Monday, November 30, 2015

අහිමි වූ ජෙට් එන්ජිම

පේ යාන්ත්‍රික ඉංජිනේරු සගයෙකු වූ උපාලි  කලක් වැඩ කලේ විදුලි සෝපාන  හා උත්තෝලක හෙවත් එලිවේටර් ගෙන්වන හා සවි කරන සමාගමකය.

ඔහුගේ සමාගම විසින් එක්තරා කර්මාන්තශාලාවක සවිකරන ලද එලිවේටරයක් බොහෝ දෝෂ සහිත නිසා සමාගමට  දොස්   අසන්නට සිදු වුනේය. කවුරුන් මොන විදිහට උත්සහ කලත් එහි කරදරකාරී ගැස්සීම  හෝ හිටි හැට්යේ නතර වීම වලක්වා අවශ්‍ය කාරිය කර ගන්නට බැරිව හැමෝම නන්නතාරව සිටියෝය.

අලුතින් බැඳුණු යාන්ත්‍රික ඉංජිනේරු තැන වූ  උපාලි   මේ ප්‍රශ්නය ලිහන්නට උත්සහ  කළේය. ඉන්පසු ගෙදර ගොස් මහැදුරු මහලිංගම්  දෙවන වසර සඳහා ඉගැන්වූ සටහන් තොගයක් පිරික්සන්නට විය. උත්තෝලකවල කම්පන ඇති වීම ගැන ඔහු සටහන් දී තිබුණු බව දැක ගත්තේ එවිටය. විභාගයට පාඩම් කරාටත් වඩා සීරුවෙන් රෑ මුළුල්ලේ මේ සටහන් නැවත කියෙව්වේය. අවුරුදු දහයකට  පස්සේ තරමක් ප්‍රායෝගික දැනුමක් එකතු වී තිබු නිසා  අවශ්‍ය දේ පෙරා ගන්නට ඔහුට   පුළුවන් විය.

පහුවදා අදාළ කර්මාන්ත ශාලාවට ගොස් ටික වෙලාවක් ඒ මේ අත කැරකෙමින් සිට උත්තෝලකය රෙපෙයාර් කර දැම්මේය. පුදුමයකි.  වැලි කොට්ටයක හා එක අතිරේක දුන්නක පිහිටෙන් සමාගමටම අවනම්බුවක් වී තිබූ මහා එලිවේටර් ගැටලුව ලිහා දුන්නේය.

මීට වසර ගණනකට පෙර මේ කතාව ඇසු විට මම උපාලිගෙන් ඇසුවේ  'ප්‍රොෆ් මහලිංගම්ට  ජෙට් එන්ජිමක් හම්බුනානේ ඔය වගේ ප්‍රශනයක් විසඳලා උඹටත් ගෙදරට හයි කරගන්න ලිෆ්ට් එකක්වත් ඉල්ලා ගන්න තිබ්බනේ කියලාය .

'මොනව කියනවද මචන්. ඒක දවසකින් දෙකකින් හැමෝටම අමතක වුනා . පස්සේ මට එහෙන් මෙහන් අඩු සැලකිලි, කැපිලි එන්න පටන් ගත්ත නිසා මම ඒ කොම්පැනියෙන් අස්  වුනා' .

ඒත් තමන් කළ විප්ලවීය කාරිය ගැන ඉංග්‍රීසියෙන් නිබන්ධනයක් ලිවීමට උපාලිට වුවමනාවක් තිබ්බෙත් නැත . ඊට නැඹුරුවක් තිබුනේද නැත. එතෙන්දී ඔහුට තමන්ගේ ගුරුන්නාන්සේ හෙවත් මහැදුරු මහලිංගම් මග අරුනේය.

උපාලි  ඊළඟට ගියේ වීදුරු නිෂ්පාදන කර්මාන්ත ශාලාවකටය

මේ කර්මාන්ත ශාලාවට ගොඩ වූ හැටියේ ඔහුගේ පරණ සරසවි මිතුරන් කිහිප දෙනෙක්ගෙන් ඔහුට උපදෙස් ලැබුනේය.
මචන් මෙතන කිසි කෙනෙක්  ඉංජිනේරුවෝ ගණන් ගන්නේ නෑ , වැඩක් කර ගන්න දෙන්නෙත් නෑ . ලොක්කොත් එහෙමයි . කෑම කාමරේ වුනත් අනිත් අයගෙන් වෙන් වෙලා වෙනම කන්නේ . මේක අපට හරි යන තැනක් නෙවෙයි, අනික අර ලයිබ්‍රරියේ යතුර ලාච්චුවේ දාගෙන ඉන්නවා ඇඩ්මින් මැනේජර් . ඉතින් අපි කොහොමද කැටලොග් එකක්වත් අරන් බලන්නේ ;

උපාලි  එතැන රස්සාවට ආ පළමු දවසෙම හවස් වරුවේ ගියේ ඇඩ්මින් මැනේජර් මෙන්ඩිස් වෙතටයි.
' මිස්ටර් මෙන්ඩිස් මට ලයිබ්‍රරියේ යතුර ගන්න පුලුවන්ද ?
මෙන්ඩිස් වහා නැගිට්ටේය .
ලාච්චුව අත ගා යතුර අතට ගත්තේය.
උපාලි  සමගම ඇවිත් පුස්තකාලයේ දොර ඇර දුන්නේ මෙසේ කියමිනි ;

'අනේ මහත්තයෝ කොච්චර දෙයක්ද ඔය මහත්තුරු ඇවිත් මේවා පාවිච්චි කරන එක . මගෙන් මේ යතුර කවුරුවත් ඉලල්ල නෑ මාස ගානකින් . මම ඕක වහල තියන්නේ මේ ක්ලීනින්  එකේ කට්ටිය ඇවිත් ඕක ඇතුලේ නිදා ගන්න නිසා. අනික ඔය වටිනා පොතක් එහෙ මෙහෙ වුනොත් මොන තරම් අපරාධයක්ද?'

සිය සගයින් විසින් එළඹ සිටි තමන්ට ඒත්තු  ගන්න්වන්න්ට උත්සහ කළ  පුර්ව  නිගමනය මොන තරම් වැරදි දෙයක්දැයි උපාලි  වටහා ගත්තේය .

මේ කර්මාන්තශාලාවේ කාර්ය මණ්ඩලයේ අසමගිය හා හිතින් මවාගත් උස් පහත්  භේදකම් ගැනත් උපාලි  අලුතින් සිතන්නට පටන් ගතේය. කෑම පැයේදී සෙස්සන්ගෙන් ඈත්ව ගෙම්බර් එකේ තනිවම කෑම කමින් සිටි නිලධාරීන්  ලඟ වාඩි වී කෑම කන්නට ඔහු උත්සහ කළේය. අනේ මේ කියූ 'ලොක්කා' මොන තරම් සාමාන්‍ය මිනිහෙක්දයි වචනයක් කතා කළ ඇසිල්ලේ පසක් විය. සතියක් යන්නට මත්තෙන් ස්ටාෆ් කැන්ටිම සිනා හඬින්  උතුරන සමගි සම්පන්න තැනක් විය .

අපේ පුර්ව නිගමන නිසා අප අපටම කරගන්නා නොහොඳ බොහෝය . මේ වග කිව්වේ නොවැම්බර්  හතරවැනිදා සමුගත් මහදුරු මහලිංගම් ගැන සටහනක් ලියන්නට පූර්විකාවක් වශයෙනි .

1992 අවුරුද්දේ  පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ වාර්ෂික ෆීඨ දිනය වෙනුවෙන් රඟ  දක්වන ලද ගීත නාටකයේදී  රඝුපති රාඝව රාජාරාම් යන ප්‍රකට භාරතීය  බැති හීයේ  තාලයට ගැයුණු කොටසකි මේ:

අධිපති යාන්ත්‍රික විද්‍යාවේ
සුපිරිම උගතෙකි ලංකාවේ
සේවා ඉසිඹුව ලද තොසිනේ
මහැදුරු මහලිංගම් සැරදේ

සරසවි ජීවිතයේ වසර හතක තුළ  මුණ පෑ දුක්මුසු රසමුසු සිද්දි ගීතමය ජවනිකාවලින් ඉදිරිපත් කෙරුණු දිග නළුවක් වූ මෙහි මේ උපහාර ගීත කොටස තිබුනේ විනාඩියකටත් අඩුවෙනි . මා මුලින් කී උපාලිද මෙහි ප්‍රධාන නළුවෙක් වුනේය.

ඒත් නාට්‍යය ඉවර වී එලියට එනවිට අපට ප්‍රගතිශීලී මිතුරෙකුගෙන් දෝෂාරෝපනයක් අහන්නට සිදු විය .

 'උඹල ස්ටාෆ් එකෙන් ලකුණු දාගන්න ප්‍රශස්ති ගී කිව්වා නේද?'

1991 අවුරුද්දේ විශ්‍රාම ගිය මහැදුරු සෙල්වදුරේ මහලිංගම් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ  සංකේතාත්මක සලකුණක් වුනේය. අනෙක් අතට ඔහු මුළු විශ්වයේම  වඩාත් ම  සනීපදායක නිවහන ලෙස සැලකුවේ පෙරාදෙණියයි.

ඔහු ගැන මගේ කියවීම මෙහි දෙවන කොටසින් ලියන්නට සුදානමින් සිටිමි


(ඉකොනොමැට්ටා විසින්ද  මහැදුරු මහාලිංගම් ගැන අගනා බ්ලොග් සටහනක්  ලියා ඇත - මෙතැනින් කියවන්න  )
Photo:
people.eng.unimelb.edu.au

66 comments:

  1. අපේ පුර්ව නිගමන නිසා අප අපටම කරගන්නා නොහොඳ බොහෝය .+++++++++++++++

    ReplyDelete
    Replies
    1. මේ පුර්ව නිගමන නිසා වෙච්ච අලකලංචි ගැන මගේ අත්දැකීම් කීපයක්ම තිබේ

      Delete
  2. බොහොමයක් වෙලාවට යතුරු දාල කියල හිතන දොරවල් ගොඩක් ඇත්තටම අඩුගානේ වහලවත් නෑ. ඒත් කවුරුවත් තල්ලු කරල බලන්නෙ නෑ. සිස්ටම් එකට බැණ බැණ ඉන්න එක ලේසියි. ඒත් එහෙම ඉන්න අය හැමදාම එතනම තමයි.

    ReplyDelete
    Replies
    1. තමන් හැර අනිත් හැමෝම සහ සිස්ටම් එකත් වැරදියි කියා ආඩපාලි කියමින් ඉඳීම අපේ ජාතික ලක්ෂණයක් වෙලා

      Delete
  3. අන් අය කියන දේ අසා මිනිසුන් කෙරෙහි පූර්ව නිගමන ඇතිකරගැනීමේ නිෂ්ඵලත්වය මා හොඳාකාරවම අත්විඳලා තියෙනවා. මා විශ්ව විද්‍යාලයට යන්නට ඉස්සර වෙලා එහි එක් අධ්‍යයනාංශයක හිටපු මහාචාර්යවරයෙකු ගැන එතුමාගෙන් කලින් ඉගෙනගත් ශිෂ්‍යයෙක් කිව්වේ ඒතරම් නරක මිනිහෙක් ඔහු ජීවිතේටම නොදැකපු බවයි. එතුමව හඳුන්වන්නට අකුරු කීපයක විශේෂණ පදයකුත් පාවිච්චි කළා. හැබැයි ඒ මහාචාර්යතුමා කොච්චර හොඳද කියනවා නම් අපි අවසාන වසරෙ විභාගෙ ලියද්දී මෙන්න මේ ප්‍රශ්නවලට ලෑස්ති වෙන්න කියලා ඒවම විභාගෙටත් දුන්නා. කෙනෙකු ආශ්‍රය කර බලා ප්‍රත්‍යක්ෂයෙන්ම නොදැන ඔවුන් ගැන නිගමනවලට බැසීම එතරම් හොඳ දෙයක් නෙවෙයි . දෙවැනි කොටස ලියන තුරු බලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ආ... නිලූක... කොහොමද සැප සනීප..!!!

      Delete
    2. ඇත්තෙන්ම මහාචාර්ය මහලිංගම් ගැනත් හොඳ හා නරක පුර්ව නිගමන ටිකක් තිබ්බා. ඒ ගැන මම ලියනම් නිලුක . බොහොම ස්තුතියි

      Delete
  4. http://nelumyaya.com/?p=4728
    මහලිංගම් ගැන ලියුව තවත් හොඳ ලිපි යක්. ඒ වගේම උපාලි ගැන කතාවත් රසවත්.
    මම ඔයවගේ නිරාකරණය කරගන්න බැරිව තිබුණු ගැටලුවක් අපේ කොම්පැනියේ හොයල දුන්න. ගිය ගමන් ම වගේ. ඊට පස්සේ මට කැපිලි ආව. පිට අයට අහන කොට වැඩේ හොයා ගත්ත කියල මුන් (වැඩ කරන සමහර උන්) පෙන්නුවේ වෙන කෙනෙක්ව. හැබැයි බොස් දැනගෙන හිටිය මමයි කලේ කියල.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත් . ඇත්තෙන්ම මහලිංගම් ගැන ලියන්නේ ඊළඟ ලිපියෙන් . මේ ඊට ප්‍රවේශයක් . ඔහුගේ ගෝලයෙක් ගැන කතා කරලම පටන් ගන්නයි හිතුවේ

      Delete
  5. ලංකාවේ ආයතන වල ඔහොම වහලා දාලා යැයි නිගමනය කරන තැන් බොහොමයි.. ඒවා ඇරලා පාවිච්චි කරන අය ට උදව් කරන්න එක්කෙනෙක් දෙන්නෙක් හරි තාම ඉන්නවා.. ඒ අයව හරියට හඳුනා ගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අන්න හරි තැන් අර ගන්නනම් අපිවම වැහිලා තියෙන මනස්ගාත අයින් කර ගන්න ඕනි . ඊළඟට හරි මිනිස්සු අඳුන ගන්න ඕනි

      Delete
  6. අධිපති යාන්ත්‍රික විද්‍යාවේ
    සුපිරිම උගතෙකි ලංකාවේ
    සේවා ඉසිඹුව ලද තොසිනේ
    මහැදුරු මහලිංගම් සැරදේ

    පිදිය යුත්තන්ට පිදීම උතුම් ක්‍රියාවක්.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔහු පිදුම් ලබන්න සුදුස්සෙක්

      Delete
  7. 'ඊරිසියාව නිසා ඇතිවන ගැට්ට' හා 'මවා ගන්නා ගැට්ට' හොඳින්ම පැහැදිලි කරන සිද්ධි දෙකක්. නියමයි තිලකෙ.

    ReplyDelete
    Replies
    1. මේවායින් පස්සට යන්නේ කවුද ? පළවෙනීයට ඔය විදිහට හිතන පුද්ගලයා, දෙවැනියට ආයතනය, තුන්වැනියට රටම

      Delete
  8. හිත සැනසෙන කථාවක් උදෙන්ම. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි ඉයන්

      Delete
  9. මහචාරය මහලිංගම මිය ගියාටු පසුයි ඔහු ගැන බොහෝ අය දැනගත්තේ.. ඒක සැබැවක්... ඔහු ජීවත් වද්දි ඔහු ගැන බොහෝ අය නිහඩයි. ඒත් මට නං ආඩම්බරයි ඔහු ගැන. කිසිම දෙයක් පිළිබද නොසිතා උපේක්ෂාවෙන් කටයුතු කළ මහත්මයෙක් නිසා..


    උඹ ඉකොනොමැට්ටා කියවන්නේ නැතිනං ඒක මහ අපරාදයක්.. මං එහෙම කිව්ව කියල මතක තියාගන්.. මහලිංගම් ගැන හොද පෝස්ට් කිහිපයක්ම තියෙනවා පේරා ඉන්ජ බ්ලොග් එකේ..

    http://efacmemories.blogspot.com/

    ReplyDelete
    Replies
    1. /* උඹ ඉකොනොමැට්ටා කියවන්නේ නැතිනං ඒක මහ අපරාදයක් */

      ??

      Delete
    2. ඔය කියන මැට්ටා ලියන දේවල් නොකියවන එක නෙවෙයි කියවන එකයි අපරාදේ හෙහ් හේ . ඔන්න මම උගේ පෝස්ට් එකට ලින්ක් එකක් දැම්මා

      Delete
    3. දේශ්: මචං තිලකෙ නිසා නෙමෙයිනං සමහර විට ඉකොනොමැට්ටෙක් ඉපදෙන එකකුත් නැහැ. ඉපදුනත් කවුරුත් දන්නෙ නැතිව මැරිල යන්නත් ඉඩ තිබුණා. (රසිකගෙනුත් පටන් ගන්න කොටම ලොකු තල්ලුවක් හම්බවුනා.)

      Delete
    4. අනේ මන්දා මෙහෙමත් මැට්ටෝ.. හැක්

      Delete
  10. අ‌ෙප් මහත්තයත් ඔය උපාලි වගේ තමා... වැඩේ ඉතිං උන්දැ කවදාවත් ඉගෙන ගන්න එකක් ඉවරෙටම ඉවර කරල නැති එක තමයි... ඉස්කෝලෙයි, ට්‍රෙනිං කොලේජ් වලයි පොත් ටික තාම තියෙනව පෙට්ටියක දාලා... කැඩිච්ච මැෂින් එකක් හදාගන්න බැරි උනාම ඔන්න මට කෝල් කරල අර පොත අරගෙන බලන්න, මේ පත්තරේ අරගෙන බලන්න කියල කියනව... මට ඕවා තේරෙන්නෙත් නෑ.. හබැයි ඉතිං කොහොම හරි පත්තරයි පොතුයි මදි නං මාව අල්ලගෙන ඉන්ටනෙට් එකේ හරි හොයලා මැෂිම ගොඩ දානව...

    ReplyDelete
    Replies
    1. / අ‌ෙප් මහත්තයත් ඔය උපාලි වගේ තමා... /

      හරි හරි අයි අන්ඩර්ස්කර්ට්, ඔය කියන්නෙ අර උඹේ තිබ්බ හිටපු ගමං ගැස්සිල නතරවෙන ලෙඩේ උන්දැ වැලි කොට්ටයක් බෙල්ලෙ එල්ලල අලුතෙං දුන්නක් දාල හොඳ කරපු එක ගැන නේද?

      Delete
    2. ඔන්න ඔය රවී කියන එව්වට අපි සම්බන්ධ නෑ

      Delete
    3. හි හි.. ඒ රවීට තිබ්බ ලෙඩේනෙ..

      Delete
  11. ඉංජිනේරු සේවාවට කවදත් ලෝකයේ කිසිම තැනකදී නියම වටිනාකම ලැබෙන්නේ නෑ කියලා තමයි මටත් හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකට එහෙම්මමහැමවිටම එකඟ වෙන්න බෑ රාලේ . තමන්ට හරි මිල ලබා ගැනීමේදී ඉන්ජිනේරුවාගේ පැත්තෙන් කෙරෙන්න ඕනි මාර්කටිං දේකුත් තියෙනවා නේද? මේ ගැන මම ඊළඟ ලිපියෙන් කතා කරනවා

      Delete
  12. continue to write about your Upali (success and failure)

    ReplyDelete
    Replies
    1. Sure, I will write more about him and his fellow Engineers

      Delete
  13. / කෑම පැයේදී සෙස්සන්ගෙන් ඈත්ව ගෙම්බර් එකේ තනිවම කෑම කමින් සිටි ඉංජිනේරුවන් ලඟ වාඩි වී කෑම කන්නට ඔහු උත්සහ කළේය. /

    මෙතන ඉංජිනේරුවන් කිව්වම හරිද තිලක්?

    ReplyDelete
    Replies
    1. ඒක වැරදීමක් නේන්නම් . ඔන්න හැදුවා . තැන්කිව් තැන්කිව් රවී

      Delete
  14. මහාචාර්‍ය මහාලිංගම් ගැන කියවා තිබුණා.. ඔය කියන ජෙට් ඒංජින් කතාවත් අහලා තිබුණා.... උපාලි නම් පව්..... බොහොමයක් තැන්වල ඔහොම තමා.. මටත් අත්දැකීම් ඒමටයි...

    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ඒ අත්දැකීම් ටිකත් ලියමු . ජය වේවා !

      Delete
  15. Replies
    1. බොහොම ස්තුතියි ලොකු පුතේ

      Delete
  16. අර ප්‍රගතිසීලියගෙ කතාව මරු... අන්න ප්‍රගතිසීලියො...විප්ලවේට ජයවේවා....!!!!!!

    ලංකාව මහාචාර්‍යතුමාගෙන් හරියට වැඩක් ගත්තෙනෑ කියන එක තමයි මගේ හැගීම. මේවගේ සම්පත් කොච්චරක් වැඩක් නොගෙන නිස්කාරනේ නැතිඋනාද...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඒ කතාව කිව්වේ බොරු ප්‍රගතිශීලියෙක් . ඇත්ත ප්‍රගතිශීලියා උපාලි

      Delete
  17. Many Sri Lankans who migrate to western countries make similar kind of stereotypes about westerners. They think sudda fellows do not like to talk with us and ill treat us. The hardest part is to get passed the initial psychological barrier.

    ReplyDelete
    Replies
    1. Agree. I too had that weakness in my early stage of career life. It is a real barrier for our personal development. Thanks for your comment

      Delete
  18. අර ඉන්ජො කියපු කා ඇහුවනං උපාලිට ඔතනත් වැඩ කරගෙන ඉන්න ලැබෙන් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් උපාලි ඒ පාර ඔලුව පාවිච්චි කරලා වැඩ කරා

      Delete
  19. මහැදුරු මහාලිංගම් ගැන තවත් රසවත් විස්තරයක් කියවීමේ බලාපොරොත්තුවෙන්.. 'උපාලි'ලා කියන්නේ ආයතනයකට සම්පතක්.. :)

    ReplyDelete
    Replies
    1. සටහන ලියලයි තියෙන්නේ ක.මි. තව දවසකින් දෙකකින් දාන්නම් . තැන්කිව්

      Delete
  20. මහාලිංගම් ඇදුරුතුමා ගැන ලිපිය එනකල් ආසාවෙන් බලන් ඉන්නවා... එක එක මට්ටම් වල ඉන්න "උපාලිලා" හැම තැනකම ඉන්නවා.. නිසි ඇගයීමක් නැතිව...

    ReplyDelete
    Replies
    1. උපාලිලා නිසා තමයි ගොඩක් ආයතන වල ජීවයක් රැඳෙන්නේ . ඒත් කිව්වා වගේ උපාලිලාට තැනක් නෑ

      Delete
  21. කොයි වෙලාවෙත් ..... කා වෙනුවෙනුත්.......බොහොම අව්‍යාජ, පර උපකාරී, සුන්දර සිනා පොඩ්ඩකින් මූණ සැරසිලා තිබ්බ .... ඕනෑම දේකට - ඕනෑ වෙලාවක "එවරෙඩි" උපාලිගේ "ටැලන්ට්" ගැන නම් ආය අමුතුවෙන් කියන්න ඕනැයෑ.... කොටින්ම ඒකනේ ඌ අපේ "බැච් රෙපා" කරගෙන හිටියේ...:)

    මට තාම මතකයි අක්බාර් එකේ "බොක්ස් රූම්" එකක උපාලියයි ප්‍රියන්තයයි උඩින් බැච් එකේ සැන්ටියය් උයාගෙන කාපු හැටි.

    ඒක නෙමේ, මචං බ...; මට පහුගිය දවස් වල ප්‍රොපෙෂ මහලිංගම් ගැන ලියලා තිබුණු ලිපි කිහිපයක්ම කියවන්න ලැබුණ. ඒ එකකවත්, සර් උදේට "මැෂින් ලැබ්" එකේ දෙවැනි තට්ටුවේ සදලුතලයට ඇවිත් කරන ලද කිසියම් ආගමික කටයුත්ත ගැන සඳහන් වෙලා තිබුණේ නැහැ. ඒකට ඒ දවස්වල කීවේ මහලිංගම් සර් උදේට ඉර වන්දනා කරනවා කියලනේ. මමත් ඕක දෙතුන් පාරක් දැකලා තියෙනවා. ඒ වුණාට ඔය ඉර වන්දනා කථාව, කවුරු හරි මට දුන්න අන්ඩරයක්ද මන්දා. (මම තවමත් ඒක එහෙමයි කියලා තමා හිතාගෙන ඉන්න... හරියටම ඕක දැනගන්න වෙන්නේ චන්දන හරි කපිල මහතාගෙන් හෝ ශී‍්‍රයාගෙන් තමා) අනික සර් ඔතනට ඇවිත් කුරුල්ලන්ට කෑම එහෙමත් දෙනවනේ. ඒකක් වත් ටැපලුණාද මංදා...... නැත්නම් ඉතින් කොහේ හරි තැනක ඔය ගැන සඳහන් වෙලා තියෙන්ට එපෑයැ.

    ReplyDelete
    Replies
    1. මචං ඇනෝ බැචා, දාපන්කො උඹේ නම හීනියට, කොමෙන්ටුව යටින්...

      ප්‍රොෆ් මහලිංගම් ගැන මතකේ තියන දේවල් ගොඩය්.. උඹේ කතාව හරි.. මහලිංගම් සර් හැමදාම වගේ උදේට පොඩි වෙලාවක් මැෂින් ලැබ් එකේ උඩ බැල්කනියේ එහෙට මෙහෙට යනවා, මට මතකය් .. මම නම් හිතන්නේ ඒ ඉර අව්ව ගන්න කියලය්..

      මහලිංගම් සර් ෆැකල්ටි එන හැමදවසක එක සමාන බැග් දෙකක් අත් දෙකට අරගෙන එනවා.. කොල්ලෝ කිව්වේ ඒ "balancing" වලට කියලා..
      තවත් කතාවක් තමය් සර්ගේ කාර් එක උපරිම විදියට "tune-up " කරලා පෙට්‍රල් ලීටර් එකකින් මාසයක් දුවන බව.. ඔය "tune-up" කරන තියරිය අපේ සමරක්කොඩියා සර්ගෙන් අහලා දැනගෙන ඌගෙ "C-90" බය්ක් එක, ඒ තියරියට අනුව "tune-up" කරන්න පටන් ගත්තා.. සමරක්කොඩියා බය්ක් එන්ජින් එක ටිකෙන් ටික "tune -up" කරා.. කරන වාරයක් පාසා අපිට ඌ ගේ පොර ටෝක් අහන්න උනා.. "මචං දැන් මෙච්චරය් .. මචං දැන් ඊටත් අඩුය්" ඔයවිදියට.. කොල්ලෝ අන්තිමට කිව්වේ, සමරක්කොඩියා කොච්චර ඌ ගේ බය්ක් එන්ජින් එක "tune" කරාද කිව්වොත්, බය්ක් එක දුවන හැම කිලෝමීටර් දහයකටම සැරයක් ඌට බය්ක් එක නවත්වල පෙට්‍රල් ටෑන්ක් එක හිස්කරන්න වෙන බවය්.. කොහොමද සමරේලගේ, අපේ වැඩ?
      -චන්දන

      Delete
    2. අයි මචන් ඉස්සර බැචාලගේ අක්කලාගේ වෙඩින්වල පෝරු ගහන්න , සීයලාගේ මළගෙවල්වල වල බඳින්න එහෙම යන සෙට් එකක් හිටියා උපාලි , සමන් රන්ජිත් ඇතුළු . ප්‍රොෆ් මහලින්ගම්ගේ සුරිය වන්දනාව ගැනනම් දැනන් උන්නේ නෑ . එක නෙවෙයි මතක තියෙන විස්තර ටික මට මේළක් එවාපන්කෝ ඊළඟ පොස්ට් එකට එකතු කරන්න

      Delete
    3. මචන් චන්දන, ගම පේරාදෙණිය වෙච්ච මේ ඇනෝ බැචා දැන් ඉන්නේ කැනඩාව පැත්තේ කියලයි මගේ අන්ජනමට පේන්නේ. බලමු මිනිහගෙන් වචනයක් ලැබේද කියල

      Delete
  22. //අපේ පුර්ව නිගමන නිසා අප අපටම කරගන්නා නොහොඳ බොහෝය//

    එකනේ සුනිල් එදිරිසිංහ කිව්වේ...

    සතර දිගින් එන සුළඟට සතර අතින් ඇතුල්වන්න
    අප වසනා නවාතැනේ කවුළු නිබඳ ඇර තබන්න

    ReplyDelete
    Replies
    1. ඒක බොහොම අර්ථ සම්පන්න සින්දුවක් තමයි . ස්තුතියි තිසර

      Delete
  23. හරවත් වගේම රසවත්. මෙවැනි සරසවි ඇදුරුතුමෙක් ගැන උපහාර පුද කරන එක හරිම වටිනවා.

    පුස්තකාල පරිහරණය කොහෙත් එකයි කියල හිතෙනවා. අපේ පාසලෙත් කාලයක් මම පුස්තකාලය බාරව උන්නා. කීදෙනාද පුස්තකාලෙ පැත්තෙ ආවෙ වත් පොතක් ගන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි , මටත් හරිම කේන්තියි පුස්තකාලවලින් ප්‍රයෝජන ගන්නැති මිනිස්සු ගැන

      Delete
  24. මහැඳුරු මහලිංගම් ගැන ඔහු මිය යන්නට පෙර මමත් අහලා තිබුනෙ නෑ. ඔබ ඔහු ගැන තබන සටහන කියවන්න බලන් ඉන්නවා.

    කවුරුහරි පළදවන හරි තමන්ම පැළද ගන්නා පාට කණ්නාඩි වලින් ලෝකෙ දිහා බලන එක කොච්චර මෝඩ වැඩක් උනත් ගොඩක් දෙනා ගොඩක් වෙලාවට කරන්නෙ ඒක. ඒක තේරුම්ගන්න පුළුවන් වෙන්නෙත් අත්දැකීමෙන්ම තමයි.

    ReplyDelete
    Replies
    1. මේ චරිතය ගැන පස්සේ හරි කියවන්න වටිනවා. ඔහු තමන්ගේ කාරිය හරියට ඉටු කළා . ඔය පාට කණ්නාඩි කතාවනම් අපේ රටටම මෙච්චර අදාළ වෙන්නේ ඇයි කියල මය හිතා ගන්න බෑ . මට හමු වූ බොහෝ විදේශිකයන් හරිම විවෘතයි .පාට කණ්නාඩි දාගෙන නෑ

      Delete
  25. මමත් මහැඳුරු මහලිංගම් ගැන දැන ගත්තේ ඔහුගේ මරණයෙන් පසුවයි.උපාලිලා වගේ වැඩකාරයෝ ඕනෑ තරම් ඉන්නවා නිසි ඇගයීමක් නැතුව.

    පුර්ව නිගමනවලට එළබෙන එක බොහොම පරිස්සමින් කරන්න ඕනේ දෙයක්.කියන තරම යකා කළු නැහැනේ.

    ReplyDelete
    Replies
    1. වැරදි පූර්ව නිගමන නිසා මට අහිමි වූ දේවල් කිව්වොත් හරිම දූක්බරයි මනෝජ් .රස්සාව සම්බන්ධ දේකදී ඒ රස්සාව අත ඇරලා වෙන රස්සාවකට ගියැකි . ඒත් මේ හේතුව නිසා මිනිහෙක්ගේ හිතවත්කම නැති වුනොත් ආයේ හදාගන්න බෑ

      Delete
  26. මහැදුරු මහලිංගම් ගැන වගේම බැතිබර හැඟීමක් උපාලි මහත්මයා ගැනත් ඇතිවුණා . ඇත්තට අපි කවදාවත් වෙනස් කරන්න බැහැ කියලා හිතන දේවල් තත්පර ගණනකින් වෙනස් කරන්න පුළුවන් දේවල් වෙන්න පුළුවන් . දෙවන කොටස කියවන්නට මඟ බලා සිටිමි .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙතූ . ඔබ කිව්වා වගේ එක පුංචි වෙනසක් කිරීමෙන් සමහර තැන්වලට හිතන්න බැරිතරම් වටිනාකමක් එකතු වෙනවා

      Delete
  27. අපේ යලුවො පේරා ගිය අළුත රැග් එකේදි හොඳ තෙලක් කාල තිබුනා මහාලිංගම් මහතා ගැන.ඒ වගේම අපට භෞතික විද්‍යා උපකාරක පංති කරපු සර් පේරා.එයත් කියල තියෙනවා මෙතුමා ගැන.ඒ තොරතුරුත් මේ තොරතුරුත් එක් උනාම ශ්‍රී ලාංකිකයෙක් විදිහට සියුම් ආඩම්බරයක් දැනෙනවා වගේම ගෝල් එකකුත් හැදෙනවා...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ සියුම් ආඩම්බරය ගෝල් එකක් කර ගන්න හිතපු එක ගැන සතුටුයි GL

      Delete
  28. සමහර කොම්පැනිවල කලර්ස් පෙන්නුව ගමන්ම කැපිල්ල එනවා. ඒක නම් ඇත්ත තමයි

    ReplyDelete
    Replies
    1. නවීන තරගකාරී ලෝකෙත් ඒ වගේ ආයතන තියෙන එක තමයි අවාසනාව

      Delete
  29. අප්‍රකට වූ නමුත් මහාචාර්ය මහලිංගම් සතුව තිබුනු තවත් උතුම් ගුණයක් නම් අත්‍යන්ත වූ හාස්‍යමත් බවයි (innate sense of humor). අපේ බැචාලා කිරි කිරි කෝඩුවෙන් පලේ-පළවෙනි පරීක්ෂණාගාර වාර්තාව ලියා බ්‍රහස්පතින්දා දවසක සබ්මිට් කොට පහුවෙනි අඟහරුවාදා mechanics of machines පන්තියට ගියේ මොන්දෝවිය ජයගත් බොනපාට්ලා රොත්තක් මෙනි. මහාචාර්ය මහලිංගම් විවෘත ආලින්දය දිගේ දෙපැත්තට වැනි වැනී දෙශනාගාරයට ගොඩ උනේ ලීමුවා යෝධ බෙදුම් කටුව එක අතකිනුත් අනෙක් අතින් අපෙන් එකෙක් සාඩම්බරයෙන් සබ්මිට් කල වාර්තාවක් කනෙනුත් එල්ලාගෙනයි. එදා දේශනයේ පැය භාගයක් පමණ ගෙන එතුමා කියවන එකාට හිනා නොයන ආකාරයේ ඉංජිනේරු වාර්තාවක් ලියන හැටි කියා දුන්නේය. අර සාම්පල් වාර්තාවේ පිටු බෝඩර වලත් ප්‍රස්තාර වට කොටත් ගසා තිබුණු කොටු වලට ඇඟිල්ල දික්-කල මහාචාර්ය මහලිංගම් "මේ විදිහට කොටු ගහන්න එපා. මේක මරණ දැන්වීමක් නෙමෙයි" කියූ විට විපිළිසර වී ඇස් ගෙඩි දොට්ට දමාගෙන විරවාගෙන හිටි කෝඩු සභාව පතලා බාල වූ "හිකි- හිකියක්" පැතිර ගියේය.

    ReplyDelete
    Replies
    1. රසබර හරබර පරණ මතකත් අරං කාලෙකට පස්සේ මෙන්න රුවන් ඇවිත් .ඉතා සතුටුයි , ඉතින් සුබ අලුත් අවුරුද්දක් වේවා !

      Delete