක කලාපේ බලධාරීන් වර්ග කීපයක් ඉන්න තැන ඇණයක් මුරිච්චියක්වත් අනවසරයෙන් ගෙනියනට් කාටවත් බැරිය.

එහෙම නොවෙන සයිට් එකක හිටියත් අජන්ත කවදාවත් අහක දාන දෙයක් මිස කිසිවක් ගෙදර ගෙනිච්චේ  නැත. නිකන් ඉල්ලුවෙත් නැත.
ෂටරින් ගලවන්නේ අඟහරුවාදය.
සඳුදා උදෙන්ම අජන්ත ගලහබාස්ට කතා කළේය.
'බදාදා උදේ එන්න. මම ෂටරින් ලෑලි ටික ගේනවා. මේ සතියේ කොන්ක්‍රීට් ටික දාගත්තැකි . ලබන සතියේ මට පඩි හම්බ වෙනවා. දිගටම වැඩ කරතහැකි. දෙතුන් දෙනෙක් එක්ක එන්න' .

දවල්වෙද්දී ෂටරිම ගලවා අවසන් වුනේය. තබා ඇති සලකුණු අනුව සිව්වරක් පාවිච්චි කරන ලද  ෆ්ල්යිවූඩ් ශීට් කෑලි හරියටම දොළහක් තිබ්බේය.

'සිරිල්ට කියලා මේකෙන් දහයක්  සුද්ද බුද්ද කරලා කැබ් එකට පටවා ගන්න ඕනි' අජන්ත එසේ සිතා සිටියත් සිරිල් කියන්නත් පෙර ක්‍රියාත්මක වී තිබුණේය  .

වෙනදා කෑම පැයෙන් පසු කොහේ හරි මුල්ලක සැඟවී පොඩි නින්දක් දමන සිරිල් එදා යුහුසුළුව ප්ලයිවූඩ් තහඩුවල තැවරී තිබූ සිමෙන්ති බදාම සුද්ද කරමින් සිටියේය.

මම සිරිල්ට කීවද මේ ශීට් ටික සුද්ද කරලා ගන්න කියල?. මතකත් නෑ .
සුවච කීකරු ගෝලයක් වෙච්ච සිරිල් අනුන්ගේ හිත්  කියවන්න පුළුවන්. පොඩි පොඩි අත්  උදව්වලට් සිරිල් ගෙදර එක්කගෙන ගිහින් තියෙන එකේ අපේ ගෙදර ඊළඟට තියෙන්නේ ෂටරිම ගහන්න කියලා මිනිහ දන්නවා ඇති.

සිරිල් ලී ෂටරින් තහඩු සුද්ද කරමින් සිටි තැනට ගිය අජන්ත ඔහු වැඩ කරන දෙස දයාබරව බලා සිටියේය.

සිරිල් අජන්ත දුටුවේ ටික වෙලාවකට පසුවය. තිගැස්සී අජන්ත දෙස බැලු සිරිල් වරදක් කර හසු වුවෙක් මන් මදක් පසුබා ගොස්  කහට පැහැ දසන් පෙන්නා සිනා සුනේය.

සිරිල්ට මං මහන්සියට ගාණකුත් දෙන්නම්. ඔය ටික හොඳට සුද්ද කරලා කැබ් එකට පටවපන් පුතා. මම අද කලින් ගෙදර යනවා.

ඉන් පසු ඔහු වැඩබිම් කන්තොරුව දෙසට ඇවිදගෙන ගියේ දවසේ ලියකියවිලි ටික ඉක්මනින් අහවර කර දමන්නටය.

බහලුම් පෙට්ටියකින් තැනූ වැඩබිම් කන්තෝරු කවුළුවෙන් ඔහුට වැඩබිමේ බොහෝ වගවිස්තර පෙනෙයි. ඒ  සියලු දේ  පරදා ඔහුගේ නෙත යොමුවුණේ සිරිල් වැඩ කරන තැනටය.

මීට මදකට ඉස්සෙල්ලා දකිද්දී කඩියකු මෙන් වැඩ කරමින් සිටි සිරිල්ගේ උද්යෝගය අඩු වී ඇති සෙයකි. ඔහු ඕනෑවට එපාවට දෙපසට වැනෙමින් ෆ්ලයිවූඩ් තහඩු  ටික පිස දාමින් සිටියේය . ඒ අතර විනාඩි ගණන් නතර වී එක තැන බලා සිටියේය.

අජන්ත පුරවමින් හිටි ෆෝරම් කොළ ටික උඩින් යකඩ කෝදුව තබා සිරිල් වැඩ කරන තැනට ගියේය
සිරිල් අසනීපෙන්ද?
සිරිල් හිස ඔසවා බැලුවේය. ඔහුගේ දෑසේ කේන්තියක් තිබිණි.
සිරිල්ට මහන්සිනම් කියන්න මම යසරත්නට  කියල ඔය වැඩේ කරවගන්නම්.
සිරිල් දන්නවනේ මම ඔෆිස් එකේ මිනිස්සුවත් බඩු  භාණ්ඩයක්වත්  මගේ වැඩකට ගන්නේ කොච්චර කලතුරකින්ද කියල. එහෙම වැඩක් ගත්තත් මම ඒ කටත් ගෙවනවානේ.

'අනික ඔය තහඩු ටික අද හවස ලොරියේ පටවාගෙන පාමංකඩ ඉස්ටෝරුවේ  ගොඩ ගහන්නනේ  හිටියේ . පස්සේ වේයෝ කෑවාම  කහළ  ගොඩට දානවා. ඉතින් කවුරුහරි ප්‍රයෝජනයක්  ගන්න එක හොඳයිනේ'.

 සිරිල් අජන්ත කී දේ නෑසුනාක් මෙන් දිගටම තුනී ලෑලි  තහඩු ටික සුද්ද කරගෙන ගියේය.

හවස වැඩ අවසන් වෙන හෝරාවේ ලී තහඩු ටික කැබ් රියට පටවා ගැනීමට සිරිල් උදව් නොකළේය.  ඔහු ඒ වෙලාවේ කාරිය මග හැර කොහේදෝ ගොස් සිටියේය .
ඉස්ටෝරු කාමරයේ අත් උදව්වට සිටි යසරත්නව හවුල් කරගෙන තහඩු ටික වහානයට පටවා ගන්නට අජන්ත සමත් වුනත් යසරත්නගේ පවා  මුහුණේ යම්කිසි විරෝධාකල්පයක් පෙනෙන්නට තිබුණි.
ඔහු කැබ් තට්ටුව මත ප්ලයිවූඩ් තහඩු අත හැරියේ එපා වාහෙට හොදි බෙදන්නාක් මෙනි .

තේරුම් ගැනීමට අපහසු මේ බහුබූත හැසිරීම් මැද බයාදු සේවකයෙකු වූ යසරත්නට මදක් සැර වැර වී ඇත්ත අසා ගැනීමට අජන්තට හැකි විය .

සිරිල් ඉන්නා පර්චස් තුනේ ඉඩම් කෑල්ලේ පුංචි කාමරයක උඩ තට්ටුවක් දැමීමට සියල්ල ලැහැස්ති කොටගෙන තිබේ. හෙට බාස්ලාද එන්නෝය. හවස පාමන්කඩට පටවන අබලි බඩු ටිකක් සිරිල්ලා ගෙදරට ගෙන ගොස් බෑමට ලොරියේ රියදුරා සියල්ල සුදානම් කරගෙන සිටී . මෙය කන්තෝරුවට හොරෙන් කරන වැඩකි. නැත්නම් හොරකමකි. ලොරිය පදවන ආනන්දට දීමට ගල් අරක්කු බෝතලයක් සිරිල් විසින්  කල්තියා අරගෙන ඇත්තේ දෙදෙනෙකුට ණය වීමෙනි .

දැන් අජන්තගේ මැදහත් වීම නිසා ඒ 'හොරකම' වැළකී තිබේ.

හ්ම්ම් අජන්ත පපුව හිස් කර ගත්තේය.

'යසරත්න මේ බව මම දන්නා වගක් කාටවත් කියන්නා එපා'.

'දැන් ගිහිං සිරිල්ට එන්න කියනවා මා එක්ක යන්න'.

ඕ ටී නොකරන බොහෝ දවස්වල කිරිබත්ගොඩට යනතෙක් අජන්තගේ වහනයේ නැගී යන්නට සිරිල්ට අවසර තිබේ. කිරිබත්ගොඩින් වත්තල පාරේ හැරී ටික දුරකදී හමුවන අතුරු පාරකින් ගිය විට සිරිල් වෙසෙන අනවසර රිසර්වේෂන් ඉඩමේ හැදූ ගේ කෑල්ල තිබෙනා බව අජන්ත දැන සිටියේය.
කිරිබත්ගොඩ පසු කරාටත් පසු අජන්තටනම් නුවර පාරේ තවත් හැතැම්ම දහයක් විතර යා යුතුය

මේ කල්පනාවේ ගිලී සිටින අජන්තට සිරිල් සොයා ගොස් හිස් අතින් පැමිණි යසරත්නගේ බයාදු කටහඬ ඇසුණි .

'සිරිල් එන්ඩ පරක්කු වෙනවා  කියනවනේ සර්' .

අජන්ත කෝපාවිෂ්ඨ වුනේය

දෙන්න තුන් දෙනාගේම රස්සා නැති කර ගන්නද හදන්නේ? . නගින්ට කියනව මිනිහට ඇවිත් වාහනේට.

තවත් විනාඩි ගණනාවකට පසු ඉටි බෑග් එකකට දමාගත් හිස් කෑම පෙට්ටිය අතින් ගත් සිරිල් අජන්තගේ වාහනේ පසු පස අසුණට  ගොඩ වුනේය .

නුවර පාරේ වාහන තදබදය මැද්දෙන් කිරිබත්ගොඩ හන්දියට රථය ළඟාවනතෙක් දෙදෙනා අතර කතා බහක් නොවීය .

'ඉස්සරහින් මං  බහිනවා මහත්තයා ' කියා වෙනදාටනම්  බොහොම ලෙන්ගතුව පවසන සිරිල් අද උගුර පමණක් කාරා තමන් ඉන්නා බව අජන්තට මතක් කර දුන්නේය.

 ඒ වගක් නොතකන්නාක් මෙන් ඉදිරියට ඇදුණු රථය නුවර පාරේ කෙලින් යන්නේ නැතිව වත්තල දෙසට හැරවිණි .

'සිරිල් මට හරියටම කියන්න ඕනි ගෙදරට යන පාර . ගේ ළඟටම වාහනේ ගන්න පුළුවන් නේද ?

සැනෙකින් සිය වත මඩල ඒකාලෝක වී ගියමුත් ඇස් දෙකට කඳුළු පිරුණෙන් සිරිල්ට ඉස්සරහා පාර පෙණුනේ නැත . ඒ මදිවාට අජන්ත මහත්තයා ඇසු  ප්‍රශ්නයට උත්තර දී ගන්නට බැරිව ඔහුගේ දිව පැටලුණේය.

Photo:smallhouseplans.biz

50 comments:

  1. කතාව පැත්තක තියලා වෙන දෙයක් කියන්න හිතුනා. අපේ ගොඩක් අය කරන වරදක් තමයි ගෙයක් හදන කොට ලොකුවට සැලසුමක් ගහ ගන්නවා. අන්තිමේ දී ඒක ඉවර කරගන්න බැරිව දුක් වෙනවා. අනාගතේ ගැන දුර දිග හිතලා කොටසින් කොටස ඉවර කර ගන්නවා නම් ඒක වරදක් නෙවේ. ඒත් ලක්ෂ 10 ක 15 ක ලෝන් එකක් ගහලා ආයේ අවුරුදු 10 ක් විතර යනකල් අතට ගානක් එන්නේ නැති අයට නම් මේ වැඩේ ගොඩක් අවධානම්. මොකද අද කාලේ අඩුම වියදමකින් කෙරුවත් ගෙයක් හදන්න වර්ග අඩියකට 2500 ක් වගේ යනවා. තව ටයිල් කරලා ෆිනිෂින් වහලේ ගහලා එද්දී ඕක 3000 පනිනවා. එතකොට වැඩ ටික භාගෙට කරගන්න වෙන්නේ. ඊට වඩා හොදයි අතේ තියන ගාන බලාගෙන පොඩි ගෙයක් සැලසුම් කරගන්න එක.
    ඉංජිනේරුවෙක් නම් නිවාස ණයක් ගන්නේ නැතුව පුද්ගලික ණයක් ඉල්ලුම් කරන්න පුළුවන් නේද දැන්?
    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් අයට 100% අවංකවම වැඩ කරන්න බැරි කමක් නෑ. ඒකෙන් අදහස් වෙන්නේ නෑ ලබා ගන්න තියන වරප්‍රසාද ලබා ගන්න එපා කියන එක. සබ් කරන සෙට් එකට කියලා වැඩ කරගෙන ඒ අයට දවසේ මහන්සිය දාලා දෙන්න පුළුවන්. එතකොට වැඩේ ගොඩක් ශේප්. හොරකමුකුත් නෙවේ.
    සමීප සිදුවීමක් හින්දා ගොඩක් දේවල් කියවුනා ද මන්දා

    ReplyDelete
    Replies
    1. ඔබහරි 17 හන්දිය ගෙවල් හදන එකයි මගුල් ගන්න එකයි තමන්ට සරිලන්නේ නැති ඇස්තමේන්තුවකට කරන්න ගිහින් උගත් නූගත් ගොඩක් දෙනෙක් අමාරුවේ වැටෙනවා. බාගෙට හදපු ගෙවල් , උඩ තට්ටුවේ ස්ලැබ් එක විතරක් දාලා අවුරුදු ගණන් තියෙන ගෙවලුයි කොච්චර තියෙනවද?. මේ වගේ අර්ධ ප්‍රබන්ධයක් වෙච්ච කතාවල ඉන්න අජන්තලා වගේම හැබෑ ජීවිතේ හමුවන අජන්තලාත් සැලසුම්සහගතව ඔය වගේ වැඩ කරන්නේ නෑ. ඒ නිසයි මේ වගේ කතා ලියන්න පුළුවන් වෙලා තියෙන්නෙත් . ඔබ මේ පැත්තට ආදරෙන් පිලි දන්නවා

      Delete
  2. මිනිස්සු....
    ඔහොම හිතෙන වෙලාව හරියටම කියන්න බැහැ මටත් නම්. එකපාරටම අකුණක් වගේ. මට හැබැයි මගක් කියෝනකොටම තේරුනා වැඩේ නම්. ඇත්තම සිද්ධියක්ද?

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා, මේ කතාවේ බාගයක් විතර ඇත්ත සිද්දීයක් මතකයට නගාගෙන ලිව්වේ. හරියටම කිව්වොත් කතාවේ දෙවැනි කොටස. ඇත්ත සිද්දි අතිශයෝක්තියෙන් ලියන්න මිසක් තනිකර ප්‍රබන්ධ ලියන්න මට දක්ෂකමක් නැද්ද කියලත් හිතෙනවා

      Delete
  3. මටත් මෙකේ අන්තිම පේලිය කියවනකොට මොකක්ද හැඟීමක් ඇති උනා.

    17 හංදිය කියල තියෙනව වගේ ගෙයක් හෝ පුද්ගලික ගොඩනැගිල්ලක් හදන්න හිතාන ඉන්නවනං සෑහෙන්න මිල මුදල් ගැන සැලකිලිමත් වෙන්න වෙනව. බැංකු ණයක් ගත්තත් ඒක ඒ වැඩේටම යොමු කරනව මිසක්ක ඒකෙන් වෙන වැඩ කරන්න ගියොත් අනාත වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසනන හුඟ දෙනෙක් සැලසුමක් නැතිව ගෙවල් හදන එක නිසා ජීවිතේ එක කොටසක් නැති නාස්ති කර ගන්නවා. අපේ ගම්වල ගෙදරක හාමිනේට ළමයෙක් ලැබෙන්න ඉන්නවානම් ගෙවල් හදනවා වගේ වැඩ පටන් නෑ. එහෙම වෙන්නේ ඒ අම්මට අවශ්‍ය අවධානය විතරක් නෙවෙයි කෑමබීම ටිකවත් පිළිවෙලට ලබා දෙන්න බැරි නිසා

      Delete
  4. ලස්සන කතාවක්....

    ReplyDelete
  5. සමාවෙන්න ,පොඩි ඌණපූරණයකට අවසර තිලක්....

    / 'සිරිල් මට හරියටම කියන්න ඕනි ගෙදරට යන පාර . ගේ ළඟටම වාහනේ ගන්න පුළුවන් නේද ? /

    / සැනෙකින් සිය වත මඩල ඒකාලෝක වී ගියමුත් ඇස් දෙකට කඳුළු පිරුණෙන් සිරිල්ට ඉස්සරහා පාර පෙණුනේ නැත . ඒ මදිවාට අජන්ත මහත්තයා ඇසු  ප්‍රශ්නයට උත්තර දී ගන්නට බැරිව ඔහුගේ දිව පැටලුණේය. /

    සිරිල්ගේ මග පෙන්වීම අනුව අවසානයේ යම්තමට වාහනයේ පළලට පමණක් සෑහෙන ඉතා පටු දෙවටක් දිගේ ගොස් අජන්ත අඩක් නිමකල නිවසක මිදුලෙහි රථය නතර කල නමුදු එන්ජිම ක්‍රියාවිරහිත නොකලේය.

    පසුපස දොර හැර බිමට බට සිරිල් අජන්ත අසලට විත් බලාපොරොත්තු සහගතව බලා සිටියේය. හිස හරවා සිරිල් දෙස බැලූ අජන්ත සිනාසුණේය.

    " මේ සිරිල්, දැන් කොහොමත් තමුසෙට හෙට කොන්ක්‍රීට් දාන්ට බඩු නෑනෙ. මගෙ ගෙදර වැඩේට මුක්කු ටිකක් මදිවෙයි වගෙ කියල මට හිතෙනව. අර තමුසෙ ගෙනල්ල තියන මුක්කු වලින් දහයක් පහළවක් වගෙ පටවනවකො කැබ් එකට. මගේ වැඩේ ඉවරවෙච්චි ගමන්ම මම මුක්කුයි මේ ලෑලි ටිකයි ඔක්කොම තමුසෙට දෙන්නම්..දන්නවනෙ මගෙ වචන දෙකක් නෑනෙ. "

    ReplyDelete
    Replies
    1. එබස් ඇසූ සැනෙකින් සිරිල් කපා හෙළූ කඳක් මෙන් සිහි විසග්ඥව ඇද වැටුනි.

      Delete
    2. හෙහ් හෙහ් . මමනම් හිතුවේ ගෙදරට ගිය හැටියේ ආනන්දට දෙන්න තියාගෙන හිටි ගල් අරක්කු බෝතලෙයි නෝනා තම්බල තිබ්බ මයියොක්කා හැලියයි අරගෙන අජන්තට සංග්‍රහ කරන කොටසින් කතාව ඉවර කරන්න .

      Delete
    3. රවියා. හැක් හැක්.. හිනා කටයි බත් දෙතටයි උනා උදේ පාන්දරම..

      Delete
  6. මහ කුප්ප කතාවක් වුනත් අජන්ත හැමදාම ඔහොම එකම තැන ඉන්න හේතුව ඔය බොක්ක උණුවීමමයි. ඔය අජන්ත මගේ තාත්තගෙ මොඩල් එක.

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් බොක්ක උණු වෙන එක වගේම වුවමනා තැන්වලදී ස්මාට් නොවීම නිසාත්, මිනිස්සු හැමදාම එක තැන ඉන්නවා නේද මචං

      Delete
    2. එකෙන්ම...
      පොඩ්ඩක් කුජීත වෙන්නත් ඕන නැත්තං වැඩක් නෑ කියන මතේ තමයි හුගක් අය ඉන්නෙ මොකද අර වගේ අයට හොද කීවට ඒ වගේ අය වැඩිය ගණං ගන්නෙ නෑ අර වගේ අය තරං

      Delete
  7. සයිට් වල මෙහෙම සීන් නොවෙනවා නෙමෙයි.හරිම සංවේදී විදිහට ගලාගෙන ගියා...ඒත් ගොඩක් වෙලාවට වෙන්නෙ අලුත්ම බඩු තමුන්ගෙ වැඩට ගන්න එක.ඉන්ජ කෙසේවෙතත් අනිත් අය.මොකද එයාලට පිටිපස්සෙන් කලටිපොල් හයිය තියෙනවානෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි GB . මේ වගේ ඒවා වුනත් වෙන්නේ ඉතාමත් කලාතුරකින් තමයි . සයිට්වල ඇත්තටම වෙන ඒවා වැඩි හරියක් කළු පාට සිදුවීම්

      Delete
  8. lassanai uncle..
    hmdm wge..
    uncle eka kiyala tiyana widiha harima lassanai...


    uncle awillat giya.. eth unclewa balanna bari una... :(

    ReplyDelete
    Replies
    1. මේ පාර මගේ නිවාඩුව කලබලකාරී එකක් වුනානේ . මේ කතාව ලිව්වෙත් ඒ කලබලකාරී මනසින්. මම මොනවා ලිව්වත් හැමදාම කියවලා මෙහෙම ඇගයීමක් ලියන දුවේ ඔබට ගොඩක් ස්තුතියි . ජය !!

      Delete
    2. kalabalen liuwath kathawa harima lassanai uncle...
      uncle kohoma, mokak liuwth e hama ekakama amuthuma lassanak thiyanawa..

      thank u uncle.....

      Delete
  9. හැමදාම කියනවා වගේ නාඩි වැටෙන මිනිස්සු!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නාඩි මලේ

      Delete
  10. දෙන්නම හොඳ මිනිස්සු

    ReplyDelete
    Replies
    1. මේ සිද්දීයෙදී දෙන්නම හොඳයි. නැත්නම් හොඳකම මතුවුනා

      Delete
  11. මෙහෙම අජන්තලා හරි අඩුයි නේද ඔය සයිට් වල. රවී කියපු ජාතියේ අජන්තලා තමයි වැඩිපුර ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත බණ්ඩා . හොඳද නරකද කියලා වෙන් කර ගන්න හරියටම බැරි මිනිස්සුත් සමහර වෙලාවල මේ වගේ හැසිරෙනවා නේද ?

      Delete
  12. පලංචියේ කිරි කිරියයි - අපේ දුකට හඬන්නේ ……

    ReplyDelete
    Replies
    1. සිමෙන්ති කඳුලින් දියකර බිත්ති දිගේ නගින්නේ

      Delete
  13. අපූරු කතාව.. සිරිලට මොනා හිතෙන්න ඇද්ද..
    අර කතාවක් තියෙන්නෙ කවදාවත් කලිං තීරණය කරන්න එපා මනුස්සයෙක් ගැන කියල
    අහල තියේ නේද අර පොඩි එකාගෙයි අම්ම ගෙයි ඇපල් ගෙඩි දෙකෙයි කතාව
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔය මනුසයෙක් ගැන නෙවෙයි ඕනිම දෙයක් ගැන පූර්ව නිගමනවලට එන්න එපා කියල තමයි මටත් කියන්න තියෙන්නේ. තව කතා දෙක තුනක් මතක් වෙනවා එහෙම කියනකොට

      Delete
  14. හරිම සංවේදියි. තිලක ගෙ කතාවෙ වගේ අජන්තලාත් සිරිල්ලාත් අද සමාජයේ ඕනෑතරම් ඉන්නවානෙ. ජයම වේවා!.

    ReplyDelete
    Replies
    1. ස්තතියි චන්දි . අජන්තලා , සිරිල්ලා දකින්න පුළුවන් වෙන්නෙත් සංවේදී මිනිස්සුන්ට තමයි

      Delete
  15. හරිම සංවේදී කතාවක්. :/

    ReplyDelete
  16. අද කාලේ අජන්තලා වගේ අය හරි අඩුයි..

    ReplyDelete
    Replies
    1. එහෙම අඩු නෑ කියලයි ඔය ඉදිකිරීම් සයිට් ගැන හොඳින් දන්නා ඉවාන්ලා එහෙමනම් කියන්නේ. බලන්නකෝ පහලින් තියෙන කොමෙන්ටුව

      Delete
  17. අජන්තලා අඩු නම් නෑ මම දන්නා විදිහට , අජන්තලා සිරිල්ලා , යසරත්නලා ඕනෑතරම් හම්බවෙනවා මේ ජීවිතේදී , මිනිස්සු හැමදාම ඉන්නේ පිරිමහගන්න් බැරි අසාවල් සහ කරුමය එකට අනලා දෝතින් බදාගෙන . මේ අරගලය ඇතුලේ ඔය චරිත නානාප්‍රකාර විදිහට අපිට දකින්නට ලැබේවි , කතාව ටිකක් වේගෙන ගිය බවක් දැනුනා මටනම්

    ReplyDelete
    Replies
    1. මේ වගේ චරිත ගැන උඹ කොහොමත් සංවේදියිනේ . කතාවේ ගලායෑම ගැන අදහසක් පල කරපු එක හරිම වටිනවා . මටත් මේකේ මොකක්දෝ අඩුවක් දැනුණා . ඇත්තටම නම් මේක කතාවක්

      Delete
  18. වර්තමාන සමාජ යතාර්ථය... හිතට දුකයි මේවා කියෙව්වාම.. මේ අජන්තලා සිරිල්ල ඇතුලේ කොතන හරි අපිත් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. //මේ අජන්තලා සිරිල්ල ඇතුලේ කොතන හරි අපිත් ඉන්නවා..// හ්ම්ම් . අම්බලන්ගොඩ මේ පැත්තට ආදරෙන් පිලි ගන්නවා

      Delete
  19. හොද මිනිස්සු සංවේදි වෙනවා වැඩියි නේ බං..

    ReplyDelete
    Replies
    1. දේශෝ ඔය සංවේදී වීම හා හොඳකම අතර වෙනසක් තියෙනවා කියලයි මට හිතෙන්නේ

      Delete
  20. සීමිත සම්පත් සහ අසීමිත බලාපොරොත්තු...ඔය දෙන්නා ඇරෙන්න ඔය ෂටරින් ලෑලි ටික දිහා තව කීදෙනෙක් ඇහැගහගෙන ඉන්න ඇද්ද? සමහර විට පැත්තක ලෑලි හොඳටම දිරපු ලෑලි ගෙදරක ඉන්න කෙනෙක් ඔය ටික කුණු බක්කියකට දානකං බලා ඉන්න ඇති. සමහර විට පොත් රාක්කයක් ගැන හීන මවන පුංචි කොල්ලෙක් වුණත්...

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් දෙනෙක් ඇහැ ගහගෙන ඉන්න ඇති.
      //සමහර විට පොත් රාක්කයක් වෙනුවෙන් හීන මවපු පුංචි කොල්ලෙක් ඔය ලෑලි දිහා බලාගෙන ඉන්න ඇති // මෙන්න මේ වගේ අත් දැකීමක් මතක් වුනා

      Delete
  21. අජන්තට දැන් ඉතින් සිරිල් සැටලිම ගලවනකම් බලන් ඉන්ට වෙයි වගේනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් පහුවදා එන බාස්ලා හරවලා යවන්නත් වෙනවා

      Delete
  22. 'ඉංජිනේරුවෙක්' කියපු තැන ඉඳල පොඩි අභව්‍ය ගතියක් දැනුන තිලකෙ! එ්ක රසයට බාධාවක් උනා කියලයි හිතුනෙ. ඊට වැඩිය චුට්ටක් පහල තනතුරක් අජන්තට දුන්න නං මම මනාපයි. මොකද අපි දන්න ඉංජිනේරුවො ඔහොම නෑ වගේම ඔයවගේ දුර්වල ප්ලෑන් ගහන්නෙත් නෑ නෙව.

    //ඒ වෙනකොටත් එකිනෙකා නුර්ස්නා ලෙස ඈත්වෙමින් සිටි පරණ ලොකු මෝඩ ගඩොල් විසින් මවන හිදැස් විසින් පාරේ යනවුන්ට ගෙයි නැතිබැරිකම් උලුප්පා පෙන්වනු ඇති බවය//

    මෙන්න මේ ටික තමයි වටිනම ටික.
    අපූරු කතාව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රාජ් . මේ 'අභව්‍ය' කතාවට මාත් එකඟයි . මටම පොඩි ඉවක් තිබ්බා මේ කතාවේ රසයට කොහෙන් හෝ බාධා වෙලා තියෙනවා කියල . ඇත්තටම මම කෙටි කතා ලියන්න තවම ආධුනිකයෙක් . මේ වගේ අඩුපාඩු හදා ගන්න ඕනි

      Delete